Sunday 17 May 2020

කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර

****1/2

"අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගොතම
කො ඉමං විජටයේ ජටං"

විසුද්ධි මාර්ගයේ ආරම්භක මෙන්ම ප්‍රකට පැණයෙන් නවකථාවට අරුත් දුන් ගුණදාස අමරසේකරයන්, කරුමක්කාරයෝ නමින් එය ප්‍රකාශ කරන්නේ 1955 දීය. එනම් මීට වසර 58ට ප්‍රථමව ය. දැන් අසූ වියද ඉක්මවා සිටින හෙතෙම, ඒ අනුව මෙය ලියනා කල 25ක පමණ තරුණයෙකු විය යුතුය. මා දන්නා තරමින් අසූ වියද පසු කොට ඇති ටෙනිසන් පෙරේරා වැන්නන් "අභිරහස් ජීවිත තරණය" වැනි කුනුමාළු රසට පොත් ලියා, ඒවා සම්මාන වලට නිර්දේශ කරගන්නටත් සමත් වෙද්දී, මීට වසර 58ට පෙර ලිංගිකත්වය පදනම් වූ "ඇතුලත වියවුල" මෙතරම් සුඛනම්‍ය ලෙස එකල අමරසෙකර තරුණයා ඉදිරිපත් කලේ කෙසේද යන්නයි. එකල සමාජයට මෙය යම්තාක් දුරකටැ කුණුහරුපයක් ලෙස පෙනෙන්නට ඇත. 1955 සිට 2013 දක්වා වූ සමාජ පරිවර්තනය තුල සිංහල පාඨකය කෙතෙරම් දුරක් ඇවිත් ද? අමරසේකරුන් ඉදිරිපත් කරන්නේ "ඇතුලත ගැටළුව" පිළිබඳ අප්පිරියාවක හැඟීමක් ඇතිනොවෙන ලෙසට ය (නොහොත් 80 විය පැනපු ටෙනිසන් ආකරයෙන් නොවේ ).

සමාජ ආර්ථික වූ "බාහිර ගැටළුව" මේ තරමට ම හොඳින් ඉදිරිපත් කරනවා දැක ඇත්තේ නවගත්තේගමයන්ගේ "සුද්දීලාගේ කථාව" ආශ්‍රයෙනි. මම නවගත්තේගම ට වඩා ප්‍රිය බැවින් මා සුද්දිලාගේ කථාවට වඩා ප්‍රිය කලද, කරුමක්කාරයෝ හා සුද්දිලාගේ කථාව පිළිවලින් දකුණේ සහ ව‍යඹේ ග්‍රාමීය පෙදෙස් වල සිදුවූ සමාජ-ආර්ථික හැළහැප්පිලි නවකථාව නම් වූ නිර්මාණය තුල දක්ෂ ලෙස ඉදිරිපත් කොට ඇත.

නූගත් ගැමියන් දොස්තරවරු ආදින් ඉදිරිපිට වැඳ වැටුනු අයුරු, විදුලි ආලෝකයෙන් රාත්‍රියේ සුන්දරත්වය නොකෙලෙසුණු අවදියෙක ඇළක-දොළක ශබ්දය හා ඒ හරහා මනස තුල හට ගන්නා භාවයන්, විලිසොන් තම පියා කෙරෙහි වූ භක්තිය හේතුවෙන් පියාගේ නොමනා ක්‍රියා කලාපය ගැන අවසන් වන තුරු සැක කිරීමට වූ අකමැත්ත,නිවි හැනහිල්ලේ ජීවත්වුණු ජන කොට්ඨාශයකට මුදල් ඉපැයීම හා තරඟය පෙන්නුම් කල විට මුළු ග්‍රාමිය සමාජයේම කඩා වැටීම ආදි විවිධ අංශයන්- දිශානතීන් හරහා මේ නවකථාව ඉතා වටිනා නිර්මානයක් යැයි කිව හැක.
(  2013 අප්‍රියෙල් මස 5 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:

Post a Comment