Friday, 9 October 2015

අමරසේකරුන්ගේ කෙටිකථා වල ප්‍රගමනය, "කියනු මැන දිවි අරුත" කෘතිය, හා අප රට ප්‍රධාන විචාරකයන්ගේ ආදානග්‍රාහි බව



අමරසේකරුන් 2013 දී ලියා පළ කල, ඒ වෙනුවෙන් 2014 දී රාජ්‍ය සාහිත්‍ය හා විදුදය සම්මානයෙන් පිදුම් ලත්, "කියනු මැන දිවි අරුත" නම් වූ කෙටි කථා එකතුව කියවූවෙමි.

අමරසේකරගේ කෙටිකථා , පුළුල් වශයෙන් යුග තුනකට බෙදා පෙන්විය හැකි ලෙසකි මට දිස් වන්නේ. මුල් කාලීනව ලියැවුණු "රතු රෝස මල", 'ජීවන සුවඳ"  ආදීයේ දී තමන්ගේ ගමේ හා පේරාදෙනියේ සිදුවීම් තම කෘතහස්ථ සාහිත්‍යම හැකියාවෙන් ඔපමට්ටම් වී ලියවුණු විශිෂ්ඨ නිර්මාණ ලෙස සියල්ලෝ පිළිගනිති.  ඉන් පසු යුගයේ ලියැවුණු "මරණ මංචකයේ දුටු සිහිනය" ආදි කෘතීන් උදෙසා ලෙඛකයාගේ දේශපාලන දෘෂ්ඨිය නිර්මාණ වලට වඩාත් බලපෑවේය. එනම්, තම දේශපාලන දර්ශනයේ ආභාෂය වඩාත් දැක ගත හැකි වීමයි. එහෙත් අමරසේකරුන් තම දේශපාලන දර්ශනය පෙන්නුම් කලේ රටේ සිදුවීම් දැක තමන් තුල උපන් කලකිරීම ප්‍රකාශ කිරීම උදෙසා ය. උගත් ගැමි පරපුරක් ගැන බලාපොරොත්තුවක් තිබුණ ද  එය මස්තකප්‍රාක්ත උනේ නැත. වෙසෙසින් පිළිම ලොවයි-පියෙවි ලොවයි තුලිනුත්, තම මැද පංතියේ කථාන්දරය හරහා ත් දිගහැරුණේ මේ කළකිරීමයි. "කියනු මැන දිවි අරුත" කෘතිය මින් සුවිශේෂි වන්නේ අප රට බෙදුම්වාදි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ඔහු පැතූ දේශපාලන දර්ශනය මත පිහිටා රට ඉදිරියට නොයන බව දැක, ඒ පිළිබඳ වූ කළකිරීම තම නිර්මාණකරනය හරහා ඉදිරිපත් කරන අවස්ථාවක් ලෙස ය.



කියනු මැන දිවි අරුත හි කෙටිකථා පහක් වෙයි. "මැයි දිනය" මින් මා වඩාත් සිත් ගත් කථාවයි, මියගිය කුලි සේවිකාවගේ දියණිය, රිය අනතුරට මුල් වූ රියදුරුගේ ඩෙංගි උණෙන්  රෝහලේ සිටි දියණිය සහ මහේස්ත්‍රාත්වරයාගේ දියණිය වශයෙන් දැරියන් තිදෙනෙකු භාවිත කොට, පාදඩකරණය වූ අර්ථක්‍රමයක්, දේශපාලන ව්‍යුහයක් තුල ජීවත්වීම කෙතෙරම් ගැටළුවක් දැයි ඔහු මැනවින් පෙන්වා දී ඇත.

"රැගෙන මා අත සමිද, කියනු මැන දිවි අරුත" කෙටිකථාව ද ඉතා සියුම් නිරීක්ෂණයකින්, උපේක්ෂාවෙන් නිර්මාණය කෙරුණු කෙටිකථාවක් ලෙස දකිමි, මෙහි එන දැරණියගල දේශපාලඥ්ඥයා බලගතු, උද්දච්ච අයෙක්ව සිටිය ද, වස්තුව රැස් කිරීමේ හා දූෂණයේ නිරත වූවෙකු නොවේ. අමරසේකර මේ හරහා එවක සිටි නායකයන්ට ටොක්කක් අනින්නාක් සේ ය.
"ඒ ඉදිමුම තිබුණාට ඒ මිනිහා කිසි දවසක පහත් වැඩක් කරා ද? හොර මැර වංචා මොකවත් කරා ද? ඒ අතින් බැලුවම කොතරම් උදාර චරිතයක් ද?" (78 පිටුව )

අමරසේකර මීට පෙර යුගයක විසූ එක්තරා දේශපාලන පැලැන්තියක් ඉදිරිපත් කරන්නේ වර්තමාන දේශපාලඥ්ඥයින් ගෙන ක්‍රියාව දැක සංවේගයෙනි.

