Sunday, 24 November 2019

සිංහල කාව්‍ය සම්ප්‍රදාය - ගුණදාස අමරසේකර



සාරාංශය: සිංහල කාව්‍ය සම්ප්‍රදාය, යට ගිය යුගය සහ නූතන යුගය ලෙස අර්ථ දක්වා තම රචනාව අරඹන ලේඛකයානෝ, සිරි ගුණසිංහ සහ ඒ. එම්. ජී. සිරිමාන්න වන් විචාරකයින් එම යුග දෙක අතර බැඳුනු සම්ප්‍රදායක් නොතිබිණ, යන ස්ථාවරයන් පහදයි. එම යුගයේ ප්‍රධාන ආකෘතිය ලෙස "ගී කාව්‍ය ආකෘතිය" අඳුන්වන අමරසේකරුන්, එහි බහුලව භාවිත කල "මහ පියුම් විරිත", බොහො සෙයින් කටවහර ට ආස්න්න බව පවසයි. දැනට සොයා ගත නොහැකි, එහෙත් සිදත් සඟාරව මගින් එහි එක් ගීයක් සහ කොටස් කිහිපයක් නිදසුන් ලෙස ගෙනහැර දක්වමින්, ගී ආතියේ අග්‍ර ඵලය අසක් දා කව දො අමරසේකර විමසයි. ඒ ඔස්සේ ම සීගිරි ගී සම්ප්‍රදාය ගැන විචාරන හෙතෙම මෙවන් අස්තානයක් පිහිටාය එසේ කරනුයේ:

"7,8,9 යනසියවස් තුළ ලියැවුණු මේ සීගිරි ගී, අසක්දා කවෙන් ස්වර්ණමය අවධිය වෙත ළං ව ඉන් ඉක්බිති ව ක්‍රමයෙන් අභාවයට ගිය දේශීය කාව්‍ය සම්ප්‍රදායේ අවසන් පුරුක් ලෙස අපි දකිමු."
ඒවා "නිකමට" නොලියූ ඒවා බවත්, සාම්ප්‍රදයක පිහිටා පුහුණ ව විත් බිත්තියේ කෙටූ ඒවා බවත් ඔහු සිතයි. අසක් දා කව ඒ වන විට ශ්‍රේෂ්ඨ කවියක් ලෙස එවන් ආභාෂයක් ලබා දෙන්නඨ ඇති බවත්,  එහෙත් එහි කට වහරකට ඔබඉන් ගීත ස්වරය නොමැත්තේ 7,8, සියවස් වල ප්‍රචලිත වූ අනුකාරක හලන්ත ආදේශය හේතු වන්න්ට ඇති බවත් පවසයි.

අනතුරුව "ගී කව් තුන" ( එනම්, මුවදෙව්දා වත, සසදා වට සහ කව්සිළුමිණ"), මූලික වශයෙන් සිහළ කවියාට අලංකාරවාදය උගන්වනු වස් ලියැවුණු ඒවා බවට හේන්පිටගෙදර ඤාණසීහ හිමි මතය හා එකඟ වේ.එනමුදු ඒ අතර පවා කාව්‍යශේඛරයේ සාධනීය ලක්ෂණ ලෙස, "කාමාසක්ත රජු අන්තංපුර ස්ත්‍රීන් සමඟ මධුපානය කරමින් හැසිරුණු ආකාරය අප ඇස් හමුවෙහි දැක්වීම" බවත්, එය එකල පිහිටි ප්‍රකට ගූඪ දර්ශනයන් හා ගැලපෙන බවත් පෙන්වා දෙන්නෙ මේ කාරණාව මිට කලින් පැවසූ මාර්ටින් වික්‍රමසිංහයන් හා එකඟවෙමිනි.

කව් ගී තුන ලියවුණු කාලයේ ජන කවීන් ආරක්ෂා කල සම්ප්‍රදායක් වූ බව හේ පවසයි. ඔහු තව දුරටත් කවි සම්ප්‍රදායන් ගැන වැදගත් නිරීක්ෂණයක් කරමින් පවසන්නේ පොදු ජනයාගෙන් ඈත්ව, සීමිත විදග්ධයින් අතර රැඳුනු කල එය නොබෝ කලකින් අභාවයට යන අතර, එය රැකෙනවා නම් රැකෙන්නේ කලානුරූපීව වෙනස්වෙමින් පොදු ජනතාව අත වැඩෙන සම්ප්‍රදාය මත පමණක් බවත් ය.

සංඝයා ගේ බලවත් බලපෑම මෙන්ම පසු කාලීනව පරාක්‍රමබාහු රජු රුහුණ කල තාඪන පීඩන ගැන හේ මෙහි පවසන්නේ, එය හය වෙනි සියවසත් නමවෙනි සියවසත් අතර අප පාලන ව්‍යූහය සාහිත්‍ය කලාවට කරන බලපෑම ගැන නිදසුන් ලෙස ගෙන හැර දක්වමිනි.

"උගත් නූගත් භෙදයක් නොමැතිව 6  ශත වර්ශයේ දී මහජනයා සඳහා සිංහල පද්‍යයක් වීය... සත්වන ශත වර්ෂය නිර්මල සිංහල ආරම්භයේ ආදී ම ස්වර්‍ණ යුගය වශයෙන් ඉදිරිපත් වන්නේය...  ආරම්භයේ දී මෙවැනි තත්වයක පැවැති සිංහල කවියත්, කවිකමත් 9 ශත වර්ෂය පමණේ දී පුදුම වෙනසකට භාජන වූ බව පෙනේ. නිදහසේ මූර්තිය වූ කවියාට නිදහස් ව සිතීමටත් ප්‍රකාශ කිරීමටත් නිදහස නැති විය." (සිංහල සැහැලි - මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා )

මෙහිදි අමරසේකරුන් අප රට පාලන තන්ත්‍රයේ වෙනස් වීම ගැන රචිත අපූරු තියක් හඳුන්වා දෙයි. ඒ පී.බී. රඹුක්වැල්ලේ ගේ  Commentary on Sinhala Kingship ( Vijaya to Kalinga Magha ) නම් වූ දැනට මුද්‍රණයේ නැති කෘතියයි.  ( මහත් ශ්‍රමයක් යොදා මෙම  කෘතිය සොයාගෙන කියවීමී. ඒ ගැන දීර්ඝ සටහනක් වෙසෙස් ලියවිල්ලක් ලෙස මේ අන්තර්ජාල පිටු අතර ඇත).

දේශපාලනය මුසු වූ ඔහුගේ රචනාව ඉදිරියට යන්නේ, වික්‍රමසිංහ කියූ "බුද්ධඝෝෂ සී.අයි.ඒ. කාරයෙක්" කී කියමන හා එකඟ වෙමිනි. දඹදෙනි යුගයේ දෙවෙනි පැරකුම්බා රජු අප රට "සිංහල බුද්ධාගම" ඒ  නැවත හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ සාහිත්‍ය ප්‍රබෝධයක් ගුරුළුගෝමීන් අතින් සිදු වූ අයුරු ද පෙන්වා දෙයි.

