2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ ව්‍යායාමයේ තෙවෙනි කෘතිය ලෙස ප්‍රවීන ලේඛක එරික් ඉලයප්ආරච්චිගේ "ලේ විල සහ ඩාන්ටේ" කියවීමි. කෙටි කතා දහතුනකින් සපිරි සංග්‍රහය ආරම්භ කල ද, මා තුල කියවාගෙන ඉදිරියට යාමේ කැමැත්ත අවදි කලේ සෙමිනි. පළමු කෙටි කතා දෙක-තුන ( ලේ විල සහ ඩාන්ටේ, නිවේදකයෝ තිදෙනෙක්, පාර්වතී, අර්චනා සහ ලිලිත්), විවිධත්වයෙන් යුත් මාතෘකාවෙන් හෙබි නිර්මාණ වුව ද, කතුවරයාගෙන් දැන් දැන් බලාපොරොත්තු වන ආරේ ඉහළ රස වින්දනයක් ගෙන ආ නිර්මාණ නොවී ය. ඒ හැම නිර්මාණයක ම සිදුවීම් වල නුපුරුදු බවක්, අසම්මත බවක් සහ මනසේ යම් අඳුරු පැහැ චිත්‍රයක් නිමවීමට සමත් වුව ද, පූර්ණ රසාස්වාදයකට යම් දුරක් තිබිණැයි සිතුණි. මුල් කෙටි කතා තුන ට සාපේක්ෂ ව සිව්වෙනි සහ පස් වෙනි කෙටි කතා වන "පොළොවෙන් අහසට" සහ "ලුහුඬු දැන්වීම්" තරමක් ඉදිරියෙන් තිබිනි.
"ලුහුඬු දැන්වීම්", "පරදේසි" නවකතාවේ එන ලාංකීය වටපිටාවේ සිදු වූ සමාන්තර සිදුවීමක් ලෙස පෙනුණි. මේ අසම්මත, සාපේක්ෂ වශයෙන් අප ලේඛකයින් ට අවදානය යොමු නොකරන ඉසවු, උපේක්ෂාවෙන්, නිර්මාණයකට ගොණු කරලීම, එරික් ගේ ලේඛන ශෛලියේ විශේෂත්වය ලෙස දකිමි.
මේ වන තෙක් මට මේ කෙටි කතා සංග්‍රහය "තරු තුනහමාරක" කෘතියකින් ඔබ්බ ට නොගියේ ය. එහෙත්, කතුවරයා තම හොඳම නිර්මාණ ගෙන එන්නේ කෘතියේ මැදක් පටන් ය. දාං ලෑල්ල, මැතිවරණ කොමසාරිස්, පෙම් නොකළ පෙම්වතිය, රණරාල, පිම්ම සහ අවතාර ගත්කරු නම් වන ඊළඟ කෙටි කතා හය, එරික් ගේ ඉහළ ම නිර්මාණ අතර බැව් කීමට නොපැකිළෙමි.
අප කාර්‍යාල, වෙසෙසින් රාජ්‍ය ආතන වල තමනට නියමිත රාජකාරියෙන් පිට හීන් නූලෙන් ක්‍රියා කොට තම දිවි පෙවෙත් තනා ගත් වීරසිරි ආරේ අය සිටිත් ( දාං ලෑල්ල ).
"මැතිවරණ කොමසාරිස්" වනාහි අප රට එක් ජන කොට්ඨාශයක, රාජ කාරියට ඇති පක්ෂපාතීත්වය සහ අවංකබාවය හොඳින් පිළිඹිබු කල කෙටි කතාවකි ("ගනේෂ් සර්ට අපි මේවට ගෙවන්නෙ කොහොමද? ඡන්දෙ දවසෙ ටෙලිෆොන් බිල විතරක් ඩොලර් තුන්හාරදාහක් විතර වෙන්නැති.... ඉලෙක්ෂන් වෙනුවෙන් ජීවත් වුණු පින්වන්ත මනුෂ්‍යයෙක්... වර්ණභේදවාදය අයින් කරලා, මැන්ඩෙලාව හිරෙන් නිදහස් කරලා, දකුණු අප්‍රිකාවේ පවත්වපු පළමුවැනි ඉලෙක්ෂන් එකේ ඉන්ටනැෂනල් මොනිටරින් කොමිටියේ හිටියා."). මෙහි එරික්ගේ සාර්ථකත්වය වනුයේ, ගේ රාජකාරිය ට ඇති කැපවීම මතු කරන ගමන්, එතුමාගේ රහස් දේශපාලන සිතුවිලි ප්‍රතික්ෂේප කරලීමට උත්සක නොවීමයි. ("උතුරේ ප්‍රභූ පසුබිමක් ඇති ඔව්හු සිය ද්‍රවිඩ ලාංකිකයන්ගේ සටනට නිහඬ සහාය ලබා දුන්නත් එල්ටිටීය කෙරෙහි දැක්වුයේ බිය මුසු සැකයකි.") මෙහි යම් ස්වභාවික බවක් මම දකිමි.
