Friday, 21 August 2020

විශ්‍රාමික පෙම්වතිය - එරික් ඉලයප්ආරච්චි

මෙය පිටු 160ක් පුරා කෙටි කතා 15කින් සුපෝෂිතය - චයිනා ටවුමෙන් පාඨකයා ට ජනිත වූ යම් අපැහැදීමක්, අවිශ්වාසයක් මේ සංග්‍රහය මගින් මුලුමනින් මුලිනුපුටා දමන්නට සමත් වේ. 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් මා කියා නිම කල සිව්වැන්න මෙයයි - "ගැහැණු පිරිමි මල් පලතුරු" වන්, පරිසමාප්ත සංග්‍රහයක්, මෙම සංග්‍රහය මට "වසරේ හොඳම කෙටි කතා සංග්‍රහය" වීම වලක්වන මුත්, කිසිදු සැකයකින් තොරව, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ වන්, කතුවරයා ගේ මෑත කාලීන් ඉතා සාර්ථක කෙටි කතා සංග්‍රහයන් සමඟ එක පෙළට තැබිය හැකි කෘතියකි - ඒ අතර පළ වූ එකම තරමක් අසාර්ථක කෙටි කතා සංග්‍රහය වූ චයිනා ටවුම ට පමණක් රජත සම්මානය ලැබීම දෛවයේ සරදමක් මෙනි.

භික්ෂු වාට්ටුව
- අවාසනාවන්ත පස්කු ප්‍රහාර සිද්ධියත්, ඉන් පසුව හට ගත් මුස්ලිම් විරෝධයත් අලලා ලියූවකි. එරික් යම් යම් අදහස් ගම්‍ය කරනු වස් භාවිත කොට ඇති රූපන, හෝ පාත්‍ර වර්ගයාගේ සිතුවිලි ඔහුගේ නිර්මාණ ශක්තියට දෙස් තියයි.

"එම විශාල ලොකය සහරා වාලුකා කාන්තාර දර්ශනයක් ලෙස දස අතේ දුවන හාමුදුරුවන්ගේ මනසේ ඇඳුණේය... රැලි ගැසුණු වැලි පොළොවේ විශාල පඹයින් වැනි පතොක් වැවී ඇත. තෙතමනයක ලකුණක්වත් නැත... ගෙයක් දොරක් කාමරයක් කුටියක් නැතිව දොර පමණක් වැල්ලේ සිටුවා එම දොර ඉබි යතුරු දමා තරයේ වසා තිබේ.... උස බාමියන් පිළිමය එක ඇසිල්ලකින් අළු දූලි වී යනු ඥානාරාම දුටුවේය. ටික වෙලාවකින් ඥානාරාම දැක්කේ තම කහ සිවුර ලේ වැකී රතු වී ඇති බවකි" (16-17 පිටුව )

අභිනික්මන - වෙනස් වූ නගරයක්, පෙර කලෙක මෙන් ලබැඳියාවන් දැන් අඩු වූ නගරයක් ගැන සාංකාවක්, පුද්ගල සම්බන්ධතාවකට සම කරමින් ලියූ vignette ආකාර නිර්මාණයකි. කෙටිකතාව ආරම්බය වෙසෙසින් ආකර්ශනීය ය.
"ඉස්සර මීගමුව ප්‍රමාද වී අඳුර ගලන දුම්කොළ ටවුමක්, බයිස්කෝප් ටවුමක්,   කැවුම් ලෑතර ටවුමකි. එහි සිටි කිසිවකුට දුම්කොළ ගන්ධය මඟ හැර සිටින්නට නොහැකි විය. දුම්කොළ තෝරන පොල් අතු මන්දිර අතිවිශාල ඒවා වූ අතර කිසියම් නිහතමානිකමකින් යුතුව පාරට බෑවුම් වන ලොකු වහලින් යුතු විය. කැවුම් හා ලෑතර තිබුණේ එළවළු මාකැට්ටුවේ විවෘත දොරකඩය. චිත්ත ඇඳ ගත් ගැහැනු වට්ටි, හට්ටි හා බෝතලවල දමා ගෙන විකුණූහ.

හිටිහැටියේ සියල්ල වෙනස් විය. බීඩි බීම හා දුම්කොළ කෑම නතර විය. අංගුලිමාල පෙන්වා විවෘත කර තිබුණු රාජ් හෝල් ගිනි තබන ලද අතර රීගල්, නඩරාජා හා මීපුර තියටර් එකපස එක වැසී ගියේය. රුක්මනී හදිසි රිය අනතුරකින් මිය ගියාය. මඤ්ඤොක්කා හේනේ සිදු කරන ලද භූමදානය වෙනුවෙන් අතිවිශාල ජනකායක් එක්‍ රොක් වුණු අතර මහනගර සභාවට පැමිණි මොහිදින් බෙග් බුද්ධං සරණං ගීය ගායනා කරන්නා සේ හඬ නඟා ඇඬුවේය. ඉන් පසු මීගමුව ටවුම වෙනුවෙන් අඬන්නට කඳුළු නැති විය."
(50 පිටුව )     
එරික් මෙම කෙටි සංග්‍රහය මීගමුව ආශ්‍රිත සංස්කෘතික සිදුවීම් වලට මුල් තැන දී ඇති සේය.  1960 දශකයේ රා පෙරීමට ඉන්දියාවේ සිට පැමිණි තරුණයෙකු අලලා ලියැවුණු අපූරු කෙටිකතාවකි, කමලනාත් නම් වහලා. නැවත ඉන්දියාවට මාසිකව යම් මුදලක් යැවීමට සිදුවීම හේතුවෙන් ද, අප සියළු දෙනා පොදු වේ යම් ආකාරයකින් අන් අයට සේවයක් සැපයීමට බැඳී තිබීම හේතුවෙන් ද, 'වහලා' යන සංකල්පය පිළිබඳ යම් ගැඹුරකින් කතාවෙන නිර්මාණයකි.

එරික් ගේ නිර්මාණ මට රුචි වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු තම නිර්මාණ හරහා ගෙනෙන මනෝභාවයන් ය - එය වරෙක වචානයට නතු කර ගැනීම උගහටය. මෙම කෙටි කතා සංග්‍රහයේ විශේෂයෙන් අප ට හමුවන සම්මතාකාරයෙන් ඈත් චරිත මෙම මනෝභාවයන් හී තීව්‍රතාව වඩවයි. නූතන සිළිඳු කෙනෙකු ලෙස අප කතුවරයා දකින ඔලම්මා ( සිළිඳුගේ දියණිය ) ගෙ පියාවය. ඔලම්මාගේ පියා දඩයක්කාරයකු ව සිට, නීතියේ තහංචි හේතුවෙන් දැදුරු ඔය නිම්නයෙන් කල්පිටියට පැමිණියේ තම ප්‍රියතම කර්තව්‍යයේ යෙදීමට ය.

සරසවි පෙමක් ඇවෑමෙන් දිගු කලකට පසුව පෙම්වතා නැවත පෙම්වතිය වෙත පැමිණීමක් මාතෘකා කොට ගෙන ලියැවුණු විශ්‍රාමික පෙම්වතිය, මෙම සංග්‍රහයේ ප්‍රමුඛ අඳුරු ව්‍යාකූල මනෝභාවයන් හා සංඝත වූවකි. තුන්වන පාර්ශවයක් වන කථකයා ට ඇය හමුවන්නේ සීතල නුවර එළියේ දී ය. ඔහු ගේ ප්‍රේමය ඇය ප්‍රතික්ෂේප කල ද, ඇගේ දසුනකින් ඔහු පිනවන්නට තරම් සෙනෙහසක් තවම ඈ තුල පවතින්නී ද ?

