Saturday 25 September 2021

පිටුවහල් කර සිටිද්දි - අජිත් තිලකසේන

 

( 2015 අගෝස්තු 29 දින මුහුණුපොතේ, "පොත් කියවන අය" කණ්ඩායමට ලියූ සටහනකි. සංස්කරණයකින් තොරව නැවත මෙතැනට පිටපත් කලෙමි )


**1/2
මේ කෙටි කතා එකතුව කියවීමට පෙර, ලේඛකයාගේ එක් කාව්ය සංග්රහයක ට පමණක් කියවීම සීමා වී තිබීම නිසා, මේ මා කියවූ ඔහු ගේ පළමු කෙටි කතා එකතුව යි. මුලින් ම 1964 දී නිකුත් ව තිබූ මේ එකතුවේ මා සතු ව ඇත්තේ තෙවෙනි මුද්රණයයි.
කෙටි කතා එකතුවේ පටුනේ සිට ම පාඨකයා තුල යම් අවුලක් ඇති කරවන සුළුය. කිමද, වරහන් තුල කෙටි කතා හතරක් ලෙස හඳුන්වා දුන් මේ එකතුව, පටුනේ යොමු 11කින් සහිත වීමය. මෙහි පළමු කෙටි කතාව නම් වචනයේ පරිසමාප්තයෙන් ම කෙටි කතාවකි (එය නමින් තනිකඩයා ය ). එය ට නැවත පසුව යොමු වෙමි.
ඉදින් අනෙක් කෙටි කතා දහය ( හෝ තුන ) කෙසේ ද ?
මා මෙසේ කියන්නම්. පැලක් හා ඒ අසල සිටිනා මිනිසෙකුත්, වර්ණ සංයෝජනයක් තුලින් කර ඇති සිතුවමක් සිතින් මවා ගන්න. එම චිත්රය දෙස බලන්නෙකු මනසේ යම් භාවයක් උපදනා බව සැබවි. එහෙත් චිත්ර ශිල්පියා සිතා මතාම මිනිසාගේ මුහුණ අපැහැදිලිව චිත්රණය කර ඇත. සිතුවම් කර තිබෙන පැල වුව වැඩි මනක් කියා නොපායි. අපිට අදහසක් ගත හැක්කේ ශිල්පියා භාවිත කොට ඇති වර්ණ සංයෝජනයෙන් පමණි. තිලකසේන ගේ මේ කෙටි කතා එකතුවේ දෙවැන්නේ සිට එකොලොස්වැන්න දක්වා කෙටිකතා ද මෙවන් චිත්ර ලෙස මට හැඟේ. තිලකසේන නම් කතුවරයා, සිත්තරාගේ වර්ණ වෙනුවට දෙබස් භාවිතාවෙන් පාඨක මනසේ භාවයන් ජනිත කරවයි. මා තැනෙක කියවා ඇත්තේ, තිලකසේනයන් තමා ලියනා දෑ හි අරුත් සෙවීමට වඩා, ලියා ඇති ආකාරය දෙස පාඨකා වැඩි අවදානයක් යොමු කිරීමට නිර්දේශ කොට ඇති බවකි. වර්තමාන, වෙසෙසින් බටහිර රොක් සංගීතය මේ ක්රමය බෙහෙවින් භාවිත කරයි. පර්ල් ජෑම් (Pearl Jam )රොක් කණ්ඩායමේ ගායක, එඩී වෙඩර් (Eddie Vedder ), ආර්.ඊ.එම්. (R.E.M.) රොක් කණ්ඩායම "Rock n' Roll Hall of Fame" නම් රොක් කණ්ඩායම් අතර වැඩිම කාලයක් තුල වැඩිම ආභාෂයක් කර ඇති කණ්ඩායම් තුලට ඇතුලත් කර ගනිද්දි පැවසුවේ, තමන් 1980 මුල් කාලයේ සිට R.E.M. කණ්ඩායමේ සංගීතයේ දැඩි රසිකයෙක් බවත්, ඒත් ඔවුන්ගේ කියනා මෙලො මලදානයක් ඔහුට කවදාවත් නොවැටහුණු බවවත් ය. එනම් භාවයන් ඉපැද්දවීම, සංගීතය ට, එහි ශෛලීයට හා ගායනය ට අයත් ය. බෙහෝ පද පෞද්ගලික බැවින් පුළුල් පාඨක පිරිසක ට දුරස් ය. තිලකසේන අන් අයුරකින් කියන්නේත් එයමය. එහෙත් ඔහු තම නිර්මාණ සඳහා භාවිත කොට ඇත්තේ අවම අමු ද්රව්ය ප්රමාණයකි. බොහෝ විට ඒවා දෙබස් වලින් මෑතට නොයන තරම් ය. එය බොහෝ සෙයින් දෙබස් ය. තැනෙක වටපිටාව විස්තර කරතත්, එය ද අවුල් ජාලාවකි (උදා - තට්ටු නිවාසය, දයාල්, මහපොලොව ). ඉතින් එවිට ඒ කෙටි කතා නිර්මාන සාර්ථක ද?
මෙහි තනිකඩයා නම් වූ මුල් කෙටිකාතව ගැන ද යමක් කිව යුතුය. එය ඇල්බට් කැමූ ගේ "The Outsider" නවකථාවෙන් අතිමහත් ආභාෂයක් ලබා ඇති බැව් පැහැදිලිය. කෙතෙරම් ද යත්, එම නවකතාවෙන් කොටසක් කේක් කෑල්ලක් මෙන් කපා, එය විශාලනය කොට ඒ දෙස බැලුවහොත්, අපිට තිලකසේන ගේ "තනිකඩයා" දැක ගත හැකි වනු ඇත. ඉන් තිලකසේ න ගේ එම කෙටි කතා ව අසාර්ථක එකක් යැයි නො හඟවමි.
සාරාංශ වශයෙන් කිව හැක්කේ, මා මේ කෙටි කතා එකතුව කියවීමට උත්සුක වූවේ, වෙනස් ආරක රචනා මාර්ගයක් භාවිත කරයි කියැවෙන තිලකසේනයන් ගේ අපූරුත්වය අත්විඳිනු පිණිස ය. වෙනස නම් දිටිමි. ඒත් අපූරත්වය මට මේ කෙටි කතා එකතුව හරහා නම් ග්රහණය් නොවිණි. තිලකසේන මෙන් සාහිත්ය ක්ෂේත්රයේ බොහෝ ඇසූ පිරූ තැන් නැති මගේ ම පරහක් විය යුතු යැයි සිතමි.

No comments:

Post a Comment