Saturday 24 October 2015

අවධානයයි: ඔබගේ ආමාෂය ට වීදුරු කුඩු ජීරණය කරලීමට හැකි ද ?


වීදුරු කුඩු කැවුණු කලෙක - පියල් කාරියවසම්
====================================


 පිටු 82ක් වන් සුළු ඉඩක දිගහැරෙන, වෙනස් ආරක කෙටි නවකථාවකි, "වීදුරු කුඩු කැවුණු කලෙක". කෙටි කථාවට වඩා සුප්‍රසිද්ධ කතුවරයා, තම පළමු නවකථාව ලෙස මෙය පළ කොට ඇත්තේ 2009දී ය. 


මෙහි එන මහේස්ත්‍රාත් පියසෝම, කුඩා කල දුක් විඳ සිප්සදාරා, සරසවියේ ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගෙන, නීතිඥ්ඥයෙකු වී, සරසවි පෙම්වතිය හා විවා පත් වී, එතෙක් කල් ජීවිත සටන් දිනූ අයෙකි. එහෙත් නීතිඥ්ඥයකු ලෙස තමන් දකිනා සමාජය විඳ දරා ගැනීමේ අපහසුව හේතුවෙන්ම මහේස්ත්‍රාත් පදවිය ට මරු වන්නේ, එය හරහා කබලෙන් ලිපට වැටෙන්නෙකු වන්නේ, තම සංවේදි බව නිසාම ය. මහේස්ත්‍රාත්වරයාට "වීදුරු කුඩු කැවෙන්නේ" තම රැකියාව නිසා ය. රෝගි සමාජයේ ගැවසෙන්නා සාර්ථක වීමට නම් "වීදුරු කුඩු" පවා දිරවා ගත හැකි "බොක්කක්" තිබිය යුතුය. එවන් "බොක්කක්" නොමැති අප මහේස්ත්‍රාත්වරයා මත්පැනට ගොදුරු වන්නේය.

මේ නවකථාවේ අප අවදානය යොමු වන සීමිත කාල පරාසය ඇරඹෙන්නේ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳගේ අකල් මරණය සමඟය.  දෛනික ජීවිතයේ අත්දැකීම් වල අභියෝග, බිරිඳගේ අභාවය ආදි තමන ට මුහුණ දිය නොහැකි තත්ත්වයන් හමුවේ පිලියමක් ලෙස තවතවත් මතට ගොදුරු වන මහෙස්ත්‍රාත්වරයාගේ, මානසික විෂාදි තත්ත්වය සහ භ්‍රාන්තිය   ඔස්සේ නවකථාව ගලා යයි.

මේ කෘතිය ගැන කිව යුතු ඉතා වැදගත් කාරණාවක් නම් එහි කිසිසේත් නොසැලකිය නොහැකි කෆ්කානු ආභාෂයයි. කෆ්කානු නිර්මාණ වල පවතින අධිකරණය රාජ්‍යයේ මර්දන උපක්‍රමයක්ය යන ප්‍රස්තූතතය, ඒ අර්ථයෙන් ම නොවුණ ද, මහේස්ත්‍රත්වරයාගේ පිරිහෙන මානසික තත්ත්වය පෙන්නුම් කිරීම උදෙසා භාවිතා කොට කෆ්කානු අවසානයක් කරා නවකථාව යොමු කොට ඇත.

ඊට අමතරව පාඨකයාව විටින් විට, මෙහි එන මහේස්ත්‍රාත්වරයා නමින් ලියූ කෙටිකථා ඔස්සේ වෙනත් ස්පර්ශක කරා සැරිසැරීමක් කරයි. එවිට අපිට හමුවන්නේ විමලරත්න කුමාරගම, දයා පතිරණ, පල්ලේවල ස'ර් ආදි චරිතයෝය. උක්ත නවකථාවට ඍජු සබඳතාවක් නොමැති මෙම ස්පර්ශක ඔස්සේ වන කෙටිකථාමය ප්‍රක්ෂේපණ, නවකථාව ට රසකාරක ලෙස එය වඩා රසවත් කරයි, වින්දනීය කරයි. එමපණක් නොව වෙසෙසින් කෙටි කථාව යන කලාකෘතිය ඔස්සේ කතුවරයා කෙතෙක් දස්කම් පාන්නෙක් විය හැකිදැයි ඉඟිකරයි.

නවකථාවේ සැලකිය යුතු කොටසක් මහේස්ත්‍රාත්වරයාගේ මානසික ලෝකය තුලට සීමිත සිදුවීම් ය. මියගිය තම බිරිඳ සමඟ ඔහු පවත්වාගෙන යන සබඳතාව, තම රැකියාවේ ලිපිකාරිණිය සමඟ මනෝ ලෝකයේ ඔහු ගෙන යන ලිංගික සබඳතාව වැනි මනෝ ලෝකයට පමණක් සීමා වූ සිදුවීම්, මහේස්ත්‍රාත්වරයා ගේ මානසික තත්ත්වය කියා පෑමට අමතරව, මහේස්ත්‍රාත්වරයා ගැන පරිපූර්ණ වැටහීමක් පාඨකයා වෙත ගෙන දීමට තැත් කරයි.

එක් අතකින් ගත් කල මෙහි ඇති කථාන්දරමය කොටස අවමය. පියසෝම නම් වූ මහේස්ත්‍රාත්වරයා ගේ මනස තුල අක්‍රීය ව විසීමට ඉඩ හසර සලසා දෙන කතුවරයා, එම මනස ක්‍රියා කරන වික්ෂිප්ත ආකාරය දැක බලා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙයි. 

මේ කෘතිය ප්‍රකාශ වූ කාලයේ  කිසිදු සම්මානයකට මේ කෘතිය නිර්දේශ හෝ වූ බවක් මට නම් මතක නැත. එය එසේ නිර්දේශ නොවුණේ නම්,සමහර නවකථා වලට අප සාහිත්‍ය සම්මන විනිසුරු මඬුලු වලින් ලැබෙන නොසැලකිල්ල පිළිබඳ හොඳ නිදසුනකි, එය.

No comments:

Post a Comment