මෙම කෙටි කතා සංග්‍රහයේ එරික් යම් ආකරයකට විවිධත්වයක් ගෙනෙමින්, පර්යේෂණ කොට ඇති බවක් පෙනී යයි. "නාට්‍ය අනුවර්තනය", එවන් නිර්මාණයකි. චොකොෆ්ගේ චෙරි උයන, අසාර්ථක වූ තේ වත්තක් සහ එහි ආර්ථික අහේනියට පත් වූ අයිතිකරුවන් ට අනුවර්තනය කරමින් ලියැවුන්නකි. පර්යේෂණාත්මක ලක්ෂණ හේතුවෙන් එහ් වැදගම්මක් තිබුන ද මා වඩාත් රස විඳි නිර්මාණයක් නොවේ.

නෙරුඩා සහ වැල්ලවත්තේ චණ්ඩාල කුල ස්ත්‍රියක් අතර ඇති වූ සබඳතාව මුල් කොට ගෙන එය නූතන මිඩියකුත්, තම රැකියාව හොඳින් ඉටු කරලීම පිළිබඳ යම් අභිමානයකින් හැසිරෙන කාන්තාවක්, විශ්වාස කල නොහැකි ආරකින් නෙරුඩා ගේ චරිතෝපදානයක් වෙත ඇලීමක් ඇති කරගන්නේ, ඒ අතීත බැඳීමේ සිට ඇදී එන අපැහැදිලි හුයක් නිසා ද ? (යකඩ බාල්දිය )

පශ්චාත් යුද තත්වයේ දැඩි ජාතිකත්වයකට අප රට බහුතර මතය පෙළ ගැසීම, එරික් ගේ මෑත කාලීන සාහිත්‍යයේ වෙසෙස් විචාරයාට නතු වන්නකි. ඇමේසන් ගින්න මගින් ද, වෙසෙසින් විදෙස් රට වල ඉඳිමින් ලාංකීය අනන්‍යතාව කෙරෙහි බැඳීම පිළිබඳ අපූරු දිගැරීමකි. 

පල්ලියවත්ත දූපතේ සිට, කල්පිටියට එන ගමනක හමු වූ අයෙකු, සහ ඔහු විකිණීමට සිත සාදා ගන්න උත්සාහ දරණ යතුරු පැදියට ඇති බැඳීමත්,  එම කටුක මුත් ඊට ආවේණික අලංකාරිත්වය රැගත් පරිසරයේ විස්තරත්, අවාරිස්ගේ යතුරුපැදිය කෙටිකතාව රසවත් කරයි.

මේ කෘතියට කලින් එරික් මෙහි භාවිත සමහර කෙටිකතා ආකාර භාවිත කොට නැත.  මැටි කෝප්පය, ගල් ඔරලෝසුව හා කපුරු බෝල සලකන්න - එහි මිතුරන් තිදෙනෙකු කැස්බෑව-වාද්දුව මාර්ගයේ ගොස් දොඩම්ගොඩින් අධිවේගි මාර්ගයට ප්‍රවිශ්ටව, අනතුරුව ගාලු කොටිව ට යති. මෙහි ඇත්තේ ඒ ගමන'තර ඔවුන්ගේ  අත්දැකීම් ආශ්‍රයෙන් කියූ තරමක් අසාමාන්‍ය කතා තුනකි - අපිට මහදහවලේ තම වයස්ගත අඹුව සමග රති සම්බෝයගේ යෙදෙන කට්ටඩියෙක්, කුල බේදය නො අඩු යාපන කෝවිලක ශබ්ද පූජාව සහ පල්ලි ගොඩනැගිල්ලක තිබූ දීර්ඝ කාලයක් ක්‍රියා විරහිතව තිබූ ඔර්ලෝසුවක් සෑදීමට පැමිණි ස්විස් ජාතිකයකු පිළිබඳ අතුරු කතා තුනක් හමු වේ.

මීගමුවේ ටවුමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද, එහි අතුළු කතා, සරල ලෙස ජීවත් වුවද සැලකිය යුතු චරිත ආදිය මේ සංග්‍රහයේ තරම් අප හට හඳුන්වා දී නැත. පෝසත්තු ද එවන් මීගමු නගරයේ කතාවකි. මුදල් යහමින් තිබීම තමන් ට හුරුපුරුදු ජීවිතය අතැරීමට හේතුවක් නොවේ.  මේ කෙටිකතාවේ කියන දේ ට වඩා අඟවා කොකියන දේ වැඩිය. පිටු 160 ක් පුරා කෙටි කතා පහළොවකින් සපිරිය - ඉන් බහුතරය

කුණුකාරයෝ මගින්, අප කතුවරයා කසල ඇදීම රැකියාවක් ලෙස කරන පිරිස් අනුසාරයෙන්, ඔවුන්ගේ දිනචරියාව අනුසාරයන් නිර්මාණයක් කරලීමට යත්න දරා ඇත. සංග්‍රහයේ එන එතරම සාර්ථක නොවන කෙටි කතාවකැයි සිතුණි.

ලලිත සමය වූ කලි, "මාස්ටර්" ගේ රැස් මඩල යට ජීවත් වෙන අන් චරිතයන්ගේ නවකතාවකි. සංගීත ඊශ්වර විසංතිය ද, එවන් අවශේෂ චරිතයන් ඔහුගේ ඇවෑමෙන්, ඔහුගේ රැස් මඬලක මතකය විකුණමින් ජීවත් වන්නන් ගැන ගෙතූවකි. එනමුදු මෙහි එන සාර්ථක බවින් තරමක් අඩු කෙටි කතාවකි.

රාජ්‍ය තන්ත්‍රයේ සේවය යුක්ත වූවෙකුට හොඳක් අසා ගන්නේ කලාතුරකිනි. ෂයිලොක් නම් කෙටිකතාව ට මුල් වී ඇත්තේ ඉංග්‍රීසි කථිකාචාර්‍ය පුතෙකු සහ විශ්‍රාම වයසෙන් පසුව ද, රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යාපෘති වල නියැළි තාත්තෙකු අතර දිගින් දිගට ගැටෙමින් ඇදෙන පිළිසඳරකි. කියවීමට තුඩු දෙන ලෙස ඇදී යන රසවත් නිර්මාණයකි.

 හුදෙක් අධ්‍යාපනය අයෙකු ගේ ආර්ථික තත්ත්වය තීරණයට හේතු වන්නේ නැත. ඉතා හොඳින් උගත්,  සමාජයේ පිළිගැනෙන අය හා මුසු ව, පසු කාලීනව ආර්ථික අහේණියකින් යුතුව සුළු රැකියා කරන, මත් පැන  ට ලොල් වූ පුද්ගලයින් අප සමාජයේ ඇත. එවන් අයෙකු ගැන, සමාජයේ හැංගී ඉන්නා උගතුන් බුද්ධිමතුන් ගැන අපූරු කියවමකි, ඈබට්.

