ඊ - ලක්ෂාන්ත අතුකෝරාල
==================
****
යටි වියන, හිතග්ගිස්සේ නැකත් මොට්ටු, අමාවකේ සඳක් සිඹිමි සහ වැසි ඉසෙන ඉසව් යන කවියා මීට පෙර ප්‍රකාශ කොට ඇති කවි පොත් සතර කියවීමෙන්, කවියා කෙරෙහි ගොඩ නැඟී ඇති විශ්වාසය හේතුවෙන්ම කිසිදු පැකිලීමකින් තොරව, කලකින් පසු ප්‍රකාශ වූ නවතම කාව්‍ය එකතුව වූ "ඊ" නම් කෘතිය මිල දී ගෙන කියවූවෙමි. ඒ පෙර කිවූ පොත් හතර, මවුරටින් පිට වෙසෙන මා සතුව මේ මොහොතෙහි නැති හෙයින්, ක්ෂාත්ක්ෂාත් කල නොහැකි වුව ද, ලක්ෂාන්ත භාවිත කරන කවි බස තව මුහුකුරා ගොස් බවකි, මගේ මතකය මට කියා පාන්නේ. වෙසෙසින් ම, මා මේ කවි පොත කියවූ මෑත කාලයේ දී ම කියවූ අනෙක් කවි එකතූන් වූ රුවන් බන්දුජීවගේ "මීළඟ මීවිත" හා සෞම්‍ය සඳරුවන් විතානගේ ගේ, "හැටේ වත්තේ මග්දලීනා" නම් වූ මෑත කාලයේ සම්මාන දිනා ගත් කවි එකතූන් වල භාවිත කවි බස හා සසඳද්දී, ලක්ෂාන්ත තරමක සම්මත කවි බසට නැඹුරු යැයි සිතිය හැකි බසක් භාවිත කරන බව පසක් වේ. උදාහරණයක් වශයෙන් දිනෙක හවස් යාමයේ කවි පංති කිහිපයක් කියවිමියි, අතට ගත් "මීළඳ මීවිත" කවි පොත, ඊට හෝරා දෙකකට පසුව බිමින් තිබ්බේ මුළු කවි එකතුවම කියවා හමාර කිරීමේ අනතුරුවය. ඊට සාපේක්ෂව "ඊ" කියවීමට දීර්ඝ කාලයක් ගත විය. "ඊ තුඩු චම්පුව" හතර පස් වතාවක් කියවූවෙමි. ඊ ද මීළඟ මීවිත ද අපුරූ කවි එකතූන් ය - මා මේ භාවිත බසේ වෙනස කියවන්නාට බලපාන විදිහ කියාපෑමට පමණකි, මේ ස්වල්පය කියා පාන්නේ.
නියම රස උකහා ගැනීමට දෙතුන් වතාවක් කියවිය යුතු අවස්ථා තිබුන ද, ලක්ෂාන්ත තම කවි සඳහා ගන්නා මාතෘකා වුව අපූරතවයෙන් හෙබිය. පන්සලෙක වාමන රූප දුටු ආබාධිත සෙබලෙකු ගේ ආයාචනයේ සිත්තැවුල බලන්න:
"අස අසා උතුම් දම් කඳ
අවබෝධ කළත් භව දුක
පොරවන්න එපා කහ වත
කැත දෙපා සිඳුණු කොටෙකුට
තව වාමනයෙකු වී හෙට
නවතින් ඔබේ පා යට
ඉඩ දෙතොත් එසෑහේ මට"
පේළියට වැටී වාමන
සරස්වතී නම් කවි පංතියක් සාමාන්‍යයෙන් නොසිතෙනා මාතෘකාවක් ඔස්සේ, ඇයටම කෙරෙන අපූරු ආයාචනයකි:
"තිස් පෑ තිස්සේම සාහිත සයුර ඉසින
මතකයේ මුළුවල නවනළු ගී අමුණන
අපේ හිතැස් අස්සෙන් සෙසු ලොවට පිවිස
දියං ! නඳුන්නන්ටත් පහස පවස
අපිව සැනැස්සුවා මදැයි
පරිස්සමෙන් දුරස් වෙලා
කාසි මගොස්සේම ගොසින්
වෙහෙසෙන තුටු නොවෙන මනැස්
රහස් පෙමින් සනස්සපං!"
