Friday 3 September 2021

අවනඩුවක සටහන් - එරික් ඉලයප්ආරච්චි

 
අවනඩුවක සටහන් වූ කලි කතුවරයා ගේ සිව්වෙනි කෙටි කතා සංග්‍රහයයි. එය ප්‍රකාශ වූ කලී 2003 වසරේ දී ය.

( කතුවරයා ගේ මෙයට ප්‍රථමව  ප්‍රකාශ වූ, වඩදිය , මල් නැති උයන, ලංකා ගමන, යන කෙටි කතා සංග්‍රහයන් ද, 2015න් මෙපිට මෑත කාලයේ ප්‍රකාශ වූ, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ, චයිනා ටවුම, විශ්‍රාමික පෙම්වතිය, යන කෙටිකතා සංග්‍රහයන් ද කියවා ඇත්තෙමි. එහෙත්, මේ කෙරෙන තක්සේරුව හැකි පමණින්, වඩදිය සිට ලංකා ගමන තක්වා වූ කෙටිකතා හා සැසඳීමක් ලෙස සැලකීමේ දොසක් නැති.)

පහත දැක්වෙන්නේ මෙහි එන කෙටිකතා දහය ගැන මට සිතුනු දෑ, රස විඳි, හෝ නොවිඳි ආකාරයන් ය.

 

පසුම්බිය:  කෙටිකතාව, පුත්තලමේ සිට කොළඹ කොටුවට ගමන් ගන්නා දුම්රිය වාරයක සිදු වූ සිදුවීම් වලට සීමා වේ. ප්‍රධාන චරිතය පෙරේරා නම් වූ දුම්රිය නියාමක වරයෙකි. එරික් ගේ "ලකුණක්" බඳු වූ පුත්තලම ආශ්‍රිත පරිසර විස්තරය මගින් තාත්විකත්වයක් ගෙන දෙයි. දහවල මන්දගාමි, රශ්මියෙන් ඇරඹෙන කෙටි කතාව, ඛේදවාඡකයකින් අවසන් වන්නේ දෙමටගොඩෙන් මෙපිටය. පෙරේරා මහතා ගැන සියුම් විස්තර වලින් පටන් ගත් කෙටිකතාව අවසන් වන්නේ, ඛේදවාඡකයට මුහුණ දුන් චරිත ගැන වැඩි අවදානයකිනි.


විශ්ව විද්‍යාලයක් ආශ්‍රිතව තරුණ කෙල්ලන් දෙදෙනකු අතර පවතින සමීප ඇසුරක් ගැන කෙටි කතාවකි, බිලියඩ් බෝලය. අප කතාව කියවන්නේ මේ එකියකගෙ පෙම්වතාගේ දෘෂ්ඨියෙනි. අනෙක් කෙල්ල තමන් ව අඳුනා ගන්නේ පෝස්ට් මොඩර්නිස්ට් ආර්ටිස්ට් කෙනෙක් ලෙසිනි. කෙටි කතාව ගලායන අයුරෙන් කියවන්නියට සිතෙන්නේ කථික පෙම්වතා සහ ඔහු ගේ පෙම්වතිය අතර තිබෙන ඇසුරට වඩා සමීප ඇසුරක් බෝඩීමේ එකට වසන අර කෙල්ලන් දෙදෙනා අතර පවතින බවකි. කථික පෙම්වතා ට වරෙක තමන් එතැනට අනවශ්‍ය අයෙකු ලෙස හැඟෙනාකාරය පෙන්වා දී ඇති අයුරු අපූරුය. කලා කාරීනිය, සාම්ප්‍රදායික දම්මි-සුගත් නිදර්ශනය භාවිත කොට, තමන් ඊට විරුද්ධව තම අනන්‍යතාව මතු කරලීමට වෑයම් දරන බව උකහා පෙන්වා ඇති කොටසින් පැහැදිලි වෙයි.

අප රචකයා තම කෙටි කතාවට නමක් තෝරා ගැනිමේදි ද, කෙටි කතාවට අවම සම්බන්ධයක් ඇති වස්තුවක් භාවිත කොට ඇති අයුරෙන්, අප කථික පෙම්වතාගේ ද අවම සම්බන්ධය පිළිඹිබු කරන්නා සේය. මා රස විඳි මෙම සංග්‍රහයේ එන සාර්ථකම කෙටි කතාවයි.


