Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Sunday, 6 June 2021

පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම - සේන තෝරදෙනිය

 පහත දැක්වෙන දීර්ඝ ලිපිය විචාරයක් ම නොවේ. ඒ, පළමු වශයෙන් මෙවන් ශාස්ත්‍රීය කර්තව්‍යයක් විචාරන්නට තරම් විෂය විශේෂි දැනුමක් මට නැති නිසා ය. මෙය  ප්‍රධාන වශයෙන් සේවය කරන්නේ, ඒ ඒ කොටස් ගැන හැඳින්වීමක් කරලීමටත්, අනාගත දිනෙක මට හෝ වෙන යම් අයෙකුට හෝ, මේ පොත අවශ්‍ය තැනක් කියවීම උදෙසා "යොමු" සැපයීමටත් ය. තුන්වෙනි කාරණාව,  ඒ ඒ කොටස් වල දී මා දැනට සිතනාකාරය අනුව යම් යම් අදහස් එකතු කරලීමට අවස්ථාවක් සැපයීමටත් ය. ඒ අනාගත දිනෙක නැවත පිරීක්සීමටත්, කතුවරයාට ම මෙම ලියකිවිල්ල කියවීමේ අවස්ථාවක් ලදහොත්, සාහිත්‍ය ලැදි සාමාන්‍ය පාඨකයකු තම කෘතිය කෙසේ කියවයි ද යන්න ගැන දැන ගැනීමටත් ය. ආරම්භයේදී ම  වැදගත් කාරණාවක් මතු කරලීමට අවශ්‍ය. අප සාහිත්‍ය ක්ෂේත්‍රයේ යම් කල්ලිවාදයක් ක්‍රියාත්මක වන හෙයින්, එක් කණ්ඩායමක් සිදු කරන කෙතෙරම් හෝ සාර්ථක ව්‍යායාමයක් අන් පිළ නොදැක්කා සේ සිටිති. මෙය "හදවතින් ම ශ්‍රී ලාංකික" ලක්ෂණයක් බඳුය. අප මේ සුළු ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණ මේ පිල් වලට නොවැටී "අතුරේ යාම" දෝ යි මට අනේක වාරයක් සිතී ඇත. (එලෙසම මෙතරම් සාර්ථක විශ්ව සාහිත්‍යයකින් පෝෂිත ලොවක, සිංහල සාහිත්‍ය ගැන කුමට වෙහෙසෙන්නේ ද යන්න ද ඇසිය යුතු ප්‍රශ්ණයක් බවත්, ඒ මගෙන් ම කිහිප වරක් අසා ඇති බවත් කිව යුතුය. ) කෙසේ හෝ,  පහත දිගු ලිපිය, මේ අති විශේෂ ශාස්ත්‍රීය කටයුත්ත වෙනුවෙන් මගේ මැදිහත්වීමය. මේ ප්‍රයත්නය පමණක් නිසා ම හෝ, තෝරදෙණිය සිංහල සාහිත්‍යයට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කොට ඇති බව මම විශ්වාස කරමි.  එය යාව ව කර්තව්‍යයක් ( Life's work ) දෝ සිතේ. එලෙස ම යම් යම් තැන් වල, මේ පොත ගැන ඇති වන ගැටළු, එකඟ නොවීම් සඳහන් කොට ඇත.  එම එකඟ නොවීම්, මෙම කෘතිය ඊට හිමි විශිෂ්ඨත්වයෙන් මදකුදු බාල නොකරයි. මෙය "වැඩකි" - සිංහල සාහිත්‍ය ට ඇත්තෙන් ම ආදරය කරන්නෙකු විසින් මෙය කියවිය යුතු ම පොතකි. තෝරදෙනිය ගේ යම් නිගමන වලට එකඟ නොවුන ද, තම ස්වාධීන මතයනට ඒමට, මෙහි එන සාධක, ආශ්‍රේය ලේඛන වෙන අන් කොතැනක හමු නොවන බවක් නම් ඉඳුරා කිව හැක. මෙහි එන ගුරුකුලය යන වචනය ගැන ද යමක් කිව යුතුය. තාක්ෂණික අර්ථයෙන් ගුරුකුලයක් වුයේද යන්න විවාදිතය;  එහෙත් ඒ සමාජ අවකාශයේ, ඇති වූ අවස්ථාව නිසා ළඟ මිතුරුදමක් පදනම් කරගත් සන්ධානයක් බිහි වූ බවත්, ඊට "ගුරුකුලය" යන වදන ලිහිල් අරුතින් පසුගිය වසර හැට තුල භාවිත වූ බවත් පෙනෙන්නට තිබේ.


1. පේරාදෙණිය ක්‍රමය, ගුරුකුල හා පේරාදෙණිය සාහිත්‍ය ගුරුකුලය:

තෝරදෙනිය තම කෘතිය අරඹන්නේ අමරසේකර විසින් පේරාදෙණිය ගුරුකුලයෙන් පිටතට ඒම, අභිණිෂ්ක්‍රමණයක ට සම කිරීමෙනි. මා පෞද්ගලිකව කිහිප විටක් මේ කාරණාව ගැන සිතා ඇත - එනම්, තම නිර්මාණ හේතුවෙන් යම් පිළිගැනීමක් ලත් කතුවරයකු, අළුයම ලූ කෙළ පිඬක් මෙන් ඒ සියල්ල අතැරීම ට, ඔහු ට ඔහුගේ අලුත් මතයන් පිළිබඳ කෙතෙරම් විශ්වාසයක් තිබිය යුතු ද යන්න ගැන ය. තෝරදෙනිය, මේ කාරණාව ම ඉහත පැවසුවා ට වඩා ගැඹුරකින්, කරුණු කාරණා ඇතිව පවසයි.

අනතුරුව පේරාදෙණිය ගුරුකුලය යන්න සත්‍යයක් ද මායාවක් ද යන්න පිරීක්සයි. එහි දි පෙනී යන්නේ, එවන් ගුරුකුලයක් නැතැයි පැවසුවෝ ද, "ගුරුකුලය" යන වදන භාවිත නොකල ද, එවන් "ක්‍රමයක්" තිබූ බවට පිළිගෙන ඇති අවස්තා තිබුණු බවකි. නිදසුනක් ලෙස එවන් ගුරුකුලයක් තුබූ බවට ප්‍රතික්ෂේප කල K.N.O. ධර්මදාස ඉංග්‍රීසි බසින් "Peradeniya School" යන වදන භාවිතාවෙන් ලිපි ලියා පළ කර ඇත. රංජනී ඔබේසේකර, විමල් දිසානායක යන අය ද තම කෘති මගින් ඒ බව පිළිගෙන ඇත. සරච්චන්ද්‍රයන් තම චරිතෝපදානයේ පේරාදෙණි ගුරුකුලයක් නුවූ බවක් කියූ මුත්, එම කියමනෙහි  ඇති සදොස් බව තෝරදෙණිය පෙන්වා දෙයි.

"ගුරුකුල් තනන්නන් 'අපි ගුරුකුලයක් තනමු' යි කතිකා කොටගෙන සිතාමතා ගුරුකුල තනන්නේ නැත. ගුරුකුල ප්‍රකාශයට පත්වන්නේ ගුරුකුල ඇදුරන් හා නුගාමිකයින්ගේ කාර්යසාධනය හා ඔවුන් කාලයක් එකට එක්ව කටයුතු කිරීම හා එමගින් කෙරෙන සමාජමය හා බුද්ධිමය බලපෑම අනුවය." (33 පිටුව)
කැනඩාවේ ජීවත් ව සිටි යුගයේ, කලින් කල මෙහි පැමිණි විට සිරි ගුනසිංහ ඉදිරිපත් කල අදහස් වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් මෙහි වෙන්වන්නේ, එම ප්‍රකාශ වල තිබූ මතභේදකාරී බව හේතුවෙනි. සරච්චන්ද්‍රයන් විසින් පියදාස සිරිසේන සහ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ නවකතා නොතැකීම, ගම්පෙරළිය ඉහළින් වර්ණනා කල ද, එය එසේ කිරීමට තරම් වටිනා කෘතියක් නොවන වගක් ගුනසිංහ කියා ඇත. සරච්චන්ද්‍රයන් මහ ඉහළින් වැනූ 'යළි උපන්නෙමි' යනු, ඩී. ඇච්. ලෝරන්ස්, ආන්ද්‍රෙ ජිද්ගේ පොත් වල අනුකරණයක් බවත්,  පේරාදෙණි විචාරය යනු ම සරච්චන්ද්‍ර විචාරය බවත් ගුනසිංහ ගේ අනෙක් විවාද සම්පන්න අදහස් ය.

"සරච්චන්ද්‍ර පියදාස සිරිසේන බොහෝම නිර්දය විධියට බැහැර කරනවා. නමුත් පියදාස සිරිසේන කළේ ඒ කාලයේ අවශ්‍යතාවක්. ඔහුගේ කෘතීන්වලින් වලින් නිරූපනය වන්නේ ජාත්‍යාලය නේ. ඒ කාලේ අප යටත් විජිතයක් නිසා ඊට විරුද්ධව එකල විශාල වශයෙන් ලියැවුණා... කුමාරතුංග මුනිදාස, අනගාරික ධර්මපාලතුමා, එස්. මහින්ද හාමුදුරුවො වැනි අය ජාත්‍යාලය මුල් කරගෙන බටහිරට විරුද්ධව ලිව්වා. පියදාස සිරිසේන  කළේත් එවැනි කටයුත්තක්." ( 37 පිටුව)

ගුරුකුලයක් යන්නෙන් නින්දාසහගත යමක් නො ඇඟවෙන බව පවසන කතුවරයා අප රට අතීතයේ පැවති ගුරුකුල පිළිබඳවත්, මෑත අතිතයේ පහළ වූ හෙළ හවුලත් එවැන්නක් බව ත් පෙන්වා දෙයි. එහෙත්, ඇත්ත වශයෙන් ම බැලුවහොත් පේරාදෙණියෙ තිබුනේ ගුරුකුලයක ට වඩා අවිධිමත් සාමුහිකයක් බවත්, එය coterie, cenacle, salon ( මිතුරුකම් උඩ සමීප ඇසුරක් නිසා බිහි වූ සංසදයක් යන අර්ථයෙන් ) යන කල්ලියක් ලෙසට අර්ථ ගැන්වෙයි. අවිධිමත් සංවිධානය යන වචන භාවිතයට එක් හේතුවක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම කාලයේ ම ප්‍රකාශ වූ සමහර කෘති සහ ශාස්ත්‍රීය කාර්‍යායන්, පෞද්ගලික ශාස්ත්‍රීය කාරණා ම ලෙසත් පේරාදෙනි ගුරුකුලය හා සබැඳි බවට පිළිගැනීමක් නොවීමත් ය.

සමන් මුද්‍රණාලයේ කාර්‍යභාර්යය ද සලකන කතුවරයා, එකල පේරාදෙණි ගුරුකුලය හා බැඳි බොහෝ නිර්මාණ ඔවුන් මුද්‍රණය කල බවත්, නමුත් එය එක්සත් ජනපද ආණ්ඩුවේ මූල්‍යාධාර ලැබූ ආසියා පදනමේ ව්‍යාපෘතියක් බවකි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූ අයිවර් ජෙනිංග්ස් පිළිබඳ පිටු දහ හතරක විස්තරයක් මෙහි එයි. ඒ තුල, ඔහු ලංකාව සංස්කෘතික කාන්තාරයක් යැයි කීම පිළිබඳ විවාදය, 1835 මැකෝලේ සාමි ගේ ප්‍රතිපත්තිය පිළිබඳ යම් නැඹුරුතාවක් පෙන්වීම ( තෝරදෙනිය මේ උදෙසා අමරදාස වීරසිංහ උපුටා දක්වයි), විශ්ව විද්‍යාලයට සුදුසු භූමියක් තෝරාගැනීම දසක ගණනක විවාදය ආදි කාරණා ඒ හා මුසු වේ. විශ්වා වර්ණපාලගේ "The making of the System of Higher Education in Sri Lanka" කෘතියෙන් ද දීර්ඝව උපුටමින් පෙන්වා දෙන්නේ ජෙනිංග්සේ උවමනාව වූයේ යටත්විජිත විශ්වවිද්‍යාලයක් අති කරලීම බවත්, මාක්ස්වාදි අදහස් විවේචනය කල ඔහු රැඩිකල් අදහස් නොදැරුවෙකු බවත්, සීමිත බඳවාගැනීමක් මගින් විශ්වවිද්‍යාලයීය ප්‍රභූ ස්වභාවය ආරක්ෂා කරලීමේ උවමනාවෙන් සිටි බවත් ය. ම වඩා සිත් ගත්තේ, S.W.R.D. බණ්ඩාරනායක පැවසූ දෙයකි. එනම් ( වර්ණපාල උපුටමින් ):

"...එංගලන්තයේ දෙවෙනි පන්තියේ සුළු බුද්ධිමතෙකු මෙහි පැමිණ, ට්‍රයිටන් ලෙසින් මේ රටේ සියලුම විෂයන් ගැන දැන් විශේෂඥයකු වී සියලුම විෂයන් ගැන අධිකාරී බලයක් ඇත්තෙකු සේ කටයුතු කරන අයුරිනී" ( 61-62 පිටු)
එසේ වුව ද ඔහුගේ ඇවෑමට ප්‍රථම පේරාදෙණියෙන් බිහි වූ සාහිත්‍යය ගැන දැන ගත්තේ නම්, එය ජෙනිංග්ස්ගේ සතුට ට හේතුවන්නේ, ඔහු පැතූ ලෙස විශ්ව විද්‍යාලය තර්ස්ටන් පාරෙන් පේරාදෙණියට ගෙනගිය පසු, බලාපොරොත්තු වූ ලෙස, කාන්තාරයේ බිහි වූ රෝසමල සුපුෂ්පිත වූවා කියා බැව්, තෝරදෙනිය පෙන්වා දෙයි.

එලෙසම, පෙරදිග භාෂා අධ්‍යයන පීඨය තැනූ  මුල් දශකයේ පමණ  (1943-1952),  කීමට තරම් සාහිත්‍ය විචාරයක් නුවූ බවත්,  මෙම කාල පරාසයේ බිහි වූ සරච්චන්ද්‍රගේ "Modern Sinhala Fiction"  කෘතිය බිහිවන්නේ සරසවි පද්ධතියෙන් පරිබාහිරව බවත් පෙන්වා දෙයි.


2. පේරාදෙණිය ගුරුකුලය බිහිවීමේ වාස්තවික තත්වයන් :


දේශපාලනික වශයෙන් බ්‍රිතාන්‍යයෙන් යම් නිදහසක් දිනා සිටීම, 1956 දී සිදු වූ  සංස්කෘතික විපර්යාසය, ගම්බද මහ විද්‍යාල ඇති කරලීමෙන් රට පුරා අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇතිවීම,  මේ සාකච්ඡාවේදී වැදගත් වේ. 1952 දී පේරාදෙණියේ මනස්කාන්ත සුවදායක පරිසරයක පිහිටුවන ලද විශ්වවිද්‍යාලය, සාහිත්‍ය හා කලා කටයුතු වලට යෝග්‍ය පරිසරයක් විය. මේ බව සරච්චන්ද්‍රයන් ද මහත් සතුටෙන් තම "පින් ඇති සරසවි වරමක් දෙන්නේ..." කෘතියේ පවසයි. මුළු 77 පිටුව පුරා ම තෝරදෙනිය, ඒ අසබඩ තිබූ අනේක පහසුකම් ගැන පවසයි. එය 'දුක නැති ලොවක්' ලෙසත්, එ හේතුවෙන් ම පරපුට්ටන්ගේ දේශයක් බවත්, හේ පවසයි.

පේරාදෙණිය සාහිත්‍ය විචාරයට මුල් ඇද ගැනීමට හැකි වූයේ, ප්‍රබල වාමාංශයක් තිබූ මුත්, ඔවුන් මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ මාඕගේ සාහිත්‍ය මතවාද නොදැන සිටිම, හෙළ හවුල වියැකී යන සාහිත්‍ය ව්‍යාපාරයක් වීම ආදී තත්වයන් මතය.

පහත නිරීක්ෂණය වැදගත් යයි සිතමි:

"පැවති සාහිත්‍ය ඒකාධිකාරියට ආකෘතිමය හා භාෂාත්මකව එරෙහිව යාම සිදුවන්නේ කාව්‍යයේ ආකෘති හා කාව්‍යයේ භාෂාව මගින් මිස නවකතාවෙන් නොවේ. 'හෙවනැල්ල' හැරෙන්නට නවකතාවේ නව ආකෘති හා නව ආඛ්‍යාන ශෛලීන් ඇතිවූවා යි කිව නොහැකිය." (79 පිටුව)

3. න්‍යායික පදනම්: සරච්චන්ද්‍රගේ "යතිවර පරමාදර්ශනය" හා කල්පනා ලෝකවාදය

විසි හතර වයැසැති යොවුනෙකු ලෙස, තම මුල් නම යටතේ සරච්චන්ද්‍ර ලියූ Ascetic Ideal: Need for Revolt to Revive Art and Literature ලිපියත්,  1942 Kesari People's Weekly නම් වූ චුන්නාකම් මුල් කොට ගත් සඟරාවක පළ වූ "ශාන්ති නිකේතනයේ ඇසින්" යන නමින් ලියැවුණු ලිපි පෙළත් මුල් කොට ගෙන, තෝරදෙනිය සාකච්ඡාවකට මුල පුරයි. තෝරදෙනිය පවසන්නේ මේ ලිපි දෙක සිතා මතා සරච්චන්ද්‍රාභිනන්දනවලදී යටපත් කෙරෙන බවකි. එලෙසම, සරච්චන්ද්‍රයන් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳව ඒ වන විට අධ්‍යයනයක් කර නොතිබූ බවක් පෙනී යන බව පවසයි. මෙම ලිපියේ සිංහල පරිවර්තනය තෝරදෙනියගේ "චීවරය සහ සෝමනය" කෘතියේ එයි. එහෙත්, දීර්ඝ ලෙස ඔහු පවසන්නේ, සරච්චන්ද්‍රයන් මෙම ලිපි වල දැරූ මතයන් වෙත 1952 න් පසුව පේරාදෙනි සාහිත්‍යය, වෙසෙසින් නවකතාව, ගමන් ගත් බවකි.

 "සරච්චන්ද්‍රගේ 'යතිවර පරමාදර්ශය' නම් ලිපිය එක් පසෙකින්ද, ඔහුගේම 'යළි උපන්නෙමි' විචාරය තවත් පසෙකින්ද තබාගෙන කියවන කල්හි සරච්චන්ද්‍ර 1938 දී යෝජනා කළ කැරැල්ල 'යළි උපන්නෙමි' මගින්  දසක දෙකක් ඇතුළතදී සාර්ථක වූ ආකාරය දැකගත හැකිය" (86 පිටුව)
කියාය.

ඔහු තව දුරටත්  පවසන්නේ:

"'යතිවර පරමාදර්ශයට' එරෙහි වූ කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්ක්‍රීය, පරාජිත චරිත, ලිංගිකත්වය හා පුද්ගලිකත්වය, හුදෙකලාව හා විගලිතභාවය ඉස්මතු කොට දක්වන නවකතා රාශියක් බිහිවිය" ( 88 පිටුව) 

කියාය.

එනුමුදු පාරාවළල්ලක් මෙන් නාට්‍යය සහ කවිය හමුවේ සරච්චන්ද්‍රයන් නැවත ස්වදේශීය සම්ප්‍රදාය ට පිවිසි බව ඔහු පෙන්වා දෙයි.

පේරාදෙණි සාහිත්‍යයට අනුකූල නවකතා නිදර්ශන රාශියක් දෙ මෙහි ගෙන හැර දක්වන්නේ, අපූරු අතුරු කතා කිහිපයක් ද සමගිනි.

සිව්විසි වියේ සිට මැදිවියට පා තබන විට, බොහෝ අදහස් වෙනස් විය හැකි බැවින්, සරච්චන්ද්‍රයන්ගේ ම චරිතෝපදානයෙන් ද  හැඟවෙන පරිදි, ඔහු ම තම ආචාර්‍ය උපාධිය ගෙන නැවත මෙහි එනකම්, බොහෝ දැනුම් පිපාසාවෙන්, එහෙත් ඒකායන අරමුණකින් තොරව ගවේෂණයේ යෙදෙන්නක් ලෙස හැසිරුණු බව පෙනියන නිසා ත්, ඔහු පෙර කල අදහස් දැක්වීම එම ගමනේ එක් අවස්ථාවක්  පමණක් වීමට ඉඩ වූ බැවින්, කෘතියේ මේ අඩවිය වන විට, තෝරදෙනිය කුමක් කීවද විවෘත මනසින් යුතුව පොත ඉදිරියට ද කියවාගෙන යාමට සිතුවෙමි.

පරිච්ඡේදය අවසන් කරමින්, නූතනවාදීහූ පේරාදෙණි ගුරුකුලය වෙත නැගූ චෝදනාවක් කතුවරයා ගෙන හැර දක්වයි. එනම් නූතනවාදය හෝ අධියථාර්ථවාදය සිංහල සාහිත්‍යට හඳුන්වා නොදුන් බවයි.  තෝරදෙනිය පවසන්නේ, එම ගුරුකුලය අභ්‍යන්තරයෙන් බිඳ නොවැටුනේ නම්,

"ධනේශ්වර සාහිත්‍යයේ හා විචාරයේ ඊළඟ පියවර වශයෙන් නූතනවාදය ගැන හදාරන්නටද, ඒ ගැන සාකච්ඡා කරන්නටද, විවිධ වාද විධි හඳුන්වා දීමටද, ඒ ඒ වාදවිධිවලට අනුගත වන සේ නිර්මාණ බිහි කිරීමට අනුබල දීමටද ඉඩ තිබිණ."

යැයි පවසයි.  එහෙත්, ඒ මාදිලියේ සිංහල නවකතා බොහෝ සෙයින් අද වන විට බිහි වන බවකි, පෙනෙන්නට තිබෙන්නේ. අද වන්, දැනුම ලබා ගැනීමේ පහසු මං ඇති වටපිටාවක ඊට පේරාදෙණිය හෝ අන් කිසිදු ආයතනයක් මුල් තැන ගන්නේ නම්, ඔවුන් සුවිශේෂි නිර්මාණකරනය යෙදෙන්නට ඇවසි බව පැහැදිලිය.

සිව්වෙනි පරිච්ඡේදය "1956 හා පේරාදෙණිය ගුරුකුලය", නමි. තෝරදෙනිය මතු කරන ප්‍රධාන කාරණාවක් නම්, පේරාදෙණි ගුරුකුලය හා බැඳි අයවළුන් යම් යම් සාහිත්‍ය නිර්මාණ ගැන දැක්වූ අදහස්, කාලයත් සමඟ යම් පරස්පරතාවයකට ලක් වීමයි, පෞද්ගලිකව මා මෙහි වරදක් නොදකිමි. අයෙකු ජීවිතයේ මුහුකුරා යාමේදී, එක් දෙයක් දකින ආකාරය, පසුව තවත් විදිහකින් දකිය හැකිය. එලෙසම, වයෝවෘද වන විට ඊට වසර 30-40 ට පෙර සිදුවිම් මාලාවක දී, තමන් සුදුසු ඇගයීමක් නොලැබුනා යැයි සිතෙන්නට ද පුළුවන. පසු කාලයකදී, නිවාඩු සුවයෙන් පෙර කල දෙයක් ගැන ආවර්ජනයේ දී, ඒ ගැන වෙනත් කියවීමක් මෙන්ම, තිත්ත රසයක් වැනි පෞද්ගලික සිත් තැවුලක් ද දැනෙන්නට  ඉඩ තිබිය හැක. 1956 සිදු වූ සමාජ ආර්ථික පෙරළිය පේරදෙණි සාහිත්‍ය තුලින් මතු නොවූ බව පවසන ලේඛක, මෑත කාලීනව සිරි ගුනසිංහ ලබා දුන් පුවත් සාකච්ඡාවක උපුටුවමින්, පනස් හයේ පුනරුදය යන්න ම ව්‍යාජයක් ලෙස ට පවසා ඇත.


මෙහිදී තව යමක් කිය යුතුය. ගමනක මුලින් ඇරඹෙන මැද පංතියේ කතාවේ, පේරාදෙණිය හා ආශ්‍රිත කොටස වඩා අර්ථාන්විතව නැවත කියවීමට මෙම පොත මහත් රුකුලක් වනු ඇති බවකි.  හැකි ඉක්මනින් මේ පොත් නමය නැවත ( මා කියව තිබෙන්නෙ ද 6ක් පමණි) කියවිය යුතුය. 1960 වසරේ මුල් වරට ප්‍රකාශ වූ යළි උපන්නෙමි, එකල පේරාදෙණි සිසුවාට බල පෑ ආකාරය ගැන අපුරු කියවීමක් "ඉණිමගේ ඉහළට" ආශ්‍රයෙන් මෙහි උකහා දක්වේ.

පස්වෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -1

මෙහි පළමු උප මාතාව ලෙස සාකච්ඡා කොට ඇත්තේ "මහාචාර්‍ය සරච්චන්ද්‍රයන්ගේ භූමිකාව හා ඔහුගේ අනන්‍ය බලය හෙවත් කැරිස්මාව" යි. මෙය ප්‍රධාන කොට ගැනීමෙන් ම, මෙම සාධකය කෙතෙරම් බල්වත් ද යන්න වැටහේ. වෙසෙසින් පේරාදෙණි සාහිත්‍යයක් බිහිකිරීමෙහි ලා 1951 දී ප්‍රකාශ වූ "සිංහල නවකථා ඉතිහාසය හා විචාරය" ග්‍රන්ථය , 1958 ප්‍රකාශ වූ "කල්පනා ලෝකය" සමඟ "සංකල්පිය ලිප්ගල් දෙකක" සේවයක් ඉටු කල බව පෙනි යයි. 1965 දී කාව්‍ය ශාස්ත්‍රය පිළීබඳ තම දෘෂ්ටිය වෙනස් කල ගත් බව පැවසුවත් ( සාහිත්‍ය විද්‍යාව - නව සංස්කරණය - 1965), නවකතා ආශ්‍රයෙන් එවැනි මත වෙනස් වීමක් සිදු වූ බවට කියූ තැනක් හමු නොවෙන බවක් තෝරදෙනිය ඉඟි කරයි. මේ ආශ්‍රිතව (1956-1961) කාල වලදී මනමේ සහ සිංහබාහු මගින්, පේරාදෙණියේ දිදුලන තාරකාවක් ලෙසත්, ඒ හේතුවෙන් ම ප්‍රභා ඵලයක් ඔහු වටා සන්ජානනය වීමත්, පෙන්වා දෙයි. තෝරදෙනිය ද මෙකල් හී පේරාදෙනියේ සිසුවෙකුව, සරච්චන්ද්‍රගේ කලාකවයේ (නිර්මාණ පංතිය ) කෙටි කතා ආදිය ඉදිරිපත් කොට ඇත. ගම්ලතුන් පවා, සරච්චන්ද්‍රයන්ගේ ම වදනකින් කියවෙනා ලෙස මුග්ධප්‍රබෝධකයෙකුගේ ස්වරූපයෙන් සරච්චන්ද්‍රයන් වැණූ අවස්ථා ගැන මෙහි නිදර්ශන අපට හමු වේ.

