Saturday, 17 October 2015

තහනම් දේශයකින් - මොනිකා රුවන්පතිරණ

 අප රට විසූ අග්‍රගණ්‍ය කිවිඳියකයැයි සැලකෙන මොණිකා රුවන්පතිරණ කිවිඳියගේ, කාව්‍ය ( පංති ) 84කින් හෙබි, "තහනම් දේශයකින්" කාව්‍ය සංග්‍රහය කියවූවෙමි. මුල් වරට 1972 වසරේ එළි දක්වා ඇති මෙම කෘතියේ දෙවෙනි මුද්‍රණය 1998 දී සිදුව ඇති අතර, මා සතු එම මුද්‍රණයේ පිටපත මීට වසර හයකට පමණ පෙර සැප්තැම්බරේ සිදුවන පොත් සැණකෙළියේ දී,  කාව්‍යකාරයන්ගේ එකමුතුවේ (නාවල ) කුටියෙන් මා මිලට ගෙන තිබුණේ රුපියල් අසූවකට ය. මීට පෙර මා කිවිඳියගේ එක් කාව්‍ය සංග්‍රහයක් කියවා ඇතත්, ඒ කලකට පෙරය - එය "ඔබේ යෙහෙළිය-ඇය ගැහැණිය" යැයි මතකයි වාගේය ( කෙසේ හෝ එහි ඇගේ  සුප්‍රසිද්ධ කවි පංතියක් වන තේ දළු නෙලන ලඬකගේ බිළිඳි වයසේ දී අතුරුදන් වූ පුතු ගැන වූ කවි පංතිය තිබිණි ).




කිවිඳිය විසින් ප්‍රකාශිත වැ බෙදීමක් සිදු කර නොමැති වුවද , පළමු කවි පංති 43 ඒවා රචිත මාතෘකා ඔස්සේ, පොදු ජන ජීවිතය, ජ්වීතයේ පීඩාව, එම පීඩාවේ සරතැස ආදී වූ පොදු මාතෘකා ඔස්සේ රචනා වූ ඒවා ය.මේ කවි පංති අතර මේ කාව්‍ය එකතුව මුල් වරට ලියවුණු යුගයේ සිදුවූ, අප රට ප්‍රධාන ම සිදුවීම වූ '71 කැරැල්ල ගැන කවි පංති කිහිපයක් ම වෙයි. "තාත්තා කියූ සිරිතේ වෙනසක් (1972 අළුත් අවුරුදු දා ), එවන් කවි පංතියකි:

"පසුගිය වසරේ නව අවුරුදු දින
කිරි උතුරවනා මංගල මොහොතින...

තෙල පෙනෙනා අඹ ගස මුල වැතිරී
මිනිසෙකු මළැ බැව් මතක ද දරුවෙනි?

මෙතැන් පටන් කොට දරුවනි එබැවින
අවුරුදු කුමරිඳු වඩිනා හැම දින
පහන රැගෙන ගොස් එම සුභ මොහොතින
අඹ රුක මුල එය දල්වාලනු මැන!"


"කොහාගෙන් කවියක්" යන කවි පංතිය ද, ඒ සිදු වූ "මල් දහසක" මියැදීම ගැන ලියවුණු අගනා කවි පංතියකි.

"පෙර කිසි බක් මහක නොදුටු
එරබුදු මල් සිය දහසක්
පසුගිය එක්බක් මහකදි
දුටුයෙමි බැලු බැලු හැම දෙස
...
මා දුටු එරබුදු මල් නැත
තැන තැන රතු ලේ බිඳු ඇත
මගේ ගීතය ගොළු වී නැත
තනුවේ වෙන්සක් වී ඇත!"

