Wednesday, 4 August 2021

කරත්තය - සෝමරත්න බාලසූරිය

 මෑතක පළ වූ 2020 වසර සඳහා වූ ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශ දිගු ලයිස්තුවට, සෝමරත්න බාලසූරියගේ "මුක්ති" ඇතුලත් ව තිබේ. බොහෝ සිතා මතා, තෝරා බේරා, සිංහල නවකතා කියෙව්වද, බාලසූරියගේ නවකතාව කියවීමට මට සිත් විය. ඔහු කැමුගේ සුප්‍රසිද්ධ නවකතාව "පිටස්තරයා" නමින් සිහළට පෙරළු කෙනාය. වීමංසා සාහිත්‍ය සඟරාවට මුල් වූ එක් අයෙකි.  ඔහු ගේ විශාල ප්‍රකාශන ගණනකුත් නැති වීම, ඔහු සෑහෙන කල් ගෙන බොහෝ පිරීක්සීමෙන් ලියන්නෙකු ට බව ඉඟි කරන්නක් ද ? ඔහුගේ ලිවීමේ ශෛලිය ගැන යමක් දැනගැනීමේ කුකුස නිසා මා සතුව තිබූ ඔහු ගේ සම්මානනීය කෙටි කතා සංග්‍රහය වන 'කරත්තය' කියවීමි. මේ, ඒ පිළිබඳ මගේ අදහස් ය. ( නුදුරු දිනෙක 'මුක්ති' ගෙන කියවීමට ඉටා ගත්තෙමි).



1991 ප්‍රකාශ වූ මෙම කෙටි කතාවට සාරගර්භ ප්‍රස්ථාවනාවක් ලියමින් පවසන්නේ මෙම කෙටි කතා ඊට වසර තුනකට පමණ පෙර ලියූවා බවකි. එවකට අප රට තිබූ උතුරේත් දකුණේත් ත්‍රස්තවාදයත්, ඊට නොදෙවෙනි අයුරෙන් ක්‍රියා කල ආණ්ඩුවත් නිසා රට පුරා තිබූ අසහනකාරි බව සාමාන්‍ය ජන ජීවිතයට බලපා ඇති ආකාරය මෙම සෑම කෙටි කතාවෙන්ම සුළු වශයෙන් හෝ දැනේ. විටෙක එම පසු බිමට සීමා වූ එක් සිද්ධියක් පමණි ( නිදසුනක් ලෙස "මහාචාර්‍යවරයා" කෙටිකතාවේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ස්ථානයේ ඇති පොලිස් රථය සහ  ඇතුල්වන්නන් සෝදිසි කිරීම). එහෙත් බොහෝ නවකතා වල මෙම අලුත් ආරාක්ෂාකාරී පිළිවෙල සාමාන්‍ය ජනතාවට බලපෑ ඇති අයුරු කෙටිකතාවේ ප්‍රධාන ධාරාව හා තදින් බද්ධ වේ. ඒ කෙසේද යත්;

* "බුද්ධිගලනය" කෙටිකතාවේ, තවත් එවන් බුද්ධිගලනයට අවස්ථාවක් උදාවන්නේ හිර අඩස්සියට ගත් මහාචාර්‍යවරයා නිදහස් වූ දිනෙක විය යුතුය.  වෙසෙසින් එවකට අප බොහෝ ආරක්ෂක අංශ නිලධාරීන් ට ඔවුන් ට ප්‍රති උත්තර බැඳීම ඉවසිය නොහැකි නිසාය ( අද වන විට මේ තත්ත්වය එදාට වඩා සාපේක්ෂව යහපත් යැයි සිතමි). ආරක්ෂක අංශ වෙත පිලිතුරු දුන් අයුරු නිසා, ඔවුන් "අමතර දුරක්" යාමට හේතු වූ බවට පැහැදිලිය. මහාචාර්‍යවරයාගේ ගෘහිමියා ගේ පිලිතුරෙන්, එවක සාමාන්‍ය  ජනයා කෙසේ ජීවත් විය යුතු දැයි වටහා ගෙන තිබූ බව පැහැදිලි වෙයි.

"පොලීසිය හා සිසුන් පිටවී යනවාත් සමඟ ම ගෘහිමියා ජනේලය ළඟට විත් ඔහුට කතා කළේය. ' මිස්ටර් කතා කරනව මට ඇහුණ. මිස්ටර් පොට වරද්දා ගත්තා. යාප්පුවෙන් කතා කරල ඕක ගොඩින් බේරා ගන්නයි තිබුණෙ." (32-33 පිටු )

අද පවා අප සාමාන්‍ය ජනයා 'යාප්පුවෙන්' යමක් 'ගොඩ දා ගැනීමට', හෝ 'ශේප් කරගැනීමට' පෙළඹෙන්නේ, එය අප රට සාමාන්‍යකරණය වූ "සිස්ටම්" එක නිසා ය. එවිට තමන් කරන සාධාරණ වැඩකොටසට, සරිලන ලෙස තමන්ගේ උවමනාවන් ඉටු නොවෙනා කල බුද්ධිගලනය සිදු නොවී පවතී ද? තම අයියන්ඩි දැරූ  අමාත්‍යාංශය, 'අපූරූ' ආකාරයකට ලබා ගත් "මොල කිහිපයක් ඇති" මලයන්ඩි, භාණ්ඩාගාරයේ සල්ලි නැතැයි කියා, ආර්ථික ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට තමනට සහය වෙන්නයි මහජනතාවගෙන් ආපසු ඉල්ලද්දි, එදා සහ අද අතර බුද්ධිගලනය අඩු වීමට හේතුවක් නැති බව පැහැදිලිය.

* "කරත්තය" කෙටි කතාවේ රණසිංහ අපට මතක් කරනුයේ "මහ්'සෝ" ය ( බලන්න පිටස්තරයා /The Outsider - Albert Camus). 'ජේෂ්ඨේ' සමත් ඔහු කරත්ත රස්සාව කරන්නේ එය ද රස්සවක් නිසා ය.

"'තමා ඒ කාලේ ඔච්චර ඉගෙන ගෙන ඇයි රස්සාවකට නොගියෙ?'

'ඇයි මම රස්සාවක් කරනව'

'මම අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්?'

'එහෙම එකක් තියෙනව ද?'

එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි රාළහාමි දෑඟිලි අතර රඳවාගෙන තිබූ පෑන එසේ තිබියදී ම ඔහුගේ කම්මුල හරහා පහරවල් දෙකක් ගැසුවේය" (36 පිටුව)

රණසිංහ බොහෝ සේ ඉවසාගෙන සිටිය ද, බොහෝ සෙයින් සාධාරණ ලෙස හැසුරණ ද ඔහුගේ ඉවසීමේ සීමාව ද පොලිසීය විසින් ඉක්මවීමට සමත් වෙයි.

* වෙනස් වුණු කොළඹකට, ආරක්ෂක හේතුන් නිසා බොහෝ තහංචි වලට මැදි වූ කොළඹකට, උත්තර පත්තර ඇගයීමට පැමිණි ගුරුවරු පිරිසක් මුහුණදෙන අත්දැකීම් අලලා ලියැවී ඇති "උත්තර පත්‍ර ඇගයීම" ද, මෙ රට එවකට තිබූ තත්වය ගැන කියැවෙන කෙටිකතාවකි. උපාධිධාරී මෙම ගුරුවරු, තම ග්‍රාමීය පාසල් හා බැඳී ජීවිතය ප්‍රශ්ණ කරලීමකින් තොරව තම දෛවය ලෙස භාරගෙන, උත්තර පත්‍ර ඇගයීමේ බොහෝ පළපුරුදු මුත්, අවම පහසුකම් මත එම කර්තව්‍ය කරන්නෝය;   අලුතින් පත්ව එන අධ්‍යාපන නිලධාරීන්, ආරක්ෂක අංශ ආදී සැමගේ බොරු ගෞරවයට යටහත් වීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වන අයුරු කතුවරයා තම විෂය කරගනී.

 ඉහත කී එවක පැවති රටේ ආරක්ෂක තත්වය ට අමතරව, මෙහි මුඛ්‍ය වන අනෙක් මාතෘකාව වන්නේ අප රට දේශපාලනයයි. අමාත්‍යවරයා "බැහැදැකීම" ට පැමිණි අය, එන්නේ පයින්ද, වාහනෙන්ද යන්න මත ඔහු ව හමු විය හැකි ද, නොහැකි ද යන්න තීරණය වේ. "යාප්පුව", "ශේප් කර ගැනීම" සාමාන්‍ය වූ සිස්ටම් එකක මේ තත්ත්වය අදට ද, අද ඔබින ආකාරයෙන් වෙනස් වී තිබුන ද, තවමත් යාප්පුව අත්‍යවශ්‍ය කාරණාවක් වීම ඛෙදනීය තත්ත්වයකි. මේ "හීන් නූලෙන් ගැසීමේ" ක්‍රමය දේශපාලනයේ භාවිත කරන අයුරු, "මංගල රැස්වීම" කෙටි කතාවේ, එම රැස්වීමට වඩින සංඝයා වහන්සේ ගේ සිතුවිල්ල මගින් හොඳින් නිරූපනය වේ.

"උන්වහන්සේ මඳ විරාමයක් ගෙන 'කතාවක් කිරීම නොමැනවි. කතාවක් කර පක්ෂය පැරදුණහොත් අනෙක් අපේක්ෂකයාගෙන් කිසිම වැඩක් කරගත නොහැකි වෙයි. කැඳත් රැවලත් දෙකම බේරා ගත යුතුය. එසේ හෙයින් බුදුන් වදාළ මැදුම් පිළිවෙත රකිමි." (10 පිටුව)

සාරාංශ වශයෙන් ගත් කල 1980 දශකය අග, අප රට ජරා ජීර්ණ වූ දේශපාලනය,  අවිනීතිය රජ වූ ආරක්ෂක පිළිවෙත් පමණක් නොව, සමාජ සාධාරණත්වයේ අපේක්ෂාව ( 'බුද්ධිගලනය'),   සාන්දෘෂ්ඨිකවාදී පිළිවෙත ( 'කරත්තය') ආදි අදහස් මගින් පෝෂණය ලැබ ලියැවුන්නකි, මෙම කෙටි කතා සංග්‍රහය. මෙම කෙටි කතා සංග්‍රහයට වසර තිහක් පිරී තිබුන ද, මගේ මිම්ම හැටියට නම්, එදා සහ අද අතර අප රට දේශපාලනයත්, විනයත් ලෝකයේ අන් ප්‍රදේශ හා සැසඳීමෙදී උචිත මට්ටමකට වර්ධනය වී නැත. එම නිසා දෝ, මෙහි එන මාතා බොහෝ සෙයින් අද ට ද අදාළය. 

කෙටිකතාවට කැමති අයට නිදර්ශන කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****
කෙටිකතා - මුල් මුද්‍රණය 1991; සිව්වෙනි මුද්‍රණය 2014 ( ගොඩගේ )
රාජ්‍ය සාහිත්‍ය සම්මානය / ජනතා සාහිත්‍ය සම්මානය




Saturday, 24 July 2021

සල් ගහ යට - රත්න ශ්‍රී විජේසිංහ

 


මෑත ඉතිහාසයේ අපේ ප්‍රවීණතම කවියා ලෙස අයෙකුට නම් කල හැකි රත්න ශ්‍රී විජේසිංහ ගේ බොහෝ සංග්‍රහයන් මට මගැරී තිබේ. මා මීට පෙර කියවා තිබුනේ තරු ලකුණ පමණකි. මෙම සංග්‍රහය හැර අන් බොහෝ සංග්‍රහයන් මෑතක එක්‍ රැස් කර ගත්තද තවම කියවීමට  කාලය නොයෙදුණි. එවන් වටපිටාවක ය දැනට මුද්‍රණයේ නැති මෙම සංග්‍රහයේ පිටපතක් මගේ මිතුරෙකු හේතුවෙන් මා අතට පත් වන්නේ.  මා සතුව මෙය පවතින්නේ දින කිහිපයක් පමණක් නිසා සතියකට අඩු කලකින් මා මෙය මා කියවා නිම කලෙමි.

මෙහි අපූරු කවි පංති රැසක් ඇතෙන්, එය රසවත් හා සාර්ථක සංග්‍රහයක් ලෙස නම් කල හැකි බැවි සැබවි. එනුමුදු, මෙහි අපි අද වන විට අපේක්ෂා කරනා, නැතහොත් සිංහල කවියට හුරු මැයන් අලලා ම කවි නිර්මාණය වී තිබීම මා අවදානයට යොමු විය. මීට වසර 25ට පෙර නිකුත් වූ කවි එකතුවක් ගැන එවැන්නක් කීම සාධාරණ කියමනක් ද යන්න, දෙවනුව මට සිතෙන්නෙ, රත්න ශ්‍රී මේ කවි සිතුවිලි වල පෙර ගමන් කරු වුවා වන්න ට ද ඉඩ තිබූ බැවිනි. එහෙත්, අද වන විට එරික් ගේ, යශෝධා සම්මානිගේ, සහ වෙසෙසින් ඉසුරු චාමර සෝමවීර ගේ කවි කියවා  මේ කවි කියවන විට, මට හැඟෙන්නේ නිතර කවියට ගන්නා සිතුවිලි ඔස්සේ, මැනවින් බස හසුරුවන කවියෙකු ගේ නිර්මාණ මිස, නව කවි සිතුවිලි වලට උත්පාදනය දෙන්නකු නොවෙන ලෙසට ය. පෙර ද අද පිළිගත් ලෙස මා මෙය අවුරුදු 25 ට පසු ව කියවන නිසාත්, කවියා ම පෙර වදනේ කියනාකාරයෙන් තමන් ද වසර 7-8 කාලයක් ලියූ කවි එකතුවක් වීමත් නිසා එහි යම් කල් ගිය බවක් තේරුම් ගත යුතුය.  (  මෙම අදහසේ දොසක් ඇත්නම්, මට පෙර මේ කවිය කියවූ ඇත්තන්  කමා කොට මෙම ආස්ථානයේ දොස් පෙන්වා දෙත්වා. ) එහෙයින්, මා වෙසෙස් කරුණක් වෙත යොමු වෙමි. මේ කවි ලියූ යුගයට දශක තුනකට පමණ පසුව සිට, අද ඒවා නූතන අදහස් හා ගලපන්න ට උත්සාහ කරන්නෙමි. 

එසේ වර්තමාන අදහස් හා එදවස අදහස් අතර වෙනසක් ඇති වූ කවි පංති කිහිපයක් තෝරා ගතිමි ;


මෙය මා සිත් ගත් කවි පංතියකි. තමන් පසු කර යන බව දැන දැන සිප් බෙදා දීමේ ගුරු සිත, දෙවෙනි වන්නේ තමන් පසු කර යෑම තම පරම සතුට කර ගත් දෙමාපිය සිතට පමණක් විය යුතුය. එහෙත් මේ කවි පංතිය, එක් වෙසෙස් කාරණාවක් ගුරුවරයෙකුට ඉතුරු කරන බව මතක් කරලීමට තැත් කරයි. ඒ තම සිසුවා ඇතුළුවන සමාජයේ පින්-පවු දෙක වෙන් කර අඳුනා ගැනීමට තරම් ඉවරයක් නොහැකි එකක් බව මතක් කර දීම ගැන ගුරුවරයාගේ අවදානයයි. අවුරුදු 25 ට වැඩි මේ අවවාදය නූතන යුගයේ අවඥ්ඥාවට ද ලක් වීමට ඉඩ තිබීම, සිතීමට තවත් කාරණාවක් ඉතුරු කරයි.  අද සමාජ සාධරණත්වය සහ නීතියේ පරමාදීපත්වය ගැන නූතන යහපත් යොවුනන් අවධානය යොමු කරලීම යුගයේ අවශ්‍යතාවක් වන්නේ දිනෙන් දින රෝගී බව උත්සන්න වන්න අප සමාජය නම් සිරුර, ඉන් බේරා ගැනීමට ය. පින් පවු පමණක් තැකීමෙන් පසු ගිය අවූරුදු හැත්තෑ ගණනක් තිස්සේ අප රට ට එතරම් සෙතක් වූ බව පෙනී නොයන්නේ, ලක්ෂ ගණන් මල් පුජාවන් ද එවන් පින් ගොඩට අප ඈඳූ නිසා ද ?

නූතනත්වය, දෙමාපියන් ට එතරම් කාරුණික නැත. දරුවෙකු මෙලොවට
ඒමට ආයාචනා නොකලෙන්, තමන් බිහි කල දරුවා ගේ උන්නතිය පිළිබඳ පූර්ණ වගකීම දෙමාපියන් සතු වෙතත්, දෙමාපියන් විය පත් වූ විට වැඩුණු දරුවන් ඔවුන් බලා ගැනීම සමාජ සිරිතක් පමණක් වන තැනට තල්ලු වෙමින් පවති. පෞද්ගලිකව මා මේ ආස්ථානයට කැමතිය. එහෙත්, නව යොවුන් වියට පා තබන දරුවන් අප හා ගැවසෙන කාලය අඩු වද්දී එය සිතට නොදැනෙන්නේ නොවේ. මේ ඈත් වීමේ මුල් කාලයයි. කල හැක්කේ ඊට අනුගත වීම පමණි. ඒ අර්ථයෙන්, දරුවන් ගේ වර්තමානය ගැන සිතේ රැකගත් සතුටක් මිස, තමන්ගේ කැප කිරීම ගැන සියුම් ව හෝ කුල කීම නූතන දෙමාපියන් ට තරම් නොවන්නේ යැයි සිතිය හැක. ඒ අතින් මෙම කවි පංතිය පියෙක් තමනට ම කියා ගන්නා රහස්‍ය කෙඳිරීමක් වුවත්, එහි ඇති සියුම් පසුතැවීම මුල් කර ගත් දුක් අඳෝනාව අද වන් දවසක නැවත සිතිය යුත්තක් ලෙස සැලකීම දොසක් ද ?






අද වන විට අප රට පවතින්නේ ආර්ථිකව ඉතා අවදානම් සහගත තත්ත්වයකය. ඇත්තෙන්ම බංකොලොත්බාවයේ  අබියසය. මෙය දවසකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නුවූවත්, වර්තමාන රට කරන ඇත්තන් හා මෑතක රට කල ඇත්තන් ද, ඊටත් පෙර රට කල ඇත්තන් ආදි බොහෝ පිරිසක් ඊට වගකිව යුතුය. එලෙසම අප රට මහජනතාව ද ඊට වගකිව යුතුය. අසූව දශකයේ අග තත්ත්වය මීට වඩා අසරණ ද යන්න ගැන සිතුන ද, එය ගැලපුමට,  සංසන්දයට තරම් කරුණු කාරණා මා වෙත නොවේ. එහෙත් පෙර කිසි කලෙක නොවූ තරම් රට හැර යාමට ජනයා උත්සුක වනවා පමණක් නොවේ, සමාජ ජාල වල අලුත උපන් දරුවකු තමන් නැවත ලංකාවේ උපන් බව දණ ගත් කල ඇතිවන නුරුස්නා බව ඇඟෙවෙන "මීම්" ද, අමරදේවයන්ගේ "සසර වසන තුරු" ගීතයේ "පින්කෙත... යළි උපදින්නට හේතු වාසනා" තිබිය යුතුයි යන්න හාස්‍යයට ගැනෙන්නේ ද, සාමාන්‍ය ජනතාවගේ ඉවසීමේ සීමාව පැන ඇති බව ඔප්පු කරලීමට මෙනි. එහෙත්, රත්න ශ්‍රී ගේ මෙම කවි පංතියෙන් 1996 ට පෙර යුගයක ද, පින්කෙත යන්න උත්ප්‍රාසයෙන් යෙදී ඇති බව පෙනී යයි. රත්න ශ්‍රී අසූව දශකයේ අග අප රට සිටි දුර්භාග්‍යමත් යුගය ගැන මෙනෙහි කරමින් මෙම කවි ලියුවේද ?