කෝට්ටේ කවීන් සිය නිර්මාණය උදෙසා ජනකවියෙන් ආභාෂය ලත් බවත්, සිංහල භාෂාවේ වත්මන් යුගය දඹදෙණි-කෝට්ටේ යුග වලින් ඇරඹෙන බවත්, ඊට සාක්ෂි වශයෙන් සැල්ළිහිණියේ කවක් ගෙන නිදසුන් පෙන්වා දිය හැකි බවත් කතුවරයා දහ වෙනි පරිච්ඡේදයෙන් පෙන්වා දෙයි.

විල්ගම්මුල හිමියන්ගේ සඳකිඳුරුදා කව, ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරය සහ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය එකම පර්යේෂණ දිශාවක ක්‍රමික වර්ධනයන් බවත්, පළමුවැන්නේ වියත්-ජන කවි සිරුරු වල යාන්ත්‍රික එක්කාසුවක් බවත්,  දෙවැන්න සංස්කෘත අලංකාරයේත්, දේශීය මාර්ගයේත් සංකලනයක් බවත්, ගුත්තිලය පරිසමාප්ත කවියක් බවත් හේ පවසන්නේ, ඊළඟ පරිච්ඡ්ජේදය ගුත්තිලය වෙනුවෙන් වෙන්කරමිනි. මෙහි, ගුත්තිලය ගැන දීර්ඝ විචාරයක් කරනා අමරසේකරුන්, මාර්ටින් වික්‍රමසිංහයන් සහ යක්කඩුවේ පඥ්ඥාරාම හිමියන් යන දෙපළ අතර ගුත්තිලය ගැන වූ විවාදය ගැන ද සඳහන් කරයි.

"සිවුපදය සහ එළියක් ගත් ගීය", නමින් වූ දොළොස් වෙනි පරිච්ඡේදය. දඹදෙනි යුගයත් සමඟ ගීය අභිබවා සිවුපදය ඉදිරියට  ආ බවත්, ශබ්ද ධ්වනි මාර්ගයට මුල් තැනක් දෙන ජනකවීන් හේතුවෙන් එසේ වූ බවත් පවසයි.  වෙසෙසින් මෙහි එන ශාස්ත්‍රීය කොටස් අප වන් මේ අංශය පිළිබඳ දැනුම් තේරුම් නැත්තන් ගේ හිස් උඩින් ද යා හැක. වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය විද්‍යාවෙන් දීර්ඝ උපුටනයක් කරනා ලේඛක තෙමේ, එය කෘතියක් වශයෙන් කෙතෙරම් වැදගත් ද යන්නත්, එය කියවිය යුත්තක් බවත් අපට ඒත්තු ගන්වයි. සාහිත්‍ය විද්‍යාවේ එක් උපුටනයක් මෙසේය;
"පද්‍යයකට ඇතුළත් වචනවල ව්‍යංගර්ථ කෙමෙන් එකට එක ගෙතී කෙළවර දී අපූරු රටාවක් මතු වූ කලක් මෙන් අමුතු ම ධ්වනියක් පැන නැගීම වූ කලි නියම ධ්වනි කාව්‍යයක ලක්ෂණයයි... 'පැහැසරණිය','මිණි පැමිණිය', 'බඳ කිකිණිය', 'දද ගිහිණිය', 'නොව පැරණිය', 'වන රමණිය' යන එළිසම පද හිණි මගක පෙති සේ අඩියෙන් අඩියට නැග ගොස් 'වදු කැළණිය' යන්නෙන් උච්චස්ථානයට පැමිණ කෙළවර වන අයුරේ හැඟීමක් රසිකයා තුළ ජනිත වේ." ( 161 පිටුව )

"වියත් කවියෙහි අවසානය" නම් වූ 14 වෙනි පරිච්ඡේදය කෝට්ටේ යුගයෙන් පසුව උදා වූ පෘතුගීසි උවදුර හමුවේ අප කවිය මුහුණ දුන් ගැටළුත් එහි පැවත්ම උදෙසා වෙසෙසින් අලගියවන්න මුකවෙටි කවියා ගේ කාර්‍යබාර්ය තක්සේරු කිරීමත් ඇතුලත් ය. ඔහුගේ කාර්යබාර්‍යය කෙතෙරම් ද කිවහොත්, ඔහු හා ඔහු මග ගිය අන් කවීන් ඒ යුගයේ නොසිටින්න වත්මනයෙහි වසන කවීන්ට එම සම්ප්‍රදාය සොයා ගත නොහැකි වනු ඇතැයි ලේඛකයා සිතයි.

 15 වෙනි පරිච්ඡේදය "සිලෝව සහ සැහැල්ල", නමි.  සිලෝවේ මූලය ඇත්තේ, සංස්කෘත ශ්ලෝකයේය. අමරසේකරුන් පවසන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ ශ්‍ර්‍රේෂ්ඨ නිර්මාණය වූ පිය සමර ට සිලෝ විරිත භාවිත කල බවකි. විරිත් සුවඳ ගෑවුණු හෙවත්, පද්‍යයට ඉතා ආසන්න ගද්‍ය විශේෂයක් ලෙස සැහැල්ල අමරසේකරුන් හඳුන්වා දෙයි.

අද්‍යතන යුගය නම් වූ දහසය වෙනි පරිච්ඡේදය ඉතා වටිනා එකක් වන්නේ මෑත කාලය ගැන සඳහන් වූ විස්තර නිසා ය - එනම් විසිවෙනි සියවස ගැන ය. මෙහි එන පැරණි කවීන්ගේ අවදිය ( එනම් ආරිය රාජකරුණා වැනි කවීන් ),  කොළඹ කවීන් සහ නිසදැස් යුගය ගැන  වටිනා විස්තරයක් මේ පරිච්ඡේදය රැගත් ය.

දහ හත් වෙනි පරිච්ඡේදය "සරච්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍ය" කෙරෙහි අවදානය යොමු කරයි. ඒ එම දෘශ්‍ය කාව්‍ය ආද්‍යතන කාව්‍ය කෙරෙහි බලපෑමක් නොවුනේ මන්ද යන්න හේතුවෙනි.

දහ අට වෙනි පරිච්ඡේදය "කුමරතුංගයන් ගේ 'පිය සමර'" නමි. එළු සිලෝව කාව්‍යාතියක් ලෙස භාවිත කල කුමරතුඟුන් තම පියා ගැන මතකයන් අවදි කරලීමට භාවිත කොට ඇති ආකෘතිය උචිත බවට අමරසේකරුන් පවසයි.

සමස්ත වශයෙන්, මේ කෘතිය  කියවීම තරමක කැපවීමකින් කල යුතුය. ඉතිහාසය, සාහිත්‍ය, කාව්‍ය සම්ප්‍රදායන්, ආශ්‍රේය කෘතීන් රැසක් මෙන්ම ලේඛකයා ගේ දේශපාලන දෘෂ්ඨිවාදයෙන් සුපෝශිත කෘතියකි. සිංහල කවියේ, වෙසෙසින් ඉතිහාසය හා එහි මෙතෙක් ආගමනය  ගැන උනන්දු වන කියවන්නිය, අත් නොහැර කියවිය යුතු කෘතියකි. මේ වසරේ ම මා අමරකීර්ති ගේ "නව කවි සලකුණ" කියවීමි. මා සිතන්නේ මේ කෘතියත්, ඒ කෘතියත් සිංහල කවිය ගැන උනන්දු කියවන්නිය කියවිය යුතු ම කෘතීන් බවට ය. පුළුල් වශයෙන් මෙ කෘතිද්වයට පදනම් වූ චින්තනයන් දෙකකි.  සාහිත්‍ය ලෝලීන් ලෙස මේ කතුවරුන් දෙදෙනා ගැන අප දන්නා ස්වල්පය මත හෝ එය වෙසෙස් හෙලිඩරව්වක් නොවන බව සත්‍යය.