සිරි ගුනසිංහ: "හුදෙකලා වූ කැරලිකාරයා", නම් වූ කොටස කුහුල දනවන්නකි.ඒ ඇයි යන්න මේ කොටස පමණකින් හෝ පැහැදිලි වේ:

"කැනඩාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් නිවාඩුවක් සඳහා ලංකාවට ආ හැමවිටම වාගේ ඔහු පුවත්පත් සාකච්ඡා ලබා දුන්නේය. ඒවා ඔහු උපයෝගි කරගන්නා ලද්දේ නිර්දය ලෙස වික්‍රමසිංහයන්, සරච්චන්ද්‍රයන් හා අමරසේකරයන් විවේචනය කිරීමටයි. (134 පිටුව)"
ගුනසිංහ,  නිසදැස නමින් නොවූවද, 1948 දී කොළඹ විශ්වවිද්‍යාලයේදී නිසදැස් ලිවීම අරඹා තිබිණි ( ජී.බී. සේනානායක 1946 දී තම පළිගැනීම කෘතියේ "නිදහස් පද්‍ය ඇතුලත් කොට තිබින ). 1950 දී ගුනසිංහ ලියූ "The New Note in Contemporary Sinhalese Poetry" ලිපිය ඉතා වැදගත් එකක් යැයි තෝරදෙනිය පෙන්වා දෙයි. එම ලිපියේ මීමන ප්‍රේමතිලක, පී බී අල්විස් පෙරේරා ගැන කතා කෙරුන ද, හෙළ හවුල සාමාන්‍ය පාඨකයාගෙන් දුරස්ථ පාරිශුද්ධ ගුරුකුලයක් ලෙස හැඳින්වුව ද, පිය සමර ගැන සඳහන් නොකරයි. නිසදැසේ උපත සහ කොළඹ කවියේ දොස් මතුකරලීම මෙම ලිපියේ ප්‍රධාන කරුණක් බව සාමාන්‍ය මතයයි.

සරච්චන්ද්‍ර, අමරසේකර හා පේරදෙණිය ගුරුකුලය නම් කොටසේ, එකල සරසවි ශිෂ්‍යයෙකුව සාහිත්‍ය නිර්මාණයට එක්කාසු වූ අයුරුත්, ඔහු ගේ ප්‍රධාන නිර්මාණ ගැනත් කියවේ. එහෙත් වඩාත් වැදගත් යයි මා සිතන්නේ ඉණිමගේ ඉහළට ඔස්සේ සරච්චන්ද්‍රයන් යළි උපන්නෙමි කෘතියේ වැදගත්කම මතුකරලීම යයි සිතමි.

"මට හිතෙනා හැටියට මේක ඉතාමත් වැදගත් කෘතියක්. විශේෂයෙන්ම මේ අවධියේ ලියවිය යුතු වැදගත් නිර්මාණයක්. අපි සාකච්ඡා කරපු අර සිංහල මැද පංතියේ සංස්කෘතිය මේකෙන් බොහෝම හොඳට හෙළිදරව් වෙලා තියෙනවා. ඒ කුහකත්වය මේකෙන් ආයිමත් ඉතුරු කරන්නේ නතුව දිග ඇරලා හොඳට පෙන්නලා දීල තියෙනව. "

මෙහි මා වැදගත් යැයි සිතෙන්නේ, අමරසේකරුන්ගේ විපර්‍යාසයෙන් පසුව ඔහු එදා යළි උපන්නෙමි ප්‍රකාශ වූ අවදියෙත්, එකල සරච්චන්ද්‍රයන් ඒ ගැන සිතූ අයුරුත් නොවළහා ප්‍රකාශ කරන නිසා ය. තම තමන් ආකාරයට සාහිත්‍යයේ අරමුණු වේද, එය කලාව උදෙසා ද ආදි ප්‍රශ්ණ අනුව, අයෙක් පරණ අමරසේකර හෝ අලුත් අමරසේකර කෙරෙහි වඩා ලැදි විය හැක.  එහෙත් ඓතිහාසිකව එම විපර්‍යාසයන් කෙසේ සිදු වුයේද කාරණාව සාධක සහිතව පෙන්වා තිබීම වැදගත් ය.  "ගමනක මුලැන්" ඇරඹෙන මැද පංතියේ කතාවේ තිඹිරි ගෙයත්, එහි පසුබිමත් ඉන් වඩා නිවැරදිව තේරුම් ගත හැකි වනු ඇතැයි සිතමි.  මා අදත් හිතන්නට වඩා නඹුරු, එම නවකතා මාලාව මෑත ඓතිහාසික සිදුවීම් පෙළ දිගරීමක් ලෙස වැදගත් වනු මිස, එනම් එම යුගය ගැන කියවීමක් ලෙස මිස, අමරසේකරගේ චින්තනය අන් අයට පෙවීමට ලියැවූවක් ලෙස නොවේ. අමරසේකර ගේ වර්තමාන දේශපාලන මතයේ ඉන්නා අය ඒ මතින් තම මත දැඩි කර ගැනීම අනෙකකි - එය වර්තමාන සමහර ලේඛකයන්ගේ කෘති වලින් ද නොමදව සිදුවේ.

අනතුරුව සාකච්ඡාවට බඳුන් වන්නේ ගුරුකුලයේ මිතුරෙකු, පසමිතුරෙකු හා ඊට ප්‍රහාර එල්ල කරන්නෙකු ලෙස, වික්‍රමසිංහ චරිතය පිරීක්සීමට ය. මුල් කාලයේ දී, වික්‍රමසිංහයන් පේරාදෙණි ගුරුකුලය හා අනන්‍ය වීමක් දැක ගැනීමට හැකි විය. එය විමල් දිසානායක විසින් පවසන්නේ, වික්‍රමසිංහගේ ජාතික පිළිගැනීම හා සරච්චන්ද්‍ර චින්තනය කෙරෙහි බලපෑම යන්න අන්‍යෝන්‍ය වශයෙන් සේවය කර ඇති ලෙසට ය.පියදාස  සිරිසේන ගෙ අරමුණු තේරුම් ගැනීමට මහන්සි නොවූ සරච්චන්ද්‍ර, වික්‍රමසිංහගේ ලීලා ලිවීමේ අරමුණු "වටහා ගත්" බව පෙනී යයි. ඔහු ගේ මුල් කාලීන නවකතා විෂයෙහි පවා සරච්චන්ද්‍ර බටහිර නවකතා "ආදර්ශයට" ගෙන ලියූ බව පැවසුව ද, සිල්වා ගේ 'විජයබා කොල්ලය' පිසාරෝ අනුකරණයක් බව කීමෙන් මෙම තත්වය මැනවින් පෙනී යයි. 1956 න් පසුව විරාගය වන්දනය වූ මුත්, 1965 දී පේරාදෙණියේ සිංහල අංශය විවේචනය කිරීම ඇරඹෙන තුරුම, මේ සමීප සබඳතාව තුබූ බව පෙනී යයි. නවාකථාංග හා විරාගය, හා සිංහල නවකතාව හා ජපන් කාමකථා හෙවණැල්ල, පෙරාදෙණියට වික්‍රමසිංහ විසින් එල්ල කරන ලද අවසන් යකුළු පහර දෙක ලෙස සැලකේ. පසු කාලීනව, සිරි ගුනසිංහ නිතර වික්‍රමසිංහ විවේචනය ට හේතුමූලයන් මෙහි වූ බව සිතිය හැකිය. ගුනසිංහ ගේ විවේචන ගැන දීර්ඝව සාකච්ඡා කෙරෙන මෙම කොටසේ, සමහර විවේචන වල බොළඳ බව ද පෙන්වා දෙයි. එනුමුදු වික්‍රමසිංහ ම 1962 දී මළගිය ඇත්තෝ අගයා ඇත්තේ, "සිංහල සාහිත්‍යයේ අනාගතය" නම් වූ ලිපිය මගිනි.



හයවෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -2
මෙය කොටස් හයකින් සපිරිය. පළමු කොටස "සරච්චන්ද්‍රයන්ගේ විචාර ක්‍රමය 1 - "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" යන්නයි. එනමින් වූ කෘතිය 1951 පළ වූවකි. එහි ඔහු "බරපතළ ලෙස සිතන" පාඨකයින් නවකතා කියවීම සහමුලින් නවතා ඇතැයි කියයි. එහෙත් ඔහු ගේ කෘතිය විමසුම් නෙත යොමු කරන කාලයේ පියදාස සිරිසේන සහ ඩබ්. ඒ. සිල්වා ගේ නවකතා දහස් ගණනින් අලෙවි වූයෙන්, එම දහස් ගණනින් පොත් කියවූවන් තුල බරපතළ ලෙස සිතන අය නොවන බවට ය, සරච්චන්ද්‍ර ගේ කියවීම.  ඒ සිරිසේන සහ සිල්වා නවකතා ලියූ යුගයේ ම ලියවුණු බටහිර නවකතා හා තක්සේරුවෙන් විය හැකිය ( ලෝරන්ස්, නිදසුනකි - ඔහු ඊ. ඇම්. ෆෝස්ටර් කියවා නොතිබෙන්න ට ඇත.)  කෙසේ හෝ සරච්චන්ද්‍ර, සිරිසේන හා සිල්වා නවකතාකරණයේ සිටි යුගය ගැන අවදානය යොමු කලේ ද යන්න සැක සහිතය.  සරච්චන්ද්‍ර දීර්ඝ වශයෙන් සාහිත්‍ය විචාරයේ අඩුපාඩු ගැන ද, එය කෙසේ විය යුතු ද යන්න ආදිය ගැන පවසා ඇත. තෝරදෙනිය පෙන්නා දෙන්නේ මේ පොත පළ වූ මුල් කාලයේ සිට ම "සාහිත්‍ය විචාර බයිබල් ග්‍රන්ථයක්" වූ බවකි. මෙහි ඉංග්‍ර්‍රිසි මුල් කෘතියට (1943) පෙරවදනක් ලියමින්, මලලසේකරයන් පවසා ඇත්තේ,

"පවත්නා තත්වයන් යටතේ සරච්චන්ද්‍ර පළ කරන මත පෞද්ගලික්ව ලේඛකයන් හා ඔවුන් බහුමානයෙන් සලකන කණ්ඩායම් තුළ නොපහන් හැඟීම් ඇවිස්සීමට පමණක් නොව, පෞද්ගලිකව වෛරයක් පවා ඇති කළ හැකි බවත්" ය. (176 පිටුව)

මලලසේකරයෙන් ගේ මෙම ප්‍රස්තාවනාවෙන් දීර්ඝ ලෙස උකහා දක්වන තෝරදෙනිය, සරච්චන්ද්‍ර ගේ අරමුණු සහ භුමියේ තත්වය ගැන යම් නො පැහීමක්, විෂය ක්ෂේත්‍රික වශයෙන් ඇති බව පෙන්වා දෙයි. වරෙක මලලසේකරගේ වදන් අනාගත වක්තෲන් කෙනෙකුගේ මෙන් යැයි පවසන තෝරදෙනියගේ අදහස හා අපට එකඟ වීමට සිදුවන්නේ නිරායාසයෙනි. ඒ මලලසේකර වඩා සාධාරණ ස්ථානයක, අප මෑත කාලින සාහිත්‍ය පිළිබඳව  සිටි බව පෙනී යන නිසා ය. 

"සිය රචනා දෙස මෙසේ අන්වීක්ෂයෙන් බලා ඇති බව දත් ලේඛකයන්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්, තමන් තම සගයන් දහස් ගණනාවකට ආස්වාදය ලබා දුන් බවත්, ඔවුන්ගේ වඩාත් ධර්මෝපදේශ ලේඛන පවා උවමනාවෙන්ම එසේ ලියූ බවත්, ඒවා ලිවීමේ අරමුණු ඉෂ්ට වූ බවත් ප්‍රකාශ කල හැකිය." ( 177 පිටුව )
එහෙත් සරච්චන්ද්‍ර මේ කෘතිය පළ කිරීමට පෙර, සිල්වා හා වික්‍රමසිංහ අතර නවාකතාව පිළිබඳ වාදයක් වූ බව පෙන්වා දෙන තෝරදෙනිය, ඒ අනුව නවකතාව ගැන යම් න්‍යායික අවබෝධයකින් යුක්ත වූ සිංහල පාඨක පිරිසක් ද සිටි බවකි පවසන්නේ.

"Some Old Literary Controversies" නමින් සරච්චන්ද්‍ර 1952 ඩේලි නිව්ස් පත්‍රයට ලියූ ලිපි තුනක් ගැන ඉන් පසුව ඔහු අවදානය යොමු කරයි.  මේ ලිපි තුන මෙතෙක් අවධානය යොමු කොට ඇත්තේ රංජනී ඔබේසේකර පමණක් ම බවත්, කිසිදු සරච්චන්ද්‍රවාදියෙකු එම ලිපි කෙරෙහි අවදානයක් යොමු කොට නැති බවත් ඔහු චෝදනා කරයි. මින් පළමුවැන්නේ, හෙළ හවුලෙන් සරච්චන්ද්‍රයන් ලත් අපහාස නොතකා,  කුමාරතුංග මුණිදාස ගේ බහුශ්‍රැතබාවයත්, කවීත්වයත් අගයයි. මේ අදහස් මතුවන්නේ කූකවිවාදය ගැන කතා කිරීමේදීය. දෙවෙනි ලිපියේ, ව්‍යාකරණ හා ඡන්දස් ශාස්ත්‍රයෙන් පරිබාහිරව කෘති ඇගයීමේ ප්‍රවණතාව ගැන කතා කර ඇත. එය මෑත කාලීන ප්‍රවණතාවක් බවත්, නිර්මාණ කාර්‍යයේ නියළුණු ලේඛකයින් විසින් එය අරඹා ඇති බවත් හේ පවසන්නේ, වික්‍රමසිංහගේ විචාර ලිපි, ගුත්තිලි ගීතය, සහ සිංහල සාහිත්‍යයේ නැගීම, ගැන පවසමිනි. තෙවෙනි ලිපියේ තරමක් සාහසික ප්‍රකාශනයක් ගැන තෝරදෙනිය අවදානය යොමු කරයි.ඒ විචාරකයා ගේ විනිශ්චය සමඟ එකඟවනු මිස, අන් විකල්පයක් 'සාමාන්‍ය මිනිසාට' නැති බවක් ය. පසු කලෙක පේරාදෙණි විචාරය සංස්ථාපනයට මෙය ස්ථාවරය හේතු වූ බවකි, ඔහු ගේ අදහස. 1958 දී කල්පනාලෝකය මගින් ද මෙය තහවුරු කල බවකි කතෘ පෙන්වා දෙන්නේ. කල්පනාලෝකය කෘතිය ගැන දීර්ඝ හැඳින්වීමක් කරන්නේ එය කල්පනාලෝකවාදයක් යයි පවසමිනි. පිටු 15 ක් පුරා ලියැවී ඇති මේ කොටසින්, නිර්මාණකරුවාට විෂය තෝරාගැනීමේ නිදහස ගැනත්, සභ්‍ය-අසභ්‍යතාවේ අනදාලත්වය ගැනත්, රසය දැනෙන්නේ වාසනා ගුණය ඇත්තෙකුට බවත් වහසි බස් වලට ආසන්න කාරණා කියා ඇත. තෝරදෙනිය ඒවා වෙසෙසින් මතුකර ඇත්තේ මාක්ස්වාදි සාහිත්‍ය විචාරයට පටහැනි බොහෝ අදහස් මෙහි ඇති බව මතු කරලිමිනි.

ඉන් අනතුරුව "සිරි ගුනසිංහ හා වෙනත් ගුරුකුල ශ්‍රාවකයන්ගෙ විචාර" ගැන අවධානය යොමු වේ. 1964 දී, පවත්වන ලද "නවකතාව හා ජීවිත විවරණය" යන දේශනය ඉන් ප්‍රමුඛ වේ. "පියදාස සිරිසේනගේ හෝ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවාකතාවක් හෝ මාටින් වික්‍රමසිංහගෙ රෝහිණි වැනි නවකතාවක් හූමිටි දීමට වඩා කිසිවක් නොකරයි. මේ අතින් බලන විට ඒ ගණයේ නවකතාවලට නවකතා යන නම දීම යුක්තිසහගත නොවේ.... පළමුවරට හැබෑ ජීවිත විවරණය කෙරෙන කතා ලිවීම ආරම්භ කළේ වික්‍රමසිංහ යැයි කිව හැක" යි පවසා ඇත. විචාරකයා හා විචාරය යන ලිපිය ලියමින් රස විඳීමෙන්න් පන්ති ප්‍රභේද දුටුවේය. ධර්මසිරි ඒකනායක ගේ ලිපියක් ද මෙහි උකහා ඇති අතර, ඔහු හේමපාල මුනිදාස ගේ "පුනරාවලෝකය", සහ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ "අවිචාර සමය", "නරක" නවකතා දෙකක් ලෙස දකියි. පේරාදෙණියේ ඉංග්‍ර්‍රිසි අංශයේ සරත්චන්ද්‍ර වික්‍රමසූරිය නවකතා විචාරයට අච්චුවක් සැප යූ බවත්, ඉන් අනතුරුව පේරාදෙණි ගුරුකුලවාසීන් මෙන්ම අනුගාමික පාසැල් ගුරුවරුන් ද විභාග සඳහා මෙම අච්චුව භාවිත කලේ, E.M. Forster ගේ ප්‍රකට Aspects of the Novel ගැන කිසිදු අවදානයක් හෝ යොමු නොකොට බව පෙන්වා දෙයි. ඒ. එම්. ජී. සිරිමාන්න ගේ විචාර මගින් කරුමක්කාරයෝ සමඟ ඩී.එච්. ලෝරන්ස් සැසඳීමක් කලේය.

ඊළඟ අනුකොටස "පියදාස සිරිසේනගේ හා ඩබ්ලිව් ඒ සිල්වාගේ නවකතා හා කොළඹැ කවිය 'උච්චස්ථානයෙන් හා උත්තමභාවයෙන්' ඇද දැමීම" නමි. විජයබා කොල්ලය පිසාරෝ අතර සමානකම් වික්‍රමසූරිය 'විජයබා කොල්ලය විවරණය'  මගින් දීර්ඝ වශයෙන් පෙන්වා ඇත. 1967 දී ආරිය රාජකරුණා  සිළුමිණ ට ලියමින් කියා සිටියේ, "නිසඳැස් කාව්‍ය වර්තමාන ලෝකයේ අත්දැකීම් පළැ කිරීමට ඡන්දස් කාව්‍යයට වඩා අතිශයින්ම යෝග්‍ය" කියා ය. වික්‍රමසිංහගේ නව පද්‍ය සිංහලය කොළඹ කවීන් කෙරෙහි විවේචනශීලි වුවද, වැදගත් නිරීක්ෂණයන්ගෙන් රැගත් විය. "ඔවුන්ගෙන් සමහරුන්ට විචාර බුද්ධිය දියුණු නොකළ හැකි වූයේ දැනුම ලැබීමට අතෘප්තිකර ආශාවක් ඔවුන් තුළ නොවූ බැවිනි. ලද දැනුමෙන් සතුටු වූ ඇතැම්හු පද්‍ය රචානයට මිස දැනුම ලැබීමට නොවෙහෙසුණෝය" යැයි කීවේය. එනුමුදු තෝරදෙනිය අල්විස් පෙරේරා හා කුඩලිගම අතර යුධ සංවාදය නිශසුනට ගෙන ඉහත චෝදනාව ප්‍රතික්ෂේප කරයි. කොළඹ කවියේ  අභාවයට හේතු වූ කාරණා 8ක් මතුකරමින් පරිච්ඡේදය අවසන් වේ.



හත්වෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -3

පළමු උපමතාව, "අතිශයෝක්තියට නංවන ලද පේරාදෙණිය නිර්මාණ හා 'වික්ටෝරියානු කුහකදම් සළුව'" යි. එහි පේරාදෙණි සාහිත්‍යය ඇවැසි පාත්‍රයෝ කිනම් නවකතා වල විසුවේ ද යන්න ගැන සඳහනකින් මෙම සාකච්ඡාව පටන් ගනී. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ සරච්චන්ද්‍රගේ "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" ( සත්වන මුද්‍රණය) කෘතියයි. "'යළි උපන්නෙමි' හා 'හෙවනැල්ල' පළ වූ පසු ශීඝ්‍රයෙන් වෙනස් වන පුද්ගල පුරුෂාර්ථයන් හා එතරම් වෙනස් නොවන සමාජ පුරුෂාර්ථයන් අතර ගැටුම අවංකව නිරූපනයට කිරීමට ලේඛකයෝ ධෛර්‍යය ලැබූහ.", යි සරච්චන්ද්‍ර පවසා ඇත. කේ. ජයතිලක ගේ 'පරාජිතයෝ', අප්‍රසන්න කතාවක්' හා 'හෙවනැල්ල' වර්ණනා කල ද, චරිත තුනක් හි ඉසා ගේ චර්තය ගැන ඇසුවේ, "ඉසා තම ජීවිතය පරිත්‍යාග කොට සිය යුතුකම් ඉටුකිරීම උදාර පුරුෂාර්ථයක්ද?" පැණයයි. ඔහු හේමරත්න ලියනාරච්චිගේ නවකතා ගැනද පැහැදීමෙන් සිටි බවකි, පෙනෙන්නට තිබුනේ. සරච්චන්ද්‍ර පරස්පරයන් දක්වන අවස්ථා ද නත්තේ නොවේ.  ගන්ධබ්බ අපදානය ගැන විචාරය සහ හේතුඵල වීමේ වැදගත් වීම ගැන කල්පනාලෝකයේ පැවසූ දේ අතර ගැටීම ඊට නිදසුනක් ලෙස තෝරදෙනිය පෙන්වා ඇත.


මේ සමස්ත ග්‍රන්ථයට හෝ සාරාංශ කර ගත හැකි මූල හේතුවක් අපට මේ කොටසේ හමු වේ.

"මුල්කාලීන අප්‍රිකානු නවකතාකරුවා පෙන්වූයේ අප්‍රිකානු මූලසම්ප්‍රදායන්, සාම්ප්‍රදායික් ජීවිතය හා යටත්විජිතවාදය අතර ගැටුමයි. සාම්ප්‍රදායික ආගම, සාම්ප්‍රදායික් සංස්කෘතිය හා සාම්ප්‍රදායික හරපද්ධතිය හා බලහත්කාරයෙන් පටවන ලද ක්‍රිස්තියානිය හා යටත්විජිතවාදය නිසා මතු වූ නව සමාජ-සංස්කෘතික හර පද්ධතිය අතර ගැටුමයි...."

පේරාදෙණි සාහිත්‍යයට සංස්කෘතික ගැටුම මතු කරලීමට නොහැකි වීම තෝරදෙනියගේ ප්‍රධාන චෝදනාවයි. සරච්චන්ද්‍රයන් ගේ සාර්ථක නවකතා වලට දක්වන නිදසුන් අනුව පැහැදිලි වන්නේ ඔහු ට රුචි වූයේ ජීවිත පරමාර්ථයන් පිළිබඳ අවිශ්වාසයෙන්, ආධ්‍යාත්ම තෘප්තියක් නොලබනා චරිත මුල් වූ නවකතා බවයි. තෝරදෙනිය දකිනුයේ දේශපාලන සංවාදයෙන් තොර, සමාජ ගැටුම් නිරූපනයෙන් තොර නවකතාව ව්‍යාජ, ආනයිනික නවකතාවන් ලෙසට ය.  පසු කාලීනව වික්‍රමසිංහත්, ඊට වඩා ව්‍යක්ත ලෙස අමරසේකරත් තෝරදෙනියගේ ආස්ථානයට ආසන්න තැනක ඒමත් ඉන්, ඇතුලත වූ සන්ධානය බිඳවැටීමත් ය මෙහි සිදුව ඇත්තේ. මෙම මුළු කෘතිය ම මේ කාරණාකාරණා ඇතුලත හසිරෙන බවකි අපගේ වැටහීම.


දෙවෙනි උපමාතෘකාව, "පැවති සාහිත්‍ය විචාරයේ තතු" යටතේ, පේරාදෙණි සාහිත්‍යය ට එරෙහි ප්‍රතිඵලදායි කැරැල්ලක් ඇති නොවුණු අයුරුත්, එම ගුරුකුලය ස්ථානපයට පෙර (ඩබ්ලිව්. ඒ. සිල්වා) හා සමකාලීනව (ජී. බී. සේනානායක ), ඇති සාහිත්‍ය විචාර ග්‍රන්ථයන් පේරාදෙණියේ අවදානයට ලක් නොවුණු අයුරුත් පෙන්වා දෙයි. අවම තරමින්,  සරච්චන්ද්‍රගේ "සිංහල නවකථා ඉතිහාසය හා විචාරය" ග්‍රන්ථයේ "වාද විවාද හා භාෂා වර්ධනය" කොටසට සිල්වා හා වික්‍රමසිංහ අතර නවකතාව පිළිබඳ වූ විවාදය ගැන හෝ නැත. නවකතාව ගැන වූ ප්‍රථම කතාව කිරීමේ ගෞරවයද, සිල්වා සතු වුව ද, පේරාදෙණි ගුරුකුලවාදීන් ට සිල්වා නිකම් කතාකාරයෙක් විය. පේරාදෙණි ගුරුකුලයට සබැඳි අයගෙන්, සිල්වා ගැන යම් සඳහනක් කොට ඇත්තේ තිස්ස කාරියවසම් පමණි. එලෙසම පේරාදෙණි සාහිත්‍ය ක්‍රමයට විරුද්ධව විචාරය "ද්වේෂ සහගත බැණ අඬගැසීමක් හ අවලාද නැගීමක්" පමණක් වීම, එම ගුරුකුලයටම වාසි සහගත විය. අද පවා සමහර සාහිත්‍ය ක්‍රමයන් වල අනේක දුර්වලතාවන් තිබුන ද, ඊට එරෙහි විචාර දක්වන්නන් ගේ ද්වේෂ සහගත අදහස් දැක්වීම්, ඔවුන් මතු කරලිමට උත්සාහ දරණ යම් වැදගත් දේ, යටපත් කිරීමට සමත් ය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නැත්තේදෝ යැයි සිතේ.

අටවෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක - 4


මෙහි එන පාසල් පද්ධතිය, උසස් විභාග හා පාසල් ගුරුවරු යන කොටස, පනහ දශකය මැද සිට, එවකට සිංහල සාහිත්‍ය ගුරුකුලයක් ලෙස යම් ස්ථාවරයක් ලබමින් සිටි එකම ගුරුකුලය, එසේ ස්ථාපිත වීමට බලපෑ සමාජ දේශපාලන වටපිටාව,  තෝරදෙනිය ගේ දෘෂ්ඨිකෝණයෙන් ඉදිරිපත් කොට ඇත. එකල එම පරිසරයේ  ශිෂ්‍යයෙකු ලෙස ජීවත්වූවෙක් ලෙස ඔහු කියනා කාරණා වල ප්‍රතික්ෂේප කරලීමට අපහසු දෑ  ඇති බව,  කියවන්නියට වැටහෙයි.

"විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වූ ශිෂ්‍යයා පේරාදෙණියේ ආශිර්වාදය ලත් සියලු නවකතා, කෙටිකතා සංග්‍රහ හා කාව්‍ය සංග්‍රහ, විචාර ග්‍රන්ථ හා විචාර ලිපි කියවිය යුතු වීය. පේරාදෙණි නාට්‍ය නැරඹිය යුතු වීය." (270 පිටුව)


මට මේ තිබූ තත්ත්වයන් පිළීබඳ මගේ කියවීමක් සිහියට නැගේ. ඒ ඉතිහාසය ක්‍රියා කරනා ආකාරය ගැනයි. මා සිතන්නේ, කුමන අයුරකින් සැලකුව ද, පියදාස සිරිසේන හෝ, හෙළ හවුල හෝ, කොළඹ කවිය හෝ නිර්මාණ කල අවදියේ සිට යම් ප්‍රගමනයක් පේරාදෙණි ගුරුකුලය හේතුවෙන් සිදු වූ බවය. එහෙත් සිරිසේන හෝ සිල්වා හෝ ඔවුන් නිර්මාණ කල කාලය ගැන නොතකා දැඩි ලෙස විවේචනය සිදු නොවෙන්නට තුබූවක් බවකි. එකල තිබූ විචාරයන් ඉතා කර්කශ ලෙස බැණ ගැනීම් බවට පෙරළුණු බවට සරච්චන්ද්‍රයන් ද, තෝරදෙනිය ද පවසා ඇත. අදටත් එහි තිත්ත රසයන් ඉතිරි ව ඇත. පේරාදෙණියෙන් පමණක් සාහිත්‍ය ප්‍රගමනයක් සිදු වූ යුගයක, සියල්ලෝ ඊට අනුමැතිය දැක්වූ බවකි මෙහි කියවෙන්නේ. කරුණු කාරණා සිදු වූ ආකාරය අනුව සියල්ල ඊට පෙළ ගැසිණි. පළමුව සතුරන් සාදාගෙන ගමනක නිරත වෙද්දි, ඒ සතුරන් හා ඔවුන්ගේ අනුගාමිකයින්ද, අලුත් ගමන අසාර්ථක වෙනකං බලන් ඉන්නෝය. ඒ අර්ථයෙන් බලනා කල මෙම කෘතියම අප රට මෑත ඉතිහාසයේ සාහිත්‍යයේ දෙවෙනි උපතක කතාව ලෙස කිව හැක. පළමු උපත ට අසාධාරණ ලෙස පේරාදෙණි ගුරුකුල ඇත්තෝ බැණ වැදීම ඇර, ඔවුන් ගේ නිර්මාණකරණය සිදු වූ ආකාරය ගැන එතරම් දොසක් කිව හැකි ද යන්න ම ප්‍රශ්ණයකි.  විවේචනයක් ඇත්තේ නම්, හැට දශකයේ අග වූ ආකාරයේ ශාස්ත්‍රීය කාරණා හේතුවෙන් සිදු වූ ආකාරයේ වූවක් වඩා සාධාරණය.

පරිච්ඡේදයේ දෙවෙනි කොටස "කලා අංශයේ ශිෂ්‍යයෝ හා ශිෂ්‍යය්‍යන් මුහුණ දුන් සංස්කෘතික ගැටුම" පිළිබඳවය. මෙහි සරච්චන්ද්‍ර, අමරසේකර සහ ගුනසිංහ යන අයව වීරත්වයෙන් සැලකීම, පේරාදෙණිය  ජීවිතය, එම පරිසරය හා අනන්‍ය වීම, කූල්ටර් - හරමානිස් භේදයත් 'ඇක්වයර්ඩ්' කූල්ටර්කාරයන් සිටීම, එම කාලවෙලාවට සියල්ල සිදුවන පරිසරය, තම ගම් වල ජීවිතය හා පේරාදෙණි ජීවිත අතර ඇති වෙනස එහි එන බොහෝ සිසුන් අතරමං කරලීම,  ආදි තත් කාලීන සමාජ සිදුවීම් මතුකරලයි.  ජෙනිංස්ගේ අරමුණුත්, අමරසේකර, පී. ඇම්. ජයතිලක, ගුනසිංහ, සිරි එදිරිවීර සහ ඔහුගේ ම වූ නිදසුන් ලෙස ගෙන හැර දක්වයි. මේ සියල්ල මධ්‍යයේ, තෝරදෙනිය ගෙන හැර දක්වන සමහර කාරණා, මෙතරම් වටිනා සාහිත්‍යමය සහ ඓතිහාසික කර්තව්‍යයක වටිනාකම පළුදු කරන බවකි මගේ අවංක අදහස. පොදු පුරුෂයා නවකතාව ආශ්‍රයෙන් යම් අදහස් දැක්වීමක් කර ඇති අතර එම  විචාරය තරමක් අන්තවාදී ලෙස ය මා දුටුවේ. එහෙත් තිස්ස කාරියවසම්  කසුඕ ඉෂිගුරෝ, හරුකි මුරකාමි සහ ඔසමු දසායි කියවා ඇති ආකාරයේ දෝෂ පෙන්වා දීම, තෝරදෙනිය වන් පුළුල් කියවීමක් ඇති අයෙකුගෙන් සිදුවන සේවයකි. වර්තමානයේ, සමාජය කෙතෙරම් විවෘත ද මැදිහත් වීම් කෙතෙරම් බහුල ද යන්න මත, අද වන විට සමාජයේ වීරයන් සිටිය නොහැකි බව මෑතක මගේ මිතුරෙකු කීවේය. තෝරදෙනිය ගැන ද කිව හැක්කේ එයයි. මෙවන් සාරගර්භ පොතක්, ලිවිය හැක්කේ තෝරදෙනිය ට පමණක් බව සිතේ. එහෙත් තෝරදෙනිය නිසා ම, විටෙක  අල්ප වටිනාකමක් ඇති කාරණා වලට ද යම් ප්‍රමුඛත්වයක් දී ඇති සේය.

අනුකාරක මුග්ධප්‍රබෝධයන් පිරිසක් බිහිවීම යන කොටසෙන්, ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාල මගින් ද පේරාදෙනි මතවාද ඉදිරියට ගෙන ගිය බව පවසයි. ඉංග්‍රීසි විචාරකයන්ගේ සහාය යන කොටසෙන්, වෙසෙසින් රෙජී සිරිවර්ධන ගැන කතා කරන අතර, ඔහු මනමේ හා සිංහබාහු අප රට බහුතරයක් රස විඳි අර්ථයෙන් ඈත්ව මුලින් රස විඳි බවත්, පසු කලෙක එම ආස්ථානය මදක් වෙනස් කොටගත් බවත් පෙන්වා දෙයි.  එනමුදු,  මේ කෘතියේ මා දකිනා අඩුපාඩුවක් නම්, රෙජී ව එන්.ජී.ඕ. කාරයකු ලෙස නම් කිරීම ආදී කෘතියේ මුඛ්‍යාර්ථයට පරිබාහිර කරුණු වෙනුවෙන් පොතේ කොටස් වෙන් කිරීමය. සුදුසු සංස්කාරකවරයෙක් මේ පිටපත කියෙව්වේ නම්, මෙවන් අවස්ථා ඇතුලත් නොකිරීමට ඉඩ තිබිණි.
 

සිවිල් සේවකයින් ද, පසුව පරිපාලන සේවා නිලධාරීන් ද සාහිත්‍ය විචාරයට එළඹීම හේතුවෙන් ද පේරාදෙණි සාහිත්‍ය ප්‍රචලිත වූ අයුරු, "සිවිල් සේවකයන් හා පරිපාලන නිලධාරීන්" කොටසින් පෙන්වා දෙයි. සිංහල අංශයේ අනෙක් ඇදුරන් මෙම සාහිත්‍ය විචාර ප්‍රවණතාව ගැන උකටලීභාවයකින් ක්‍රියා කල බවත්, ආරිය රාජකරුණා, එවන් ගුරුකුලයක් තිබෙන බව පිළිනොගන්නා අතර ම ඒ වෙනුවෙන් පෙනී සිටි අයුරු පෙන්වා දෙයි. "ජනේලය", මූදු පුත්තු", "අපට පුතේ මගක් නැතේ" ආදීය "හැව්ලොක් ටවුමේ රඟහලේ පෙන් වූ නාට්‍ය බවත්, එම නාට්‍ය මගින් පේරාදෙණි නවකතාවේ යහපැවැත්ම ට අනුපූරක ලෙස බලපෑ බවත් තෝරදෙණිය චෝදනා කරයි. (319)

නවවෙනි පරිච්ඡේදය වෙන් වන්නේ හෙළ හවුල ලංකා විශ්ව විද්‍යාලය  කෙරෙහි කලා වූ විවෙචනයන් සහ, එම විශ්ව විද්‍යාලය සමස්ත වශයෙන් බොහෝ විට එම ගුරු කුලය නොතිබුනාක් මෙන් හැසිරීමත් පෙන්නුම් කරලිමට ය. හෙළ හවුලේ බොහෝ විවේචන වල තිබූ යම් අගතිගාමී ස්වරූපය හේතුවෙන්, ප්‍රබල න්‍යායික විවේචනයන් කරලීමේ අවස්ථාව, සහ වෙසෙසින් කුමාරතුංගයන්ගේ ඇවෑමෙන්, එවන් විවේචනයන් කරලීමේ හැකියාවන් ද, හීන වූ  බව පෙන්වා දෙයි. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, බඹරැන්දේ සිරි සීවලි, වැලිවිටියේ සෝරත, රඹුක්වැල්ලේ සිද්ධාර්ථ ආදින් කර්කශ විවේචනයට බඳුන් කල ආකාරය මෙහි නිදසුන් ඇතිව පෙන්වා දෙයි.  සමහර  ප්‍රබල මෙන්ම වලංගු විවේචයන් වන්නේ, පෙරදිග භාෂා ( සකු සහ පාළි) ගැන දැනුමැත්තන් ට ම සිංහළය ද  ( හෙළුව ) බාර දීමෙන් හෙළ බසට වෙන අවැඩ ගැන ය.

 දහවෙනි පරිච්ඡේදය උක්ත ගුරුකුලය ස්ථාපනයට හේතු වූ නවකතා තුනක් විචාරයට තෝරදෙනිය තෝරා ගෙන ඇත. සරච්චන්ද්‍රගේ ජපන් නවකතා දෙක ගතහොත්, නොරිකෝ ගේ චරිතය ඉස්මතු කරලීම ප්‍රධාන සාර්ථකත්වය දෙස දකින ඔහු දෙවොන්දොරෝ සං තුලින්, පේරාදෙණි මිනිස් පුතෙකු බිහි වීමේ රෝගය දකි.  'වල් මත් වී හසරක් නොදකිමි' දෙස බලන ඔහු, එහි එන වික්ටර් සහ උපාලි අන්වේක්ෂකයන් වීමේ තැතක් ගැන කීව ද, එම තැතේ ඇති දොස් පෙන්වා දෙයි.  තෙවෙනි නවකතාව ලෙස අමරසේකරගේ ගන්ධබ්බ අපදානය සලකන අතර, එය අමරසේකර ගේ ම එක්තරා ගන්ධබ්බ අවධියක් නිරුපනය කරන බව සිතයි. එහෙත් සමස්ත ලෙස එම කෘතිය වෙත ධනාත්මක විචාරයක් යොමු කොට ඇත.

එකොළොස් වෙනි පරිච්ඡේදය "පේරාදෙණිය ගුරුකුලයේ විභේදනයේ පෙර ලකුණු" නමි. මේ කියන පෙර ලකුණු  ලෙස නන්දසේන රත්න්පාල යළි උපන්නෙමි මුල් කොට ගෙන ලියූ ලිපියකුත්, අමරසේකර විරාගය සහ මළගිය ඇත්තෝ මුල් කොට ගෙන ලියූ ලිපිත් ය, පෙන්වා ඇත. රත්නපාලගේ ලිපිය කියවා නැතත්, මෙහි එන උදෘත මගින් නම් එය තරමක් අන්තවාදී කියවීමක් යැයි සිතේ. අනතුරුව කාව්‍ය ධාරා දෙකක් සමීපව සසඳා කතා කරන කතුවරයා, සිරි ගුනසිංහගේ නිසඳැසුත්, අමරසේකරගේ කාව්‍ය නිර්මාණ ගැනත් කතා කරයි. අප විචාරකයින්ගේ එක් දොසක් නම්, විවේචනයේ සීමාව කොතනැදැයි නොදැනිම දැයි සිතේ. මෙය අද ඊයේ නොව කුමාරතුංග යුගයේ සිට ම පැන එන්නක් ලෙස ය පෙනෙන්නට ඇත්තේ. මෙහි දී ද, ගුනසිංහ ගේ තරමක් කෘතීම උපමා උපමේය වදන් ගැන විවේචන තිබිය හැකි මුත් පහත කියමන් වැනි ඒවා, මෙම කෘතිය අති විශිෂ්ඨ කෘතියක් වීමට ඇති විභවය ට යම් ඍණාත්මක බලපෑමක් ගෙන එයි.

"සියයක් ස්ත්‍රීන් සමග රතී කෙළි යෙදීමෙන් පසුව සාද පැවැත්වූ වර්තමාන ප්‍රාදේශීය සභාකාරයාට වඩා උගත් කාමාතුරයා වෙනස් නොවේ." (398 පිටුව )
එසේ වුව කොළඹ කවීන්ගේ නාරි වර්ණනාව විවේචනය කලවුන් එවැන්නක් නිසදැසේ කලා යයි කීම තාර්කික විවේචනයකි.

භාවගීත සිට ගුරුළුවත දක්වා වූ විචාරය, අමරසේකර කවිය නැවත කියවන දිනකට නැතුවම බැරි විචාරයකි. එය එතරම් පරිපූර්ණ ලෙස ලියැවී ඇතැයි සිතේ. මේ කෘතිය පසු දිනක නැවත පරිශීලනයට ඇවැසි බව සැක නැති - ඒ බොහෝ විට ආශ්‍රේය කෘතියක් ලෙසය.


දොළොස් වන පරිච්ඡේදයේ උක්ත ගුරුකුලය බිඳී යාමට හේතු වු අභ්‍යන්තර සාධක කෙරෙහි අප කතුවරයාගේ අවදානය යොමු වේ. මෙම පරිච්ඡේදයේ ඇති වටිනාකම වන්නේ, කතුවරයා මෙතෙක් සිටි සමහර ආස්ථානයන් තහවුරු කරනු වස්, එම ගුරුකුලයට අයත් අය තුලින් ම මතුවෙන සාධකයන් ය.

ආරම්භයේදී, අමරසේකර 1963 පළ කල ලිපියක් උපුටමින්, හේ කොළඹ කවිය සහ නිසදැස් කවිය යන දෙකම සිංහල සාහිත කෙතේ පහළ වූ වල් පළෑටි දෙකක් වුව, කොළඹ කවිය භාවිත  බස හේතුවෙන් රසාලිප්ත හෝ වන මුත්, නිසදැස කෘතීම බවකි පවසා ඇත්තේ.

මෙම පරිච්ඡේදයේ වඩා රසවත් කොටස, "නිර්මාණය හා විචාරය පිළිබඳ පේරාදෙණිය ගුරුකුල ගැටුම" ය. සිරි ගුනසිංහගේ ලිපියක් උපුටමින්, ඔහු පේරාදෙණි සාහිත්‍ය විචාරය විහිළුවක් බවත්, එය පේරාදෙණි නිකායේ විචාරයක් ලෙස හැඳින්වීමත්, නිකාය යන්නෙන් ගුරුකුලයටත් වඩා පටු ස්ථානයක් ඇඟවීමෙන් කෘතියෙ කතුවරයාගේ මුල් අර්ථකතනයේ නිරවද්‍යතාවත් තහවුරු වේ.

එලෙසම කතුවරයා හා අපට එකඟ විය නොහැකි කොටසක් ද මෙහි වෙයි. ඒ ගුනසිංහ පවසනා පේරාදෙණි ගුරුකුලය ස්තාපිත වීමට හේතු වූ කාරණා ගැන කතුවරයා ගේ ස්ථානයන් ගැන ය.

421 පිටුවෙන්

       මෙහි කතුවරයා පවසන පරිද්දෙන්, පේරාදෙණි විචාරය ට විරුද්ධ මත මඩපැවැත් වූ ප්‍රධාන ආකාරයක් නම්, ඒවා නොදුටු ලෙස සිටීම හෝ, ප්‍රතික්‍රියා නොකර සිටීම හෝ, සිටීමයි.  එය අන් පාර්ශවයේ විවේචනයේම අඩුවක් හේතුවෙන් සිදු වූවකි, බව ය අප අදහස. එහි අවසාන ප්‍රතිපළය අධිපතිවාදි ස්වරූපයක් ගැනීම බව සත්‍යය. එහෙත්,  වැඩි පුර දොසක් අන් පාර්ශවයට පෑම පිළිගත නොහැකි ස්ථාවරයකි. වත්මනේ පවා අප රට සාහිත්‍ය විචාරය හා විවේචාන යේ දී මෙය සිදු වන්නේ ය. මෙම කෘතිය වන් වටිනා කෘතියක් යම් තරමකින් නොසලකා හැරීමට ලක් වී ඇත්තේනම්, ඊට හේතුව ද එයම ය. නැතිනම් සුදුසු සංස්කරණයකින් පෝෂණය වූවේ නම්, මෙම කෘතිය පමණක් වුව තෝරදෙණිය විසින් අප රට සාහිත්‍ය වෙන්වෙන් සිදු කල ශ්‍රේෂ්ඨතම  දායකත්වය වන්නේය. යම් යම් අතිරික්තයන් මධ්‍යයේ වුව, එය තවමත් විශිෂ්ඨ ග්‍රන්ථයක් යැයි විශ්වාස කරමි. එහි අතිවිශිෂ්ඨ වීමට විභවයක් තිබිණ.

ගුනසිංහගේ ලිපියට පිලිතුරු බඳීමින් ලියවෙන ලිපියේ, අමරසේකර "ගුරුකුලය" යන්නෙන් කුමක් අර්ථවත් වන්නෙ ද යන බවත්, කොළඹ කවීන්ගෙන් පසුව එම වචන භාවිතය ගෙනාවේ ගුනසිංහ බවත්, පේරාදෙණිය ආශ්‍රිත ලේඛන බිහිවන බවත්, ඉන් සමහරක් විභාග සඳහා අත්පොත් බවත් පවසයි. විමල් දිසානායක ගේ අව්‍යාජත්වය ගැන පවසන හේ, ඔහු ගේ "කල්ප විනාශය" කාව්‍ය සංග්‍රහය ගැන වෙසෙසින් සඳහන් කරන්නේ, එහි දිසානායක මුලින් ප්‍රතික්ෂේප කලත්, එහි යම් සාරවත් බවක් දැකීමෙන්, පසුව නැවත ඒ වෙත යාමක් මෙන් යැයි පවසයි.  එනුමුදු රාජකරුණා, කල්ප විනාශය විවේචනය කරයි. තෝරදෙනිය පවසනේ එය ගුනසිංහ උවමනාවට වූවක් බවයි. මේ සියළු දේ මගින් පෙන්නුම් කරන්නේ තිබූ අභ්‍යන්තර ගැටුම් ය.

අමරසේකරගේ ලිපියට පිලිතුරු ලිපියක්, ගුනසිංහ ලියන්නෙ  "New Sinhala Writing - The Controversy Continues - Problem of Language" නමිනි. එහි වෙසෙසින් තමන් භාවිත කල කවි බසට එරෙහි ව එන චෝදනාවන් වලට දීර්ඝ ලෙස ඔහු පිලිතුරු දෙයි.

මෙම කොටසේ එන ඉතා වටිනා ආශ්‍රේය ලිපි දෙකක් ගාමිණී හත්තොටුවේගම මහතාගේ ය. එම ලිපි මගින් පේරාදෙණි ගුරුකුලය ස්ථාපිත වීමට වික්‍රමසිංහ ඊට ඇතුලත්වීමේ අවශ්‍යතාව, සරච්චන්ද්‍ර ගේ අනුග්‍රහය බොහෝ අය පතූ හෙයින් ඔහු ට යම් ප්‍රචාරකවාදී කටයුත්තක් ඉටු කිරීමට බල කෙරුණු බව, එම ලිපි ලියු යුගය වන විට ගුනසිංහ යහපත් අරමුණකින් හෙලාදැක්ක ද ඔහු පහරදෙන අගතීන් වලට කලෙක ඔහු ද ආධාර කල බව පමණක් නොව එම ගුරුකුලය තමන් වෙත වූ මහඟු අවස්ථාවක් නොතකා හැරීමේ වරද බාරගත යුතු දැයි ද පෙන්වාදෙයි.

මේ කොටසේ එන අනෙක් වැදගත් ලිපිය නම් ගුනසිංහ ලියූ "New Sinhala Writing and the Peradeniya School" (22.01.1966), ලිපියයි. එය හත්තොටුවේගම සමහර අදහස් වලට ද පිලිතුරු බඳී, එහි ඉතා වැදහත් කාරණාවක් වන්නේ 'පේරාදෙණි ගුරුකුලය' ලෙස පිළිගැනීමේ ස්වභාවිකත්වය  පෙන්වා දීම හේතුවෙනි. එහි වෙසෙසින් අමරසේකර අන් අය වංචාකාරයින් ලෙස හැඳින්වීමේ අසංඝත බව, විමල් දිසානායක ගේ කාව්‍ය සංග්‍රහයන් දෙකක් නිදසුනට ගෙන පෙන්වයි.

"විමල් දිසානායක නිදහස් පද්‍ය ලියමින්, අමරසේකර සමඟ එකඟ නොවන්නාවූ අදහස් ප්‍රකාශ කළ  කල්හි අමරසේකර සිය ද්වේෂය ඔහු කෙරෙහි යොමු කරමින් ඔහු වංචාකාරයන්ගේ ගොඩට දැම්මේය; එහෙත් දිසානායකගේ පද්‍ය සංග්‍රහය අමරසේකරගේ සුරතල් ශෛලියෙන් පිටවූ කල්හි දිසානායක එකෙණෙහිම නිසැකයෙන්ම අමරසේකර අයත් වන්නාවූ වංචාකාරයන් නොවන්නාවූ ඉහළ තලයට ඔසොවා තබනු ලැබේ;" ( 448 පිටුව)

ජේ.බී. දිසානායක 1966 දී ද "The Purity of Sinhala is Just a Myth" නමින් වූ වාග් විද්‍යාවට මුල් තැනක් දෙන ලිපියක් ලියූ බවත්, ( තෝරදෙනිය මෙම ලිපිය 'සුපුරුදු සහජීවන ශෛලියෙන්' ලියුවක් බව පවසයි ) අමරසේකර සහ ගුනසිංහ දෙපාර්ශයේ ම සාර්ථ්ක ලක්ෂණ පෙන්වා දුන් බවත් පවසයි.
 

මේ දීර්ඝ පරිච්ඡේදයේ ඉළඟ කොටස වෙන්වන්නේ අමරසේකර 1966 දී ලියූ අලියා සහ අන්ධයෝ ලිපි පෙළ වෙනුවෙනි. අමරසේකර සරච්චන්ද්‍රයන්ගගේ විචාරවාද ප්‍රශ්ණ කරන අතර, වික්‍රමසිංහ චින්තනයට ලං වීම පෙන්වා දීමට ය. එම ලිපි පෙළ ආරිය රාජකරුණා ගේ මහත් විවේචනයට ලක් වන්නේ, එය  තමන් ගත් මග නිදොස් බව පෙන්වීමට  ලීයුවක් යැයි කියමිනි.

ආරිය රාජකරුණා මාර්ටින් වික්‍රමසිංහගේ කාව්‍ය විචාරය තියුණු විවේචනයකට පත් කරන්නේ කරුණු 10ක් මතු කරලමිනි. (463-464 පිටු )

වික්‍රමසිංහ සාධකය උක්ත ගුරුකුලය බිඳවැටීමට අභ්‍යන්තර හේතුවක් වූ අයුරු තරමක් ගැඹුරින් මෙහි සාකච්ඡා කොට ඇත.
අ)  තම බණ කතා සහිත්‍ය කෘතියේ තරමක් දැඩි ලිපියක් ලියුවේ, ජෙනිංස් එහි උපකුලපතිකමට නුසුදුසු බව කියා පාමිනි. වික්‍රමසිංගහේ ප්‍රධාන චෝදනාව පේරදෙණියට ආවෙණික කුලදහම්-සම්ප්‍රදා සම්පාදනය කිරිමට නොහැකි වූ බවයි.
ආ) එලෙසම  වික්‍රමසිංහගේ සමහර විවේචන වල දෝෂයන් තෝරදෙනිය පෙන්වා දෙයි.
ඇ) නව පද්‍ය සිංහලය මගින් ගුනසිංහ සහ අමරසේකර ගේ බස් වහරේ දොස් දුටු හේ, නවකථාංග හා විරාගය මගින් පේරාදෙණි සාහිත්‍යට විවෘත සටනකට පිවිසුනේය. එහි හෙවනැල්ල සහ යළි උපන්නෙමි පිළිබඳ නිර්දය විචාර වල නිරත විය. "ඔහු දැන් 'යළි උපන්නෙමි' නවාකතාව ඒ විදියෙන් ලිවීම ගැන පසුතැවිලි වෙතියි සිතමි" පවසයි. මෙය අනාගතය දැක කල ප්‍රකාශයක් හා සම වේ. ඔහු සරච්චන්ද්‍ර ව "බෞද්ධ සංස්කෘතිය වටහා ගැනීමට වෑයම් නොකොට එය ශුෂ්ක යති ධර්මයක් යයි සිතා ඊට පරිභව කළ අයෙකු" ලෙස හඳුන්වයි.


.
මෙම දීර්ඝ පරිච්ඡෙදය අවසනට පෙර අන් අභ්‍යන්තර සාධක දහයක් ගැන සඳහන් කරන අතර, ඉන් අමරසේකරගේ චින්තානමය විපර්‍යාසය ප්‍රධාන කාරණාවකි. තෝරදෙනිය පවසන්නේ, විවේචනය කල ද, වික්‍රමසිංහ අමරසේකරගේ "ගැලවීමට" තරම් අවස්ථාවක් නවකථාංග හා විරාගය මගින් සාදා දුන් බවකි. එහෙත් අමරසේකර එම අවස්ථාව භාවිත නොකොට යළි උපන්නෙමි ප්‍රතික්ෂේප කිරීමට පසු නොබෑ බවකි. මේ සියළු සියුම් කරුණු කාරණා අපට පසක් කරගත හැක්කේ, නවකථාංග හා විරාගය කියවීමෙන් පමණ කි.

පේරාදෙණිය ගුරුකුලය බිඳීයාමට හේතු වූ බාහිර සාධක සාකච්ඡාවට තෙළෙස්වෙනි පරිච්ඡේදය වෙන් වී ඇත.  තෙයාකරව මෙම සාධක සාක්ච්ඡා කරන මෙම පරිච්ඡේදය පළමුව අවධානය යොමු කරන්නේ සැඟවුණු විරෝධය ගැන සාකච්ඡා කිරීමටය. පියදාස සිරිසේන සහ ඩබ්. ඒ. සිල්වා ගේ නවකතා සහ, කොළඹ කවිය ද විවේචනයට ලක් වෙද්දී, ඒ කෙරෙහි විස්සෝප වූ පිරිසක් විය. සරච්චන්ද්‍ර නිර්මාණ උකහා දක්වමින් ප්‍රශස්ති මුඛයෙන් ලිපි ලියූ දර්ශා නම් ලිපිකරුවකුට/ලිපිකාරියකට (1966) , "Irrational Adulation" හිසින් යුතුව, 'නිර්නාමිකව සිටීමට කැමැත්තෙක්' ලිපියක් ලීවේය. එඩ්මන්ඩ් ජයසූරියගේ Critics must control Enthusiasm, Disgust (1967), ලිපියේ ද සැඟවුණු විරෝධයක් අප ලේඛකයා දකී. 