මේ පළමු අර්ධයෙ පාඨකයා ගේ සිට යම් වික්ෂිප්තභාවයක් උපද්දවන්න සමත්, අපූරු කවි පංති රැසක් වෙයි. "දිසාපති කාමරයේදී" , "පුත්‍රයෙක්" , "යාදින්නක්" , "නිවාඩු ඉල්ලීමයි", "විත්තිය කියයි" හා "කුණාටුවක් කථාකරයි" ඊට නිදසුන් ය. පෙර කී සිත අවදි කිරීම හෝ, වරෙක වික්ෂිප්තබාවය ගැන යම් තහවුරු කිරීමක් වශයෙන් මෙහි තව එක් කවි පංතියක් නිදසුනක් ලෙස ගෙන හැර දක්වමි. ඒ කෙටි කව දෙකකින් හෙබි, එහෙත් බොහෝ දෑ කියනා "උපතක්" නම් වූ කවි පංතියයි. එය මෙසේය:

මා නොම දුටු මගේ පියා
මේ ලොව තුළැ වෙසෙනා බැව්
ගම් දරුවන් මුවගින්
කෙළි පිටියෙදි ඇසුයෙමි මම!

මවුනි, මෙනුඹ ඔබේ කුසෙන්
මා බිහිකළ දිනයේ නොව
අද උදයේ එම මොහොතේ
මෙලොව එළිය දුතුයෙමි මම!

පෞද්ගලිකව මා සිත් වඩා ඇද ගැනීමට සමත් වූයේ, මෙහි දෙවෙනි කවි හෝ කවි පංති 41 ය. ඒවා තුල ප්‍රේමය, විරහව, පෙම්වතුන් අතුරෙන් කෙනෙක් අනෙකාගෙන් විමසන පැණ ආදියෙන් යුක්තය. ඒවා බාගෙට බාගයක් පමණ එක් කවකට සීමාවූ ඒවාය. එහෙත් ඒ අධික ඝනත්වයෙන් යුතු වූ පද පේළි කිහිපය තුල, කව කියවන්නා බොහෝ වෙලාවක් සිතුවීල්ලේ යොදවන්න ට සමත්, වරෙක දිගු කථාවක් අතිසංක්ෂිප්ත ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇති නිසා පාඨකයා සිතුවිලි අතර අතරමං කිරීමට සමත්, ඒ වාගේම නැවත නැවත කියවන්නට රුකුල් දෙන ආකාර කවි "මොට්ටු" රැසකි. මා කියනා දේ තහවුරු කරනු වස් එවන් කවි ( පංති ) දෙකක් පමණක් පහත ගෙන හැර දක්වමි.

(අ)වාසනාවකි
----------------
නිවී යන ආලෝක තලයක
                  ලලිත රැඟුමක් රැඟූ සේ          මය
රාග වාදන  නොමැති මොහොතක
                   මියුරු ගීයක් ගැයූ සේ           මය
අන්දකාරෙන් වැසුණු තිරයක
                   සිතුවමක් සොඳ මැවූ සේ      මය
උදා වූ අපේ සෙනෙහස
                   රැයක් තුළ සෙනෙහසක් සේ මය 


අපේ කථාව
-------------
මුතු පිණි බිඳු යුගලක් සේ
විසල් පතක් මත හුන් අපි
පාවෙන මඳ නලවැල් මැද
එක් පිනි බිඳුවක් වූයෙමු:
මොහොතක් වා ගැබ කලඹා
මහ සුළැඟක් හැමු දිනෙක
කඳුළුබිංදු යුගලක් සේ
යළි අපි දෙපසට වූයෙමු!



මෙවන් ආරේ කව්මුතු හතලිස් එකකින් පොහොසත් මේ කෘතියේ දෙවෙනි කොටසත්, පෙර සඳහන් පළමු අර්ධයේ කවි එකතුවත් ජනිත කරවන රසයන් පුළුල් වශයෙන් දෙ-ආකාර මුත්, පාඨකයා ට කිවිඳිය ගේ වෙනස් වූ කෘති දෙකක් රස විඳිනාකාරයෙන් හෝ රසවිඳිය හැකිය. අනෙක් අර්ථයකින් සලකන්නේ නම්, කිවිඳියගේ කව්කමේ වපසරියක පුළුල් බැව් කියා පානා  කෘතියකි. 



No comments:

Post a Comment