ඉතින්,  යම් සුවිශීෂි බවක් දරන අප්‍රකට චරිත, සිදුවීම්, කාලයත් සමඟ වූ වෙනස්කම්, තමන් උපන් ප්‍රදේශය වූ මීගමුවේ අපූරු විත්ති ආදියෙන් සුපෝෂිත රස ගුලාවකි, මෙම කෙටි කතා සංග්‍රහය.  මෑත ඉතිහාසයේ බොහෝ අප්‍රකට සිදුවීම් සිදු වූ,  ඇතුලෙහි දැල් වූ  කහ පාට  විදුලි බුබුලක එළිය, පොල් අතු අතරින් පිටතට කාන්දු වන, සවස් යාමයේ පොල් අතු මන්දිරයක දර්ශනයක, ගුප්ත බවක්, කාංසාවක්, නිවීමක් මෙන්ම ව්‍යාකූලභවක් ද, මෙම සංග්‍රහය මගේ මනසේ මවයි. මෙවන් සර්ථක කෘති කියවන කල, ලේඛකයාගේ මුල් කාලින් කෙටි කතා කියවීම දිනෙන් දින කල් දැමීම, අපරාදයක් බවකි හැඟෙන්නේ.

(2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම - 4)

****1/2
කෙටිකතා - 2019
ගොඩගේ ප්‍රකාශනයකි.

Wednesday, 19 August 2020

ක්වොන්ටම් භෞතික සංඛාරා - කුමාර හෙට්ටිආරච්චි

අන් කලා කෘතීනට සාපේක්ෂ ව කවියක ගුණ-අගුණ කීම අපහසු ය. එක, කවියක් කියවා හමාර කරලීම අපහසු නිසා ය; දෙක, එය වටහාගැනීමට පාඨකයන් වන අප ප්‍රාමාණික කියවන්නන් ද යන්න ප්‍රශ්ණය මතුවීම හේතුවෙනි. ඒ නිසා කවි කියවීමේදී මා වඩාත් ඉවසිලිවන්ත වෙමි - වරද ඇත්තේ මගේ පැත්තේ ය යන පූර්ව නිගමනයක් වැන්නක් මා මනසේ හොල්මන් කරයි.  ඉතින් කියවීම සෙමිනි. කියවාගෙන යද්දි මාත්‍රා ගණණට බෙදූ කවියක් ලෙස පෙනෙන්නේ නම්, එය පිට පැන්න විගස එය දැනෙන්නේ ය. නිසදැස් ආරක් නම්, එය තුලින් ම රසය සොයමි. එහෙත් විටෙක මේ කුමන දේ කරත්, කවිය තුලින් මනා රසාස්වාදයක් සොයා ගත නොහැකි වේ. පසු ගිය වසරේ රජත සම්මානය දිනූ සහෝදර මුහුණුවර එවන් කවි පොතකි; ආඛ්‍යාන කවිය විෂයෙහි වෙසෙසින් අන් කවීන්ගේ පැසැසුම් ලත් කුමාර හෙට්ටිආරච්චිගේ උක්ත කවි පොත එවන් තවෙකකි. එය මෙවර මෙතෙක් රජත සහ විද්‍යෝදය සම්මාන අවසන් වටයට නිර්දේශ විය. එහෙත් මට ඔහු ගේ මෙම සංග්‍රහයේ කවි අන්ත දෙකක ට වැටුණි - එම කවි වල අවංකබවක් ගම්‍ය වන විට භාවිත භාෂාව සහ ආකෘතියේ සුවිශේෂි බවක් නොවීය. අනෙක් විට, මනරම් බසකින් ලියූ කවි වල අරුත් අතින් සුවිශේෂි බවක් නුදුටුවෙමි.

ඇත්තෙන් ම මට මේ කවි සංග්‍රහයේ සිතට ඇල්ලු කවි පංති එක අතක ඇඟිලි ගණනක් තරමවත්  නොතිබුණි. කබුකි මැද්දේ මහසෝනා, යක්කල හන්දියේ ඉඳං සේකරත් එක්ක සහ පැදුර ඉන් සුවිශේෂිය. 

"කබුකි දැහැනට ම සමවැද                                               
මා නිහඬ ව සිටින අතර
මෙන්න මගේ යටිහිත තුළ
යක්කු තොවිල් නටති
 
...
කබුකි නාඩගම බොඳ වී
තොවිලෙ ම පපුවට වදිනා
මගෙ ලේ ඇටමිදුළු පුරා
දහාට පාලිය දුවනා"
              කබුකි මැද්දේ මහසෝනා

 

 බොහෝ කවි පංති, යම් නිදහස් අදහස් ගලා ඒමක්, පැමිණි වේගයෙන් ම ලියූ ඒවා  වැනිය. ඉන් කවි පංති රැසක කවියක, දෙකක අපූරු ප්‍රතිභාවන් දුටුව ද, හදිසියෙන් ලියා සංස්කරණයකින් තොරව පළ කල බවක් ඇඟවේ.

"ඊළඟට ධන රේඛාව මත
ඇගේ අතැඟිලි දුවන මොහොතෙ ම
වරායේ සිට හමන සුළඟ ද
දැනෙයි භගවත් ගීතාව ලෙස

 

එ ළඳ සුමියුරු හඬින් ඉරණම
කියාගෙන යන විට තාලෙකට
ලබන සුබපලවලට වැඩියෙන්
අපල තිබුණ ද මට කමක් නැත

හපොයි කරුමෙක මහත අම්මප
තිබෙන රේඛා ගණන මදි විය
හස්ත රේඛා ලක්ෂ ගණනක්
තුබුණ නම් හොඳ නේ ද සිහිවිය
          ( සාත්තර කියනා සොඳුරු ළඳ)"

විවෘතව ම පවසන්නේ නම්, මේ කෘතිය අප රට ප්‍රධාන සම්මාන දෙකක ම අවසන් වටයට නිර්දේශ වීමට තරම් දැයි මට නම් ගැටළුවක් මතු වේ.

(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 2 )

**
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි
2019




Monday, 17 August 2020

ඉම තව දුරය - ආරියවංශ රණවීර

 "ඒ කොහොමද
ගෙදර යට තට්ටුව විතරයි ඉවර
බැංකු ණය එහෙම්මම
ලොකු කෙළී උසස් පෙළ පන්තියෙ
අනික් උන් පොඩියි හොඳටම
වයිෆ් පෙන්ෂන් ගත්තා
කල් ඇතිව
එයාට ප්‍රෙෂර් එක
 
හිත් අමාරුවටම
ලියන්න ගත්තා පොතක්
ඒ කෙනුත් ටිකයි ඉවර
කොහෙද වෙලාවක්
...
වැඩ
වැඩ
වැඩ
ඉතින් කොහොමද
යන්නෙ ?  
              (යන්නට බෑ දැන්ම)"

                            අත් දැකීම් වලින් වර්තමානයේ ඉතා සුලභ යැයි සිතිය හැකි මැයක් අලලා අපූරු කවි පංතියකට පෙරලා ඇති මේ  නිර්මාණය, ආකෘතිමය අතින් මේ මුළු සංග්‍රහයේ සමස්ත ස්වරූපය පෙන්නුම් කලාක් මෙනි. දීර්ඝ කාලයක් තුල, අද කවි පංතියක් -  තව දින දෙකකින් තව කවි පංති දෙකක් -  ආදි වශයෙන් කියවා රස විඳි මේ කාව්‍ය සංග්‍රහයේ, ආකෘතික විවිධත්වයෙන් අඩු බව, මට මුලින් ගෝචර වුනේ නැති තරම් ය.  මේ   පොදු ආකෘති ආර වඩාත් නෙත ගැටුනේ, මුළු කවි පොත කියවා හමාර කොට, නැවත තැනින් තැන මා ලකුණු තැබූ වඩා සාර්ථක යැයි හැඟුණු  කවි පංති දෙස බලනා කලය ( ඒ මේ සටහනට උපුටනට ය). කවියා, කවි මැයන් ලෙස අපූරු මාතෘකා තම නිර්මාණ උදෙසා භාවිත කොට ඇති බවට නම් විවාදයක් නැත.

"තවමත්
මට
ඇහෙනවා
වෙලාවකට
මුළුතැන්ගෙයි
අඩුම කුඩුම
අතගාන විට
ඈ
නැඟූ හඬ
...
හොරෙන්
හොරෙන්
ගිහින්
බලන විට
ඔහෙ නෑ
ඔහෙ නෑ
කවුරුවත්
ඒ නිකම්
හිතේ 
සාංකාව
             (කිරිල්ලියේ)

එහෙත්, ( එකලෙසකින් රණවීර ලකුණක් යැයි සැලකිය හැකි) , වරෙක වදනක ට- දෙකකට සීමා වූ පද පේලි මගින් නිර්මිත කවි පංති, සුලභය.  බොහෝ ලෙස සාර්ථක යැයි, සිතට දැනෙනා යයි කිව හැකි කවි වලින් සපිරි, මේ කාව්‍ය සංග්‍රහය අවම වශයෙන් ප්‍රධාන සම්මාන දෙකක් තම නිර්දේශ තුලින් මගැරෙන්න මෙම ආකෘතික සුලභත්වයවත්  හේතුවක් වීවත් ද ? 

"ගමන
අතරමග
නතර කළ
ඔවුන්
ළඟ

ඉඳිමියි
සිතීමි
නොගොස්
නොදන්නා
නොපෙනෙන
දුර"
       (පරිපූර්ණත්වය )


පැකිලුනේ
මන්ද
සියලු බැමි
බිඳ
ගලායන
මිතුරු ඕඝයට
පනින්නට
පැන 
නාන්නට"
 (උතුරේ මිතුරාට )


මේ ආකෘති රටාව නැති කවි පංති නැතුව නොවේ - ඒත් ඒවා සුලභ නැත. වැංගෝ ලා, ඔය නිතර හිනැහෙන නෙත් දෙක, ඔබ සඳ ( I සහ II ), හෙරක්ලීස් හෙවත් පොලිස් පුතා ඊට නිදසුන් ය. "නුඹ" යන්න මෙහි ඇති සාරාගධික අපූරුතම කවියකි:

"ගල් සියඹලේ ඇඹුල් පැණියද
ඇඹුල් දොඩමේ තිත්ත ඇඹුලද
කොමඩු ගෙඩියේ ඉහෙන සිසිලද
ගිරා අඹයේ ගිරා රසයද
පැණි රඹුටමේ රස පැනිත්තද
ඉදුණු මාදන් පැණියේ කළුවද
නුඹ"

සමස්ත ලෙසින්, මා බොහෝ  සෙයින් රසවිඳි කෘතියකි.  ආකෘතික විවිධත්වයේ සීමාවන් එතරම් මට පළමු වර කියවාගෙන යන කල නොදැනුනි - එය කවි රසයට බාධාවක් ද නොවුණි. එහෙත් දෙවෙනි වර කාව්‍ය කෘතිය පෙරලන සඳ, කියවන සඳ, සාපේක්ෂ වශයෙන් ආකෘතික සුලභත්වය දැකිය හැක. එවි ට කාව්‍ය සංග්‍රහය සමස්තයක් ලෙස සලකද්දි මෙම ආකෘතික සුලභත්වය සිත ට තරමක් වදයක් දෙයි - එනුමුදු, ඒ,  රණවීරයන් නිතර භාවිත කරනා ආකෘතියක් බවත්, එලෙස අවශ්‍ය ම වදනක ට පද පේළිය සීමා කිරීමේ ශිල්පය ද රස ගුලාවක් ජනනය කරන බව ද ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.


(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 1 )

***1/2
කාව්‍ය
අහස ප්‍රකාශනයකි








Saturday, 15 August 2020

2018 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහ

 

2018 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් හතක් කියවීමි. මේ සංඛ්‍යාව 2017 වසර හා සැසඳීමේදී සැලකිය යුතු මට්ටමකින් අඩුය. 2018 වසර කෙටිකතා සංග්‍රහයන් හා සැසඳීමේදී තරමක් දුප්පත් වසරක් යැයි හඟිමි. කිමද සාමාන්‍යයෙන් කෙටි කතා අංශයෙන් මා වඩාත් කැමති ලේඛිකයන් දෙදෙනෙකු පවා, 2018 වසරේ ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා නොපෙන්වූ නිසාවෙනි. ඉතින් ඒ කිය වූ සංග්‍රහයන් මා සිත් දනා ගත් අයුරින් පහත ලෙස පෙළ ගස්වා ඇත.


1- රෝස මුසැන්ඩාස් පිස්සුව - සුසන්ත මූණමල්පේ
2- ස්වර්ණ කාය - ප්‍රභාත් ජයසිංහ
3- ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්ණය - සිරිමල් විජේසිංහ
ඉහත සංග්‍රහයන් තුන වසරේ හොඳම කෙටි කතා සංග්‍රහයන් යැයි සිතමි.
කියවූ අනෙක් කෙටි සංග්‍රහයන් සතර පහත සේය;
4- චයිනා ටවුම - එරික් ඉලයප්ආරච්චි
5- මල් සූටික්කා - නිශ්ශංක විජේමාන්න
6- මීනම්මාගේ ලයින් කාමරය - චමින්ද අබේරත්න
7- මනුස්ස යන්තර - පියසීලි විජේමාන්න

Saturday, 8 August 2020

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් - සුමුදු නිරාගී සෙනෙවිරත්න



ලේඛිකාවගේ පළමු කෙටි කතා සංග්‍රහය වූ "ගිහින් එන්න කාර්නිවල්" ප්‍රධාන සම්මාන දෙකක් ජය ගැනීමට සමත් වුව ද, ඒ පිළිබඳව මා සතු වූයේ මිශ්‍ර හැඟීම් ය. එහි සාරවත් විභවයන් තිබුන ද, ඒ විභවයන් ආශ්‍රයෙන් ඈට ලිවිය හැකි හොඳම නිර්මාණ එහි නොතිබූ බවකි මගේ අදහස. එවන් වටපිටාවක, ඇගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහය ද කියවීමට පෙළඹුනේ, එක, මෙය රජත පුස්තක සම්මාන නිර්දේශයට සුදුසු ද යන්න සොයා බැලීමටත්, පළමු නිර්මාණ ගොන්නේ වූ පෙර කී විභවයන් හේතුවෙන්, ඈව නොසලකා සිටීම ද නොහැක්කක් යැයි සිතට දැනුනු නිසා ය. මා මිත්‍ර සහ විශ්වාසී අනෙක් පොත් කියවන්නියන් ද, මෙම පොත කියවීමට එතරම් මනාපයක් පෙන්නුම් නොකර වටපිටාව මෙය කියවීම තෝරා ගැනීමට අනෙක් හේතුව වන්නට ඇත. ඒ අනුව මේ සංග්‍රහය ද අසාර්ථක වුවොත්, සුමුදු නිරාගි පොත් වලට මද හෝ දීර්ඝ හෝ නිවාඩුවක් ලැබෙනු ඇතැයි යන්නේ මගේ යටි සිතේ සිතුවිල්ල වන්න ට ඇත.