මීට කලින් ද අවලාදාත්මක විවේචන ගැන යොමු වුව ද, මේ පරිච්ඡේදයේ හිසට අනුකූලව මෙහි ඒ ගැන නැවත සලකා බැලේ. කේ. බී. සුගතදාස,  පේරාදෙණි විවේචනයට සෑහෙන ශ්‍රමයක් යොදා ඇති බැව් පෙනී යයි. අවලාද ගණයට එකකොට තිබුන ද, "සිංහල නවකතාවට යන්තම් අඩසියවසක් පිරෙන්නට කලින් 'ඉංග්‍රීසි නවකථා විචාරයෙහි ඇතැම් නිගමනයන් අකුරටම අනුගමනය කරමින්' ලංකාවේ 'අසම්පූර්ණ විචාර කලාවක්' මතු කර ගත් බව" පැවසීම සත්‍යයෙන් තොර යැයි නොසිතේ. මෙය කබායේ පමණට සිරුර කපා ගැනීමක් ලෙසය තෝරදෙනිය දකිනුයේ. මානවසිංහයන් මණමේ කෙරෙහි මහත් රසිකත්වයෙන් සිටි බව නොරහසක් මුත්, පේරාදෙණි සාහිත්‍ය ට දැඩි සේ ප්‍රහාර එල්ල කල අයෙකි. මෙම මැය යටතේ තව බොහෝ නම්, සහ අවස්ථා ඇතුලත් වන අතර, 'යළි උපන්නෙමි' තහනමට ලක් විය යුත්තේ ද යන්න පාර්ලිමේන්තු විවාද වලට ඇදුණු බව උගත්තෙමි.

ප්‍රගතිශීලි හා මාක්ස්වාදි විචාර නම් වූ පිටු අටක පමණ කොටස සම්පූර්ණයෙන් ම පාහේ වෙන් වී ඇත්තේ 1967-1970 පමණ කාලය තුල තෝරදෙනිය විසින් ම සඟරා සහ පත්තර වලට, තමන් පෙනී සිටි ජනතාවාදී, ප්‍රගතිශීලි දෘඨිකෝණයෙන් සහ න්‍යායෙන් පේරාදෙණි සාහිත්‍යය විවේචනයට ය. 

"ලිවීමට ඇත්තේ කාම පෙරළියක් පමණක්ම නොවේ. ප්‍රේම සංග්‍රාමයක්ම නොවේ."

"අපට අවශ්‍ය මළ අය හා මැරෙන අය පමණක් නොව බලාපොරොත්තු වලින් යුතුව අරගලයෙහි වෙලී ජීවත්වන උදවියගේ චරිතයි." (507 පිටුව )

ඇත්තෙන් ම මෙම සමස්ත පොතේ බීජ අවස්ථාව ඇත්තේ මෙම විවේචන මතය යන්න ය අපගේ විශ්වාසය. අමරසේකර හෝ විමල් දිසානායක හෝ, මෑතකාලීන යම් තරමකින් එකඟ විය හැකි මත අවකාශ වලට පැමිණිය ද, තෝරදෙණියගේ විවේචනයට පදනම මෙහි ඇති බවය, අපගේ හැඟීම. මෙහි නිදසුන් ලෙස පෙන්වා ඇති බොහෝ ලිපි, පසු කලෙක ඔහු විසින් "චීවරය සහ සෝමනය" කෘතියට එක්කාසු කොට තිබීම ද, අප 'සිංහල සාහිත්‍ය ඉතිහාස උණක් ඇති' මිතුරෙකුගේ ආභාෂයෙන්, එම පොත එහි මුද්‍රිත විකුණුම් මිලෙන් අඩකට, ගොඩගේ නම් ඒ මහා දැනුම් සම්භාරයක් ඇති පොත් ගුහාවෙන් මීට මාස කිහිපයකට මිල දී ගෙන තිබීම අපගේ නොමද සතුටට හේතු වූයේය.

1956න් පසුව මතු ව ආ බලවේග,ජාත්‍යන්තර සාධක, සහ 1965-70 හත් හවුල් ආණ්ඩුවේ දේශපාලනය  යන බාහිර සාධක තුන ද සාකච්ඡා කොට මෙම පරිච්ඡේදය නිමවා ඇත.

දහහතර වෙනි පරිච්ඡේදය: අවසන් ප්‍රහාරය - මෙහි අවසන් ප්‍රහාරය ලෙස ගැනෙනුයේ , 1969 අප්‍රේල් මස දසවෙනි දින, සිලෝන් ඔබ්සර්වර් පත්‍රයේ පළ වූ,  එඩ්වින් ආරියදාස මහතා සහ ගුණදාස අමරසේකර අතර වූ සම්මුඛ සාකච්ඡාව ය. A Fresh look at the Arts, Meeting Gunadasa Amarasekara, My earlier novels were shocking, obscene, A Dentist gets his tooth into his old sex-themes ලෙස විස්තර වූ එම සාකච්ඡාවෙන් හෙළි දරවු වූ කරුණුත්, එම සාකච්ඡාව හේතුවෙන් නැගුණු වාද විවාද පිළිබඳ විස්තරය පිටු හතලිහක් පමණ ය. ඒ සියළු සංවාද ලිපි ගැන මෙහි සඳහන් නොකරමි. එහෙත්, ඉහත ලිපියේ අමරසේකර තම මුල් කෘති, වෙසෙසින් යළි උපන්නෙමි, බැහැර කරලීමට හේතු වූයේ කිනම් කාරණා ද යන්න ගැන හෙළි දරවු කොට ඇත. මේ "ජාතික චින්තනය" යන වදන් ඉපදීමට වසර 15ත් පෙර යුගයක ය. ජාතික චින්තනයේ බීජ අවස්ථාවක්, එතරම් මුහුකුරා නොගිය නොගැඹුරු අදහසක්  ඔහුගේ සිතේ තිබුනා විය හැකිය. එහෙත් ඉතා වැදගත් කාරණාව නම්,  ඔහු විශ්වාස කල සාහිත්‍යමය හේතූන් මත එම කෘති ප්‍රතික්ෂේප කිරීම ය. පේරාදෙණි සාහිත්‍ය ව්‍යාජ වීම, ඒ තුල දැක්වෙන අත්දැකීම් ජීවත් වූ හෝ විඳි අත්දැකීම් නොවීම, සුළුතර ප්‍රශ්ණ බහුතර ප්‍රශ්ණ ලෙස හුවා දැක්වීම, යන කාරණා තුන ප්‍රධාන වශයෙන් පේරාදෙණි සාහිත්‍යය ප්‍රතික්ෂේපයට හේතු විය. ඔහු සිළුමිණ (1969/06/07) ට පවසා ඇති කරුණු තෝරදෙනිය මෙලෙස උපුටයි:

'"මේවා බොහෝ දුරට මෙරට නැති පිරිසකගේ චරිත, ප්‍රශ්න වටා ලියැවුණු නවකථා යන්නයි මගේ නිගමනය" යි කියාය. මේ නවකතාවලට "අලවා ඇති" මෙරට නම් ගම්, ගහකොළ ගෙවල් දොරවල් ආදි පරිසරය, වගතුග ආදියෙන් "නොරැවටී සිටීමට පුළුවන් නම් මේ නවකතා මෙරට නැති පිරිසකගේ චරිත, ප්‍රශ්න අළලා ලියන ලද කෘතීම ව්‍යාජ නවකතා ලෙස දැකි ගැනීම අපහසු කාරියක් නොවේ."' (531 පිටුව )

මෙම පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේපය එතැනින් ඇරඹුනත්, ඉන් බොහෝ තැන් වලට වැදී, රිදී,  සරච්චන්ද්‍ර, ගුනසිංහ, ලීල් ගුණසේකර ආදි සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අය මෙන්ම, ආදේශිත නම් වලින් ද ලියැවුණු පිළිතුරු ඇතුළුව, ප්‍රතිඋත්තර ලිපි රැසකට මෙය මුල පිරීය. මේ සංවාදයට අදාළ සෑම ලිපියක් ම පාහේ ආශ්‍රේය කරගනිමින්, මේ පිටු හතලිහක් පුරා දිවෙන ලිපිය රචිතය. අදට ත් පාවිච්චි වෙන "මනස් පුතුන්" ආදි වචන වල මුල මෙහි ය. මෙහි අනාවරණය වන කනගාටුසහගත කාරණාව නම්, සරච්චන්ද්‍ර වැන්නන් ගේ  සාහිත්‍ය විචාර පූර්ණ සත්‍යතාවෙන් හා සද්භාවයෙන් තොරව ලියැවුණු බව පසු කාලීනව ඔවුන් ම පිළිගැනීමය. "මනස් පුතුන්" ආකෘතික චරිත වන්නේ ද, සාමාන්‍ය චරිත වන්නේ ද යන්න, විවාදසම්පන්න සහ පුද්ගලානුබද්ධ තේරීම් යැයි අයෙකුට කිව හැක. අදටත් මට යළි උපන්නෙමි හෝ, ගන්ධබ්බ අපදානය හෝ, රසවත් ය. එහෙත් වැදගත් කාරණාව අමරසේකර ඔහු විශ්වාස කල  පැහැදිලි අදහසකින් සාහිත්‍යමය මූලධර්මයක් මත පිහිටා එම  ප්‍රතික්ෂේප කරම, සිදු කිරීම ය. මට එම කාරණාව හේතුවෙන් අමරසේකර කෙරෙහි මහත් ගෞරවයක් ඇති විය. මෑතක ලියැවුණු ධාතුසේන ආදි නවකතා මගින් යම් නොපැහැදුණු බවක් ඔහු කෙරෙ තිබුන ද, මෙම කාරණාව පිළිබඳ ඔහුගේ ආස්ථානය අර්ථ දක්වා අති ආකාරය ප්‍රශංසනීය යැයි මට සිතේ.

මෙම කොටසින් අනතුරුව අමරසේකර ගේ "මැද පංතියේ කථාවෙන්", පියදාස නම් එහි ප්‍රධාන චරිතය පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේප කිරීම පෙන්වා දී ඇත. එය අමරසේකර ගේ පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේපය විනා, ගුරුකුළ බිඳවැට්ටවීමක් ලෙස කියවා නැත. මා අවධානය දිනා ගත් එක් කාරණාවක් 567 පිටේ වියෙ. ඒ අමරදාස වීරසිංහ විසින් 1965 දී ලියූ , "යළි උපන්නෙමි, හෙවනැල්ල, දෙපා නොලද්දෝ හා මධ්‍යම පන්තික ජීවිතය"  යන ලිපිය හේතුවෙනි.  එහි ඔහු යළි උපන්නෙමි නවකතාව, ඉංග්‍රීසි, ප්‍රංශ ආදී යුරෝපීය නවකතාවල එන මධ්‍යම පන්තික ජීවිතය ලාංකික මධ්‍යම පන්තික ජීවිතයට ආරෝපනය කරන්න ට යාමක් යයි කීවේය. ඒ ගුනසිංහලා ට පෙර ය.

පේරාදෙණි ගුරුකුලය බිඳවැටීමෙන් අනතුරුව "අන්තිම ඇණය" ( 15 වෙනි පරිච්ඡේදය ) ගැසුවේ, මාර්ටින් වික්‍රමසිංහගේ "ජපන් කාම කතා හෙවණැල්ල" යන කෘතිය බවත්, ඒ ඔස්සේ ඇති වූ සංවාදයත් ය. උක්ත කෘතියේ වික්‍රමසිංහ ගේ කියමන් පිළිබඳ එතරම් පැහැදීමක් මා තුළ ඇති නොවූ බව සැබෑ වුව, විටෙක අද අප සිටින ස්ථානයේ සිට වික්‍රමසිංහ කී දෑ තේරුම් ගැනීම අපහසු වීමට පුළුවන. 

"ගුරුකුල ප්‍රචාරයේ යටි අදහස වූයේ සිංහලයන්ගේ උරුමයත්, කුලාචාර සහිත සංස්කෘතියක් බැහැර ලා ජීවත්වන තරුණ පරපුරක් මෙහි පහළ කිරීමය." (571 පිටුව)

මේ අදහස, අප වෙසෙන තරමක පිරිහුණු වර්තමානයේ සිට තක්සේරුව ගැටළු සහගත යැයි සිතමි. කිමද, රෝ බිය, ආර්ථික පරිහානිය, සමාජ පරිහානිය, දේශපාලන අනාථභාවය වටකරගත් ස්ථානයක සිට උරුමලත් සංස්කෘතියක් ගැන කියවීම, පහන් සිතුවිලි නොගෙනෙයි. එහෙත් 1969 දී මේ අදහස් වලංගු වූ බවට සැක නැත - කිම ද 2000 දශකයේ අග දක්වා ද මේ හා අදහස් සමඟ සමපාත අප ද වූ නිස ය. රට බේරා ගැනිමේ අන්තිම අවස්ථා කිහිපයකට පසුව අපි රටක් ලෙස හෙම්බත් වී සිටිමු. දැන් පළ වන වාර්තා අනුව, බංගලිදේශය පාකිස්ථානය හා ඉන්දියාව ද පසු කොට යන ආර්ථික සංවර්ධනයකට පිවිස ඇත. ඊට ප්‍රධාන හේතුව තරුණ ශ්‍රම වෙළඳපොළක් එහි තිබීමයි. අප තවම වාද විවාද කරමින්, කිසිවෙකුගේ  මගපෙන්විමක් නැතුව නන්නන්තාර වී සිටිමු.

එසේ වුව, වික්‍රමසිංහ ට එදා තත්වය එලෙස පෙනුනු  අයුරු තේරුම් ගැනීමට අප ට හැකි විය යුතුය. එනමුදු මෙම උදෘත කියවාගෙන යාමේදී, මට පෞද්ගලිකව, අමරසේකර ගේ අදහස් දැක්වීමේ යම් සාධාරණත්වයක් ගෙන ආ මුත්, ඉන් ඔබ්බට "මෙය මෙසේ විය යුතුයි" යන සංස්කෘතික පොලිසියක් ලෙස වදන් බැඳි වික්‍රමසිංහ අදහස් දැක්වීම, එතරම් සිත් නොගත්තේ ය. ඊට පිලිතුරු ලිපියක් සපයන ආරිය රාජකරුණා ගේ, යම් චෝදනා තරමක් සාධාරණ යැයි ද සිතුණි. තෝරදෙණිය, රාජකරුණා ගේ ලිපියේ සමහර කරුණු හා ගැටුණ ද, එහි යම් පදනමක් ඇති බවක් ඔහු ද සිතන්නා සේය.

'...වික්‍රමසිංහ එය ජපන් කාම කථාකාරයන්ගේ "විකෘති කාමකතා කියවීමෙන් පිබිදුණු කල්පනාව ඇතිව", " අවිචාර ලෙස ජපන් සිංහල කාමාචාර එක්කොට අනා සිංහල නවකථාවක් ලියා ඇතැයි" සිතයි. වික්‍රමසිංහ මෙම තර්කය යොදා ගන්නේ සිය උපන්‍යාසය තහවුරු කිරීමට අගතිගාමි ලෙසින් උදාහරණ සොයමින් බව පෙනේ. (578 පිටුව )
අමරසේකර නැවත 1970 වසර මුල ලිපියක් (අඳුරු දසවසක සාහිත්‍යය) ලියමින් පවසන්නේ 

"දේශපාලන සංවාදයක් නොමති අවධියක බිහිවන සාහිත්‍යය ක්‍රමයෙන් පොදුජන ජීවිතයෙන් හා පොදුජන ප්‍රශ්නවලින් ඈත්වෙමින් පුද්ගලික කල්පනා ලෝකයක ස්වරූපය ගන්නා බව"... "බාහිර ලෝකය හා බැඳීම් නිසා පහළ වන සාහිත්‍ය පරතන්ත්‍රභාවය හීනවීම නිසා එහි ස්වතන්ත්‍ර පක්ෂය හිස ඔසවන්නට වෙයි", ( 587-588 පිටු )
කියාය. "සාහිත්‍ය ලෝකයක වසන චරිතයෝ... එක්ටැම් මනස් විසින් බිහිකරනු ලබන මනස්පුත්තු වෙති. මෙය සාහිත්‍යයේ නියත පිරිහීමක් වෙයි." ලෙස තීරණය කරයි. මට මේ අවස්ථාවේදි හැඟුණේ අප සමාජයේ වෙසෙන ශාස්ත්‍රවන්තයෙකු හැකිනම්, "පශ්චාත් පේරාදෙණි ගුරුකුල බිඳවැටීමේන් පසු සිංහල සාහිත්‍ය" ගැන හැදෑරීමක් කල යුතු බවකි. කිමද කවුරු කෙසේ කීවද, පසුගිය පනස් වසර තුල, සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක, එරික් ඉලයප්ආරච්චි, කීර්ති වැලිසරගේ, කැත්ලීන් ජයවර්ධන, සේන තෝරදෙනිය, ලියනගේ අමරකීර්ති, ජයතිලක කම්මැල්ලවීර  ආදි  ලේඛක ලේඛිකාවන් පමණක් නොව, මෑත කාලීනව, මංජුල වෙඩිවර්ධන, පී.බී. ජයසේකර, කෞශල්‍ය කුමාරසිංහ ආදි ලේඛකයන්ගේ නිර්මාණ, අමරසේකර, සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, කේ. ජයතිලක ආදීන් ගේ නිර්මාණ සමඟ එක පෙළට සිට ගත හැකි බවකි අපගේ අදහස. අද වන් සංකීර්ණ සමාජ වටපිටාවක, සමාජ දේශපාලනය හා බැඳි සාහිත්‍යය ම උසස් ය, පෞද්ගලික අදහස් ආශ්‍රිත නිර්මාණ බාලය, යන්න තව දුරටත් අදාළ නොවනවා පමණක් නොව, එම කියුමේම දේශපාලන වැරදි සහගත බවක් ඇත.

588-589 පිටු එකහමාරක් තුල පේරාදෙණි ගුරුකුලයේ සාධනීය ලක්ෂණ කිහිපයක් කරුණු වශයෙන් කෙටියෙන් දක්වා ඇත. එම කාරණා ද වඩා විස්තෲත රචනාවකට පෙරළුනේ නම් - අවම වශයෙන් තනි පරිච්ඡේදයක් ලෙස ට හෝ - මේ කෘතියේ වටිනාකම වැඩි වන්න ට තිබුණි. එම කරුණු අතර, "ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ පරපුර අතර මහා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවී එදා කියැවීම ඉහළ මට්ටමකට පත්වූ බව" හා "සාහිත්‍ය නිර්මාණයේ හා විචාරයේ විදග්ධයන්ගේ සම්ප්‍රදාන කැපූ පෙනුණු ලක්ෂණයක්" යන කාරණා වැදගත් යයි සිතමි. අද සිංහල සාහිත්‍යයේ අති දුර්වල අංශය විචාරය යැයි සිතමි. පෞද්ගලික හිතවත්කම් මත ම සාහිත්‍ය විචාරය බොහෝ විට, සිදු වන බවකි පෙනෙන්නට තිබෙන්නේ. වෙසෙසින් විදග්ධයන්ගේ මැදිහත් වීම අපක්ෂපාතිව සිදුවන බවක් පෙනෙන්නට නැත. පී. බී. ජයසේකර (  මා ප්‍රති. මා), කැත්ලීන් ජයවර්ධන ( මහසෙන් ), එරික් ඉලයප්ආරච්චි ( පාදයාත්‍රා,  පේත ), සේන තෝරදෙනිය ( බණ්ඩර මැරූ උන් ),  ඉසුරු ප්‍රසංග ( පේමති ජායති අසෝකෝ ) ආදි සමහර කෘති සම්මාන පවා ජය ගත්ත ද ඒවා ගැන සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති නොවුනේ විදග්ධ විචාර ඊට මුල් නොවූ නිසා යයි සිතමි. වෙසෙසින් තමන්ගේ කඳවුරේ නොවෙන අයෙක් ගේ පොතක් නොදැක්කා සේ සිටීමේ ප්‍රවණතාව අප රට ප්‍රචලිතය. ඒ හා සලකද්දී, 60-70 දශකයේ ගුනසිංහලා, අමරසේකරලා, සරච්චන්ද්‍ර ලා වඩා ප්‍රගතශීලිය. අද විචාරය සිදුවන්නේ තෝරා බේරාගෙනය - කෞශල්ය කුමාරසිංහ ගේ "නිම්නාගේ ඉතිහාසය" ඇත්තෙන්ම මෑත කාලයේ මා කියවූ විශිෂ්ඨ කෘතියකි;  ඒ ගැන සාකච්ඡා වීම දැකීම සතුටට කරුණකි. 

දහසය වෙනි පරිච්ඡේදයේ ඔහු මාක්ස්වාදි ඇසකින් විභේදනය දෙස බැලීමට යොමු වෙයි. මේ කෙටි පටුනේ මුල් පිටු හය කියවීම තරමක් අසීරූය. ඒ කලාව පිළිබඳ මාක්ස්වාදි න්‍යාය කැටිකොට දැක්වීමේ ප්‍රයත්නය නිසා විය යුතුය. ඒ පිළිබඳ දළ අදහසකින් පමණක් සෑහි ඒ ගැන පූර්ණ හැදෑරීමක් සඳහා අන් කෘතියක පිහිට පැතීමට සුදුසු යැයි සිතමි.එහෙත් මේ කොටස වැදගත් ලෙස දිටිමි;

"පේරාදෙණිය ගුරුකුලයේ සම්භවන අවධියේදී හෝ කූටය වූ සමයේදී මෙරට ධනේශ්වර ක්‍රමය වර්ධනය වී නොතිබු බැව් සත්‍යයයි.... මොවුන්ගේ නවකතාව හා කවිය තුළින් මතුවන්නේ මානවවාදී පරමාදර්ශවලට එරෙහි මතයකි. එය ධනේශ්වර සාහිත්‍යය හා අනූරුප වෙයි.

ධනේශ්වර ක්‍රමයේ වර්ධනයක් නොවූ හෙයින් යූරෝපයේ මෙන් ධනේශ්වර ක්‍රමයේ සූරාකෑම සිය පරමාදර්ශ සමඟ ප්‍රතිවිරෝධීව ගැටෙන බව පේරාදිණිය ගුරුකුලයේ සාහිත්‍යකාරයින්ට අවබෝධ නොවිණි." (598-599 පිටු)

අමරසේකර අඳුරු අවධියක් ලෙස හැඳින් වූ  දශකයේ අපි කතුතුමා ද දේශපාලනකව බොහෝ ක්‍රියාකාරීව සිට ඇත.

"පේරාදෙණියේ සුපුෂ්පිත සමයේදී එහි ගත කළ අප  පේරාදෙණිය සාහිත්‍යය  නැමැති කුසුමාසනය අසල වැතිර සිටීමට වරම් ලැබුවද, ස්ථාපිතව පැවති බලසම්පන්න ගුරුකුලයකින් ස්ව-කැමැත්තෙන්ම පිටුවහල් වී සිටි අප මෙම පිපිරීම දුටුවේ ධනේශ්වර ක්‍රමය, ධනේශ්වර ක්‍රමය තුළම පවත්නා ප්‍රතිවිරෝධතා නිසා අර්බුදයකට ලක්වී පුපුරා යන්නාක් සේ ධනේශ්වර සාහිත්‍යයේ වු අර්බුදයක් හා පුපුරා යාමක් ලෙසිනි." ( 592-593 පිටු )

මෙම පරිච්ඡේදය කතුවරයා අවසන් කරන්නේ අද සාහිත්‍යය "සමලිංගිකයින්ගේ, ද්වීලිංගිකයින්ගේ, සංක්‍රාන්ති ලිංගිකයින්ගේ, සංක්‍රාන්ති ලිංගිකයින්ගේ, අවිනිශ්චිත ලිංගිකයින්ගේ සාහිත්‍යයක්" බවට පත් වී ඇති බවකි. මට මෙතන ඇති ගැටළුව - ඔවුන් සමාජයේ කොටසක් වන්නේ නම්, ඔවුන් ගේ සමාජ මැදිහත්වීම ගැන කතා නොකල යුතු ද යන්නය. එපමණක් නොව, ගිය වසරේ පුලිට්සර් සම්මානයෙන් පිදුම්ලත් Overstory ( Richard Powers) නවකතාවේ ප්‍රධාන මිනිස් චරිත රාශියක් වුව ද, නිර්මල වනාන්තර වල හැසිරීම තේරුම් ගැනීම පමණක් නොව, ගස් වලට ද මූලික අයිතිවාසිකම් නීතිගත වන දවසක් උදා විය හැකි බව කතා කරන සාහිත්‍යයක් ය, අද පවතින්නේ.  

දහහත්වෙනි පරිච්ඡේදය,  පශ්චාත් පේරාදෙණිය: "විදග්ධයින් හෙළූ මියුඬුරු සුසුම් " වෙනුවට දග්ධයන්ගේ මිසවිතක් නමිනි. කෘතියේ අවසන් පරිච්ඡේදය වන මෙය වෙසෙසින් වර්තමාන පේරාදෙණි සිංහල අංශය වෙත කෙරෙන දැඩි විවේචන වලින් සපිරිය. මා එහි විස්තර වලට යාමෙන් වැලකෙමි. එහෙත්, සාලිය කුලරත්න, මහින්ද රත්නායක සහ ලියනගේ අමරකීර්ති යන අයගේ සමහර නිර්මාණ තුලින් ම තම සගයන් විවේචනය වී තිබෙන වටපිටාවක, සියළු විවේචන තෝරදෙනියගේ  නොවන බව පැහැදිලිය. තැනෙක, NGO කාරයින්, නව යටත් විජිතවාදීන්, නව ලිබරල්වාදීන්, නව කොන්සර්වටිව්වාදීන් ආදි ලෙස, විස්තර නොකල ( හා තරමක් පරස්පර) ලේබල් වලින් ගසා දමා ඇත්තේ, මේ සමස්ත කෘතියට නොගැලපෙන අපරික්ෂාකාරී ලෙසක ට දෝ යැයි සිතුණි. ඔහු ගේ ඍජු විවේචනය නම්, ඔහු එදා පේරාදෙණිය ට විරුද්ධ වුව ද එදා හා සාපේක්ෂව, අද මහත් පරිහානියක් සිදු ව ඇති බවයි.  මට මේ ගැන ඇති කුකුස නම්, හැටේ දශකයට වඩා බොහෝ වෙනස් යුගයක වෙසෙන අද වන් කලෙක, මෙම පරිහානිය හෝ එසේ නොවීම හෝ, සමස්ත වශයෙන් කෙසේ මනින්නේද යන්න ගැනය. එක් ආචාර්‍යවරයෙක් හෝ දෙදෙනෙකු හෝ, ගැන විවේචන තිබෙන්න ට පුළුවන. එහෙත් එදා අමරසේකරලා සහ තෝරදෙනිය ලා ඊට විරුද්ධ වූ අයුරින්, එදා ට වඩා විවෘත ලොවක එවන් විප්ලවයක ට අද ඉඩක් නැති  ද? එසේ විප්ලවයක් නොවන්නේ නම්, පෙර කල සටන් පාඨ අදට අදාළ නැති ද ?  නැති නම් අද ට ඇවැසි සටන් පාඨ තවම සුදුසු ආකාරයෙන් අර්ථගැන්වී නැද්ද යන්නය ?  නැතිනම් නූතන තරුණයා ට මේ ගැන එතරම  තැකීමක් නැති ද කියා ය ? මේ සියල්ල විවෘත ප්‍රශ්ණ ලෙස පමණක් නගමි. ඊට පිලිතුරු නැගීමට උත්සාහ කරලීමට තරම් අවබෝධයක් මට නැති.

