2017 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතුරින් තොරා ගත් කෘති කිහිපයක් කියවීමේ මගේ ව්‍යායාමයේ සවැන්න ලෙස මයැති කෘතිය තෝරා ගත්තෙමි. මේ සංග්‍රහයන් තෝරා ගැනීමේදි, සම්මාන නිර්දේශයන් සහ ලේඛක ප්‍රවීණත්වය ට අමතර ව කතුවරුන්ගේ අන් නිර්මාණ වල සාර්ථකත්වය නිසා ම ඔවුන් ගේ කෙටි කතා සංග්‍රහයන් ද කියවා බැලීම ට උත්සුක වූ අවස්තා තිබුණි/තිබේ. උදයසිරි වික්‍රමරත්න (නාට්‍ය ), සමිත බී. අටුවබැන්දෑල ( කාව්‍ය ) සහ අසෝක හඳගම ( සිනමා ) එවන් කතුවරු තිදෙනෙකි.
සමිතයන් පිටු හැට හතරක් පුරාවට කෙටි, කෙටිකතා දහයක් අප හමුවේ තියන්නේ ය. මේ කෙටි කතා වල යම් පොදු ලක්ෂණයක් වේ නම්, ඒ බොහෝ එවා කතා නායකයාගේ මනස හා කෙරෙන ගණුදෙණුවක කොටසක් වීම යි. මේ කෙටි කතා වල ආකර්ෂණය එයයි - නුමුදු වරෙක මේ සංග්‍රහයේ දුර්වලතාව ද එයම යි. මගේ ප්‍රේම වස්තුව, ඔයා නැති දවස්, මහතුන්, මන්ත්‍රිතුමා පැරදුණා, ජපානෙට යෑම, මට මගේ දුව ඕනේ සහ වැස්ස යන කෙටි කතා සියල්ලේ ම මේ ලක්ෂණය රැගත් ය. එහි රසයක් ඇත - එය වරෙක අජිත් තිලකසේනයන් මතක් කරවන සුළු රචනා ශෛලියකි. වෙසෙසින් "ඔයා නැති දවස් කිහිපය", "මට මගේ දුව ඕනේ" සහ "වැස්ස" යන කෙටි කතා තුන තිලකසේන සාධකය බෙහෙවින් මට මතක් කලේ ය. එනුමු දු සමිතයන් තිලකසේනයන් තරම් පාඨකයා ඔහුගේ අදහස් ගොණ්ණක් තුල අතරමං කර තම ලෝකයට පළා නොයන්නේ ය. බොහෝ විට සමිත කතාව නිම කරන්නේ අප ව නැවත මේ ලොවට ගෙන ආමෙන් පසුව ය. එය පාඨකයා ව්‍යාකූලත්වයෙන් බැහැර කරයි ( මම තිලකසේනයන්ගේ රසිකයෙක් යැයි නොසිතමි ). එහෙත් ආ පිට පැමිණි පාඨකයා ට ඒ අන් අයෙකු ගේ මනස තුල එතරම් ම තිගැස්මක් ඇති නොකර ගනී. "මට මගේ දුව ඕනේ", ඒ කම්පාව යම් දුරකට අප තුල පවත්වන කෙටි කතාකි. මට තිලකසේන්යන්ගේ "මන් දා" නම් කවි පංතිය මතක් කලේය.
"ඔයාටයි, දුවටයි වෙන්වුණු ලොකු ජීවිතයක් ඇති. ඒ වගේම එයාටයි, දුවටයි ලොකු ජිවිතයක් ලැබිලා ඇති.
ඇයි එතකොට මටයි, ඒ මගේම දුවටයි එහෙම නිර්මාණය වුණ ලොකු ජීවිතයක් නැද්ද...?
....
ඔයා දන්නවනේ මට තරහ යන්නේ අවුරුදු හතකට එක පරයි. ඒ යකා නගින දවසට මට සොහොන් පිට්ටනිය අනික් පැත්තටම පෙරලන්ට පුළුවන්"
එලෙස ම කතා නායකයාගේ මනස් කම්පනය අප තුල ට පවත්වන්න ට සමත් කෙටි කතාවකි, "මහතුන්". ස්ත්‍රියක් තම පිරිමියා ගේ ස්වාමිත්වය ට සටන් වැදීම උදෙසා කෙතෙරම් දුරක් යා හැකිදැයි ඉතා හොඳින් පෙන්වන කෙටි කතාවකි. තම බේබදු වල්ලභයා හා එක්කාසු වීමට නොහැකි කතක් තමන් සේවය කරන නිවෙසට බලු වේසයෙන් ඔහුට ඒම ට පවසයි. ඔහු පැමිණි පසු, ඉතා ඉක්මනින් නිවෙස් හිමි කත හා මේ සුනඛයා ලැදී වී, අර පෙර කී කත වෙතින් ඈත් වෙයි. ඇගේ ආවේගය ඈ මෙලෙස පිට කරයි:
"මහතුන් උඹ බල්ලෙක්. මහ බල්ලෙක්. මං කියනවා මේ ඔක්කොම මහත්තයාට මේ ඔක්කොම. මං කියනවා මහත්තයට උඹලා ඉඹගත්තා කියලා. නොහොඹිනා විධට හැසිරුණා කියලා.... මහතුන් උඹ ආයෙත් මිනිහෙක් වෙයන්. මං එනකන් බීලා බීලා බීලා හැමදාම කුණු කානුවේ වැටිලා හිටපං. මං උඹව හෝදන්නම්. මට පුළුවන් උඹව දවස් ලක්ෂයක් උනත් හෝදන්න..."
එනුමුදු, අවංකව කිවහොත් මෙවන් උත්කෘෂ්ඨ කෙටි කතා දෙකක්, සහ සාර්ථක යයි කිව හැකි නිර්මාණ තුන හතරක් ( මගේ ප්‍රේම වස්තුව, ඔයා නැති දවස් කිහිපය, අමරණීය මරණය , ටොමියා) හැර, අනෙක් වා පාඨකයා ට වේගයෙන් අමතක වන සුළු ආරේ නිර්මාණ යැයි සිතමි. එහි ඇත්තේ ශෛලීයේ යම් සාර්ථකත්වයක් සහ සුළු සිද්ධියක් අලලා නිමවුණු කතා පුවතකි.
වෙනස් ආරක කෙටි කතා කියවීමට කැමති සහ, එක්තර අන්දමකින් ඉක්මනින් කියවීමට යම් කෙටි කාලයක් පමණක් ඇති පාඨකයකු මේ කෘතිය කියවීමෙන් යම් රසයක් විඳිය හැකිය. එහෙත් සමිත ගේ "කඳු මුදුන" නම් වූ අපූරු කාව්‍ය සංග්‍රහයෙන් මා ලෑබු ආස්වාදය මේ සංග්‍රහය තුලින් සමස්ත ලෙස නොලිදිමි.