Monday, 16 March 2020

රතු ඉරි අඳින අත - ලියනගේ අමරකීර්ති

***1/2

මේ පොත කියවීම ඉක්මන් කල ප්‍රධාන හේතුව විදර්ශන ප්‍රකාශන ගුරුළුගෝමී හරහා කියවීමට පහසුකම් සැලසීමයි. ඒ පුවත මා කෙතෙරම් සතුටට පත් කලේ ද යත්, මුහුණු පොතේ ජනකයන් ඒ බව දැනුම් දී පෑ බාගයක් යාමට පෙර එය මිල දී ගෙන ජංගම දුරකතනයට බා ගත කලෙමි. පසුව ගෙදර ආ විට දැක්කේ එහි මෘදු කවර පිටපතක් ගිය සැප්තැම්බරයේ ද මිල දී ගෙන තිබුණ බවකි ( හෙවත්, පොත් මිල දී ගැනීම් ආශ්‍රිත වෘෂභකම් අංක - අනේ මන්දා - සිදු කල ඇති බවකි ). ඉතින් මේ පොත  ඒ පිටපත් දෙක ආශ්‍රයෙන් ම කියවුණි.

අමරකීර්තියන් තම නවකතා ඔස්සේ තත්කාලීන් මාතෘකා ප්‍රබන්ධයට නැගීමට කැමැත්තේ ය. මෙහි දී ද එලෙස ය. වෙසෙසින් ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයා අරමුණු කරගෙන මෙම නවකතාව ගොඩනගයි. සියුම් නිරීක්ෂකයෙකු ට මෙය අත් පොතක් ලෙස ද  පෙනිය හැක. මනසිකාරගේ පාහේ සියුම් නිරීක්ෂණ මගින් සිසුන් ව අන් අය මගින් භාවිතයට ගැනීම වැලැක්විය හැකි වීම සහ අවසාන පරිච්ඡේදයේ මනසිකාර තම පියා ගේ අහිංසක අභ්‍යන්තරය තේරුම් ගත් පුතෙකු වීම මා සිත් ගත් කොටස් ය. ඉතා වේගවත් ලෙස තාක්ෂණය වෙනස් වන, සිතනාකාරය වෙනස් වන යුගයක, වැඩිහිටි පුතෙකු තම දෙමාපියන් විෂයෙහි "තේරුම්ගෙන ක්‍රියාකිරීම" වටී - අමරකීර්ති ඒ නිලය, නවකතාව අවසානයේ හොඳින් ම අල්ලා ඇත. එනුමුදු  නවකවදය කුණුහරුප කියනා දඟකාරකමක් ලෙස ලඝු වන  ඉඟිති මා සිත් නොගත්තේය.

කිනම් හේතුවක් නිසා හෝ අවසන් පිටු 30 දී පමණ වන "උපක්‍රමික පෙරළීම" මට ඒ වන තෙක් "අහු වුනේ"  නැත;  නැතිනම් "නෑ, වෙන්න බෑ"  කියා සිතුණි. ආපසු ගොස් බලද්දී, එය කලින් "කියවීමට" ඇවැසි තරම් නිමිති කෘතිය පුරාවට තිබිණි. මේ උපක්‍රමය, මේ කෘතිය කෙරෙහි මා දැක්වූ තක්සේරුව වෙනස් කලේය. ඇත්තෙන් ම ඒ වෙන තෙක් මේ කෘතිය කෙරෙහි එතරම් ආකර්ශනයක් නොවීය. ඊට ප්‍රධාන වශයෙන් හේතූන් දෙකකි. ඒවා මගේ පෞද්ගලික කියවීම් බව සැබෑව වුව, මේ සටහන මේ පොත පිළිබඳ මගේ කියවීම නිසා අදාළ යැයි සිතේ. එය මෙසේ ය.