ඉතින් මෙය දීර්ඝ ලියවිල්ලකි. කියවන්නන් තවම මා සමඟ සිටින්නේ නම්, ඒ අතේ ඇඟිලි ගානකට විය යුතුය. කම් නැත - ඔබ මෙතෙක් කියෙව්වේ නම්, ඒ මේ කෘතිය ගැන යම් උනන්දුවක්, සිංහල සාහිත්‍ය ගැන යම් උනන්දුවක් තිබෙන නිසා විය යුතුය. එසේ උනන්දුවක් ඇත්තේ නම්, මෙය කියවීම වටී. ඇත්තෙන්ම ලේඛකයා මීට මහත් පරීශ්‍රමයක් යොදා, විශාල ආශ්‍රේය ලිපි, ග්‍රන්ථ, දේශන ගණනක් භාවිත කොට නිර්මාණය කල පූර්ණ නිර්මාණයකි - අඩු පාඩු නැත්තේ නොවේ; ඒ බොහෝ අඩු පාඩු සංස්කරණයකින් සකසා ගැනීමට තිබූ ආරේ, ඒවා. කරුණු  කාරණා අතින් වැරදි තැන් ඉතා අඩු, හෝ නැත්තේමයි, සිතමි.  මෙය පැසසිය යුතු ආරේ ප්‍රයත්නයකි.

ශ්‍රේණි ගත කිරීම : ****1/2
ශානරය: සාහිත්‍ය / විචාර
ප්‍රකාශක : සුරස ( 2019)



Sunday, 24 November 2019

සිංහල කාව්‍ය සම්ප්‍රදාය - ගුණදාස අමරසේකර



සාරාංශය: සිංහල කාව්‍ය සම්ප්‍රදාය, යට ගිය යුගය සහ නූතන යුගය ලෙස අර්ථ දක්වා තම රචනාව අරඹන ලේඛකයානෝ, සිරි ගුණසිංහ සහ ඒ. එම්. ජී. සිරිමාන්න වන් විචාරකයින් එම යුග දෙක අතර බැඳුනු සම්ප්‍රදායක් නොතිබිණ, යන ස්ථාවරයන් පහදයි. එම යුගයේ ප්‍රධාන ආකෘතිය ලෙස "ගී කාව්‍ය ආකෘතිය" අඳුන්වන අමරසේකරුන්, එහි බහුලව භාවිත කල "මහ පියුම් විරිත", බොහො සෙයින් කටවහර ට ආස්න්න බව පවසයි. දැනට සොයා ගත නොහැකි, එහෙත් සිදත් සඟාරව මගින් එහි එක් ගීයක් සහ කොටස් කිහිපයක් නිදසුන් ලෙස ගෙනහැර දක්වමින්, ගී ආතියේ අග්‍ර ඵලය අසක් දා කව දො අමරසේකර විමසයි. ඒ ඔස්සේ ම සීගිරි ගී සම්ප්‍රදාය ගැන විචාරන හෙතෙම මෙවන් අස්තානයක් පිහිටාය එසේ කරනුයේ:

"7,8,9 යනසියවස් තුළ ලියැවුණු මේ සීගිරි ගී, අසක්දා කවෙන් ස්වර්ණමය අවධිය වෙත ළං ව ඉන් ඉක්බිති ව ක්‍රමයෙන් අභාවයට ගිය දේශීය කාව්‍ය සම්ප්‍රදායේ අවසන් පුරුක් ලෙස අපි දකිමු."
ඒවා "නිකමට" නොලියූ ඒවා බවත්, සාම්ප්‍රදයක පිහිටා පුහුණ ව විත් බිත්තියේ කෙටූ ඒවා බවත් ඔහු සිතයි. අසක් දා කව ඒ වන විට ශ්‍රේෂ්ඨ කවියක් ලෙස එවන් ආභාෂයක් ලබා දෙන්නඨ ඇති බවත්,  එහෙත් එහි කට වහරකට ඔබඉන් ගීත ස්වරය නොමැත්තේ 7,8, සියවස් වල ප්‍රචලිත වූ අනුකාරක හලන්ත ආදේශය හේතු වන්න්ට ඇති බවත් පවසයි.

අනතුරුව "ගී කව් තුන" ( එනම්, මුවදෙව්දා වත, සසදා වට සහ කව්සිළුමිණ"), මූලික වශයෙන් සිහළ කවියාට අලංකාරවාදය උගන්වනු වස් ලියැවුණු ඒවා බවට හේන්පිටගෙදර ඤාණසීහ හිමි මතය හා එකඟ වේ.එනමුදු ඒ අතර පවා කාව්‍යශේඛරයේ සාධනීය ලක්ෂණ ලෙස, "කාමාසක්ත රජු අන්තංපුර ස්ත්‍රීන් සමඟ මධුපානය කරමින් හැසිරුණු ආකාරය අප ඇස් හමුවෙහි දැක්වීම" බවත්, එය එකල පිහිටි ප්‍රකට ගූඪ දර්ශනයන් හා ගැලපෙන බවත් පෙන්වා දෙන්නෙ මේ කාරණාව මිට කලින් පැවසූ මාර්ටින් වික්‍රමසිංහයන් හා එකඟවෙමිනි.

කව් ගී තුන ලියවුණු කාලයේ ජන කවීන් ආරක්ෂා කල සම්ප්‍රදායක් වූ බව හේ පවසයි. ඔහු තව දුරටත් කවි සම්ප්‍රදායන් ගැන වැදගත් නිරීක්ෂණයක් කරමින් පවසන්නේ පොදු ජනයාගෙන් ඈත්ව, සීමිත විදග්ධයින් අතර රැඳුනු කල එය නොබෝ කලකින් අභාවයට යන අතර, එය රැකෙනවා නම් රැකෙන්නේ කලානුරූපීව වෙනස්වෙමින් පොදු ජනතාව අත වැඩෙන සම්ප්‍රදාය මත පමණක් බවත් ය.

සංඝයා ගේ බලවත් බලපෑම මෙන්ම පසු කාලීනව පරාක්‍රමබාහු රජු රුහුණ කල තාඪන පීඩන ගැන හේ මෙහි පවසන්නේ, එය හය වෙනි සියවසත් නමවෙනි සියවසත් අතර අප පාලන ව්‍යූහය සාහිත්‍ය කලාවට කරන බලපෑම ගැන නිදසුන් ලෙස ගෙන හැර දක්වමිනි.

"උගත් නූගත් භෙදයක් නොමැතිව 6  ශත වර්ශයේ දී මහජනයා සඳහා සිංහල පද්‍යයක් වීය... සත්වන ශත වර්ෂය නිර්මල සිංහල ආරම්භයේ ආදී ම ස්වර්‍ණ යුගය වශයෙන් ඉදිරිපත් වන්නේය...  ආරම්භයේ දී මෙවැනි තත්වයක පැවැති සිංහල කවියත්, කවිකමත් 9 ශත වර්ෂය පමණේ දී පුදුම වෙනසකට භාජන වූ බව පෙනේ. නිදහසේ මූර්තිය වූ කවියාට නිදහස් ව සිතීමටත් ප්‍රකාශ කිරීමටත් නිදහස නැති විය." (සිංහල සැහැලි - මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා )

මෙහිදි අමරසේකරුන් අප රට පාලන තන්ත්‍රයේ වෙනස් වීම ගැන රචිත අපූරු තියක් හඳුන්වා දෙයි. ඒ පී.බී. රඹුක්වැල්ලේ ගේ  Commentary on Sinhala Kingship ( Vijaya to Kalinga Magha ) නම් වූ දැනට මුද්‍රණයේ නැති කෘතියයි.  ( මහත් ශ්‍රමයක් යොදා මෙම  කෘතිය සොයාගෙන කියවීමී. ඒ ගැන දීර්ඝ සටහනක් වෙසෙස් ලියවිල්ලක් ලෙස මේ අන්තර්ජාල පිටු අතර ඇත).

දේශපාලනය මුසු වූ ඔහුගේ රචනාව ඉදිරියට යන්නේ, වික්‍රමසිංහ කියූ "බුද්ධඝෝෂ සී.අයි.ඒ. කාරයෙක්" කී කියමන හා එකඟ වෙමිනි. දඹදෙනි යුගයේ දෙවෙනි පැරකුම්බා රජු අප රට "සිංහල බුද්ධාගම" ඒ  නැවත හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ සාහිත්‍ය ප්‍රබෝධයක් ගුරුළුගෝමීන් අතින් සිදු වූ අයුරු ද පෙන්වා දෙයි.

කෝට්ටේ කවීන් සිය නිර්මාණය උදෙසා ජනකවියෙන් ආභාෂය ලත් බවත්, සිංහල භාෂාවේ වත්මන් යුගය දඹදෙණි-කෝට්ටේ යුග වලින් ඇරඹෙන බවත්, ඊට සාක්ෂි වශයෙන් සැල්ළිහිණියේ කවක් ගෙන නිදසුන් පෙන්වා දිය හැකි බවත් කතුවරයා දහ වෙනි පරිච්ඡේදයෙන් පෙන්වා දෙයි.

විල්ගම්මුල හිමියන්ගේ සඳකිඳුරුදා කව, ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරය සහ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය එකම පර්යේෂණ දිශාවක ක්‍රමික වර්ධනයන් බවත්, පළමුවැන්නේ වියත්-ජන කවි සිරුරු වල යාන්ත්‍රික එක්කාසුවක් බවත්,  දෙවැන්න සංස්කෘත අලංකාරයේත්, දේශීය මාර්ගයේත් සංකලනයක් බවත්, ගුත්තිලය පරිසමාප්ත කවියක් බවත් හේ පවසන්නේ, ඊළඟ පරිච්ඡ්ජේදය ගුත්තිලය වෙනුවෙන් වෙන්කරමිනි. මෙහි, ගුත්තිලය ගැන දීර්ඝ විචාරයක් කරනා අමරසේකරුන්, මාර්ටින් වික්‍රමසිංහයන් සහ යක්කඩුවේ පඥ්ඥාරාම හිමියන් යන දෙපළ අතර ගුත්තිලය ගැන වූ විවාදය ගැන ද සඳහන් කරයි.

"සිවුපදය සහ එළියක් ගත් ගීය", නමින් වූ දොළොස් වෙනි පරිච්ඡේදය. දඹදෙනි යුගයත් සමඟ ගීය අභිබවා සිවුපදය ඉදිරියට  ආ බවත්, ශබ්ද ධ්වනි මාර්ගයට මුල් තැනක් දෙන ජනකවීන් හේතුවෙන් එසේ වූ බවත් පවසයි.  වෙසෙසින් මෙහි එන ශාස්ත්‍රීය කොටස් අප වන් මේ අංශය පිළිබඳ දැනුම් තේරුම් නැත්තන් ගේ හිස් උඩින් ද යා හැක. වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය විද්‍යාවෙන් දීර්ඝ උපුටනයක් කරනා ලේඛක තෙමේ, එය කෘතියක් වශයෙන් කෙතෙරම් වැදගත් ද යන්නත්, එය කියවිය යුත්තක් බවත් අපට ඒත්තු ගන්වයි. සාහිත්‍ය විද්‍යාවේ එක් උපුටනයක් මෙසේය;
"පද්‍යයකට ඇතුළත් වචනවල ව්‍යංගර්ථ කෙමෙන් එකට එක ගෙතී කෙළවර දී අපූරු රටාවක් මතු වූ කලක් මෙන් අමුතු ම ධ්වනියක් පැන නැගීම වූ කලි නියම ධ්වනි කාව්‍යයක ලක්ෂණයයි... 'පැහැසරණිය','මිණි පැමිණිය', 'බඳ කිකිණිය', 'දද ගිහිණිය', 'නොව පැරණිය', 'වන රමණිය' යන එළිසම පද හිණි මගක පෙති සේ අඩියෙන් අඩියට නැග ගොස් 'වදු කැළණිය' යන්නෙන් උච්චස්ථානයට පැමිණ කෙළවර වන අයුරේ හැඟීමක් රසිකයා තුළ ජනිත වේ." ( 161 පිටුව )

"වියත් කවියෙහි අවසානය" නම් වූ 14 වෙනි පරිච්ඡේදය කෝට්ටේ යුගයෙන් පසුව උදා වූ පෘතුගීසි උවදුර හමුවේ අප කවිය මුහුණ දුන් ගැටළුත් එහි පැවත්ම උදෙසා වෙසෙසින් අලගියවන්න මුකවෙටි කවියා ගේ කාර්‍යබාර්ය තක්සේරු කිරීමත් ඇතුලත් ය. ඔහුගේ කාර්යබාර්‍යය කෙතෙරම් ද කිවහොත්, ඔහු හා ඔහු මග ගිය අන් කවීන් ඒ යුගයේ නොසිටින්න වත්මනයෙහි වසන කවීන්ට එම සම්ප්‍රදාය සොයා ගත නොහැකි වනු ඇතැයි ලේඛකයා සිතයි.

 15 වෙනි පරිච්ඡේදය "සිලෝව සහ සැහැල්ල", නමි.  සිලෝවේ මූලය ඇත්තේ, සංස්කෘත ශ්ලෝකයේය. අමරසේකරුන් පවසන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ ශ්‍ර්‍රේෂ්ඨ නිර්මාණය වූ පිය සමර ට සිලෝ විරිත භාවිත කල බවකි. විරිත් සුවඳ ගෑවුණු හෙවත්, පද්‍යයට ඉතා ආසන්න ගද්‍ය විශේෂයක් ලෙස සැහැල්ල අමරසේකරුන් හඳුන්වා දෙයි.

අද්‍යතන යුගය නම් වූ දහසය වෙනි පරිච්ඡේදය ඉතා වටිනා එකක් වන්නේ මෑත කාලය ගැන සඳහන් වූ විස්තර නිසා ය - එනම් විසිවෙනි සියවස ගැන ය. මෙහි එන පැරණි කවීන්ගේ අවදිය ( එනම් ආරිය රාජකරුණා වැනි කවීන් ),  කොළඹ කවීන් සහ නිසදැස් යුගය ගැන  වටිනා විස්තරයක් මේ පරිච්ඡේදය රැගත් ය.

දහ හත් වෙනි පරිච්ඡේදය "සරච්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍ය" කෙරෙහි අවදානය යොමු කරයි. ඒ එම දෘශ්‍ය කාව්‍ය ආද්‍යතන කාව්‍ය කෙරෙහි බලපෑමක් නොවුනේ මන්ද යන්න හේතුවෙනි.

දහ අට වෙනි පරිච්ඡේදය "කුමරතුංගයන් ගේ 'පිය සමර'" නමි. එළු සිලෝව කාව්‍යාතියක් ලෙස භාවිත කල කුමරතුඟුන් තම පියා ගැන මතකයන් අවදි කරලීමට භාවිත කොට ඇති ආකෘතිය උචිත බවට අමරසේකරුන් පවසයි.

සමස්ත වශයෙන්, මේ කෘතිය  කියවීම තරමක කැපවීමකින් කල යුතුය. ඉතිහාසය, සාහිත්‍ය, කාව්‍ය සම්ප්‍රදායන්, ආශ්‍රේය කෘතීන් රැසක් මෙන්ම ලේඛකයා ගේ දේශපාලන දෘෂ්ඨිවාදයෙන් සුපෝශිත කෘතියකි. සිංහල කවියේ, වෙසෙසින් ඉතිහාසය හා එහි මෙතෙක් ආගමනය  ගැන උනන්දු වන කියවන්නිය, අත් නොහැර කියවිය යුතු කෘතියකි. මේ වසරේ ම මා අමරකීර්ති ගේ "නව කවි සලකුණ" කියවීමි. මා සිතන්නේ මේ කෘතියත්, ඒ කෘතියත් සිංහල කවිය ගැන උනන්දු කියවන්නිය කියවිය යුතු ම කෘතීන් බවට ය. පුළුල් වශයෙන් මෙ කෘතිද්වයට පදනම් වූ චින්තනයන් දෙකකි.  සාහිත්‍ය ලෝලීන් ලෙස මේ කතුවරුන් දෙදෙනා ගැන අප දන්නා ස්වල්පය මත හෝ එය වෙසෙස් හෙලිඩරව්වක් නොවන බව සත්‍යය.

මෙය මට මේ විෂය පිළිබඳ අත්පොතක් ලෙස අනාගතයේ ද සේවය කරනු නියතය ( අමරකීර්ති ගේ පොත ද එලෙසය). ඒ හේතුවෙන්  ඒ ඒ මාතෘකාව ගැන මෙහි සඳහන් ලුහුඬු විස්තරයට වඩා විස්තෘතව මේ යොමුවේ සඳහන් ය. එය මට අනාගතයේ මේ පොත ට නවත පැමිණීමට යතුරක් වනු ඇත. ඔබට ද එවැන්නක් ඇවැසි යැයි සිතන්නේ නම් එය භාවිත කරන්න.

===================================================
සිංහල කාව්‍ය සම්ප්‍රදාය දැකගැනීම : දොළොස් වන සියවස පමණ දක්වා වූ යුගය "සිංහල කාව්‍ය සම්ප්‍රදායේ යටගියාව" ලෙසත්, දහතුන්වෙනි, දහහතර වෙනි යුගයේ සිට අද දක්වා කාලය "වත්මන් යුගය" ලෙසත් අමරසේකරුන් හඳුනාගනි. මෙහි වැදගත් නිරීක්ෂණය වන්නේ, "යටගියාව" ත් සමඟ කාව්‍ය වංශයක් වශයෙන් ඇති දුරස්ථබාවය සහ වත්මන් යුගයේ සම්ප්‍රදාය වෙත දක්වන ප්‍රතික්‍රියාවයි. දහසය වෙනි සියවසෙන් අනතුරුව, එනම් රහල් හිමි, වෑත්තෑවේ හිමි, අලගියවන්න මුකවෙටි ගෙන් අනතුරුව, ඒ සම්ප්‍රධාය රැක්කෝ ජන කවීන් බවත් අමරසේකරුන් විශ්වාස කරයි.  තවද, පෙර කී යුග දෙක අතර පරතරයක් තිබුණ ද, අතරින් පතර, ඒ දෙක අතර සබඳතා ද ඇති බවකි, අමරසේකරුන් කියනුයේ. "නිදසුනක් වශයෙන් කෝට්ටේ යුගයේ ලියැවුණු ගුත්තිලය වැනි කාව්‍යයක ඇති මහපියුම් විරිත නමැති ගී ආකෘතිය අර යටගියාවට අයත් වන ගී කව් ඇසුරෙන් පහළ වූවක් බව අපට පෙනී යයි." (16 පිටුව ).  එනුමුදු සිරි ගුණසිංහ සහ ඒ. එම්. ජී. සිරිමාන්න වැනි අය, එවන් වත්මන හා බැඳෙන සම්ප්‍රදායක් තිබුණු බව ප්‍රතික්ෂේප කලෝය.

ගී කාව්‍ය ආකෘතිය: යටගියාවේ ප්‍රධානතම කාව්‍යාකෘතිය ගී ආකෘතිය බවත්, ඉන් අනතුරුව ද කෝට්ටේ - මහ නුවර යුග තුල පවා එය කාලානූරූපීව වෙනස්වෙමින් පැවත ආ බව පැවසේ. කෙසෙ වුවද මෙම ආකෲතියේ සම්භවය ගායනා විලාශය පිළිබඳ විද්වත් මතය නොවිසදුන්නකි. මෙහිදි අප ලේඛකයානෝ පරණවිතාන, යූ. ඩී. ජයසේකර, සෝරත හිමියන් සහ කේ. ජයතිලක ආදීන්ගේ මත පෙන්වා දෙයි. මින් වෙසෙසින් ජයතිලකයෝ මේ ගී කාව්‍ය ආකෘති සම්භවය අප ට ආවේණික එකක් යන්න විශ්වාස කලෝ ය. මේ ආකෘතියේ දෙවෙනි පැණය එය ගායනය කල හැක්කක්ද යන්න ය. එහිදි කියැවෙන්නේ, එකල එය එසේ ගායනා කලා හෝ වේවා, අද වන වීට අදාළ තාලයන් අපෙන් ගිලිහි ගොස් ඇති බවකි. මේ පැණයන්ට පිලිතුරු සෙවීමේ අටියෙන් ආකෘතිය විශ්ලෂණයට අමරසේකරුන් නොපැකිළ සැරසේ. ඒ ව්‍යායාමය උදෙසා, "මහ පියුම් විරිත" හේ සලකා බලන්නේ, සීගිරි ගීයේ මෙන්ම, කෝට්ටේ යුගයේ ත්, භාවිත වූ හෙයිනි. මෙය කට වහර හා බැඳි විරිතක් බව, ගුත්තිලයෙන් නිදසුන් ගෙන පෙන්වන අප කතෘතුමා, අප භාවිතා කරන බොහෝ විරිත් වලට මේ කට වහර මුල් වූ බැව් පෙන්වා දෙයි. අනේක කට වහර ඔස්සේ නිමැවුණු විරිත් නිදසුන් ලෙස ගනිමින්, හේ මෙසේ පවසයි;
"ජනකවීන් විසින් කට වහර ඇසුරෙන් තනාගන්නා ලද ඒ ප්‍රාකෘත ගී ආකෘතිය විදග්ධ කවීන් සම්භාව්‍ය කාව්‍යාකෘතියක් බවට පත් කරන්නට ඇත." (26 පිටුව )  අමරසේකරුන් තවදුරටත් පවසන්නේ ගී ආකෘතිය අරුත් රසය දනවීමට ම ( ශබ්ද රසයට වඩා ) උචිත බවකි.

ගි ආකෘතියේ අග්‍ර ඵලය - අසක් දා කව ද? යනුවෙන් විමසමින්, තෙවෙනි පරිච්ඡේදය, අප සතුව නොවුනද, සිදත් සඟරාව මගින් එක් ගීයක් සහ තවත් කොටස් කිහිපයක් පමණක් නිරූපනය කරන අසක දා කව ගැන විමසීමට අමරසේකරුන් යත්න දරයි. එහි නිධාන කතාව ගැන විමර්ශනය කරමින්, තවුසාගේ චරිතය, බඹදත් රජුගේ චරිතය සහ කුමරියගේ චරිතය ඔස්සේ බුදුදහමේ එන ආශාව සහ එය අතැරීම ගැන රසවත් විමසුමකට කතුවරයා අවස්ථාව උදා කරගනී. අනතුරුව කව්සිළුමිණේ කව් ගී කිහිපයක් උපුටා දක්වමින් එහි ඇති ආටෝපවත ව්‍යාජත්වයෙන් පිතුණු අලංකරොක්ති ගැන කියා පාමින්, ඊට සාපේක්ෂව අසක්දා කව ඇවැසි විස්තර පමණක් කියා පානා අපූරු නිර්මාණයක්ව තිබෙන්නට ඇති බවත්, අනුරපුර යුගයේ අන් ඉහළ තලයේ කලා නිර්මාණ හා එක පෙළ සිටිය හැකි ආරේ උසස් සාහිත්‍යයක් අසක් දා කව මගින් නියෝජනය වන්නට ඇති බවත් පෙන්නුම් කර දෙයි.


සිව්වෙනි පරිච්ඡේදය "සීගිරි ගිය සහ සම්ප්‍රදායක අභාවය"  නමින්, ඒ මැය විමසයි. සරලව ම අමරසේකරුන් ගේ ස්ථානය මෙබඳුය;
"7,8,9 යනසියවස් තුළ ලියැවුණු මේ සීගිරි ගී, අසක්දා කවෙන් ස්වර්ණමය අවධිය වෙත ළං ව ඉන් ඉක්බිති ව ක්‍රමයෙන් අභාවයට ගිය දේශීය කාව්‍ය සම්ප්‍රදායේ අවසන් පුරුක් ලෙස අපි දකිමු."

අමරසේකරුන් පවසන්නේ, සීගිරි ගී රට හුණු කෑල්ලකින් ලියූ ඒවා නොව, ගල් කටුවකින් කොටා ඉතා වෙහෙස මහන්සි වී හෙයින්, සහ බොහෝ විට පත් ඉරුවක ලියා පුරුදු පුහුණව විත් ලියූවා නිසා ඒවා කාව්‍ය සම්ප්‍රදායක පිහිටවූ ඒවා විය යුතු යන බාහිර සාක්ෂ්‍ය භාතයෙනි. මට පෞද්ගලිකව මේ කාරණාව ඉතා සාධාරණ නිරීක්ෂණයක් බවත්, ඒ හේතුවෙන් ම අමරසේකරුන් මෙහි කියන දේ හි යම් හරයක් ඇති බවකි, හැඟෙනුයේ. පරණවිතානයන් ද සීගිරි ගී අවියත් ජනකවීන් ගේ නිර්මාණ නොව, එකල පැවැති කාව්‍ය වංශයක  අවබෝධයකින් ලියූ බවක් පවසයි. අමරසේකරුන් ඊළඟට පිලිතුරු දීමට යත්න දැරූ දෙවෙනි පැණය, මේ සම්ප්‍රදාය කුමක් ද යන වගය. අමරසේකරුන් තමන්ගේ නිරික්ෂණත්, පරණවිතාන සහ ලොකුබණ්ඩාරයන් ගේ "සීගිරි ගී සිරි" කෘතියේ පෙරවදනක් භාවිතාවෙන්, ඒ සම්ප්‍රදාය අසක් දා කවෙන් විය යුතුයැයි ද, ඒ එය එදවස වන විට ශ්‍රේෂ්ඨ කාව්‍යයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබෙන්න ට ඇතැයි පවසයි. අවසන් වශයෙන් සීගිරි ගීය එම දේශිය සම්ප්‍රදායේ පරිහානිය දක්වන්නේය යන මතය ගෙන හැර දක්වයි. ඒ ගීයට "ඇවැසි ශබ්ද ධ්වනිය සපයනු ලබන කට වහරෙහි ගීත ස්වරය", එම ගී වල නැති බවක් පවසයි. ඒ අනුකාරක ලෙස 7,8 සියවස් වල හලන්තය ආදේශ කිරීම ත්, ඒ ලිඛිත සිංහලය කට වහරින් බොහෝ ඈත් බවත් එය සීගිරි කව් වලට ද බලපාන්න ට ඇති බවත් පෙන්වා දෙයි. මේ හලන්ත ආදේශය ගැන බලගල්ලේ මහතා සහ මොරටුවේ ශාසනරතන හිමියන් ලියා ඇති බවත් පෙන්වා දෙයි.

 පෙර පරිච්ඡේදයේ දිගුවක් ලෙස ඇරඹෙන "ගීයේ පරිහානිය" නම් වූ පරිච්ඡේදය ගීයේ සම්භවය ගැන යූ.ඩී. විජේකෝන් සහ පරණවිතානයන්ගේ  දුර්මතයන් ලෙස ලේඛකයා හඳුන්වන මත විස්තර කරමින් අරඹයි. ඒ මත ඛණ්ඩනයට අමරසේකරුන් එළුසඳස් ලකුණේ "නොවිරිත් නමැයි කොවිරිත්" යන්න විෂ්ලේශනය කොට දක්වයි. ඒ "සිංහලයා ගේ කට වහරේ ගීත ස්වරය ආශ්‍රය කොට ලියන ඕනෑම දෙයක් විරිතක් වන බව" ( 54 පිටුව ) පැවසීමෙනි. තව දුරටත් හේ පවසන්නේ හලන්ත බස නැති වුවද ඒ වන විට ඇති වි තිබූ අනුකාරක උගතුන් හේතුවෙන් ගී කව් තුන ( මුවදෙව්දා වත, සසදා වත, කව් සිළුමිණ ) මාත්‍රා ගණනේ උවමනාව පමණක් පුරවමින් යාන්ත්‍රිකව නිමැවූවක් ලෙස අමරසේකරුන්ගේ දැඩි විවේචනයට ලක් වේ.