මැනිලා බාප්පා කෙටිකතාව එරික් ගේ මෑත කාලීන කෙටි කතා වල ස්වරූපයක් ගනී. එහි කතා හරය ඍජු නැත, බොහෝ අනුකතා සිද්ධීන් මතින් පාදා ගත යුත්තකි. එක් අතකින් මැනිලා බාප්පා ගේ මහා දැනුමේ ප්‍රායෝගිකත්වයක් නැත - එය වාද විවාදයෙන් ඔබ්බට නොයයි; අනෙක එය ක්‍රමයෙන් කල් පැනපු බවක් පෙනෙන්නට පටන් ගනී. තරුණ කුසල් මෙම පැටළුම් සහගත දැනුම් සාගරය මධ්‍යයේ වාද විවාද කරමින් කල් ගෙවා, ක්‍රමයෙන් එහි අසාරත්වයක් ප්‍රත්‍යක්ෂ කර ගනී. අප ජීවිතයේ විටෙක, හඳුනා ගත් අලුත, මහා විශ්මයක් ගෙනෙන පුද්ගලයන්, කාලයක් ආශ්‍රය කරද්දි එම විශ්මිත බව මැකි ගොස් තරමක විකාර රූපී ස්වරූපයකින් ද පෙනෙන්නට පටන් ගනී. මැනිලා බාප්පා අන්තිමට ඈතක සිට බලා අගය කල හැකි කෞතුක වස්තුවක් බවට පරිවර්තනය වේ. ඔහු ට ඇවැසි විටක සභාව අමතා කතාවක් පවා කිරීමට පවා නොහැකි වෙයි. කෙටිකතාව අවසන වද්දි මැනිලා බාප්පාගේ බිරිඳ ගේ ශෝකය කියාපාන්නේ, අන් පාර්ශවයන්ගේ  ද බලාපොරොත්තු බිඳිමින් තම දිවිය ගෙවා ඇති බවකි.

නගරයේ වෙසෙන්නන්ට, තමන් හා ආශ්‍රය කරන අන් අය හා පෑහීම වැදගත් දෙයකි. මිල මුදල් විසි කොට තමන් ට අවශ්‍ය දේ ලබා ගැනීමට උත්සුක වෙයි. ඒ සඳහා, මිල මුදල් අඩු අයෙක් බොහෝ කැපකිරීම් කරනු ඇත. මිල මුදල් විසි කරන්නාට එය තම ජීවිතය රසවත් කර ගැනීමට කෙරෙන තවත් එක් ව්‍යායාමයක් වුව, එම මුදල වෙනුවෙන් කර්තව්‍යය ට මහන්සි වන කෙනා වැඩි මිලක්, අයුතු කැපකිරීමක් කරන අවස්ථා තිබිය හැක. මෙහි එන සාර්ථක ම කෙටිකතාවක් නොවූව ද ඉහත පණිවුඩය ගම්‍ය කිරීමට සමත් නිර්මාණයකි, "අකල් මරණ". මෙහි අකල් මරණයක් සිදුවන්නේ, කාලගුණය නිසාම නොව, තම සමාජ මට්ටම ඔපමට්ටම් කරගන්නා තනනා ගැහැණියකගේ නොවැදගත් බලාපොරොත්තු නිසා ය.

සාර්ථක කෙටිකතාවකට අවශ්‍ය සාරය තිබුන ද, කෙටිකතාවට ඖචිතම හික්මීම, උචිත ලෙස කෙටි නොවීම ආදි ගුණයන් තිබේදෝයි සැක හිතෙන අයුරකින් ගලායන "ගණදෙවි දෙන්නේ නුවණ" යන කෙටිකතාව, මෙහි මා එතරම් රස නොවිඳි කෙටිකතාවකි. මැරයන් පිරිසක් ප්‍රතිමාව උස්සාගෙන යාමේදී අනේක පෙදෙස් වල විස්තර කෙරුන ද ඉන් කෙටිකතාවට එක්කාසු වන දෙයක් නැත. කියවන්නියට සිතෙන්නේ, හරි අරමුණක් නැතුව අරමුණක් අහම්බයෙන් හමුවන තෙක් ඉබා ගාතේ ගමන් ගන්නා කෙටිකතාවක් විලසට ය. කෙටිකතාව අවසානය, එනම් අලුත් දේවාලයක ඇරඹුම හි යම් උත්ප්‍රාසයක් තිබුන ද, එම ස්ථානයට ඒමට යන දුර වැඩි බවකි මගේ අදහස.
 