මෙය මට මේ විෂය පිළිබඳ අත්පොතක් ලෙස අනාගතයේ ද සේවය කරනු නියතය ( අමරකීර්ති ගේ පොත ද එලෙසය). ඒ හේතුවෙන්  ඒ ඒ මාතෘකාව ගැන මෙහි සඳහන් ලුහුඬු විස්තරයට වඩා විස්තෘතව මේ යොමුවේ සඳහන් ය. එය මට අනාගතයේ මේ පොත ට නවත පැමිණීමට යතුරක් වනු ඇත. ඔබට ද එවැන්නක් ඇවැසි යැයි සිතන්නේ නම් එය භාවිත කරන්න.

===================================================
සිංහල කාව්‍ය සම්ප්‍රදාය දැකගැනීම : දොළොස් වන සියවස පමණ දක්වා වූ යුගය "සිංහල කාව්‍ය සම්ප්‍රදායේ යටගියාව" ලෙසත්, දහතුන්වෙනි, දහහතර වෙනි යුගයේ සිට අද දක්වා කාලය "වත්මන් යුගය" ලෙසත් අමරසේකරුන් හඳුනාගනි. මෙහි වැදගත් නිරීක්ෂණය වන්නේ, "යටගියාව" ත් සමඟ කාව්‍ය වංශයක් වශයෙන් ඇති දුරස්ථබාවය සහ වත්මන් යුගයේ සම්ප්‍රදාය වෙත දක්වන ප්‍රතික්‍රියාවයි. දහසය වෙනි සියවසෙන් අනතුරුව, එනම් රහල් හිමි, වෑත්තෑවේ හිමි, අලගියවන්න මුකවෙටි ගෙන් අනතුරුව, ඒ සම්ප්‍රධාය රැක්කෝ ජන කවීන් බවත් අමරසේකරුන් විශ්වාස කරයි.  තවද, පෙර කී යුග දෙක අතර පරතරයක් තිබුණ ද, අතරින් පතර, ඒ දෙක අතර සබඳතා ද ඇති බවකි, අමරසේකරුන් කියනුයේ. "නිදසුනක් වශයෙන් කෝට්ටේ යුගයේ ලියැවුණු ගුත්තිලය වැනි කාව්‍යයක ඇති මහපියුම් විරිත නමැති ගී ආකෘතිය අර යටගියාවට අයත් වන ගී කව් ඇසුරෙන් පහළ වූවක් බව අපට පෙනී යයි." (16 පිටුව ).  එනුමුදු සිරි ගුණසිංහ සහ ඒ. එම්. ජී. සිරිමාන්න වැනි අය, එවන් වත්මන හා බැඳෙන සම්ප්‍රදායක් තිබුණු බව ප්‍රතික්ෂේප කලෝය.

ගී කාව්‍ය ආකෘතිය: යටගියාවේ ප්‍රධානතම කාව්‍යාකෘතිය ගී ආකෘතිය බවත්, ඉන් අනතුරුව ද කෝට්ටේ - මහ නුවර යුග තුල පවා එය කාලානූරූපීව වෙනස්වෙමින් පැවත ආ බව පැවසේ. කෙසෙ වුවද මෙම ආකෲතියේ සම්භවය ගායනා විලාශය පිළිබඳ විද්වත් මතය නොවිසදුන්නකි. මෙහිදි අප ලේඛකයානෝ පරණවිතාන, යූ. ඩී. ජයසේකර, සෝරත හිමියන් සහ කේ. ජයතිලක ආදීන්ගේ මත පෙන්වා දෙයි. මින් වෙසෙසින් ජයතිලකයෝ මේ ගී කාව්‍ය ආකෘති සම්භවය අප ට ආවේණික එකක් යන්න විශ්වාස කලෝ ය. මේ ආකෘතියේ දෙවෙනි පැණය එය ගායනය කල හැක්කක්ද යන්න ය. එහිදි කියැවෙන්නේ, එකල එය එසේ ගායනා කලා හෝ වේවා, අද වන වීට අදාළ තාලයන් අපෙන් ගිලිහි ගොස් ඇති බවකි. මේ පැණයන්ට පිලිතුරු සෙවීමේ අටියෙන් ආකෘතිය විශ්ලෂණයට අමරසේකරුන් නොපැකිළ සැරසේ. ඒ ව්‍යායාමය උදෙසා, "මහ පියුම් විරිත" හේ සලකා බලන්නේ, සීගිරි ගීයේ මෙන්ම, කෝට්ටේ යුගයේ ත්, භාවිත වූ හෙයිනි. මෙය කට වහර හා බැඳි විරිතක් බව, ගුත්තිලයෙන් නිදසුන් ගෙන පෙන්වන අප කතෘතුමා, අප භාවිතා කරන බොහෝ විරිත් වලට මේ කට වහර මුල් වූ බැව් පෙන්වා දෙයි. අනේක කට වහර ඔස්සේ නිමැවුණු විරිත් නිදසුන් ලෙස ගනිමින්, හේ මෙසේ පවසයි;
"ජනකවීන් විසින් කට වහර ඇසුරෙන් තනාගන්නා ලද ඒ ප්‍රාකෘත ගී ආකෘතිය විදග්ධ කවීන් සම්භාව්‍ය කාව්‍යාකෘතියක් බවට පත් කරන්නට ඇත." (26 පිටුව )  අමරසේකරුන් තවදුරටත් පවසන්නේ ගී ආකෘතිය අරුත් රසය දනවීමට ම ( ශබ්ද රසයට වඩා ) උචිත බවකි.

ගි ආකෘතියේ අග්‍ර ඵලය - අසක් දා කව ද? යනුවෙන් විමසමින්, තෙවෙනි පරිච්ඡේදය, අප සතුව නොවුනද, සිදත් සඟරාව මගින් එක් ගීයක් සහ තවත් කොටස් කිහිපයක් පමණක් නිරූපනය කරන අසක දා කව ගැන විමසීමට අමරසේකරුන් යත්න දරයි. එහි නිධාන කතාව ගැන විමර්ශනය කරමින්, තවුසාගේ චරිතය, බඹදත් රජුගේ චරිතය සහ කුමරියගේ චරිතය ඔස්සේ බුදුදහමේ එන ආශාව සහ එය අතැරීම ගැන රසවත් විමසුමකට කතුවරයා අවස්ථාව උදා කරගනී. අනතුරුව කව්සිළුමිණේ කව් ගී කිහිපයක් උපුටා දක්වමින් එහි ඇති ආටෝපවත ව්‍යාජත්වයෙන් පිතුණු අලංකරොක්ති ගැන කියා පාමින්, ඊට සාපේක්ෂව අසක්දා කව ඇවැසි විස්තර පමණක් කියා පානා අපූරු නිර්මාණයක්ව තිබෙන්නට ඇති බවත්, අනුරපුර යුගයේ අන් ඉහළ තලයේ කලා නිර්මාණ හා එක පෙළ සිටිය හැකි ආරේ උසස් සාහිත්‍යයක් අසක් දා කව මගින් නියෝජනය වන්නට ඇති බවත් පෙන්නුම් කර දෙයි.


