Sunday, 12 September 2021

කෛලාස කූටය - එරික් ඉලයප්ආරච්චි

 


2005 වසරේ ප්‍රකාශ වූ කතුවරයාගේ පස්වැනි කෙටිකතාවයි. මෙම සංග්‍රහයේ කෙටි කතා 13කි. ඒ වන තෙක් කතුවරයා එක් සංග්‍රහයකට ඇතුලත් කල වැඩිම නිර්මාණ ගණන මෙයයි. මෙහි කෙටිකතාවලින් තුනෙන් එකක් පමණ කාලීන සමාජ දේශපාලන කාරණා මත ලියැවුණු ඒවාය. ඒ අනුව  ජාතිකත්ව කඳවුරේ ජනප්‍රියත්වය වැඩිවීම, 2002 සටන් විරාමය,  සහ පොදු පෙරමුණ-ජවිපෙ ආණ්ඩු කාලයේ වැව් දාහේ වැඩ පිළිවෙල ආදී සිදුවීම් මෙහි සමහර කෙටිකතා වල දී කතා බහට ලක් වේ.

පළමු කෙටිකතාව "බතිහාමි" නම් සිරිපා වන්දනාවේ යන මහළු උපාසික මාතාවක් අලලා, ඇගේ සිතට තම වන්දනා ගමන පෙනෙනා බැති බර අපූරත්වයත්, ගමේ ඉහළ පවුල් වල අයගෙන් ඇය විඳිනා මදිපුංචිකම් නිසා සිත් පෑරීම් ආදියත්, මතුව පෙනෙනාකාරයෙන් ලියැවුණු රචනාවකි. අප සැම ගේ මුල් සිරිපා ගමන් මතක් කරලීමට සමත් වන අපූරත්වයකින් එය ලියැවී ඇත. නැවත ගම පැමිණීමෙන් පසුව, සියම් රටින් ලැබුණු පිළිමයක් ගමට ගෙන ඒමේ සිද්ධියක් මුල් කරගෙන කෙටිකතාව අවසන් වන්නේ අග්‍රරාජයාගේ අලුත් ඇඳුම් කට්ටලයේ කතාව මතකයට නැගෙන අයුරකිනි.

මේඝලතා, දේවසිරි, බන්දුල... මේ චරිත පිළිබඳ කියවීමකුත්, දැදුරු ඔය නිම්නයේ සිදු වූ සමූහ ස්ත්‍රී දුෂණයක කතාවක් ද මතකයට නගමින් දිගැරෙන කෙටිකතාවකි. "රට මැද පාර" යන්නෙන් සමහර මිනිස් ජීවිත වල වාසනාවන්ත - අවාසනාවන්ත බව පිළිබඳ කියවීමක් ද ඉඟි වන්නේ ද ? බොහෝ එරික් ගේ කතාවන් පරිද්දෙන් අර්ථදැක්වීම කියවන්නියට තබමින්, උපස්ථිතිවාදි ආරක් ගනී. ඒ අනුව යම් මැකී ගිය බෙදුම් රේඛාවක් ( පාරක් ?) ලෙස,  සමහර  මිනිස් ජීවිත අවසනාවන්ත ඉරණමකට ද, අනෙක් අය කෙසේ හෝ එම ජීවිතය ජය ගන්න පාර්ශ්වයට ද අයත් ලෙස පෙනෙන්නට පටන් ගනී.

අප්පුහාමි වනා හි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට, විශ්‍රාම ව, දැනට ස්වේච්ඡාවෙන් එම දෙපාර්තමේන්තුවට සේවය කරන්න තැනැත්තෙකි. ඔහුට අනුරපුර ආශ්‍රිත පෙදෙස් වල පුරාවස්තු පිළිබඳ ඇත්තේ භක්තියකට ලංවනාකාර ලැදිකමකි.  මේ වටිනා වස්තුව නීති විරෝධිව කොළඹ යවනා, සහ එම ස්ථාන වලට නිසි ගෞරවය නොකරන්නෝ ඔහුගේ පරම සතුරෝය. කෙටිකතාව තාත්විකය හා තාත්විකයෙන් ඔබ්බට දෝලනය වන්නේ සීමා මායිම් වලින් තොරවය. එවන් විටෙක කෙටිකතාව කියවෙන්නේ තාත්විකයේ ම දිගුවක් පරිදිය; කොටසක් ඒ මහළු මිනිසාගේ ට පෙනෙනා මායාවන් ද විය හැකිය. කියවන්නියට ද, පුරාවස්තු ආරක්ෂාවට අප්පුහාමි ට, බහිරවයන්ගේ උදවු ලැබෙන්නේ දෝ යි සිතුනොත් එහි පුදුමයක් නැත. ("දේවතා එළි")

