Friday, 6 March 2020

ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්ණය - සිරිමල් විජේසිංහ


මෙම කෙටි කතා සංග්‍රහය කියවිමට මුල් වූ හේතුව, 2019 වසරේ එක්තරා සම්මානයකට නිර්දේශ වීම සහ, කෘතියේ අපූරු නම ය. ඉතා සරල භාෂා භාවිතාවක් අනුගමනය කොට ඇති ලේඛකයා, තම නිර්මාණයේ සාර්තකත්වයට, කලාත්මක බවට වඩා දාර්ශනික ප්‍රශ්ණ වල අදාලත්වය ම මුල් කොට ගත් සේය. මෙහි එන කෙටි කතා ගැන මෙසේ සාරාංශයන් ඉදිරිපත් කරමි.

පෙරවදනේ කතුවරයා පවසා ඇත්තේ මෙම දීර්ඝ කෙටිකතාව ( ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්ණය ), හෙවත් සංග්‍රයට නම දුන් මුඛ්‍ය කෙටි කතාව අවසනට කියවන්න කියාය. එහෙත් එම කියමන මගින් ම උනන්දු කරවුනු ලැබූ මා,  මේ සංග්‍රහය කියවන්න පටන් ගත්තේ මෙම කෙටි කතාවෙනි. දර්ශනය, ඕෂෝවාදය, සහ හාස්‍ය රසයෙන් අනූන තරමක් දීර්ඝ ( පිටු 126 කි ), මෙම කෙටි කතාව මම ඇත්තෙන්ම රසවින්දෙමි. ඒ නැවුම් විෂයක් දාර්ශනික නැඹුරුවකින් කෙටි කතාවට නගා ඇති නිසා ය. ස්ත්‍රිය හා පුරෂයාගේ ලිංගික ආස්වාදයේ ස්වභාවික නොගැලපීම් මේ කෙටි කතාවේ මුඛ්‍ය මාතෘකාවයි. ඒ ඔස්සේ  කතුවරයා වෙසෙස් පරාසයක් ඔස්සේ කෙටි කතාව ගෙන  යයි. අහක සිටින, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ මිෂෙල් මෙහි ප්‍රධාන චරිතයෝය. මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය, සභ්‍ය යන සම්මතය මගින් ආරෝපනය කර ඇති සීමා, ආදිය ගැන විවෘත සංවාදයක් ලෙස ඉදිරියට යන කෙටි කතාව, කොමියුනිස්ට්වාදයේ සෙවනැල්ලෙන් මිදී නැත.  මුළු පොත ම නොවූවත්, අත්‍යවශයෙන් ම කියවිය යුතු කෙටිකතාවකි - ඒ මෙම මාතෘකාව හෙට දවසේ ද තව තවත් සාකච්ඡා වෙන්නක් බැවිනි. මේ තනි කෙටි කතාව  පමණක් නිසා හෝ මේ කෘතියේ වැදගත්කමක්, ලංකා කෙටි කතා සාහිත්‍යයට එකතු වනු නියතය. මෙහි එන සියළු කෙටි කතා පෙළෙන රෝගයෙන්, එනම් කතුවරයාගේ බොහිමියානු සහ දාර්ශනික අදහස් වලට මුල් තැන් දෙනමින්, කෙටි කතාව නම් කලාකෘතිය යම් ඛාදනයකට නැතිනම්, වට්ටමකට නතු කරලීමයි. එනමුදු මෙහි ඒ ඒ කෙටි කතාව ට පාදක වන මාතෘකාවන්, නැවුම් ය, වර්තමානිකය, ඖචිත්‍යය.

සේපාලිකා මලයි - සුදු පාට මී දුමයි, සංක්‍ර්‍රාන්ති ලිංගික කාන්තාවක හා විවා පත් වූ විවෘත අදහස් ඇති විෂම ලිංගික පිරිමියෙකු මුල් කොට ගත් කෙටි කතාවකි. විද්‍යාවේ දියුණුව කෙසේ වුව, ප්‍රායෝගික තලයේ අභියෝග  උකහා දක්වන්නා ආරේ කෙටි කතාවකි. අපූරු මාතෘකාවක් ඔස්සෙ සිදු කෙරුණු නිර්මාණයකි.

තමන්ගේ ලෝකයේ තනි වීමට කැමති, මුදල් හම්බු කිරීමට මහන්සි වීමට අකමැති, එහෙත් විවෘත අදහස් ඇති හැටපස් වියැති සයිමන් නැමැති රසවතෙකු මුල් කොට ගෙන ලියැවුණු කෙටි කතාවකි, රඟනු රන්ග රන් රඟ මඩලේ. ඔහු තමන්ගේ බිරිඳ හා දරුවාගෙන් වෙන්වන්නේ, ඔවුනට ඇති ආදරය නිසාමය. ආදරය යන්න ට බදාගෙන සිටීම අත්‍යවශ්‍ය නොවන වගක් ඉඟි කරයි.

අති සංවේදී මිනිසෙකුට තමන් වෙත එන ප්‍රශ්ණ වලට පිලිතුරු නැත්තේ නම්, හේ සියල්ලෙන් පළා යන්නේ ය. තමන්ගේ ආදරණීයන් ලබා ඇති දුක් පීඩා ඉදිරියේ ඔවුනට  මුහුණ දීම ට තරම් ශක්තිවන්ත නොවූවෝ, ඒ සියල්ලෙන් පළා යන අවස්තා ඇත. හද සැණැකෙළියහි වල්මත් වී ලා, එවන් මිනිසෙකු අලලා නිර්මාණය වූ කෙටි කතාවකි.