සිව්වෙනි පරිච්ඡේදය "සීගිරි ගිය සහ සම්ප්‍රදායක අභාවය"  නමින්, ඒ මැය විමසයි. සරලව ම අමරසේකරුන් ගේ ස්ථානය මෙබඳුය;
"7,8,9 යනසියවස් තුළ ලියැවුණු මේ සීගිරි ගී, අසක්දා කවෙන් ස්වර්ණමය අවධිය වෙත ළං ව ඉන් ඉක්බිති ව ක්‍රමයෙන් අභාවයට ගිය දේශීය කාව්‍ය සම්ප්‍රදායේ අවසන් පුරුක් ලෙස අපි දකිමු."

අමරසේකරුන් පවසන්නේ, සීගිරි ගී රට හුණු කෑල්ලකින් ලියූ ඒවා නොව, ගල් කටුවකින් කොටා ඉතා වෙහෙස මහන්සි වී හෙයින්, සහ බොහෝ විට පත් ඉරුවක ලියා පුරුදු පුහුණව විත් ලියූවා නිසා ඒවා කාව්‍ය සම්ප්‍රදායක පිහිටවූ ඒවා විය යුතු යන බාහිර සාක්ෂ්‍ය භාතයෙනි. මට පෞද්ගලිකව මේ කාරණාව ඉතා සාධාරණ නිරීක්ෂණයක් බවත්, ඒ හේතුවෙන් ම අමරසේකරුන් මෙහි කියන දේ හි යම් හරයක් ඇති බවකි, හැඟෙනුයේ. පරණවිතානයන් ද සීගිරි ගී අවියත් ජනකවීන් ගේ නිර්මාණ නොව, එකල පැවැති කාව්‍ය වංශයක  අවබෝධයකින් ලියූ බවක් පවසයි. අමරසේකරුන් ඊළඟට පිලිතුරු දීමට යත්න දැරූ දෙවෙනි පැණය, මේ සම්ප්‍රදාය කුමක් ද යන වගය. අමරසේකරුන් තමන්ගේ නිරික්ෂණත්, පරණවිතාන සහ ලොකුබණ්ඩාරයන් ගේ "සීගිරි ගී සිරි" කෘතියේ පෙරවදනක් භාවිතාවෙන්, ඒ සම්ප්‍රදාය අසක් දා කවෙන් විය යුතුයැයි ද, ඒ එය එදවස වන විට ශ්‍රේෂ්ඨ කාව්‍යයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබෙන්න ට ඇතැයි පවසයි. අවසන් වශයෙන් සීගිරි ගීය එම දේශිය සම්ප්‍රදායේ පරිහානිය දක්වන්නේය යන මතය ගෙන හැර දක්වයි. ඒ ගීයට "ඇවැසි ශබ්ද ධ්වනිය සපයනු ලබන කට වහරෙහි ගීත ස්වරය", එම ගී වල නැති බවක් පවසයි. ඒ අනුකාරක ලෙස 7,8 සියවස් වල හලන්තය ආදේශ කිරීම ත්, ඒ ලිඛිත සිංහලය කට වහරින් බොහෝ ඈත් බවත් එය සීගිරි කව් වලට ද බලපාන්න ට ඇති බවත් පෙන්වා දෙයි. මේ හලන්ත ආදේශය ගැන බලගල්ලේ මහතා සහ මොරටුවේ ශාසනරතන හිමියන් ලියා ඇති බවත් පෙන්වා දෙයි.

 පෙර පරිච්ඡේදයේ දිගුවක් ලෙස ඇරඹෙන "ගීයේ පරිහානිය" නම් වූ පරිච්ඡේදය ගීයේ සම්භවය ගැන යූ.ඩී. විජේකෝන් සහ පරණවිතානයන්ගේ  දුර්මතයන් ලෙස ලේඛකයා හඳුන්වන මත විස්තර කරමින් අරඹයි. ඒ මත ඛණ්ඩනයට අමරසේකරුන් එළුසඳස් ලකුණේ "නොවිරිත් නමැයි කොවිරිත්" යන්න විෂ්ලේශනය කොට දක්වයි. ඒ "සිංහලයා ගේ කට වහරේ ගීත ස්වරය ආශ්‍රය කොට ලියන ඕනෑම දෙයක් විරිතක් වන බව" ( 54 පිටුව ) පැවසීමෙනි. තව දුරටත් හේ පවසන්නේ හලන්ත බස නැති වුවද ඒ වන විට ඇති වි තිබූ අනුකාරක උගතුන් හේතුවෙන් ගී කව් තුන ( මුවදෙව්දා වත, සසදා වත, කව් සිළුමිණ ) මාත්‍රා ගණනේ උවමනාව පමණක් පුරවමින් යාන්ත්‍රිකව නිමැවූවක් ලෙස අමරසේකරුන්ගේ දැඩි විවේචනයට ලක් වේ.


සවෙනි පරිච්ඡේදය "අනුකාරක ගී කව් තුන හා කව්සිළුමිණෙහි විශේෂත්වය", ගැනය. මෙහි ගී කව් තුන යනු, මුවදෙව්දා වත, සසදා වත සහ කව් සිළුමිණයි. හේන්පිටගෙදර ඤාණසීහ හිමි මතය හා එකඟ වෙමින් අමරසේකර ද මෙහි මුල් කෘති දෙක "සිංහල කවීන්ට අලංකාරවාදය" ඉගැන්වීමට" ලියූව ක් බවත්, කව්සිළුමිණෙහි පවා කවීත්වය පවා මතු වන්නේ එහි ඇති අලංකාරවාදි පඹගාල ඉවත්කල් පසුව බවත් පවසයි. යූ. ඩී. ජයසේකර, මාර්ටින් වික්‍රමසිංහ මතයන් හා එකඟවෙමින්, අමරසේකර පවසන්නේ කව්සිළුමිණෙහි මධුපානෝත්සවයහි පවතින්නේ එය හුදෙක් වර්ණනයක් නොව, "කාමාසක්ත රජු අන්තංපුර ස්ත්‍රීන් සමඟ මධුපානය කරමින් හැසිරුණු ආකාරය අප ඇස් හමුවෙහි දැක්වීම"ක් බවයි. මීට අමතරව කුස විරහ වර්ණනාව සහ පබවත වැලපීම ද රසවත් කොටස් ලෙස හේ අඳුන්වයි.

අමරසේකරුන් මෙහි වෙසෙස් කාරණාවක් මතු කරයි. පෙර විචාරකයින්, කව්සිළුමිණේ රජුගේ කාමාසක්ත බව පිළිබඳ විචාරන්නේ බෞද්ධ සංස්කෘතියේ පිහිටා මුත්, කාව්‍ය රචනයේ දී අලංකාරවාදය ට මෙන්ම එකල ප්‍රකට ගූඪ දර්ශනයක් හිසින් හා හදින් ගත්, අනූන කවිශක්තියකි යුතු අනුකාරකයෙක් ලෙස අමරසේකරුන් කව්සිළුමිණ කර්තෘ අඳුන්වයි.

