Sunday, 24 November 2019

ඇරැව්වල නන්දිමිත්‍ර ගේ තෝරා ගත් කෙටිකතා - විමර්ශනය : මහාචාර්ය විමල් දිසානායක - සංස්කරණය : සුගත් වටගෙදර




මෙම කෘතිය මුල් වරට කියවූයේ 2010 වසරේ අගෝස්තුවේ ය. ඒ ද මහජන පුස්තකාලයෙන් බැහැරට ගෙන ගිය පිටපතකිනි. ඊට වසර නවයකට පසුව ද, මේ කෘතිය නැවත කියවන්නේ පුස්තකාල පිටපතකිනි. දැනට මේ කෘතිය මුද්‍රණයේ නැත.මෙම කෘතිය නැවත කියවීමට ආසන්නම හේතුව, කෙටි කතා සංග්‍රහයන් එකොළහක් පමණ වන නැසී ගිය කතුවරයාගේ සියළු කෘතීන් කියවනු වෙනුවට, සුගත් වටගෙදරයන් විශ්වාස කොට ඔහුගේ මේ තේරීම මගින් කතුවරයාගේ කෙටි කතා කලාවේ අත්‍යවශ්‍ය හරස් කඩක්  හැදෑරීමට එය ප්‍රමාණවත් වෙතැයි යන උපකල්පනයයි. ( මෙම සංස්කාරකගේම, කීර්ති වැලිසර විසින් රචිත මෙවන් එකතු කල කෙටි කතා එකතුවක් ද මා සතුව ඇත. අනාගත දිනෙක් එය පරිශීලනයට බලාපොරොත්තු වෙමි. )

සංස්කාරක වෙත විශ්වාසය තැබිය හැකි එක් හේතුවක් නම්, නන්දිමිත්‍රගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ "කය මිස සිත නැති දන" (1965) නම් වූ කෘතියෙන් එකඳු කෙටි කතාවක් හෝ තෝරාගෙන නොතිබීමයි. එය අද වන විට මුද්‍රණයේ තිබේද යන්න නොදනිමි. කියවීමට පිටපතක් ලැබුනහොත්, බොහෝ විට මා එය කියවීමට ඉඩ තිබිණි. එහෙත් අප සංස්කාරක, පොත ගැන 1965 පළ වූ එච්.ඒ. සෙනෙවිරත්නයන්ගේ විචාරයක් උපුටමින් , "භාෂාවේ වාර්තාගත ස්වභාවයත් කාව්‍යමය නොවීමත්, කෙලින් ම කියා පෑමත්" යන දුර්වලතා තිබූ බවට පැවසේ. මේ කෘතියට විමර්ශනයක් ලියන විමල් දිසානායකයන් පවසනුයේ,  එම කෙටි කතා සංග්‍රහයේ "පරිසමාප්ත කලා නිර්මාණ වශයෙන් හැඳින්විය හැකි කෙටිකතා දක්නට  නොලැබෙන..." ලෙසට ය. ඉතින් මා සතුව කතුවරයා ගේ කෙටි කතා සංග්‍රහයන් පහක් තිබුන ද, මේ සංග්‍රහය ම නන්දිමිත්‍රයන්ගේ කෙටි කතා කියවීමට ප්‍රමාණවත් යැයි තීරණය කරලීමට එය ප්‍රමාණවත් ය.

රෝස මලේ රේණු සැලේ (1978 ) සංග්‍රහයෙන් උපුටා ගත් "වැස්සට තෙමෙන ලිපිකරුවා" මෙහි එන පළමු කෙටිකතාව යි. එහි මැද පංතියේ ලිපිකරුවෙකු, තම පියාණන්ගේ ඇවෑමෙන් පවුලේ බර කරට ගැනීම හේතුවෙන් මැදිවිය දක්වාම ජීවන බරෙන් හෙම්බත් ව  තම දිවි ගෙවන ආකාරයයි. අපට ඔහුගේ ජීවන මතකයන් හා අත්දැකීම් දිස්වෙනුයේ වැහි බර දවසක කන්තෝරුවේ කෙරෙන ආවර්ජනයක් ලෙසටය. තම බාල සොහොයුරියන්, සහ සොහොයුරා වෙනුවෙන් මුළු තරුණ කාලයම වැය කල හෙතෙම, මැදිවියේ එළිපත්තේ කසාද බැඳ තම දරුවන් වෙනුවෙන් දුක් විඳින්නේය. මෙහි 1970 දශකයේ, වෙසෙසින් 77 වෙනසට ප්‍රථම යුගයේ මධ්‍යම පාංතික ජීවිත රටාව පිළිඹිබු වන බැව් සිතිය හැක - ඒ එය එලෙස සිතා මතා නොලියූවක් නොවූ නිසා ම එහි වැදගත්කමක් ඇත.