මේ කවි පංතිය මා සිත් ගත්තේ, නොන්ඩියෙන් යන සෙනසුරා හා දුක් විඳිනා ජනයා අතර අති සහෝදර බැඳීම ගැන ඇඟවෙන අයුරු මා සිත් ගත් නිසා ය. මෙහි පෙර කවි තුන්පංතිය තරම් වසර 25-20 ක අදහස් පෙරළීමක් ගැන  කීමට නැත්තේ, කවියා එවකට ද ඊට අකුත් අර්ථ කතනයක් දී ඇති හෙයිනි.

සමස්ත ලෙස රසවිඳි කවි පංතියකි. බොහෝ විට මා සිත් ගත්තේ කවි මැය සහ් එහි  අදහස් වලටත් වඩා භාෂා භාවිතාවේ ශූරත්වයයි. වර්තමානයේ වඩා කථන බසට ආසන්න කවි බසක් භාවිතාව නිතර දැක ගත හැකි වෙතත්, මෙහි එවන් අවස්ථා නැති තරම් ය. එපමණක් නොව සමහර ඓතිහාසික අවස්ථා කවි නිමිති කෙරෙන තැනක ඊට සරිලන බසක් භාවිතාවට තරම් කවියා බස භාවිතාවේ දක්ෂය.

ඉඩ ඇති පරිද්දෙන් 1979 ප්‍රකාශ වූ 'බිය නොවන් අයියන්ඩි' සිට පිළිවෙලට කවියා ගේ සංග්‍රහයන් කියවීමේ දොළක් ඇතත්, සීමීත කියවිම් ඉඩ අනුව කවදා එම සැලසුම් පළදරාවි ද යන්න ගැන සිතිය නොහැක.


මුද්‍රණය - 1996 ( ගොඩගේ )
ශානරය - කාව්‍ය
ශ්‍රේණිය - ****




Friday, 23 July 2021

Orange World (and other stories) - Karen Russell

 Recently, I wanted to explore a contemporary short story collection, since I haven't read anything after "The Refugees" (Nguyen) and "Men without women" (Murakami). Having learned that this was the most acclaimed collection in some lists for 2019 , I decided to read it. 



This collection has eight short stories, and seven of the eight stories has a considerable part of either pseudo science (The Tornado Auction, The Bad Graft), fictitious beings, ghosts, werewolves and the like ( Orange World, The Prospectors, Black Corfu),   lands with fictional environmental conditions ( Bog Girl), or even a post-calamitous American state (The Gondoliers). There was only one story which doesn't fall under a paranormal setting, but it had characters from a well known novel -  with the greyhound of the main character in that novel, a certain Emma Bovary - as the main character in our short story. ( This irked me no end, since am yet to read that novel.)

The first short story ends with us not convinced that "The Prospectors" escaped after an all night party with a bunch of young men, who won't be convinced that they've been dead for sometime. How the story is build using post-gold rush era characters was what kept me hooked. There were many themes ( e.g. abuse at home) which are used as conditioners, for the resulting misleading vocation of "prospectors", which the girls picked to describe, what they were doing.

"I'd be a prospector of the prospectors. I'd wait for luck to strike them, and then I'd take their gold."

The short story travels quite  a distance to end up with the dead, from where it commenced - if that could looked upon as a failing - a little directionless ? Perhaps. But an enjoyable read all the same.

"The Bad Graft"is one of the better short stories of this collection. Hitting on short takes of fiction, after the long "Overstory", I had to take my time to accept that the pseudoscience was just that. I ended up reading a bit on the Joshua tree ( and even on how U2 selected that as a title for their hit album).

“During a season of wild ferment, a kind of atmospheric accident can occur: the extraordinary moisture stored in the mind of a passing animal or hiker can compel the spirit of a Joshua to Leap through its own membranes. The change is metaphysical: the tree’s spirit is absorbed into the migrating consciousness, where it lives on, intertwined with its host”

The story works, given the unsettled mind of the girl ( which syncs totally with the season of wild ferment), and the early stage of a commitment that the young lovers find themselves in, not to mention the total independence that they enjoy, away from their families. 

The bog girl is a story which didn't quite connect with me. The level of fantasy, and the extent of how much every one tolerates the out of the ordinary ( a corpse of a girl from the iron age, as the partner for a 15 year old boy ), makes one wonder what it is all about. The only reasoning I could approximate was the age of political correctness and tolerance, that we are in. It also resonates with the thought that the boy just wanted the "thought"of having a girl, and "someone" (?) to have his way with - a feminist interpretation if that is what it is inclines towards.

Not withstanding my not having read the novel, "Madame Bovary's Greyhound" is another better short story of this collection. The lack of love that the bitch felt ( Emma was trying to love her husband - a task which left her tired and listless) at her home, where she had no shortage of food, contrasted with the simple minded "Hubert" who healed her, and cared for her, is presented in a way that leaves a deep etch in the reader's mind.

By some trick - maybe just from experience - I realised on first reading that the gobbledygook has to be read, but not explored in The Tornado Auction. But it provides an important 'climate', for the story to take root. The essence is that tornadoes and such weather patterns are harm harvested, and  the beauty of the whole piece is that that the authoress has treated it with an ipso facto kind of conviction, that the reader too is more engrossed in the mental state of the old man (the main character) in his solitude, rather than how absurd his own tornado sounds.

"Live long enough, and your life becomes your own to gamble with again"

I enjoyed the short story with faint memories of the long empty landscapes that Dorthy (i.e. Wizard of Oz) lived in, in the animated TV series running on as background. The story ends with a reminder that as long you are loved, you are not quite recklessly free to gamble.

Black Corfu is where the authoress takes on the subject of discrimination - as a hard working doctor loses everything that he has worked for - he loses his credibility, his own confidence. The man so devout to his profession, forsakes his own family's love, as what he wants is confirmation of their belief in his ability as a "posthumous doctor", and not unconditional love. That werewolves are used as "useful beings to build the case", is again one of those things, which the reader accepts and continues toward the more important things that Karen has to say.   The authoress may have been trying to portray that mistakes have differences price tags, depending on your ethnic background.

In a post natural disaster hit Florida, we come across four girls who are "echolocators", who live among the ruins - "poling the canals of New Florida". Pollution is the new normal for these girls as they earn a living taking people on their "Gondoliers". The whole story has a feel of a post-apocalyptic life, and although the ending is again, inconclusive, the ride on the gondolier is enjoyable.

For a parent, the surety that their offspring is safe is the most precious assurance in this world. I myself am guilty of resorting to religious belief when it comes to my children's safety, while I scorn the same beliefs elsewhere.  One simply doesn't take a chance, however far fetched it may be to danger. Hence the story which gave the name to this book hit me at a very personal level, as Rae struggles with the Red world ( a troubled pregnancy) , compromises towards a  Orange world ( with a devil on the bargain ) battling it out for the safety of her child, and finally arrives to a green world - the arrival at which she finally understands her own mother fully. 

Not withstanding the unusual setup that almost all of these tales operate in, I enjoyed the reading experience and wouldn't hesitate to recommend this to fellow readers looking for shorter doses of fiction.

genre - fantasy/short stories
year published - 2019
rating - ****

Thursday, 22 July 2021

කෝමල මාණවක - ශමෙල් ජයකොඩි

 පසුගිය කාලයේ මගේ කියවීම සිදුවූයේ තරමක් සෙමිනි. ඒ කාර්‍යබහුල වීම සමඟ ම, කියවීමට තෝරාගෙන තිබූ පොත් ද, සෙමින්, ටිකෙන් ටිකෙන් කියවිය යුතු ඒවා හේතුවෙනි. ඒ අතර සිංහල නවකතාව තරමක් මා අතින් මගැරෙන ස්වභාවයක් තිබීමත්, ඊට පිලියම් ඉතා පහසුවෙන් ශ්‍රවණ කෘතියක් මගින් සපයා ගත හැකි වීම නිසාත්, මෙම කෘතියේ මුද්‍රිත පිටපතක් තිබෙද්දී, ශ්‍රවණය මගින් 'කියවීමට' ඉටා ගත්තෙමි.


2020 ප්‍රකාශ වූ මෙම කෘතිය, ලේඛිකාවගේ මා කියවූ පස්වැන්නයි ( ප්‍රංශ පෙම්වතා, අමෙරිකා, වීනස් ගේ උපත , සහ කුමර කොබෙයි අනෙක්වායි. ඒ සියල්ල බොහෝ සේ රස වින්දෙමි). මෙය තරමක් වෙනස් කෘතියක් වන්නේ, ඇය පාත්‍රවර්ගයා සහ ඊට පදනම් වූ වටපිටාව තෝරාගෙන ඇති අයුරෙනි. ඇගේ දක්ෂ ලිවීමත්, විටින් විට උක්ත ගමේ සමාජය තියුණු සැතකින් පෙන්වන හරස් කැපුමත් නිසා කියවීම රුචි කෙරුන ද, මේ නවකතාව පිටු 400ක් පුරා දිවවීම අනුචිත බවකි මගේ අදහස. ඇත්තෙන්ම, නවකතාවේ ආරම්භයත්, මැදත්, හමාර කරලීමත් පිළිබඳ කතුවරියට පැහැදිලි අදහසක් තිබුන ද, අතර මැද, වරෙක මෙහි ප්‍රධාන චරිතය පදනම් විරහිත ලෙස අයාලේ යන අයුරෙන් ද, තවත් වරෙක අනවශ්‍ය ලෙස ඔබ්බවා ඇති ගමේ දේවලයක පෙරහරක් ලෙස ද, දීර්ඝ කොට තිබේ. 

අප ගම්, සංස්කෘතික ජීවිත වලින් දුප්පත්, තමනට වඩා වෙනස් අයවළුන් තාඩන පීඩන වලට ලක් කරන ස්ථාන ලෙස පෙන්වා ඇති අයුරු අපූරුය. ඒ අර්ථයෙන්, මෙය අප පුළුල් සමාජය වෙත ගියහොත්, ඔවුන් ඔවුන් වෙත ම තදින් බලන්න ට බල කෙරෙන අවස්ථා ඇත. නූතනත්වය, තමනට වඩා වෙනස් අයවළුන් පිළිගැනීමා ඉල්ලා සිටින බවත්, ඊට එරෙහි වීම තව පරිහානියට ම හේතු වන බවත්, අප රට කිසිදු දේශපාලඥ්ඥයකු, සිතට කාවදින අයුරෙන් පවසනවා මා අසා නැත. එය සාහිත්‍ය මගින් ඉටු කරලිමට නම්, "හංගා" යම් පක්ෂයකට "ෆුල් ටොස්" නොදමා කල යුතු බව පැහැදිලිය. ඒ අර්ථයෙන් ගත් කල මේ නවකතාව අප සාමාන්‍ය ගමට තමන් ව බැලීමට කැඩපතක් වීමට විභවයක් රැගත් එකකි - එහෙත්, මෙය දිගැරී ඇති ආකාරයෙන් කතුවරිය, තමනට කීමට ඇවැසි මොනවාද යන්න ගැන පැහැදිලි අදහසක් තිබූ නේ ද යන්න ගැන මම තවමත් සිතමි.

මෙහි එන චන්න නම් වූ තරුණයා ද, ඔහු ගේ ඉවසිම,  මල් කඩුවාව ගමේ ආවේණික තරුණයෙකු ඔබ්බට ගිය  තරමක සංස්කෘතික මිනිසෙකු ව, දෑස් විදහා ජීවත් වීමට උත්සාහ දැරූ අයෙකු ලෙස එම චරිතය පණ ගන්වා ඇති අයුරු සිත්ගන්නා සුළු ය. එහෙත්  ඔහු මුහුණු දී ඇති විවිධ අවස්ථා - එනම් ඔහු ගේ ඉතිහාසය පෙළගස්වා ඇති අයුරු ද,  ලේඛිකාවගේ සාමාන්‍ය පරිපූර්ණ චරිත බිහිකිරීමේ ලක්ෂණ වලට සාපේක්ෂව ම තරමක් දුර්වලය. එහි ද යම් අත්දැකීම් මැද දී එබ්බවූ බවක්, ඒ පෑස්සුම් සමීප කියවීමක නෙත ගැටෙන බවකුත් ය මගේ අදහස. ඇත්තෙන් ම, ඔහු ට වඩාත් උචිත නම  "කෝමල මාණවක" යන්න ද ගැන මට විශ්වාසයක් නැත.

මෙහි එන ප්‍රධාන චරිතය වන මනෙකා නම් වූ තරුණිය, හදිසි හැඟුම් ඇවිස්සීමකින් තරුණයෙකු හා එක් වන අවස්ථාව තේරුම් ගත හැක. නූතන ලෝකය ට දෑස් විවර කර ගත් තරුණියන් වීම ද , නවකතාවේ කිහිපතැනෙක ම "කකුල් දෙක අතර මහඟු වස්තුවක් ඇතැයි" නොසිතා, සුදුසු අවස්තාවක ජීවිත විඳීමත් එම නූතන අදහස් වලට අනුකූල වුව ද, ගම ට සේවයක් කරලීමේ අභිලාෂයන් මුදුන් පත් කර ගනු වස් තරුණියක් "අයාලේ යෑම", සංඝතව වටහා ගත නොහැක.

ඍජුව පවසන්නේ නම්, කතුවරියට පෙන්වා දීමට වැදගත් සමාජ කියවීමක්, අප රටේ ගම්  නූතනත්වයට යා යුත්තේ ඇයි ද යන්න බව කියවීමක් ඇති බව පැහැදිලි ය. එය අප රට දේශපාලන ක්‍රියාවලියට එහා ගිය එකක් වීම  පැසසිය යුත්තකි. එහෙත් ලේඛිකාව තම නිර්මාණය ලියා අවසන, නැවත කියෙව්වේ නම්, එය අත්‍යවශ්‍යයෙන්ම සංස්කරණයක් ඉල්ලා සිටින බවත්,  අනවශ්‍ය අතු කපා දැමූ හැඩකාර රුක්ෂයක් ලෙස වැජඹෙන්න ඇති මහත් ඉඩක් ඇති බවත්  නොදැක්කේ ඇයි ද යන්න මට නම් ගැටළුවකි. එසේ කලා නම් පිටු 275 කින් පමණකට සීමා වෙන, වඩා සංඝත, ඇගේ තවත් සාර්ථක නවකතාවක් වීමට ඇවැසි විභවය මේ  තුල ඇත. මේ කෘතිය ප්‍රකාශ වී ඇති අයුරෙන් ම වුව ද , පාඨකයා ඊට යම් බැඳීමක් ඇතිකර ගන්නා බව පැහැදිලිය  - එහෙත් ඒ එහි ඇති දෝසයන් ගැන ද වැටහිමිනි, ඒවා ඇති බව පිළිගනිමිනි. ඒ අර්ථයෙන් ගත් කල, මෙහි මුද්‍රිත පිටපත නොකියවා, ශ්‍රවණ මාධ්‍යයට යොමු වීම ගැන සතුටු වන්නේ, මුද්‍රිත පිටපත කියවා තිබුනේ, මෙහි තැනෙක ඇති වැල් වටාරම්, අයාලේ යන ස්වරුපය, සහ සියුම් කියවීමකට මග නොහැරෙන අසංඝත බවක හැඟීම. මා මීට වඩා තරමක් නොවිසිලිවන්ත කරනු ඇතැයි සිතෙනු නිසා ය.

ශානරය - නවකතා
ශ්‍රේණිගත කිරීම - ***1/2
ප්‍රකාශනය - විදර්ශන (2020)


Saturday, 12 June 2021

සත්පත්මා - සාලිය කුලරත්න

 මා මෙතෙක් කියවා තිබූ රස හීනම කෙටි කතා සංග්‍රහයන් දෙක ලෙස සැලකුවේ පියසීලී විජේමාන්නගේ "මනුස්ස යන්තර" සහ සුනන්දා ප්‍රේමසිරි ගේ "මල්බෙරි සමය" යි. ඒවා දුර්වල යැයි ගිණීමට ප්‍රමුඛ හේතුව, ඊට වඩා සාර්ථක කෙටි කතා සංග්‍රහයන් තිබෙද්දී, රජත පුස්තක අවසන් වටයට පැමිණීම යි - නැතිනම් ඒවා විශේෂයක් නැති කෙටි කතා ය. එහෙත් මේ උක්ත කෙටිකතා සංග්‍රහය ඇත්තෙන් ම දුර්වලය. ඊට ආශ්‍රිත ග්‍රන්ථ 28ක්  උපුටන,  පිටු 10ක, කියවීම ට අසීරු පෙරවදනකින් මෙහෙයක් නොවේ ( මා ඉන් කියවූයේ පිටු 2කි - ඉන් එහා කියවීම කාලය කා දැමීමක් යැයි සිතුණි. මෙතරම් ම කියවන්නාට පීඩාකාරී පෙරදනක් හෝ හැඳින්වීමක් හෝ, කේ.කේ. සමන් කුමාර ගේ සර්පයයකු හා සටන් වැද කෘතියට සිතුමිණ රත්නමලල ලියා තිබුණි -එයත් පිටුවකට දෙකකට වඩා නොකියවීමි)  මෙහි කෙටි කතා පහකි. ඒ හැමෙකෙකින් ම පාහේ ප්‍රේත වස්තුවෙන්, නැති නම් අන් කුමක් සමාජ විද්‍යා ග්‍රන්ථයක කියැවෙන අත්භූත සිද්ධියෙකින්, එහෙත් නැතිනම් ජනශ්‍රැතියකින් එන කතාවක් ගොතා, ඊට අස්වාභාවික ලිංගික හැසිරීමක් අමුණා ඇත.  මේ කෙටි කතා සංග්‍රහයේ යම් තරමක් හෝ රසවින්දේ "බල්ලා විසින් කනු ලබන ප්‍රේතියගේ උපමා කතාව" යි. 


මෙහි හැම කෙටිකතාවක ම ප්‍රධාන චරිතයන්  කිය වූ ශාස්ත්‍ර්‍රිය ග්‍රන්ථයක් ගැන පවසා ඇත. ඉන් එතරම් පිටුවහලක් කෙටි කතාවට ලැබෙන්නේ ද යන්න විවාදසම්පන්නය. අවම වශයෙන් එක් ස්ථානයක කතුවරයා "අර දේශපාලඥ්ඥයා" සේ කතුවරයා වරද්දාගෙන ඇත. මොකද ඔහු ට අනුව මෝබිඩික් ලියා ඇත්තේ නතානියෙල් හෝව්තෝන් ය. මෝබිඩික් හි සැබෑ කතුවර හර්මන් මෙල්වල් එම පොත හෝව්තෝන් ට පිදූ බව නම් සැබ වි.  බහුල  වූ අන් උපුටන ගැන වෙහෙසීමටත්, පෙර කී දුරවබෝධ පෙරවදන කියවීමත් අතැරියේ, එහි මගේ කාලය හා සම්බන්ධ ආවස්තික පිරිවැය ගැන සෑහීමකට පත්වෙන්න බැරි බව පැහැදිලි නිසා ය ( මේ පොත කියවීම ම කාලය කා දැමීමක් බව පිළිගනිමි.)