සත්වෙනි පරිච්ඡේදය, "සම්ප්‍රදාය රැකගත් ජනකවි පරපුරක් වී ද?" යන පැණයට පිලිතුරු සොයයි. අමරසේකර මෙහි දි එක් ධර්මතාවක් ගැන කතා කරයි. එනම් කිසියම් කලා සම්ප්‍රදායක්, පොදු ජනයාගෙන් ඈත්ව, සීමිත විදග්ධයින් අතර රැඳුනු කල එය නොබෝ කලකින් අභාවයට යන අතර, එය රැකෙනවා නම් රැකෙන්නේ කලානුරූපීව වෙනස්වෙමින් පොදු ජනතාව අත වැඩෙන සම්ප්‍රදාය මත පමණක් බවත් ය. අමරසේකර, වික්‍රමසිංහ, ජයසේකර හා එකඟ වෙමින් පවසන්නේ ගී කව් තුන ලියැවෙන යුගයේ ඊට සමගාමීව පැවතුන ජන කවි සම්ප්‍රදායක් පැවති බවයි. ජයසේකර, සසදාවතේ මේ ජන කවි සම්ප්‍රදාය ගැරහුමට ලක් කිරීම මගින්, එවැන්නක්  තිබුණු බව පෙන්වා දෙයි. අනෙක් නිදසුන පැහැදිලි වශයෙන් ම සීගිරි ගී ය. පෙර ද සඳහන් කොට ඇති අයුරින් එළු සඳැස් ලකුණේ එන අසක් දා කවේ කවි හා පද නිදර්ශන කිහිපයෙන් ද මේ අන් සම්ප්‍රදාය ගැන පසක් වේ.


අටවෙනි පරිච්ඡේදය වූ, "යටගියාවට පසුබිම් වූ ආර්ථ්ක සංස්කෘතික රටාව", පටන්ගන්නේ මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා කවියා ගේ "සිංහල සැහැලි" නම් නිබන්ධයේ, පහළ උපුටනයෙන් ය.
"උගත් නූගත් භෙදයක් නොමැතිව 6  ශත වර්ශයේ දී මහජනයා සඳහා සිංහල පද්‍යයක් වීය... සත්වන ශත වර්ෂය නිර්මල සිංහල ආරම්භයේ ආදී ම ස්වර්‍ණ යුගය වශයෙන් ඉදිරිපත් වන්නේය...  ආරම්භයේ දී මෙවැනි තත්වයක පැවැති සිංහල කවියත්, කවිකමත් 9 ශත වර්ෂය පමණේ දී පුදුම වෙනසකට භාජන වූ බව පෙනේ. නිදහසේ මූර්තිය වූ කවියාට නිදහස් ව සිතීමටත් ප්‍රකාශ කිරීමටත් නිදහස නැති විය." "හත්වන සියවස පමණ වන තෙක් චූල මහා යනුවෙන් බෙදා වෙන් කළ නොහැකි සංස්කෘතියක් අප අතර තිබෙන්නට ඇති බව", අපගේ කලා ශිල්ප, ගල් කැටයම්, ශිලා ලේඛන, සාහිත්‍ය ක්ෂෙත්‍ර දෙස බලා පරණවිතාන, වික්‍රමසිංහ වැනි විද්වතුන් ප්‍රකාශ කල බව අමරසේකර මතක කරයි. මෙහිදි අමරසේකර අප රට පාලන ව්‍යූහයේ සිදු වූ යම් වෙනස්වීමක් එය පසුකාලීනව සාහිත්‍ය ට බලපෑ අයුරු පෙන්වා දීම උදෙසා  යම් ප්‍රවේශයක් ගනී. ට්‍රෙවෝ ලිං ගේ බුදු දහමේ ඉතිහාසය නැමැති කෘතියෙන් බෞද්ධ රාජ්‍ය වූ කලී ත්‍රිකෝණාකාර බල මඬුල්ලක් බවත්, නුමුදු සද්ධාතිස්සගෙන් පසුව සංඝයා ගේ අනිසි බලපෑම් නිසා මුළු රාජ්‍යතන්ත්‍රය ම දෙදරා ගියයුරු ද, මහා පරාක්‍රමබාහු රජතුමා රුහුණේ රාජ්‍ය ග්‍රාම රාජ්‍ය  පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් එතුමාගේ රාජ්‍ය තන්තය එතරම් කලක් නොපැවතීම ගැන ද, එම මූලය භාවිතා කොට පෙන්වන එතුමා ඊට සමාන විග්‍රහයක් පී.බී. රඹුක්වැල්ල මහතා ගේ කෘතියකින් ද ( Commentary on Sinhala Kingship) පළ වෙන බව පෙන්වා දෙයි. රඹුක්වැල්ලේ ගේ කෘතියෙන් පවසෙන අප රාජ්‍ය ආකෘතියේ පරිණාමය ( හා පරිහානිය ) ගැන පිටු දෙකක් පමණ කතා කරන අමරසේකරයන්, මුද්‍රණයේ නැති එම පොත මහත් අපහසුවෙන් හෝ සොයාගෙන කියවීමට මා පෙළඹුවේ ය.

(නමවෙනි පරිච්ඡේදය,) "වත්මන් යුගය: සිංහල කවිය යළි පොදුජන කවියක් වීම", සිංහල කවියේ වත්මන් යුගය දහතුන් වන සියවසෙන් ඇරඹෙන් බවත්, ඉන් පසුව ලැබූ පොදු ජන ලක්ෂණය එතෙක් මෙතෙක් ආරක්ෂා වී ඇති බවත් පවසයි. ඊට දඹදෙනි යුගයේ පෙර කී ත්‍රිකෝණාකාර බලමුඬුල්ල යම් ආකාරයකට යළි ස්ථාපිත  වීම ත්, දෙවැනි පැරකුම්බාවන් වන් නිරිඳෙකු පහළ වීම ඊට සාක්ෂි සපයන බවත් පවසයි. දොළොස්වෙනි සියවසෙන් පසුව "සිංහල බුද්ධාගම" ක ලක්ෂණ නැවත මතුවුන බවත් අමරසේකර පෙන්වා දෙයි.මෙහි දී අමරසේකර වික්‍රමසිංහයන් තමන් හා කී කතාවක් මතක් කරයි; "බුද්ධඝෝෂ සී. අයි. ඒ. කාරයෙක්", යන කතාව, බුදුගොස් හිමියන් මෙහි පැමිණ හෙළ අටුවා පාලියට පෙරලීම සිංහල බුද්ධාගමේ දිය වී යාමට හේතු වූ තම මතය හා ගැලපෙන බව පෙන්වා දෙයි.ඉන් අනතුරුව මාහායානික බලපෑම වැඩි වූ බවත්, මහ පැරකුම්බාවන්ගේ තුන් නිකායන් එක්කාසුවෙන් වුව මහායාන පරජය නොවුණු බව මොරටුවේ ශාසනරතන හිමි උපුටමින්, හේ පෙන්වා දෙයි. දොලොස්වෙනි සියවස පමණ වූ විට නැවත පනක් ලැබූ සිංහල බුද්ධාගම හමුවේ ගුරුළුගෝමින් ධර්මප්‍රදීපිකාව සිංහල, පාලිය සහ  සංස්කෘත මිශ්‍රිත බසකින්  ලියා පර්යේෂණ කොට ලියූ අයුරු ද, එහි අසාර්ථකත්වය මැද, නොවියත් ජන ප්‍රසාදය උදෙසා වඩාත් සරල බසකින් අමාවතුර ලියූ බවද පවසයි. තවදුරටත්, පුංචිබණ්ඩා සන්නස්ගල ධර්මප්‍රදීපිකාව "සිංහල ගද්‍ය සාහිත්‍යයේ මුල් පොත" ලෙස සැලකීම සදොස් බවත්, එම ස්ථානය අයත් විය යුත්තේ අනෙකක ට නොව "ජාතක පොත" ට බවටත්  හේ තවදුරටත් පවසයි. එහි එන මිශ්‍ර බස, අප වහරන බස ට ආසන්න බව අමරසේකර පෙන්වා දෙයි.

