Sunday, 4 October 2015

මිණි හා හිස් පිරවුම් වල එක්කාසුවක් වූ "ආදරණීය වික්ටෝරියා"

මාගම් සෝළිය කියවා, මඩවලගේ අලෙවිකරණයේ ගොදුරක් වූ මුත්, 2013දී ප්‍රකාශ වූ ලොවිනා කෙතෙරම් මා සිත් දිනා ගත්තේ ද යත්, ඒ වසරේ මා කියවූ පොත් 11ක් අතරින් තුන්වැනි තැනට නම් කිරීමට එම කෘතිය මා පෙළඹවීය. මෙම වසරේ රාජ්‍ය සාහිත්‍ය, විද්‍යෝදය, ගොඩගේ සම්මාන උදෙසා අවසන් වටයටත්, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයටත් ඒම හරහා ත්, "මේ අපේ රේන්ද කරුවන්ගේ කථාවයි" යැයි නන් තැනෙක කියවෙන කථා ඇසීමෙන්, 2014දී ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් කෘති දහතුනක් අතරට ආදරණීය වික්ටෝරියා පැකිළිමකින් තොරව තෝරා ගතිමි.  ඉතින් එසේ තෝරා ගත් කෘතිය කෙසේ ද ? බටහිර සංගීත ලෝකයේ, සමහර ඇල්බම තුල අග්‍රගණ්‍ය, විශිෂ්ඨ ගීත තුන - හතරකුත්, සාමාන්‍ය නැතහොත් ඊටත් පහත් ගණයේ ගී හය-හතකුත් සමඟ ගීත ඇතුලත්ය ( හොඳම ගීත ඇල්බම වල සමස්තයක් වශයෙන් 90% වඩා ඇත්තේ හොඳ ගී ය). විචාරයකයන් මෙවන් ගීත ඇල්බම වලට ෆිලර්  (filler) නොහොත් පිරවුම් මාධ්‍ය වලින් හෙබි ඇල්බම ලෙස නම් කරයි. මට මඩවල ගේ ආදරණීය වික්ටෝරියා ද මෙවන් හිස් පිරවුම් වලින් ගහණ, එහෙත් තැනින් නැත මිණි මුතු වන් කොටස් වලින් ද හෙබි කෘතියකි.


සැබවින්ම කෘතියේ මුල් කොටස් වල මිංගල්ල බිංගේ, මොරගොල්ල බිංගේ ආශ්‍රිත කොටස් ගැන රසවත් කථාපුවත් කියවෙද්දි, මා ද මහත් බලාපොරොත්තු ඇතිව ඉදිරි කොටස වෙත යොමු වීමි. සත්‍ය වශයෙන් ම අන්දිරිස් "රේන්ද බංගල්ලාවක්" තනන තෙක්, පෙර කී පිරවුම්  වලින් සිදුවන හානිය අවමය. එතනින් එහාට, වෙසෙසින් කෘතියේ දෙවෙනි අර්ධයේ පිරවුම් වලින් ගහණය. ඒ කොටස් පාඨකයා වරෙක වෙහෙසටත්, ඊටත් එහාට ගොස් උදහසටත් පත් කරයි. මේ හිස් පිරවුම් සාධාරණීකරණය කරන්න, ඒ මායා යථාර්තවාදී රීතිය යැයි අයෙක් කියන්නේ නම්, ඔහුට හෝ ඇයට කිව යුත්තේ සුදුසු මාත්‍රාවෙන් මායා යථාර්තවාදි රීතීය භාවිත කිරීම හා හිස් පිරවුම් වලින් පිටු පිරවීම දෙකක් බවය. මඩවල ම වෙසෙසින් ම ලොවිනා වලත්, මෙහි සමහර තැනෙකත් වඩා උචිත ව මෙම රීතිය භාවිතා කර ඇත.  එහෙත් එක් නිදසුනක් ලෙස මෙය සලකන්න; (185 පිටුව ) "පෙරේත පිදේනියක් ළඟ ඉපදුනු වුණත් ඇල්ෆ්‍රඩ් වාසනාවන්ත දරුවෙක් විය. ඔහු ඉපදුණු  දවසට පහුවදාම අන්දිරිස් ලීනාගේ අත් උදව්වට ආයම්මලා දොළොස් දෙනෙකු වැඩට ගත්තේය...." මින් පටන් ගෙන 188 පිටුවේ, "කුඩා ඇල්ෆ්‍රඩ් ට තන කිරි අපුල වී තිබුණේ මේ කාලයේ ය. පැය විසි හතරම කිසිම නිදහසක් නැතිව ඔහුට සිද්ධ වුණේ මේ ආයම්මලාගේ තන කිරි බොන්න ය." ඉතින් මේ අතර පිටු දෙකහමාරක් පමණ තනිකරම පෙර මා හඳුන්වාදුන් හිස් පිරවුම් ය - පිදුරුය. ඔහුට කීමට තිබූ දේ කීමට ඇත්ත වශයෙන් ම එක් ඡේදයක් ප්‍රමාණවත් ය. මෙවන් අවස්ථා බහුලය. බිළිඳි වයසැති වික්ටෝරියාගේ අඳුම් දහස් ගණණ රැස් කිරීමේ තතු, ලීනා බටහිර පන්නයේ ඇඳුම් වලට ඇති කෑදර කම හා ඒවා රැස් කල අයුරු, සෙලිනා නම් බැල්ල පිළිබඳ විස්තර හා ඇල්ෆ්‍රඩ් එංගලන්තයට ගොස් සපත්තු එක්කාසු කිරීම ආදි වශයෙන් මෙවන් හිස් තැන් වලට නිදසුන් බොහෝය.

