Wednesday 29 September 2021

සැඳෑ සක්මනක සැහැල්ලුව - පියල් කාරියවසම්

 

 


ලේඛකයාගේ මා කිය වූ තෙවෙනි කෙටි කතා සංග්‍රහයයි. විශේෂයෙන් "කුරිරු සුරංගනා කතාවක්" සංග්‍රහයෙන් කතුවරයා ගැන ඇති වූ විශ්වාසය තව දුරටත් සනාථ කරනා ආකාරයේ විශිෂ්ඨ සංග්‍රහයකි. කෙටි කතා අට වෙත යොමු වන්නේ නම්;


දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති:

"නියං සාය දික් වෙන්ඩ දික් වෙන්ඩ වැඩියෙන් පල ගන්න පළතුරක් දිවුල්..."

නිල්ගල වනාන්තරය පෙනෙන ඉසව්වේ, දවාලන තරම් නියං සාය කාලයේ, ජීවිතය හා හැපි පරාජය වන මිනිසුන් ය. අප කථිකයා ඉන් බේරි, උසස් අධ්‍යාපනයේ පිහිට පතන බවක් ඇඟවේ. ඔහු ජන්මයෙන් ම "උදාසීන චර්යාවකට ඇඟෑලුම්කමක් දක්වන" බව කීමෙන්, ඔහු වැනි අය කය වෙහෙසා, ඒ වෙහෙසට ද පල ලබා ගැනීමට ද නොහැකි එම පෙදෙසේ විසීම කල නොහැක්කක් බව අපට හඟවයි.  කෙටිකතාව කියවන විට,
එම වටපිටාවේ ගිනියමත් ඇස් පුංචි කරවන දැඩි අවු රස්මියත් පිටු අතරින් කියවන්නියට විඳින්නට වන ආකාර රචනයකි, මෙය.  (කියෙව්වේ 31/08/2021; අවනඩුවක සටහන් යටතේ වූ කෙටි චිත්‍රපටිය නැරඹීමට පෙර )

සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා: බළලෙකුට, ඌ "හොරා කන්නේ" කාගෙන් ද යන්න අවැදගත් ය. ඌ අවස්ථාව ලත් විට හොරා කෑමට හැකි කාගෙන් වුව හොරා කයි. අප කතා නායකයා  අවසන, තමන් වට පිට සියළු දෙනාම බළල් වළිග සමඟ දකිනුයේ, ඇයි දැයි යන්න පැහැදිළිය. කතුවරයා පෙන්වන වත්මන් යථාර්ථය අහිකුණ්ඨිකයාගෙන් වුව හොරා කන සමාජයකි.  අප කතා නායකයා, පොත ට පත ට දර්ශනය ට ම දිවි නතු කරමින්, වත්මන් සමාජය කෙරෙහි නොතකන අයෙක් ලෙස පෙන්වා ඇති අයුරු අපූරුය.
( කියෙව්වේ 06/09/2021; "අමුතු කතාවේ" එන සඳහන හේතුවෙන්)

ගිරි තරණයට පෙම් බැඳි දිවියා: සංග්‍රහයේ එන පළමු කෙටිකතාව වන මෙය, කියවීමේ කුතුහලය පවත්වා ගත්ත ද, මෙම සංග්‍රහයේ එන අනෙක් කෙටි කතා තරම් සාර්ථක යැයි නොසිතේ. මෙහි තරමක අතිශයෝක්තියක්, එනම් ආත්මානුකම්පාවක් නැගෙනාකාරයෙන් ලියැවී ඇත්තෝදැයි සිතේ. බසයේ සිදු වු දේ, අම්මාගේ ලිපිය ආදිය එක්කෝ අතිශයෝක්තියකි; නැතිනම් සුලභ කාරණාය.
( කියෙව්වේ 07/09/2021; "අමුතු කතාවේ" එන සඳහන හේතුවෙන්)