සවෙනි පරිච්ඡේදය "අනුකාරක ගී කව් තුන හා කව්සිළුමිණෙහි විශේෂත්වය", ගැනය. මෙහි ගී කව් තුන යනු, මුවදෙව්දා වත, සසදා වත සහ කව් සිළුමිණයි. හේන්පිටගෙදර ඤාණසීහ හිමි මතය හා එකඟ වෙමින් අමරසේකර ද මෙහි මුල් කෘති දෙක "සිංහල කවීන්ට අලංකාරවාදය" ඉගැන්වීමට" ලියූව ක් බවත්, කව්සිළුමිණෙහි පවා කවීත්වය පවා මතු වන්නේ එහි ඇති අලංකාරවාදි පඹගාල ඉවත්කල් පසුව බවත් පවසයි. යූ. ඩී. ජයසේකර, මාර්ටින් වික්‍රමසිංහ මතයන් හා එකඟවෙමින්, අමරසේකර පවසන්නේ කව්සිළුමිණෙහි මධුපානෝත්සවයහි පවතින්නේ එය හුදෙක් වර්ණනයක් නොව, "කාමාසක්ත රජු අන්තංපුර ස්ත්‍රීන් සමඟ මධුපානය කරමින් හැසිරුණු ආකාරය අප ඇස් හමුවෙහි දැක්වීම"ක් බවයි. මීට අමතරව කුස විරහ වර්ණනාව සහ පබවත වැලපීම ද රසවත් කොටස් ලෙස හේ අඳුන්වයි.

අමරසේකරුන් මෙහි වෙසෙස් කාරණාවක් මතු කරයි. පෙර විචාරකයින්, කව්සිළුමිණේ රජුගේ කාමාසක්ත බව පිළිබඳ විචාරන්නේ බෞද්ධ සංස්කෘතියේ පිහිටා මුත්, කාව්‍ය රචනයේ දී අලංකාරවාදය ට මෙන්ම එකල ප්‍රකට ගූඪ දර්ශනයක් හිසින් හා හදින් ගත්, අනූන කවිශක්තියකි යුතු අනුකාරකයෙක් ලෙස අමරසේකරුන් කව්සිළුමිණ කර්තෘ අඳුන්වයි.

සත්වෙනි පරිච්ඡේදය, "සම්ප්‍රදාය රැකගත් ජනකවි පරපුරක් වී ද?" යන පැණයට පිලිතුරු සොයයි. අමරසේකර මෙහි දි එක් ධර්මතාවක් ගැන කතා කරයි. එනම් කිසියම් කලා සම්ප්‍රදායක්, පොදු ජනයාගෙන් ඈත්ව, සීමිත විදග්ධයින් අතර රැඳුනු කල එය නොබෝ කලකින් අභාවයට යන අතර, එය රැකෙනවා නම් රැකෙන්නේ කලානුරූපීව වෙනස්වෙමින් පොදු ජනතාව අත වැඩෙන සම්ප්‍රදාය මත පමණක් බවත් ය. අමරසේකර, වික්‍රමසිංහ, ජයසේකර හා එකඟ වෙමින් පවසන්නේ ගී කව් තුන ලියැවෙන යුගයේ ඊට සමගාමීව පැවතුන ජන කවි සම්ප්‍රදායක් පැවති බවයි. ජයසේකර, සසදාවතේ මේ ජන කවි සම්ප්‍රදාය ගැරහුමට ලක් කිරීම මගින්, එවැන්නක්  තිබුණු බව පෙන්වා දෙයි. අනෙක් නිදසුන පැහැදිලි වශයෙන් ම සීගිරි ගී ය. පෙර ද සඳහන් කොට ඇති අයුරින් එළු සඳැස් ලකුණේ එන අසක් දා කවේ කවි හා පද නිදර්ශන කිහිපයෙන් ද මේ අන් සම්ප්‍රදාය ගැන පසක් වේ.


අටවෙනි පරිච්ඡේදය වූ, "යටගියාවට පසුබිම් වූ ආර්ථ්ක සංස්කෘතික රටාව", පටන්ගන්නේ මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා කවියා ගේ "සිංහල සැහැලි" නම් නිබන්ධයේ, පහළ උපුටනයෙන් ය.
"උගත් නූගත් භෙදයක් නොමැතිව 6  ශත වර්ශයේ දී මහජනයා සඳහා සිංහල පද්‍යයක් වීය... සත්වන ශත වර්ෂය නිර්මල සිංහල ආරම්භයේ ආදී ම ස්වර්‍ණ යුගය වශයෙන් ඉදිරිපත් වන්නේය...  ආරම්භයේ දී මෙවැනි තත්වයක පැවැති සිංහල කවියත්, කවිකමත් 9 ශත වර්ෂය පමණේ දී පුදුම වෙනසකට භාජන වූ බව පෙනේ. නිදහසේ මූර්තිය වූ කවියාට නිදහස් ව සිතීමටත් ප්‍රකාශ කිරීමටත් නිදහස නැති විය." "හත්වන සියවස පමණ වන තෙක් චූල මහා යනුවෙන් බෙදා වෙන් කළ නොහැකි සංස්කෘතියක් අප අතර තිබෙන්නට ඇති බව", අපගේ කලා ශිල්ප, ගල් කැටයම්, ශිලා ලේඛන, සාහිත්‍ය ක්ෂෙත්‍ර දෙස බලා පරණවිතාන, වික්‍රමසිංහ වැනි විද්වතුන් ප්‍රකාශ කල බව අමරසේකර මතක කරයි. මෙහිදි අමරසේකර අප රට පාලන ව්‍යූහයේ සිදු වූ යම් වෙනස්වීමක් එය පසුකාලීනව සාහිත්‍ය ට බලපෑ අයුරු පෙන්වා දීම උදෙසා  යම් ප්‍රවේශයක් ගනී. ට්‍රෙවෝ ලිං ගේ බුදු දහමේ ඉතිහාසය නැමැති කෘතියෙන් බෞද්ධ රාජ්‍ය වූ කලී ත්‍රිකෝණාකාර බල මඬුල්ලක් බවත්, නුමුදු සද්ධාතිස්සගෙන් පසුව සංඝයා ගේ අනිසි බලපෑම් නිසා මුළු රාජ්‍යතන්ත්‍රය ම දෙදරා ගියයුරු ද, මහා පරාක්‍රමබාහු රජතුමා රුහුණේ රාජ්‍ය ග්‍රාම රාජ්‍ය  පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් එතුමාගේ රාජ්‍ය තන්තය එතරම් කලක් නොපැවතීම ගැන ද, එම මූලය භාවිතා කොට පෙන්වන එතුමා ඊට සමාන විග්‍රහයක් පී.බී. රඹුක්වැල්ල මහතා ගේ කෘතියකින් ද ( Commentary on Sinhala Kingship) පළ වෙන බව පෙන්වා දෙයි. රඹුක්වැල්ලේ ගේ කෘතියෙන් පවසෙන අප රාජ්‍ය ආකෘතියේ පරිණාමය ( හා පරිහානිය ) ගැන පිටු දෙකක් පමණ කතා කරන අමරසේකරයන්, මුද්‍රණයේ නැති එම පොත මහත් අපහසුවෙන් හෝ සොයාගෙන කියවීමට මා පෙළඹුවේ ය.

(නමවෙනි පරිච්ඡේදය,) "වත්මන් යුගය: සිංහල කවිය යළි පොදුජන කවියක් වීම", සිංහල කවියේ වත්මන් යුගය දහතුන් වන සියවසෙන් ඇරඹෙන් බවත්, ඉන් පසුව ලැබූ පොදු ජන ලක්ෂණය එතෙක් මෙතෙක් ආරක්ෂා වී ඇති බවත් පවසයි. ඊට දඹදෙනි යුගයේ පෙර කී ත්‍රිකෝණාකාර බලමුඬුල්ල යම් ආකාරයකට යළි ස්ථාපිත  වීම ත්, දෙවැනි පැරකුම්බාවන් වන් නිරිඳෙකු පහළ වීම ඊට සාක්ෂි සපයන බවත් පවසයි. දොළොස්වෙනි සියවසෙන් පසුව "සිංහල බුද්ධාගම" ක ලක්ෂණ නැවත මතුවුන බවත් අමරසේකර පෙන්වා දෙයි.මෙහි දී අමරසේකර වික්‍රමසිංහයන් තමන් හා කී කතාවක් මතක් කරයි; "බුද්ධඝෝෂ සී. අයි. ඒ. කාරයෙක්", යන කතාව, බුදුගොස් හිමියන් මෙහි පැමිණ හෙළ අටුවා පාලියට පෙරලීම සිංහල බුද්ධාගමේ දිය වී යාමට හේතු වූ තම මතය හා ගැලපෙන බව පෙන්වා දෙයි.ඉන් අනතුරුව මාහායානික බලපෑම වැඩි වූ බවත්, මහ පැරකුම්බාවන්ගේ තුන් නිකායන් එක්කාසුවෙන් වුව මහායාන පරජය නොවුණු බව මොරටුවේ ශාසනරතන හිමි උපුටමින්, හේ පෙන්වා දෙයි. දොලොස්වෙනි සියවස පමණ වූ විට නැවත පනක් ලැබූ සිංහල බුද්ධාගම හමුවේ ගුරුළුගෝමින් ධර්මප්‍රදීපිකාව සිංහල, පාලිය සහ  සංස්කෘත මිශ්‍රිත බසකින්  ලියා පර්යේෂණ කොට ලියූ අයුරු ද, එහි අසාර්ථකත්වය මැද, නොවියත් ජන ප්‍රසාදය උදෙසා වඩාත් සරල බසකින් අමාවතුර ලියූ බවද පවසයි. තවදුරටත්, පුංචිබණ්ඩා සන්නස්ගල ධර්මප්‍රදීපිකාව "සිංහල ගද්‍ය සාහිත්‍යයේ මුල් පොත" ලෙස සැලකීම සදොස් බවත්, එම ස්ථානය අයත් විය යුත්තේ අනෙකක ට නොව "ජාතක පොත" ට බවටත්  හේ තවදුරටත් පවසයි. එහි එන මිශ්‍ර බස, අප වහරන බස ට ආසන්න බව අමරසේකර පෙන්වා දෙයි.

කෝට්ටේ කවියේ වදන් කෝෂය, යොදාගත් කාව්‍යාකෘති, කාව්‍ය නිර්මාණ ස්වරූප  ගවේෂණය, යන තුන් සාධකයන් ගවේෂණයෙන් කෝට්ටේ කවීන් සිය නිර්මාණය උදෙසා ජනකවියෙන් ආභාෂය ලත් බව දහවෙනි පරිච්ඡේදයෙන් පෙන්වා දෙයි.  සිංහල භාෂාවේ වත්මන් යුගය දඹදෙණි-කෝට්ටේ යුග වලින් ඇරඹෙන බවත්, ඊට සාක්ෂි වශයෙන් සැල්ළිහිණියේ කවක් ගෙන නිදසුන් පෙන්වා දිය හැකි බවත් කතුවරයා පවසයි. කෝට්ටේ යුගයේ ප්‍රධානත ම ආකෘති වන සිවුපදය සහ මහපියුම්, ජනකවියෙන් ලබාගත් බව ඉහත දෙවෙනි සාධකය ඔප්පු කරලීමට කතුවරයා ඉදිරිපත් කරයි. විල්ගම්මුල හිමියන්ගේ සඳකිඳුරුදා කව, ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරය සහ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය එකම පර්යේෂණ දිශාවක ක්‍රමික වර්ධනයන් බවත්, පළමුවැන්නේ වියත්-ජන කවි සිරුරු වල යාන්ත්‍රික එක්කාසුවක් බවත්,  දෙවැන්න සංස්කෘත අලංකාරයේත්, දේශීය මාර්ගයේත් සංකලනයක් බවත්, ගුත්තිලය පරිසමාප්ත කවියක් බවත් හේ පවසන්නේ, ඊළඟ පරිච්ඡ්ජේදය ගුත්තිලය වෙනුවෙන් වෙන්කරමිනි.

"ගුත්තිලය සහ ගුත්තිල විචාර විචාර" නම් වූ එකොළොස් වෙනි පරිච්ඡේදය මෙහි එන වැදගත් රචනාවක් යැයි සිතමි. හේ මෙහි වෙසෙසින් මාර්ටින් වික්‍රමසිංහයන් සහ යක්කඩුවේ පඥ්ඥාරාම හිමියන් යන දෙපොළ මේ කාව්‍ය පිළිබඳ ලියූ විචාරයන් ද පිරීක්සයි. ඒ දෙපොළ අතර විවාදයට ප්‍රමුඛ කරුණ වී ඇත්තේ, වික්‍රමසිංහයන් වෑත්තෑවේ හිමියන් මූසිලයන් දුදනෙකු ලෙස පණ පොවා, චරිතයට අසාධාරණයක් සිදු කොට ඇතැයි යන ස්ථානයේ සිටීමත්, යක්කඩුවේ හිමියන් ඊට විරුද්ධ වීමත් ය. මේ කාරණා දෙක අතර ස්ථානයක් ගන්නා අමරසේකරුන්ගේ මතය මා සිත් ගත්තේ ය. ඔහු පවසන්නේ කවියෙකුට නවකතාකරුවෙකු තරම් නිදහසක් නැති අතර, කවිය රස නිෂ්පත්තිය ම වැදගත් ලෙස සලකන හෙයින්, කවිය විප්ලවවාදි හෝ නූතනවාදි වීම අත්‍යවශ්‍ය නොවන බවත් ය. රස නිෂ්පත්තිය ම වැදගත් ලෙස සලකන හෙයින් චරිතයන් හට විකල්ප මුහුණුවරක් ලබා දීම අත්‍යවශ්‍ය නොවන බවකි. මා මේ මතයට කැමති මා ඊට එකඟ වන නිසා නොවේ. කෝට්ටේ යුගයට එය අදාළ වුව ද එය අද දවසට කෙතේම් අදාළ ද යන්න මතභේදාත්මකය. එහෙත් අමරසේකරුන්ගේ ආස්ථානය - එනම් අප රසිකයන්ගේ හදවතට වඩා ලබැඳි ගී කව් ආරම භාවිතා කොට සංස්කෘතික රාමුව ට විරුද්ධ නොවී ශ්‍රේෂ්ඨ කවියක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන ඔහුගේ ආස්ථානය සංඝතව ඉදිරිපත් කර ඇති අයුරු හේතුවෙනි.

දොළොස්වෙනි පරිච්ඡේදය, "සිවුපදය සහ එළියක් ගත් ගීය", නමි. දඹදෙනි යුගයත් සමඟ ගීය අභිබවා සිවුපදය ඉදිරියට  ආ බවත්, ශබ්ද ධ්වනි මාර්ගයට මුල් තැනක් දෙන ජනකවීන් හේතුවෙන් එසේ වූ බවත් පවසමින් අරඹයි. කොළඹ කවීන්  සිවුපදය කෝකටත් තෛලයක් කර ගැනීම හේතුවෙන්, මෑත කාලයේ සිවුපදය අවතක්සේරුවට ලක් වුව ද, කෝට්ටේ යුගයේ දී සිවුපදය අර්ථ ධ්වනියට මෙන්ම, ශබ්ද ධ්වනියට ද සම වැදගැම්මක් දුන්නෝය. අනතුරුව සිවුපද විරිත අපතාල සහ තලාත්මක ලෙස දෙවිදියක් වන බවත්, නිදසුන් සහිතව කතුවරයා පෙන්වයි. සරච්චන්ද්‍රයන්, වෑත්තෑවේ හිමියන් ගුත්තිලය රචනාවේදී කෙතෙරම් සූක්ෂම කව්බැඳීමක නිරත වී ඇත්දැයි සාක්ෂි සහිතව ඔහුගේ "සාහිත්‍ය විද්‍යාව" කෘතියේ පෙන්වා දී ඇත. අමරසේකරුන්, සරච්චන්ද්‍රයන්ට උපහාරයක් ලෙස පිටු දහයක් පුරා ගුත්තිලයේ ඒ ඒ ආඝාත බෙදීම, ඒ ඒ කොටස ට වඩාත් උචිත ලෙස භාවිත කොට ඇති අපූරුව සාහිත්‍ය විද්‍යාව කෘතියෙන් ම උකහා මෙහි පළ කොට ඇත. එය විෂයීක වශයෙන් කිහිපවිටෙක මගේ හිස මතින් ගිය ද, එම උපුටනය මගින්, සාහිත්‍ය විද්‍යාව කෙතරම් වටිනා ග්‍රන්ථයක් ද යන්න ඒත්තු ගන්වයි. වෘතය, ආඝාතය, මාත්‍රා, ගුත්තිලයේ එන සලෙලුන් සුරා බීම විස්තරයට කෙසේ භාවිත වීද, ඔවුන් ගේ ගී හා නැතුම්  විස්තරය හා කෙසේ භාවිත වීද, සුරඟන රැඟුම් වැණීම ට කෙසේ භාවිත වීද ආදි වශයෙන් සවිස්තර මේ කොටස ඉතා ම රසවත්ය.


සන්දේශ කාව්‍ය බිහි වූ කෝට්ටේ යුගයේ විශිෂ්ඨම කාව්‍ය සංග්‍රහය ලෙස සැලකෙන සැලළිහිණි සන්දේශය වෙත වෙසෙස් අවධනයක් දහතුන් වෙනි පරිච්ඡේදයෙන් යොමු වේ. කාලිදාස ගේ මේඝදුතය ආභාශයෙන් අප කවීහු ද බොහෝ නිර්මාණ ඉදිරිපත් කල ද, තොටගමුවේ ශ්‍රී රහුල හිමියන්ගේ සැලළිහිණි සන්දේශය හැර අන් නිර්මණ විශිෂ්ඨත්වයට ලඟා නොවීය. මෙහි එන වෙසෙස් විග්‍රහයන් දෙකකි; අර්ථ ධ්වනි නිෂ්පාදනය උදෙස, බසක වදන්වල නිදන් ව ඇති  ව්‍යංග්‍යාර්ථ උපයෝගි කිරීමත්, ශබ්ද ධ්වනිය පහළ වීමට වචන වල් ඇති ශබ්දය, ඒ වචනවල වාහකය වන විරිත සහ තාලය, එළි සමය, අනුප්‍රාසය භාවිත වන බවත් පෙන්වාදීම, එයයි. සැලළිහිණි සන්දේශය මෙතරම් රසවත් වීමට ප්‍රධාන හේතුව ලෙස අමරසේකර මෙන්ම සරච්චන්ද්‍රයන්ද දකින්නේ, සිය දූතයාට ආදේශ කර ඇති මානූෂිය ගුණයයි. නැවත වතාවක් අමරසේකර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය විද්‍යාව උපුටනයේ, සැලළිහිනියේ එන කවි ගැන සුවෙශේෂි විචාරයක් එතුමානෝඅ කර ඇති බැවිනි (ඇත්තෙන්ම සාහිත්‍ය විද්‍යාව සුපිරිම පොතක් විය යුතුය )
පැහැසරණිය මිණි පැමිණිය කොත් අග ට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්           වට
නොව පැරණිය වන රමණිය විටින්      විට
සැළලිහිනය වදු කැලණිය පුරවර            ට

කාව්‍යය ගැන සරච්චන්ද්‍රයෝ කෙරෙන වාග් විග්‍රහය මෙසේය;
"පද්‍යයකට ඇතුළත් වචනවල ව්‍යංගර්ථ කෙමෙන් එකට එක ගෙතී කෙළවර දී අපූරු රටාවක් මතු වූ කලක් මෙන් අමුතු ම ධ්වනියක් පැන නැගීම වූ කලි නියම ධ්වනි කාව්‍යයක ලක්ෂණයයි... 'පැහැසරණිය','මිණි පැමිණිය', 'බඳ කිකිණිය', 'දද ගිහිණිය', 'නොව පැරණිය', 'වන රමණිය' යන එළිසම පද හිණි මගක පෙති සේ අඩියෙන් අඩියට නැග ගොස් 'වදු කැළණිය' යන්නෙන් උච්චස්ථානයට පැමිණ කෙළවර වන අයුරේ හැඟීමක් රසිකයා තුළ ජනිත වේ." ( 161 පිටුව )

"වියත් කවියෙහි අවසානය" නම් වූ 14 වෙනි පරිච්ඡේදය කෝට්ටේ යුගයෙන් පසුව උදා වූ පෘතුගීසි උවදුර හමුවේ අප කවිය මුහුණ දුන් ගැටළුත් එහි පැවත්ම උදෙසා වෙසෙසින් අලගියවන්න මුකවෙටි කවියා ගේ කාර්‍යබාර්ය තක්සේරු කිරීමත් ඇතුලත් ය. ඔහුගේ කාර්යබාර්‍යය කෙතෙරම් ද කිවහොත්, ඔහු හා ඔහු මග ගිය අන් කවීන් ඒ යුගයේ නොසිටින්න වත්මනයෙහි වසන කවීන්ට එම සම්ප්‍රදාය සොයා ගත නොහැකි වනු ඇතැයි ලේඛකයා සිතයි.
"සම්ප්‍රදාය සොයා යෑම යනු මළගිය යටගියාව කැණීමක් නො වේ; සජීව ප්‍රවාහයක් ඔස්සේ පිය නැඟීමකි." ( 169 පිටුව )
 15 වෙනි පරිච්ඡේදය "සිලෝව සහ සැහැල්ල", නමි.  සිලෝවේ මූලය ඇත්තේ, සංස්කෘත ශ්ලෝකයේය. අමරසේකරුන් පවසන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ ශ්‍ර්‍රේෂ්ඨ නිර්මාණය වූ පිය සමර ට සිලෝ විරිත භාවිත කල බවකි. සිලෝව වඩාම සුදුසු වන්නේ භක්තිය, ප්‍රේමය ආදී තියුණු භාවාවේගයන් ප්‍රකාශනයට බවත්,  තම පියා වෙත වූ බැතිපෙම ප්‍රකාශයට නිර්මාණය කල පිය සමර මීට නිදසුනක් බවත් හේ පවසයි. ඉන් අනතුරුව එළිසමය සහිත තාලාත්මක සිවුපදය ඉතා ජනප්‍රිය වූ අවධියක, එයට හාත්පසින් වෙනස් මෙ වැනි ආකෘතියක් නිමවාගැනීමට, කෝට්ටේ යුගයේ කවීන් මෙහෙයවූයේ ඇයි ද යන්න විමසයි.ප්‍රතිභා ශක්තියෙන් හීන කවීන් අත සිවුපදය ශබ්ද රසයක් පමණක් බවට පත් වූ හේතුවෙන් - එනම් අර්ථ ධ්වනිය දෙවෙනි තැන දීමෙන් - අරුත් රසයට මුල් තැනක් දීමේ අටියෙන් එළු සිලෝවේ ආරම්භය සිදු විය.

විරිත් සුවඳ ගෑවුණු හෙවත්, පද්‍යයට ඉතා ආසන්න ගද්‍ය විශේෂයක් ලෙස සැහැල්ල අමරසේකරුන් හඳුන්වා දෙයි. මෙම සැහැලි විරිත භාවිතාවෙන් අමරසේකරුන් විසින් ම රචනා කල භාව ගීත කාව්‍ය සංග්‍රහය ගැනත්, ඔහු ප්‍රචලිත කරන්නට යෙදුන 'පස්මත් විරිත', එය නිදහස් කවීන්ගේ  ප්‍රියතම විරිත බවත්, සුනිල් ආරියරත්නයන් තම නූතන කාව්‍ය සංහිතා කෘතියෙහි සඳහන් කොට ඇති බවත් හේ පවසයි.

අද්‍යතන යුගය නම් වූ දහසය වෙනි පරිච්ඡේදය ඉතා වටිනා එකක් වන්නේ මෑත කාලය ගැන සඳහන් වූ විස්තර නිසා ය - එනම් විසිවෙනි සියවස ගැන ය.
පැරණි කවීන් ගේ අවධිය - ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන, ජී.එච්. පෙරේරා ; කෝට්ටේ යුගයේ කවීන්ගේ කවි මඟ අතැඹුලක් සේ දත්, බසෙහි ධ්වනිතාර්ථ ගැන අවබෝධයක් තිබූ, එහෙත් පැරණි විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් තම වටපිටාව, කාලීන මාතෘකා පිළිබඳ කවි නිර්මාණ සුදුසු කවි බසක් නොවූ කවීන් කොටසකි.
"සහෘදයා කාව්‍ය නිර්මාණයකින් පතන තමාගේ හදවතට සමීප වන අද්‍යතන අනුභූතීන් නොලැබෙන විට ඔහු ඒ කාව්‍ය නිර්මාණය පිටුදැකීම සහේතුක වෙයි." (183 පිටුව )

මේ කවීන්ගෙන් සිදු නොවූ කාර්‍යබාර්යයක් ඉටුකරනු වස්, එනම් සහෘදයාට තමා අවටැති කෝකය - ජීවිතය දැකගනු වස්, රසිකයා ඉල්ලා සිටි කාර්‍යයක් ඉටු කිරීමටය කොළඹ කවීන් බිහි වූයේ. ඔවුන්ගේ තිබූ විශේෂ ලක්ෂණය වූයේ වෙසෙස් කවි බසක් නොවීමයි.  කොළඹ කවීන් විෂයෙහි ලා අමරසේකරගේ විවේචනය බලවත් ය. ඔහු ඊට හේතු ලෙස දකින්නේ අනුකාරයකයින් බිහිකරනා අධ්‍යාපනයයි.  ඔවුන් පැරණි පද්‍ය - ගද්‍ය ඉගෙන ගත්තේ රස විඳීමට නොව, ශාස්ත්‍රීය අංගයක් ලෙසටය.

"ඉංග්‍රීසි 'පොයට්‍රි' රස විඳින්නට පුළුවන් නම් උපන් දා සිට දන්නා සිංහලෙන් කවි ලියන්න වෙනම ම කවි බසක් ගැන දැනගෙන හිටින්නට ඕනෑ ද? ඒ තරුණ පිරිස් මෙසේ කල්පනා කළේ නම් ඔවුන්ට දොස් පැවරීම යුතු නො වේ." ( 187 පිටුව )

එහෙත් කොළඹ කවීන් අතින් සිදු වූ සිව්පදය දූෂණය හේතුවෙන් අද ද  එම ආකෘතිය පිළිබඳ ඇත්තේ නොපැහැදීමකි.

තෙවෙනි යුගය වූයේ නිසදැස් යුගයයි. ජී. බී. සේනානායකයන් එහි පුරෝගාමියෙකු බව අමරසේකරුන් අඳුනා ගෙන ඇත. බටහිර free verse අනුකරණයෙන් බිහි වූ නිසඳැස වියතුන් අතින් කෘතීම ව බිහි වූවක් බවත්,  කාව්‍යාතියක් බිහි විමට ඇවසි පොදු ජනතාව තුලින් ස්වභාවිකව බිහි නොවීමත් එහ් උපන් ගෙයි දෝෂ ලෙස අමරසේකරුන් දකියි.