සුදු කොඩි (1983), නන්දිමිත්‍රයන්ගේ නිර්මාණ දිවියේ වෙසෙස් සන්ධිස්ථානයකි. එය ඒ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. එම සංග්‍රහයෙන් කෙටි කතා තුනක් මෙහි ඇතුලත් කොට ඇත.

වතුර මල, අධ්‍යාපනය තිබූ නුමුදු ඊර්ෂ්‍යාව යන්න ජය ගත නොහැකි ක්ලේශයක් බවත්, ඒ නිසා ම ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵල, එම ක්ලේෂය දරන්නා වෙතම යොමු වෙන අයුරුත්, අපට වඩා දැනෙන ස්වභාවික වටපිටාවක ගලපා ඇත.

සුදු කොඩි වනාහි මෙහි එන අපූරුම නිර්මාණයකි. ජයවික්‍රම තමන් දායාද කොට ගත් පසුබිම අතැර ඉහළටම නැගීම සිදු විය යුත්තක්ම වුවත්, "බොරුව" වෙනුවෙන් ඔහු ඒ කල "ගණුදෙණුව" ඔහුට සැමදා වද දුන්නේය. ඒ, ඔහුගේ ඇතුල් සිතේ, ගණිතයා වෙනුවෙන්, ගණිතයා ඔහු වෙනුවෙන් කල කැපකිරීම උදෙසා, ඔහු කෙරෙහි නොගෙවූ ණයක් පමණක් නොව, යම් ස්නේහයක් ද තිබූ හෙයිනි. මේ සියළු හැඟීම් අපූරුවට අලලා, මිනිසෙකු ට දිවි ඇති තුරා වැරදෙන්න පුළුවන් ස්ථාන කිහිපයක් ම ඇතැයි පෙන්නුම් කරනා කෙටි කතාවකි.

ආදරයේ එක්තරා අවස්ථාවක්, සුදු කොඩි කෙටි කතා සංග්‍රහයෙන් උකහා ගත් තෙවෙනි කෙටිකතාවයි. මාතෘත්වය, පීතෲත්වය, වඳ බව ආදිය ස්වාමී-බිරිඳ අතර ගැටළුවක් ලෙස පැන නගින අයුරුත්, තම අඩුපාඩුව හේතුවෙන් අනෙකා තමා ගැන කෙසේ සිතයි ද යන්න කටුවක් ලෙස සැමදා තමනට වද දීම ආදි ගැටළු රාශියක්  මතු කරනා අපූරු නිර්මාණයකි. ආදරය පිළිබඳ සැකය එකිනෙකා තුල කිසි විටෙක මතු නොවෙතත්, ස්වර්ථය ගැන නොසැලකීම යන ආදරයේ අවස්ථාව මතු කොට ඇති අපූරුව සිත් ගනී.

"ස්ත්‍රී" පිළිබඳ මගේ පළමු මතකයේ, රූපවාහිනියේ එනමින් වූ චිත්‍රපටිය පෙන්වූ අවස්ථාවක, මා දුටු අවසන් විනාඩි කිහිපයයි. එනම් මාලිනි ෆොන්සේකා මැගිහාමි ට පණ පොවමින්, සුරුට්ටුවක් උරමින්, තම ගවයා මරාගෙන කෑ මිනිසා ඝාතනයෙන් පසුව, තමනට ම මුමුණමින් "ඕං පුතේ, මං උඹ මැරූ පළිය ගත්තා" හෝ ඊට සමරුත් ඇති වදන් සිතීමයි. එම ජවනිකාව සැමදා මා සිතේ කෙටී ඇත. ඊට පසු කලක ය, මට ඒ කෙටි කතාව කියවීමේ අවස්ථාව උදා වූයේ. මා දන්නා තරමින් අද වන විට ස්ත්‍රී කෙටි කතා සංග්‍රහය මුද්‍රණයේ නැත.  එහෙත් ස්ත්‍රී මා වඩාත් ප්‍රිය කරන, නන්දිමිත්‍ර ලියූ කෙටි කතාව විය යුතුය. මැගිහාමි, සිංහල කෙටිකතාවේ එන සුවිශේෂි ම චරිතයක් විය යුතුය.

ස්ත්‍රී සංග්‍රහයෙන් මෙහි ඉදිරිපත් කොට ඇති දෙවෙනි කෙටි කතාව, "සෙක්කු ගෙදර" ය. එය ද තැනින් තැන බැලූ බව මතකය. සමිතපාල ගේ චරිතය ට පණ පවූ නළුවා උදහස ට ලක් වූ විට තම අත හපා ගැනීමේ ඉරියව්ව මා මතකයේ රැඳී ඇත. ස්ත්‍රී කෙටිකතාව පාහෙ මෙනමින් වූ කෙටිකතාව ද ටෙලි නාට්‍යයෙන් පසුව කියවීමට ලැබූවකි. මේ කෙටිකතාවේ විවෘත අවසානය ට මා වඩාත් ප්‍රිය කරමි.

සුද්දෝ සහ කොයින් මැණිකේ කෙටි කතා සංග්‍රහයෙන් එනමැති කෙටි කතාව මෙහි ඇතුලත් ය. තමන් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම් පෙළක් හේතුවෙන්, නීතියෙන් ද, ඔහු ජිවතුන් අතර නම්, තම සැමියාගෙන් ද හැංගී සිටින්නී, තම අනුවේදනිය අත්දැකීම් බෙදාගන්නීය. විවිධ ව්‍යාපෘතීන් උදෙසා 70-80 දශක වල පිටරැටියන් මෙහි ආවෝය. එවන් අවසතාවක මෙවැන්නක් සිදු වීමට ඉඩ ඇත. සත්‍ය සිදුවීමක යම් සාරයක් මෙහි මධ්‍යය ලෙස තිබිය හැක.

නීතිය ට අවනත නොවීම යන්න යම් ජන කොටස් වලට  එතරම් ප්‍රශ්ණයක් නොවන්න පුළුවන. එසේ ජීවත් වීමට අවශ්‍ය ජීවන දැක්ම කෙසේ ලැබෙන්නක් ද යන ගැඹුරින් සිතා බැලිය යුතුය. මෙහි එන ප්‍රධාන චරිතය වරෙක සිමෙන්ති ලොරියකින් සිමෙන්ති සොරකමේ යෙදීමත්, තවත් වරෙක මිනී මැරුමකින් බේරීමට  පොලිසියෙන් සැඟවී ජීවත් වීමත් කරන්නේ තමන් ගේ ක්‍රියාවන් පිළිබඳ එතරම් පසුතැකීමක් පාඨක අප වෙත නිරූපනය වන අයුරකින් නොවේ. එම හැඟීම් සමුදායේ දිගුවක් ඔහුගේ දරුවන් වෙතින් ඔහු වෙත යොමු වීම ද මෙහි දැකිය හැකි වීම මෙහි අපූරත්වයට හේතු වේ. ( ගෙළ සිඳීම )

පුංචි කුමාරිහාමි සංග්‍රහයෙන්  තෝරා ගැනුනු "ගැහුණු තුන් දෙනෙක්" කෙටිකතාව අප රට දරිද්‍රතාව හේතුවෙන් අප වැසියන් මුහුණ දුන් සහ දෙන ජීවන අරගලයේ හොඳ පිළිඹිබුවක් දැක්වේ. 1990 වසරේ, එනම් මීට වසර 29ට පෙර ප්‍රකාශ වූ මෙම කෙටි කතාවේ  කියවෙන්නෙ පන්නිපිටිය සහ හෝමාගම ආශ්‍රිතව ජීවත් වූ කාන්තාවන් තිදෙනෙකු පිළිබඳවය. දියණියක් තම මවගේ අනියම් සබඳතාවන් දකිනා අයුරු, අන්ත අසරණ අඩවියට පැමිණි කල කාන්තාවක් තම දිවි රැකුමට ඕනෑම දෙයකට පෙළබීම අප කතුවරයා පෙන්වා දී ඇත. අද ට සාපෙක්ෂව තරමක් ගම්බද යැයි සිතිය හැකි කලෙක, එම ජීවිත යථානුරූපව පෙන්වා ඇති අයුරු අපූරුය. නන්දිමිත්‍රයන් තම බොහෝ කෙටිකතාවලින්, අප ගම්බද දිවි පෙවෙතේ අඳුරු පැති ඉන්දිරිපත් කරලීමට පමණක් නොව, ඒ ගම් දනව් වල විසූ අපූරු චරිත ද අප ඉදිරියේ ගෙන හැර දක්වා අති අයුරු අපූරුය ( නිදසුන් - ස්ත්‍රී )