බිත්තර වී:
මෙහි එන කතාව එතරම් දුර්ලභ නොවන්නට පුළුවන. එසේ දුර්ලභ නොවීම අප වෙසෙන සමාජයේ පීඩිත පංතිය, සමාජයක් ලෙස අප රට සමස්ත ජනතාවගේත්, වෙසෙසින් මෙතෙක් පිහිටි රජයන්ගේත් අසංවේදීබවේත් අසාධාරණත්වයේත් සලකුණක් මෙනි. ඒහෙත්, ඒ සුලභ ඒත් අසරණ කතාව විශිෂ්ඨ කෙටිකතාවක් බවට පරිවර්තනය වන්නේ, අප ලේඛකයා භාවිතා කොට ඇති අපූරු රූපන හේතුවෙනි.

වැසි කාලයට පමණක් දිය බොන්නට ලැබෙන කෑදත්තා සහ අන් අය අසරණ වූ විට තම පිපාසය සංසිඳුවා ගන්නා මිනිස් සත්ත්වයා අතරින් කෑදැත්තා උතුම් බව පැහැදිලිය.






සදාකාලික හුදෙකලාව:
රෝගීව ඇඳ ට සීමා වූ මහල්ලෙකුගේ දෘඨිකෝණයෙන් ලියැවී ඇති මෙම කෙටිකතාව ඇත්තෙන්ම, අප ට නොසිතෙන දෘෂ්ඨිකෝණයකින් ජීවිතය ගැන සිතීමට අපට බල කරන්නකි. රෝගියාගේ මොට වූ ඉන්ද්‍ර්‍රීයයන් මෙන්ම, වඩා සංවේදී වූ ඉන්ද්‍රියයන් ද, ඔහුගේ දරුවා ඔහු විඳින දුක හා අපහසුතා ද, තමන් පෙර කලෙක ගන්නට වූ තීරණයන්හි මුග්ධ බවද ආදී වශයෙන් විවිධ සංකිර්ණ සිතුවිලි ඔහුගේ සිතෙ වෙසෙයි.

මායාවී ඇහැල මල්: දෙපාපියනට දරුවකුගේ ප්‍රාණය මෙන් වටිනාවූත්, ඒ නිසා ම ඒ ගැන කතා කරන්නටත්  බිය විෂයකි. දරුවන්ගේ මරණයන් ගන සඳහන් වන බව දන්නා නිසා ම මා කියවීම කල් දමනා සිංහල නවකතා දෙකක් ( හැන්දෑව; අස්වැන්න ). දරුවෙකු ට ද මරණය යන්න තේරුම් ගැනීම අපහසු, සිතට වදදෙන කාරණයකි. පියෙකු තම දරුවාට ඇති සෙනෙහසත්, ස්වාභාවික ලෙස සත්‍ය අවබෝධ වීමට ඉඩ දුන් තැතක් හේතුවෙන් ඇති වූ පසුතැවීමක් ගැනත් ඉඟිකරනා කෙටිකතාවකි.

ගිනි ගත් පිහාටු පෑන: මෙම කෙටිකතාව මට කතුවරයාගේ එකම නවකතාව වන වීදුරු කුඩු කැවුණු කලෙක මතකයට නැංවීය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කල සමීප මිතුරන් වුව ද, අප කථක යම් තරමක අසංවේදිබවකට හුරු ව තිබූ බවත්, අප කථකයා දුටුව දෙයින් ම, තම මිතුරා වන ධර්මේ ඔහුගේ අවසානය තෙක් ම ගෙනයාමට තරම් බලපෑමක් කල බවත් පැහැදිලිය. අවශේෂ කාරණවක් ලෙස මේ කාලයේම, හෝකන්දර තනි පවුලක කිහිප දෙනෙකුගේ ඝාතනයන් ද සිදු වූ බවට තේරුම් ගත හැක. එලෙසම මේ පොත කැප කරන අජිත් තිලකසේනයන් මතකයට නැගීමට සමත් කෙටි කතාව ද මෙය ම ය.