මේ හැම කෙටිකතාවකට ම යම් විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් ඈඳී ඇත. එය, විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු වන ලේඛකයා තම සමහර සගයන් උදෙසා යොදා ගත්  කුරුමාණමක් යැයි අන් තැනක කියවා තිබුන ද, එම පරිසරය හා කිසි සම්බන්ධයක් නැති මා වන් අයට ඔවුන් හැඳිනගැනීමේ හැකියාවක් හෝ, මේ පොත නිර්මාණය වී ඇති අසීරු බන්ධන  අනුව නම්, දැනගැනීමේ උවමනාවක් හෝ. නැත. මෙහි පළමු කෙටි කතාව කියවීමෙන් අනතුරුව මට සිත් තුල ඇති වූයේ මේ රස අල්ප කෙටි කතා සංග්‍රහයට රුපියල් 425ක් වියදම් කිරීමේ අමනෝඥ්ඥ ක්‍රියාව ගැන ස්වයං විවේචනයකි ( මෙහි කෙටි කතා 5ට වෙන් වන්නේ පිටු අසූ එකකි). අල්බෙයා කැමූ ගේ පිටු සියයකට අඩු නවකතාවකට රුපියල් දහකට වැඩි මුදලක් වියදම් කිරීම අන්තිම සාධාරණ යැයි හැඟුණ ද, මෙවන් කතුවර මනස තුල වූ පහළ වූ කෙටිකතා ලේබලය රැගත් දුෂ්කර බන්ධන වලට මෙතරම් මුදලක් වියදම් වීම ගැන නොපහන් සිතුවිල්ලකි පහළ වූයේ. මෙහි දැක්වෙන ( https://www.divaina.com/2013/10/17/sarasavi%203.html ) විචාරය කලින් කියවා තිබුනා නම්, , මා මේ පොත මිල දී ගන්නේ නැත. ( කෙටි කතා ගැන විස්තර ටික මගැර හෝ සාරාංශය කියෙව්වේ නම්  මේ පොත ගන්නේ නැත - කිමද විචාරයකදි එක් එක් කෙටිකතාව මේ තරම් විස්තර වන්නේ ඇයි ද යන්න ප්‍රහේළිකාවකි )

අවසන කීමට ඇත්තේ, ජනශ්‍රැතිය ගැන දැනීමක් සහ, මායායථාර්ථවාදී සාහිත්‍ය ක්‍රමය ගැන දැඩි කැමත්තක් ඇති අයෙක් සමහර විටෙක මේ සංග්‍රහය රස විඳීමේ යම් ඉඩක් තිබිය හැකි බවකි. අන් අයෙක්, මේ කෘතිය කියවීමෙන් රසයක් විඳී ද යන්න සැක සහිතය. පෙර කී ජනශ්‍රැති දැනුම සහ මායායථාර්ථවාදයට කැමැත්ත තිබූ පමණින් මේ කෙටි කතා සංග්‍රහය රස විඳීම නිත්‍ය බවක් නොකිය වේ. ඇත්තෙන්ම එසේ වේ යයි ද මට නො සිතේ. එහෙත් ලේඛකයාගේ සමහර ව්‍යාකූල ගැටගැසීම් යම් තරමින් හෝ තේරුම් ගැනීමට හෝ, රස විඳීමට හෝ, ඇතැම් විට සමස්ත වශයෙන් ප්‍රතික්ෂේප කරලීමට හෝ, එය හේතු විය හැකිය.

මෙම කෙටිකතා සංග්‍රහය කියවීම,  සාමාන්‍යයෙන් ඉතා ප්‍රවේසමේන් තෝරා බේරා ගෙන පොත්  කියවන මට  නිසැක ලෙස සිදු වූ වැරදිමකි.

කෙටි කතා
ශ්‍රේණිගත කිරීම: *1/2
ප්‍රකාශක: Serenity Publishing House (2012)


Sunday, 6 June 2021

පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම - සේන තෝරදෙනිය

 පහත දැක්වෙන දීර්ඝ ලිපිය විචාරයක් ම නොවේ. ඒ, පළමු වශයෙන් මෙවන් ශාස්ත්‍රීය කර්තව්‍යයක් විචාරන්නට තරම් විෂය විශේෂි දැනුමක් මට නැති නිසා ය. මෙය  ප්‍රධාන වශයෙන් සේවය කරන්නේ, ඒ ඒ කොටස් ගැන හැඳින්වීමක් කරලීමටත්, අනාගත දිනෙක මට හෝ වෙන යම් අයෙකුට හෝ, මේ පොත අවශ්‍ය තැනක් කියවීම උදෙසා "යොමු" සැපයීමටත් ය. තුන්වෙනි කාරණාව,  ඒ ඒ කොටස් වල දී මා දැනට සිතනාකාරය අනුව යම් යම් අදහස් එකතු කරලීමට අවස්ථාවක් සැපයීමටත් ය. ඒ අනාගත දිනෙක නැවත පිරීක්සීමටත්, කතුවරයාට ම මෙම ලියකිවිල්ල කියවීමේ අවස්ථාවක් ලදහොත්, සාහිත්‍ය ලැදි සාමාන්‍ය පාඨකයකු තම කෘතිය කෙසේ කියවයි ද යන්න ගැන දැන ගැනීමටත් ය. ආරම්භයේදී ම  වැදගත් කාරණාවක් මතු කරලීමට අවශ්‍ය. අප සාහිත්‍ය ක්ෂේත්‍රයේ යම් කල්ලිවාදයක් ක්‍රියාත්මක වන හෙයින්, එක් කණ්ඩායමක් සිදු කරන කෙතෙරම් හෝ සාර්ථක ව්‍යායාමයක් අන් පිළ නොදැක්කා සේ සිටිති. මෙය "හදවතින් ම ශ්‍රී ලාංකික" ලක්ෂණයක් බඳුය. අප මේ සුළු ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණ මේ පිල් වලට නොවැටී "අතුරේ යාම" දෝ යි මට අනේක වාරයක් සිතී ඇත. (එලෙසම මෙතරම් සාර්ථක විශ්ව සාහිත්‍යයකින් පෝෂිත ලොවක, සිංහල සාහිත්‍ය ගැන කුමට වෙහෙසෙන්නේ ද යන්න ද ඇසිය යුතු ප්‍රශ්ණයක් බවත්, ඒ මගෙන් ම කිහිප වරක් අසා ඇති බවත් කිව යුතුය. ) කෙසේ හෝ,  පහත දිගු ලිපිය, මේ අති විශේෂ ශාස්ත්‍රීය කටයුත්ත වෙනුවෙන් මගේ මැදිහත්වීමය. මේ ප්‍රයත්නය පමණක් නිසා ම හෝ, තෝරදෙණිය සිංහල සාහිත්‍යයට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කොට ඇති බව මම විශ්වාස කරමි.  එය යාව ව කර්තව්‍යයක් ( Life's work ) දෝ සිතේ. එලෙස ම යම් යම් තැන් වල, මේ පොත ගැන ඇති වන ගැටළු, එකඟ නොවීම් සඳහන් කොට ඇත.  එම එකඟ නොවීම්, මෙම කෘතිය ඊට හිමි විශිෂ්ඨත්වයෙන් මදකුදු බාල නොකරයි. මෙය "වැඩකි" - සිංහල සාහිත්‍ය ට ඇත්තෙන් ම ආදරය කරන්නෙකු විසින් මෙය කියවිය යුතු ම පොතකි. තෝරදෙනිය ගේ යම් නිගමන වලට එකඟ නොවුන ද, තම ස්වාධීන මතයනට ඒමට, මෙහි එන සාධක, ආශ්‍රේය ලේඛන වෙන අන් කොතැනක හමු නොවන බවක් නම් ඉඳුරා කිව හැක. මෙහි එන ගුරුකුලය යන වචනය ගැන ද යමක් කිව යුතුය. තාක්ෂණික අර්ථයෙන් ගුරුකුලයක් වුයේද යන්න විවාදිතය;  එහෙත් ඒ සමාජ අවකාශයේ, ඇති වූ අවස්ථාව නිසා ළඟ මිතුරුදමක් පදනම් කරගත් සන්ධානයක් බිහි වූ බවත්, ඊට "ගුරුකුලය" යන වදන ලිහිල් අරුතින් පසුගිය වසර හැට තුල භාවිත වූ බවත් පෙනෙන්නට තිබේ.


1. පේරාදෙණිය ක්‍රමය, ගුරුකුල හා පේරාදෙණිය සාහිත්‍ය ගුරුකුලය:

තෝරදෙනිය තම කෘතිය අරඹන්නේ අමරසේකර විසින් පේරාදෙණිය ගුරුකුලයෙන් පිටතට ඒම, අභිණිෂ්ක්‍රමණයක ට සම කිරීමෙනි. මා පෞද්ගලිකව කිහිප විටක් මේ කාරණාව ගැන සිතා ඇත - එනම්, තම නිර්මාණ හේතුවෙන් යම් පිළිගැනීමක් ලත් කතුවරයකු, අළුයම ලූ කෙළ පිඬක් මෙන් ඒ සියල්ල අතැරීම ට, ඔහු ට ඔහුගේ අලුත් මතයන් පිළිබඳ කෙතෙරම් විශ්වාසයක් තිබිය යුතු ද යන්න ගැන ය. තෝරදෙනිය, මේ කාරණාව ම ඉහත පැවසුවා ට වඩා ගැඹුරකින්, කරුණු කාරණා ඇතිව පවසයි.

අනතුරුව පේරාදෙණිය ගුරුකුලය යන්න සත්‍යයක් ද මායාවක් ද යන්න පිරීක්සයි. එහි දි පෙනී යන්නේ, එවන් ගුරුකුලයක් නැතැයි පැවසුවෝ ද, "ගුරුකුලය" යන වදන භාවිත නොකල ද, එවන් "ක්‍රමයක්" තිබූ බවට පිළිගෙන ඇති අවස්තා තිබුණු බවකි. නිදසුනක් ලෙස එවන් ගුරුකුලයක් තුබූ බවට ප්‍රතික්ෂේප කල K.N.O. ධර්මදාස ඉංග්‍රීසි බසින් "Peradeniya School" යන වදන භාවිතාවෙන් ලිපි ලියා පළ කර ඇත. රංජනී ඔබේසේකර, විමල් දිසානායක යන අය ද තම කෘති මගින් ඒ බව පිළිගෙන ඇත. සරච්චන්ද්‍රයන් තම චරිතෝපදානයේ පේරාදෙණි ගුරුකුලයක් නුවූ බවක් කියූ මුත්, එම කියමනෙහි  ඇති සදොස් බව තෝරදෙණිය පෙන්වා දෙයි.

"ගුරුකුල් තනන්නන් 'අපි ගුරුකුලයක් තනමු' යි කතිකා කොටගෙන සිතාමතා ගුරුකුල තනන්නේ නැත. ගුරුකුල ප්‍රකාශයට පත්වන්නේ ගුරුකුල ඇදුරන් හා නුගාමිකයින්ගේ කාර්යසාධනය හා ඔවුන් කාලයක් එකට එක්ව කටයුතු කිරීම හා එමගින් කෙරෙන සමාජමය හා බුද්ධිමය බලපෑම අනුවය." (33 පිටුව)
කැනඩාවේ ජීවත් ව සිටි යුගයේ, කලින් කල මෙහි පැමිණි විට සිරි ගුනසිංහ ඉදිරිපත් කල අදහස් වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් මෙහි වෙන්වන්නේ, එම ප්‍රකාශ වල තිබූ මතභේදකාරී බව හේතුවෙනි. සරච්චන්ද්‍රයන් විසින් පියදාස සිරිසේන සහ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ නවකතා නොතැකීම, ගම්පෙරළිය ඉහළින් වර්ණනා කල ද, එය එසේ කිරීමට තරම් වටිනා කෘතියක් නොවන වගක් ගුනසිංහ කියා ඇත. සරච්චන්ද්‍රයන් මහ ඉහළින් වැනූ 'යළි උපන්නෙමි' යනු, ඩී. ඇච්. ලෝරන්ස්, ආන්ද්‍රෙ ජිද්ගේ පොත් වල අනුකරණයක් බවත්,  පේරාදෙණි විචාරය යනු ම සරච්චන්ද්‍ර විචාරය බවත් ගුනසිංහ ගේ අනෙක් විවාද සම්පන්න අදහස් ය.

"සරච්චන්ද්‍ර පියදාස සිරිසේන බොහෝම නිර්දය විධියට බැහැර කරනවා. නමුත් පියදාස සිරිසේන කළේ ඒ කාලයේ අවශ්‍යතාවක්. ඔහුගේ කෘතීන්වලින් වලින් නිරූපනය වන්නේ ජාත්‍යාලය නේ. ඒ කාලේ අප යටත් විජිතයක් නිසා ඊට විරුද්ධව එකල විශාල වශයෙන් ලියැවුණා... කුමාරතුංග මුනිදාස, අනගාරික ධර්මපාලතුමා, එස්. මහින්ද හාමුදුරුවො වැනි අය ජාත්‍යාලය මුල් කරගෙන බටහිරට විරුද්ධව ලිව්වා. පියදාස සිරිසේන  කළේත් එවැනි කටයුත්තක්." ( 37 පිටුව)

ගුරුකුලයක් යන්නෙන් නින්දාසහගත යමක් නො ඇඟවෙන බව පවසන කතුවරයා අප රට අතීතයේ පැවති ගුරුකුල පිළිබඳවත්, මෑත අතිතයේ පහළ වූ හෙළ හවුලත් එවැන්නක් බව ත් පෙන්වා දෙයි. එහෙත්, ඇත්ත වශයෙන් ම බැලුවහොත් පේරාදෙණියෙ තිබුනේ ගුරුකුලයක ට වඩා අවිධිමත් සාමුහිකයක් බවත්, එය coterie, cenacle, salon ( මිතුරුකම් උඩ සමීප ඇසුරක් නිසා බිහි වූ සංසදයක් යන අර්ථයෙන් ) යන කල්ලියක් ලෙසට අර්ථ ගැන්වෙයි. අවිධිමත් සංවිධානය යන වචන භාවිතයට එක් හේතුවක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම කාලයේ ම ප්‍රකාශ වූ සමහර කෘති සහ ශාස්ත්‍රීය කාර්‍යායන්, පෞද්ගලික ශාස්ත්‍රීය කාරණා ම ලෙසත් පේරාදෙනි ගුරුකුලය හා සබැඳි බවට පිළිගැනීමක් නොවීමත් ය.

සමන් මුද්‍රණාලයේ කාර්‍යභාර්යය ද සලකන කතුවරයා, එකල පේරාදෙණි ගුරුකුලය හා බැඳි බොහෝ නිර්මාණ ඔවුන් මුද්‍රණය කල බවත්, නමුත් එය එක්සත් ජනපද ආණ්ඩුවේ මූල්‍යාධාර ලැබූ ආසියා පදනමේ ව්‍යාපෘතියක් බවකි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූ අයිවර් ජෙනිංග්ස් පිළිබඳ පිටු දහ හතරක විස්තරයක් මෙහි එයි. ඒ තුල, ඔහු ලංකාව සංස්කෘතික කාන්තාරයක් යැයි කීම පිළිබඳ විවාදය, 1835 මැකෝලේ සාමි ගේ ප්‍රතිපත්තිය පිළිබඳ යම් නැඹුරුතාවක් පෙන්වීම ( තෝරදෙනිය මේ උදෙසා අමරදාස වීරසිංහ උපුටා දක්වයි), විශ්ව විද්‍යාලයට සුදුසු භූමියක් තෝරාගැනීම දසක ගණනක විවාදය ආදි කාරණා ඒ හා මුසු වේ. විශ්වා වර්ණපාලගේ "The making of the System of Higher Education in Sri Lanka" කෘතියෙන් ද දීර්ඝව උපුටමින් පෙන්වා දෙන්නේ ජෙනිංග්සේ උවමනාව වූයේ යටත්විජිත විශ්වවිද්‍යාලයක් අති කරලීම බවත්, මාක්ස්වාදි අදහස් විවේචනය කල ඔහු රැඩිකල් අදහස් නොදැරුවෙකු බවත්, සීමිත බඳවාගැනීමක් මගින් විශ්වවිද්‍යාලයීය ප්‍රභූ ස්වභාවය ආරක්ෂා කරලීමේ උවමනාවෙන් සිටි බවත් ය. ම වඩා සිත් ගත්තේ, S.W.R.D. බණ්ඩාරනායක පැවසූ දෙයකි. එනම් ( වර්ණපාල උපුටමින් ):

"...එංගලන්තයේ දෙවෙනි පන්තියේ සුළු බුද්ධිමතෙකු මෙහි පැමිණ, ට්‍රයිටන් ලෙසින් මේ රටේ සියලුම විෂයන් ගැන දැන් විශේෂඥයකු වී සියලුම විෂයන් ගැන අධිකාරී බලයක් ඇත්තෙකු සේ කටයුතු කරන අයුරිනී" ( 61-62 පිටු)
එසේ වුව ද ඔහුගේ ඇවෑමට ප්‍රථම පේරාදෙණියෙන් බිහි වූ සාහිත්‍යය ගැන දැන ගත්තේ නම්, එය ජෙනිංග්ස්ගේ සතුට ට හේතුවන්නේ, ඔහු පැතූ ලෙස විශ්ව විද්‍යාලය තර්ස්ටන් පාරෙන් පේරාදෙණියට ගෙනගිය පසු, බලාපොරොත්තු වූ ලෙස, කාන්තාරයේ බිහි වූ රෝසමල සුපුෂ්පිත වූවා කියා බැව්, තෝරදෙනිය පෙන්වා දෙයි.

එලෙසම, පෙරදිග භාෂා අධ්‍යයන පීඨය තැනූ  මුල් දශකයේ පමණ  (1943-1952),  කීමට තරම් සාහිත්‍ය විචාරයක් නුවූ බවත්,  මෙම කාල පරාසයේ බිහි වූ සරච්චන්ද්‍රගේ "Modern Sinhala Fiction"  කෘතිය බිහිවන්නේ සරසවි පද්ධතියෙන් පරිබාහිරව බවත් පෙන්වා දෙයි.


2. පේරාදෙණිය ගුරුකුලය බිහිවීමේ වාස්තවික තත්වයන් :


දේශපාලනික වශයෙන් බ්‍රිතාන්‍යයෙන් යම් නිදහසක් දිනා සිටීම, 1956 දී සිදු වූ  සංස්කෘතික විපර්යාසය, ගම්බද මහ විද්‍යාල ඇති කරලීමෙන් රට පුරා අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇතිවීම,  මේ සාකච්ඡාවේදී වැදගත් වේ. 1952 දී පේරාදෙණියේ මනස්කාන්ත සුවදායක පරිසරයක පිහිටුවන ලද විශ්වවිද්‍යාලය, සාහිත්‍ය හා කලා කටයුතු වලට යෝග්‍ය පරිසරයක් විය. මේ බව සරච්චන්ද්‍රයන් ද මහත් සතුටෙන් තම "පින් ඇති සරසවි වරමක් දෙන්නේ..." කෘතියේ පවසයි. මුළු 77 පිටුව පුරා ම තෝරදෙනිය, ඒ අසබඩ තිබූ අනේක පහසුකම් ගැන පවසයි. එය 'දුක නැති ලොවක්' ලෙසත්, එ හේතුවෙන් ම පරපුට්ටන්ගේ දේශයක් බවත්, හේ පවසයි.

පේරාදෙණිය සාහිත්‍ය විචාරයට මුල් ඇද ගැනීමට හැකි වූයේ, ප්‍රබල වාමාංශයක් තිබූ මුත්, ඔවුන් මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ මාඕගේ සාහිත්‍ය මතවාද නොදැන සිටිම, හෙළ හවුල වියැකී යන සාහිත්‍ය ව්‍යාපාරයක් වීම ආදී තත්වයන් මතය.