ඉතින් කෙටි කතා හත කෙසේ ද ?



මචං, සර්!
- කෙටි කතාව '88-'89 යුගය මුල් කරගෙන ය. එකල පැවති දේශපාලන ව්‍යාකූලතවාය භාවිත කරමින්, ගම් වල නව යොවුන් වියට පා තබන වයස් වල කොල්ලන් ද මංකොල්ලකරුවන් ලෙස යම් වාසි ලබා ගත් අවස්ථා තිබිණි. එවන් අවස්ථාවක් භාවිතයෙන් ලියූ, ආකර්ශනීය, "coming of age" ( එනම් නව යොවුන් විය ට වැඩිහිට බවට පත් වන සංක්‍රාන්ති යුගය ) කෙටි කතාවකි. රස වින්දෙමි.

මවු කිරි ප්‍රශ්ණය - ලංකාවේ දේවාල ආශ්‍රිත පරිසරය භාවිත කොට නිර්මාණය වී ඇති මෙම කෙටි කතාව, ඒ පිළිබඳ විවේචනයකි. දේවි දේවතාවුන් අතැර යන පෙදෙසක් ලෙස අප කතුවරිය පෙන්වා දී ඇත. එහෙත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස මට එහි එතරම් අපූරත්වයක් නොදැක්කෙමි.

මෙහි එන වෑගං දෙවියන් හා සබැඳි කතාවේ මූලය  (දෙවියක් සහ පිළිමයක්) සත්‍යයක් දැයි නොදනිමි.  ඒ කෙසේ වුදු, ඉතා සාර්ථක මෙන්ම රසවත් කෙටිකතාවක් ලේඛිකාව  නිර්මාණය කොට ඇත. සාමාන්‍ය මිනිසුන් සත්‍යය බාර ගැනීමට කෙතෙරම් සූදානම් ද යන්න ගැඹුරින් හිතන්නට පොළඹවන ආරේ කෙටිකතාවකි. මෙම සංග්‍රහයේ එන වඩාත් රසවත් නිර්මාණයකි.

වෙසෙසින් 2009න් පසුව,  ජාතික වීරයින් සහ ඉතිහාසය කෙරෙහි අප ජනතාවගේ උනන්දුව වැඩි විය. වීර මණ්ඩලේ  එම ඉතිහාස උනන්දුව උත්ප්‍රාසයට නංවන රසවත් කෙටිකතාවකි. ඇත්තෙන්ම මෙවන් කෙටිකතාවක් අමරකීර්තිගේ පොතකින් මා වඩා බලාපොරොත්තු වෙමි.  මායාදුන්නෙ  චරිතය මුල් කොට ගැන නිර්මාණය වූවක් මුත්, මෙය සමස්ත ලෙස අප රට ඉතිහාස උනන්දුව පිළිබඳ ලියූවකි.  ඉතිහාසය හා සබැඳි රැකියාවක නිරත අයෙකු, ඔබේසේකරයන් ගේ පොතක් ගැන නොදන්න බව කියූ පමණින් අවිශ්වාසයක්  ඇති වුණු මුත්, වැඩිදුර කල්පනා කරන විට හැඟුණේ, එවන් නිලධරීන් ගේ පොත් පරිශිලනය ගැන කීමට තරම් මම තතු නොදන්නා නිසා, එය විය නොහැක්කක් බවට කිව නොහැකි බවය.

නූතන ස්වර්ණමාලී කතාවක් වන්  "චිත්ත වග්ගයේ නැති කතාවක්" ද, ඉතිහාසය හා පුරාවිද්‍යාව, අප රට මිනිසෙකුගේ පෞද්ගලිකව ප්‍රශ්ණ හමුවේ ඔහු ට වැදගම්මෙන් බොහෝ අල්ප බවත්, පින පව පවා සමීකරණයට ඇතුල් වන්නේ ම, තමන් ට හානිදායක නොවන මට්ටමේ පවතින්නේ නම් පමණක් බවත් ඉඟි කරන නිර්මාණයකි. 

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්, මෙහි එන වඩාත් සංකීර්ණ කෙටිකතාවයි. එහි බොහෝ විට රූපක භාවිතය සාර්ථකය. සිතුවමක ට ගැලපෙන ආකාරයෙන් ගමත්, ගමේ සැබෑ ජීවිතයත් විස්තර කර ඇති ආකාරය අපූරුය. එහෙත් එහි විසිරුණු බවක් ඇත. "ඈ", මෙම නිර්මාණය ම නුපුරුදු බවකින් ප්‍රශ්ණ කරයි - එය හිත් ඇදගන්නා වර්ණ සංකලනයන්ගෙන් යුත්, එහෙත් යම් අසම්පූර්ණ, අසංඝත බවකින් බාල කෙරී ඇති බවකි මට හැඟුණේ.

අප රට මිනිසුන් වර්ග දෙකකි. තමන්ට ලැබෙන විවේකි අවස්ථාවෙන් හෝ කුමන අවස්ථාවෙන් හෝ "කීයක් හරි හම්බ කරගන්න" උත්සාහ දරණ අය එක් කොට්ඨාශයකි. රැකියාව හෝ ව්‍යාපාරය හෝ කොට, හැකි ඉක්මනින්, තම ජීවිතය විඳීමට අවකාශ සාදා ගන්නා අයවළුන් අනෙක් කොට්ඨාශයයි.  අප ට "සොඳුරු - අඳුරු සර්ගයක්" හි හමුවෙන්නේ මින් පළමු වර්ගයේ මිනිසුන්ගෙන් අතරින් ද "ඇවිදින ලාභ අලාභ ගිණුමක්" බඳු අයෙකි.  තරුණ විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෙකුව අවධියේ සිටි විප්ලවකාරී සිසුවා,  ඇවිදින ලාභ අලාභ ගිණුමක් බවට පත් වූ වග කියාපාන මෙම කෙටිකතාව මෙහි එන සාර්ථක නිර්මාණයකි.

ගිහින් එන්න කාර්නිවල් හි සමහර කෙටිකතා වල තිබූ අසම්පූර්ණ බව මෙහි බොහෝ දුරට නැත. වෙසෙසින්, අප රට ජනප්‍රිය සංස්කෘතියේ සියුම් තැන්, ඒ මත පිහිටා  ම ලියන බවට ඒත්තු ගැන්වෙන ආරක සිට සියුම් නිරීක්ෂණ වලට, සියුම් විමර්ෂණයට ලක් කෙරෙන කෙටි කතා සංග්‍රහයකි.  මේ නිරීක්ෂණයන් ම, විමර්ෂණයන් ම වඩා රැඩිකල් බසකින්, ආස්ථානයක සිට ලියුවහොත් එහි පිළිගැන්ම මීට අඩු වනු ඇත. ඒ අනුව අප ලේඛිකාව ඉතා අපූරු ගැලපුම් ගෙන ඒමට සමත් වි ඇත. මා මේ පොත කියවන්නේ ඉසුරු චාමර ගේ හා කම්මැල්ලවීරගේ පොත් කියවා හමාරව, එරික් සහ පී.බී. ගේ පොත් කියවීම හා සමගාමීව ය. මේ පොත එම පොත් තරම් නූතන මතවාදි තැනෙක සිට ලියැවෙන හැඩක් බැලූ බැල්මට නොපෙනේ (එරික් ගේ පොත හැර - එහි ආකර්ශනීය සාංකාවක් මෙතෙක් කිය වූ නිර්මාණ තුලින් අත් දුටුවෙමි ) - සුමුදු ගේ ලේඛන ආස්ථානය ඊට සියුම් ය; විවේචන සියුම් ය, එහෙත් මනා අවබෝධයෙන් කෙරෙන ඒවාය; ඒවා  ප්‍රඥාගෝචර ය. එලෙස ම කෙටි කතා හතෙන් පහක ම පෙර පොතේ වූ අඩුපාඩු යැයි මට හැඟුණු ස්ථාන සුමට කොට ඒවා අනගි නිර්මාණ බවට පෙරළී ඇත. නියත වශයෙන් ම "ගිහින් එන්න කාර්නිවල්" ලියද්දී  සිටි තැනින්,  ඈ තම නිර්මාණ කෞශල්‍යය ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතින් මිතුරනි, "සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්" නොපැකිළී කියවන්න.

( 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම -3 )

කෙටිකතා
 ****
විදර්ශන ප්‍රකාශකයෝ
2019

Tuesday, 4 August 2020

කැඩපත් දහයක් - ජයතිලක කම්මැල්ලවීර

කෙටිකතාව විෂයෙහි, සිංහල සාහිත්‍ය ලෝකය තුල වෙසෙස් ලකුණක් ස්ථාපිත කොට ඇති කම්මැල්ලවීරයන්, සිය දොළොස්වෙනි කෙටිකතා සංග්‍රහය, පසු ගිය සැප්තැම්බරය ආසන්නයේ දිනෙක ප්‍රකාශ කල බව ආරංචි වූ කල, එහි පිටපතක් මිලදී ගැනිමට නොපැකිලු
නෙමි. ඉදින්, කෙටි කතාව කියවීම ම, පොත් කියවීම වන කාල පරිච්ඡේදයක් ඇරඹීමට එම පොත භාවිත කලෙමි.

"එකොළහ" කෙටිකතා සංග්‍රහය නිම වූ තැනින් කම්මැල්ලවීරයන් තම නව නිර්මාණ කර්තව්‍යය ආරම්භ කොට ඇති සේය.  කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාව නූතනය - එය ඔහු තම කෘතිය නම් කොට ඇති සේ ම නූතනය - එය ලාංකීය කෙටිකතා කලාව ට අලුත් මං විවර කර දෙන්නකි. නූතන ලොකයට විවෘත වී ඇති අපේ රට, වෙනස්වීම සිදුවන්නේ - ( ගණිත යෙදුමක් භාවිත කරනුයේ නම් ) ඝාතීය ආරකට ආසන්න වෙන්නට මෙනි (exponential යන අර්ථයෙනි ). අප රට කෙටි කතාකරුවා මේ වෙනස අප සමාජයට පෙන්වා දී, එය පිළිගැනීමට, එම වෙනස්වීම ට ආශිර්වාදය ලබා ගැනීමට  යත්න දරන්නා සේය. මේ කෘතිය හා සමාන්තරව කියවූ "ගැහැණු පිරිමි මල් පලතුරු" කෘතියත්, දැනට කියවමින් සිටින පී.බී. ජයසේකරගේ "ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ" කෙටි කතා සංග්‍රහයේ කතා වස්තූන්ගේ විෂයන් ද මීට සාක්ෂි සපයයි.
* "කැඩපත් දහයක්" කෘතියේ එන, "නෑ ඉතින් පුතේ...?"  කෙටිකතාව, නූතන පරම්පරාව විවාහය යන සංස්ථාව සලකන අයුරු, එය දේවත්වයකින් සලකනවා ට වඩා ප්‍රායෝගිකත්වයෙන් සැලකීමේ වෙනස, සිංහල කෙටිකතාවට අලුත් දාර්ශනිකත්වයක් ගෙනෙයි.
* එනුමුදු , අන් රටවල, රැකියාව අනුව අයෙක් ට විශේෂ සමාජ පිළිගැනීමක් නොකිරීම යන කාරණාව, අප ට තවමත් ආගන්තුකය. අපේ ලෙඛකයා මෙම කාරණාව අලලා අප සමාජයට කාලීන 'ටොක්කක්" ඇනීමට භාවිත කොට ඇත්තේ 'අපේ චිත්‍ර පාඩම' යන නිර්මාණය ඔස්සේය.
* එතැනින් නොනවතින කම්මැල්ලවීර, වර්තමාන තරුණයා වෙත විවෘත දැක්මක් හෙළමින්, "ෆේස්බුක් කවියෙක්" යන නිර්මාණය ඔස්සේ අප ට හුරු "බාස්සුන්නැහේ" වෙනුවට කවි ලියන, මාධ්‍යජාල භාවිත කරන, පිළිවෙලකට අඳින පළඳින පෙදරේරු තරුණයෙකු අප ට මුණ ගස්වයි. ඇත්තෙන්ම මෙම කාරණාව නූතන සමාජයේ අලුත් දෙයක් නොවන බවත්, පසුගිය අවුරුදු 10ක් පමණ කාලයක තිස්සේ සිදුවූවක් බවත් සත්‍යය කි. හාස්‍ය අනූන උත්ප්‍රාසයකින් කෙටිකතාව හමාර කරලීම ය, එහි පෙරළීම.
* තව දුරටත් වර්තමනාන සමාජය දෙස බැලුවහොත්,  කෑම සහ බීමෙන් අරපරෙස්සම් වීම තරුණ පරම්පරාව තුලින් දැකිය හැක්කකි.  නව තුරුණු වියට පා තබන අප දරුවන් පවා පිෂ්ඨාධික ආහාර භාවිත කරනුයේ විමසිලිමත්වය. අප පරම්පරාව, අවුරුදු 20-30ක් "බත් මාළු" ගිල දමා, දැන්  ඇවිදීමෙන්, ව්‍යායාම්‍යෙන් තම සරීර සුවතාවය නැවත ලබා ගත හැකි යැයි සිතන්නෝය. එම සමාජය මගින්, සමහර දොස්තරලා ට "රසික" පරම්පරාවක් ඇතිකරලීමේ උත්ප්‍රාසය පෙන්වා දෙමින් ලියවුණු කෙටිකතාවකි, "බයිපාස් සොසයිටි".
* කලෙක වැජඹුනු, එහෙත් දැන් තම ඉරණම වඩා අවාසනාවන්ත අඩවියකට ගමන් කර ඇති, කබා අඳින, සුද්දාගේ  බාසාව සුද්දාට වඩ හොඳින් හැසිරවූ පරම්පරාවෙන් අයෙකු පිළිබඳ කෙටිකතාවකි, "ඔහු මා වැලඳගත්තේ ය". වෙසෙසින් රෙදෙව්වෙන් ක්‍රිකට් විස්තර විචාරයන් ඇසූ පරම්පරාවක ට, එම සමහර විස්තර විචාරකයින් ගැන මතකයන් ඔවුන් මියයන තුරු ම පවතිනු ඇත.

කතුවරයා, "කාක මානය" සහ "පරණ යකඩ" යන කෙටි කතා දෙක කතුවරයා "කැඩපතක්" මෙන් කෙටිකතාව භාවිත කරන ආකෘතියට වඩා ආසන්නය. කුරුළු ලෝකයෙන් ද පිටු දකින සමහර හැසිරීම් මිනිස් ලොවේ තිබේ ද ? "රූප රාමු පහක්" මගින් දිගැරෙන vignette ආකාර නිර්මාණයක් වන "පරණ යකඩ" එක්තරා අයුරකින් දුම්රිය දෙපාර්තමේන්තුව ගැන ම සාරාංශයක් මෙනි.

කම්මැල්ලවීර ගේ සමාජ විචාර ආශ්‍රිත කෙටිකතාව අලුත් දෙයක් නොවේ. පීඩිත පංතිය මුල් කොට ගත් කෙටි කතා කම්මැල්ලවීර කෙටිකතා ඉතිහාසයේ ම සුලභය. තැලි පොඩි වී,  සමාජය විසින් යම් තාක් දුරකට නොසලකා හැරි අයෙකු පවා සාහිත්‍යය රසිකයෙකු වන නිසාම කවියාට වටිනාකමක් ඇති අයෙක් බවත් (රසිකයෙක් හා කවියෙක්), අත මිට නොමැතිකම හේතුවෙන්, තම මුණුඹුරන් පිනවීමට පොඩි හොරකමක් කල අයෙකු මුල් කොට ගත්, මම මට බයයි කෙටි කතාවත්, මෙම ගණයට අයත් නිර්මාණ ලෙස සැලකිය හැක.

යම් තාක් දුරකට සත්‍ය සිද්ධීන් මුල් කොට ගෙන ලියවුන්නක් යැයි සිතෙන "මායිම් නැති  හිත්" කෙටිකතාව මෙහි වඩාත් දීර්ඝ වූත්, බොහෝ රසවත් වූත් කෙටි කතාවකි. වරක්, දෙවරක් හෝ තෙවරක් හමු වූ ඉන්දියානු මිතුරන් සමඟ වූ ලබැඳියාවන්, බාසා සීමාවෙන් ඔබ්බට යන මිතුදමක් පිළිබඳ වූ විස්තර කිහිපයකි.  මෙම කෙටිකතාව කියවන් විට, කම්මැල්ලවීරයන්ගේ "ජීවිතයෙන් උපන් කතා", කියවීමට සිත් පහළ වේ.

සාරාංශ වශයෙන් ගත් කල සිංහල කෙටිකතාවේ මීළඟ අදියර  පිළිබඳ සතුටු  විය හැකි ආරේඑ කෙටිකතා සංග්‍රහයකි. කෘතියේ පිදුම ම "චක්‍රයේ ඊළඟ වටයේ ඇත්තන්ට ය" - එනම් කාරියවසම්, විජේමාන්න, අමරකීර්ති සහ වැලිසරගේ ට ය ( මට ඇති වූ පැණය -  ඉලයප්ආරච්චි මේ සූත්‍රයේ කොතනද? ඔහු කම්මැල්ලවීර ගේ සමයෙක් ද ? එසේනම් වැලිසරගේ ත් සමයෙක් නොවේ ද ? ). අමරකීර්ති මෑත සාකාච්ඡාවකදී පවසා අත්තේ ඔහු ට පසු කෙටි කතා කරුවන් පරම්පරාව ගැනය ( සෝමවීර, සමරවීර, මූණමල්පෙ ). මෙම කෘතියේ විශේෂත්වය එම පරම්පරා දෙකට ම  තරඟ කරන්නට ඉහළ මට්ට්මක් මෙම ප්‍රවීණයා විසින් විදහා දක්වා තිබීමය. ඒ, නැවුම් මාතෘකා, අලුත් පරපම්පරාවේ සිතුම්පැතුම්, ආකෘතික හරඹ ආදියෙන් පෝෂිත සංග්‍රහයක් අපට ප්‍රධානය කිරීම මගිනි.

(2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම් - 2 )

****
කෙටි කතා
විජේසූරිය ප්‍රකාශකයෝ
2019

Sunday, 2 August 2020

ගැහැණු පිරිමි මල් පලතුරු - ඉසුරු චාමර සෝමවීර


 සාමාන්‍යයෙන් මා වැඩියෙන් ම කෙටි කතා කියවන්න පෙළඹෙන්නේ මා වඩාත් කාර්‍ය බහුල වද්දිය. ඒ ලැබෙන මද විරාමය, කෙටි කාලයක් ආවධානය තබා, අනතුරුව අනෙක් කියවීමේ දි අලුත් අවධාන අවකාශයකින් පිරිමැසීමට හැකියාවක්, කෙටිකතාව තුලින් මා දකින නිසා ය. එබැවිනි, පසුගිය Man Booker සම්මානය දිනා ගත් මාග්‍රට් ඇට්වුඩ් ගේ The Testament, දෙවතාවක්  වැරදුණු තැත් වලින් මග නතරවද්දී, කෙටි කතා පොත් දෙකක් කියවා අවසන් වන්නේ. මෑතක ප්‍රකාශ වූ රජත පුස්තක නිර්දේශ කෙරෙහි නෙතක් යොමු කරන සඳ,  දුටුවේ මා මීට කලින් මිල දී ගෙන තුබූ ඉසුරු චාමර සෝමවීර ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" ( පාඨක ප්‍රතිචාරයන් හේතුවෙන් ), ජයතිලක කම්මැල්ලවීරගේ "කැඩපත් දහයක්" ( ඔහු සිංහල කෙටිකතාවේ වෙසෙස් ස්ථානයක් - ලකුණක් සනිටුහන් කරන්නෙකි ), පී. බී. ජයසේකරගේ "ස්ත්‍රී ද්වේශියාගේ බිරිඳ" ( වර්තමානයේ, එරික් ට පසුව වඩාත් සාධනීය ලෙසත්, සර්ථක ලෙසත්, නවකතා හා කෙටිකතා යන දෙඅංශයේ ම ප්‍රබන්ධ සාහිත්‍යයේ යෙදෙන්නා) යන කෘති තුනම නිර්දේශ වී නොමැති බවකි. ඉලයප්ආරච්චිගේ "විශ්‍රාමික පෙම්වතිය" පමණකි මා මිල දී ගෙන තිබූ කෙටිකතා සංග්‍රහයන්ගෙන් නිර්දේශ වී තිබූ එකම සංග්‍රහය. "ගිහින් එන්න කාර්නිවල්", හි තරමක සාර්ථකත්වයක් දුටුවෙන්, සුමුදු ගේ අලුත් පොත ද ("සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්" ), නිර්දේශ වීමෙන් අනතුරුව මිල දී ගත්තෙමි. ඉතින් මේ කෘති පහය, අද වන විට 2019 ප්‍රකාශ වූ, මා කියවීමට ඉටා සිටින සංග්‍රහන් ටික. රජත සම්මාන දිනුම, ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය නිර්දේශ සහ ජයග්‍රහණයන් අනුවත්, ඊටත් වැඩියෙන් වඩා විශ්වාසදායක පාඨක ප්‍රජාවගෙන් ලැබෙන නිර්දේශ මතත්  මෙම පොත් ගණන අනාගතයේ වැඩි විය හැකිය.

මේ කෘති පහෙන් ඉස්සිස්සෙල්ලාම කියවීම ඇරඹුවේ කම්මැල්ලවීරගේ "කැඩපත් දහයක්" වුව, කියවා හමාර කලේ ඉසුරු චාමර සෝමවීරගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" ය. එම කෙටි කතා හත තුල ඉවතලිය හැකි කෙටි කතාවක් නොමැතිය - ඇත්තේ, මා මෙතෙක් කියවා ඇති හොඳම කෙටිකතා, ඉතා හොඳ කෙටිකතා, සහ සාර්ථක කෙටිකතා පමණි. මේ කෘතිය රජත පුස්තකයට නිර්දේශ නොවෙන්න, නිර්දේශ වී ඇති සංග්‍රහයන් මීට  සාර්ථක විය යුතුය. එහෙම නේද? එය සිංහල කෙටිකතාව ට මඟුල් ලකුණක් ම ය.