සැඳෑ සක්මනක සැහැල්ලුව: විශ්‍රාම ලත් ගුරුවරයෙකු වූ හෙරත් මහතා ගේ දින චරියාවත්, කාලයත් සමඟ ඔහුට නැති වූ සිය පුතු, බිරිඳ ඇතුළු අය ගෙ මතකයන් සමඟ පාළුවට ගියෙ නිවෙසේ විසීමට දැරූ තැතත් විස්තර කරනා මෙම කෙටිකතාව ඊට ම අනුකූල සියුම් රිද්මයකින් සපිරිය.

මෙම කෙටිකතා සංග්‍රහයේ දුර්වල යැයි කිව හැකි කෙටිකතාවක් නැත. එහෙත්, සදාකාලික හුදෙකලාව, ගිනිගත් පිහාටු පෑන, බිත්තර වී, සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා, සහ දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති, යන කෙටිකතා ඇත්තෙන්ම විශිෂ්ඨය. මෙය පොත් කියවීම හරහා ම මුණ ගැහුණු හෂිතගෙන් තෑග්ගක් ලෙස ලැබුනේ මීට වසර පහකට පෙර ය - ඒ සිංහල කෙටිකතාව ගැන කතාබහක ප්‍රතිඵලයක් ලෙස විය යුතුය.  මෑතක මෙය කියවීම ඇරඹුවේ, අවනඩුවක සටහන් ඒකාංගීය ටෙලි චිත්‍රපටි මාලාවක් නැරඹීමට ප්‍රථම, ඊට මුල් වූ කෙටිකතා කියවීමට ගත් තැතේදීය. ඊට අමතරව මේ දින වල ගාටා ගාටා කියවන ( ඒ පොත් දෙකම කවරෙන් කවරෙට කියවාවි යැයි විශ්වාසයක් තවම මා සතුව නැත), අමරකීර්තිගේ අමුතු කතාව සහ කෙටිකතා කලාව, යන පුස්තක දෙක හේටුවෙනුත් මෙහි සමහර කෙටි කතා කියවීමට යොමු වීමි. ඉහත කාරණා දෙක මත කෙටි කතා හතරක් පමණ කියවා අවසන් වද්දී, ඉතඋරුව තිබුනේ මේ පිටු 76 කුඩා පොතෙන් බාගයක් පමණ කියවන්නටය. කෙටිකතා කිහිපයක් ම මොනරාගල, බිබිල ආදී පළාත් පසුබිම් කොට ගෙන ඇත. එහි කැලෑ සුවඳ, ඉදුණු දිවුල් සුවඳ, වියළි සුළඟ ඇඟට දැනෙනාකාරයෙන් ලියැවී ඇත ( බිත්තර වී, සැඳෑ සක්මනක සැහැල්ලුව, දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යතී.). ඊට අමතරව, තරඟකාරීත්වය, තමන්ගේ පැවැත්ම පමණක් ම වෙනුවෙන් ජීවත් වීමට පුරුදු වූ මිනිසුන්ගේ අසංවේදීතාවය නිදර්ශනය කරනා කෙටිකතා ද කිහිපයක් ම ඇත ( සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා, ගිනි ගත් පිහාටු පෑන). ( කතුවරයා පළ කල තුන්වෙනි කෙටිකතා සංග්‍රහය වූ, ආචාරි සීයා දුටු දිදුලන අන්ධකාරය, සංග්‍රහය තවම කියවා නැත - කියවීමට පිටපතක් සොයා ගැනීමට ද නැත.)

සිංහල කෙටිකතාවට කැමති අයට සොයාගෙන කියවීමට කිසිදු සැකයකින් තොරව අනුමත කරමි. 

ශ්‍රේණිය: *****
මුද්‍රණය: 2003 ( ගොඩගේ )







No comments:

Post a Comment