ආධුනික ලේඛකයෙකු කෙටිකතාවක් රචනයට බලාපොරොත්තු වෙයි. එහෙත්, උක්ත කාලයේ තම ගම් පෙදෙසේ තමන් දකින පෙර නොවූ විරූ ශෂ්‍රීකත්වය, තම ගම ගැන ලිවීමට බාධා කරයි. ඔහු දෘ‍ෂ්‍යමාන නොවූ දෙයක් අනුස්මරණය කරන්නේ, තම කෙටිකතාව විශ්වාසදායි, සහ රසවත් කරලීමේ උවමනාවෙනි. ඔහු ගේ "තනිකම" තම නිර්මාණ උවමනාව මගින් බිහි කල එකකි. කතුවරයාට නිර්මාණ කර්තව්‍යය ගැන ස්වයං පාපොච්ඡාරණයක්, සියුම් ඇගයීමක් කරලීමේ යම් උවමනාවක් මේ කෙටිකතාව තුලින් පෙනෙන්නට තිබුන ද , එය කෙටිකතාවක් ලෙස කෙතෙරම් රසවත් ද යන්න ප්‍රශ්ණකාරීය.

රාජකාරිය, දේවකාරිය ලෙස සැලකුවෙකු හට, තමන් සේවය කල කච්චේරිය පිළිබඳ ඉතිහාසය සෙවීමේ වගකීම බාර කෙරේ. එම ලිපිකරුවා ගේ මහත් උනන්දුවත්, සිංහල පමණක් උගත් දැනුමත්, ඔහුගේ කැපවීමත්, කොළඹ ලේඛනාගාරයේදී යම් ආකාරයෙන් අභියෝගයට ලක් වේ. සර්පයන් ගහන වූ කච්චේරී රෙකෝඩ් කාමරයේ, සමරකෝන් මුලින් විශ්වාසයෙන් යුතුව තම ගවේෂන කල මුත්, පසුව ඔහු එහි එන්නේ යම් තරමක පරාජිත හැඟුමකිනි. එම පරාජයේ සංකේතීය පෙන්වීමක් ද,  "සංස්කෘතික ලිපිකරු" ගේ අවසන් ඉරණම ? මෙහි සංස්කෘතික යන වදනින් එරික් යම් වදන් කෙළියක් කලේ ද යන්න සිතේ.

රැකියාවේ නියැළි කල, පුස්තකාලයාධිපති වරයෙකු ලෙස සේවය කල තිලකසිරිගේ රෝගය මතුවුන කාලයේ ලියැවුණු සටහන් අලලා ලියැවුන්නකි, "අවනඩුවක සටහන්". මෙකල තිලකසිරිගේ ප්‍රියතම කෘතිය වන්නේ පරණවිතාරනයන්ගේ The Greeks and The Mauryas. එම පොත ද එම සුවිශේෂි පුරාවිද්‍යාඥ්ඥයා අවසන් කල ලියූ මහත් ආන්දෝලනාත්මක කෘතියක් බව සැලයි. ලේඛකයා මෙම කෙටිකතව මගින්, ඉතිහාසය සරල ලෙස අර්ථදැක්වෙන අයුරු පෙන්වන්නේ තිලකසිරි නම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයකු ආභාෂයෙනි. ඔහු ව රෝහලෙන් රැගෙන යාමට එන්නේ ද, ඔහු ට යම් වටිනාකමක් මේ අවදියේ දි දෙන්නේ ද, අමුතු පිරිසක් බව පවසමින්, අප කතුවරයා තිලකසිරි තුලින් අන් කෙනෙකුන් පෙන්වනවා සෙයකි. කෙටිකතාවක් ලෙස කතා රසයට වඩා, යම් සැඟවුණු අර්ථයක් මතුකරලීමේ අරමුණින් ලියැවුන්නක් ලෙස සිතිය හැක.