 "අලුත් ගෙවල්", අලුත් නිවාස යෝජනා ක්‍රමයන්, නවීන පන්නයේ නිවාස ඉදි වුව ද, පැරණි විශ්වාස පද්ධතීන් තවම ප්‍රචලිත පමණක් නොව, එම පැරණි විශ්වාස පද්ධතීන් මත දේවාලයේ කපුකම් වැනි රැකියා ද, එම අලුත් පන්නය තුලට ඇතුලත් වී ඇති අයුරු පෙන්වයි. කතුවරයා මීට කලින් සංග්‍රහයක දී, සුපිරි නිවාස යෝජනා ක්‍රමයක් අසබඩ වත්තක වෙසෙන භාවනා උපදේශකවරයෙකු පිළිබඳ ලිවේ සුනඛ සංහාරය නම් කෙටි කතාවේ ය. මෙහි දී ද, ගෙවල් අලුත් වුව ද පැරණි විශ්වාසයන් බලෙන් හෝ එහි වාසය කරන බව පෙන්වයි.

නිශ්ශංක ශ්‍රීපති ගේ දෛවය වනාහි මොනෑශ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් - යටත් විජිත සාහිත්‍යය හදාරා පීඑච්ඩී උපාධියක් දිනා ගැනීමෙන් පසුව, නැවත ලංකාවේ ඉගැන්වීමට ඒම ද?  ඔහුගේ සමහර අදහස් අනුව, ජාතිකවාදීන් ගේ හතුරෙකු බවට ඔහුට පත්වීමට එතරම් කලක් නොයන බව සිතිය හැකිය. තම නීතීඥ්ඥ මිතුරා රූමත් තරුණියක් "දෛව ස්ත්‍රිය" ලෙස ඔහුට පෙළවහට සූදානම් කර තිබුන ද, ඔහු බොහෝ අභියෝගයන් වලට මුහුණ දෙනු නොඅනුමානය. ඔහු නැවත එන්නේ, "ලුම්බිණි, නව රඟහල, ටවර් වැනි ප්‍රධාන නාට්‍යාගාර පවා ප්‍රේක්ෂකයින්ගෙන් හිස් වී" යමින් තිබෙන, සවස හතහාමාරෙන් පසුව බොළඳ ටෙලි නාටක වල පහස පතන සංස්කෘතික කාන්තාරයකට ය.

තම ප්‍රධාන කතුවර පුටුව "කෛලාස කූටය" ලෙස සිතමින්, ආධුනිකයින් ලෙස අවඥ්ඥාවෙන් බලන කරුණාමුණි ගේ ප්‍රමුඛස්ථානය අභියෝගයට ලක් ව ඇති බව ඔහු දන්නේ, සතුරා තම ඉදිරියට ආ විත් විට ය.තරුණ මාධ්‍යවේදියා තම පෙම්වතිය සමඟ පදිකවේදිකාවෙන් පාවහන් තේරීම දෙස පවා කරුණාමුණි බලන්නේ අපහාසය පෙරදැරිකරගෙන ය. මෙම කෙටි කතාවෙ අතුරු කතාවක් ලෙස පොත් ප්‍රකාශකයෙක් සහ ලේඛකයකු අතර සිදුවන පිළිසඳර අප රට පොත් මුද්‍රණය ආශ්‍රිත ගැටළු ගැන අපූරු හෙළිදරව්වක් මෙනි. ඊට අතුරු කතාවක් එක් කරන්නේ, කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා එවකට තිබූ ජීව සංස්කෘතිය වෙනස් කරගත් කොළඹ ත්, වැසුණු කේ.වී.ජී. වැනි පොත් හලුත් ය.