පහත නිරීක්ෂණය වැදගත් යයි සිතමි:

"පැවති සාහිත්‍ය ඒකාධිකාරියට ආකෘතිමය හා භාෂාත්මකව එරෙහිව යාම සිදුවන්නේ කාව්‍යයේ ආකෘති හා කාව්‍යයේ භාෂාව මගින් මිස නවකතාවෙන් නොවේ. 'හෙවනැල්ල' හැරෙන්නට නවකතාවේ නව ආකෘති හා නව ආඛ්‍යාන ශෛලීන් ඇතිවූවා යි කිව නොහැකිය." (79 පිටුව)

3. න්‍යායික පදනම්: සරච්චන්ද්‍රගේ "යතිවර පරමාදර්ශනය" හා කල්පනා ලෝකවාදය

විසි හතර වයැසැති යොවුනෙකු ලෙස, තම මුල් නම යටතේ සරච්චන්ද්‍ර ලියූ Ascetic Ideal: Need for Revolt to Revive Art and Literature ලිපියත්,  1942 Kesari People's Weekly නම් වූ චුන්නාකම් මුල් කොට ගත් සඟරාවක පළ වූ "ශාන්ති නිකේතනයේ ඇසින්" යන නමින් ලියැවුණු ලිපි පෙළත් මුල් කොට ගෙන, තෝරදෙනිය සාකච්ඡාවකට මුල පුරයි. තෝරදෙනිය පවසන්නේ මේ ලිපි දෙක සිතා මතා සරච්චන්ද්‍රාභිනන්දනවලදී යටපත් කෙරෙන බවකි. එලෙසම, සරච්චන්ද්‍රයන් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳව ඒ වන විට අධ්‍යයනයක් කර නොතිබූ බවක් පෙනී යන බව පවසයි. මෙම ලිපියේ සිංහල පරිවර්තනය තෝරදෙනියගේ "චීවරය සහ සෝමනය" කෘතියේ එයි. එහෙත්, දීර්ඝ ලෙස ඔහු පවසන්නේ, සරච්චන්ද්‍රයන් මෙම ලිපි වල දැරූ මතයන් වෙත 1952 න් පසුව පේරාදෙනි සාහිත්‍යය, වෙසෙසින් නවකතාව, ගමන් ගත් බවකි.

 "සරච්චන්ද්‍රගේ 'යතිවර පරමාදර්ශය' නම් ලිපිය එක් පසෙකින්ද, ඔහුගේම 'යළි උපන්නෙමි' විචාරය තවත් පසෙකින්ද තබාගෙන කියවන කල්හි සරච්චන්ද්‍ර 1938 දී යෝජනා කළ කැරැල්ල 'යළි උපන්නෙමි' මගින්  දසක දෙකක් ඇතුළතදී සාර්ථක වූ ආකාරය දැකගත හැකිය" (86 පිටුව)
කියාය.

ඔහු තව දුරටත්  පවසන්නේ:

"'යතිවර පරමාදර්ශයට' එරෙහි වූ කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්ක්‍රීය, පරාජිත චරිත, ලිංගිකත්වය හා පුද්ගලිකත්වය, හුදෙකලාව හා විගලිතභාවය ඉස්මතු කොට දක්වන නවකතා රාශියක් බිහිවිය" ( 88 පිටුව) 

කියාය.

එනුමුදු පාරාවළල්ලක් මෙන් නාට්‍යය සහ කවිය හමුවේ සරච්චන්ද්‍රයන් නැවත ස්වදේශීය සම්ප්‍රදාය ට පිවිසි බව ඔහු පෙන්වා දෙයි.

පේරාදෙණි සාහිත්‍යයට අනුකූල නවකතා නිදර්ශන රාශියක් දෙ මෙහි ගෙන හැර දක්වන්නේ, අපූරු අතුරු කතා කිහිපයක් ද සමගිනි.

සිව්විසි වියේ සිට මැදිවියට පා තබන විට, බොහෝ අදහස් වෙනස් විය හැකි බැවින්, සරච්චන්ද්‍රයන්ගේ ම චරිතෝපදානයෙන් ද  හැඟවෙන පරිදි, ඔහු ම තම ආචාර්‍ය උපාධිය ගෙන නැවත මෙහි එනකම්, බොහෝ දැනුම් පිපාසාවෙන්, එහෙත් ඒකායන අරමුණකින් තොරව ගවේෂණයේ යෙදෙන්නක් ලෙස හැසිරුණු බව පෙනියන නිසා ත්, ඔහු පෙර කල අදහස් දැක්වීම එම ගමනේ එක් අවස්ථාවක්  පමණක් වීමට ඉඩ වූ බැවින්, කෘතියේ මේ අඩවිය වන විට, තෝරදෙනිය කුමක් කීවද විවෘත මනසින් යුතුව පොත ඉදිරියට ද කියවාගෙන යාමට සිතුවෙමි.

පරිච්ඡේදය අවසන් කරමින්, නූතනවාදීහූ පේරාදෙණි ගුරුකුලය වෙත නැගූ චෝදනාවක් කතුවරයා ගෙන හැර දක්වයි. එනම් නූතනවාදය හෝ අධියථාර්ථවාදය සිංහල සාහිත්‍යට හඳුන්වා නොදුන් බවයි.  තෝරදෙනිය පවසන්නේ, එම ගුරුකුලය අභ්‍යන්තරයෙන් බිඳ නොවැටුනේ නම්,

"ධනේශ්වර සාහිත්‍යයේ හා විචාරයේ ඊළඟ පියවර වශයෙන් නූතනවාදය ගැන හදාරන්නටද, ඒ ගැන සාකච්ඡා කරන්නටද, විවිධ වාද විධි හඳුන්වා දීමටද, ඒ ඒ වාදවිධිවලට අනුගත වන සේ නිර්මාණ බිහි කිරීමට අනුබල දීමටද ඉඩ තිබිණ."

යැයි පවසයි.  එහෙත්, ඒ මාදිලියේ සිංහල නවකතා බොහෝ සෙයින් අද වන විට බිහි වන බවකි, පෙනෙන්නට තිබෙන්නේ. අද වන්, දැනුම ලබා ගැනීමේ පහසු මං ඇති වටපිටාවක ඊට පේරාදෙණිය හෝ අන් කිසිදු ආයතනයක් මුල් තැන ගන්නේ නම්, ඔවුන් සුවිශේෂි නිර්මාණකරනය යෙදෙන්නට ඇවසි බව පැහැදිලිය.

සිව්වෙනි පරිච්ඡේදය "1956 හා පේරාදෙණිය ගුරුකුලය", නමි. තෝරදෙනිය මතු කරන ප්‍රධාන කාරණාවක් නම්, පේරාදෙණි ගුරුකුලය හා බැඳි අයවළුන් යම් යම් සාහිත්‍ය නිර්මාණ ගැන දැක්වූ අදහස්, කාලයත් සමඟ යම් පරස්පරතාවයකට ලක් වීමයි, පෞද්ගලිකව මා මෙහි වරදක් නොදකිමි. අයෙකු ජීවිතයේ මුහුකුරා යාමේදී, එක් දෙයක් දකින ආකාරය, පසුව තවත් විදිහකින් දකිය හැකිය. එලෙසම, වයෝවෘද වන විට ඊට වසර 30-40 ට පෙර සිදුවිම් මාලාවක දී, තමන් සුදුසු ඇගයීමක් නොලැබුනා යැයි සිතෙන්නට ද පුළුවන. පසු කාලයකදී, නිවාඩු සුවයෙන් පෙර කල දෙයක් ගැන ආවර්ජනයේ දී, ඒ ගැන වෙනත් කියවීමක් මෙන්ම, තිත්ත රසයක් වැනි පෞද්ගලික සිත් තැවුලක් ද දැනෙන්නට  ඉඩ තිබිය හැක. 1956 සිදු වූ සමාජ ආර්ථික පෙරළිය පේරදෙණි සාහිත්‍ය තුලින් මතු නොවූ බව පවසන ලේඛක, මෑත කාලීනව සිරි ගුනසිංහ ලබා දුන් පුවත් සාකච්ඡාවක උපුටුවමින්, පනස් හයේ පුනරුදය යන්න ම ව්‍යාජයක් ලෙස ට පවසා ඇත.


මෙහිදී තව යමක් කිය යුතුය. ගමනක මුලින් ඇරඹෙන මැද පංතියේ කතාවේ, පේරාදෙණිය හා ආශ්‍රිත කොටස වඩා අර්ථාන්විතව නැවත කියවීමට මෙම පොත මහත් රුකුලක් වනු ඇති බවකි.  හැකි ඉක්මනින් මේ පොත් නමය නැවත ( මා කියව තිබෙන්නෙ ද 6ක් පමණි) කියවිය යුතුය. 1960 වසරේ මුල් වරට ප්‍රකාශ වූ යළි උපන්නෙමි, එකල පේරාදෙණි සිසුවාට බල පෑ ආකාරය ගැන අපුරු කියවීමක් "ඉණිමගේ ඉහළට" ආශ්‍රයෙන් මෙහි උකහා දක්වේ.

පස්වෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -1

මෙහි පළමු උප මාතාව ලෙස සාකච්ඡා කොට ඇත්තේ "මහාචාර්‍ය සරච්චන්ද්‍රයන්ගේ භූමිකාව හා ඔහුගේ අනන්‍ය බලය හෙවත් කැරිස්මාව" යි. මෙය ප්‍රධාන කොට ගැනීමෙන් ම, මෙම සාධකය කෙතෙරම් බල්වත් ද යන්න වැටහේ. වෙසෙසින් පේරාදෙණි සාහිත්‍යයක් බිහිකිරීමෙහි ලා 1951 දී ප්‍රකාශ වූ "සිංහල නවකථා ඉතිහාසය හා විචාරය" ග්‍රන්ථය , 1958 ප්‍රකාශ වූ "කල්පනා ලෝකය" සමඟ "සංකල්පිය ලිප්ගල් දෙකක" සේවයක් ඉටු කල බව පෙනි යයි. 1965 දී කාව්‍ය ශාස්ත්‍රය පිළීබඳ තම දෘෂ්ටිය වෙනස් කල ගත් බව පැවසුවත් ( සාහිත්‍ය විද්‍යාව - නව සංස්කරණය - 1965), නවකතා ආශ්‍රයෙන් එවැනි මත වෙනස් වීමක් සිදු වූ බවට කියූ තැනක් හමු නොවෙන බවක් තෝරදෙනිය ඉඟි කරයි. මේ ආශ්‍රිතව (1956-1961) කාල වලදී මනමේ සහ සිංහබාහු මගින්, පේරාදෙණියේ දිදුලන තාරකාවක් ලෙසත්, ඒ හේතුවෙන් ම ප්‍රභා ඵලයක් ඔහු වටා සන්ජානනය වීමත්, පෙන්වා දෙයි. තෝරදෙනිය ද මෙකල් හී පේරාදෙනියේ සිසුවෙකුව, සරච්චන්ද්‍රගේ කලාකවයේ (නිර්මාණ පංතිය ) කෙටි කතා ආදිය ඉදිරිපත් කොට ඇත. ගම්ලතුන් පවා, සරච්චන්ද්‍රයන්ගේ ම වදනකින් කියවෙනා ලෙස මුග්ධප්‍රබෝධකයෙකුගේ ස්වරූපයෙන් සරච්චන්ද්‍රයන් වැණූ අවස්ථා ගැන මෙහි නිදර්ශන අපට හමු වේ.

සිරි ගුනසිංහ: "හුදෙකලා වූ කැරලිකාරයා", නම් වූ කොටස කුහුල දනවන්නකි.ඒ ඇයි යන්න මේ කොටස පමණකින් හෝ පැහැදිලි වේ:

"කැනඩාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් නිවාඩුවක් සඳහා ලංකාවට ආ හැමවිටම වාගේ ඔහු පුවත්පත් සාකච්ඡා ලබා දුන්නේය. ඒවා ඔහු උපයෝගි කරගන්නා ලද්දේ නිර්දය ලෙස වික්‍රමසිංහයන්, සරච්චන්ද්‍රයන් හා අමරසේකරයන් විවේචනය කිරීමටයි. (134 පිටුව)"
ගුනසිංහ,  නිසදැස නමින් නොවූවද, 1948 දී කොළඹ විශ්වවිද්‍යාලයේදී නිසදැස් ලිවීම අරඹා තිබිණි ( ජී.බී. සේනානායක 1946 දී තම පළිගැනීම කෘතියේ "නිදහස් පද්‍ය ඇතුලත් කොට තිබින ). 1950 දී ගුනසිංහ ලියූ "The New Note in Contemporary Sinhalese Poetry" ලිපිය ඉතා වැදගත් එකක් යැයි තෝරදෙනිය පෙන්වා දෙයි. එම ලිපියේ මීමන ප්‍රේමතිලක, පී බී අල්විස් පෙරේරා ගැන කතා කෙරුන ද, හෙළ හවුල සාමාන්‍ය පාඨකයාගෙන් දුරස්ථ පාරිශුද්ධ ගුරුකුලයක් ලෙස හැඳින්වුව ද, පිය සමර ගැන සඳහන් නොකරයි. නිසදැසේ උපත සහ කොළඹ කවියේ දොස් මතුකරලීම මෙම ලිපියේ ප්‍රධාන කරුණක් බව සාමාන්‍ය මතයයි.

සරච්චන්ද්‍ර, අමරසේකර හා පේරදෙණිය ගුරුකුලය නම් කොටසේ, එකල සරසවි ශිෂ්‍යයෙකුව සාහිත්‍ය නිර්මාණයට එක්කාසු වූ අයුරුත්, ඔහු ගේ ප්‍රධාන නිර්මාණ ගැනත් කියවේ. එහෙත් වඩාත් වැදගත් යයි මා සිතන්නේ ඉණිමගේ ඉහළට ඔස්සේ සරච්චන්ද්‍රයන් යළි උපන්නෙමි කෘතියේ වැදගත්කම මතුකරලීම යයි සිතමි.

"මට හිතෙනා හැටියට මේක ඉතාමත් වැදගත් කෘතියක්. විශේෂයෙන්ම මේ අවධියේ ලියවිය යුතු වැදගත් නිර්මාණයක්. අපි සාකච්ඡා කරපු අර සිංහල මැද පංතියේ සංස්කෘතිය මේකෙන් බොහෝම හොඳට හෙළිදරව් වෙලා තියෙනවා. ඒ කුහකත්වය මේකෙන් ආයිමත් ඉතුරු කරන්නේ නතුව දිග ඇරලා හොඳට පෙන්නලා දීල තියෙනව. "

මෙහි මා වැදගත් යැයි සිතෙන්නේ, අමරසේකරුන්ගේ විපර්‍යාසයෙන් පසුව ඔහු එදා යළි උපන්නෙමි ප්‍රකාශ වූ අවදියෙත්, එකල සරච්චන්ද්‍රයන් ඒ ගැන සිතූ අයුරුත් නොවළහා ප්‍රකාශ කරන නිසා ය. තම තමන් ආකාරයට සාහිත්‍යයේ අරමුණු වේද, එය කලාව උදෙසා ද ආදි ප්‍රශ්ණ අනුව, අයෙක් පරණ අමරසේකර හෝ අලුත් අමරසේකර කෙරෙහි වඩා ලැදි විය හැක.  එහෙත් ඓතිහාසිකව එම විපර්‍යාසයන් කෙසේ සිදු වුයේද කාරණාව සාධක සහිතව පෙන්වා තිබීම වැදගත් ය.  "ගමනක මුලැන්" ඇරඹෙන මැද පංතියේ කතාවේ තිඹිරි ගෙයත්, එහි පසුබිමත් ඉන් වඩා නිවැරදිව තේරුම් ගත හැකි වනු ඇතැයි සිතමි.  මා අදත් හිතන්නට වඩා නඹුරු, එම නවකතා මාලාව මෑත ඓතිහාසික සිදුවීම් පෙළ දිගරීමක් ලෙස වැදගත් වනු මිස, එනම් එම යුගය ගැන කියවීමක් ලෙස මිස, අමරසේකරගේ චින්තනය අන් අයට පෙවීමට ලියැවූවක් ලෙස නොවේ. අමරසේකර ගේ වර්තමාන දේශපාලන මතයේ ඉන්නා අය ඒ මතින් තම මත දැඩි කර ගැනීම අනෙකකි - එය වර්තමාන සමහර ලේඛකයන්ගේ කෘති වලින් ද නොමදව සිදුවේ.

අනතුරුව සාකච්ඡාවට බඳුන් වන්නේ ගුරුකුලයේ මිතුරෙකු, පසමිතුරෙකු හා ඊට ප්‍රහාර එල්ල කරන්නෙකු ලෙස, වික්‍රමසිංහ චරිතය පිරීක්සීමට ය. මුල් කාලයේ දී, වික්‍රමසිංහයන් පේරාදෙණි ගුරුකුලය හා අනන්‍ය වීමක් දැක ගැනීමට හැකි විය. එය විමල් දිසානායක විසින් පවසන්නේ, වික්‍රමසිංහගේ ජාතික පිළිගැනීම හා සරච්චන්ද්‍ර චින්තනය කෙරෙහි බලපෑම යන්න අන්‍යෝන්‍ය වශයෙන් සේවය කර ඇති ලෙසට ය.පියදාස  සිරිසේන ගෙ අරමුණු තේරුම් ගැනීමට මහන්සි නොවූ සරච්චන්ද්‍ර, වික්‍රමසිංහගේ ලීලා ලිවීමේ අරමුණු "වටහා ගත්" බව පෙනී යයි. ඔහු ගේ මුල් කාලීන නවකතා විෂයෙහි පවා සරච්චන්ද්‍ර බටහිර නවකතා "ආදර්ශයට" ගෙන ලියූ බව පැවසුව ද, සිල්වා ගේ 'විජයබා කොල්ලය' පිසාරෝ අනුකරණයක් බව කීමෙන් මෙම තත්වය මැනවින් පෙනී යයි. 1956 න් පසුව විරාගය වන්දනය වූ මුත්, 1965 දී පේරාදෙණියේ සිංහල අංශය විවේචනය කිරීම ඇරඹෙන තුරුම, මේ සමීප සබඳතාව තුබූ බව පෙනී යයි. නවාකථාංග හා විරාගය, හා සිංහල නවකතාව හා ජපන් කාමකථා හෙවණැල්ල, පෙරාදෙණියට වික්‍රමසිංහ විසින් එල්ල කරන ලද අවසන් යකුළු පහර දෙක ලෙස සැලකේ. පසු කාලීනව, සිරි ගුනසිංහ නිතර වික්‍රමසිංහ විවේචනය ට හේතුමූලයන් මෙහි වූ බව සිතිය හැකිය. ගුනසිංහ ගේ විවේචන ගැන දීර්ඝව සාකච්ඡා කෙරෙන මෙම කොටසේ, සමහර විවේචන වල බොළඳ බව ද පෙන්වා දෙයි. එනුමුදු වික්‍රමසිංහ ම 1962 දී මළගිය ඇත්තෝ අගයා ඇත්තේ, "සිංහල සාහිත්‍යයේ අනාගතය" නම් වූ ලිපිය මගිනි.



හයවෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -2
මෙය කොටස් හයකින් සපිරිය. පළමු කොටස "සරච්චන්ද්‍රයන්ගේ විචාර ක්‍රමය 1 - "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" යන්නයි. එනමින් වූ කෘතිය 1951 පළ වූවකි. එහි ඔහු "බරපතළ ලෙස සිතන" පාඨකයින් නවකතා කියවීම සහමුලින් නවතා ඇතැයි කියයි. එහෙත් ඔහු ගේ කෘතිය විමසුම් නෙත යොමු කරන කාලයේ පියදාස සිරිසේන සහ ඩබ්. ඒ. සිල්වා ගේ නවකතා දහස් ගණනින් අලෙවි වූයෙන්, එම දහස් ගණනින් පොත් කියවූවන් තුල බරපතළ ලෙස සිතන අය නොවන බවට ය, සරච්චන්ද්‍ර ගේ කියවීම.  ඒ සිරිසේන සහ සිල්වා නවකතා ලියූ යුගයේ ම ලියවුණු බටහිර නවකතා හා තක්සේරුවෙන් විය හැකිය ( ලෝරන්ස්, නිදසුනකි - ඔහු ඊ. ඇම්. ෆෝස්ටර් කියවා නොතිබෙන්න ට ඇත.)  කෙසේ හෝ සරච්චන්ද්‍ර, සිරිසේන හා සිල්වා නවකතාකරණයේ සිටි යුගය ගැන අවදානය යොමු කලේ ද යන්න සැක සහිතය.  සරච්චන්ද්‍ර දීර්ඝ වශයෙන් සාහිත්‍ය විචාරයේ අඩුපාඩු ගැන ද, එය කෙසේ විය යුතු ද යන්න ආදිය ගැන පවසා ඇත. තෝරදෙනිය පෙන්නා දෙන්නේ මේ පොත පළ වූ මුල් කාලයේ සිට ම "සාහිත්‍ය විචාර බයිබල් ග්‍රන්ථයක්" වූ බවකි. මෙහි ඉංග්‍ර්‍රිසි මුල් කෘතියට (1943) පෙරවදනක් ලියමින්, මලලසේකරයන් පවසා ඇත්තේ,

"පවත්නා තත්වයන් යටතේ සරච්චන්ද්‍ර පළ කරන මත පෞද්ගලික්ව ලේඛකයන් හා ඔවුන් බහුමානයෙන් සලකන කණ්ඩායම් තුළ නොපහන් හැඟීම් ඇවිස්සීමට පමණක් නොව, පෞද්ගලිකව වෛරයක් පවා ඇති කළ හැකි බවත්" ය. (176 පිටුව)

මලලසේකරයෙන් ගේ මෙම ප්‍රස්තාවනාවෙන් දීර්ඝ ලෙස උකහා දක්වන තෝරදෙනිය, සරච්චන්ද්‍ර ගේ අරමුණු සහ භුමියේ තත්වය ගැන යම් නො පැහීමක්, විෂය ක්ෂේත්‍රික වශයෙන් ඇති බව පෙන්වා දෙයි. වරෙක මලලසේකරගේ වදන් අනාගත වක්තෲන් කෙනෙකුගේ මෙන් යැයි පවසන තෝරදෙනියගේ අදහස හා අපට එකඟ වීමට සිදුවන්නේ නිරායාසයෙනි. ඒ මලලසේකර වඩා සාධාරණ ස්ථානයක, අප මෑත කාලින සාහිත්‍ය පිළිබඳව  සිටි බව පෙනී යන නිසා ය. 

"සිය රචනා දෙස මෙසේ අන්වීක්ෂයෙන් බලා ඇති බව දත් ලේඛකයන්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්, තමන් තම සගයන් දහස් ගණනාවකට ආස්වාදය ලබා දුන් බවත්, ඔවුන්ගේ වඩාත් ධර්මෝපදේශ ලේඛන පවා උවමනාවෙන්ම එසේ ලියූ බවත්, ඒවා ලිවීමේ අරමුණු ඉෂ්ට වූ බවත් ප්‍රකාශ කල හැකිය." ( 177 පිටුව )
එහෙත් සරච්චන්ද්‍ර මේ කෘතිය පළ කිරීමට පෙර, සිල්වා හා වික්‍රමසිංහ අතර නවාකතාව පිළිබඳ වාදයක් වූ බව පෙන්වා දෙන තෝරදෙනිය, ඒ අනුව නවකතාව ගැන යම් න්‍යායික අවබෝධයකින් යුක්ත වූ සිංහල පාඨක පිරිසක් ද සිටි බවකි පවසන්නේ.

"Some Old Literary Controversies" නමින් සරච්චන්ද්‍ර 1952 ඩේලි නිව්ස් පත්‍රයට ලියූ ලිපි තුනක් ගැන ඉන් පසුව ඔහු අවදානය යොමු කරයි.  මේ ලිපි තුන මෙතෙක් අවධානය යොමු කොට ඇත්තේ රංජනී ඔබේසේකර පමණක් ම බවත්, කිසිදු සරච්චන්ද්‍රවාදියෙකු එම ලිපි කෙරෙහි අවදානයක් යොමු කොට නැති බවත් ඔහු චෝදනා කරයි. මින් පළමුවැන්නේ, හෙළ හවුලෙන් සරච්චන්ද්‍රයන් ලත් අපහාස නොතකා,  කුමාරතුංග මුණිදාස ගේ බහුශ්‍රැතබාවයත්, කවීත්වයත් අගයයි. මේ අදහස් මතුවන්නේ කූකවිවාදය ගැන කතා කිරීමේදීය. දෙවෙනි ලිපියේ, ව්‍යාකරණ හා ඡන්දස් ශාස්ත්‍රයෙන් පරිබාහිරව කෘති ඇගයීමේ ප්‍රවණතාව ගැන කතා කර ඇත. එය මෑත කාලීන ප්‍රවණතාවක් බවත්, නිර්මාණ කාර්‍යයේ නියළුණු ලේඛකයින් විසින් එය අරඹා ඇති බවත් හේ පවසන්නේ, වික්‍රමසිංහගේ විචාර ලිපි, ගුත්තිලි ගීතය, සහ සිංහල සාහිත්‍යයේ නැගීම, ගැන පවසමිනි. තෙවෙනි ලිපියේ තරමක් සාහසික ප්‍රකාශනයක් ගැන තෝරදෙනිය අවදානය යොමු කරයි.ඒ විචාරකයා ගේ විනිශ්චය සමඟ එකඟවනු මිස, අන් විකල්පයක් 'සාමාන්‍ය මිනිසාට' නැති බවක් ය. පසු කලෙක පේරාදෙණි විචාරය සංස්ථාපනයට මෙය ස්ථාවරය හේතු වූ බවකි, ඔහු ගේ අදහස. 1958 දී කල්පනාලෝකය මගින් ද මෙය තහවුරු කල බවකි කතෘ පෙන්වා දෙන්නේ. කල්පනාලෝකය කෘතිය ගැන දීර්ඝ හැඳින්වීමක් කරන්නේ එය කල්පනාලෝකවාදයක් යයි පවසමිනි. පිටු 15 ක් පුරා ලියැවී ඇති මේ කොටසින්, නිර්මාණකරුවාට විෂය තෝරාගැනීමේ නිදහස ගැනත්, සභ්‍ය-අසභ්‍යතාවේ අනදාලත්වය ගැනත්, රසය දැනෙන්නේ වාසනා ගුණය ඇත්තෙකුට බවත් වහසි බස් වලට ආසන්න කාරණා කියා ඇත. තෝරදෙනිය ඒවා වෙසෙසින් මතුකර ඇත්තේ මාක්ස්වාදි සාහිත්‍ය විචාරයට පටහැනි බොහෝ අදහස් මෙහි ඇති බව මතු කරලිමිනි.

ඉන් අනතුරුව "සිරි ගුනසිංහ හා වෙනත් ගුරුකුල ශ්‍රාවකයන්ගෙ විචාර" ගැන අවධානය යොමු වේ. 1964 දී, පවත්වන ලද "නවකතාව හා ජීවිත විවරණය" යන දේශනය ඉන් ප්‍රමුඛ වේ. "පියදාස සිරිසේනගේ හෝ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවාකතාවක් හෝ මාටින් වික්‍රමසිංහගෙ රෝහිණි වැනි නවකතාවක් හූමිටි දීමට වඩා කිසිවක් නොකරයි. මේ අතින් බලන විට ඒ ගණයේ නවකතාවලට නවකතා යන නම දීම යුක්තිසහගත නොවේ.... පළමුවරට හැබෑ ජීවිත විවරණය කෙරෙන කතා ලිවීම ආරම්භ කළේ වික්‍රමසිංහ යැයි කිව හැක" යි පවසා ඇත. විචාරකයා හා විචාරය යන ලිපිය ලියමින් රස විඳීමෙන්න් පන්ති ප්‍රභේද දුටුවේය. ධර්මසිරි ඒකනායක ගේ ලිපියක් ද මෙහි උකහා ඇති අතර, ඔහු හේමපාල මුනිදාස ගේ "පුනරාවලෝකය", සහ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ "අවිචාර සමය", "නරක" නවකතා දෙකක් ලෙස දකියි. පේරාදෙණියේ ඉංග්‍ර්‍රිසි අංශයේ සරත්චන්ද්‍ර වික්‍රමසූරිය නවකතා විචාරයට අච්චුවක් සැප යූ බවත්, ඉන් අනතුරුව පේරාදෙණි ගුරුකුලවාසීන් මෙන්ම අනුගාමික පාසැල් ගුරුවරුන් ද විභාග සඳහා මෙම අච්චුව භාවිත කලේ, E.M. Forster ගේ ප්‍රකට Aspects of the Novel ගැන කිසිදු අවදානයක් හෝ යොමු නොකොට බව පෙන්වා දෙයි. ඒ. එම්. ජී. සිරිමාන්න ගේ විචාර මගින් කරුමක්කාරයෝ සමඟ ඩී.එච්. ලෝරන්ස් සැසඳීමක් කලේය.

ඊළඟ අනුකොටස "පියදාස සිරිසේනගේ හා ඩබ්ලිව් ඒ සිල්වාගේ නවකතා හා කොළඹැ කවිය 'උච්චස්ථානයෙන් හා උත්තමභාවයෙන්' ඇද දැමීම" නමි. විජයබා කොල්ලය පිසාරෝ අතර සමානකම් වික්‍රමසූරිය 'විජයබා කොල්ලය විවරණය'  මගින් දීර්ඝ වශයෙන් පෙන්වා ඇත. 1967 දී ආරිය රාජකරුණා  සිළුමිණ ට ලියමින් කියා සිටියේ, "නිසඳැස් කාව්‍ය වර්තමාන ලෝකයේ අත්දැකීම් පළැ කිරීමට ඡන්දස් කාව්‍යයට වඩා අතිශයින්ම යෝග්‍ය" කියා ය. වික්‍රමසිංහගේ නව පද්‍ය සිංහලය කොළඹ කවීන් කෙරෙහි විවේචනශීලි වුවද, වැදගත් නිරීක්ෂණයන්ගෙන් රැගත් විය. "ඔවුන්ගෙන් සමහරුන්ට විචාර බුද්ධිය දියුණු නොකළ හැකි වූයේ දැනුම ලැබීමට අතෘප්තිකර ආශාවක් ඔවුන් තුළ නොවූ බැවිනි. ලද දැනුමෙන් සතුටු වූ ඇතැම්හු පද්‍ය රචානයට මිස දැනුම ලැබීමට නොවෙහෙසුණෝය" යැයි කීවේය. එනුමුදු තෝරදෙනිය අල්විස් පෙරේරා හා කුඩලිගම අතර යුධ සංවාදය නිශසුනට ගෙන ඉහත චෝදනාව ප්‍රතික්ෂේප කරයි. කොළඹ කවියේ  අභාවයට හේතු වූ කාරණා 8ක් මතුකරමින් පරිච්ඡේදය අවසන් වේ.



හත්වෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක -3

පළමු උපමතාව, "අතිශයෝක්තියට නංවන ලද පේරාදෙණිය නිර්මාණ හා 'වික්ටෝරියානු කුහකදම් සළුව'" යි. එහි පේරාදෙණි සාහිත්‍යය ඇවැසි පාත්‍රයෝ කිනම් නවකතා වල විසුවේ ද යන්න ගැන සඳහනකින් මෙම සාකච්ඡාව පටන් ගනී. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ සරච්චන්ද්‍රගේ "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" ( සත්වන මුද්‍රණය) කෘතියයි. "'යළි උපන්නෙමි' හා 'හෙවනැල්ල' පළ වූ පසු ශීඝ්‍රයෙන් වෙනස් වන පුද්ගල පුරුෂාර්ථයන් හා එතරම් වෙනස් නොවන සමාජ පුරුෂාර්ථයන් අතර ගැටුම අවංකව නිරූපනයට කිරීමට ලේඛකයෝ ධෛර්‍යය ලැබූහ.", යි සරච්චන්ද්‍ර පවසා ඇත. කේ. ජයතිලක ගේ 'පරාජිතයෝ', අප්‍රසන්න කතාවක්' හා 'හෙවනැල්ල' වර්ණනා කල ද, චරිත තුනක් හි ඉසා ගේ චර්තය ගැන ඇසුවේ, "ඉසා තම ජීවිතය පරිත්‍යාග කොට සිය යුතුකම් ඉටුකිරීම උදාර පුරුෂාර්ථයක්ද?" පැණයයි. ඔහු හේමරත්න ලියනාරච්චිගේ නවකතා ගැනද පැහැදීමෙන් සිටි බවකි, පෙනෙන්නට තිබුනේ. සරච්චන්ද්‍ර පරස්පරයන් දක්වන අවස්ථා ද නත්තේ නොවේ.  ගන්ධබ්බ අපදානය ගැන විචාරය සහ හේතුඵල වීමේ වැදගත් වීම ගැන කල්පනාලෝකයේ පැවසූ දේ අතර ගැටීම ඊට නිදසුනක් ලෙස තෝරදෙනිය පෙන්වා ඇත.


මේ සමස්ත ග්‍රන්ථයට හෝ සාරාංශ කර ගත හැකි මූල හේතුවක් අපට මේ කොටසේ හමු වේ.

"මුල්කාලීන අප්‍රිකානු නවකතාකරුවා පෙන්වූයේ අප්‍රිකානු මූලසම්ප්‍රදායන්, සාම්ප්‍රදායික් ජීවිතය හා යටත්විජිතවාදය අතර ගැටුමයි. සාම්ප්‍රදායික ආගම, සාම්ප්‍රදායික් සංස්කෘතිය හා සාම්ප්‍රදායික හරපද්ධතිය හා බලහත්කාරයෙන් පටවන ලද ක්‍රිස්තියානිය හා යටත්විජිතවාදය නිසා මතු වූ නව සමාජ-සංස්කෘතික හර පද්ධතිය අතර ගැටුමයි...."

පේරාදෙණි සාහිත්‍යයට සංස්කෘතික ගැටුම මතු කරලීමට නොහැකි වීම තෝරදෙනියගේ ප්‍රධාන චෝදනාවයි. සරච්චන්ද්‍රයන් ගේ සාර්ථක නවකතා වලට දක්වන නිදසුන් අනුව පැහැදිලි වන්නේ ඔහු ට රුචි වූයේ ජීවිත පරමාර්ථයන් පිළිබඳ අවිශ්වාසයෙන්, ආධ්‍යාත්ම තෘප්තියක් නොලබනා චරිත මුල් වූ නවකතා බවයි. තෝරදෙනිය දකිනුයේ දේශපාලන සංවාදයෙන් තොර, සමාජ ගැටුම් නිරූපනයෙන් තොර නවකතාව ව්‍යාජ, ආනයිනික නවකතාවන් ලෙසට ය.  පසු කාලීනව වික්‍රමසිංහත්, ඊට වඩා ව්‍යක්ත ලෙස අමරසේකරත් තෝරදෙනියගේ ආස්ථානයට ආසන්න තැනක ඒමත් ඉන්, ඇතුලත වූ සන්ධානය බිඳවැටීමත් ය මෙහි සිදුව ඇත්තේ. මෙම මුළු කෘතිය ම මේ කාරණාකාරණා ඇතුලත හසිරෙන බවකි අපගේ වැටහීම.


දෙවෙනි උපමාතෘකාව, "පැවති සාහිත්‍ය විචාරයේ තතු" යටතේ, පේරාදෙණි සාහිත්‍යය ට එරෙහි ප්‍රතිඵලදායි කැරැල්ලක් ඇති නොවුණු අයුරුත්, එම ගුරුකුලය ස්ථානපයට පෙර (ඩබ්ලිව්. ඒ. සිල්වා) හා සමකාලීනව (ජී. බී. සේනානායක ), ඇති සාහිත්‍ය විචාර ග්‍රන්ථයන් පේරාදෙණියේ අවදානයට ලක් නොවුණු අයුරුත් පෙන්වා දෙයි. අවම තරමින්,  සරච්චන්ද්‍රගේ "සිංහල නවකථා ඉතිහාසය හා විචාරය" ග්‍රන්ථයේ "වාද විවාද හා භාෂා වර්ධනය" කොටසට සිල්වා හා වික්‍රමසිංහ අතර නවකතාව පිළිබඳ වූ විවාදය ගැන හෝ නැත. නවකතාව ගැන වූ ප්‍රථම කතාව කිරීමේ ගෞරවයද, සිල්වා සතු වුව ද, පේරාදෙණි ගුරුකුලවාදීන් ට සිල්වා නිකම් කතාකාරයෙක් විය. පේරාදෙණි ගුරුකුලයට සබැඳි අයගෙන්, සිල්වා ගැන යම් සඳහනක් කොට ඇත්තේ තිස්ස කාරියවසම් පමණි. එලෙසම පේරාදෙණි සාහිත්‍ය ක්‍රමයට විරුද්ධව විචාරය "ද්වේෂ සහගත බැණ අඬගැසීමක් හ අවලාද නැගීමක්" පමණක් වීම, එම ගුරුකුලයටම වාසි සහගත විය. අද පවා සමහර සාහිත්‍ය ක්‍රමයන් වල අනේක දුර්වලතාවන් තිබුන ද, ඊට එරෙහි විචාර දක්වන්නන් ගේ ද්වේෂ සහගත අදහස් දැක්වීම්, ඔවුන් මතු කරලිමට උත්සාහ දරණ යම් වැදගත් දේ, යටපත් කිරීමට සමත් ය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නැත්තේදෝ යැයි සිතේ.

අටවෙනි පරිච්ඡේදය: පේරාදෙණිය ගුරුකුලය ස්ථාපිත වීමට බලපෑ සාධක - 4


මෙහි එන පාසල් පද්ධතිය, උසස් විභාග හා පාසල් ගුරුවරු යන කොටස, පනහ දශකය මැද සිට, එවකට සිංහල සාහිත්‍ය ගුරුකුලයක් ලෙස යම් ස්ථාවරයක් ලබමින් සිටි එකම ගුරුකුලය, එසේ ස්ථාපිත වීමට බලපෑ සමාජ දේශපාලන වටපිටාව,  තෝරදෙනිය ගේ දෘෂ්ඨිකෝණයෙන් ඉදිරිපත් කොට ඇත. එකල එම පරිසරයේ  ශිෂ්‍යයෙකු ලෙස ජීවත්වූවෙක් ලෙස ඔහු කියනා කාරණා වල ප්‍රතික්ෂේප කරලීමට අපහසු දෑ  ඇති බව,  කියවන්නියට වැටහෙයි.

"විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වූ ශිෂ්‍යයා පේරාදෙණියේ ආශිර්වාදය ලත් සියලු නවකතා, කෙටිකතා සංග්‍රහ හා කාව්‍ය සංග්‍රහ, විචාර ග්‍රන්ථ හා විචාර ලිපි කියවිය යුතු වීය. පේරාදෙණි නාට්‍ය නැරඹිය යුතු වීය." (270 පිටුව)


මට මේ තිබූ තත්ත්වයන් පිළීබඳ මගේ කියවීමක් සිහියට නැගේ. ඒ ඉතිහාසය ක්‍රියා කරනා ආකාරය ගැනයි. මා සිතන්නේ, කුමන අයුරකින් සැලකුව ද, පියදාස සිරිසේන හෝ, හෙළ හවුල හෝ, කොළඹ කවිය හෝ නිර්මාණ කල අවදියේ සිට යම් ප්‍රගමනයක් පේරාදෙණි ගුරුකුලය හේතුවෙන් සිදු වූ බවය. එහෙත් සිරිසේන හෝ සිල්වා හෝ ඔවුන් නිර්මාණ කල කාලය ගැන නොතකා දැඩි ලෙස විවේචනය සිදු නොවෙන්නට තුබූවක් බවකි. එකල තිබූ විචාරයන් ඉතා කර්කශ ලෙස බැණ ගැනීම් බවට පෙරළුණු බවට සරච්චන්ද්‍රයන් ද, තෝරදෙනිය ද පවසා ඇත. අදටත් එහි තිත්ත රසයන් ඉතිරි ව ඇත. පේරාදෙණියෙන් පමණක් සාහිත්‍ය ප්‍රගමනයක් සිදු වූ යුගයක, සියල්ලෝ ඊට අනුමැතිය දැක්වූ බවකි මෙහි කියවෙන්නේ. කරුණු කාරණා සිදු වූ ආකාරය අනුව සියල්ල ඊට පෙළ ගැසිණි. පළමුව සතුරන් සාදාගෙන ගමනක නිරත වෙද්දි, ඒ සතුරන් හා ඔවුන්ගේ අනුගාමිකයින්ද, අලුත් ගමන අසාර්ථක වෙනකං බලන් ඉන්නෝය. ඒ අර්ථයෙන් බලනා කල මෙම කෘතියම අප රට මෑත ඉතිහාසයේ සාහිත්‍යයේ දෙවෙනි උපතක කතාව ලෙස කිව හැක. පළමු උපත ට අසාධාරණ ලෙස පේරාදෙණි ගුරුකුල ඇත්තෝ බැණ වැදීම ඇර, ඔවුන් ගේ නිර්මාණකරණය සිදු වූ ආකාරය ගැන එතරම් දොසක් කිව හැකි ද යන්න ම ප්‍රශ්ණයකි.  විවේචනයක් ඇත්තේ නම්, හැට දශකයේ අග වූ ආකාරයේ ශාස්ත්‍රීය කාරණා හේතුවෙන් සිදු වූ ආකාරයේ වූවක් වඩා සාධාරණය.

පරිච්ඡේදයේ දෙවෙනි කොටස "කලා අංශයේ ශිෂ්‍යයෝ හා ශිෂ්‍යය්‍යන් මුහුණ දුන් සංස්කෘතික ගැටුම" පිළිබඳවය. මෙහි සරච්චන්ද්‍ර, අමරසේකර සහ ගුනසිංහ යන අයව වීරත්වයෙන් සැලකීම, පේරාදෙණිය  ජීවිතය, එම පරිසරය හා අනන්‍ය වීම, කූල්ටර් - හරමානිස් භේදයත් 'ඇක්වයර්ඩ්' කූල්ටර්කාරයන් සිටීම, එම කාලවෙලාවට සියල්ල සිදුවන පරිසරය, තම ගම් වල ජීවිතය හා පේරාදෙණි ජීවිත අතර ඇති වෙනස එහි එන බොහෝ සිසුන් අතරමං කරලීම,  ආදි තත් කාලීන සමාජ සිදුවීම් මතුකරලයි.  ජෙනිංස්ගේ අරමුණුත්, අමරසේකර, පී. ඇම්. ජයතිලක, ගුනසිංහ, සිරි එදිරිවීර සහ ඔහුගේ ම වූ නිදසුන් ලෙස ගෙන හැර දක්වයි. මේ සියල්ල මධ්‍යයේ, තෝරදෙනිය ගෙන හැර දක්වන සමහර කාරණා, මෙතරම් වටිනා සාහිත්‍යමය සහ ඓතිහාසික කර්තව්‍යයක වටිනාකම පළුදු කරන බවකි මගේ අවංක අදහස. පොදු පුරුෂයා නවකතාව ආශ්‍රයෙන් යම් අදහස් දැක්වීමක් කර ඇති අතර එම  විචාරය තරමක් අන්තවාදී ලෙස ය මා දුටුවේ. එහෙත් තිස්ස කාරියවසම්  කසුඕ ඉෂිගුරෝ, හරුකි මුරකාමි සහ ඔසමු දසායි කියවා ඇති ආකාරයේ දෝෂ පෙන්වා දීම, තෝරදෙනිය වන් පුළුල් කියවීමක් ඇති අයෙකුගෙන් සිදුවන සේවයකි. වර්තමානයේ, සමාජය කෙතෙරම් විවෘත ද මැදිහත් වීම් කෙතෙරම් බහුල ද යන්න මත, අද වන විට සමාජයේ වීරයන් සිටිය නොහැකි බව මෑතක මගේ මිතුරෙකු කීවේය. තෝරදෙනිය ගැන ද කිව හැක්කේ එයයි. මෙවන් සාරගර්භ පොතක්, ලිවිය හැක්කේ තෝරදෙනිය ට පමණක් බව සිතේ. එහෙත් තෝරදෙනිය නිසා ම, විටෙක  අල්ප වටිනාකමක් ඇති කාරණා වලට ද යම් ප්‍රමුඛත්වයක් දී ඇති සේය.

අනුකාරක මුග්ධප්‍රබෝධයන් පිරිසක් බිහිවීම යන කොටසෙන්, ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාල මගින් ද පේරාදෙනි මතවාද ඉදිරියට ගෙන ගිය බව පවසයි. ඉංග්‍රීසි විචාරකයන්ගේ සහාය යන කොටසෙන්, වෙසෙසින් රෙජී සිරිවර්ධන ගැන කතා කරන අතර, ඔහු මනමේ හා සිංහබාහු අප රට බහුතරයක් රස විඳි අර්ථයෙන් ඈත්ව මුලින් රස විඳි බවත්, පසු කලෙක එම ආස්ථානය මදක් වෙනස් කොටගත් බවත් පෙන්වා දෙයි.  එනමුදු,  මේ කෘතියේ මා දකිනා අඩුපාඩුවක් නම්, රෙජී ව එන්.ජී.ඕ. කාරයකු ලෙස නම් කිරීම ආදී කෘතියේ මුඛ්‍යාර්ථයට පරිබාහිර කරුණු වෙනුවෙන් පොතේ කොටස් වෙන් කිරීමය. සුදුසු සංස්කාරකවරයෙක් මේ පිටපත කියෙව්වේ නම්, මෙවන් අවස්ථා ඇතුලත් නොකිරීමට ඉඩ තිබිණි.
 

සිවිල් සේවකයින් ද, පසුව පරිපාලන සේවා නිලධාරීන් ද සාහිත්‍ය විචාරයට එළඹීම හේතුවෙන් ද පේරාදෙණි සාහිත්‍ය ප්‍රචලිත වූ අයුරු, "සිවිල් සේවකයන් හා පරිපාලන නිලධාරීන්" කොටසින් පෙන්වා දෙයි. සිංහල අංශයේ අනෙක් ඇදුරන් මෙම සාහිත්‍ය විචාර ප්‍රවණතාව ගැන උකටලීභාවයකින් ක්‍රියා කල බවත්, ආරිය රාජකරුණා, එවන් ගුරුකුලයක් තිබෙන බව පිළිනොගන්නා අතර ම ඒ වෙනුවෙන් පෙනී සිටි අයුරු පෙන්වා දෙයි. "ජනේලය", මූදු පුත්තු", "අපට පුතේ මගක් නැතේ" ආදීය "හැව්ලොක් ටවුමේ රඟහලේ පෙන් වූ නාට්‍ය බවත්, එම නාට්‍ය මගින් පේරාදෙණි නවකතාවේ යහපැවැත්ම ට අනුපූරක ලෙස බලපෑ බවත් තෝරදෙණිය චෝදනා කරයි. (319)

නවවෙනි පරිච්ඡේදය වෙන් වන්නේ හෙළ හවුල ලංකා විශ්ව විද්‍යාලය  කෙරෙහි කලා වූ විවෙචනයන් සහ, එම විශ්ව විද්‍යාලය සමස්ත වශයෙන් බොහෝ විට එම ගුරු කුලය නොතිබුනාක් මෙන් හැසිරීමත් පෙන්නුම් කරලිමට ය. හෙළ හවුලේ බොහෝ විවේචන වල තිබූ යම් අගතිගාමී ස්වරූපය හේතුවෙන්, ප්‍රබල න්‍යායික විවේචනයන් කරලීමේ අවස්ථාව, සහ වෙසෙසින් කුමාරතුංගයන්ගේ ඇවෑමෙන්, එවන් විවේචනයන් කරලීමේ හැකියාවන් ද, හීන වූ  බව පෙන්වා දෙයි. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, බඹරැන්දේ සිරි සීවලි, වැලිවිටියේ සෝරත, රඹුක්වැල්ලේ සිද්ධාර්ථ ආදින් කර්කශ විවේචනයට බඳුන් කල ආකාරය මෙහි නිදසුන් ඇතිව පෙන්වා දෙයි.  සමහර  ප්‍රබල මෙන්ම වලංගු විවේචයන් වන්නේ, පෙරදිග භාෂා ( සකු සහ පාළි) ගැන දැනුමැත්තන් ට ම සිංහළය ද  ( හෙළුව ) බාර දීමෙන් හෙළ බසට වෙන අවැඩ ගැන ය.

 දහවෙනි පරිච්ඡේදය උක්ත ගුරුකුලය ස්ථාපනයට හේතු වූ නවකතා තුනක් විචාරයට තෝරදෙනිය තෝරා ගෙන ඇත. සරච්චන්ද්‍රගේ ජපන් නවකතා දෙක ගතහොත්, නොරිකෝ ගේ චරිතය ඉස්මතු කරලීම ප්‍රධාන සාර්ථකත්වය දෙස දකින ඔහු දෙවොන්දොරෝ සං තුලින්, පේරාදෙණි මිනිස් පුතෙකු බිහි වීමේ රෝගය දකි.  'වල් මත් වී හසරක් නොදකිමි' දෙස බලන ඔහු, එහි එන වික්ටර් සහ උපාලි අන්වේක්ෂකයන් වීමේ තැතක් ගැන කීව ද, එම තැතේ ඇති දොස් පෙන්වා දෙයි.  තෙවෙනි නවකතාව ලෙස අමරසේකරගේ ගන්ධබ්බ අපදානය සලකන අතර, එය අමරසේකර ගේ ම එක්තරා ගන්ධබ්බ අවධියක් නිරුපනය කරන බව සිතයි. එහෙත් සමස්ත ලෙස එම කෘතිය වෙත ධනාත්මක විචාරයක් යොමු කොට ඇත.

එකොළොස් වෙනි පරිච්ඡේදය "පේරාදෙණිය ගුරුකුලයේ විභේදනයේ පෙර ලකුණු" නමි. මේ කියන පෙර ලකුණු  ලෙස නන්දසේන රත්න්පාල යළි උපන්නෙමි මුල් කොට ගෙන ලියූ ලිපියකුත්, අමරසේකර විරාගය සහ මළගිය ඇත්තෝ මුල් කොට ගෙන ලියූ ලිපිත් ය, පෙන්වා ඇත. රත්නපාලගේ ලිපිය කියවා නැතත්, මෙහි එන උදෘත මගින් නම් එය තරමක් අන්තවාදී කියවීමක් යැයි සිතේ. අනතුරුව කාව්‍ය ධාරා දෙකක් සමීපව සසඳා කතා කරන කතුවරයා, සිරි ගුනසිංහගේ නිසඳැසුත්, අමරසේකරගේ කාව්‍ය නිර්මාණ ගැනත් කතා කරයි. අප විචාරකයින්ගේ එක් දොසක් නම්, විවේචනයේ සීමාව කොතනැදැයි නොදැනිම දැයි සිතේ. මෙය අද ඊයේ නොව කුමාරතුංග යුගයේ සිට ම පැන එන්නක් ලෙස ය පෙනෙන්නට ඇත්තේ. මෙහි දී ද, ගුනසිංහ ගේ තරමක් කෘතීම උපමා උපමේය වදන් ගැන විවේචන තිබිය හැකි මුත් පහත කියමන් වැනි ඒවා, මෙම කෘතිය අති විශිෂ්ඨ කෘතියක් වීමට ඇති විභවය ට යම් ඍණාත්මක බලපෑමක් ගෙන එයි.

"සියයක් ස්ත්‍රීන් සමග රතී කෙළි යෙදීමෙන් පසුව සාද පැවැත්වූ වර්තමාන ප්‍රාදේශීය සභාකාරයාට වඩා උගත් කාමාතුරයා වෙනස් නොවේ." (398 පිටුව )
එසේ වුව කොළඹ කවීන්ගේ නාරි වර්ණනාව විවේචනය කලවුන් එවැන්නක් නිසදැසේ කලා යයි කීම තාර්කික විවේචනයකි.

භාවගීත සිට ගුරුළුවත දක්වා වූ විචාරය, අමරසේකර කවිය නැවත කියවන දිනකට නැතුවම බැරි විචාරයකි. එය එතරම් පරිපූර්ණ ලෙස ලියැවී ඇතැයි සිතේ. මේ කෘතිය පසු දිනක නැවත පරිශීලනයට ඇවැසි බව සැක නැති - ඒ බොහෝ විට ආශ්‍රේය කෘතියක් ලෙසය.


දොළොස් වන පරිච්ඡේදයේ උක්ත ගුරුකුලය බිඳී යාමට හේතු වු අභ්‍යන්තර සාධක කෙරෙහි අප කතුවරයාගේ අවදානය යොමු වේ. මෙම පරිච්ඡේදයේ ඇති වටිනාකම වන්නේ, කතුවරයා මෙතෙක් සිටි සමහර ආස්ථානයන් තහවුරු කරනු වස්, එම ගුරුකුලයට අයත් අය තුලින් ම මතුවෙන සාධකයන් ය.

ආරම්භයේදී, අමරසේකර 1963 පළ කල ලිපියක් උපුටමින්, හේ කොළඹ කවිය සහ නිසදැස් කවිය යන දෙකම සිංහල සාහිත කෙතේ පහළ වූ වල් පළෑටි දෙකක් වුව, කොළඹ කවිය භාවිත  බස හේතුවෙන් රසාලිප්ත හෝ වන මුත්, නිසදැස කෘතීම බවකි පවසා ඇත්තේ.

මෙම පරිච්ඡේදයේ වඩා රසවත් කොටස, "නිර්මාණය හා විචාරය පිළිබඳ පේරාදෙණිය ගුරුකුල ගැටුම" ය. සිරි ගුනසිංහගේ ලිපියක් උපුටමින්, ඔහු පේරාදෙණි සාහිත්‍ය විචාරය විහිළුවක් බවත්, එය පේරාදෙණි නිකායේ විචාරයක් ලෙස හැඳින්වීමත්, නිකාය යන්නෙන් ගුරුකුලයටත් වඩා පටු ස්ථානයක් ඇඟවීමෙන් කෘතියෙ කතුවරයාගේ මුල් අර්ථකතනයේ නිරවද්‍යතාවත් තහවුරු වේ.

එලෙසම කතුවරයා හා අපට එකඟ විය නොහැකි කොටසක් ද මෙහි වෙයි. ඒ ගුනසිංහ පවසනා පේරාදෙණි ගුරුකුලය ස්තාපිත වීමට හේතු වූ කාරණා ගැන කතුවරයා ගේ ස්ථානයන් ගැන ය.

421 පිටුවෙන්

       මෙහි කතුවරයා පවසන පරිද්දෙන්, පේරාදෙණි විචාරය ට විරුද්ධ මත මඩපැවැත් වූ ප්‍රධාන ආකාරයක් නම්, ඒවා නොදුටු ලෙස සිටීම හෝ, ප්‍රතික්‍රියා නොකර සිටීම හෝ, සිටීමයි.  එය අන් පාර්ශවයේ විවේචනයේම අඩුවක් හේතුවෙන් සිදු වූවකි, බව ය අප අදහස. එහි අවසාන ප්‍රතිපළය අධිපතිවාදි ස්වරූපයක් ගැනීම බව සත්‍යය. එහෙත්,  වැඩි පුර දොසක් අන් පාර්ශවයට පෑම පිළිගත නොහැකි ස්ථාවරයකි. වත්මනේ පවා අප රට සාහිත්‍ය විචාරය හා විවේචාන යේ දී මෙය සිදු වන්නේ ය. මෙම කෘතිය වන් වටිනා කෘතියක් යම් තරමකින් නොසලකා හැරීමට ලක් වී ඇත්තේනම්, ඊට හේතුව ද එයම ය. නැතිනම් සුදුසු සංස්කරණයකින් පෝෂණය වූවේ නම්, මෙම කෘතිය පමණක් වුව තෝරදෙණිය විසින් අප රට සාහිත්‍ය වෙන්වෙන් සිදු කල ශ්‍රේෂ්ඨතම  දායකත්වය වන්නේය. යම් යම් අතිරික්තයන් මධ්‍යයේ වුව, එය තවමත් විශිෂ්ඨ ග්‍රන්ථයක් යැයි විශ්වාස කරමි. එහි අතිවිශිෂ්ඨ වීමට විභවයක් තිබිණ.

ගුනසිංහගේ ලිපියට පිලිතුරු බඳීමින් ලියවෙන ලිපියේ, අමරසේකර "ගුරුකුලය" යන්නෙන් කුමක් අර්ථවත් වන්නෙ ද යන බවත්, කොළඹ කවීන්ගෙන් පසුව එම වචන භාවිතය ගෙනාවේ ගුනසිංහ බවත්, පේරාදෙණිය ආශ්‍රිත ලේඛන බිහිවන බවත්, ඉන් සමහරක් විභාග සඳහා අත්පොත් බවත් පවසයි. විමල් දිසානායක ගේ අව්‍යාජත්වය ගැන පවසන හේ, ඔහු ගේ "කල්ප විනාශය" කාව්‍ය සංග්‍රහය ගැන වෙසෙසින් සඳහන් කරන්නේ, එහි දිසානායක මුලින් ප්‍රතික්ෂේප කලත්, එහි යම් සාරවත් බවක් දැකීමෙන්, පසුව නැවත ඒ වෙත යාමක් මෙන් යැයි පවසයි.  එනුමුදු රාජකරුණා, කල්ප විනාශය විවේචනය කරයි. තෝරදෙනිය පවසනේ එය ගුනසිංහ උවමනාවට වූවක් බවයි. මේ සියළු දේ මගින් පෙන්නුම් කරන්නේ තිබූ අභ්‍යන්තර ගැටුම් ය.

අමරසේකරගේ ලිපියට පිලිතුරු ලිපියක්, ගුනසිංහ ලියන්නෙ  "New Sinhala Writing - The Controversy Continues - Problem of Language" නමිනි. එහි වෙසෙසින් තමන් භාවිත කල කවි බසට එරෙහි ව එන චෝදනාවන් වලට දීර්ඝ ලෙස ඔහු පිලිතුරු දෙයි.

මෙම කොටසේ එන ඉතා වටිනා ආශ්‍රේය ලිපි දෙකක් ගාමිණී හත්තොටුවේගම මහතාගේ ය. එම ලිපි මගින් පේරාදෙණි ගුරුකුලය ස්ථාපිත වීමට වික්‍රමසිංහ ඊට ඇතුලත්වීමේ අවශ්‍යතාව, සරච්චන්ද්‍ර ගේ අනුග්‍රහය බොහෝ අය පතූ හෙයින් ඔහු ට යම් ප්‍රචාරකවාදී කටයුත්තක් ඉටු කිරීමට බල කෙරුණු බව, එම ලිපි ලියු යුගය වන විට ගුනසිංහ යහපත් අරමුණකින් හෙලාදැක්ක ද ඔහු පහරදෙන අගතීන් වලට කලෙක ඔහු ද ආධාර කල බව පමණක් නොව එම ගුරුකුලය තමන් වෙත වූ මහඟු අවස්ථාවක් නොතකා හැරීමේ වරද බාරගත යුතු දැයි ද පෙන්වාදෙයි.

මේ කොටසේ එන අනෙක් වැදගත් ලිපිය නම් ගුනසිංහ ලියූ "New Sinhala Writing and the Peradeniya School" (22.01.1966), ලිපියයි. එය හත්තොටුවේගම සමහර අදහස් වලට ද පිලිතුරු බඳී, එහි ඉතා වැදහත් කාරණාවක් වන්නේ 'පේරාදෙණි ගුරුකුලය' ලෙස පිළිගැනීමේ ස්වභාවිකත්වය  පෙන්වා දීම හේතුවෙනි. එහි වෙසෙසින් අමරසේකර අන් අය වංචාකාරයින් ලෙස හැඳින්වීමේ අසංඝත බව, විමල් දිසානායක ගේ කාව්‍ය සංග්‍රහයන් දෙකක් නිදසුනට ගෙන පෙන්වයි.