1993 දී ප්‍රකාශ වූ "රත්තරන් නෙළුම් මල" නැමැති සංග්‍රහයෙන් උපුටා ගත් පළමු කෙටි කතාව, "සුදු මැලි සඳ එළිය", නමි. පාසල් ප්‍රේමයක ඉතුරු බිතුරු වලින් වසර ගණනාවකට පසු වඩා සෝචනීය තත්තවයක ඒ දෙපළ හමු වීමත්, 81 වර්ජනය හේතුවෙන් මුහුණ දීමට සිදු වූ දුක්ගැහැටත් අලලා ලියැවී ඇති මෙම කෙටි කතව තරමක් අප කෙටිකතාකරුවාගේ අන් නිර්මාණ වල ට වඩා වෙනස් ය. ඒ  එහි එන දේශපාලන විභවිතාව නිසාය. මෙය ඉතා අවම සංස්කරණයන්ගෙන් කම්මැල්ලවීරයන් ලියූ කෙටිකතාවක සරි ගැනීමට පුළුවන් නිර්මාණයකි.

එම කෘතියේන් උදෘත දෙවෙනි කෙටිකතාව, "තටු දා ගිය පක්ෂියෙක්" කෙටිකතාවයි. පියසිරි නම් හතලිස් විය පසු කරන  අහිංසක පාහේ පුරුෂයෙකුගේ ප්‍රේමාපේක්ෂාවක් වැරදියට වටහා ගැනීම හේතුවෙන් මහත් අසාධාරණයට පත් වන අයුරු මෙහි ප්‍රධාන ආඛ්‍යයනයයි. සිය විමර්ශනය තුලින් නන්දිමිත්‍රයන්ගේ චරිත නිරූපාන්ය ගැන, මේ කෙතිකතාව නිදසුනට ගනිමින් මෙසේ තෙපළයි -
"නන්දිමිත්‍රයන්ගේ වෙනත් බොහෝ කෙටිකතාවල මෙන් මෙහි ද කථා නායකයාගේ බාහිර පෙනුම ඔහුගේ  අභ්‍යන්තරය පිළිබඳ චිහ්නයක් බවට පත්වෙයි. ජේම්ස් ජොයිස් බඳු සුපතළ කෙටිකතාකරුවන්ගේ නිර්මාණයන්හි දක්නට ලැබෙන මෙම ලක්ෂණය ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෘතිවල ද මැනවින් විද්‍යාමාන වේ. (19 පිටුව )"
1985 පළ වූ "මා සොයා එනු මැනවි" සංග්‍රහයෙන්, තෝරා ගෙන ඇති පළමු කෙටිකතාව 'කළු ගඟ මුමුණයි', කෙටිකතාවයි. හිමි නැති පෙමක අත්දැකීම්, මාතෘ ප්‍රේමය හේතුවෙන් ඒ ප්‍රේමය අහිමි කර ගැනීම සහ මහළු වයසේ එහි ආවර්ජනය ගැන කියවෙන මෙම කෙටිකතාව, නන්දිමිත්‍රයන්ගේ අපුරුතම නිර්මාණයක් විය යුතුය.

"'ඔය ඉඩකඩම්වලටයි, වස්තුවටයි තන්හාවේ ඉන්න එවුන් මැරිලා ගිහිල්ලා උපදින්නෙ තඩි කබරයො වෙලා."

'එතකොට මහජන සේවය කරන්නයි කියලා ගිහිල්ලා මහජන දේපළ ගසාකාගෙන, මිනිස්සුන්ට හතුරුකම් කර කර ජීවත් වෙන එවුන් උපදින්නේ මොක්කු වෙලා ද?'