ගැහැණු පිරිමි මල් පලතුරු , හි කෙටි කතා හතකි. කිඳුරු වෙරළ සහ පෙරේරා මහත්මිය මෙහි එන විශිෂ්ඨතම කෙටි කතා දෙකයි. පළමුවැන්න ලිංගිකත්වයේ නිදහස ට ලංකාවේ පවතින අසාධාරණ සීමාවන් පැහැදිලි චිත්‍රයක් ලෙස විදහා දැක්වේ. සමලිංගිකත්වය මුල් කොට ගත් මෙම කෙටි කතාව, එම තේමාව Funny Boy හි විපරම් කරනවා ට වඩා සවිස්තරව සහ අවංක ලෙසත්, වෙසෙසින් තරුණයෙකු ගේ දෘඨිකෝණයෙන් ද ලියැවී ඇත.

"දවසක් අමල් ගිහින් එයාගෙ අතෙ අත හැප්පුව.
'ඇනයක් නොවී යනවද? පොන්නයා" කියලා එයා අමල්ව තල්ලු කළා..

අමල්ට කඳුළු ආවා, තමනුත් බඩ තඩි මැදි වයසෙ මිනිස්සුන්ට මෙතනදි එහෙම්ම නොකිව්වත් 'වද නොදී යනවකො...' කියලා තියනවා නේද කියලා කියලා අමල්ට පස්සෙ හිතුණා."( 38 පිටුව)


ඒ අතර ම සම්මත විවාහයන් බොහෝමයක ඇති රඟපෑම ගැන ද කතුවරයා තැන් කිහිපයක පෙන්වා දෙයි. පෙරේරා මහත්මිය කෙටි කතාව රසවත් වන්නේ ඒ නිසා ය. "බැඳගත්තු බෙරේ ගහනවා", යන්න අපේ ලාංකීය සමාජය පිළිගත් සම්ප්‍රදායකි. ඉන් ඉවත්වීම, වෙසෙසින් ගැහැනියකට ජීවිතයේ ඉතිරි කාලයටම බලපාන කාරණාවකි.

"දෙයියනේ මේ අවුරුදු ගාණක් තිස්සේ තමුන් බලං හිටපු, ලකලැහැස්ති වෙච්චි දෙයක් නේද වෙන්නෙ කියලා හිතද්දි තමුන්ගෙ මුණට එන හිනාව කණ්ණාඩියෙන් දකිද්දි පෙරේරා නෝනට බය හිතුණා. එයා අඬන මුණක් හදාගත්තා." (65 පිටුව )

සම්මත විවාහයන්හි සීමවන් ගැන තව දුරටත් කියෙවන අවස්තාවකි "නිල් මල් ගවුම". සමහර සිහිනයන් හී මනරම් බව ආරක්ෂා වීමට ඒවා සිහිනයන් ලෙස ම තිබිය යුතුය. යථා ස්වරූපයට ඒවා පෙරළුණු කල, අර සිහින මැවූ සුමිහිරියාව වෙනුවට අප්‍රසන්නතාවක් ඇති විය හැක.

කුඩා ළමුන් පැවිදි දිවියට ඇතුලත් කරලීම ඔවුන් කෙතෙරම් ආත්මීය තනිකමකට, අසරණකමකට සහ අතරමංවීමකට ලක් කරන්නේදැයි සියුම් ව පෙන්වා දෙන කෙටි කතාවකි, 'සාන්ත'. මෙහි එන පොඩි හාමුදුරුවන්, සාමාන්‍යයෙන් අපේ සමහර උදවිය බලාපොරොත්තු වන ආරේ වැඩිමල් හාමුදුරුවන්ගේ ගොදුරක් වන්නේ නැත. ඒත්, පොඩි හාමුදුරුවන් ව අතැර දැමීම ඔහුට ඔරොත්තු නොදෙයි.

"නැවත කිසි දිනෙක මා සාන්තව දුටුවේ නැත. මෙය කිසියම් භූත දෝෂයකැයි ඔබ සිතනු ඇත. එහෙත් සාන්ත සහ ඔහු සමඟ කළ කී දෑ අදටත් මට ඉතා පැහැදිලිව සිහිපත් කල හැක." ( 34 පිටුව )


ලාංකීය සමාජය සමාව දෙන්නට අකමැති සමාජයකි. සාමාන්‍ය පෙළ අසමත් එකා ආයේ කෙදිනක හෝ උසස් පෙළ කර, විශ්ව විද්‍යාල ගිය මට්ටමක එකකු හා ගැලපෙන්නේ නැත. ඔහු නූගතෙකි.  "අමාරුවේ වැටුණු" එකියක ට ආයේ දිවි සරි කර ගැනීමට කිසිදු අනුකම්පාවක් අප සමාජයේ නැති තරම් ය. සෙමින් සෙමින්, විය යුතු පිළිවෙළට ම මෙහි වෙනසක් නොවෙනවා නොවේ. එහෙත් එතනට ඒමට පරම්පරා කිහිපයක් තව කඳුළු පමණක් නොව ජීවිත ද කැප කොට ඇත. අන් රට ද මෙම සීමා පසු කොට අද වන් තත්ත්වනට පැමිණ ඇති බව සැබවි. සමාජ ජාල මාධ්‍ය භාවිතාවේ එක් යහපතක් මෙය ලෙස දකිමි. ඉතින් "ගැහැණු පිරිමි මල් පලතුරු" තුලින් ද අප දකිනුයේ, අම්මා ලක් වූ පෙළඹීවිමකට තව දිවියෙන් වන්දි ගෙවූ දියණයකගේ කථාවයි. ඇගේ අවාසනාවන්ත ඉරණම ට පෙර ඇය ලොවට පෙන්වූ වෙස්මුහුණයි.

ලාංකීය සමාජය "හමුදා සෙබළා" සහ ඊට අනුයුක්තව ඇති වීරත්වය හමුවේ, එය එම පවුලේ ම අන් අය මත බලපාන අයුරු ඉතා සූක්ෂම ලෙස පෙන්වන නිර්මාණයකි, "සුදු අයියා".

කටකතාව මගින් එක්තරා සුළු සිද්ධියක් "යෝධයකු" කල හැක. "ඌ" එසේ යෝධයකි වූ එකෙකි. කෙටිකතාවේ උත්ප්‍රාසය සිත්ගන්නා සුළුය. සෝමවීර, උත්ප්‍රාසය වෙසරදව තම නිර්මාණ තුලට කාවද්දයි ( පෙරේරා නෝනා, නිල් මල් ගවුම මීට අනෙක් නිදසුන් ය).


මේ පොත පිළිබඳව ඇති එකම චෝදනාව, පොතක් ලෙස එහි නිමාවයි. Grantha ප්‍රකාශයක් ලෙස එළි දැක ඇති මෙහි නිමාව මීට වඩා හොඳ මට්ට්මක තිබීම, පාඨකයින් බලාපොරොත්තු වන්නකි.

පෙර කීවාක් මෙන්, 2019 වසරේ මීට වඩා හොඳ කෙටිකතා සංග්‍රහයක් නිකුත් ව ඇත්තේ නම්, එය සිංහල කෙටිකතාවට මගුල් ලකුණකි.