"විමල් දිසානායක නිදහස් පද්‍ය ලියමින්, අමරසේකර සමඟ එකඟ නොවන්නාවූ අදහස් ප්‍රකාශ කළ  කල්හි අමරසේකර සිය ද්වේෂය ඔහු කෙරෙහි යොමු කරමින් ඔහු වංචාකාරයන්ගේ ගොඩට දැම්මේය; එහෙත් දිසානායකගේ පද්‍ය සංග්‍රහය අමරසේකරගේ සුරතල් ශෛලියෙන් පිටවූ කල්හි දිසානායක එකෙණෙහිම නිසැකයෙන්ම අමරසේකර අයත් වන්නාවූ වංචාකාරයන් නොවන්නාවූ ඉහළ තලයට ඔසොවා තබනු ලැබේ;" ( 448 පිටුව)

ජේ.බී. දිසානායක 1966 දී ද "The Purity of Sinhala is Just a Myth" නමින් වූ වාග් විද්‍යාවට මුල් තැනක් දෙන ලිපියක් ලියූ බවත්, ( තෝරදෙනිය මෙම ලිපිය 'සුපුරුදු සහජීවන ශෛලියෙන්' ලියුවක් බව පවසයි ) අමරසේකර සහ ගුනසිංහ දෙපාර්ශයේ ම සාර්ථ්ක ලක්ෂණ පෙන්වා දුන් බවත් පවසයි.
 

මේ දීර්ඝ පරිච්ඡේදයේ ඉළඟ කොටස වෙන්වන්නේ අමරසේකර 1966 දී ලියූ අලියා සහ අන්ධයෝ ලිපි පෙළ වෙනුවෙනි. අමරසේකර සරච්චන්ද්‍රයන්ගගේ විචාරවාද ප්‍රශ්ණ කරන අතර, වික්‍රමසිංහ චින්තනයට ලං වීම පෙන්වා දීමට ය. එම ලිපි පෙළ ආරිය රාජකරුණා ගේ මහත් විවේචනයට ලක් වන්නේ, එය  තමන් ගත් මග නිදොස් බව පෙන්වීමට  ලීයුවක් යැයි කියමිනි.

ආරිය රාජකරුණා මාර්ටින් වික්‍රමසිංහගේ කාව්‍ය විචාරය තියුණු විවේචනයකට පත් කරන්නේ කරුණු 10ක් මතු කරලමිනි. (463-464 පිටු )

වික්‍රමසිංහ සාධකය උක්ත ගුරුකුලය බිඳවැටීමට අභ්‍යන්තර හේතුවක් වූ අයුරු තරමක් ගැඹුරින් මෙහි සාකච්ඡා කොට ඇත.
අ)  තම බණ කතා සහිත්‍ය කෘතියේ තරමක් දැඩි ලිපියක් ලියුවේ, ජෙනිංස් එහි උපකුලපතිකමට නුසුදුසු බව කියා පාමිනි. වික්‍රමසිංගහේ ප්‍රධාන චෝදනාව පේරදෙණියට ආවෙණික කුලදහම්-සම්ප්‍රදා සම්පාදනය කිරිමට නොහැකි වූ බවයි.
ආ) එලෙසම  වික්‍රමසිංහගේ සමහර විවේචන වල දෝෂයන් තෝරදෙනිය පෙන්වා දෙයි.
ඇ) නව පද්‍ය සිංහලය මගින් ගුනසිංහ සහ අමරසේකර ගේ බස් වහරේ දොස් දුටු හේ, නවකථාංග හා විරාගය මගින් පේරාදෙණි සාහිත්‍යට විවෘත සටනකට පිවිසුනේය. එහි හෙවනැල්ල සහ යළි උපන්නෙමි පිළිබඳ නිර්දය විචාර වල නිරත විය. "ඔහු දැන් 'යළි උපන්නෙමි' නවාකතාව ඒ විදියෙන් ලිවීම ගැන පසුතැවිලි වෙතියි සිතමි" පවසයි. මෙය අනාගතය දැක කල ප්‍රකාශයක් හා සම වේ. ඔහු සරච්චන්ද්‍ර ව "බෞද්ධ සංස්කෘතිය වටහා ගැනීමට වෑයම් නොකොට එය ශුෂ්ක යති ධර්මයක් යයි සිතා ඊට පරිභව කළ අයෙකු" ලෙස හඳුන්වයි.


.
මෙම දීර්ඝ පරිච්ඡෙදය අවසනට පෙර අන් අභ්‍යන්තර සාධක දහයක් ගැන සඳහන් කරන අතර, ඉන් අමරසේකරගේ චින්තානමය විපර්‍යාසය ප්‍රධාන කාරණාවකි. තෝරදෙනිය පවසන්නේ, විවේචනය කල ද, වික්‍රමසිංහ අමරසේකරගේ "ගැලවීමට" තරම් අවස්ථාවක් නවකථාංග හා විරාගය මගින් සාදා දුන් බවකි. එහෙත් අමරසේකර එම අවස්ථාව භාවිත නොකොට යළි උපන්නෙමි ප්‍රතික්ෂේප කිරීමට පසු නොබෑ බවකි. මේ සියළු සියුම් කරුණු කාරණා අපට පසක් කරගත හැක්කේ, නවකථාංග හා විරාගය කියවීමෙන් පමණ කි.

පේරාදෙණිය ගුරුකුලය බිඳීයාමට හේතු වූ බාහිර සාධක සාකච්ඡාවට තෙළෙස්වෙනි පරිච්ඡේදය වෙන් වී ඇත.  තෙයාකරව මෙම සාධක සාක්ච්ඡා කරන මෙම පරිච්ඡේදය පළමුව අවධානය යොමු කරන්නේ සැඟවුණු විරෝධය ගැන සාකච්ඡා කිරීමටය. පියදාස සිරිසේන සහ ඩබ්. ඒ. සිල්වා ගේ නවකතා සහ, කොළඹ කවිය ද විවේචනයට ලක් වෙද්දී, ඒ කෙරෙහි විස්සෝප වූ පිරිසක් විය. සරච්චන්ද්‍ර නිර්මාණ උකහා දක්වමින් ප්‍රශස්ති මුඛයෙන් ලිපි ලියූ දර්ශා නම් ලිපිකරුවකුට/ලිපිකාරියකට (1966) , "Irrational Adulation" හිසින් යුතුව, 'නිර්නාමිකව සිටීමට කැමැත්තෙක්' ලිපියක් ලීවේය. එඩ්මන්ඩ් ජයසූරියගේ Critics must control Enthusiasm, Disgust (1967), ලිපියේ ද සැඟවුණු විරෝධයක් අප ලේඛකයා දකී. 

මීට කලින් ද අවලාදාත්මක විවේචන ගැන යොමු වුව ද, මේ පරිච්ඡේදයේ හිසට අනුකූලව මෙහි ඒ ගැන නැවත සලකා බැලේ. කේ. බී. සුගතදාස,  පේරාදෙණි විවේචනයට සෑහෙන ශ්‍රමයක් යොදා ඇති බැව් පෙනී යයි. අවලාද ගණයට එකකොට තිබුන ද, "සිංහල නවකතාවට යන්තම් අඩසියවසක් පිරෙන්නට කලින් 'ඉංග්‍රීසි නවකථා විචාරයෙහි ඇතැම් නිගමනයන් අකුරටම අනුගමනය කරමින්' ලංකාවේ 'අසම්පූර්ණ විචාර කලාවක්' මතු කර ගත් බව" පැවසීම සත්‍යයෙන් තොර යැයි නොසිතේ. මෙය කබායේ පමණට සිරුර කපා ගැනීමක් ලෙසය තෝරදෙනිය දකිනුයේ. මානවසිංහයන් මණමේ කෙරෙහි මහත් රසිකත්වයෙන් සිටි බව නොරහසක් මුත්, පේරාදෙණි සාහිත්‍ය ට දැඩි සේ ප්‍රහාර එල්ල කල අයෙකි. මෙම මැය යටතේ තව බොහෝ නම්, සහ අවස්ථා ඇතුලත් වන අතර, 'යළි උපන්නෙමි' තහනමට ලක් විය යුත්තේ ද යන්න පාර්ලිමේන්තු විවාද වලට ඇදුණු බව උගත්තෙමි.

ප්‍රගතිශීලි හා මාක්ස්වාදි විචාර නම් වූ පිටු අටක පමණ කොටස සම්පූර්ණයෙන් ම පාහේ වෙන් වී ඇත්තේ 1967-1970 පමණ කාලය තුල තෝරදෙනිය විසින් ම සඟරා සහ පත්තර වලට, තමන් පෙනී සිටි ජනතාවාදී, ප්‍රගතිශීලි දෘඨිකෝණයෙන් සහ න්‍යායෙන් පේරාදෙණි සාහිත්‍යය විවේචනයට ය. 

"ලිවීමට ඇත්තේ කාම පෙරළියක් පමණක්ම නොවේ. ප්‍රේම සංග්‍රාමයක්ම නොවේ."

"අපට අවශ්‍ය මළ අය හා මැරෙන අය පමණක් නොව බලාපොරොත්තු වලින් යුතුව අරගලයෙහි වෙලී ජීවත්වන උදවියගේ චරිතයි." (507 පිටුව )

ඇත්තෙන් ම මෙම සමස්ත පොතේ බීජ අවස්ථාව ඇත්තේ මෙම විවේචන මතය යන්න ය අපගේ විශ්වාසය. අමරසේකර හෝ විමල් දිසානායක හෝ, මෑතකාලීන යම් තරමකින් එකඟ විය හැකි මත අවකාශ වලට පැමිණිය ද, තෝරදෙණියගේ විවේචනයට පදනම මෙහි ඇති බවය, අපගේ හැඟීම. මෙහි නිදසුන් ලෙස පෙන්වා ඇති බොහෝ ලිපි, පසු කලෙක ඔහු විසින් "චීවරය සහ සෝමනය" කෘතියට එක්කාසු කොට තිබීම ද, අප 'සිංහල සාහිත්‍ය ඉතිහාස උණක් ඇති' මිතුරෙකුගේ ආභාෂයෙන්, එම පොත එහි මුද්‍රිත විකුණුම් මිලෙන් අඩකට, ගොඩගේ නම් ඒ මහා දැනුම් සම්භාරයක් ඇති පොත් ගුහාවෙන් මීට මාස කිහිපයකට මිල දී ගෙන තිබීම අපගේ නොමද සතුටට හේතු වූයේය.

1956න් පසුව මතු ව ආ බලවේග,ජාත්‍යන්තර සාධක, සහ 1965-70 හත් හවුල් ආණ්ඩුවේ දේශපාලනය  යන බාහිර සාධක තුන ද සාකච්ඡා කොට මෙම පරිච්ඡේදය නිමවා ඇත.

දහහතර වෙනි පරිච්ඡේදය: අවසන් ප්‍රහාරය - මෙහි අවසන් ප්‍රහාරය ලෙස ගැනෙනුයේ , 1969 අප්‍රේල් මස දසවෙනි දින, සිලෝන් ඔබ්සර්වර් පත්‍රයේ පළ වූ,  එඩ්වින් ආරියදාස මහතා සහ ගුණදාස අමරසේකර අතර වූ සම්මුඛ සාකච්ඡාව ය. A Fresh look at the Arts, Meeting Gunadasa Amarasekara, My earlier novels were shocking, obscene, A Dentist gets his tooth into his old sex-themes ලෙස විස්තර වූ එම සාකච්ඡාවෙන් හෙළි දරවු වූ කරුණුත්, එම සාකච්ඡාව හේතුවෙන් නැගුණු වාද විවාද පිළිබඳ විස්තරය පිටු හතලිහක් පමණ ය. ඒ සියළු සංවාද ලිපි ගැන මෙහි සඳහන් නොකරමි. එහෙත්, ඉහත ලිපියේ අමරසේකර තම මුල් කෘති, වෙසෙසින් යළි උපන්නෙමි, බැහැර කරලීමට හේතු වූයේ කිනම් කාරණා ද යන්න ගැන හෙළි දරවු කොට ඇත. මේ "ජාතික චින්තනය" යන වදන් ඉපදීමට වසර 15ත් පෙර යුගයක ය. ජාතික චින්තනයේ බීජ අවස්ථාවක්, එතරම් මුහුකුරා නොගිය නොගැඹුරු අදහසක්  ඔහුගේ සිතේ තිබුනා විය හැකිය. එහෙත් ඉතා වැදගත් කාරණාව නම්,  ඔහු විශ්වාස කල සාහිත්‍යමය හේතූන් මත එම කෘති ප්‍රතික්ෂේප කිරීම ය. පේරාදෙණි සාහිත්‍ය ව්‍යාජ වීම, ඒ තුල දැක්වෙන අත්දැකීම් ජීවත් වූ හෝ විඳි අත්දැකීම් නොවීම, සුළුතර ප්‍රශ්ණ බහුතර ප්‍රශ්ණ ලෙස හුවා දැක්වීම, යන කාරණා තුන ප්‍රධාන වශයෙන් පේරාදෙණි සාහිත්‍යය ප්‍රතික්ෂේපයට හේතු විය. ඔහු සිළුමිණ (1969/06/07) ට පවසා ඇති කරුණු තෝරදෙනිය මෙලෙස උපුටයි:

'"මේවා බොහෝ දුරට මෙරට නැති පිරිසකගේ චරිත, ප්‍රශ්න වටා ලියැවුණු නවකථා යන්නයි මගේ නිගමනය" යි කියාය. මේ නවකතාවලට "අලවා ඇති" මෙරට නම් ගම්, ගහකොළ ගෙවල් දොරවල් ආදි පරිසරය, වගතුග ආදියෙන් "නොරැවටී සිටීමට පුළුවන් නම් මේ නවකතා මෙරට නැති පිරිසකගේ චරිත, ප්‍රශ්න අළලා ලියන ලද කෘතීම ව්‍යාජ නවකතා ලෙස දැකි ගැනීම අපහසු කාරියක් නොවේ."' (531 පිටුව )

මෙම පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේපය එතැනින් ඇරඹුනත්, ඉන් බොහෝ තැන් වලට වැදී, රිදී,  සරච්චන්ද්‍ර, ගුනසිංහ, ලීල් ගුණසේකර ආදි සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අය මෙන්ම, ආදේශිත නම් වලින් ද ලියැවුණු පිළිතුරු ඇතුළුව, ප්‍රතිඋත්තර ලිපි රැසකට මෙය මුල පිරීය. මේ සංවාදයට අදාළ සෑම ලිපියක් ම පාහේ ආශ්‍රේය කරගනිමින්, මේ පිටු හතලිහක් පුරා දිවෙන ලිපිය රචිතය. අදට ත් පාවිච්චි වෙන "මනස් පුතුන්" ආදි වචන වල මුල මෙහි ය. මෙහි අනාවරණය වන කනගාටුසහගත කාරණාව නම්, සරච්චන්ද්‍ර වැන්නන් ගේ  සාහිත්‍ය විචාර පූර්ණ සත්‍යතාවෙන් හා සද්භාවයෙන් තොරව ලියැවුණු බව පසු කාලීනව ඔවුන් ම පිළිගැනීමය. "මනස් පුතුන්" ආකෘතික චරිත වන්නේ ද, සාමාන්‍ය චරිත වන්නේ ද යන්න, විවාදසම්පන්න සහ පුද්ගලානුබද්ධ තේරීම් යැයි අයෙකුට කිව හැක. අදටත් මට යළි උපන්නෙමි හෝ, ගන්ධබ්බ අපදානය හෝ, රසවත් ය. එහෙත් වැදගත් කාරණාව අමරසේකර ඔහු විශ්වාස කල  පැහැදිලි අදහසකින් සාහිත්‍යමය මූලධර්මයක් මත පිහිටා එම  ප්‍රතික්ෂේප කරම, සිදු කිරීම ය. මට එම කාරණාව හේතුවෙන් අමරසේකර කෙරෙහි මහත් ගෞරවයක් ඇති විය. මෑතක ලියැවුණු ධාතුසේන ආදි නවකතා මගින් යම් නොපැහැදුණු බවක් ඔහු කෙරෙ තිබුන ද, මෙම කාරණාව පිළිබඳ ඔහුගේ ආස්ථානය අර්ථ දක්වා අති ආකාරය ප්‍රශංසනීය යැයි මට සිතේ.

මෙම කොටසින් අනතුරුව අමරසේකර ගේ "මැද පංතියේ කථාවෙන්", පියදාස නම් එහි ප්‍රධාන චරිතය පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේප කිරීම පෙන්වා දී ඇත. එය අමරසේකර ගේ පේරාදෙණි සාහිත්‍ය ප්‍රතික්ෂේපය විනා, ගුරුකුළ බිඳවැට්ටවීමක් ලෙස කියවා නැත. මා අවධානය දිනා ගත් එක් කාරණාවක් 567 පිටේ වියෙ. ඒ අමරදාස වීරසිංහ විසින් 1965 දී ලියූ , "යළි උපන්නෙමි, හෙවනැල්ල, දෙපා නොලද්දෝ හා මධ්‍යම පන්තික ජීවිතය"  යන ලිපිය හේතුවෙනි.  එහි ඔහු යළි උපන්නෙමි නවකතාව, ඉංග්‍රීසි, ප්‍රංශ ආදී යුරෝපීය නවකතාවල එන මධ්‍යම පන්තික ජීවිතය ලාංකික මධ්‍යම පන්තික ජීවිතයට ආරෝපනය කරන්න ට යාමක් යයි කීවේය. ඒ ගුනසිංහලා ට පෙර ය.

පේරාදෙණි ගුරුකුලය බිඳවැටීමෙන් අනතුරුව "අන්තිම ඇණය" ( 15 වෙනි පරිච්ඡේදය ) ගැසුවේ, මාර්ටින් වික්‍රමසිංහගේ "ජපන් කාම කතා හෙවණැල්ල" යන කෘතිය බවත්, ඒ ඔස්සේ ඇති වූ සංවාදයත් ය. උක්ත කෘතියේ වික්‍රමසිංහ ගේ කියමන් පිළිබඳ එතරම් පැහැදීමක් මා තුළ ඇති නොවූ බව සැබෑ වුව, විටෙක අද අප සිටින ස්ථානයේ සිට වික්‍රමසිංහ කී දෑ තේරුම් ගැනීම අපහසු වීමට පුළුවන. 

"ගුරුකුල ප්‍රචාරයේ යටි අදහස වූයේ සිංහලයන්ගේ උරුමයත්, කුලාචාර සහිත සංස්කෘතියක් බැහැර ලා ජීවත්වන තරුණ පරපුරක් මෙහි පහළ කිරීමය." (571 පිටුව)

මේ අදහස, අප වෙසෙන තරමක පිරිහුණු වර්තමානයේ සිට තක්සේරුව ගැටළු සහගත යැයි සිතමි. කිමද, රෝ බිය, ආර්ථික පරිහානිය, සමාජ පරිහානිය, දේශපාලන අනාථභාවය වටකරගත් ස්ථානයක සිට උරුමලත් සංස්කෘතියක් ගැන කියවීම, පහන් සිතුවිලි නොගෙනෙයි. එහෙත් 1969 දී මේ අදහස් වලංගු වූ බවට සැක නැත - කිම ද 2000 දශකයේ අග දක්වා ද මේ හා අදහස් සමඟ සමපාත අප ද වූ නිස ය. රට බේරා ගැනිමේ අන්තිම අවස්ථා කිහිපයකට පසුව අපි රටක් ලෙස හෙම්බත් වී සිටිමු. දැන් පළ වන වාර්තා අනුව, බංගලිදේශය පාකිස්ථානය හා ඉන්දියාව ද පසු කොට යන ආර්ථික සංවර්ධනයකට පිවිස ඇත. ඊට ප්‍රධාන හේතුව තරුණ ශ්‍රම වෙළඳපොළක් එහි තිබීමයි. අප තවම වාද විවාද කරමින්, කිසිවෙකුගේ  මගපෙන්විමක් නැතුව නන්නන්තාර වී සිටිමු.