අප රට වෙසෙන සියළු ජන වර්ගයන්ට, තමන්ගේ ජාතිය හෝ ආගම හෝ වඩා විශිෂ්ඨ යැයි විශ්වාස කිරීමට ඔවුන් තනා ගත් කතාවක් ඇතුවා පමණක් නොව, ඔවුන් එම විශ්වාසයයන්ගෙන් ඈත් වෙන්නේත් මන්දාගාමීව ය. ගාන්ධී විරෝධී නතුරම් ගොඩ්සේ පක්ෂපාති මතයක් පෙරැදි කොට මෙහි ආ බ්‍රාහ්මන වංශික මුරුගේසූ ට, තම මහළු වියේ පවා  භාරතයේ පැවති මුස්ලිම් විරෝධයේ සෙවනැලි නැවත මතු කරලීමට තරම් වාතාවරණයක් මෙහි ඇතුවාක් සේය ( "ටිකිරන් සහ මුරුගේසූ"). අප සාමාන්‍යයෙන් දන්නේ නාගරික පැල්පත් නිවාස වාසින් ජාති ජන්ම භේද අවම බවකි. එහෙත් ඔවුන්ට ද අමතක කරන්න අපහසු ඉතිහාසයක් තිබෙන්නට පුළුවන. ඉන්දියාවෙන් මෙහි පැමිණ එතරම් සාර්ථක දිවියක් ගොඩනගාගෙන නොතිබුන ද , තම ඓතිහාසික අවතාර මකා ගැනීමට නොහැකි විය හැක. මෙය සියළු ජන වර්ගයනට පොදු තත්ත්වයක් බව පැහැදිලිය.

වනසිංහ පියතුමා තම ආත්මය සමඟ පොරබඳින්නේ, තම පල්ලිය ට කරදරයක් වූ යම් හිඟන දරුවන් පිරිසක්
ගැන වගකීම රාජ්‍ය නොවන ආයතනයක් බාර ගැනීමත් සමඟය. තම ආගමික විශ්වසය මහළු පියතුමාට වද
දෙන්නට පටන් ගනී. තම ආත්මයට යම් සහනයක් සැපයීමට මෙන් ගුණේ නම් කොළුවා නැවත පල්ලියට ඒමත්, ගුණේ කරනා යම් හිංසනයක් ද ඉවසුවත්, කටයුතු සිදුවන්නේ අප මහළු පියතුමාට තව තවත් පශ්චාත් තාපයන් ම ඉතුරු වෙන අයුරෙනි. ගුණේ විකීණීමට අල්ලා ගන්නා පරවියන් සහ, තම ආත්මික මුක්තිය වෙනුවෙන් ගුණේ ව භාවිතා කිරීම අතර එතරම් වෙනසක් නැති සේය. ("දෙවියයෝ සහ පරෙවියෝ")

එරික් ගේ ම බගන්දර, විතණ්ඩ සමය වැනි නවකතා වලද, ඒවං මේ සුතං ආදි කෙටිකතා වල හමු වූ චරිතයන්ගේ අවතාරයන් මෙන් වන විජේසිරි, අල්මන්, වැනි අය මුල් කොට ගත් අපූරු කෙටිකතාවකි, "මුගටි වළිගය".  ලෝක පූජිත චිත්‍ර ශිල්පයෙකු වීමේ සිහිනය, මුහුදු බඩ කුඩා ගමක සිට බැලීමත්, තමන් ම තමන්ගේ සීමාවන් දැන ගැනීමේ යථාර්ථයත් එක්කාසු වූ විට පෙනෙන්නට පටන් ගන්නා බලාපොරොත්තු විරහිත බවත් පිළිබඳ කියැවෙන කෙටිකතාවකි. මුගටියා ට වළිගය අහිමි ව ඌ මියැදුනා සේ, අප චිත්‍රශිල්පියා ට ද එම වලිගයෙන් වැඩක් ගන්නා දවසක් උදා වේ යැයි සිතිය නොහැකිය.

කොට්ටපුර මායීම් ගම්මානය ට, සාම සාකච්ඡා බලාපොරොත්තු ගෙනෙන්නේ නැවත වැව භාවිත කරලීමේත්, කුඹුරු අස්වැද්දීමේත් අවස්ථා සමඟය. පන්සලේ හාමුදුරුවෝ දමිළ ටිකක් ඉගෙනීමට සිතන්නේ, නැවත ත්‍රස්තවාදීන්ට එක්කාසු නොවී කැළේ පැන්න දමිළ තරුණයා ලං කරගැනීමේ උවමනාවෙනි. එහෙත්, එම සටන් විරාමය ඇස් බැන්දුමක් පමණ බව ඔප්පු වන්නේ ගමේ නැවත ඇරඹේන ඝාතනත් සමගය. ("ඇටසැකිල්ල")

