Sunday 26 September 2021

රාත්‍රියේ පූර්ව භාගය - අජිත් තිලකසේන

මීට වසර හයකට පෙර මා තිලකසේනගේ "පිටුවහල් කර සිටිද්දි" කියවුවෙමි (https://me-and-err.blogspot.com/2021/09/blog-post.html ) . ඒ කෘතිය ගැන එතරම් ප්‍රසාදයක් ඇති නොවිණි - ( නැවත අද කියෙව්වොත්, ඒ ගැන ඇති අදහස් තරමක් වෙනස් වන්නට පුළුවන. ) ඔහුගේ කෙටිකතා සංග්‍රහයක් නැවත අතට ගැනීමට මෙතරම් කාලයක් ගත වූයේ  ඒ නිසාම විය යුතුය. එහෙත් මේ වන විට ඔහුගේ නැවත මුද්‍රණය වී ඇති සියළු කෙටි කතා එකතූන් මිලට ගැනීමට මා පෙළඹී ඇත ( සතුරෝ හි පිටපතක් මා සතුව නැත; එය වෙළඳපොලේ ඇතැයි නොසිතමි). කතුවරයා ගේ බොහෝ සංග්‍රහයන් වල මෙන් මෙහි ද ඇත්තේ කෙටිකතා හතරකි. ඒ ගැන මගේ වැටහිම ( සහ ඊට වැඩියෙන් නොවැටහීම) මෙසේය
 
පේමෙල් ආවට පස්සේ: කතුවරයා ගේ "පිටුවහල් කර සිටිද්දී" කෙටි කතා සංග්‍රහයේ එන කෙටිකතාවක් මතකයට නැංවීමට සමත් වූ මෙම නිර්මාණය, නාගරික තරුණයන්ගේ අසහනය, කතුන් ඉදිරියේ පරාජය, තම සතුරා තරඟබිමින් තුරන් වෙතැයි හැඟවුණු බලාපොරොත්තුව  ආදී චෛතිසිකයන් පෙන්නුම් කරලීමට සමත් ය. තම රැකියාවෙන් මෙපිට බෝඩිංකාරයන් වශයෙන්, කාලය ගෙවා ගැනීම ඔවුනට ප්‍රශ්ණයක් ව ඇත්තේ තම අසහනකාරී මානසිකත්වය හේතුවෙනි. අසහනය තීව්‍ර කරන තම කාමරය තුල කාලය ගලා නොයද්දි, පිටත ලෝකය ඔවුන්ගේ ජීවිත පසු කර යන බව ඔවුන් දනිතත්, ඒ ගැන තීරණයක් ගැනීම ඔවුන් කල් දමති. මේ සියල්ල කෙටි කතාව තුල කියවෙන්නේ ඉතාම අපූරු, අවම කතාන්දර ස්වරූපයකිනි. මෙම කෙටිකතාව යම් තරමකින් තේරුම් ගැනීමට නම් ( තේරුම් ගැනීම යන්න ම තිලකසේන විෂයෙහි විවාදාත්මක කාරණාවකි - "රුද්‍ර රාත්‍රියේ" එන විස්තර බලන්න), කෙටිකතාව කියවාගෙන ගොස්, ඒ කියවන අතරේ තේරුම් ගැනීම ට යත්න නොගෙන, කියවීම අවසන ඒ වෙත සමස්ත නෙතක් යොමුකරලීම සුදුසු බවකි පෙනී යන්නේ. එම අදහස මට ලැබුනේ අමරකීර්තිගේ "කෙටිකතා කලාව" නම් ශස්ත්‍රීය කෘතිය යම් ආශ්‍රේය ග්‍රන්ථයක් ලෙස භාවිතයෙනි

