Monday, 9 July 2018

නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්ෂ



     මිල දී ගැනීමෙන් පසුව ද  නොකියවා සිටීමට තීරණය කොට, 2016 කියවීමට තිබූ පොත් ගොන්නෙන් එකක් අඩු වීම හේතුවෙන් කියවීමට තීරණය කල කෘතියකි. පසු ගිය වසරේ සම්මාන උණුසම සමයේ සමහර පාඨකයන් මේ කෘතිය ඇගයූ සමහර පාඨකයන් නිසා මෙය ඒ සමයේ දී ම මිල දී ගත්තෙමි.

    ධනාත්මක පැත්ත ගැන පළමු බලමි. කෘතිය රසවත් ය. පිටුවෙන් පිටුව පෙරළීමට පොළඹවන සුළුය. පාඨකයා ව රඳවා තබා ගැනීමට සමත් ලෙඛණ ශෛලියකින් ලියැවී ඇත. චරිත වලට හොඳින් පණ පොවා ඇත. මහනුවරින් උඩහ තැන්නේකුඹුර සිට දහ අට වංගුව දෙසට ත්, රන්දෙණිගල දෙසටත් ඇති පරිසර වැණුම් පාඨකයා වශී කරවන සුළුය.හැත්තෑ හතට එපිට සහ මෙපිට, විවෘත ආර්ථිකය ඔස්සේ රටේ සිදු වූ වෙනස් කම්, ග්‍රාමිය පෙදෙස් තුල වෙසෙන්නෙකු දකින්නේ කෙලෙස ද යන්න ත කතුවරිය සාර්ථකව විදහා දක්වයි.චරිත ඉදිරිපත් කරලීමේ දී, ප්‍රධාන චරිත දෙක-තුන යම් තරමක සුදු චරිත ලෙස ඉදිරිපත් කර තිබුන ද, අවශේෂ චරිත යම් තරමක සාර්ථකත්වයකින් ඉදිරි පත් කොට තිබුණි. සමස්ත කතා වස්තුව සැලකුව ද, එහි අංගෝපාංග තරමක් සුලභ වුව ද - පුනර්ජන්මයේ මතක සටහන්, පෙම්වතිය තමා පතන පෙම්වතා වෙනුවට දෙමව්පියන් ගෙනෙන යෝජනාව කැමති වීම සහ ඉන් විවාපත් වන ස්වාමිපුරුෂයා අධමයකු වීම - සියළු කොටස් නිර්මිතයෙන් සෑදෙන කතාව රසවත් ය. ඉන් එහි සමහර කොටස් කලින් සිතා ගත හැකි අයුරු වුව ද, ධානාත්මක ලක්ෂණයන් වඩා ඔපවත් ව පෙනී හිටී.
තැනෙක දෙකක යම් ගැඹුරක් ඇති දෙබසක් තිබුන ද එය කෘතිය ටැ සමස්තයක් නොවේ- එය නවකතාවට අප්සුබිම් පරිසරය හා සසඳන කල ඖචිතය.
පොඩ්ඩි හෙවත් නිකිණි ගේ මේ වදන් නවකතාවේ සමස්තය හා හොඳින් ගැලපේ.
"...අපි වගේ පොළොවේ පයගහලා ජීවත්වෙන්න ඒ අයට බැහැ. පොඩි හුළඟටත් ඒ අයව ගහගෙන  යන්නේ ඒකයි. අපි පොළොව බඳලා අල්ලගෙන ජීවත්වෙන මිනිස්සු. ඒ හින්දා අපි වැටෙන්නෙ නැහැ. ඒ අය පරම්පරාව බඳලා අල්ලාගෙන ජීවත්වෙන හින්දා, ඒ අයට මහපොළොව දුරයි. ඉක්මනින් විනාස වෙනවා..." ( 232 පිටුව )

ඉහත කී චරිත නිපැයුමේ යම් සීමාවන් හා පාඨකයා ට කතාව හැරෙන්නෙ කොයි පැත්තට දැයි සිතා ගත හැකි වීම ට අමතර ව, මෙහි එන ප්‍රධාන දොස, ලේඛිකාව සමස්ත වශයෙන් අනේක වතාවක් සිංහල නවකතාවට ගෝචර වූ සිද්ධාන්ත නවකතාවට ඇතුලත් කොට තිබීම යි. ග්‍රාමීය දිළිඳුබව වේවා, විවෘත ආර්ථිකය සැලැස්මකින් තොරව හඳුන්වාදීම නිසා අප ගම් දනව් යම් විපරීතයකට ලක් වීම වේව, '71 සහ '83 කැරැල්ල වේවා රේඛියව දිගැරෙන ආකෘතික අත් හදාබැලීම් වලින් තොර නවකතා දුසිමක ට වැඩිය දැනට අප සාහිත්‍ය ට අයත් ය. කතුවරිය එම සුළභ කරුණු භාවිතාවෙන් හෝ රසවත් නිමැවුමක් ඉදිරිපත් කොට තිබීම ඇගේ දක්ෂතාවයයි.

මේ නවකතාව රචනා වූ යුගය සාමාන්‍ය ජනතාවට එතරම් බලාපොරොත්තු තබා ගත හැකි යුගයක් නොවී ය ( තවමත් අප රටේ තත්ත්වය එසේය - එය දැනට තිබුනාවේ ). ඉතින් යම් හෝ එක්වීමක්, සතුටුදායක් දෙයක් වුවත් එය සිදුවන්නේ ද දුක්ගැහැට රාශියක මධ්‍යයේ ය. එම සත්‍යතාව නවකතාව අවසන ඉඟි කරන යම් එක්වීමක දී ද අපට දැකිය් අහැකිය. එලෙස ම අබේ අයියා නොහොත් කීර්ති ට තම අවසන් බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගත නොහැකි වීම ද කෘතියේ තාත්විකත්වය ට උචිත ය.

සමස්ත වශයෙන් සොයාගෙන කියෙව්වොත්, සැලකිය යුතු මට්ටමක සංවේග රසයක් ජනිත කරවන ආරේ සාර්ථක නවකතාවකි. මෙය ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරීම සාධාරණය ය.

No comments:

Post a Comment