චිත්‍ර ශිල්පය උදෙසා කල්පිටිය ආශ්‍රිත පෙදෙස් වල සැරිසරණ "හුදෙකලා කලාකරුවා" ට, තවත් එවැනි ම හුදෙකලා කලාකරුවකු හමු වෙයි. ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ චිත්‍රපටි නිෂ්පාදකවරු පිරිසක් එනකං බලා සිටී. මෙහි එන සමහර විස්තර අනුව, අප රට මහත් ජනප්‍රියත්වයටත්, සම්මානයටත් පාත්‍ර වූ එක්තරා චිත්‍රපටියක බීජ අවස්ථාවන් කොතැන හට ගත්තේ ද යන්න ට සැකයක් ඉපදුනොත් එහි පුදුමයක් නැත.

"ආගන්තුකයෝ" මෙහි එන අපූරු කෙටි කතාවකි.  2002-2004 කාලයේ ක්‍රියාත්මක වූ වැව් දහසේ ව්‍යාපාරය ට පිරිස සහභාගී වීමත්, ඊට සමාන්තරව දුම්රිය වර්ජනයක් ඇති වීමත් යන නොගැලපීම ගෙන හැර දක්වන කෙටිකතාවකි. මෙම කාලයේ එක්තරා වාමාංෂික පක්ෂයක් ඇමතිකම් හතරක් ද ගෙන, ආණ්ඩුවේ කොටස්කරුවන් විය. ආණ්ඩුවේ ම සිටි ආගන්තුකයන් පිරිසක් ගැන ගැලපීමකි මෙම කෙටි කතාව.

"රූප විපර්යාසය" කාගේ ද ? ඇත්තෙන් ම රූප විපර්‍යාස දෙකක් සිදු ව ඇත. ආදරයෙන් පැරදුණු අර්ධ කාලීන හමුදා පුහුණුවක් තිබූ ගුරුවරයා ගේ සහ, තමනට කාලාත්‍රයෙකු සොයා ගැනීම එතරම් පහසු නැතැයි තරමක් කල් ගොස් වටහා ගත් ගුරුවරිය ගේ ය. රූප විපර්‍යාසයට දෙදෙනා ට බල පෑ හේතු දෙකකි.

මෙම කෙටි කතා සමහරක යම් සිද්ධියක වටපිටාව විස්තර කොට, සිදු විය හැකි දෙයක් ගැන ඉඟි කරයි ( ටිකිරන් සහ මුරුගේසු, ආගන්තුකයෝ, හුදෙකලා කලාකරුවා, අලුත් ගෙවල්). එසේත් නැතිනම්, රටේ සිදු වූ කාලින සිදුවීම් මත යම් සිදුවීම් පෙළක් ගැන විස්තර කරන්නේ, ඉන් අනාගතයේ සිතුවන අවැඩ ගැන කීමට මෙනි (ඇටසැකිල්ල). බොහෝ නිර්මාණ විවෘත අවසානයකින් හමාර වේ. මෙම සංග්‍රහය වන විට, වඩදිය, මල් නැති උයන ට, වඩා මේ වන විට සැලකිය යුතු වෙනසක් ලේඛකයා ගේ කෙටිකතා වල සිදු ව ඇත. ඔහු වඩා සංකීර්ණ කෙටිකතා නිර්මාණයකට අවතීර්ණ ව ඇතැයි තැනෙක දෙකක මා කියවා ඇත - මෙහි ඊට නිදසුන් ඇතැයි සිතමි. අවනඩුවක සටහන් හි තැනෙක ආඛ්‍යායනය දිශාවකින් තොරව යන ගතිය මෙහි නැත. මෙහි එන සැලකිය යුතු කෙටිකතා ගණනක් පිටු 6-7ට වඩා දිගු නැත. එරික් ගේ කෙටි කතාව ඔහු ගේ පස්වෙනි සංග්‍රහය වන විට, ස්ථිර ලෙස වෙනස් වෙමින් පවතින බවට සැක නැතත්, එය ගැන ශාස්ත්‍රීය ව පැහැදීමට තරම් මගේ දැනුම පොහොසත් නැත.

ශ්‍රේණිය: ****
ශානරය : කෙටිකතා
ප්‍රකාශක: ගොඩගේ (2005)



No comments:

Post a Comment