"වියතුන් නැතිනම් වියත් කවීන් විසින් කරනු ලබන්නේ ඒ පොදු ජනයා විසින් නැත් නම් ජනකවීන් විසින් නිර්මාණය කරනු ලබන ඒ කාව්‍යාති ඔපමට්ටම් කර සිය කාර්යය සඳහා යොදවා ගැනීමයි." ( 192 පිටුව )

දහ හත් වෙනි පරිච්ඡේදය "සරච්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍ය" කෙරෙහි අවදානය යොමු කරයි. ඒ එම දෘශ්‍ය කාව්‍ය ආද්‍යතන කාව්‍ය කෙරෙහි බලපෑමක් නොවුනේ මන්ද යන්න හේතුවෙනි.  සරච්චන්ද්‍රයන් වත්මන් පරපුරට දහතුන් වෙනි සියවසේ සිට පැවත එන කවි බස වත්මනෙහි භාවිත කල යුත්තේ කෙසේද යන්න පෙන්වා දුන්න ද, එම අද්‍යතන යුගයේ විෂය ක්ෂේත්‍රයට අදාළ වන්නේ ද යන්න ගැටළුවක් වූයේ ඔහු තම නාට්‍ය වලට විෂය කලේ බොහෝ විට බෝසත් චරිත ආශ්‍රිත කතා හෝ අතීත කතා නිසා ය. අමරසේකරයන් අනෙක් හේතුව ලෙස දක්වන්නේ අනුකාරක ඉංග්‍රීසි උගතුන් විසින්  සිංහල සාහිත්‍ය කලාව ඇගයීමට ලක් වීමයි. මේ කරුණ කෙතෙරම් සාධාරණ විවේචනයක් ද යන්න සැක සහිතය.

දහ අට වෙනි පරිච්ඡේදය "කුමරතුංගයන් ගේ 'පිය සමර'" නමි. එළු සිලෝව කාව්‍යාතියක් ලෙස භාවිත කල කුමරතුඟුන් තම පියා ගැන මතකයන් අවදි කරලීමට භාවිත කොට ඇති ආකෘතිය උචිත බවට අමරසේකරුන් පවසයි. කලකට පෙර මෙවන් ආකෘති ගැන කිසිදු අවබෝධයක් නොතිබූ යුගයක මම ද මේ කාව්‍ය සංග්‍රහය කියවූවෙමි. මෙහි සඳහන් ව ඇති වික්‍රමසිංහයන්ගේ විචාරය වඩාත් ඔබින බවකි මට ද සිතුනේ.
"කුමාරතුංග තමාගේ ඒ අත්ඩැකීම් තම පියා හා නෑයන් පිළිබඳ වූවක් යන හැඟීම බැහැර කොට දකුණු පළාතේ සිංහල පවුලක උපන්නකුගේ පොදු අත්දැකීමක් ලෙස ගෙන තවත් චරිත හා අවස්ථා ඇතුළු කිරීමෙන් කාව්‍යයක් වන්නේය." (208 පිටුව ),

යන්න එයයි. අමරසේකරුන් කරුණු තුනක් අරඹයා එළු සිලෝ ආකෘතියම උචිත බව පවසයි. එනම් ඒ වන විට දහ අට මත් විරිත එහි ශාඛ්‍යතාව වනසාලන අයුරින් අධි භාවිත වී තිබීම, භක්ති කාව්‍යයක් හේතුවෙන් එහි ඇති උචිතතාව සහ වර්තමානයට උචිත කවි බසක් තැනීමේ උවමනාව ලෙස ඔහු දක්වයි.

දහ නම වෙනි පරිච්ඡේදය හමාර දෙසුම යි. වෙසෙස් ලෙස අමරසේකරුන්ගේ දේශපාලන දෘෂ්ඨිය ඔහුගේ ආස්ථානය කෙසේ ද යන්න මත රඳා පවතින බව පැහැදිලිය.

Monday, 15 July 2019

නව කවි සලකුණ - ලියනගේ අමරකීර්ති


ලියනගේ අමරකීර්ති ගේ "නව කවි සලකුණ" නම් වූ අපූරු කෘතිය කියවීමි.

එය,
- වර්තමාන සිංහල කවිය,
- එහි දැනට ප්‍රධාන කවීන් වන ආරියවංශ රණවීර, එරික් ඉලයප්ආරච්චි සහ නන්දන වීරසිංහ ගේ කාර්යබාරය විවිධ මාතෘකා ඔස්සේ ගවේෂණය කිරීම
 - ඒ මාතෘකා ඔස්සේ සාකච්ඡාව ට නවක කවීන් ගේ නිර්මාණ ද ඇතුලත් කරලීම
 - කවියේ දාර්ශනිකත්වයේ සියුම් පිහිටීම්
 - ඓතිහාසික මිනිස් අරගල හා සාධාරණවය හමුවේ කවියා ගේ ස්ථානය,
 පිළිබඳ අපූරු රචනා වලින් හෙබිය.

 පහත  ඇත්තේ, මා මේ කෘතිය මාස දෙකක ට අධික කාලයක් සීරුවෙන් කියවාගෙන යද්දි, කෘතියේ සියළු මාතෘකා සහ බොහෝ උප මාතෘකා පිළිබඳ ලියූ අදහස්, හා සිතුම් ය. ඒ මෙවන් වැදගත් සහ ශාස්ත්‍රීය ඝණත්වයකින් යුතු කෘතියක ට නැවත දවසක මට කිමිදීමට පහසු යතුරක් නිර්මාණය කාරලීමේ අටියෙන් ලියූවකි (එය මට ම ලියූවකි. ඒ නිසා මේ දීර්ඝ, වචන 3500 ට අධික රචනාව කියවීම, ඔබ මේ කෘතිය කියවීමට දරණ උනන්දුව මත පමණක් තීරණය වේ). විෂයානුබද්ධ කෘතියක් හෙයින්, පොත කියවීමට සිතැත්තෙක් හට එය කියවීම පිතුවහලක් වීමට ඉඩ තිබේ.

මේ අමරකීර්ති ගේ මා කියවූ පළමු විෂයානුබද්ධ කෘතියයි ( පොත් රාක්කේ තව පොත් කිහිපයක් ම ඇත - පහණ සහ කැතපත, අමුතු කතාව, කෙටි කතා කලාව ).  මේ කෘතිය ට විචාර ලිවීම ට මා අපොහොසත් ය. මා යම් පෝෂණයක් ලත් ශාස්ත්‍රීය කියවීමක් බවට ඉඳුරා කිව හැක. මට අමරකීර්තිගේ ප්‍රබන්ධ සාහිත්‍ය ගැන ඇත්තේ මිශ්‍ර සිතුවිලිය. එහෙත් මෙවන් කෘති ලියන්නේ නම්, ඒ ශාස්ත්‍රීය කෘති අනාගතයේ ද කියවීමට බලාපොරොත්තු වන බව කියමි. මෙවන් දැනුම් සම්භාරයක්, අනාගත කියවීම අලුත් මානයකට ගෙන යන කෘතියක් ලිවීම හේතුවෙන් ඔහු වෙත කෘතවේදි බවක්, ස්තූතිපූර්වක ගෞරවයක් ඇති වන්නේ, හේ කියනා සමහර දේශපාලන කාරනා පිළිබඳ එකඟ නොවෙනා අතරය.

ඉතින් මුළු ලිපිය නොකිතවන්නියට කීමට ඇති  අවසන් වාක්‍යය මෙපමණකි.

ඔබ මේ ශාස්ත්‍රීය කෘතිය මුල සිට අගට සමීපව කියෙව්වේ නම්, ඔබගේ අනාගත කවි කියවීම, වෙසෙසින් සිංහල කවි කියවිම, වෙනත් මානයකට යනු ඇත !

================================================================

"සමකාලීන කවිය පිළිබඳ න්‍යායික සහ සනිදර්ශනාත්මක සම්භාශණයක්" යන විස්තෘත උප නාමය රැගත්, මේ කෘතිය කියවුවෙමි.


එය ඇරඹෙන්නේ පසුබිම නොහොත් පිවිසුම නම් වු පෙරවදනක් මෙන් වූ රචනාවකිනි. එහි දී ඔහු මෙතෙක් කවිය ගැන ලියවුණු විචාර කෘති කිහිපයක් ගැන ලුහුඩින් කතා කරයි. වික්‍රමසිංහයන්ගේ "නව පද්‍ය සිංහලය", ආරිය රාජකරුණා ගේ "නූතන සිංහල කාව්‍යය", ඒ. එම්. ජී. සිරිමාන්නගේ "විචාර මාර්ග සංසන්දනය", අමරසේකරගේ "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" යන කෘතීන් සිංහල කාව්‍ය, වෙසෙසින් නූතන සිංහල කාව්‍ය පිළිබඳ විමසුම් කරන කෘතීන්  හි ගුණ දොස් ගැන සාරාංශ කරනා ලියවිල්ලකි. මම මේ කෘතිය හා සමගාමීව, අමරසේකරගේ "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" ද කියවීම ඇරඹීමි ( මෙය ලියනා විට, එය තවම කියවා අහවර නැත ). නූතන කවීන් වන ආරියවංශ රණවීර, එරික් ඉලයප්ආරච්චි සහ නන්දන වීරසිංහ ගැන අමරසේකර ගේ නිහඬතාව ප්‍රශ්ණ කරන අමරකීර්ති, අමරසේකරගේ  "හදබස" භාවිතාවෙන්, කාව්‍යකරණයේ මේ කවීන් නිර්මාණයේ යෙදෙන බව මතක කර දෙයි. ඒ අතර ම, "ඇවිත් යන පක්ෂියෙකු"  කියන දෑ, වෙසෙසින් ඔහු ෆූකෝ සහ ඩෙරිඩා ආදීන් ගැන සරල ආරෙන් ලිවීම, එම විද්වතුන් ගැන අන්තවාදීන්ට ද කතා කිරීමට අවස්ථාව ලබා දීමට උඩ ගෙඩි දීමකැයි කියන කීම ගැන මා පුදුම වුනෙමි. තම විරුද්ධවාදියෙකු පවා දැනුමෙන් ආම්පන්න වීම නරක ද ? විටෙක අයෙක් තව අයෙකු ගැන දෙයක් කීම මගින්, ඔහු හෝ ඇය හිතනවා ට වැඩිය ඒ කියන කෙනා ගැන හෙළිදරවු වීම් පිළිබඳ නිදසුනක් ලෙස මා එය දිටිමි.

කෘතිය, රචනා පහකින් සපිරිය -
පළමුවැන්න, "සක්‍රීය රසිකත්වය, කවිය සහ රූපකය",නමි.
නූතනවාදි ගුරුකුලය තුල, තමන් පිළිබඳ වූයේ තරමක් උඩඟු සිතුවිල්ලකි. මෙය මා ද මෑතක ක්ෂාත් ක්ෂාත් කලේ ටී. ඇස්. එලියට් ගේ The Wasteland කවි පංතිය කියවීම තුලිනි. මේ උපුඨන ඒ ස්ථාන ගැන හෙළිදරවු කරයි.
"පාඨකයා කවිය අවබෝධ කරගැනීම හෝ නොගැනීම අත්‍යවශ්‍ය දෙයකැයි ප්‍රංශ සංකේතවාදීහුද නොසිතූහ".
ප්‍රංශ සංකේතවාදීහු වනාහි, එලියට් ට ද ප්‍රධාන වශයෙන් ආභාෂයක් දැක්වූ කොටසකි. Dobyns  උපුටමින් අප ලේඛකයා පවසනුයේ,
"එනම් පාඨකයා යනු අහම්බයකින් කවියාගේ හඬ ඇසුණු තුන්වෙනියෙකි." ( 25 පුටුව ) 
කියා ය.  මෙය දහ අටවෙනි සියවස විසූ සැමුවෙල් ජොන්සන් ගේ ස්ථාවරය වූ, පාඨකයා කවියේ අවසන් විනිශ්චයකරුවාඅය යන ස්ථානයෙන් සැලකිය යුතු දුරකි. යේට්ස්, විල්යම්ස් කාර්ලොස් විල්යම්ස් ආදීන්ට ද මේ මතයන් බලපෑවේය. එහෙත් මින් කවියාට යම් සීමාවක් බලපැවැත්වෙන බැව් පැහැදිලිය. කවියා කෙතෙරම් නිර්මාණාත්මක වුවත්, ඔහු  පාඨක විනිශ්චය මත රැඳෙන්නේ නම්, එය ඔහු ට පවුරක් වෙයි. අප ලේඛකයා, නූතන සිංහල කවිය මේ ස්ථාන දෙක අතරමැදි අවස්ථාවක් සිටිය යුතු යැයි විශ්වාස කරයි. එහි පාඨකයා සතුව වගකීමක් ඇති බව පිළිගනි. ඉන් අනතුරුව මේ පරිච්ඡේදයේ ප්‍රමුඛතම මාතෘකාව ලෙස මා දකින "රූපකය" යන්න ගැන සාකච්ඡාව් ඇරඹේ. ඒ ඉලයප්ආරච්චිගේ "ඉසුරුමුණියේ දී ණයට ගත් ප්‍රේමය" යන "මගේ කොළඹට හඳ පායයි" සංග්‍රහයේ එන  කාව්‍යයෙනි.  මෙහි මුල් පරිච්ඡේදයේම ඉලයප්ආරච්චිට ත්, ආරියවංශ රණවීරට ත් දී ඇති ප්‍රමුඛත්වය ඔස්සේ, ඔවුන් දෙදෙනා නූතන කවිය වෙනුවෙන් කල කාර්‍යය පිළිබඳ තක්සේරුව අරඹයි. වෙසෙසින් ඉලයප්ආරච්චි වනාහි මීට මාස 7-8 ක ට පෙර, කවියෙකු වශයෙන් මා ඇසුරු කලා ඇතිය, එහෙත් කෙටි කතා කරුවෙකු, සහ නවකතාකරුවෙකු ලෙස අප රට ප්‍රමුඛතමයෙකු ලෙස, මා සිතූ අයෙකි. එහෙත්, ඉලයප්ආරච්චි ගේ, එලියට් ගේ wasteland  කාව්‍ය පිළිබඳ විවරණය කියවීමෙන් අනතුරුව, ඒ කාව්‍ය රටාව හා එරික් ගේ ම කාව්‍ය රටාව අතර ඇති යම් ආභාෂයක් හේතුඑන්, ඔහුව නැවත කියවිය යුතු බවත්, මෙතෙක් නොකියවූ කවි ගැන වෙසෙස් අවධානයක් යොමු කල යුතු යැයි සිතුවෙමි. අමරකීරිති දීර්ඝ වශයෙන් Edward Hirsh සහ Ted Cohen යන අය රූපකයේ භාවිතාව සහ එහි ඇති වැදගැම්ම ගැන නිදසුන් සමඟ පෙන්වා දෙයි. ඒ අනුව, පාඨකයා මගින් රූපකයේ ආරාධනාව අවබෝධ කර ගැනීම, රූපකය මගින් රසිකයා මවිතයට පත් කරලීම, භාෂාවේ විය පත් වීමත් සමඟ,  භාෂාවේ දක්ෂතාවේ සීමාව, රූපකය මගින් පිරවීම නිදසුන් සමගින්  පෙන්වා දෙයි. ඒ සඳහා පෙර කී කවීන්ට අමතරව, වෙඩිවර්ධන සහ මස්ඉඹුල ද හේ භාවිත කරයි.

මෙහි එන දෙවෙනි ලිපිය "කවියෙහි විසමජාතිත්වය සහ කවිතාව ආරක්ෂා කිරීම", නමි.
සමකාලීන කවිය සහ නූතන කවියන් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් රචනාව අරඹන කතුවරයා, කවියෙකුගේ සාර්ථකත්වය උදෙසා ඔවුන් ලබන පිළිගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. කුඩා පාඨක පිරිසක් සහ කල්ලිවාද වලින් ගහණ අප සමාජයේ කවීන් මුහුණ දෙන ගැටළු ගැන වචනයක් කියා පායි. ඉන් අනතුරුව John Crowe Ransom ගේ සත්භාවී විසමජාතිත්වය ( ontological heterogeneity )ගැන විස්තර කරයි. එනම් කාව්‍යමය සංකල්ප රූපය සහ නිර්-සංකල්ප රූපීය කතිකාව ( ඔහු මීට නිදසුනක් ලෙස විද්‍යාත්මක කතිකාව සහ සංකල්ප  ලෙස ඉදිරිපත් කරයි ) යන අදහස් දෙක ගෙනහැර දක්වයි. රැන්සම් උපුටා දක්වමින් අමරකීර්ති කියාපාන්නේ භෞතික කවිය සංකල්ප රූපවාදය මගින් නිර්-සංකල්පරූපීය කතිකා, සංකල්ප රූපය යටතට ගැනීමට උත්සාහ දරණ අතර, Platonic poems හෙවත් අදහස් කවි මගින් මෙම සංකල්ප රූප
මඩිමින් අදහස පමණක් ගෙන ඒමට උත්සාහ කරන බවක් කියා පායි.  Brian McHail පවසන්නේ පරමාදර්ශී කවිය මේ දෙක අතර පවතින බවකි.එතනින් නොනවතින අප ලේඛකයා, කවි පිළිබඳ තවත් දෙබෙදුමක්, එනම්,  ශාබ්දික වියමන ( හෙවත් එහි වෘත්තය ) සහ එහි අදහස පිළිබඳ ව්‍යූහය වශයෙන් ද  ඇඳිනගත හැකිය.

මින් ඔබ්බට යාමට පෙර පාඨකයකු ලෙස මා වචනයක් කිව යුතුය - මා පෞද්ගලිකව මේ කෘතියේ වටිනාකම දකිනුයේ මෙවන් අවස්ථා වලය. නිදසුනක් ලෙස සැලකුවහොත්,  මා පාඨකයකු පමණි. එහෙත් ඒ තමන් කියවන දේ ගැන තරමක් හෝ ශාස්ත්‍රීය පසුබිමක් දැනගෙන කියවීම ට එය වඩාත් ප්‍රිය ය .එවිට එය අඳුරේ අත පතගෑමකින් එහාට යාමක් ලෙස දැනේ.  කිසිදා මේ ක්ෂේත්‍රයන් පිළිබඳ ශාස්ත්‍රවන්තයෙකු වීමේ දොළක් නොතිබුන ද, පෞද්ගකිව මගේ කාලය යොදවා කියවන්නෙකු ලෙස, ඒ අමතර දැනුම් පදනම අගය කරමි.  අමරකීර්ති කියන ආරේ ආශ්‍රේය ග්‍රන්ථ සියල්ල පරිශීලනය මා කිසිදා නොපතනු මුත්,  මේ විද්වතුන්ගේ අදහස් මෙලෙස ගෙන හැර පෑම අගය කරනුයේ, අර කී පසුබිම තරමකින් තේරුම් ගැනීමේ උවමනාවෙනි. පාඨක සමාජය වඩා දැනුවත් වීමටත්, වක්‍රව සිංහල කවිය වඩාත් තේරුම් සහිත තැනක සිට කියවීමටත් එය ඉවහල් වේ. නිදසුන් ලෙස මේ පොත කියවාගෙන අනතුරුව ආරියවංශ රණවීරයන්ගේ දෝතක් කවි හි අවපැහැ ගැන්වුණු පිටපතක් අපහසුවෙන් සොයාගෙන කියවීම ඇරඹුමටත්, මීට මාස කිහිපයකට පෙර, නීරස යැයි ඉවත ලූ එරික් ඉලයප්ආරච්චිගේ කවිය නැවත පරිශීලනයට ත් අවශ්ය විවෘත මනසක් ඇති වීමට මේ රචනා හේතු විය ( එරික් ගේ , The Wastelandහි මුඩු බිම නම් දීර්ඝ විශ්ලේෂණයත් ඊට හේතු විය ).

නැවතත් මේ වෘත්තය හා අර්ථය අතර ගැටුම වෙත අවතීර්ණ වෙමි; මේ අදහස අප කතුවරයා ඉතා සරල ලෙස මෙයාකාරයෙන් පෙන්වා දී ඇත.
"... කෙනෙකුට ගද්‍යයට නගා නැවත කිවහැකි අර්ථයක් කවියෙහි පිහිටුවන්නට නම් ආකෘතික රටාව යම් තරමකට දියාරු කරන්නට සිදුවේ. සම්පූර්ණයෙන් නිශ්චිත ආකෘතියක් ඉතිරි කරන්නට නම් සරල බසින් නැවත කිවහැකි අර්ථය තරමක් දියාරු කිරීමට සිදුවේ" ( 64 පිටුව )
මේ දීර්ඝ විස්තර කිරීමෙන් අනතුරුව නිදර්ශන සහිතව මේ කාරණාව දීමට අප ලේඛකයා යොමු වේ. ඒ උදෙසා ඔහු තෝරා ගන්නා නිදසුන් ද අගනේය. වෙඩිවර්ධනගේ "සුනිලා හෙවත් මනුෂ්‍යත්වයේ කවිය" තෝරාගනී. ඔහු තොරගන්න චාමර සෝමවීරගේ "දෙන්නෙක් දෙවිදියක්" කවිය නුතනත්වයේ පුසුඹ වහනය කරනා අපූරු කවියකි. එරික් ගේ කවි දෙකක් ද නිදසුනට ගන්නේ, හේ විටෙක එරික් ගේ කවිය පාඨකයාගෙන් දුරස්ථ තරමක් වියත් කවියක් වීමේ ප්‍රවණතාවක් ද ඇති බව කියා පානා අතරය.

"කවිය නම් සෞන්දර්ය වස්තුව වෙත ව්‍යූහවාදි ප්‍රවේශයක්: කවියෙහි කාව්‍ය ශාස්ත්‍රය", වූ කලි දෙවෙනි පරිච්ඡේදයේ එන උප මාතෘකාවකි. කවියේ, ඊට ආවේණික වාග් ලක්ෂණ එහි ස්වභාවය නිර්ණය කරන බවට ඇමරිකානු ව්‍යූහවාදීහු පැවසුවෝය. එහෙත් පශ්චාත් ව්‍යූහවාදි විචාරවේදියෙකු වන ජොනතන් කලර් උපුටමින්, එම වාග්මය කාරණාවේ සීමාසහිත බව පෙන්වා දෙන අමරකීර්ති, සිංහල කවිය අරඹයා ද මෙය අදාළ බවත්, " සිංහල කවිය සඳහා හුදෙක් හදබස හෝ කවිබස හෝ සාධු සම්මත බස හෝ තිබිය යුතුය යන්න අද ලියවෙන කවි වටහා ගැනීමට රුකුල් දෙන්නේ නැත", යැයි පවසන්නේ ය. මෙය පිළිගත හැකි ස්ථාවරයක් බව බැලූ බැල්මට පෙනේ. ආකෘතික රටා හෝ භාෂාවේ පද්‍යමය ස්වභාවය හෝ පමණක්, කවිය ක් නොතනන බව, ජෙරාඩ් ජෙනේ නම් න්‍යායධරයෙකු උපුටමින් පවසන කතෘ, රසිකයෙකු කවියකට එන්නේ පූර්ව නිගමන වලින් තොරව හේතුවෙන්, පෙර කී කාරණා දෙක ප්‍රමාණත් නොවන බව පැවසේ.

ඉන් පසුව සාකච්ඡාවට බඳුන් වන්නේ කවිය ශාස්ත්‍රීය ප්‍රවේශයකින් හැදෑරීම උදෙසා, එහි අවධානයට ලක් විය යුතු සම්මුතිමය අපේක්ෂා වටහා ගැනීම යන කාරණයත්, ඒ සම්මුතිමය අපේක්ෂා පිළිබඳවත් ය. මෙහි පළමුවැන්න ලෙස "දුරස්ථභාවය සහ අපෞද්ගලිකත්වය" ලෙස ගෙන හැර දක්වයි. කවියක් තුල සරලව කිවහොත් ඊට ආවේණික ලෝකයක් පැවතීම යන කාරණාව මෙහි දී මතු වෙයි. නැවත වරක් කෘතියෙන් බැහැර වෙමින්, මා ඉතා මෑතක කියවූ කාව්‍ය සංග්‍රහය වෙත යොමු වෙමි. ඒ නන්දන වීරසිංහ ගේ ක්ෂණ නියාම කෘතියයි. එහි ඇති ධර්මය, සහ සදාචාරාත්මක සංයමය යන කාරණා බොහෝ කවි වලින් මූර්තිමත් වෙයි. එවිට නොවැලැක්විය හැකි ලෙස කවියා ගේ මේ මොහොතේ හැඟුම් හා සිතුවිලි කාව්‍ය සංග්‍රහය ම වසාගෙන ඇති බවක් හැඟී යයි. එය රසිකයෙකු ලෙස මා නොසතුට ට පත් කල කාරණාව කි.  මේ අපෞද්ගලිකත්වය පෙන්වීම උදෙසා,  පියන්කාරගේ බන්දුල ජයවීර සහ  සුනන්ද කරුණාරත්නගේ ("ධීවර ගීතය" යන අපූරු කවිය ) කවි නිදසුන් ලෙස  පෙන්වයි. දෙවෙනි කාරණාව ලෙස  කවියක් තුල ඓන්ද්‍රීය සමස්තයක් බලාපොරොත්තු වීමය. රුවන් බන්දුජීව ගේ පොරි අහුරක් නම් වූ අපූරු කවියත්, තිඹිරියාගම බණ්ඩාරගේ පෙම්වතුන් නැති පුදබිම ත්, යන අපූරු කවි දෙක නිදසුන් ලෙස ගෙන හැර පායි.  මේ සමස්තය සම්පූර්ණ කිරීමට බොහෝ විට, කවිය අගට වන්න ට එක් පද පේළියක් හෝ දෙකක් සපයනු ලබන තීව්‍රතාවක් බලාපොරොත්තු වන වගක් මට හැඟේ ( මේ පිළිබඳව මා වැරදි විය හැකිය - කිම ද, මෙය පෞද්ගලික අත්දැකීමකි ), මෑතක කිය වූ කාව්‍ය සංග්‍රහයන් දෙකෙහි ම ( අනබිසෙස් අනබිනික්මන් සහ ක්ෂම නියාම ) මේ රසිකයා ට උපරිම රසවින්දනය දෙමින්, කාව්‍ය උච්චස්ථනයට ගෙනෙන මේ කාරණාව තිබූ අවස්ථා අඩු බවකි, මට දැනුනේ.

තෙවෙනි සම්මුතිමය අපේක්ෂාව ලෙස අර්ථාන්විතභාවය පෙන්වා දෙයි. ආරියවංශ රණවීර ගේ සලකුණ නම් වූ කෙටි කවෙන් මෙන්ම,  අනිල් නිශාන්ත ලොකු ගමරාලගේ මුස්සැන්ද නම් තරමක් දීර්ඝ කවෙන් ද, දෙයාකාරව මේ අර්ථාන්විතභාවය අපට හමු වන අයුරු මෙහි දී පෙන්වා දෙයි. මෙහි අර්ථ නම් බොහෝ වේ. සමහර අර්ථ ඍජුව ම පෙනෙන අතර, විවිධාර්ථයන් සෙමි සෙමීට කියවන විට පෙනී යයි. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ "නිවාඩුවට ගෙදර ආ හිමියාගේ දිනපොතෙන්" යන අපූරු කවිය ඒ අර්ථ බහුල බව පිළිබඳ අපූරු නිදර්ශනයක් ගෙන හැර පායි.