වන්නි පැලපතකින් පමිණ, සිප් උගෙන, රටේ බහුතරයක් කරනා අනේක හොරකම් ගැන කලකිරීමට පත් නොවී, තම වැටුප බරක්යැයි සිතමින් තම රටට සේවය කරන තම මිතුරෙකු කෙරෙහි ඇති පුදුමය රැගත් භක්තිය පිදෙන "ලංකාව" කවි පංතිය ද සාමාන්‍යයෙන් රටේ මුළු ජනතාවගෙන් එක් කොට්ටාශයක් කෙරෙහි පමණක් සංවේදී ව කවි ලියන කවීන් බහුතරයක් වෙසෙන රටක, නැවුම් මාතෘකාවක් ලෙස දිටිමි:
"වන්නි පැළකින් පැමිණි - පුබුදුවාගෙන නැණැස
හඹා එන නළල පටි - ඩොලර මිටි නුදුටු ලෙස
මගේ සේවය මගේ ලංකාවටයි කියන
මඳ වැටුප වුව මහා බරක්යැයි පහදවන
ඔබේ හද බස මගේ නෙත් කෙවෙනි තෙමාලයි"
හුදෙක භාෂා භාවිතාව හේතුවෙන්ම, ඊටම ගැලපෙන මාතෘකාවක් සඳහා ම ඒ භාෂාව කොට නිර්මාණය කල "තුරුලතා ඕ!" කවි පංතිය ද, තුන් හතර වතාවක් කියවීම හරහා මහත් වින්දනයක් ලත් හැකි කවි පංතියකි. එහි පද බෙදී ඇති අයුරෙහි සැංඟී මුකුළු පාන රිද්මය මා කුල්මත් කරයි ( මෙහි ඇති පද බෙදීම මාගෙනි - එය මේ උදෘත කවිය කියවන අය කුල්මත් කරවුණු උදෙසාය; ලක්ෂාන්තයෝ මට කමා කරත්වා ):
"ඈත යුගෙන් - පින්සාර ලෙවන් ලද - බෝධි දහම් සෙවනේ
නේක බවුන් - වඩනා වූ තවුස් හට - වාස වුණත් පොරණේ
රෑක ඇවිත් - බලකාර මහත්තැන් - සිඳිති එරුක් අරණේ
මේක නියං - කතරක් ව නොයන්නට - වේද කුමක් සරණේ"
මෙතරම් රිද්මයක් ඇති, අලංකාර කවි බසක් භාවිත නිර්මාණ නම්, වත්මනෙහි බොහෝ කවීන්ගේ නිර්මාණ අතර දකින්නට නැති බැව් නම් නොකියා ම බැරිය.
මා මේ කෙටි සටහනේ අවදානය වඩාත් යොමු කලේ අඩුවෙන් අවදානය යොමු වෙන දිසා කෙරෙහි කවියා තම අවදානය යොමු කර ඇති බවත්, තම කවීත්වය හරහා එම මාතෘකා වලට සාධාරණයක් ඉටු කොට ඇති බවත් පෙන්වීමටය. ඊට අමතරව සාපේක්ෂ වශයෙන් සුලභ වුව, වඩා හද කම්පනයට පත් කරවන විෂයන් කෙරෙහි ද කවියා තම සිත මෙහෙය වූ අවස්ථා බොහෝමයක් ඇත.
-මිය ගිය බිරිඳක, මවක ලෙස, ඈත සිටන් තම සැමියා හා දරුවන් ගැන සෙනෙහෙන්, ලොබින් හරිනා සුසුම් වැළක් සේ නිමැවී ඇති "මාලි" එවන් එක් කවි පංතියකි:
"පුතාලා පාරදිග පාසලට යන විට ද
සෙනේ රෑ වැඩ ඇරී සයිකලෙන් එන විට ද
සොහොන් කොත්- පින්න ගස් - ගොක් කැරලි පිටු පසින්
එබි එබී බලා ඉන්නට තියෙන ආසාව
තව වැඩෙයි මට පලා යනු නොදී"
-මනමේ (මන මේ!) පුවත ආදේශ කරමින් ඉතා සියුම් ව, අන් දිශාවකින් අර්ථගැන්වෙමින් අගනා නිර්මාණයක් සිදු කර ඇත. මනමේ ගැන අනේක කවි, ගීත තිබුණ ද, මෙලෙසා රූපක දෘෂ්ඨියකින් මීට පෙර එය අල්වාගෙන ඇත්දැයි නොදනිමි:
අමාවකඟුරු මිලින රැයවල්
දහසකට පසු ආ උදේ
පුළිඟු රතු එළි සිළක් දුටුවෙමි
රොනවුලන දැවටි බඳේ
එසඳ බැඳුනෙමි අරුමයෙහි
මා තුළම විහිදෙන සුසුවඳේ
මිය ගියා මෙනි එමොහොතට
වැදී කඩු පහරක් හදේ
ලෙලෙන කඩුසර වැනුම් සරි වූ
විදුලි සිතිවිලි සරි වූ
විදුලි සිතිවිලි වාවමින්
කඳුළු ගඟ දී මිදෙනු හැකි වෙද
නුරා මායා සායමෙන්
නොඅදහන බස් කියමි අවුදින්
මිදී වැදි රුව පා මුලින්
කඩුව දුන්නා නොවේ රජුනේ
උදුරාගත්තා වෑයමින්"
සවුන්දර්යා, චිංචි, ඇමතුමක්, ප්‍රේමකීර්ති හා පුතු, ආදි වශයෙන් මෙම කවි එකතුවේ බොහෝ කවි තුලින් මහත් ආශ්වාදයක් ලද්දේ එහි ඇති සිත කම්පවන සුළු කවීතවය හෝ , මනරම් බස හෝ , ඒ දෙකම නිසා ය. මේ වන විට මේ වසරේ බොහෝ සාහිත්‍ය සම්මාන වල හොඳම කවි එකතුවට නිර්දේශ වී තිබුණ ද, තවම ජයක් ලබා ගැනීමට නොහැකි වුවද, මෙය කියවිය යුතු කවි එකතුවක් ලෙස සළකමි. මෙතෙක් සම්මානයන්ගන් පිදුම් ලත් "යන්නං චන්දරේ ", "තෙමි තෙමි ම මම" හා "කඳු මුදුන" තවම කියවා නැති හෙයින් (ඒවා කියවීමට ඒවා මා සතුව මෙහි නැත) , මේ වසරේ කවි පොත් අතර සැසදීමක් නොකර සිටිමි.
No comments:
Post a Comment