Friday 13 March 2020

පේත - එරික් ඉලයප්ආරච්චි




1972 - 2010 පමණ දිර්ඝ කාල පරාසය අලලා, විටෙක අණ්වීක්ෂයකින් බලනාකාරයෙන්යම් යම් සිදුවීම් දෙස නිරීක්ෂණයෙන්, සමාජය, සහ එහි විපරීත්වය හි සුවිස්තර කියවීමක් නවකතාකාරයෙන්, රතු පලස තුලින් ලැබුවෙමු.

කෙටි නවකතාවක් වන පේත, 2009 න් පසු ඇති වූ ජාතිකත්ව උල්ලාසය සියුම් නිරීක්ෂණයකට ලක් කරන නිර්මාණයකි. පෞද්ගලික බැඳීම් සමස්ත සමාජ මනෝභාවය මත තීරණය  වන්නේ නැති මුත්, ජනප්‍රිය සමාජ මතය පෞද්ගලිකත්වයේ සීමා ආක්‍රමණය කරලීමත්, ඒ ජීවිත සී සී කඩ හෙළිය හැකි ආකරය විචක්ෂණ ලෙස නිරූපනය කරනා නිර්මාණයකි, පේත. මෙතෙක් දැක ඇති ආකාරයෙන්, කතුවරයා  උපේක්ෂාවෙන් අප සමාජයේ රෝගී දේශපාලන මතවාදි කොටස් කියවන්නෙකි. පාදයාත්‍රා මගින් අපේ වමේ විපරීතවබව හා වංක බව ගැන කියවීමක් කල ඔහු, පරදේසී මගින් රාජ්‍ය නොවන සංවිධාන වල පැවැත්ම සඳහා ඔවුන් ට යාමට සිදු වන දුර ගැනත්, ඔවුන්ගේ සද්භාවය ගැනත් ප්‍රශ්ණ කලේය. පේත මගින් රාජ්‍ය නොවන සංවිධාන වල පැවැත්ම මෙන්ම, ඔවුන් කරනා වැඩ කොටස වෙනුවෙන් වෙන වෙහෙස ගැන යම් නිරීක්ෂණයක් කරන නුමුදු, නවකතාවේ ප්‍රමුඛත්වය ලැබෙන මාතෘකාව උමතු ජාතිවාදයයි.

ඊට අමතරව, මා මෙහි දුටු වඩාත් ආකර්ශනීය ම කොටසක් නම් කුලසිරිගේ පාපොච්චාරණයයි. පුතෙකු වයස් ගත වත් ම තම පියා ව වඩාත් ම තේරුම් ගැනීම යන කාරණාව මෙහි ආකර්ශනීය ලෙස කියැවී ඇත. මේ කාරණව හුදෙක් තනි සිද්ධියක් ලෙස සැලකීමට මා පසුබට වන්නේ, මෑතක කියවූ තවත් කෘති දෙකක් හෙතුවෙන් - පළමුවැන්න මයිකල් ඔන්ඩාච්චි ගේ "Running in the Family" කෘතියයි. එහි ඔහු තම පියානන්ගේ මත්පැන් වලට අබ්බැහි අවසානය සහ පවුලේ විසිරයාමට තම මව වෙත සියුම් ව චෝදනා නගයි - මේ, තම පියාගේ මත් පැන් ලෝලිබව හේතුවෙන් වූ විපරීත හැසිරීම බොහෝ දුරකට තම මව ඉවසා සිටීමෙන් ද පසුව ය. අනෙක් කෘතිය සුපිරි රොක් තරුවක් වූ ප්‍රින්ස් ( Prince ) ගේ "The Beautiful Ones" නම් වූ අසම්පූර්ණ චරිතාපදානය යි. එහි ප්‍රින්ස් වඩාත් ඍජුව තම දෙමව්පියන්ගේ විවාහය දෙදරා යාම ගැන තම මව වෙත චෝදනා නගනවා පමණක් නොව, තමන් නව යොවුන් වියේ දී තම පියා සමඟ වාසය කල අවදිය ඉතා ප්‍රීතිජනක එකක් බව අඟවයි ( ඉතා ජැන්ඩිය ට හැඳ පැළඳීමට පුරුදු වූ, රූපයෙන් සපිරි තම දෙමව්පියන්, මෙහි "beautiful ones" යන්නෙන් අඟවන්නාක් මෙන්ම, එය ඔහුගේ ගීතයක ද නමකි ). පේත වෙත නැවත එන්නේ නම්, එහි කුලසිරිගේ මේ පාපොච්චාරණය සහ ඉහත කී කරුණු අතර යම් සාම්‍යයක් දකිමි.

 

"තාත්තා පිළිබඳ ඒ වෛරී සහගත අදහස මගේ සිතේ පැල පදියම් කළේ අම්මා තමයි. ඒ ගැන සැකයක් නැහැ. ඒ නිසාම තමයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලයේ දී පහසුවෙන් ම ජේවීපී දේශපාලනයට ඇදුණේ. ශ්‍රී ලංකාසමසමාජ, කොමියුනිස්ට් තුන් හවුල් ආණ්ඩුව මට පෙනුණේ  අප්පච්චිගේ  ආණ්ඩුව හැටියටයි. ඒකට ගහන්න අවි ගැනීම මගේ පමණක් නෙවෙයි අම්මාගේ ද රහසිගත බලාපොරොත්තු සඵල වීමක් වෙන්න පුළුවන්. ...  තාත්තාගේ හොඳ නරක සියලු දේටම විරුද්ධත්වයක් තමයි තිබුණේ. 