කෝට්ටේ කවියේ වදන් කෝෂය, යොදාගත් කාව්‍යාකෘති, කාව්‍ය නිර්මාණ ස්වරූප  ගවේෂණය, යන තුන් සාධකයන් ගවේෂණයෙන් කෝට්ටේ කවීන් සිය නිර්මාණය උදෙසා ජනකවියෙන් ආභාෂය ලත් බව දහවෙනි පරිච්ඡේදයෙන් පෙන්වා දෙයි.  සිංහල භාෂාවේ වත්මන් යුගය දඹදෙණි-කෝට්ටේ යුග වලින් ඇරඹෙන බවත්, ඊට සාක්ෂි වශයෙන් සැල්ළිහිණියේ කවක් ගෙන නිදසුන් පෙන්වා දිය හැකි බවත් කතුවරයා පවසයි. කෝට්ටේ යුගයේ ප්‍රධානත ම ආකෘති වන සිවුපදය සහ මහපියුම්, ජනකවියෙන් ලබාගත් බව ඉහත දෙවෙනි සාධකය ඔප්පු කරලීමට කතුවරයා ඉදිරිපත් කරයි. විල්ගම්මුල හිමියන්ගේ සඳකිඳුරුදා කව, ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරය සහ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය එකම පර්යේෂණ දිශාවක ක්‍රමික වර්ධනයන් බවත්, පළමුවැන්නේ වියත්-ජන කවි සිරුරු වල යාන්ත්‍රික එක්කාසුවක් බවත්,  දෙවැන්න සංස්කෘත අලංකාරයේත්, දේශීය මාර්ගයේත් සංකලනයක් බවත්, ගුත්තිලය පරිසමාප්ත කවියක් බවත් හේ පවසන්නේ, ඊළඟ පරිච්ඡ්ජේදය ගුත්තිලය වෙනුවෙන් වෙන්කරමිනි.

"ගුත්තිලය සහ ගුත්තිල විචාර විචාර" නම් වූ එකොළොස් වෙනි පරිච්ඡේදය මෙහි එන වැදගත් රචනාවක් යැයි සිතමි. හේ මෙහි වෙසෙසින් මාර්ටින් වික්‍රමසිංහයන් සහ යක්කඩුවේ පඥ්ඥාරාම හිමියන් යන දෙපොළ මේ කාව්‍ය පිළිබඳ ලියූ විචාරයන් ද පිරීක්සයි. ඒ දෙපොළ අතර විවාදයට ප්‍රමුඛ කරුණ වී ඇත්තේ, වික්‍රමසිංහයන් වෑත්තෑවේ හිමියන් මූසිලයන් දුදනෙකු ලෙස පණ පොවා, චරිතයට අසාධාරණයක් සිදු කොට ඇතැයි යන ස්ථානයේ සිටීමත්, යක්කඩුවේ හිමියන් ඊට විරුද්ධ වීමත් ය. මේ කාරණා දෙක අතර ස්ථානයක් ගන්නා අමරසේකරුන්ගේ මතය මා සිත් ගත්තේ ය. ඔහු පවසන්නේ කවියෙකුට නවකතාකරුවෙකු තරම් නිදහසක් නැති අතර, කවිය රස නිෂ්පත්තිය ම වැදගත් ලෙස සලකන හෙයින්, කවිය විප්ලවවාදි හෝ නූතනවාදි වීම අත්‍යවශ්‍ය නොවන බවත් ය. රස නිෂ්පත්තිය ම වැදගත් ලෙස සලකන හෙයින් චරිතයන් හට විකල්ප මුහුණුවරක් ලබා දීම අත්‍යවශ්‍ය නොවන බවකි. මා මේ මතයට කැමති මා ඊට එකඟ වන නිසා නොවේ. කෝට්ටේ යුගයට එය අදාළ වුව ද එය අද දවසට කෙතේම් අදාළ ද යන්න මතභේදාත්මකය. එහෙත් අමරසේකරුන්ගේ ආස්ථානය - එනම් අප රසිකයන්ගේ හදවතට වඩා ලබැඳි ගී කව් ආරම භාවිතා කොට සංස්කෘතික රාමුව ට විරුද්ධ නොවී ශ්‍රේෂ්ඨ කවියක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන ඔහුගේ ආස්ථානය සංඝතව ඉදිරිපත් කර ඇති අයුරු හේතුවෙනි.

දොළොස්වෙනි පරිච්ඡේදය, "සිවුපදය සහ එළියක් ගත් ගීය", නමි. දඹදෙනි යුගයත් සමඟ ගීය අභිබවා සිවුපදය ඉදිරියට  ආ බවත්, ශබ්ද ධ්වනි මාර්ගයට මුල් තැනක් දෙන ජනකවීන් හේතුවෙන් එසේ වූ බවත් පවසමින් අරඹයි. කොළඹ කවීන්  සිවුපදය කෝකටත් තෛලයක් කර ගැනීම හේතුවෙන්, මෑත කාලයේ සිවුපදය අවතක්සේරුවට ලක් වුව ද, කෝට්ටේ යුගයේ දී සිවුපදය අර්ථ ධ්වනියට මෙන්ම, ශබ්ද ධ්වනියට ද සම වැදගැම්මක් දුන්නෝය. අනතුරුව සිවුපද විරිත අපතාල සහ තලාත්මක ලෙස දෙවිදියක් වන බවත්, නිදසුන් සහිතව කතුවරයා පෙන්වයි. සරච්චන්ද්‍රයන්, වෑත්තෑවේ හිමියන් ගුත්තිලය රචනාවේදී කෙතෙරම් සූක්ෂම කව්බැඳීමක නිරත වී ඇත්දැයි සාක්ෂි සහිතව ඔහුගේ "සාහිත්‍ය විද්‍යාව" කෘතියේ පෙන්වා දී ඇත. අමරසේකරුන්, සරච්චන්ද්‍රයන්ට උපහාරයක් ලෙස පිටු දහයක් පුරා ගුත්තිලයේ ඒ ඒ ආඝාත බෙදීම, ඒ ඒ කොටස ට වඩාත් උචිත ලෙස භාවිත කොට ඇති අපූරුව සාහිත්‍ය විද්‍යාව කෘතියෙන් ම උකහා මෙහි පළ කොට ඇත. එය විෂයීක වශයෙන් කිහිපවිටෙක මගේ හිස මතින් ගිය ද, එම උපුටනය මගින්, සාහිත්‍ය විද්‍යාව කෙතරම් වටිනා ග්‍රන්ථයක් ද යන්න ඒත්තු ගන්වයි. වෘතය, ආඝාතය, මාත්‍රා, ගුත්තිලයේ එන සලෙලුන් සුරා බීම විස්තරයට කෙසේ භාවිත වීද, ඔවුන් ගේ ගී හා නැතුම්  විස්තරය හා කෙසේ භාවිත වීද, සුරඟන රැඟුම් වැණීම ට කෙසේ භාවිත වීද ආදි වශයෙන් සවිස්තර මේ කොටස ඉතා ම රසවත්ය.