'උන් උපදින්නේ තඩි කිඹුල්ලු වෙලා'"
(329 පිටුව )

"මා සොයා එනු මැනවි" කෙටි කතාව, පෙර භවයක් ගැන පසුතැවෙනා, ඒ භවය ගැන මතක තිබෙනා සතෙකු  ගේ අතීතාවර්ජනයක් භාවිත කොට කෙරුණු නිර්මාණයකි. එය ට කතුවරයාගෙඅ ජීවන දෘෂ්ඨිය බලපෑ ඇති බව පැහැදිලිය.

"සිරි සහෝදරයා", "මා සොයා එනු මැනවි" කෙටි කතා සංග්‍රහයෙන් තෝරා ගැනුනු තෙවෙනි කෙටි කතාවයි. 60-70 දශකයේ දී පිලිප් ගුණවර්දන ගේ පරාර්තකාමි දේශපාලන යුගයේ ග්‍ර්‍රාමීය ස්ථරයේ දේශපාලනයේ යෙදුණු විමලසිරි අලලා නිමැවුණු නිර්මාණයකි.  ඔහුගේ දේශපාලන දිවියේ ලැබූ පරාජයන් ට සමාන්තරව පෞද්ගලික දිවියේ ද හැලහැප්පීම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඍ‍ජු දේශපාලන මතයක් මත ඒ ලොව ගැටුම් ඔහුට විඳ දරා ගත හැකි වුවද, තම පෞද්ගලික දිවියේ දි ඔහුට එම ඍජු බව පවත්වාගෙන යාමේ අභියෝගයකට ඔහු මුහුණ දෙයි. ක්‍රමයෙන් ඔහු අවලංගු වෙයි.
 
"හදවතක රාවය" කෙටිකතාව තෝරාගෙන තිබෙන්නේ එතුමන්ගේ "නංගී" නම් වූ කෙටි කතා සංග්‍රහයෙනි. දීර්ඝ කාලයක් ග්‍රාම වාසීව මහණ ඩම් පිරූ භික්ශූන් වහන්සේ නමකගේ මාගම් සෝළියක් මුල් කර ගත් මෙම කෙටි කතාව, මිනිස් සිතේ ස්වභාවයත්,  පැවිදි දිවිය, මිනිස් දියණියක් වෙත වූ දයානුකම්පාව සමඟ අපූරු සැසඳීමක් කර ඇත.

"නංගී" කෙටි කතාව, එනමැති සංග්‍රහයෙන් තෝරා ගෙන ඇති දෙවෙනි කෙටි කතාවයි. සානුකම්පාව වඩවන ආරකින් ගෙතුණු එම කෙටි කතාව, තරමක් සම්ප්‍රදායික ලෙස සහෝදර ප්‍රේමය අලලා ලියැවුන්නකි.

"දේවසිරි" නම් වූ කෙටිකතාව, දෙවසිරි නැමැති චරිතය හා  ඍජු බැඳීමක් ඇති අන් චරිත තුනක් ඔහු හා බැඳීම් පිළිබඳ අපූරු කියවීමකි. එක් අතකින්  මෙය කෙටි කතාම ව්‍යූහය පිළිබඳ අත් හදාබැලීමකි. තව දිශානතියකින්, තමන් ආකර්ශනය වන පුරුෂයෙක් වෙත  කාන්තාවකගේ අනියම් බැඳීම පිළිබඳ කියවීමකි.

මම සමු නොගනිමි නම් වූ කෙටි කතා සංග්‍රහයෙන් උපුටා ගත් දෙවෙනි කෙටි කතාව "කෝලම් නැටුම"යි. මෙහි එන සේතු නම් චරිතය Alpha Male ලක්ෂණ පෙන්වූ පියෙක් වූ අතර පෙමා තරමක් දුර්වල වූ පිරිමි චරිතයකි. සේතු ගේ චරිතය හමු වේ එ පවුලේ ඉරණම විසඳෙන අයුරු කියවෙන අපූරු ගෙතුමකි, කෝලම් නැටුම.

අමා දොරටුව හෙතෙම ප්‍රකාශ කලේ 2005 දී ය. මේ වන විට තම සාම්ප්‍රදායික ආකෘතියෙන් බාහිර ව යම් යම් පරීක්ෂණ කිරීමෙහි ලා යත්න දරණු පෙනේ. මෙහි එන "අතුරුදන් වීම", චරිත තුනක දෘෂ්ඨි කෝණයන්ගෙන්  ලියැවී ඇත. එහෙත් මෙහි ආකෘතික හරඹයට වඩා වටින්නේ වයස්ගත වූ විට තනි වූ මවක ට ( වෙසෙසින් ), තම ජීවිතය පිළිබඳ තනි තීරණයක් ගැනීමඨ නොහැකි ද යන්න යි. දරුවන් තමනට වාසි සහගත ආකාරයට ක්‍රියා කරද්දි සහ තම මව වෙනුවෙන් කාලය මිඩංගු නොකරද්දී, මව ක් ලංකාව වන් සාම්ප්‍රදායික පිළිවෙත් හිස මුදුන මත තබාගෙන සිටිනා රට ක, ඒ මව ට තම දිවිය ගැන තීරණය කල යුතු වන්නේ දරුවන් සහ අසල්වැසියන්ගෙන් අවසර ඇතිව ද යන්නයි. නන්දිමිත්‍රයන්ගේ වැඩි නිර්මාණ ප්‍රමාණයක් කොට්ටාව-පන්නිපිටිය-අතුරුගිරිය ආශ්‍රිතව පදනම් වී ඇත. මීට අවුරුදු දාහතරකට පමණ පෙර මේ ආසන්න ප්‍රදේශයක ලියැවුණු මෙම නිර්මාණය තුල හණ මිටි අදහස් ප්‍රශ්ණ කිරීමේ ආරක් මතු වේ.

2007 දී ප්‍රකාශ වූ එතුමන් ගේ දොළොස් වන කෙටිකතා සංග්‍රහය වූ තරුණාවේශයෙන් උකහාගත් එකම කෙටි කතාව "වෛර නා රජ" කෙටි කතාවයි.  යථාර්තවාදයේ සිමා අතික්‍රමණය කරලීමට යත්න දැරූ කෙටි කතාවක් වුව මට එය තරමක් හදිසියෙන්, ආකෘතික හරඹයකට සේවය කරලනු වස් ලියූවක් මෙනි දිස්වූයේ.

මේ කෘතියට පෙරවදන සපයා ඇත්තේ විමල් දිසානායකයන්‍ ය. එහි දි ඔහු ධාරණාව යන්න ගෙනහැර දක්වයි.එහි අරුත් දෙක ඇත -එකක් capacitance ය ( එනම් භෞතික විද්‍යාව හා බැඳිය ) අනෙක හැඟීම හෙවත් impression යන්න ය. කෙටි කතාවක් එක් ප්‍රබල ධාරණාවක් ගෙන හැර දක්වන අතර නවකතා තුල බාහු ආඛ්‍යාන රාමු  රාශියක් රැගත් බව එතුමන්ගේ මෙතෙක් නිරීක්ෂණය බව එතුමන් පවසයි.  එනුමුදු නන්දිමිත්‍රයන්, ලතින් අමරිකානු ආරේ බහු ආඛ්‍යාන රාමු ඇති බවත්, එය පාරම්පාරික ගද්‍ය සාහිත්‍යයේ ආභාෂයක් බවත් හෙතෙම පවසයි.

නන්දිමිත්‍රයන්ගේ කෙටිකතා සංග්‍රහයන් දොළහෙන් සහ කෙටි කතා අසූ හතරෙන් සෑම විටම හොඳම කෙටිකතාවන් මෙම සංග්‍රහයට තේරුනේ ද යන්න පුද්ගල ගෝචර වුවත් මෙහි ඇති බහුතරය, ඔහුගේ හොඳම කෙටිකතා බවට තරමක විශ්වාසයක් ඇති වන්නේ ඒ කෙටිකතා වල සාර්තකත්වය නිසාය. මේ හා අමුණා ඇති පිංතූරයේ පෙන්වනාකාරයට මා සතුව ඇති ලේඛකයාගේ සංග්‍රහයන් පහක් දැනට නොකියවන අතර, වටගෙදර තෝරා දුන් කෙටිකතා 20න් සැනහෙමි. ඇරත් මා ප්‍රිය කරන ස්ත්‍රී ආදි කෙටි කතා රැගත් මුල් සංග්‍රහයන් ද මුද්‍රණයේ නැත.  මෙම
කෘතියත් දැනට මුද්‍රණයේ නැත - එහෙත් කොළඹ මහජන පුස්තකාලයේ  සිංහල සාහිත්‍ය කොටසේ මේ පිටපත තිබුන බැවින්, ඉන් රැගෙනවිත් කියවූවෙමි.


No comments:

Post a Comment