හැත්තෑ එකේ කැරැල්ල යුගයේ පාසැලක ජනප්‍රිය මලල ක්‍රීඩිකාවක ගේ චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූ "පෙම් නොකල පෙම්වතිය", එම ස්ත්‍රී චරිතය පිළිබඳ හොඳ කියවීමකි. තවත් සාර්ථක කෙටිකතාවකි.
"රණරාල" වූ කලි, අපේ ගම් වල සිටි, තමනට කිසිදු පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් කල නොගත්, පීඩිත ජනයා වෙනුවෙන් කැප වී දිවි ගෙවා, පසු පරම්පරා වල විහිළුවට තහළුවට ලක් වූ වඳ වූ මිනිස් කොට්ඨාශයක් පිළිබඳ අපූරු ගෙත්තමකි. එහි විස්තර පාඨකයා තුල මවන චිත්ත රූප අපූරුය.
"ගමට එන අඳුරු මැද පාරෙන් ඇසුණේ මා කුඩා කල අසා පුරුදු රස වෑහෙන ගායනයකි. බීමත් වී වැනි වැනි ගෙදර එන්නා විසින් හඬ නඟා ගයන ගායනාව මගේ කනට ඉතා මිහිරි එකක් විය... මුළු ගම ඒ හඳ වටා එක් රොක් වන බවත්, තොටිල්ලක් මෙන් ගම පැද්දෙන බවත් මට හැඟිණි. මඟ දිගට අලුත් වී ඇති ගම අතරින් පතර දිස් වන ගරා වැටෙන වලව්වකට හෝ සොහොන් කොතකට හෝ ඉදි කඩුල්ලකට හෝ කඩුල්ලකට හෝ නැවත ගොඩනැගිය නොහැකි පුරාණ ගම එක සැණින් ගොඩැනගන්නට ඒ බීමත් හඬට පුළුවන් විය"
ගාලු කොටුවේ වාසය කරන පවුලක ගෘහ මූලිකයෙකු, තමන් ට එම නිවෙස විකුණන්නැයි පවසන බිරිඳගේ පීඩනය හමුවේ, එම මනරම් පෙදෙස අතැර යාමට ඇති අකමැත්තත්, එහෙත් වෙනස්වීමේ ස්වභාවය ඉදිරියේ තමනට මුහුණ පෑමට සිදු ව ඇති යථාර්තයත් අතර ගැටුම අපූරුවට නිරූපනය කරන නිර්මාණයකි, "පිම්ම".
"අවතාර ගත්කරු" වූ කලි මෙහි එන වඩාත් විචිත්‍ර වූත්, සාහිත්‍ය ක්ෂෙත්‍රයේ විවාදයක ට දොර විවෘත කල හැකි ආරේ වූත් නිර්මාණයකි. අවතාර කතුවරයෙකු යොදා ගෙන හලාවත මහරෝහලේ දොස්තර මහතෙකු නවකතාවක් ලියයි. එය වැඩිම මුදල් ත්‍යාගය ලබා දෙන සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වෙයි.
"'උඹලා ලොකු ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. ඔය ප්‍රවීණයි කියන ෆුල්ටයිම් ලේඛකයොයි, ප්‍රතිභාපූර්ණයි කියන මයිග්‍රන්ට් මහා පුරුෂයොයි, ෆුල්බ්‍රයිට් සිංහල ප්‍රොෆේසර්ලායි අතරේ දොස්තර කෙනෙක්ට එක පෙළට හිට ගන්න ලැබෙන්නේ නෑ' යි දොස්තර තේමිය සිය පරාජය පිළිගනිමින් පැවසුවේ ය."