...

හිරේ ඉඳලා නිදහස් වෙලා කඩේ පදිංචියට ඇවිදින් හැබෑවට පුනරුත්ථාපනේ  වෙච්ච අවධිය.... ඒක මාතෘකා කරන්න පුළුවන් අම්මාගේ අවදියෙන් තාත්තාගේ අවදියට පැමිණීමක් හැටියට. ඒ වුණාට එතකොට මම සම්පූර්ණයෙන් ස්වාධීනයි. එතන අම්මෙකුත් නැහැ. තාත්තෙකුත් නෑ." (29-30 පිටු )


ජයසිරි ගේ චරිතය, එහි නිසැක අවස්ථාවාදය, ජාතිවාදය සහ වෛරය පෙන්නා ඇති අයුරු ද අපූරු කියවීමකට තුඩු දේ. සත්‍යය, අපැහැදිලි කොටස් ඉරි ඇඳ තමනට වාසි ලෙස අර්ථගන්වා ගැනීම එහි ලක්ෂණයකි.

සේගු ගේ චරිතය ද කියවීමට වැදගත් චරිතයකි. ඔහු ද සිංහල ජාතිය සමඟ වෛරයෙන් සිටිනුයේ ඔහු කුඩා කල පෝලියෝ එන්නත වෙනුවට වතුර විද තිබීම හේතුවෙන් ජීවිතකාලයට අබ්බගාතයෙකු වීම හෙතුවෙනි ( මන්නාරමේ වෙසෙන ඔහු වෙත එන්නත් බෙහෙත් පැමිණෙද්දි, එය අවසන් ව තිබීණ. අප ට බගන්දරා හි හමුවන බාලයා ද පෝලියෝ රෝගියෙකි - ඒ ඔහුගේ ( සහ කුලසරි ගේ අම්මා ගේ ) නොසැලකිල්ල හෙතුවෙනි.  එහෙත් සේගු ට වඩා පහසු හතුරෙකු හමු ව ඇත. අයෙකුට තම අම්මා ට වෛර කරනවා ට වඩා පහසුවෙන් අන් ජාතියකට වෛර කරලීම පහසුය.

මෙහි තැනෙක සාලිය මෙවන් කතාවක් පවසයි.

"උපන්‍යාස කියන්නේ සත්‍යයේ අවතාරවලට. ඒවා සත්‍යය වීම සඳහා ඇවිදින අවතාර. සත්‍යය වුණොත් ගොඩ. එහෙම නැත්තං දියවෙලා මැකිලා යනවා." ( 38 පිටුව )

"
දැන් මේ ලෝකයේ බලවතා ඇමරිකාව නොවේ. මහජන මතය තමයි බලවතා. අපේ රටට අතපොවන්නේ චීනෙයි, ඉන්දියාවයි නොවේ. අපිම හදා ගන්නා මහජන මතය තමයි අදිසි සතුරා." ( 40 පිටුව )

 මේ කාරණා දෙකෙන් අර්ධ සත්‍යයක් නැතිනම් සත්‍යයේ අවතාරමය ස්වරූප ගැනත්, එක් ස්වරූපයක විකෘතියක් උඩ මහජන මතය විකාශනය විය හැකි අයුරුත් කියැවේ.

බගන්දරා, රතු පලස ( ඇවැසි නම් විතණ්ඩ සමය සහ ආදරයේ සිමෙන්ති, සමාන්තර කියවීමක් සඳහා ), ඔස්සේ වසර හතලිහක් පුරා මෑත අතීතයේ  අප රට මුහුණ දුන් සමාජ දේශපාලන  සිද්ධාන්ත මාලාවන්, සයිබර් අවකාශ යුගයක, මාධ්‍ය මගින් තීරණය කෙරෙන යුගයකඑළිපත්තේ සිට කෙරෙන විවරණයක් බඳුය මෙය. එනම් 2009 දී යුද්ධය අවසන් වූ අලුත, අතිශයින් පෞද්ගලික සිදුවීම් මාලාවක්, ඊට ඍජු අදාළත්වයෙන් පරිබාහිර පිරිස වෙනුවට,  මහජන මතය මගින්  වැරදි කරුවන් තීරණය කරලීමේ අවදානම ගැන අපූරුතම කියවීමකි මෙය. මෙය අප සැම විසින් කියවිය යුතු ම පොතකි. මේ පොත තනි ව කියවා එහි රසයක් ලද හැකි  වුවද, පූර්ණ චමත්කාරය, අර්ථරසය හා රසාස්වාදය උදෙසා, දිගු වුවද බගන්දරා සහ රතු පලස කියවා, පේත කියවීම වඩා උචිත බව සිතමි.



****1/2
නවකතා
2019 ගොඩගේ ප්‍රකාශනයකි

2 comments:

  1. ඉතා ස්තුතියි මිත්‍රයා.

    ඔබගේ විචාර මා මීට කලිනුත් කියවා තිබෙනවා. ඒවායින් විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා.

    ReplyDelete