Thursday 26 July 2018

ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනෙවිරත්න

2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ ව්‍යායාමයේ පස්වැනි අදියර ලෙස, මෑතක රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලත් සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ "ගිහින් එන්න කානිවල්" කියවූවෙමි. මීට පෙර "දූල්වල අලංකාරේ" නම් වූ බොහෝ සෙයින් සාර්ථක රසවත් නවකතාවක් පළ කොට තිබූ (ශාස්ත්‍රීය කෘතීන් කිහිපයකට අමතරව), ලේඛිකාවගේ පළමු කෙටි කතා එකතුව මෙයයි.

මෙම සංග්‍රහය කෙටි කතා අටකින් හෙබිය;

"සිලි සිලි සිරි සිරි" - අද වන විට වසන්ගතයක් ව පවතින, ඉන් මිදෙන්නට දුර්වල ප්‍රයත්නයක යෙදෙන අප රට ට මුලින් ම "සිලි සිලි" මලු පැමිණි අවදිය අලලා ලියැවුණු කතාවකි. එම යුගයේ, වෙසෙසින් ම විදෙස් භාණ්ඩ වලට අප දොරඟුළු දමා තිබූ යුගයකින් පසුව උදා වූ එම යුගයේ, එම මල්ල අපුරත්වයකින් අප වැසියන් දුටු අයුරු කියා පානා කෙටි කතාවකි.

"මිදුණා! මිදුණා! මනාව මිදුණා!" - මේ සංග්‍රහයේ එන රසවත් ම වූත් සාර්ථක වූත් කෙටි කතාවයි. තරුණ රූමත් මෙහෙණින් වහන්සේ නමක ට අප රටේ මුහුණ පෑමට සිදු වන අභියෝග, අතිශයෝක්තියක ට නොනගා ලියැවුණු සාර්ථක නිර්මාණයකි. මෙහි එන නිර්මාණයන් මේ ආකාර සම්පූර්ණ වූයේ නම් මෙය සාර්ථක සංග්‍රහයක් වීමට ඉඩ තිබිණ.

"අග්නි ප්‍රේත වස්තුව" - වියළි කලාපයේ නුගයක් යට වන්දනාමානයට පාත්‍ර වන පුලෙයාර් පිළිරුවක් මුල්කොට ගෙන නිමැවුණු තරමක වෙනස් ආකාර කතාවකි. එහි පැහැදිලි ලෙස රස උත්පාදනයට සංයෝගයක් තිබුන ද කෙටි කතාවේ යම් අසම්පූර්ණ බවක් පාඨකයා ට අඟවයි.

"ගිහින් එන්න කානිවල්" - අප රට අදට ත් අනගාරික ධර්මපාලයන් ජාතික වීරයෙකු සැලකුව ද, ඒ කාලයේ හැටියට ඔහු පෙනී සිටි අදහස් පද්ධතියෙන් අද අප කෙතෙරම් ඈත ද? ඔහුගේ අදහස් වලට සම්පූර්ණ විරුද්ධ දිසාවක සිට ඔහු ව අදට ත් සමරන්නේ තමන් කුමක් කරන්නේ දැයි අප නොසිතනා නිසා නොවේ ද?

"ගඩුව" - රාජ්‍ය සේවය, හමුදා වැන්දඹුවන් හ අප රට ආදායම් මට්ටමත් සමඟ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අලලා ලියැවුණු තාත්වික කෙටි කතාවකි. සාර්ථක කෙටිකතාවකි.

"කළු පෙට්ටිය" - යම් තරමක ස්ත්‍රී ලෝලියෙකු, ඊට සමාන්තරව තම බිරිඳ ගේ ද සම්පූර්ණයෙන් ම බලාපොරොත්තු වන අයුරු පෙන්වා දෙන අපූරු චරිතයක් අලලා ලියැවුණු නිර්මාණයකි.

"රාමු දෙකක කතාවක්" - පාඨකයාට යම් ව්‍යාකූලත්වයක් මුසු රසයක් ගෙනෙන, තරමක අත්භූත සිද්ධීන් අලලා ලියැවුණකි. නැවත වරක් කෙටි කතාව සම්පූර්ණ ද යන සැකය පාඨක සිත තුල තිබුන ද, කියාවාගෙන යාමට රුකුල් දෙන ආරේ කතාවකි.

"පෙතියා" - වැවකින් ගෙනවිත් නිවෙසක ඇති කුඩා පොකුණක ඇතිකරනා මත්සයකු ගේ දෘෂ්ඨිකෝණයෙන් ලියැවුන්නකි. නාගරික ජීවිතය ගැනත්, එහි මිනිසෙකු සතු සීමිත නිදහසත්,  කුඩා පොකුණේ මත්සයාගේ නිදහසේ සීමාවන් පිළිබඳ යම් සියුම් සැසඳීමක් කතාවේ තිබුන ද, කතා රසය  පිළිබඳ ප්‍රශ්ණකාරි බවක් ඉතිරි කරලමින් අවසන් වූ නිර්මාණයකි.

සාරාංශගතව පැවසුවහොත්, රසවත් නිර්මාණ වලට ඇවැසි මූලාශ්‍රසපිරි වුව ද, ඒවා පරිපූර්ණ නිර්මාණ ලෙස එළි දක්වා ඇත්දැයි ප්‍රශ්ණකාරි හැඟීමක් ඇති කරනාකාර නිර්මාණයකි. අප රට සාර්ථකම කෙටි කතා කරුවන් දෙපළ ලෙස මට සිතෙන නිශ්ශංක විජේමාන්න සහ පියල් කාරියවසම් ද, ඊට ළඟා විය හැකි  අනෙක් කෙටි කතා ශිල්පීන් දෙපළ යැයි සිතිය හැකි එරික් ඉලයප්ආරච්චි සහ ලියනගේ අමරකීර්ති යන අයගෙන් කතුවරිය යම් ආභාශයක් ලබා ඇතැයි මට  සිතුණි. ආභාශයේ දොසක් නැති වුව ද, ඈ සතු ව ඇති පොහොසත් කතා මුලාශ්‍රයන් මීට ත් හොඳින් හසුරුවා, අනාගතයේ සාර්ථක කෙටි කතා සංග්‍රහයක් අප ට ලබා දේවි ‍යැයි බලාපොරොත්තු වෙමු.



No comments:

Post a Comment