එහෙත් ඉංග්‍රීසි භාෂව හා සාහිත්‍ය තම උපාධිය සඳහා හදාරණ තම පුතු මෙසේ කියයි:
"අප්පච්චියි අංකල්ලයි වලිගෙ පාගගෙන... ඕකේ කොටි ප්තක්වත්, ජේවීපී පොතක්වත්, ලෝ කාස්ට් පොතක්වත් නෑ... මේ රටේ සාහිත්‍ය කියලා කතා කරන්නේ වෙන මොකක් ද කෙහෙල්මලක්."
පසුව, රාත්‍රි නිදි යහනේදි, පුතු මෙසේ පාපොච්චරණය කරයි:
"සිංහල සාහිත්‍ය කෙතයි කියන එකට අම්බරුවෝ බැස්සේ නත්තං ඔය සම්මානේ ලබෙන්නේ අප්පච්චිගේ කියන පොතට තමයි."
එරික් ගේ බොහෝ නිර්මාණ වල වගේ, ඔහු යම් කරුණක් එසේ වීමට ඇති ඉඩකඩත් එහි පරස්පරයත් දෙකම පෙන්වන්නේ, දෙපාර්ශවයේ ම ඇත්තක ත්, බොරුවක ත් කොටස් ඇති බැව් අඟවන්නාක් මෙනි.
"කන් හැන්ද සහ යකඩ සේප්පුව" රසවත් කතාවකි. අන් අයගේ වහලෙක් ලෙස විවේකයෙන් තොරව තම දිවි ගෙවාලන මිනිසෙකුගේ කතාවකි. විවේකයක් තොරව දිවි ගෙවන ඔහුට විවේකයක් ලැබෙන්නේ හදිසි අනතුරක් නිසා ලත් විරාමයකිනි.
"ඓතිහාසික කතාවක්", ජපනුන් බොම්බ දැමූ සිද්ධිය අලලා, එ කල මෙහෙ පන්සලක් විසූ පිරිසක් ආශ්‍රයෙන් නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකි. විචිත්‍ර චරිත කිහිපයක සම්මිශ්‍රණයක්, ඓතිහාසික සිද්ධියක් හා අලලා කතුවරයා වික්‍රමයන් පායි.
ඇත්තෙන්ම පසු ගිය දා නිම වූ රජත පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට මේ කෘතිය නොතේරුණු එක මට නම් ගැටළුවකි. මෙහි එන "අවතාර ගත්කරු" කතාවේ එන සමහර දෙබස්, සම්මාන උළෙල හා සබැඳි පිරිසට සියුම් පහරක් හෝ උපහාසයක් හෝ එල්ල කරන්නේ යැයි කෙනෙකු ට සැක සිතිය හැක
. එහෙත් ප්‍රබන්ධ නිර්මාණයක කියැවෙන්නක් අබි බවා යාමට තුමුල සාහිත්‍ය විනිශ්ච්‍ය මණ්ඩලයකට හැකි විය යුත්තේ, නිර්මාණයේ සාහිත්‍යමය ලක්ෂණ පමණක් සලකා ය. එය එම සම්මානයේ සමස්ත අගය වැඩි වීමට හේතුවක් බවකි මට නම් හැඟෙණුයේ. මා සහෝදර සිංහල සාහිත්‍ය පාඨක කැලට මට පැවසීමට ඇත්තේ, මෙය අවිවාදයෙන් 2017 ප්‍රකාශ වූ නිර්මාණාත්මක සහ රසවත් ම කෙටි කතා සංග්‍රහ අතරට අයත් විය යුතු බවකි. මෙහි කෙටිකතා තුනක් පමණ තෝරා ඉවත් කොට සංග්‍රහය පළ වුණි නම්, තරු හතරාමාරක, නැතහොත් පහකට ද ආසන්න කම් කියනා ආරේ සංග්‍රහයකි. නොපමාව කියවන්න.
No comments:
Post a Comment