Saturday 16 May 2020

වයඹ දිග වැසියකුගේ දින සටහන් - ප්‍රභාත් ජයසිංහ

වයඹ දිග වැසියකුගේ දින සටහන් - ප්‍රභාත් ජයසිංහ
==================================
****

ප්‍රභාත් ජයසිංහ ලේඛකයාගෙ වයඹ දිග වැසියකුගේ දින සටහන් නමැති කෙටි කථා පොත කියවූවෙමි. 2011 වසරේ දී කුමක් හෝ සාහිත්‍ය සම්මානයක් හෝ සම්මාන නිර්දේශිත ලයිස්තුවකට හෝ ඇතුලත් වුණෙන්, මා මෙය මිලදී ගැනීමට හේතු විය. ඉන් පසු ගිය මාසය වෙනකං මෙහේ පොත් රාක්කයක ඉඩ රැක්ක මේ පොත, ලේඛකයාගේ දෙවෙනි කෙටි කථා එකතුවේ අවතීර්ණයෙන්,"දැන්වත් කියවල ඉවර කරලා හිටහං" සඤ්ඤාව මා තුලට සන්නිවේදනය වීමෙන් අනතුරුව, කියවා හමාර කලෙමි.

කෙටි කථා හතකින් සුසැදි මේ එකතුවෙ කෙටි කථා පහක් මා සිත් දිනා ගැනීමට සමත් විය.

ඒවා පිළිබඳ ඉතා ලඝු සටහන් මෙසේය.

"ශ්වේත තුරඟ රමණ රිද්ම" තුල සිත් ඇදගන්නා සුළු උපහාසයක්, හාස්‍යයක් හා උත්ප්‍රාසයක් ඇත. සරසවි සිසුවෙකුට එතරම් රිද්මයානුකූල තුරඟ රමණයක්, "ඉන්ස්ටිට්‍යුට්" එකක් හරහා පිටරට උපාධියක් ලත් (හෙවත් රැකියාව උදෙසා ම උසස් අධ්‍යාපනය කල තරුනයෙකුට 'අශ්ව පූට්ටුවකි' - ඔහුට එහිත්....හ්ම්ම්ම්ම්... සුනඛ රමණ රිද්මයේත් වෙනසක් නැත. අප ලේඛකයා මේ දෙපළ ට ම ( සරසවි සිසුවා හා ඉන්ස්ටිට්‍යූට් කාරයා ) සිනා සෙන්නා සේය.

තෙවෙනි කෙටි කථාව පොත නම රැඳි කෙටි කථාවයි. මෙහි එන අධිභෞතික සීමාව කෙටි කථාව නිර්මාණය උදෙසා දෙන පිටුවහල ට සීමා කොට ඉන් ඔබ්බට බැලුවොත් අප තුල ප්‍රශ්න කිහිපයක් ඇතිවේ. මෙහි එන ශ්‍රිවා වඩාත් සුන්දර රනුලි තුල වෙසෙන නිසා ද ? රනුලි හෝ ශ්‍රීවා හෝ තනි තනියෙන් එතරම් සිත් බැඳගන්නා සුළු නොවේ ද? අපි ට බාහිරව හමුවන "ඉදිරිපත් කරනා" පුද්ගලයා, ඒ අය තුල වෙසෙනා පුද්ගලයාට කෙතෙරම් වෙනස් ද ? "පෙට්ටගම් තුල වසා දමා ඇති" (හෙවත් පිටස්තර ලෝකයෙන් වසන් කරනා පුද්ගලයා) ඇත්ත පුද්ගලයා කෙබඳු ද ? ඇත්තෙන් ම සිතීමට යමක් ඉතිරි කරන ආරේ අගනා කෙටි කථාවකි.

හතරවෙනි කෙටි කථාව අවන "යකා බැඳ ගත් පසු", කට්ටඩියෙකු විසින් බැඳගත් යකෙකු ට මනුස්ස ස්වරූපයක් ආවෙශ කර, ඔහුගෙන් සියළු දෙනා වැඩ ගන්නා අයුරුත්, විනයක් ඇතිව දිවි ගත කල යක්ෂ තෙමේ කෙමෙන් මිනිස් ලොව විවිධ රසයන් වලට මන බැඳ, නැවත යක්ෂ ස්වරූපයට ම යෑමට අවස්ථාව ලත් විට පවා, මිනිස් දුවක් කෙරි ඇති කාමාශාව හේතුවෙන්, මිනිස් ස්වරූපයෙන්ම විසීමට තීරණය කිරීමත් පදනම් කොටගෙන ලියැවුණු නිර්මාණාත්මක කෙටි කථාවකි.

සත්වන කෙටි කථාව වන පිසාච උවදුර "යකා බැඳ ගත් පසුව" කෙටි කථාවේ අනුබන්ධිත කෙටි කථාව සේය. පෙර කට්ටඩි මහතාගේ ඥාති ගෝලයකු ගමට ආ උවදුරකින් ගම ආරාක්ෂා කරගත් අයුරුත්,පසු කාලිනව එය ගමට අමතක වූ කලෙක,එම ව්‍යසනය ඔහු විසින් ම නැවත උපද්දවන්නේ තමා ට පෙර තිබූ තැන නැවත ලබා ගනු වස්ය. ඔහු මුලු ගමට ම මඩ කවන්නේ, මුළු ගමින්ම පලි ගන්නා සෙයකිනි.බහු මානයන් ආරෝපනය කල හැකි අනගි නිර්මාණයකි.

දිය ගොඩ සැම තැන කෙටි කථාවෙහි මිනිස් වාසයේ නෝන්ජලයට, සමච්චලයට ලත් කෙනෙකු, මුහුදු ජීවි ලෝකයේ නායකයකු වීමත් ඊට බල පෑ හේතුත් පිළිබඳ මාධ්‍යවේදීන් දෙදෙනෙක් -එකෙකු මිනිසෙකි - අනෙකා තිමිංගලයෙකි - ගවේෂණය කිරීමත් පදනම්කරගෙන නිමැවූවකි.නව්‍යභාවයකින් හෙබි කෙටි කථාවකි

අනෙක් කෙටි කථා දෙක,කළුවර හා නිබන්ධනාත්මක දඬුවම අනෙක් නිර්මාණ හා සාපේක්ෂව මා සිත ගත්තා අඩුය. මෙහි එන නිර්මාණ සයක්ම යථාර්තවාදි සිමාවෙන් ඔබ්බට විසිරුණු ඒවා ය. එහෙත් නිර්මානකරුවා තම නිර්මාණ වලට එම පාර-භෞතික කැන්වසයම භාවිත කිරීම යුක්තියුක්ත බවට පාඨක සිතේ අදහස් ජනිත වන්නාක් සේ ය.

මා නව කථා වලට සාපේක්ෂව කියවන කෙටි කථා ප්‍රමාණය අඩුය. ඒ අතලොස්ස අතර ද, නිශ්ශංක විජේමාන්නයන් ගේ සියළු එකතු පාහේ ඇතුලත් ය. තමන් තුලම ප්‍රශ්න ජනිත වන ආකර, හාස්‍ය, උපහාසය, උත්ප්‍රාසය ආදිය පාඨක රසාස්වාදයට එකතු කරමින් ප්‍රභත් ජයසිංහ වයඹදිග වැසියකුගේ දින සටහන් ඔස්සේ මහත් විකුම් පා ඇති සේය. ඔහුගේ දෙවෙනි කෙටි කථා එකතුව ද ගෙන කියවීමට මැළි නොවෙමි.

(  2014 අප්‍රියෙල් මස 4 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:

Post a Comment