 එම කොටස මීළඟට සාපෙක්ෂ වශයෙන් වඩා ඍජු හෙවත් අර්ථ පිරීක්සීම පහසු කාව්‍යයන් කිහිපයක් ගැන සාකච්ඡ්චාවට ගනී ( "සංකීර්ණ සංරචනයෙන් ඔබ්බට" ). ඒ " බැලූ බැල්මට සරල යැයි පෙනෙන ඇතැම් කවි සමීප කියවීම්වලදී සංකීර්ණ ව්‍යූහමය සැකැස්ම ඇති නිර්මාණ සේ මතු පෙනේ" (113 පිටුව ), යන ලේඛක නිරීක්ෂණය හේතුවෙනි. නිදසුනක් ලෙස මස්ඉඹුලයන් ගෙනහැර දක්වන අමරකීර්ති ඒ කවි එතරම් සංකීර්ණ නොවුන ද, මෙතෙක් කලක් සිංහල කවිය නොකියවූ අය පවා ඊට ළඟා වීමටත් ඒ සරලත්වය හේතු වූ බව පවසයි. ඉන් අනතුරුව "කහට රසයක්" යන කවිය ගෙන හැර දක්වන අමරකීර්ති එහි සැඟවුණු, එබිකම් කරනා අර්ථ මුහුණුවර පවා ගෙනහැර දක්වන අයුරු අපූරුය. කතුවරයා මේ කොටස නිමා කරන්නේ "සරලත්වයේ ආනන්දය" යන්න  විමසමින්, Brodsky සහ Walcott යන නෝබල් ත්‍යාග ලාභි කවියන් දෙදෙනෙකු කවියේ ආකෘතිය ගැන කෙරුණු සංවාදයක විස්තර ගෙනහැර දක්වමිනි. ඇත්තෙන්ම මේ පොතේ මහත් වටිනාකම ඇත්තේම, සාහිත්‍ය ලෝකයේ සිදුවීම් ගැන මෙලෝ දැනුමක් නැති අප වන් අන් ක්ෂේත්‍ර වල නිරත වූවන් හට ඒ ආලෝකය ලබා දීම ඔස්සේ ය.
මෙහි මේ නිරීක්ෂණය වෙත මා වෙසෙසින් යොමු වෙමි:
"කලකිරීමෙන් සහ අසන්තෘප්තියෙන් ලෝකය දෙස බලන  මිනිසෙකු ඒ කවියා තුළ සිටින බව කවියෙන්ම පෙනේ. ඉලයප්ආරච්ච්ගේ කවියෙහි මේ ලක්ෂණ දැන් දැන් පෙනේ. .... නන්දන වීරසිංහගේ කවියෙහි වැඩි වශයෙන් පෙනෙන්නේ අනවශ්‍ය ශික්ෂිත සන්සුන් භාවනාකාර නිරීක්ෂකයෙකි" ( 121-122 පිටු )
The Wasteland යන නූතන මහා කව්‍ය ගැන දීර්ඝ රචනාවක් ලියූ ඉලයප්ආරච්චි ගේ කවිය, මුලින් මට දුරස්ත වුවද, ඔහුගේ ආස්ථානය වටහා ගැනීමෙන් අනතුරුව එය ඇගයීමට මට තරමක් පුළුවන. ඒත් මෑතක ක්ෂණ නියාම කියවා මහත් ඒකාකාරි රසයක් සහ කම්මැලි කමක් විඳි මා, මීට කලින් වීරසිංහයන්ගේ කවියේ මේ අනවශ්‍ය ශික්ෂණය නොදුටුවේ මගේ කියවීමේ අඩුවක් නිසා ද නැතිනම්, හේ ක්ෂණ නියාම තුලින් ඒ සීමාව පැන්නූ නිසාදැයි නොදනිමි. ඉලයප්ආරච්චි මේ රචනය ලියන්නේ ක්ෂණ නියාම පළ කිරීමට ප්‍රථමවය.ඒ අනුව ඔහුගේ මේ කාව්‍ය ආකාරය සැම දා තිබුන ද මට ගෝචර වන්නේ දැන් ය. කෙසේ වෙතත්, මේ කොටස කියවීමට ප්‍රථම ව ක්ෂණ නියාම කියවා ඒ පිළිබඳව මගේ ඒ පැහැදිලි නැති කම ප්‍රකාශ කිරීමට හැකි වීම ගැන දිනෙන් දින යම් වර්ධනයක් ලබනා කියවන්නෙකු ලෙස යම් ඉඟියක් ලැබීම ගැන සතුටු වෙමි.


තෙවෙනි කොටස කෙටි කවිය වෙනුවෙන් වෙන් වී ඇත ( "කෙටි කවිය සහ කවිතාව" )

සංක්ෂිප්තභාවය යන සෞන්දර්‍යය අංගය විස්තර කරමින් මේ කොටස අරඹන අමරකිර්ති, එය තරමක් දිග කවියක වුව තිබිය හැකි ගුණයක් ලෙස ද, කෙටි කවි වල ද එය අනිවාර්‍ය අංගයක් නොවන බව ද පහදයි.
මෙහි තවත් වැදගත් සාහිත හෙළිදරව්වක් වෙයි. එනම් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ චාර්ල්ස් හැලිසි පාලි ථෙරිගාථා ඉංග්‍රීසියට පෙරළු බවත්, මාර්ටින් වික්‍රමසිංහ ඒවා කලා කෘතියක් ලෙස අගය කොට පැවසූ, "ථෙරි ගාථා ලෝක කාව්‍ය ඉතිහාසයේ ප්‍රථම කවි අතරට අයත් වන්නේය" හැලිසි මතක් කරමින්, ඒවා ට ප්‍රථම යන විශේෂණය යෙද්දිම අසාධාරණ බවත්, ඒවා අදටත් කවි බවට ත් සනාථ කරනුයේ එස්‍රා පවුන්ඩ් ගේ ප්‍රකට කියමනක් වූ "සාහිත්‍ය යනු නැවුම් පුවත් ලෙසම පවතින නැවුම් පුවත් වේ" යන්න මතක් කරමිනි. නූතන ලෝක සාහිත්‍යයේ  කෙටි කවියේ ආස්ථානය විමසන කතෘ, "වැලකී සිටීම මගින් අනුනාද නිර්මාණ කෙරේ", යන බාර්ටෙල් සහ ග්‍රෑන්ඩ්බෙරි නිරීක්ෂණය ගෙන හැර පායි.  අනතුරුව බ්‍රෙෂ්ට්, ග්‍රීක කවි යන්නිස් රිට්සෝස් ගෙන් අරඹි, බන්දුල ජයවීර,සෞම්‍ය සඳරුවන් ලියනගේ යන අයගේ නිදර්ශන ගෙනහැර පායි.
ආරියවංශ රණවීර හයිකු කවිය සිංහල සාහිත්‍යයට අඳුන්වාදීම හරහා "අලුත් උපශානරයක්" ලෙස පැමිණි කෙටි කවිය, ලක්ෂාන්ත අතුකෝරාල ආදින් මගින් ඔප නැංවිනි. ඔහුගේ "හිතග්ගිස්සේ නැතක් මොට්ටු" මා ඉතා ප්‍රිය කරන සංග්‍රහයක් වන්නේ එය වරින් වර කියවා රස විඳිය හැකි කෘතියක් හේතුවෙනි. ඒ කෘතියට බන්දුල ජයවීරගේ කාව්‍යමය විරෝධය මා දැනං හිටියේ නැත. ඉලයප්ආරච්චි ද මෙවන් විරෝධයක් කෙටි කවිය වෙත යොමු කර ඇති බව මෙහි පෙන්වා දෙයි.
අනතුරුව හයිකුමය කෙටි කවිය සහ සිංහල කෙටි කවිය අතර සැසඳීමක් කරන අමරකීර්ති, හයිකු කවියේ න්‍යාය  ගැන ද විමසයි.  එහෙත් මේ ප්‍රකාශය හයිකු කවිය අප වන් පුඟුලන් ට වටහා ගැනීමට ප්‍රමාණවත් බව මා සිතමි.
"හයිකු කවියෙහි ඇති ප්‍රධාන වසඟ ශක්තියක් වන නිශ්චිතව ග්‍රහණය කරගත නොහැකි ගුණය, වචන කිහිපයක් වෙත පවරාදෙන ලද අසීමිත ඉඟිගුණය නිසාය" (150 පිටුව )
අනතුරුව හයිකු කවිය විසංයෝජනය ගැන විමසන කතුවරයා., එහි ස්වභාවයම එය විසංයෝජනයට විවෘත කරන බව පෙන්වා දෙයි. කිමද  විසංයෝජනයේ කෙරෙන් එක් දෙයක් නම් පඨිතයේ ප්‍රධාන හෝ අධිපති අර්ථයට එරෙහි ව එය කියවීමයි.   හයිකු නොවන අන් කෙටි කව් ආර කිහිපයක් විමසන උපමාතෘකාවක් ඉන් අනතුරුව අපට හමු වේ . එහි එන එක් ආරකින් මා දැන ගත් දෙයක් නම්, චාටු බස් යන්න චාටු නම් දකුණු ඉන්දියානු කවි වර්ගයක් ඔස්සේ පැමිණි බවකි.

අමරකීර්ති මෙතැන් පටන්  කෙටි කවිය සමඟ ප්‍රතිනිර්මාණවාදි හෙවත් අනුකරණවාදි කලාව  යන්න පෑහෙන්නේ ද එසේ නොවන්නේ නම් ඒ ඇ‍යි ද යන්න ගැන විමසයි. මේ විමසීම ට හේතුව මෙලෙස කතුවරයා ප්‍රකාශ කරයි;
"ඇරිස්ටෝටල්ගේ අනුකරණවාදී කලා න්‍යායවල ආධිපත්‍ය බිඳවැටෙන තුරුම අනුකරණවාදී කලා න්‍යායවලට විකල්ප මතු වී ආවේ නැත." ( 166 පිටුව )
ඊට විකල්පයක් ලෙස භාව කාව්‍ය  නොවැදගත් කාව්‍ය විශේෂයක් ලෙස සැලකුණි. දහ ඇත වෙනි සියවසේ ශ්‍රීමත් විලියම් ජෝන්ස් ඇර්ස්ටෝටල් මතය අභියෝගයට ලක් කිරීමත්, භාව කාව්‍ය ම ප්‍රාරම්භක කාව්‍යයෝ වූ බවත් තර්ක කිරීම හේතුවෙන්, ඒ මතය පිළිගැනීමත්, ඉන් අනතුරුව නිරනුකරණීය කලාවේ වැදගත් කම ඉස්මතු වීමත් සිදු විය. ඊට සමගාමීව ජර්මනියේ ජේ. ජී. සුල්සර් ද ඇරිස්ටෝටල් අභියෝගයට ලක් කලේය.
සංකල්පරූපවාදියෝ නිතරම හරියට ම උචිත වචන වැඩිත් නැතුව, අඩුත් නැතුව භාවිතා කරමින්, පින්තූරමය ස්වරූපයක් දැරූ කවි ලියූ බව පිරීක්සමින් මේ තෙවෙනි රචනාව හේ අහවර කරයි.

සිව්වැනි දීර්ඝ රචනාව, "කවියේ සෞන්දර්යාලෝකය සහ මහජන තර්කනය : වර්තමාන සිංහල කවිය", නමි.
කවිය නම් වූ ශානරය තේරුම් ගැනීමට ඇති මං දෙකෙන් එකක් නම්, කවිය කියවීම බවත්, අනෙක දර්ශනිකයින් ගේ කවිය ගැන කියවීම වටහා ගැනීම බවත් අමරකීර්ති පවසයි. මෙහි පළමු කරුණ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර කරන අමරකීර්ති පවසන්නේ, " විශිෂ්ඨ කවිය ඉල්ලා සිටින්නේ කවියේ තර්කනයට හා ස්වභාවයට යටත් වන රසිකයෙකි", කියාය. මෙහි එන "අනුකාරණාත්මක කලාවෙන් ඔබ්බට", යන උපමාතෘකාව කවිය ගැන හා, අප ට ඉතිහාසය විසින් උරුම කර ඇති දේ ගැන නැවත සිතීමට අප ව යොමු කරවයි. මෙහි දී අනුකාරවාදි සාහිත්‍ය න්‍යාය වලින් ඔබ්බේ කවියා මවන ලෝකය, සහ, එය කියවීම මගින් පාඨකයා සදන ලෝකය, යන ලෝක දෙක අතර ඇති වන සියුම් අන්තර්ක්‍රියාවේ එන වටිනාකම ගැන අමරකීර්ති නිදසුන් කිහිපයක් සමඟ ( උපුල් සේනාධීර ; නිරාශ ගුණසේකර ; සමිත අටුවබැන්දෑල ) පෙන්වාදෙයි.

අනතුරුව හේ "අනුකරණවාදි කලා න්‍යායවල ආධිපත්‍යය" යන අනු මාතෘකාව වෙත යොමු වෙයි. එහි දි හේ වෙසෙසින් අර්ල් මයිනර් මහැදුරුතමන්ගේ අදහස් ඉදිරිපත් කරලමින් පවසා සිටින්නේ "බටහිර සාහිත්‍ය න්‍යාය අතර අනුකරණවාදී කලා න්‍යායවල ආධිපත්‍යයට ප්‍රධාන හේතුව වන්නේ ඇරිස්ටෝටල් සිය කලා න්‍යාය ගොඩ නගන්නට නාට්‍ය කලාව මත පදනම් බීම" බව පවසයි, මෙය ඉතා වැදගත් නිරීක්ෂණයක් ලෙස විශ්වාස කරමි. එම න්‍යාය අවශ්‍යයෙන් ම අනුකරණවාදි න්‍යායක් වන්නේ එය අන් අයෙක් ලෙස රඟපෑම මුල් කරගෙන බිහි වූවක් නිසා යැයි පැහැදිලිය. මයිනර් පවසන්නේ, ඒ හේතුව නිසා ම සෑම කාලයකම හෝ සෑම දේශයක ම කලාව අනුකරණවාදී කලා න්‍යායකින් තේරුම් ගත නොහැකි බවයි. මට මේ වන විට ඇති වන ගැටළුව, මේ එකම න්‍යායකින් සියල්ල තේරුම් ගැනීමේ නිසරු බව අදාළ වන්නේ කලාව ට පමණ ද යන්න යි ? එවිට අනෙක් දැනුම් පද්ධතීන් ට ? ඒ විලක්ප දැනුම් පද්ධතීන් උදෙසා හඬ නගන විදග්ධයින් මුළු දිවි පුරා හඬ නැගුව ද වෙසෙස් නිර්මාණයක් හෝ අලුත් න්‍යාය ඉදිරිපත් කිරීමක් හෝ ඉදිරිපත් කරලීමෙහි ලා තවම මුල් අවධියේ විය හැකිය. එහෙත් ඇයි ඒ පිළිබඳව එතරම් විරෝධතාවක්, කලාව සම්බන්ධයෙන් මෙවන් ස්ථානයක නම් සිටින්නේ ?

එම රචනාව යටතේ එන තවත් උප මාතෘකාවකි, "කවිය සහ දාර්ශනික චින්තාව". එහිදි අප රට අලුත් සහ විකල්ප දාර්ශනික අදහස් මතු නොවීමේ ඛේදවාචකය ගැන දුක් වන කවියා, "ඉරිදා පත්තර වල වියරු බසින් පළ වෙන ජාතිවාදය හා ජාතිකවාදය ගැඹුරු දාර්ශනික අදහස් යැයි සලකන ජාතියක් වීමේ අභාග්‍ය" ගැන කියයි. නව දාර්ශනික අදහස් මතු වීම උදෙසා අධිපති සහ ජනප්‍රිය අච්චුවලින් එළියට පය තැබීමෙන් බව පවසයි. මෙහි දි කිව යුතු දෙයක් ඇත. අමරකීර්ති ම ගෙන හැර දක්වන, සිරි ගුණසිංහගේ කියමනක් වන "රජෙක් එතැයි කොපමණ හිතුවත් එන්නෙ හිඟන්නෝමයි" යන්න, වදගත් යැයි සිතෙන්නේ පසු ගිය වසර හැත්තෑවෙන් අවම වශයෙන් 1988න් මෙපිට මෙය සත්‍යයක් ‍යැයි පෙනී යන්නේ ජාතික නායකයන් දෙස බැලීමෙනි. අදට ත් ජාතික තලයේ නායකත්ව බලාපොරොත්තු ඇති අය තෙපලන්නේ  නිවාස ලබා දීම, සමුර්ධි සහනාධාර දීමේ සංඛ්‍යාව වැඩි කිරීම ආදි වූ හිඟන කතාය. ඔවුන්ගේ කාන්තාවන්ට ද ආර්යාවන් වීමේ හදිසිය පෙන්නුම් කරන්නේ තවත් හිඟන්නෝ ම නායකත්වය බලාපොරොත්තුවෙන් පෙළ ගැසී ඇති බවක් නොවේ ද ? 

එහෙත් ඒ උපමාතෘකාව ඔස්සේ අමරකීර්ති කතා කරන ප්‍රධාන  මාතෘකාව, "සන්දර්භගත දාර්ශනිකත්වය" යන්නයි. "සන්දර්භගත දාර්ශනිකත්වය" යනු යම් නිස්චිත ඓතිහාසික හෝ සමාජමය අවස්ථාවක් ඇසුරින් උපදින දාර්ශනිකත්වයයි. ඊට නිදසුන් ලෙස එරික් ඉලයප්-ආරච්චිගේ "ඉරිදා වෙරළ සහ සුදු කත", නන්දන වීරසිංහ ගේ "ජලය නම් ගලා යා යුතු" ආදිය ඇතුලත් කොට ඇත.  මේ කෘතියෙන් මා ලැබු තවත් ලාභයක් නම්, අනාගත කියවීම උදෙසා ග්‍රන්ථ කිහිපයක නිර්දේශයයි. එසේ අනාගතයේ කියවීමට  සුදුසු කවියෙකි, අගා ශහිද් අලි ය - හේ කාශ්මීරි-ඇමරිකානු කවියෙකු ලෙස තමන්ව හඳුනා ගත්තේ, ඉන්දියාව හා පාකිස්තානය යන දෙකම ප්‍රතික්ෂේප කරමිනි. අමරකීර්ති ඔහු සන්දර්භගත දාර්ශනිකත්වය යන ගුණය යහමින් භාවිත කල අයෙක් ලෙස පෙන්වා දෙයි. එවන් ලක්ෂණ වලින් පෝෂිත, සොයාගෙන කියවීමට උඩු දෙන තවත් කෘතියක් නම් ප්‍රභාත් ජයසිංහගේ "අනවරත" නම් කාව්‍ය සංග්‍රහයයි.

කවියා, දර්ශනය සහ ප්‍රජාතන්ත්‍රවාදය එක මිටකට ගනිමින් ("කවිය සහ ප්‍රජාතන්ත්‍රවාදි විභවතා"), අමරකීර්ති පරිච්ඡේද්ය අවසන් කරනුයේ,
"ගැඹුරු අර්ථයකින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමෙහිදී කවියන් විනිශ්චයකාරයන් විය යුතු යැයි විට්මන් හා නස්බෝම් කියන්න නිරන්තරයෙන් අපගේ හෘද සාක්ෂිය පරික්ෂා කරමින් සිටීම නිසාය. මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ මහා කවියාගේ දර්ශනයයි." (215 පිටුව )

පස් වෙනි රචනාව පෙර කී සන්දර්භගත දාර්ශනිකත්වය ගැන දීර්ඝ කියවීමකි ( මිනිසා සහ ඉතිහාසය මැද කවිය:  සන්දර්භගත දාර්ශනිකත්වය වෙත ප්‍රවේශයක්). අමරකීර්ති දීර්ඝ ලෙස මේ පරිච්ඡේදයේ අප වෙත සනාථ කරලීමට තනන්නේ කවියෙහි දාර්ශනිකත්වය මනුෂ්‍ය ජීවිතයෙන්  හා මනුෂ්‍ය අරගල ඉතිහාසයෙන් වැදියෙන් දුරස්ථ වුවහොත් එය කවිය දුර්වල වීමට හේතු වන බවයි.

මේ සන්දර්භය අලලා කතුවරයා අසූව සහ අනූව දශක  වල සිංහල කවියා ගේ ක්‍රියාකාරිත්වය ගැන දීර්ඝ විචාරයක යෙදෙයි. වෙසෙසින් නන්දන වීරසිංහගේ කිරි සුවඳැති රාත්‍රිය කෘතියේ ඓතිහාසික ස්ථානය අවුරුදු විසිපහක පසු දැක්මකින් යුතුව කෙරෙන අදහස් දැක්වීම, අප රටේ දේශපාලන ඉතිහාසය  ගැන උනන්දු අය ට ඉතා වැදගත් ය. මේ කෘතිය මීට පෙර මා කියවා තිබුන ද, මේ ඓතිහාසික සන්දර්භය ගැන දැනගත් පසුව එය නැවත කියවිය යුතුමැයි මට සිතේ.  නිර්මාණ ඉතිහාසයක වැදගත්කම ක්ෂාත් ක්ෂාත් කරන අමරකීර්ති වීරසිංහගේ "වලව්වට වැසි ඇවිත්" කවිය, රත්න ශ්‍රී විජේසිංහ ගේ "ජිනදාස සිංහලේ යයි" කවිය (වස්සානය සංග්‍රහයෙන්) සමතික්‍රමණය කරන්නට සමත් වූ නුමුදු, විජෙසිංහ එම කවිය නොලිව්වේ නම්, දෙවෙනි කවියේ විශිෂ්ටත්වය "සිද්ධ විය නොහැකි" බවක් ඔහු ට දැනෙන බව පවසයි. එම සිදුවීමේ ම නැවත සිදුවීමක් ලෙස, වීරසිංහගේ "සත්‍යකාම නම් වෙමි" නොලියවෙන්න ප්‍රභාත් ජයසිංහ ගේ අනවරත  නොලියවෙන්න ට ද ඉඩ තිබූ බවක් හේ අඟවයි. වීරසිංහ මේ ආඛ්‍යාන සංග්‍රය තුල සාපෙක්ෂ  අසමත්කමක් ලැබුව ද, ඒ තුලින් ම "කවියෙකු ලෙස වැඩිහිටි වියට" පත් වූ බවත්, එසේ අසමත් වීම ම "සාහිත්‍ය සංස්කෘතියට අයත් රසිකයාගේ ද අවබෝධය වර්ධනයට" හේතු විය හැකි බවත් පවසයි. මේ කෘතිය, මේ දීර්ඝ සාකච්ඡාව, මේ සම්භාෂණය අප වන් හුදෙක් උනන්දුව නිසා ම සාහිත්‍යය කියවන, එහෙත් ඒ ගැන මල පොතේ අකුරක් ශාස්ත්‍රිය හදරා නැති, එහෙත් සාපේක්ෂ දීර්ඝ  සාහිත්‍ය පරිශීලනය හේතුවෙන් ම යම් තමනට ද නොදැනෙන ලෙස ඇඟ තුල ට ජීරණය වී ඇති යම් දැනුම් කොටසක් නගා සිටූවීමට මහත් පිටුවහලක් වේ.

(ද්විත්ව අවධානයෙන් කියවීම ) මේ උපමාතෘකාව මට පෞද්ගලිකව වැදගත් වන්නේ මා මීට කලක ට පෙර පරිශීලනය කල Terry Eagleton  ගේ How to Read a Poem කෘතිය මුල් පොතක් ලෙස භාවිත කරමින් ලියූවක් හෙයිනි.  අමරකීර්ති ගේ වියත්, සමීප කියවීම තුලින් ඔහු උකහ ගත් ඇති ගැබුරු කියවීම, මගේ කියවීමේ සීමිත බව පසක් කරයි. ( මා ඒ පොත කියවීමට යොමු වූයේ සුදර්ශන සමරවීර හා මා අතර අමරකීර්තිගේ ම කුරුළු හදවත ගැන ඇති වූ දීර්ඝ විවාදයකින් ඇරඹි, සාකච්ඡාවකින් නිමා වූ අතීත අවස්ථාවක් හේතුවෙනි ). අන්තර්ගතය සහ පෘෂ්ටීය වියමන යන්න ගැන අවබෝධයක් ඇතිව කියවීම, මේ ද්විත්ව අවධානයෙන් කියවීම වේ.

මේ කොටස මගින් කවියක ආකෘතිය පමණක් නොව ඒ ඒ වචනය කවියේ පරිසමාප්තය ට කෙරෙන කාර්යය ගැන අවධාරනය කරයි. මේ කොටස සලකන්න;
"භාෂා මාධ්‍යයේ ගණත්වය හා සියුම් සැකැස්ම පිළිබඳ අවධානය යොමු කිරීම අප මිනිසුන් බවට පත් කරන  මාධ්‍යය වන භාෂාව  වෙත අවධානය යොමු කිරීමක් වේ.  තවත් ශ්‍රේෂ්ඨ ශබ්ද විද්‍යාඥයෙකු වන ෆ්‍රෙඩ්‍රික් නීට්ෂ සෙමින් කියවීම උගන්වන ගුරුවරයෙකු ලෙසින් තමා හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේ සෙමින් කියවීම යනු වේගය විසින් ආවේශ වූ යුගයක විරුද්ධ දිසාවට යාමක් හෙවත් උඩුගංබලා යාමක් බවය" ( 238 පිටුව )
 අනතුරුව අමරකීර්ති සාකච්ඡා කරනුයේ කවියා පිටස්තර හෙවත් දුරස්ථ දාර්ශනිකයෙකු ලෙස ලියන කවිය සහ  කවියේ අවකාශය තුලම ජීවත්වෙමින් ලිවීම යන ක්‍රමවේද දෙක සසඳමින් සාකච්ඡාවේ යෙදෙයි. මේ දෙවන ස්ථානය පැහැදිලි කරනු වස් අප ලේඛකයා විවිමාරි වැන්ඩර්පූත්න් සහ රෙජී සිරිවර්ධන යන අයගේඅපූරු කවි දෙකක පරිවර්තන දෙකක් ඉදිරිපත්කර ඇත.

සංක්‍රාන්ති සටහනක් මගින් කෘතිය හමාර කරන කතුවරයා සාකච්ඡා කල මාතෘකා සාරාංශ කරන මුත්, කතුවරයාගේ සිතේ තම කෘතිය ට අරමුණක් වෙත් නම්, ඒ කවිය හා තථ්‍ය ලෝකය අතර පැවතිය යුතු  වඩාම ඵලදායක සම්බන්ධය කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම බවය මගේ අදහස. අමරකීර්ති ඒ විමර්ශනය ඉතා සාර්ථකව සිදු කර ඇති බවකි මට නම් හැඟෙන්නේ. දෙවෙනි අරමුණක් ලෙස අද වන සිහලින් ලියන හොඳම කවීන් කවුරුන් ද, ඒ ඇයි යන්න ගැන තුලනාත්මක විමර්ශනයක් ද කෙරෙන බව පැහැදිලිය. එහි දි නවක කවීන් ගේ නිර්මාණ වලට සාධාරණ අවකාශයක් සපයන මුත්,  වෙසෙසින් ආරියවංශ රණවීර, නන්දන් වීරසිංහ සහ එරික් ඉලයප්-ආරච්චි යන කවීන් ගැන දීර්ඝ විචාරයක නිරත වෙයි. මේ කවීන් මීට කලින් කියවා තිබුන්  මා කියවා තිබූ මුත්, අමරකීර්ති ගේ සමීප කියවීම මගින්, වඩා අවබෝධයකින් ඔවුන් අනාගතයේ කියවීම පමණක් නොව, කියවා ඇති කෘතීන් පවා නැවත කියවීමට යොමු විය හැක.

මේ සියල්ල ට කාලය තිබිය යුතුය - එහෙත් නැත්තේ ද එයයි. මේ කෘතිය කියවීමට මට මාස දෙකකුත්, සතියකුත් තව දින කිහිපයක් වැය වී ඇත. ඉතින් ඒ කියවිම උදෙසා අන් කියවීමක්  කැප කිරීමට සිදු වන්නේ නම්, දැනට ඊට සුදුසුම  ශානරය සිංහල නවකතාව වීම, එහි වර්තමාන ස්තානය ගැන කියවීමක් නොවේ ද?