සන්දේශ කාව්‍ය බිහි වූ කෝට්ටේ යුගයේ විශිෂ්ඨම කාව්‍ය සංග්‍රහය ලෙස සැලකෙන සැලළිහිණි සන්දේශය වෙත වෙසෙස් අවධනයක් දහතුන් වෙනි පරිච්ඡේදයෙන් යොමු වේ. කාලිදාස ගේ මේඝදුතය ආභාශයෙන් අප කවීහු ද බොහෝ නිර්මාණ ඉදිරිපත් කල ද, තොටගමුවේ ශ්‍රී රහුල හිමියන්ගේ සැලළිහිණි සන්දේශය හැර අන් නිර්මණ විශිෂ්ඨත්වයට ලඟා නොවීය. මෙහි එන වෙසෙස් විග්‍රහයන් දෙකකි; අර්ථ ධ්වනි නිෂ්පාදනය උදෙස, බසක වදන්වල නිදන් ව ඇති  ව්‍යංග්‍යාර්ථ උපයෝගි කිරීමත්, ශබ්ද ධ්වනිය පහළ වීමට වචන වල් ඇති ශබ්දය, ඒ වචනවල වාහකය වන විරිත සහ තාලය, එළි සමය, අනුප්‍රාසය භාවිත වන බවත් පෙන්වාදීම, එයයි. සැලළිහිණි සන්දේශය මෙතරම් රසවත් වීමට ප්‍රධාන හේතුව ලෙස අමරසේකර මෙන්ම සරච්චන්ද්‍රයන්ද දකින්නේ, සිය දූතයාට ආදේශ කර ඇති මානූෂිය ගුණයයි. නැවත වතාවක් අමරසේකර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය විද්‍යාව උපුටනයේ, සැලළිහිනියේ එන කවි ගැන සුවෙශේෂි විචාරයක් එතුමානෝඅ කර ඇති බැවිනි (ඇත්තෙන්ම සාහිත්‍ය විද්‍යාව සුපිරිම පොතක් විය යුතුය )
පැහැසරණිය මිණි පැමිණිය කොත් අග ට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්           වට
නොව පැරණිය වන රමණිය විටින්      විට
සැළලිහිනය වදු කැලණිය පුරවර            ට

කාව්‍යය ගැන සරච්චන්ද්‍රයෝ කෙරෙන වාග් විග්‍රහය මෙසේය;
"පද්‍යයකට ඇතුළත් වචනවල ව්‍යංගර්ථ කෙමෙන් එකට එක ගෙතී කෙළවර දී අපූරු රටාවක් මතු වූ කලක් මෙන් අමුතු ම ධ්වනියක් පැන නැගීම වූ කලි නියම ධ්වනි කාව්‍යයක ලක්ෂණයයි... 'පැහැසරණිය','මිණි පැමිණිය', 'බඳ කිකිණිය', 'දද ගිහිණිය', 'නොව පැරණිය', 'වන රමණිය' යන එළිසම පද හිණි මගක පෙති සේ අඩියෙන් අඩියට නැග ගොස් 'වදු කැළණිය' යන්නෙන් උච්චස්ථානයට පැමිණ කෙළවර වන අයුරේ හැඟීමක් රසිකයා තුළ ජනිත වේ." ( 161 පිටුව )

"වියත් කවියෙහි අවසානය" නම් වූ 14 වෙනි පරිච්ඡේදය කෝට්ටේ යුගයෙන් පසුව උදා වූ පෘතුගීසි උවදුර හමුවේ අප කවිය මුහුණ දුන් ගැටළුත් එහි පැවත්ම උදෙසා වෙසෙසින් අලගියවන්න මුකවෙටි කවියා ගේ කාර්‍යබාර්ය තක්සේරු කිරීමත් ඇතුලත් ය. ඔහුගේ කාර්යබාර්‍යය කෙතෙරම් ද කිවහොත්, ඔහු හා ඔහු මග ගිය අන් කවීන් ඒ යුගයේ නොසිටින්න වත්මනයෙහි වසන කවීන්ට එම සම්ප්‍රදාය සොයා ගත නොහැකි වනු ඇතැයි ලේඛකයා සිතයි.
"සම්ප්‍රදාය සොයා යෑම යනු මළගිය යටගියාව කැණීමක් නො වේ; සජීව ප්‍රවාහයක් ඔස්සේ පිය නැඟීමකි." ( 169 පිටුව )
 15 වෙනි පරිච්ඡේදය "සිලෝව සහ සැහැල්ල", නමි.  සිලෝවේ මූලය ඇත්තේ, සංස්කෘත ශ්ලෝකයේය. අමරසේකරුන් පවසන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ ශ්‍ර්‍රේෂ්ඨ නිර්මාණය වූ පිය සමර ට සිලෝ විරිත භාවිත කල බවකි. සිලෝව වඩාම සුදුසු වන්නේ භක්තිය, ප්‍රේමය ආදී තියුණු භාවාවේගයන් ප්‍රකාශනයට බවත්,  තම පියා වෙත වූ බැතිපෙම ප්‍රකාශයට නිර්මාණය කල පිය සමර මීට නිදසුනක් බවත් හේ පවසයි. ඉන් අනතුරුව එළිසමය සහිත තාලාත්මක සිවුපදය ඉතා ජනප්‍රිය වූ අවධියක, එයට හාත්පසින් වෙනස් මෙ වැනි ආකෘතියක් නිමවාගැනීමට, කෝට්ටේ යුගයේ කවීන් මෙහෙයවූයේ ඇයි ද යන්න විමසයි.ප්‍රතිභා ශක්තියෙන් හීන කවීන් අත සිවුපදය ශබ්ද රසයක් පමණක් බවට පත් වූ හේතුවෙන් - එනම් අර්ථ ධ්වනිය දෙවෙනි තැන දීමෙන් - අරුත් රසයට මුල් තැනක් දීමේ අටියෙන් එළු සිලෝවේ ආරම්භය සිදු විය.

විරිත් සුවඳ ගෑවුණු හෙවත්, පද්‍යයට ඉතා ආසන්න ගද්‍ය විශේෂයක් ලෙස සැහැල්ල අමරසේකරුන් හඳුන්වා දෙයි. මෙම සැහැලි විරිත භාවිතාවෙන් අමරසේකරුන් විසින් ම රචනා කල භාව ගීත කාව්‍ය සංග්‍රහය ගැනත්, ඔහු ප්‍රචලිත කරන්නට යෙදුන 'පස්මත් විරිත', එය නිදහස් කවීන්ගේ  ප්‍රියතම විරිත බවත්, සුනිල් ආරියරත්නයන් තම නූතන කාව්‍ය සංහිතා කෘතියෙහි සඳහන් කොට ඇති බවත් හේ පවසයි.