අප රට සීමිත ගී එකතුවක "අට්ඨ කතා - මූල කතා"  මේ වන විට සන්තෘප්ත මට්ටමේ යැයි මම සිතමි -  අප ඒ සතු ගී නියැදිය ම පෝෂණය වන්නේ ගොළුබෙලි වේගයෙන් නිසා විය යුතුය. අනේක අලුත් ගායක ගායිකාවන් අර පැරණි ගී ම තරමක් වෙනස් කරමින් ගයන්නේ ඒ නිසාය. මෙය අපේ සංගීතයේ ම ඛේදවාචකයක් ලෙස මට හැඟේ. ඉතින් එවන් තත්වයක තව දුරටත් "ළඳුණේ" හෝ, "පබළු නගේ" හෝ, "හෙට දවසේ අප දෙදෙනා" ගැන අර්ථ ගැන්වීම් පිළිබඳ රූපවාහිනි වැඩසටහනක්, තවමත් "හිට්" විය හැකි ද යන්න පිළිබඳ මට ඇති වූ ගැටළුවයි. මොකද ඒ පිළිබඳ කතා, අවම තරමින් පසුගිය අවුරුදු 15-20 අතර පත්තර මගින්, රූපවාහිනියෙන්, මුහුණු පොතෙන් අනේක වාරයක් කතා වී ඇති හෙයිනි.  අනෙක් කාරණාව මෙවන් වැඩසටහනක් මගින් මෙහි කියන ආරේ "සැඟවුණු පණිවුඩයක්" අදාළ පාර්ශවයන්ට යැවෙන්නේ නම්, අද වන් යුගයක වට පිට ලෝකයේ "ඇස් වසා" එය කල හැක්කේ සති කීයකට ද කියා ය.  මේ කාරණා දෙක හේතුවෙන් මේ කෘතියේ කතා උපාය තරමක් සරල වැඩි යැයි ද, ඒ හෙතුවෙන් ම විශ්වාසනීය බව මදි යැයි මට සිතුණි. එවන් වටපිටාවක පෙර කී, අවසන් පිටු 30 දී පමණ සිදු වන "අභිසරණය" නවකතාව ට අලුත් රසයක්, කුහුලක්, ගැම්මක් ගෙනදෙයි ( ඒ ගැන වැඩි යමක් නොකියන්නේ අනාගත කියවන්නියන්ට අවැඩක් නොවෙන්න ට වගබලා බැලීමක් ලෙසය.)

එහෙත් මෙහි අන් තැනෙක සංගීතය ගැන කියවෙන කොටස ඉතා රසවත් ය. ඒ, ඊට සුදුසු කාලයක ට අනුරූපව කියැවෙන නිහාල් නෙල්සන් පිළිබඳ කොටසකි. අසූව දශකයේ මුල මාගේ ඥාති අයියා කෙනෙකු ( ඔහු එතකොට උසස් පෙළ කරන්නෙකි - මා තුනේ හෝ හතරේ පංතියේ විය යුතුය ), නිහාල් නෙල්සන් ගේ "ගුණේ අයියාගේ කාමරේ" කැසට් පීස් එක පෙන්වා, 'මෙන්න පොඩ්ඩො නියම කැසට් එකක්' කියා  අත තිබ්බේය (  ගෙදර ගෙනගොස් එක වතාවකට වඩා එය අසන්නට මගේ අම්මා ඉඩ නොදුන්නීය :) )