තම වැඩිමහල් සොයුරියගේ තරමක් සාම්ප්‍රදායික මනාලයා අභිමුව, වඩා නිදහස්, හැඟීම් වලට මුල් තැනක් දෙන පෙමක් ගැන බාල සොයුරිය විශ්වාස කරන්නීය. එහෙත් තම  සිහිනය බාල එකක් බව ඇයට් පසක් වන්නේ, තමන් ම වියදම් කරන සාදයක දී තම පෙම්වතා ඇගෙබ් අයුතු ප්‍රයෝජනයක් ගන්න සැරසෙද්දී ය. ("දෙවෙනි සාදය")

අනිලා වඩාත් නූතන තරුණියකි. මට අනිලාගේ චරිතය කියවන් යද්දි, මතකයට ආවේ නිම්නාව ය. ඇය, තමන් ගත් තීරණය ගැන පසු නොතැවෙන්නීය - ඇගේ එක් තීරණයක් හේතුවෙන් තමන් හා තම පෙම්වතා ලත් සතුට මතක් කරලීමෙන් සතුටු විය හැකි ඇය, ඒ හේතුවෙන් ම එම පෙම්වතා ගැන බලාපොරොත්තු තබාගැනීමට සැරසෙන්නියක් නොවේ. එලෙස ම තම විවාහක මිතුරියන් ඇය ගැන සිතා සිටින අයුරු බිඳීමට හදිසි නොවන්නී, තමනට වඩාත් උචිත තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇත්තියකි. ("සුදු කඩදාසි පරවියන්")

මෙහි එන බිලියඩ් බෝලය නම් වූ කෙටි කතාව ඉතා සාර්ථක වුව ද,  ගණදෙවි දෙන්නේ නුවණ ආදි නිර්මාණ යම් තරමකින් දිශානති වෙනස් කරලමින් ද අරමුණකින් තොරව මෙන්, ගලා යාමේ ගතියක් කියවන්නියට දැනේ. ඊට අමතරව සුදු කඩදාසි පරවියන්, සංස්කෘතික ලිපිකරු, මැනිලා බාප්පා, පසුම්බිය, ආදි කෙටිකතා ද රස වින්දෙමි. එහෙත්, සමහර නිර්මාණ ඔහුගේ මීට පෙර ප්‍රකාශ වූ කෙටි කතා තුන ( වඩදිය-1990, මල් නති උයන -1992, ලංකා ගමන - 2001), හා සසඳද්දි, කෙටිකතා වල යම් දිශානති වෙනස් කරමින් ඇදී යන ආරක් පෙන්නුම් කරයි. එය කතුවරයා සිතා මතා කරන්නක් විය යුතුය - එහෙත්, ඉන් කියවන්නිය ලබන රසාස්වාදය ට බාධාවක් වන්නේ ද යැයි සිතේ. එය පාඨකයින් ලෙස අපේ සිමාසහිත බවක් වන්නට ඉඩ ඇති බවද පිළිගන්නට සිදු වේ. එම දිශානති ඔස්සේ ගොස් කෙටිකතාව අවසන් වන ආකාරය විශ්වාසනීය යැයි නොසිතෙන අවස්ථා  ඇත. "අවනඩුවක සටහන්" කෙටිකතවේ පරිදි,  කතාන්දරයකට සීමා නොවී, වෙනත් චරිතයක් ගැන කියවීමක් කතුවරයා ගේ අභිලාෂය  වන්නට පුළුවන. එරික් ගේ කෙටිකතා වල ශෛලියන් ගැඹුරින් අධ්‍යයනය කරලීම ඇවැසි බවකි, මෙවන් අවස්ථා වලදි අපට හැඟෙන්නේ. දැනට අපට කිව හැක්කේ, සාමාන්‍ය, සීමිත කියවීම් පරාසයක් ඇති පාඨකයකු ලෙස මෙය පෙර කී කෙටිකතා සංග්‍රහයන් තුන තරම් රස නොවිඳි බවකි.

ශ්‍රේණිය: ***1/2
ශානරය: කෙටිකතා
ප්‍රකාශක: ගොඩගේ (2003)

No comments:

Post a Comment