මෙහි එන රෝහලේ ගින්න කෙටිකථාව අප රට සිංහල-දෙමල මිනිසුන් අතර ඇති සබැඳියාවත්, ඒ සබැඳියාව අතර ම එහි උඩු දිව යන සැකයත් හොඳින් ප්‍රතිමූර්තිමත් වන නිර්මාණයක් ලෙස දකිමි. එහෙත් අප රට ප්‍රවීණ විචාරකයෙකු වන සමන් වික්‍රමාරච්චි මේ කෙටිකථාව තුලින් අමරසේකර ගේ "පශ්චාත්තාපය (?)", "අවිඥ්ඥාණය" ප්‍රශ්ණ කිරීමට සරම කැසපොට බැඳ ඇත්තේ ප්‍රහර්ශයට ලක් වීමෙනි. කෙටිකථාවේ දිග හැරෙන පරිද්දෙන් වෛද්‍ය ධර්මලිංගම් හා සම්බන්ධ ගැටළුවක් විවෘතව ඇත. එය සමන් වික්‍රමාරච්චි නොදකි ( ඔවුන් එය කිසි දිනෙක නොදැක්කෝය , අර බොරුවට නිදි මිනිසා මොන විදිහෙන් හෝ අවදි කල නොහැකි සේ ). එහෙත් මෙහි එන වෛද්‍ය අතුකෝරාළ, වෛද්‍ය ධර්මලිංගම්ගේ අගතිගාමි ස්වරූපය විජේසිංහගේ අගතිගාමිත්වය මකා දැමීමට භාවිත නොකරයි. වෛද්‍ය අතුකෝරාල අයිවන් ප්‍රනාන්දු ට වෛද්‍ය ධර්මලිංගම්ගේ ප්‍රශ්ණය ප්‍රකාශ කිරීම  හරහා, මෙය තනිකරම විජේසිංහගේ ප්‍රශ්ණයක් යන පටු තැනට, පටු දෘෂ්ඨියට ගොණුකිරීමේ වික්‍රමාරච්චිගේ අන්තවාදි ප්‍රයත්නය හෙළි වෙයි. මට නම් පෙනි යන්නේ අපේ රටේ සිංහල ජාතිය හා දෙමළ ජන වර්ගය අතර ඇති අවිශ්වාසය හා පරතරය පෙන්නුම් කිරීමත්, එහෙත් සමස්තයක් වශයෙන් සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ඇති නැඹුරුවත් මෙහි පෙන්නුම් කරන්නේය. මේ අප රට සාමාන්‍ය සිදුවීම් හරහා හෝ නිරීක්ෂණය කල හැකිය. ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනනායකයා ට ඕනෑම දෙයක් කරන්න බලපත්‍රයක් නොවන බව  2015 ජනවාරි 8දා පෙන්නුම් කිරීමට සිංහල ජනතාව පෙන්නුම් කලෝය. එහෙත් තිත්ත ඇත්ත නම්, පිරබාහරන් ජීවත් ව සිටි අවදියේ,  අපත් සමඟ අල්ලපු මේසයේ වාඩි වුනු දෙමළ සොහොයුරන්, බෝම්බ පිපිරෙමින් අප ඥාතීන් මිය යද්දි, පිරබාහරන් දෙමළ ජනතාවට යම් ආත්ම ගරුත්වයක් ගෙනදී ඇතැයි කීමට තරම් දිව නැමුණු උදවිය වීමය. ඔවුහු එසේ තෙපළා, පසු දින අප හා එකම මේසයේ වාඩි වී බත් මාළු බෙදං කෑවෝය. අමරසේකර, අතුකෝරාල හරහා පෙන්වන්නේ මේ ඉවසීම යැයි මම තරයේ විශ්වාස කරමි. එහෙත්, අහෝ, අප මහා සාහිත්‍ය විචාරකයින් ට මේවා පෙනෙන්නේ නැත. මේං අමරසේකරගේ අවිඥ්ඥාණය ඔහුට වද දෙනෝ කියා කෑ ගසන්නේය.

කෙටි කතා එකතුවේ පස්වන කෙටි කථාව "මහගෙදර සොයා ආ ගමන", පශ්චාත් යුධ සමයේ අප රට ගමන් කරනා දිශාව පිළිබඳ වූ සොවින් ලියැවුන්නක් යැයි පෙනී යයි. අමරසේකර කලක පටන් මහගෙදර සොයමින් සිටින්නේ ය. ඔහු සිතුවේ ත්‍රස්තවාදය පරාජයෙන් පසු, එම මහගෙදර ට යන නග පාදා ගත හැකි වනු ඇතැයි කියා ය. ඔහු නොපසුබටව එමග හරහා මහගෙදර නැවත සොයා ගත නොහැකි බැව් කියා පායි.

අමරසේකර නම් අප රට කෘතහස්ත ලේඛකයාගේ කියවිය යුතුම කෙටි කථා එකතුවක් ලෙස මා දකිමි. කතුවරයාගේ මෑත කාලින නිර්මාණ ගැන සැකයෙන් මා මේ කෘතිය මිලදී නොගෙන, පුස්තකාලයෙන් ගෙන කියවූවෙමි.  එසේ කියවා හමාර වීමෙන් පසුව කෘතිය මිලදී ගෙන ළඟ තබා ගත යුත්තක් යැයි තීරණය කලෙමි.


No comments:

Post a Comment