රුද්‍ර රාත්‍රිය: කතුවරයා භාවිතා කරන අක්ෂර වින්‍යාසාකාරයෙන් යුනිකෝඩ් භාවිතාවෙන් මෙම කෙටිකතාවේ නම ලිවිය නොහැක. පිටු 22ක් පුරාඅ දිගැදෙන මෙම කෙටිකතාව මෙහි එන දීර්ඝතම නිර්මාණයයි. විවෘතව පැවසුවහොත්, "මොන මගුලකට මම මේ දුක විඳිනවා ද?" යන අදහස කිහිපවිටක්ම සිතට ඇතුලත්ව, ඉන් පෙළෙමින්, කල ආයාසකාරී කියවීමකි. මෙම කෙටිකතාව තුල සුපින දෙකකි. දෙවෙනි සුපිනය පිටු 12කි. 1971 ලියැවී ඇති මෙම කෙටිකතාවට, මෙම සුපිනය තුල 71 කැරැල්ලේ යම් ආභාෂයක් සිදුව ඇත්තාක් මෙනි. එහෙත් මෙම සුපින විස්තරය ඇත්තෙන් ම දීර්ඝ වැඩිය - ඒ කියවන්නිය වෙහෙසට පත්වන නිසා ය. මුල දී රජයේ හමුදාව සතුරන් ලෙස විප්ලවකාරී පිළ නියෝජනය කරන අපේ කතානායකයා තම සිහිනයේ දුටුව ද, තම සිතට වදදෙන සැබෑ හතුරා සිහිනයෙන් අවදි වත් ම ඔහු දකී.  මෙහි එන කතා නායකයා ගේ බිරිඳ ගේ යම් ආකර්ශනයක් ඇතැයි සිතිය හැකි කවියෙකුට හිරිහැරයක් කරලීමේ රහස් සතුට එම සුපිනය අගදී විස්තර වේ. 

ඉහත උපුටනය මා ගත්තේ ජස්ටින් පියරතන ලියූ "අජිත් තිලකසේන: ප්‍රතිභාසම්පන්න කලාකරුවකුගේ පරස්පර විරෝධය" නම් වූ ලිපියේ එන තිලකසේනගෙම උපුටනයකිනි ( නව දෙබස - අංක 1 : 1974). ඔහු තවදුරටත් පවසන්නේ, කලාකෘතියක චමත්කාරය විඳිනු මිස අර්ථය සෙවීම මුග්ධකමක් බවටය.

ඇස් අඩංගුවෙ, අත් අඩංගුවෙ: මෙම නිර්මාණය ආරම්භයේදී මැවෙන චිත්‍රය, එනම තරුණයෙකු හා තරුණියක, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ව පිහිටි මහල් නිවෙස් දෙකක සිට, අරමුණකින් තොරව කෙරෙන කතාබහ මා සිත ගත්තේය.

"'ගෙ හුස්ම ගන්නව. ඇහුනද? කවුලු ඔක්කොම ඇරල දාන්ඩ.'
...
'හඳේ ඡායාව වැටෙන්ඩ වතුර වීදුරුවක් අල්ලන්ඩ' ඈ මා දිහා නොබලාම කිව්වා. ඊට පස්සෙ - හඳ බැහැල ගියාට පස්සෙ - ඒ මැරිච්ච වතුර ටික වලලන්ඩ'"

1972 ප්‍රකාශ වූ කෙටි කතාවක් ලෙස, තට්ටු නිවාස ආශ්‍රිත පෙමක්, සිංහල නොවෙන කාන්තාවක් යැයි හැඟෙන නමක් , සම්භෝගයක් ඉඟි කරමින් සිදු කෙරෙන නිමාව පමණක් නොව, කෙටි කතාව ගලා ගිය ආකාර දෙකක ට අවකාශ තබා ඇත. තට්ටු නිවාස ජීවිතය, මිශ්‍ර සම්භවයන් ආදියෙන්, මෙය ලියැවුණු කාලයට යම් නවීනත්වයක් ඉඟි කරයි. මෙහි එන වෙඩි ලනුව ඇවිලීමේ උපමාව අගනේය.

මගේ සිහිනත් ඉරිතලා යන ක්ශනයෙන් දුම් කුලුන වා ගැබේ ගුගුරා උඩ ගියා (පිපිරුම විසාලයි. එහෙත් නිදි පෙති ගිල දමා නිදා සිටියවුන්ට එය නෑසුනා වෙන්න පුලුවන්.) මගේ දත් ඇඳි තද වීගන යනවා මට දැනුනා."

රාත්‍රියේ පූර්ව භාගය:  මෙම මුළු කෙටිකතාව කියවා අවසන, නැවත ඒ දෙස  දුරක සිට සමස්ත ලෙස බලන්නට වෑයම් කෙරුවෙමි.  රොවිනා ගේ කුසේ දරු ගැබක් පිළිසිඳගැනීමත්, ඉන් පසුව ඇති වූ අවාසනාවන්ත සිදුවීමත්, අප කෙටි කතාව ලියැවී ඇති අයුරින් තේරුම් ගත යුතුය - හෙවත්, එම සිද්ධිය ඒ අයුරෙන් ම ලියැවී නැත. ලියැවී ඇත්තේ, එම සිද්ධිය තුල ජීවත්වුවන් ඒ වේලාවේ විඳි වික්ෂිප්ත අත්දැකීම් වල හැලහැප්පීම්, වර්ණ, ශබ්ද, ගඳ සුවද තුලින් පමණය. ඔවුන් දෙදෙනාගේ මතු දිවිය දෙයාකාර විය හැක. පසුතැවෙන බිරිඳක් හෝ, පසුතැවෙන සැමියෙකු නොඉවසන බිරියක් ලෙස ඉන් කොයික හෝ විය හැකිය.

මට හැඟෙනාකාරයෙන්, කතුවරයා ගේ තැත මට යම් තරමක් වැටහෙ. කෙටිකතාව කියනාකාරය, පාත්‍ර වර්ගයා ගේ විඥ්ඥාණය, සහ ආකෘතිය මගින්, කීමට ඇති දේ යම් තරමකින් තීව්‍ර කොට පවසනාකරයකි, ඒ. එහෙත් ඒ ආකාරයෙන් පාඨකයා යම් වෙහෙසකට පත් වන බව නම් අවිවාදිතය. පාඨකයකු ගැන නොසිතන ලේඛකයකු සිටිය හැකි ද ? කතුවරයා ආවේශයෙන් මෙන් ලියන ලියවිල්ලක් තුලින් පෙර කි ලෙස , එහි පාත්‍ර වර්ගයාගේ හැඟීම මතින් නිර්මාණයේ සමස්තය ඔස්සේ යමක් තේරුම් ගැනීම, සූර නිර්මාණ ශෛලියක් විය හැක.
නිදසුන: කැමූ ගෙ පිටස්තරයා කෘතියේ ම'සො අරාබියානුවාට වෙඩි තැබුවේ ඇයි යැයි කියා ඔහුට ද හරි හමන් වැටහීමක් නැත - සියළු සිදුවීම් එතැනට ඔහු තල්ලු කලා කියා පමණි අපට සිතිය හැක්කේ. ම'සො ට කිව හැක්කේ "ඒ ඉර අව්ව, ඒ ඉර අව්ව!!" කියා පමණි. එහෙත් ම'සෝ ගෙ සමස්ත හැසිරීමේ ඇති සාන්දෘෂ්ඨික ආතතිය අපට වැටහේ. කැමූ ද අපට පෙළින් පෙළට කතාන්දරයක් කියන්න පෙළඹෙන්නේ නැත. ඔහු පවසන්නේ ම'සෝ ඒ ඒ දින අත්විඳි ආකාරයයි (තම දෑත් සේදීම, ප්‍රේමවන්තිය කාමරයට පැමිණීම, පාරේ යන අයට අත වැණීම).

අන් ආකාරයෙන් මා පවසන්නේ, තිලකසේන සිය ආකෘතිකවාදී ශෛලියෙන් අපට නිර්මාණය ගෙන ඒමේදී, කෙතෙක් පාඨකයා ගැන සිතන්නේ ද, තනිකර නොසිතන්නේ ද, පාඨක අප කටු කැලයක් මැදින් මෙන් ගැහැට විඳ, ඔහු එය කියනාකාරය ඔස්සේ,  කියවන දේ දැකීමේ අභ්‍යාසයක යෙදීමට විනීත විය යුතු ද යන්නය. මේ ප්‍රශ්ණ අසන්නේ අප විෂයක් ලෙස සාහිත්‍ය හදාරා නැති නිසා විය යුතුය.

අජිත් තිලකසේනගේ කෙටිකතා ගැන දීර්ඝ ව සාක්ච්ඡා කෙරුණු අවස්ථා ද අඩු බැව් පෙනේ. අමරකීර්තී "පෙමෙල් ආවට පස්සෙ" ගැන සිය "කෙටිකතා කලාව" පොතේ තරමක් දුරට කතාකරයි. එම කෘතියේ ම අන් තැනෙක මෙසේ කියයි.

342 පිටුවෙන්, කෙටිකතා කලාව - ලියනගේ අමරකීර්තී (සරසවි, 2018)

මේ තේරුණත් නැතත් ලැබෙන මිහිර මට සංගීතයෙන් ලබා ගත හැක. ජෑස් සංගීතය තරමක් මා විඳිනුයේ සංගීත දැනුමකින් තොරවය. බටහිර ජනප්‍රිය සංගීතයේ, රොක් සංගීතයේ විශේෂයෙන්, මේ සඟවා ඇති අර්ථයන් බොහෝය. මත්ද්‍රව්‍ය, මත්ද්‍රවය හා ඔවුන් සමඟ ඇති පෙම හා වියෝව අතර ගැටීම, බොහෝ විට සොයා ගත හැක්කේ, පරීශරමයක් දැරුවෙකුට පමණකි. එහෙත් එම අර්ථය වටහා ගැනීම බොහෝ විට සිදුවන්නේ පසුවය - ඒ ගීතයේ අර්ථය වටහා ගැනීමට පෙර ම ඇති කර ගත් බැඳීම හේතුවෙනි. එහෙත් සාහිත්‍යය විෂයෙහි මෙම "තේමාත්මක ආලෝක කණිකා" දැක ගැනීමෙ හි ලා මා තවමත් සමත් වී නැති විය යුතුය. හැරත් දෛනික ජීවිතයේ තර්කයට  හා න්‍යායට වඩා ආනත පුහුණුවීම ලත් අප වන් අයට, නොතේරෙන ලියවිල්ලක් එහි ආකෘතියක ඇති රසය හේතුවෙන් විඳීම තරමක් නුපුරුදු යැයි හැඟේ. මේ මත ට ආර්ථික න්‍යායන් එක්කාසු වූ විට, එනම් අපට ඇති සුළු වූ කියවීම් කාලය ආයෝජනය කල විට ලැබෙන ප්‍රතිලාභය කුමක් ද යන ආවස්තික පිරිවැය ප්‍රශ්ණය අද වන් කාලෙක සමීකරණයට ඇතුළු වීම නොවැලැක්විය හැකි යැයි සිතමි. එවිට  පිළි වලින් වැසුනු පිලිස්තීනුවෙකු, තම දෛනික දිවියට බාධාවක් නොවෙන ලෙස සාහිත්‍ය රසය හා අඟර පෑමකින් මෙපිට දෙයක් අප තුල නැති බව පිළිගැනීමට මැළි නොවෙමි.

ශ්‍රේණි ගත කිරීම: ***
මුල් ප්‍රකශය: 1976; මෙම ප්‍රකාශනය: තෙවැන්න - සරසවි (2019)




No comments:

Post a Comment