රාගික ප්‍රේමය ඇබ්බැහිවීමක් විය හැක. එය තහනම් පෙමක් නම්, තත්ත්වය සංකීර්ණය.  තහනම් පෙමක් හරහා එක්තරා කාන්තාවකට ඇබ්බැහි වූ මිනිසෙකු ගේ මානසික තත්ත්වය, හා එක් අතකින් ඔහුට විකල්ප නැති බව, එනම් ජීවිතයේ සමස්ත පරාජය ම බාරගැනීම ඔහුට ඇති එකම විකල්පය බව පැවසෙන "මෙතැන රෝස මල මෙතන නටන්න", කෙටි කතාව ද කියවීමේ කුතුහලය පවත්වාගෙන යන කෙටි කතාවකි.

අවසන් ලියුම, කවි පෙළක් ආකාරයෙන් මිය ගිය පියෙකු සහ ඔහුගේ අසම්මත අදහස් මගින් පෝෂණය වූ දියණියකගේ පිළිසඳරක් මුල් කොට ගත් කෙටි කතාවකි.

සිනමා කාව්‍යයකට ලියූ සාරාංශයක් බව කියවෙන, සඳ පිණි දියේ - හිම කුමරියේ කෙටි කතාව, බ්‍රිතාන්‍ය රජ පෙළපතට අයත්, කුමරියක් අලලා ලියැවුන්නකි. සිනමාවට උචිත වේගය එහි තිබුන ද, මෙහි ඇති සාරාංශ ගත ඉදිරිපත් කිරීම, පාඨකයා වින්දනයට දනවන්නෙ  තරමක් හදිසියක් සහ නොගැඹුරු බවක් ය.

දේශපාලන අතුරුදන් වීම්, සහ ඊට එරෙහිව විරෝධතා දක්වන්නන්ගේ ම දේශපාලන න්‍යායපත්‍ර හේතුවෙන් ප්‍රශ්ණයෙන් පලා යෑමට යත්න දරන්නෙකු, තම හොඳම මිතුරාගේ බිරිඳට සහ දරුවාට මුහුණ නොදෙන්නේ, කරුමක්කාර රටක ඉපදීම හේතුවෙන් ඔහු තුල ඇති අසරණ බව ප්‍රකට කරමිනි ( කරුමක්කාරයෝ )

සින්පසන්සි වානරයා සහ දියුණු මිනිසා අතර සැසඳීමකට යත්න දරයි.

"වානර යුගයෙ ඉඳලා මේ වෙනක්ම් මිනිහා ලබල තියෙන දියුණුව මිථ්‍යාවක්.... වානරයන් විසින් ආහාරගැනීම, ලිංගික හැසිරීම, සෙල්ලම් කිරීම, විනෝදවීම ආදිය කිසි අඩුවක් නැති ව කළා.... මේ දැන් ද මිනිහා විසින් කරමින් ඉන්නෙත් ඒ ටික ම තමා... ඒත් විශාල වෙනසක් තියෙනව... මිනිහා රැයක් දවාලක් නැති ව මැරි මැරී වැඩ කරනව.. යළි හරි ගස්සන්න බැරි විදිහට ස්වභාව පරිසරයත් උන් විසින් විනාශ කරලයි තියෙන්න..... 

ඒත් සියළු ව්‍යසන අවසානයහි දී, මිනිහා තවමත් කරමින් සිටින්නේ තමා විසින් වානර යුගයෙහි දී කළ දේවල් ම පමණයි..." ( 148 පිටුව - සින්පන්සි )

කලකට පෙර විවා පත් වැ සිට, අනතුරුව දික්කසාද වූ අඹු-සැමි යුවලක් එක ම දිනක මිය යන්නොය. ඔවුන් ගේ හොල්මන් අවතාර, ජීවත් වූවන් ඔවුන් තකන අයුරු නිරීක්ෂණය මාතෘකා කොට ගත් කෙටි කතාවකි, එපා මේ නිදහස.

නිර්මාණයේ පිටකවර ඉතා අපූරු වුව, මුද්‍රණ දෝෂ නම් බහුලය. එය මේ කෘතියේ වටිනාකම ට බාධාවකි. 2018 ප්‍රකාශ වූ ඉතා සැලකිය යුතු සහ,  වර්තමාන ලොව සමාජ අභියෝග වලට මුහුණ දෙන අපි සියල්ලෝ ම කියවිය යුතු කෘතියක් යැයි සිතමි. එහෙත් එක් අතකින්, මෙය දාර්ශණික ප්‍රශ්ණ පත්‍රයකි - ඒ ප්‍රශ්ණ ඇසීමට භාවිත කරනා මෙවලමකි, සිරිමල් ගේ කෙටි කතාව. ඒ හේතුවෙන් ම හුදෙක්  කලා කෘතියක් ලෙස මෙහි යම් අඩුපාඩු තිබිය හැක. එනුමුදු මෙහි සාකච්ඡාවට ගැනෙන කරාණාකාරණා වල අදාළත්වය මත ඒ අඩුපාඩුව ගැන යම් ආරක නොතැකීමක්,
කතුවරයාට දීමට කැමැත්තෙමි.


No comments:

Post a Comment