Sunday, 10 November 2019

2019 ජනාධිපතිවරණය පිළිබඳ මගේ සත දෙක....





මම 2019 ජනාධිපතිවරණයට ඡන්දය දීම කෙසේ නම් තීරණය කරම් ද?  මා ගන්නා තීරණයට අසන්නම හේතුව මෙලෙස සඳහන් කරමි.

මා ඊට පසුබිම් කරගන්නේ ShivShankar Menon 2016 ලියූ  Choices : Inside the Making of India's Foreign Policy පොතෙන් උකහා ගත් මේ  පිටුවයි. ඒ මා 2016 නැවත ලංකාවට ආපු කාලයේ ම, කියවන්න ට ලැබුණු පොතක්.  මේ වැකි මාගේ මතකයේ රැඳුණු නිසා මගේ මෙවර ඡන්දය දීම උදෙසා එය රුකුලක් කරගන්නවා. මේ පිටුවේ කියවෙන කාරණා වලින් ඉතා කෙටි සමාලෝචනයක් නම්, මෙනෙන්, ගෝඨාභය සතුව ලංකාවේ යහපත පිළිබඳ ඉතා පැහැදිලි දැක්මක් තිබූ බවත්, යුද්ධය අවසන් වූ විගස චීනය සහ ලංකාව අතර ආරක්ෂාව පිළිබඳ සම්බන්ධතාවෙන් ඉන්දියාවට කිසිදු අවාසියක් නොවෙන බවත්, නැවත පිළිසකරකරණ ක්‍රියාවලියට ඉන්දියාව සම්බන්ධ කරගන්නා බවටත් සහතික විය. තව දුරටත් ඔහු සහතික වූයේ, චීනයට කිසි විටෙක නිත්‍ය හමුදා කණ්ඩ මෙහි පවත්වා යාමට ඉඩ නොදෙන බවත්, ආරක්ෂක අභ්‍යාස සහ බුද්ධි තොරතුරු පිළිබඳ අප ඉන්දියාව වෙත ම වැඩි විශ්වාසයක් තබනා බවත් ය. මේ සහතික ප්‍රධාන වශයෙන් ගෝඨාභයගෙන් බවත්, චීනය වෙතින් තම දේශපාලන යාන්ත්‍රණය ඉදි කරගත් මහින්ද මේ පිළිබඳ පසු බට වී කැමැත්ත ප්‍රකාශ කල බවත්  තව දුරටත් පැවසේ. මා වඩාත් සිත් ගත් කාරණාව මීළඟ කරුණයි: ලංකාව සහ කලාපීය අන් කුඩා රටවල්, චීනය භාවිතා කොට ඉන්දියාවෙනුත්, ඉන්දියාව භාවිත කොට චීනයෙනුත් ආයෝජන අන් සහායන් ලබා ගනීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රායෝගික ක්‍රියා මර්ගයක් බවත් ය. ඉතින් ගෝඨාභය මහින්ද අභිභවා මේ සිද්ධිය දක්ෂ ලෙස ඉටු කොට ඇති බැව් මේ වැකි අතරින් කියෙවෙන සත්‍යයයි. මේ අපට අවශ්‍ය ලෙස සහ සාපේක්ෂ වශයෙන් අවාසි නොවෙනෙ ලෙස කතිකාවක යෙදීමේ උවමනාව සහ හැකියාව ය ( Negotiation Skills ) මට ඉතා වැදගත් කාරණාව වන්නේ. ( මේ පොතේ අනෙක් රචනා ඉන්දියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වය, පකිස්තානය සමඟ ඇති සුව නොවෙන තුවාලය, චීනය සමඟ ඇති සබඳතා පිළිබඳවය. අප රට ගැන සඳහන් ව ඇත්තේ ත්‍රස්තවාදය පරාජය ට ඉන්දියාවේ මැදිහත්වීම ගැන පැවසීමටය. )



ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ඓතිහාසික වශයෙන් ගිවිසුම් වලදි සහ අප රට මුහුණ දුන් ගැටළු වලදි ක්‍රියා කොට ඇති අයුරු ඉතා සැකෙවින් සලකමු ( මෙය රනිල් ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ පූර්ණ රචනාවක් නොවේ. ඔහු හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව මම ද පිළිගනිමි. එහෙත් අද වන තෙක් ඉන් අප රටක් ලෙස ලබපු ලාභයක් නැත.)
-2002 සාම ගිවිසුම ලංකාව පැත්තෙන් අසාධාරණ ගිවිසුමක් වූවා පමණක් නොව, ජොන් වෙස්ට්බෝග් අතිනත දීමට තම අත දිගු කල විට රනිල් එය නොදැක්කා සේ සිටියේ, එදින ම තමන් යම් රැවටීමකට ලක් වූ බව තේරුම් ගිය නිසා ද? රනිල් ගිවිසුම අත්සන් කිරීමට වවුනියාවට ගියේය. ප්‍රභාකරන් අත්සන් කලේ කිලිනොච්චියේ සිටය. ඔහු වවුනියාවට ගියේ කවුරු හෝ එල්.ටී.ටී.ඊ. පාර්ශවයෙන් මුණ ගැසෙන බව නොර්ජීනියානුවන් කියා තිබූ නිසාවත් ද ? ඔහු මේ අත්සන් කලේ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට ද නොකියා ය.
- 2015 දී අගමැති වීමෙන් අනතුරුව තමන් පූර්ණ වගකීම භාර ගන්නේ යැයි පවසා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කලේය. අනතුරුව මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දි ඔහු පවසා තිබුනේ, තමන් දැන් මහේද්‍රන් හා කිසිදු සබඳතාවක් නැති බවකි. ඒ ඔහුගේ ලිස්සා යාමේ පිළිවෙලයි.
- මෛත්‍රිපාල සිරිසේන හා ගැටළු ඇති කරගත්, තමනට සිරිසේන ආරක්ෂක මණ්ඩලයෙන් නෙරපූ බව කියා, අප්‍රියෙල් 21 වගකීමෙන් ලිස්සා යෑමේ ප්‍රයත්නයක් දැරුවේය. එහෙත් මෑතක  ප්‍රකාශ වූ වාර්තාවෙන් ජනපති මෙන්ම අගමැති ද වරදකරුවන් බවට පත්කොට ඇත.
- MCC  ගිවිසුම් ප්‍රකාරව ඇමරිකානු ඩොලර් 480ක ප්‍රතිපාදනයක් ගැන කියවේ. එහි දි රනිල් පැවසුවේ, "ඇමරිකානු ඩොලර් 480ක් ලැබෙනව නම් ඇයි එපා කියන්නේ" බවක් ය; කරුණු කාරණා අධ්‍යයනයකින් තොරව, තමන්ගේ බූදලයක් මෙන් රට ගැන සිතන  අසංවේදි ඔහු,  නියම ආකාරයෙන් තොරව හදිසියේ එම ගිවිසුම අත්සන් කිරීමට ය, යත්න දැරුවේ.

මේ සියළු කාරණා වලින් පෙන්වන්නේ රනිල් සාක්ච්ඡා කොට තම රට කෙරෙහි වාසි සහගත ලෙස ගණුදෙනුවක් කර ගැනීමේ හැකියාවක් නොමැත්තෙකු බවයි. ඔහුට තම සමාජ පසුබිම භාවිත කොට ඔවුන් හා සාකච්ඡාවකට අවතීර්ණ විය හැකි මුත්, මේ කිසිදු සබඳතාවකින් තම රටට වාසි සහගත අවසානයකට පැමිණ හැකි වීද යන්න සැක සහිතය. එලෙස ම යම් එකඟතාවකට එද්දි එහි සියුම් කාරණා ගැන වගවීම ගැන ඔහු මෙතෙක් සාක්ෂි දරා නැත. මෑතක මත්තල ගුවන් තොටුපොළේ වී රැස් කරලීම වෙනුවෙන් ද රාජ්‍ය නිලධාරියෙකු ට වගකීම භාර කොට ඔහු ඇඟ බේරා ගත්තේ ය. අප්‍රියෙල් 21 සිද්ධියට ද ඍජුව වගකිව යුතු ජනපති-අගමැති යුවල වෙනුවට එවක ට සිටි පොලිස්පති සහ ආර්ක්ෂක ලේකම් දැන් හිර භාරයේය.