කෙසේ හෝ පොතේ එම කොටස මෙසේ ය ( ඒ ඔස්සේ මම මාතෘකවෙන් පිට පනිමි );
"ඒ ගුණේ අයියාගේ කාමරේ ඇවිත් ගින්දර වගේ පත්තු වූ කාලයයි.... 'බඩියා' යැයි කෙටියෙන් හැඳින්වෙන්නට යෙදුණු නෙල්සන් බඩීගේ පරමාදර්ශය වූයේ නිහාල් නෙල්සන් හෙවත් නිහාල් අයියාය... තරංගා ලේබලය යටතේ නිකුත් වූ 'ගුණෙ අයියගේ  කාමරෙ' කැසට් පටියේ වූ නිහාල් අයියාගේ ඡායාරූපය බඩී කාමරේ  බිත්තියේ ගසාගෙන උන්නේය. එහි සරැලි කොණ්ඩ හිස දෙපසින් සමෝසමේ දෙවුර දෙසට වැටෙන ආකාරයත්, කර්ලි කෙස් කැරලි  දෙකක් නළලා මතට වැටෙන ආකාරයත්, කර්ලි කෙස් කැරලි දෙකක් නළල  මතට වැටෙන ආකාරයත් බඩීගේ සිත් ගත්තේය. 'ගුණෙ අය්යගේ කාමරේ මස්කට් බූන්දි'  තියෙන බව කියන්නෙ මන්ද යන්න ඉස්කෝලෙන් කට්ටි පනිද්දීම බඩීට  අවබෝධ කර ගන්නට හැකි විය. සූස්තිය ගැහුවම බූන්දි ලොරියක් තිබුනත් මදිය කියන කතාව ගීතය ඇතුළෙහි සඟවා ඇත්තේ මාර ලස්සනටය."
එම ගීයේ  එක් පද පෙළක් මෙසේ ය:
"පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
ගුස්පි රුබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා"
මට මේ පද භාවිතාව අදටත් වික්‍රමයකි - විප්ලවයකි. ඊට නිහාල් නෙල්සන් ට ආචාර කල යුතුය. අද වන විට බහුල වශයෙන් බටහිර ගීතයට ආස කරන මට, එම ගීතයේ කිසිදු "සිමාවක්" පනවගන්නෙ නැතුව ඉදිරියට යාම ආකර්ශනීයය. එකම ආරේ ගී ඇල්බම දෙක තුනක් නිකුත් කලොත් එම ශිල්පීන් අවලංගුය. ඉතින් අපේ තරුණ පරම්පරාව ජෝතිපාලලාගේ, අමරදේවලා ගේ ගී අලුත් ආරට කීම කෙසේ නම් ඉවසන්න ද ?

නැවත පොත වෙත;
වර්තමාන මාධ්‍ය භාවිතාව, එය දේශපාලනය හා ඇති සමීප සම්බන්ධතාව, කළු සල්ලි භාවිතා කරන  සුදු ලිනන් කමිස අඳින  මෑතක තැන්පත් වූ "මහත්තුරු"  ආදි මාතෘකා ඔස්සේ එක දිගට කියවාගෙන යා හැකි කෘතියකි. අප රටක් වශයෙන් වචන වලට රැවටෙන ආකාරය ගැනත් ජාතිය, ආගම ඉදිරිපිට අතිශය සංවේදි වන අයුරු ත් සත්‍යය. එනුමුදු මේ කාරණාව සැරෙන් සැරේ මතක් කිරීම, අපගේ පෙර කී දුර්වලතාව තරම් ම අප්‍රසන්න වීම හේතුවෙන්,  පාඨකයා ගේ ඉවසුම් රේඛාව අභීයෝග කරන්නේ ද ප්‍රශ්ණ කරන්නේ ද යන්න,  සිතිය යුත්තකි.  අවසන කිව හැක්කේ මෙය ද, කුරුළු හදවත, අහම්බකාරක ( අහම්බකාරක නම්  මා තරමක් කැමති කෘතියකි- එය කතුවරයා ගේ අටවක පුත්තු ආසන්නයට ම එන ආරේ පරිපූර්ණත්වකින් සපිරිය.), ආරේ පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය වන ආකාර කෘතියක් බවයි. එහි සමාජයේ යම් කොටසකට ( මෙහි දී නම් තරුණයින් ),  එක්තරා පණිවුඩයක් ගෙන යෑම මගින්, කෘතියෙන් යම් සමාජ මෙහෙයක් ද බලාපොරොත්තු විය හැක. නුමුදු අටවක පුත්තු ආරේ සාහිත්‍ය රසාස්වාදයක් බලාපොරොත්තු වන්නෝ, තව දුරටත් ඒ බලාපොරොත්තුවෙන් විසිය යුත්තෝය. ඔවුන ට තව  දුරටත් ලේඛකයාගේ විවිධ විෂය හා බැඳී කෘතීන් කියවීමෙන්  වැඩි තෘප්තියක් ළඟා කරගත හැකි යයි සිතමි.

No comments:

Post a Comment