Monday, 18 November 2019

ජනාධිපතිවරණයෙන් පසු ලියැවෙන අදහස් කිහිපයක් නම්....





2019 නොවැම්බර් දහසය වෙනි දිනට යෙදුනු ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි ජයක් වාර්තා කොට ඇත.  දැන් වඩාත් වැදගත් කාරණය වන්නේ එතුමන් මීළඟ වසර පහ තුල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. ඒ පිළිබඳ මෙරට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස අපගේ අදහස් කිහිපයක් හැකි තරම් ලුහුඬින් මෙලෙස ලියා පළ කරමි;


1- උතුරු-නැගෙනහිර පසුබෑම: ඉතා පැහැදිලිව උතුරු-නැගෙනහිර පමණක් නොව රට පුරා වෙසෙනා සියළු දෙමළ-මුස්ලිම් ජනයාගේ විශ්වාසය තමන් වෙත දිනා ගත යුතුය. 2010 දී ජනරාල් සරත් ෆොන්සේකා මහතා ට ඡන්දය දීම මගිනුත්, 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ට ඡන්දය දීම මගිනුත්, දැන් 2019 දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දීම මගින් පමණක් නොව, කුරුල්ලා ලාංඡනයෙන් තරඟ වැදි අපේක්ෂකයකු යම් ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීම මගිනුත් එළි වන්නේ, ඔවුන් තවම ඔවුන්ගේ දේශපාලන නායකයන් කියනා දේ බොහෝ සෙයින් විශ්වාස කරනා බවකි. මීට අමතරව, මහින්ද රාජපක්ෂ 2015 දී ගත් ඡ්න්ද ප්‍රමාණයෙන් ද අඩකට හෝ ඊටත් අඩු ප්‍රමාණයකට පසු බැසීම මගින්, ඔවුන් මහින්ද නම් වූ දේශපාලඥ්ඥයාට වඩා ගෝඨාභය නම් හිටපු හමුදා නිලධාරියාට බිය බව පැහැදිලිය. එහෙත් යාපනයේ සේවය කල ලෙෆ්ටිනන්ට්-කර්නල් රත්නප්‍රිය බන්දු පැවසූ පරිදි සහ ක්‍රියාවෙන් ඔප්පු කලා සේ,  විශ්වාසය, අවංකත්වය සහ කැපවීම මගින්, එම ජනතාවගේ ද ජනාධිපති වශයෙන් ඔවුන් දිනා ගැනීම ප්‍රමුඛතාවයෙන් ඉටු කල යුතුය. වෙසෙසින්, අති බහුතර දකුණේ ඡන්දයෙන් ජයග්‍රහණය කල මේ අවස්ථාව, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හස්තය තමා හට ඡන්දය නොදුන් ජනතාව වෙත දිගුකිරීම ම ශිෂ්ඨත්වයේ සහ සාධාරණත්වයේ ලක්ෂණයක් වනු නො අනුමානය. ඔහුගේ දිවුරුම් දීමේදී, අන් ජාතීන් තමන් බලාපොරොත්තු වූ තරමින් තමන් හා එක් නොවුණු බව පැවසුවේය.  එහෙත් ජනපති ලෙස ඔහු තව වරක් රටේ සියළු ජනතාවගෙන් ඒ ඉල්ලීම කලේය.  ඉවසීමෙන් යුතුව, එය තම ජනපති ධූරකාලය පුරා ම හෝ, ඔවුන් ට සේවය කරනාතර දිගින් දිගට ම ඔවුන් දිනාගැනීමට යත්න දැරීම රටක් ලෙස සුවපත් වීමට ඇති එකම මගයි.