සමහර අයෙක් මෙහි ඉතා රසවත් තැන් හෝ තමන්ගේ න්‍යායට හෝ න්‍යාය පත්‍රයට ගෝචර කොටස උකහා මේ  කොටස් කිහිපය මත පිහිටා කෘතිය වර්ණනා කරයි. මා සතුව ඇති පස්වෙනි මුද්‍රණයේ පසු පිටු වෙන් කොට ඇත්තේ "විචාරක ඇසට" ය. එහි අනුර කුමාර දිසානායක හා අශෝක හඳගම තම න්‍යාය පත්‍රයන් මත ප්‍රහර්ශයට පත් ව, යම් යම් උද්‍රිත සිද්ධින් මතු කර කෘතිය පසසා ඇත. එහෙත්  පාඨකයන් වන අප හට සමස්ත කෘතිය දෙස බලා එවන් සතුටකට පත් විය නොහැක.

අනෙක් කාරණාව වන්නේ මේ ආශ්‍රිත විෂයානුබද්ධ, එහෙත් මීට වඩා බොහෝ ඉහළ තත්ත්වයෙන් යුතු නිර්මාණ අප ට මීට පෙර හමු වී තිබීම ය. කඩුල්ලේ කුරුතේරිස් ට අන්දිරිස් ට අලගු තිබීමට හෝ නොහැක. එතරම් ම ඉහළ ගණයේ නිර්මාණයක් නොවුන ද, මෑත දී නිකුත් වූ පොතක (කාල නදී ගලා බසී ) "වීරයෙකු" වූ සාදිරිස් හා අන්දිරිස් අතර යම් සමානකම් ද දැකිය හැකි ය - එය නම් හුදෙක්ම අහම්බයක් ලෙස සහතික ලෙස විශ්වාස කල හැකි වුව ද, ඒ හා සමගම ප්‍රකාශ වූ ආදරණීය වික්ටෝරියා හී අන්දිරිස්ගේ අගය අඩු කිරීමට හේතු වුවා දෝ යැයි සැකයක් මට සිතේ - එක් අතකින් මේ දෙවෙනි කාරණාව නොසැලකිය හැකි තරමක දෙයක් ද විය හැක්කේ, එය ලේඛක දොසක් නොවන බැවිනි.

සමස්තයක් ලෙස කිව හැක්කේ මඩවල "ලොවිනා" ඔස්සේ කල නිර්මාණාත්මක වික්‍රමයන් පෑමේ ගමනේ තාවකාලික පසුබෑමක් ලෙස, පාඨකයකු වශයෙන් මා "ආදරණීය වික්ටෝරියා" දකිනා බවකි.

No comments:

Post a Comment