අද්‍යතන යුගය නම් වූ දහසය වෙනි පරිච්ඡේදය ඉතා වටිනා එකක් වන්නේ මෑත කාලය ගැන සඳහන් වූ විස්තර නිසා ය - එනම් විසිවෙනි සියවස ගැන ය.
පැරණි කවීන් ගේ අවධිය - ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන, ජී.එච්. පෙරේරා ; කෝට්ටේ යුගයේ කවීන්ගේ කවි මඟ අතැඹුලක් සේ දත්, බසෙහි ධ්වනිතාර්ථ ගැන අවබෝධයක් තිබූ, එහෙත් පැරණි විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් තම වටපිටාව, කාලීන මාතෘකා පිළිබඳ කවි නිර්මාණ සුදුසු කවි බසක් නොවූ කවීන් කොටසකි.
"සහෘදයා කාව්‍ය නිර්මාණයකින් පතන තමාගේ හදවතට සමීප වන අද්‍යතන අනුභූතීන් නොලැබෙන විට ඔහු ඒ කාව්‍ය නිර්මාණය පිටුදැකීම සහේතුක වෙයි." (183 පිටුව )

මේ කවීන්ගෙන් සිදු නොවූ කාර්‍යබාර්යයක් ඉටුකරනු වස්, එනම් සහෘදයාට තමා අවටැති කෝකය - ජීවිතය දැකගනු වස්, රසිකයා ඉල්ලා සිටි කාර්‍යයක් ඉටු කිරීමටය කොළඹ කවීන් බිහි වූයේ. ඔවුන්ගේ තිබූ විශේෂ ලක්ෂණය වූයේ වෙසෙස් කවි බසක් නොවීමයි.  කොළඹ කවීන් විෂයෙහි ලා අමරසේකරගේ විවේචනය බලවත් ය. ඔහු ඊට හේතු ලෙස දකින්නේ අනුකාරයකයින් බිහිකරනා අධ්‍යාපනයයි.  ඔවුන් පැරණි පද්‍ය - ගද්‍ය ඉගෙන ගත්තේ රස විඳීමට නොව, ශාස්ත්‍රීය අංගයක් ලෙසටය.

"ඉංග්‍රීසි 'පොයට්‍රි' රස විඳින්නට පුළුවන් නම් උපන් දා සිට දන්නා සිංහලෙන් කවි ලියන්න වෙනම ම කවි බසක් ගැන දැනගෙන හිටින්නට ඕනෑ ද? ඒ තරුණ පිරිස් මෙසේ කල්පනා කළේ නම් ඔවුන්ට දොස් පැවරීම යුතු නො වේ." ( 187 පිටුව )

එහෙත් කොළඹ කවීන් අතින් සිදු වූ සිව්පදය දූෂණය හේතුවෙන් අද ද  එම ආකෘතිය පිළිබඳ ඇත්තේ නොපැහැදීමකි.

තෙවෙනි යුගය වූයේ නිසදැස් යුගයයි. ජී. බී. සේනානායකයන් එහි පුරෝගාමියෙකු බව අමරසේකරුන් අඳුනා ගෙන ඇත. බටහිර free verse අනුකරණයෙන් බිහි වූ නිසඳැස වියතුන් අතින් කෘතීම ව බිහි වූවක් බවත්,  කාව්‍යාතියක් බිහි විමට ඇවසි පොදු ජනතාව තුලින් ස්වභාවිකව බිහි නොවීමත් එහ් උපන් ගෙයි දෝෂ ලෙස අමරසේකරුන් දකියි.

"වියතුන් නැතිනම් වියත් කවීන් විසින් කරනු ලබන්නේ ඒ පොදු ජනයා විසින් නැත් නම් ජනකවීන් විසින් නිර්මාණය කරනු ලබන ඒ කාව්‍යාති ඔපමට්ටම් කර සිය කාර්යය සඳහා යොදවා ගැනීමයි." ( 192 පිටුව )

දහ හත් වෙනි පරිච්ඡේදය "සරච්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍ය" කෙරෙහි අවදානය යොමු කරයි. ඒ එම දෘශ්‍ය කාව්‍ය ආද්‍යතන කාව්‍ය කෙරෙහි බලපෑමක් නොවුනේ මන්ද යන්න හේතුවෙනි.  සරච්චන්ද්‍රයන් වත්මන් පරපුරට දහතුන් වෙනි සියවසේ සිට පැවත එන කවි බස වත්මනෙහි භාවිත කල යුත්තේ කෙසේද යන්න පෙන්වා දුන්න ද, එම අද්‍යතන යුගයේ විෂය ක්ෂේත්‍රයට අදාළ වන්නේ ද යන්න ගැටළුවක් වූයේ ඔහු තම නාට්‍ය වලට විෂය කලේ බොහෝ විට බෝසත් චරිත ආශ්‍රිත කතා හෝ අතීත කතා නිසා ය. අමරසේකරයන් අනෙක් හේතුව ලෙස දක්වන්නේ අනුකාරක ඉංග්‍රීසි උගතුන් විසින්  සිංහල සාහිත්‍ය කලාව ඇගයීමට ලක් වීමයි. මේ කරුණ කෙතෙරම් සාධාරණ විවේචනයක් ද යන්න සැක සහිතය.

දහ අට වෙනි පරිච්ඡේදය "කුමරතුංගයන් ගේ 'පිය සමර'" නමි. එළු සිලෝව කාව්‍යාතියක් ලෙස භාවිත කල කුමරතුඟුන් තම පියා ගැන මතකයන් අවදි කරලීමට භාවිත කොට ඇති ආකෘතිය උචිත බවට අමරසේකරුන් පවසයි. කලකට පෙර මෙවන් ආකෘති ගැන කිසිදු අවබෝධයක් නොතිබූ යුගයක මම ද මේ කාව්‍ය සංග්‍රහය කියවූවෙමි. මෙහි සඳහන් ව ඇති වික්‍රමසිංහයන්ගේ විචාරය වඩාත් ඔබින බවකි මට ද සිතුනේ.
"කුමාරතුංග තමාගේ ඒ අත්ඩැකීම් තම පියා හා නෑයන් පිළිබඳ වූවක් යන හැඟීම බැහැර කොට දකුණු පළාතේ සිංහල පවුලක උපන්නකුගේ පොදු අත්දැකීමක් ලෙස ගෙන තවත් චරිත හා අවස්ථා ඇතුළු කිරීමෙන් කාව්‍යයක් වන්නේය." (208 පිටුව ),

යන්න එයයි. අමරසේකරුන් කරුණු තුනක් අරඹයා එළු සිලෝ ආකෘතියම උචිත බව පවසයි. එනම් ඒ වන විට දහ අට මත් විරිත එහි ශාඛ්‍යතාව වනසාලන අයුරින් අධි භාවිත වී තිබීම, භක්ති කාව්‍යයක් හේතුවෙන් එහි ඇති උචිතතාව සහ වර්තමානයට උචිත කවි බසක් තැනීමේ උවමනාව ලෙස ඔහු දක්වයි.

දහ නම වෙනි පරිච්ඡේදය හමාර දෙසුම යි. වෙසෙස් ලෙස අමරසේකරුන්ගේ දේශපාලන දෘෂ්ඨිය ඔහුගේ ආස්ථානය කෙසේ ද යන්න මත රඳා පවතින බව පැහැදිලිය.

1 comment:

  1. හරිම වැදගත් ලිපියක් බොහොම ස්තුතියි

    ReplyDelete