2- රජුට ඇඳීම සහ ඉතිහාසයේ "වගකීමෙන්" මිදීම: ජනාධිපතිවරණය ට ආසන්න දිනක දී සිදු වූ කැළණියේ ධාතු නාටකය දෙස මා බලා සිටියේ මහත් ජුගුප්සාවෙනි. "අහෝ! ආයේ අවුරුදු පහක් ම දියසෙන් කුමරු භූමිකාවක අපි හිර වෙයි දෝ" බියක් මා තුල ඇති විය. මෙතෙක් කලක් ශාසනයට මහත් සේවයක් ඉටු කලා වූත්, මාධ්‍යයෙන් හැකි තරම් ඈත් වී සිටි, දැනුම් තේරුම් සහිත උගත් භික්ෂූන් වහන්සේ නමක් ඊට සම්බන්ධ වී සිටීම දැකීම ද, කණගාටුවට කාරණාවක් විය. අනිවාර්‍යයෙන්ම රටේ නායකයා රජුට ඇඳීම නොකල යුතුවාක් මෙන්ම, අද සිට රජු පිළි ඇන්දවීමට එන අයගෙන් පරෙස්සම් වී සිටීම ට ද ගෝඨාභය මහතා ක්‍රියා කරන්නෙ නම්, එය ඔහුගේ වගකීම් ඉටුකිරීම ට පහසු වනවා පමණක් නොව, ඔහුගේ ම දේශපාලනමය පැවැත්මට ද හේතු වන්නේය. රැවටීම කිසිවෙකු නො ඉවසයි. එය වන්දිභට්ටයෙකු විසින් නායකය ඇන්දවීම හෝ, දේශපාලඥ්ඥයකු විසින් ජනතාව ඇන්දවීම යන අවස්තා දෙකටම පොදුය. මේ වන විට ආරංචි වන අයුරින් මෙතෙක් කල් භාවිත වූ අයුරින්, ජනපතිගේ ඡායාරූපය සෑම රජයේ ආයතනයක ප්‍රදර්ශනය නවත්වන්නේ නම් එය හොඳ ආරම්භයකි.

මීට අමතරව හේ තම විස්තීර්ණ පවුල් පසුබිම රට වෙනුවෙන් තම වගකීම් සාධාරණව ඉටුකරලීමට බාධාවක් කර නොගැනීම ට වගබලාගත යුතු වන අතර, 2010-2015 දී කලාක් මෙන්, දැනුම් තේරුම් ඇති විශේෂඥ්ඥයින් සංවර්ධන ව්‍යාපෘතීන් හි පංගුකරුවන් බවට පත් කරගැනීම, වැදගත් ය.

අප රට මිනිසුන් දක්ෂයෝ ය. ඔවුන් බොහෝ විට අන් රටවල දී සැමදෙනාගේ ම විශ්වාසය සහ ප්‍රශංසාව දිනා ගෙන කැපවීමෙන් ක්‍රියා කරන්නෝ බවට අත්දැකීමෙන් දනිමි. ඔවුන් එවන් රටවල ඔවුන් ට යෝග්‍ය සහ සාධාරණ ගුණාත්මක දිවි රටාවක් ගත කරන්නෝය. මෙහි සිටිනා අප ජනතාවට ද එම ගෞරවයෙන් යුතුව පුරවැසියන් ලෙස ජීවත් වීමට අවස්තාව ලැබිය යුතුම ය. එය ජාති-ආගම් භේදයෙන් තොරව සැමෙකාට ම පොදු විය යුතුය. ඒ සඳහා රටේ නීතීයම එකම මාපකය විය යුතුය.

රටේ අභිවෘද්දිය උදෙසා මෙරට සියළු ජනතාව සාධාරණත්වයෙන් මෙන්ම ශිෂ්ඨත්වයෙන් යුතුව ක්‍රියා කල යුතු බව ද පැහැදිලිය. මේ සටහන ලියනා විට රටේ නොයෙක් පෙදෙස් හි පැවටෙන ජය සැමරුම් අද ට පමණක් සීමා වී හැකි තරම් දියුණු, ශිෂ්ඨ, සාධාරණ රටක් වෙනුවෙන් සියළු දෙනා ක්‍රියාකිරීම ඉතා වැදගත් ය.

( මේ මා දකිනා ආකාරයට අප රට ප්‍රගමනයට අත්‍යවශ්‍ය කාරණා ලෙස දකිමි )

( 2019, නොවැම්බර් මස දහ අට වෙනි සඳු දින )



ඡායාරූපය අන්තර්ජාලයෙනි : https://www.guggenheim.org/exhibition/visions-of-modernity


1 comment: