2017 ප්‍රකාශ වූ කෙටිකතා කියවීමේ ප්‍රයත්නයේ, දෙවැනියට කියවා හමාර කලෙ උදයසිරි වික්‍රමරත්න ගේ "කඩේ යාම" කෙටි කතා එකතුවයි. ඔහු පසු පිටුවේ ඊට "නාට්‍යකරුවකුගේ කෙටිකතා" යන උපනාමය සපයයි. මා මේ සරසවි පොත හලේ දුටු කල්හි, එය මිල දි ගැනීමට ප්‍රධානතම හේතුව ඔහුගේ "සුද්දෙක් ඔබ අමතයි" නරඹා තිබීම සහ, මා ඉන් ලත් ඉමහත් වින්දයයි ( එහි මනෝරත්න, උඩුවෙල සහ මාධනි මල්වත්ත අතිවිශිෂ්ඨ රඟපෑමක් කරනුයේ වික්‍රමරත්න්ගේ සියුම් උපහාසාත්මක නාට්‍ය පෙළට ය.)
ඉතින් "කඩේ යාම" කෙසේ ද යත්;
එහි නාට්‍ය පෙළේ රැගත් වික්‍රමරත්නගේ අනන්‍යතාවය රැගත් කතා වල දිගුවක් මෙනි. මේවා යම් තරමකින් හෝ තම අත්දැකීම් අලලා ලියවුණු ඒවා වීමට ද ඉඩ ඇතැයි කියවන්නියට සිතෙන ආරෙන් ලියැවී ඇත. ඒ ඒ සිදුවීම් සුළු දෙයක් වුව ද එහි තුලින් කියවෙන චරිත ලක්ෂණය, මිනිස් දුර්වලතාව - මානය, ඊර්ශ්‍යාව ආදි වශයෙන් - කතුවරයා මතුකොට ඇත්තේ ඉතා අපූරු ලෙස ට ය. ඒ, ඒ ඒ කෙටි කතවේ එහි චරිත වල ආත්ම ගවේශණයන් අප ඉදිරියේ ගෙන හැර දක්වන බැවිනි.
නිදසුන් ලෙස;
කඩේඅ යාම කෙටි කතාවේ, පුතා තාත්තා වෙනුවෙන් "කඩේ යනේ" පුතා තුල තමන් කෙරෙහි රැගත් අධිතක්සේරුව නිසා ය. කැපී පෙනීමට ඇති කැමැත්ත නිසා ය.ඉන් අනෙකුට අගෞරවයක් වන බවක් ඔහුගේ සිතට හෝ නොනැඟෙයි. තාත්තා තම මානය නිසා "තම පුතා" ව කඩේ යවයි.
"කිඹුලා ඇල්ලීමේ" දි, ඌ කලින් අල්ලා ගත් අයට පසුව ඌ අතැරුන් ද, පසුව සාර්ථක වූ අයගේ බිය දුරු කල බැවිනි. එක් අතකින් පෙර ඌ අල්ලා ගත් අය "රට හාවෙකු" ( හෙවත් පරීක්ෂාවට වැය කල හැකි ආරේ සතෙකු ) බවට ඔහු ද නොදැන පත් වී ඇත.
විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක් ඉංග්‍රීසි උපගුරුකමක ට හේ යන්නේ තමන් පෙර උගත් පාසැලට වුවත් තමන් ද උගත් තුන ශ්‍රේණියේ තමන් උගැන්වූ බව ඔහුට මතක් වන්නේ එම රැකියාවෙන් ඉවත් ව දශක දෙකක ට පමණ ය. ඔහුට "අමතක බව මතක් වන්නේ" එවිට ය -ඒ ඔහු ට එවකට පැවති මාන්නය නිසා ඔහුගේ අතීතය තාවකාලිකව අමතක කරලූ බැවින් යැයි ඔහු පසුව වටහා ගනී.
ඉදින් මෙහි, මේ ආරෙ කෙටි කතා එකොළහකි. පිටු අසූවක් පුරාට ය. එහි බොහෝ කතා රසවත් ය. ඉන් වෙනස් වන සමාජය, මිනිස් මනසේ දුර්වලතා ආදි ය ගැන සියුම් නිරීක්ෂණයන් ය; ගවේශණයන් ය. මෙහි ආකෘතික වික්‍රමයන්, අත් හදා බැලීම් නැත. සුද්දෙක් ඔබ අමතයි හඳුන්වාදීමේදී නාට්‍යකරුවා කියනා පරිද්දෙන්, "අප කතා අහන්න ආස ජාතියක්" බැවින් ද, සියළු කෙටි කතා කියවෙන්න, කොට බිත්තියක් ඇති ආලින්දයක් මත වාඩි ව කහට කෝප්පයක් තොල ගාමින්, හෝ විටක් ඒදා කටේ ඔබා ගන්නා ගමන් කෙරෙන සල්ලාපයක ස්වරූපයකිනි යැයි කියාන්නිය ට සිතුනහොත්, පුදුම විය යුතු නැත.
එක් අතකින් සියුම් සිද්ධින් අලලා ගැඹුරු සිතුවිලි මත්කරනා එකම කතුවරයා ගේ වික්‍රමයකි. එහෙත් වරෙක කතුවරයා තම ගවේශනය මතුකරලීමේ තැතේ කිමිදෙන්නේ පුනරෝක්ති දොස ගැන නොසිතමිණි.
සියුම් සරල කෙටි කතාවකින්, තමන් නොසිතන ගැඹුරක් තම ඇස් පනා පිට මතුවීමෙන් යම් ආහ්ලාදයක් ලබන ආරේ කියවන්නියන් සිටිත් ද ඔවුන් ට මේ පොත නිර්දේශයට පසු බට නොවෙමි.
No comments:
Post a Comment