Saturday 16 May 2020

රොබට් නොක්ස් - රංජිත් ධර්මකීර්ති

රොබට් නොක්ස් - රංජිත් ධර්මකීර්ති
==============================
****
ලේඛකයා තම රොබට් නොක්ස් නම් වූ නව කථාව හඳුන්වා දී තිබෙන්නේ, "ලංකාව නමැති ද්වීපයේ ඓතිහාසික සබඳතා" නම් වූ සුප්‍රකට කෘතිය ලියූ බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කර ගනිමින් ප්‍රබන්ධිත ඓතිහාසික නවකථාව, ලෙසිනි. ළමා එතනා, කිරි සන්දා, සුගලං නයිදේ, ආදි වූ ප්‍රබන්ධය උදෙස නිර්මිත චරිත කිහිපයක් හැරුණු කොට, ලේඛකයා හැකි තරම් මුල් කෘතියේ කරුණු වලට පක්ෂව, තම නිර්මාණය ඉදිරිපත් කොට ඇත.

නොක්ස් නැවත තම මවුබිමට යෑමේ, තම පියාණන්ට දුන් පොරොන්දුව, ඊට කිනම් බාධා ආවත් අත නොහැර, පරාජය භාර නොගෙන, එහෙත් ලංකාවේ විසූ අවදියේ හැකි තාක් මෙරට සිංහල ජනයාට හා සංස්කෘතිය ට බද්ධ වී ජීවත් වුණු අයුරු මැනවින් චිත්‍රණය කිරීමට කතුවරයා සමත්වැ ඇත.

රොබට් නොක්ස් ගේ පියානන් ගත් වැරදි තීන්දු, මූලික වශයෙන් දෙවෙනි රාජසිංහ රජුගේගේ තීන්දුවට බලපෑ අයුරුත්, එම මුල් තීන්දුවෙන් අනතුරුව අවාසනාව තරුණ නොක්ස් පසුපස හඹා ආ අයුරුත්, මෙහි විසූ කාලය පුරාවට ම පාහේ නොක්ස් කෙරෙහි රජු වෙත තිබූ නොපහන් කමත් ඉතා හොඳින් නවකථා සන්දර්භය තුලට ලේඛකයා ග්‍රහණය කර ගෙන ඇත.

මෙහි මැනවින් පෙන්නුම් කරන චරිතයකි, දෙවෙනි රාජසිංහ චරිතය. කාර්‍යශූර,රණකාමි රජෙකු නමුත්, මහජනයා පෙළු අවස්ථා වූ බවත්, වෙසෙසින් නැගී එන බටහිර ලෝකය සමඟ සමානතා පදනමෙන් ගනුදෙනු කිරීමේ උවමනාවෙන් යුක්ත රජෙක් ලෙසත් එම චරිතය ට යම් සාධාරණයක් ඉටු කොට ඇත්තා සේය. මේ වන විට බටහිර ලෝකය සතු බල‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් රජු වෙත තිබූ බව සිතිය හැකිය.

ඓතිහාසික සිද්ධිමාලාවක් විකෘති නොකරමින් ඉදිරිපත් කරමින්,එහෙත් ඊට නවකථාවකට ඖචිත ලෙස සාහිත්‍යම රසයක් කා වැද්දීමට කතුවරයා සමත් වැ ඇත. මුලින් ම 1993 දී මුද්‍රනය වී ඇති මෙම නව කථාවේ, මා සතු පිටපත 2012 දී නිකුත් වූවකි - ඒ සත්වන මුද්‍රණයයි. මෙලෙස නිතර මුද්‍රණය වීමෙන් පිළිඹිබු වන්නේ මෙය බොහෝ පාඨක අවධානය හා සිත් දිනා ගත් කෘතියක් බවයි.

( 2014ගෝස්තු 8 වන දින, මුහුණු පොතේ 'පොත් කියවන අය' සමූහයට ලියූ සටහනක අසංශෝධිත පිටපතකි )

No comments:

Post a Comment