අපි රනිල් ගැන කතා කලේ, සජිත් ගැන මෙතෙක් කතා කිරීමට දෙයක් නැති හෙයිනි. කිසිදු විශ්වාසයක් තබා ගත හැකි නූතනත්වයට ඔබින නායකත්ව ලක්ෂණයක් ඔහු කෙරෙන් මෙතෙක් දිස් වී නැත. අරක නිකන් දෙන්නන්, මේක නිකන් දෙන්නන් කියනවාට වඩා දෙයක් ඔහුගෙන් දිස් වී නැත. කාන්තාවන් වෙනුවෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්නේ යැයි  කියූ කල, ඔහුගේ ප්‍රතිරූපය ඔසවා තැබීමට පැය විසි හතර පුරා මහන්සි වෙන මුහුණුපොත් සේනාවක්, එම ප්‍රකාශය ඔප මට්ටම් කොට, සජිත් නූතනත්වයට ඔබින,  ශිෂ්ඨ අයෙක් බවට නව නිර්මාණයක් කරලීමට උත්සාහ දරණු නම් දැක ගත හැකි විය. මේ අර රදළ ලක්ෂණ වලින් ගහණ, "උස නම් සිකියුරිටි -මිටි නම් කම්කරු", " අයින් වෙන්න දාඩිය දානවා" ආදි කතා කියමින් මීට වසර තිහකට පමණ පෙර අප රට සමහර නායකයන් පෙන්නුම් කල ලක්ෂණ පෙන්නුම් කරනා පුද්ගලයෙකි. වයසින් සාපේක්ෂව තරුණ වුව නූතන රටකට ඔබින පුද්ගලයෙකු නොවෙන බව පැහැදිලිය.

හුදෙක්  දැනුම අතින් අනුර කුමාර දිසානායක අන් දෙපළට ඉදිරියෙන් සිටින බව පැහැදිලිය. එහෙත් රටක් පාලනයට එය පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන්ගේ පක්ෂය ක්‍රියාකරනාකාරය මහජනතාවට වඩා විවෘත විය යුතුය. ඇරත් මෑත කාලීනව ජවිපෙ, එක්සත් ජාතික පක්ෂය  ට අවම හානියක් සිදුවන ආකාරයෙන් ක්‍රියා කොට ඇත. එය ඔවුන්ගේ පක්ෂයේ දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා මේ අවස්ථාවේ ගත යුතු වඩා ප්‍රඥාගෝචර මග වුවත්, මහජනාවට මේ සියළු කාරණා එක්කාසු කල විට, ඔවුන් විශ්වාස කරලීමට වඩා අවිශ්වාසයට හේතු වැඩිය. ඔවුන්ගේ ඉතිහාසය පුරාවට ම බැලුවහොත්, ඔවුන ට පක්ෂය ම වඩා වටින්නේ ය. දීර්ඝ කාලීනව සැලකුවහොත් අප රට කිරීමට අසමත් වූ ප්‍රධාන පක්ෂ දෙක අභිමුවෙහි ලා හෝ, ජවිපෙ වෙත තවම මිනිසුන් ආකර්ශනය නොවන්නේ ඔවුන්ගේ පක්ෂය නම් වූ රහස් ගුහාව නිසා යන්න මගේ අදහසයි. ඔවුන් වඩා පාරදෘෂ්‍යභාවයකින් වැඩ කලහොත්, සහ තමන්ගේ අවස්ථාව එනවානම් රට අමාරුවේ වැටෙන තුරු බලා සිටීමේ න්‍යායෙන් ඈත් වුවහොත්, ඔවුනට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වීම, එතරම් දුර නැත.

ගෝඨාභය එරෙහි ප්‍රධානතම විවේචනය ඔහු තුල යම් ඒකාධිපතීත්වයක ලක්ෂණ තිබේද යන්න ය. නූතන යුගයේ ඊට ඉඩ නැති බවත්, විපක්ෂය ප්‍රමුඛ රටේ බහුතරය එවැන්නකට විරුද්ධ වීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බව වටහා ගෙන, තමන් වටා ඉන්නා අයගේ කියුමට  සවන් දී, තම සොහොයුරා කල සමහර වැරදි ගැන අවබෝධයෙන්, තම ප්‍රමුඛ වගකීම ගැන අවබෝධයෙන් හෙතෙම ක්‍රියා කිරීම ඉතා වැදගත් ය. කිම ද විසි එක්වෙනි සියවසේ දෙවෙනි දශකයේ අගක දී ජනතා අභිමතාර්ථ වලට ඇහුම්කම් නොදී සිටින පාලකයන් වැඩි කාලයක් රැඳෙන්නේ නැත. එය වටහානොගත හොත් එය රාජපක්ෂ පවුලේ ම දේශපාලනය ට තිත විය හැක ( කෙසේ වුවත් ගෝඨභයගෙන් අනතුරුව රාජ්‍ය නායක මට්ටමේ නායකත්වයක් එම පවුල තුලින් බලාපොරොත්තු විය නොහැක).

No comments:

Post a Comment