එසේ වුව, වික්‍රමසිංහ ට එදා තත්වය එලෙස පෙනුනු  අයුරු තේරුම් ගැනීමට අප ට හැකි විය යුතුය. එනමුදු මෙම උදෘත කියවාගෙන යාමේදී, මට පෞද්ගලිකව, අමරසේකර ගේ අදහස් දැක්වීමේ යම් සාධාරණත්වයක් ගෙන ආ මුත්, ඉන් ඔබ්බට "මෙය මෙසේ විය යුතුයි" යන සංස්කෘතික පොලිසියක් ලෙස වදන් බැඳි වික්‍රමසිංහ අදහස් දැක්වීම, එතරම් සිත් නොගත්තේ ය. ඊට පිලිතුරු ලිපියක් සපයන ආරිය රාජකරුණා ගේ, යම් චෝදනා තරමක් සාධාරණ යැයි ද සිතුණි. තෝරදෙණිය, රාජකරුණා ගේ ලිපියේ සමහර කරුණු හා ගැටුණ ද, එහි යම් පදනමක් ඇති බවක් ඔහු ද සිතන්නා සේය.

'...වික්‍රමසිංහ එය ජපන් කාම කථාකාරයන්ගේ "විකෘති කාමකතා කියවීමෙන් පිබිදුණු කල්පනාව ඇතිව", " අවිචාර ලෙස ජපන් සිංහල කාමාචාර එක්කොට අනා සිංහල නවකථාවක් ලියා ඇතැයි" සිතයි. වික්‍රමසිංහ මෙම තර්කය යොදා ගන්නේ සිය උපන්‍යාසය තහවුරු කිරීමට අගතිගාමි ලෙසින් උදාහරණ සොයමින් බව පෙනේ. (578 පිටුව )
අමරසේකර නැවත 1970 වසර මුල ලිපියක් (අඳුරු දසවසක සාහිත්‍යය) ලියමින් පවසන්නේ 

"දේශපාලන සංවාදයක් නොමති අවධියක බිහිවන සාහිත්‍යය ක්‍රමයෙන් පොදුජන ජීවිතයෙන් හා පොදුජන ප්‍රශ්නවලින් ඈත්වෙමින් පුද්ගලික කල්පනා ලෝකයක ස්වරූපය ගන්නා බව"... "බාහිර ලෝකය හා බැඳීම් නිසා පහළ වන සාහිත්‍ය පරතන්ත්‍රභාවය හීනවීම නිසා එහි ස්වතන්ත්‍ර පක්ෂය හිස ඔසවන්නට වෙයි", ( 587-588 පිටු )
කියාය. "සාහිත්‍ය ලෝකයක වසන චරිතයෝ... එක්ටැම් මනස් විසින් බිහිකරනු ලබන මනස්පුත්තු වෙති. මෙය සාහිත්‍යයේ නියත පිරිහීමක් වෙයි." ලෙස තීරණය කරයි. මට මේ අවස්ථාවේදි හැඟුණේ අප සමාජයේ වෙසෙන ශාස්ත්‍රවන්තයෙකු හැකිනම්, "පශ්චාත් පේරාදෙණි ගුරුකුල බිඳවැටීමේන් පසු සිංහල සාහිත්‍ය" ගැන හැදෑරීමක් කල යුතු බවකි. කිමද කවුරු කෙසේ කීවද, පසුගිය පනස් වසර තුල, සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක, එරික් ඉලයප්ආරච්චි, කීර්ති වැලිසරගේ, කැත්ලීන් ජයවර්ධන, සේන තෝරදෙනිය, ලියනගේ අමරකීර්ති, ජයතිලක කම්මැල්ලවීර  ආදි  ලේඛක ලේඛිකාවන් පමණක් නොව, මෑත කාලීනව, මංජුල වෙඩිවර්ධන, පී.බී. ජයසේකර, කෞශල්‍ය කුමාරසිංහ ආදි ලේඛකයන්ගේ නිර්මාණ, අමරසේකර, සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, කේ. ජයතිලක ආදීන් ගේ නිර්මාණ සමඟ එක පෙළට සිට ගත හැකි බවකි අපගේ අදහස. අද වන් සංකීර්ණ සමාජ වටපිටාවක, සමාජ දේශපාලනය හා බැඳි සාහිත්‍යය ම උසස් ය, පෞද්ගලික අදහස් ආශ්‍රිත නිර්මාණ බාලය, යන්න තව දුරටත් අදාළ නොවනවා පමණක් නොව, එම කියුමේම දේශපාලන වැරදි සහගත බවක් ඇත.

588-589 පිටු එකහමාරක් තුල පේරාදෙණි ගුරුකුලයේ සාධනීය ලක්ෂණ කිහිපයක් කරුණු වශයෙන් කෙටියෙන් දක්වා ඇත. එම කාරණා ද වඩා විස්තෲත රචනාවකට පෙරළුනේ නම් - අවම වශයෙන් තනි පරිච්ඡේදයක් ලෙස ට හෝ - මේ කෘතියේ වටිනාකම වැඩි වන්න ට තිබුණි. එම කරුණු අතර, "ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ පරපුර අතර මහා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවී එදා කියැවීම ඉහළ මට්ටමකට පත්වූ බව" හා "සාහිත්‍ය නිර්මාණයේ හා විචාරයේ විදග්ධයන්ගේ සම්ප්‍රදාන කැපූ පෙනුණු ලක්ෂණයක්" යන කාරණා වැදගත් යයි සිතමි. අද සිංහල සාහිත්‍යයේ අති දුර්වල අංශය විචාරය යැයි සිතමි. පෞද්ගලික හිතවත්කම් මත ම සාහිත්‍ය විචාරය බොහෝ විට, සිදු වන බවකි පෙනෙන්නට තිබෙන්නේ. වෙසෙසින් විදග්ධයන්ගේ මැදිහත් වීම අපක්ෂපාතිව සිදුවන බවක් පෙනෙන්නට නැත. පී. බී. ජයසේකර (  මා ප්‍රති. මා), කැත්ලීන් ජයවර්ධන ( මහසෙන් ), එරික් ඉලයප්ආරච්චි ( පාදයාත්‍රා,  පේත ), සේන තෝරදෙනිය ( බණ්ඩර මැරූ උන් ),  ඉසුරු ප්‍රසංග ( පේමති ජායති අසෝකෝ ) ආදි සමහර කෘති සම්මාන පවා ජය ගත්ත ද ඒවා ගැන සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති නොවුනේ විදග්ධ විචාර ඊට මුල් නොවූ නිසා යයි සිතමි. වෙසෙසින් තමන්ගේ කඳවුරේ නොවෙන අයෙක් ගේ පොතක් නොදැක්කා සේ සිටීමේ ප්‍රවණතාව අප රට ප්‍රචලිතය. ඒ හා සලකද්දී, 60-70 දශකයේ ගුනසිංහලා, අමරසේකරලා, සරච්චන්ද්‍ර ලා වඩා ප්‍රගතශීලිය. අද විචාරය සිදුවන්නේ තෝරා බේරාගෙනය - කෞශල්ය කුමාරසිංහ ගේ "නිම්නාගේ ඉතිහාසය" ඇත්තෙන්ම මෑත කාලයේ මා කියවූ විශිෂ්ඨ කෘතියකි;  ඒ ගැන සාකච්ඡා වීම දැකීම සතුටට කරුණකි. 

දහසය වෙනි පරිච්ඡේදයේ ඔහු මාක්ස්වාදි ඇසකින් විභේදනය දෙස බැලීමට යොමු වෙයි. මේ කෙටි පටුනේ මුල් පිටු හය කියවීම තරමක් අසීරූය. ඒ කලාව පිළිබඳ මාක්ස්වාදි න්‍යාය කැටිකොට දැක්වීමේ ප්‍රයත්නය නිසා විය යුතුය. ඒ පිළිබඳ දළ අදහසකින් පමණක් සෑහි ඒ ගැන පූර්ණ හැදෑරීමක් සඳහා අන් කෘතියක පිහිට පැතීමට සුදුසු යැයි සිතමි.එහෙත් මේ කොටස වැදගත් ලෙස දිටිමි;

"පේරාදෙණිය ගුරුකුලයේ සම්භවන අවධියේදී හෝ කූටය වූ සමයේදී මෙරට ධනේශ්වර ක්‍රමය වර්ධනය වී නොතිබු බැව් සත්‍යයයි.... මොවුන්ගේ නවකතාව හා කවිය තුළින් මතුවන්නේ මානවවාදී පරමාදර්ශවලට එරෙහි මතයකි. එය ධනේශ්වර සාහිත්‍යය හා අනූරුප වෙයි.

ධනේශ්වර ක්‍රමයේ වර්ධනයක් නොවූ හෙයින් යූරෝපයේ මෙන් ධනේශ්වර ක්‍රමයේ සූරාකෑම සිය පරමාදර්ශ සමඟ ප්‍රතිවිරෝධීව ගැටෙන බව පේරාදිණිය ගුරුකුලයේ සාහිත්‍යකාරයින්ට අවබෝධ නොවිණි." (598-599 පිටු)

අමරසේකර අඳුරු අවධියක් ලෙස හැඳින් වූ  දශකයේ අපි කතුතුමා ද දේශපාලනකව බොහෝ ක්‍රියාකාරීව සිට ඇත.

"පේරාදෙණියේ සුපුෂ්පිත සමයේදී එහි ගත කළ අප  පේරාදෙණිය සාහිත්‍යය  නැමැති කුසුමාසනය අසල වැතිර සිටීමට වරම් ලැබුවද, ස්ථාපිතව පැවති බලසම්පන්න ගුරුකුලයකින් ස්ව-කැමැත්තෙන්ම පිටුවහල් වී සිටි අප මෙම පිපිරීම දුටුවේ ධනේශ්වර ක්‍රමය, ධනේශ්වර ක්‍රමය තුළම පවත්නා ප්‍රතිවිරෝධතා නිසා අර්බුදයකට ලක්වී පුපුරා යන්නාක් සේ ධනේශ්වර සාහිත්‍යයේ වු අර්බුදයක් හා පුපුරා යාමක් ලෙසිනි." ( 592-593 පිටු )

මෙම පරිච්ඡේදය කතුවරයා අවසන් කරන්නේ අද සාහිත්‍යය "සමලිංගිකයින්ගේ, ද්වීලිංගිකයින්ගේ, සංක්‍රාන්ති ලිංගිකයින්ගේ, සංක්‍රාන්ති ලිංගිකයින්ගේ, අවිනිශ්චිත ලිංගිකයින්ගේ සාහිත්‍යයක්" බවට පත් වී ඇති බවකි. මට මෙතන ඇති ගැටළුව - ඔවුන් සමාජයේ කොටසක් වන්නේ නම්, ඔවුන් ගේ සමාජ මැදිහත්වීම ගැන කතා නොකල යුතු ද යන්නය. එපමණක් නොව, ගිය වසරේ පුලිට්සර් සම්මානයෙන් පිදුම්ලත් Overstory ( Richard Powers) නවකතාවේ ප්‍රධාන මිනිස් චරිත රාශියක් වුව ද, නිර්මල වනාන්තර වල හැසිරීම තේරුම් ගැනීම පමණක් නොව, ගස් වලට ද මූලික අයිතිවාසිකම් නීතිගත වන දවසක් උදා විය හැකි බව කතා කරන සාහිත්‍යයක් ය, අද පවතින්නේ.  

දහහත්වෙනි පරිච්ඡේදය,  පශ්චාත් පේරාදෙණිය: "විදග්ධයින් හෙළූ මියුඬුරු සුසුම් " වෙනුවට දග්ධයන්ගේ මිසවිතක් නමිනි. කෘතියේ අවසන් පරිච්ඡේදය වන මෙය වෙසෙසින් වර්තමාන පේරාදෙණි සිංහල අංශය වෙත කෙරෙන දැඩි විවේචන වලින් සපිරිය. මා එහි විස්තර වලට යාමෙන් වැලකෙමි. එහෙත්, සාලිය කුලරත්න, මහින්ද රත්නායක සහ ලියනගේ අමරකීර්ති යන අයගේ සමහර නිර්මාණ තුලින් ම තම සගයන් විවේචනය වී තිබෙන වටපිටාවක, සියළු විවේචන තෝරදෙනියගේ  නොවන බව පැහැදිලිය. තැනෙක, NGO කාරයින්, නව යටත් විජිතවාදීන්, නව ලිබරල්වාදීන්, නව කොන්සර්වටිව්වාදීන් ආදි ලෙස, විස්තර නොකල ( හා තරමක් පරස්පර) ලේබල් වලින් ගසා දමා ඇත්තේ, මේ සමස්ත කෘතියට නොගැලපෙන අපරික්ෂාකාරී ලෙසක ට දෝ යැයි සිතුණි. ඔහු ගේ ඍජු විවේචනය නම්, ඔහු එදා පේරාදෙණිය ට විරුද්ධ වුව ද එදා හා සාපේක්ෂව, අද මහත් පරිහානියක් සිදු ව ඇති බවයි.  මට මේ ගැන ඇති කුකුස නම්, හැටේ දශකයට වඩා බොහෝ වෙනස් යුගයක වෙසෙන අද වන් කලෙක, මෙම පරිහානිය හෝ එසේ නොවීම හෝ, සමස්ත වශයෙන් කෙසේ මනින්නේද යන්න ගැනය. එක් ආචාර්‍යවරයෙක් හෝ දෙදෙනෙකු හෝ, ගැන විවේචන තිබෙන්න ට පුළුවන. එහෙත් එදා අමරසේකරලා සහ තෝරදෙනිය ලා ඊට විරුද්ධ වූ අයුරින්, එදා ට වඩා විවෘත ලොවක එවන් විප්ලවයක ට අද ඉඩක් නැති  ද? එසේ විප්ලවයක් නොවන්නේ නම්, පෙර කල සටන් පාඨ අදට අදාළ නැති ද ?  නැති නම් අද ට ඇවැසි සටන් පාඨ තවම සුදුසු ආකාරයෙන් අර්ථගැන්වී නැද්ද යන්නය ?  නැතිනම් නූතන තරුණයා ට මේ ගැන එතරම  තැකීමක් නැති ද කියා ය ? මේ සියල්ල විවෘත ප්‍රශ්ණ ලෙස පමණක් නගමි. ඊට පිලිතුරු නැගීමට උත්සාහ කරලීමට තරම් අවබෝධයක් මට නැති.

ඉතින් මෙය දීර්ඝ ලියවිල්ලකි. කියවන්නන් තවම මා සමඟ සිටින්නේ නම්, ඒ අතේ ඇඟිලි ගානකට විය යුතුය. කම් නැත - ඔබ මෙතෙක් කියෙව්වේ නම්, ඒ මේ කෘතිය ගැන යම් උනන්දුවක්, සිංහල සාහිත්‍ය ගැන යම් උනන්දුවක් තිබෙන නිසා විය යුතුය. එසේ උනන්දුවක් ඇත්තේ නම්, මෙය කියවීම වටී. ඇත්තෙන්ම ලේඛකයා මීට මහත් පරීශ්‍රමයක් යොදා, විශාල ආශ්‍රේය ලිපි, ග්‍රන්ථ, දේශන ගණනක් භාවිත කොට නිර්මාණය කල පූර්ණ නිර්මාණයකි - අඩු පාඩු නැත්තේ නොවේ; ඒ බොහෝ අඩු පාඩු සංස්කරණයකින් සකසා ගැනීමට තිබූ ආරේ, ඒවා. කරුණු  කාරණා අතින් වැරදි තැන් ඉතා අඩු, හෝ නැත්තේමයි, සිතමි.  මෙය පැසසිය යුතු ආරේ ප්‍රයත්නයකි.

ශ්‍රේණි ගත කිරීම : ****1/2
ශානරය: සාහිත්‍ය / විචාර
ප්‍රකාශක : සුරස ( 2019)



Wednesday, 2 June 2021

සාමුහික ඛේදවාචකයක පුරුකක් ලෙස තබන සටහනකි....

(අන්තර්ජාලයෙන් ලබා ගත් rural decline නම් ඡායාරූපය )
 අපේ රටේ අති බහුතරය තමන් විශේෂිතයි සිතන්නෝ ය. තමන් අයත් වෙන සමාජ පසුතලය ට සාපේක්ෂව, යම් විශේෂත්වයක් බලාපොරොත්තු වන්නෝය. මෙය ඉහළ ම පුටු වල සිටින දේශපාලඥ්ඥයා සිට, ගමේ සමූපකාර සමිතිය දක්වා ම අදාළ ය. නීතිය අනෙක් හැමෝටම අදාළ ය - ඒත් මට මේ වතාවට විතරක් පොඩි හව්හරණයක් ලැබුනාට කමක් නැත - ඔවු, ඊළඟ අවස්ථාව වන තුරු....  ඉතින් කොරෝනා වේවා, නැතා, අපි වසර ගණනාවක් තිස්සේ ක්‍රමිකව දිනෙන් දින, සමාජයක්, රටක් ලෙස පතුලට ම යමින් සිටී. මින් ගොඩ ඒමක් මම නොදකිමි.


මීට මාස කිහිපයකට පෙර හිටපු ඇමතියෙක්,  ප්‍රභු පවුල ඥාතියෙක්, හා මට නොතේරෙන කුමක් හෝ හේතුවක් නිසා හෝ මෙරට ප්‍රබල පුද්ගලයෙකු කීවේ යුක්‍රේන් වලින් විදේශිකයින් ගෙන්වා "කොවීන්"  බෝ වෙනවා ද කියා අත් හදා බලනවා ද කියා ය. එතකොට ඒ අත් හදා බැලීම් වලට ඇවැසි සුදු මීයෝ අපේ රටේ සාමාන්‍ය ජනතාව විය යුතුය - අපේ "කොවීන් ආචාර්‍ය" සහ විදේශකයින් සමඟ සාටකයක් දාගෙන විසිළු සැපවූ පුද්ගලයා විද්‍යාඥ්ඥයින් වෙන්නැති ? විපක්ෂයේ ඉහළ පෙළේ දේශපාලඥ්ඥයකුට හා ඔහු ගේ බිරිඳ ට  ද  කෝවිඩ් ආසාදනය වූ විට, එක්තරා උපන්දින සාදයක් හා, කිසිදා නොවැසුනු 'සැලූනයක්' ගැන කසුකුසුවක් ගියේය - එහි ඇත්ත නැත්ත කීමට නොදනිමි - එය නැත්තක් නම් පුදුම වෙමි. තමන් මහත් සංවේදි, ප්‍රගතිශීලී කලාකරුවන් යයි පිළිගැනෙන ( පිළිගෙන තිබූ ? )  කිහිපදෙනෙකු, කෙටිමං තුලින් කෝවිඩ් එන්නත් ලබා ගත්තෝය,  තම ක්‍රියාවන්ට අරුම පුදුම සාධාරණිකරණයන් දුන්නෝය; වෛද්‍යවරුන්ට චෝදනා පැමිණියේ තම පවුල් වල සියල්ලන්ට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දුන් බවට ය. ඉහළ පෙළේ පොලිස් නිලධාරියකුගේ බිරිඳකගේ ගමනට සංචරණ සීමා තහංචි නැත. මීට පැය කිහිපයකට පෙර එක්තරා ප්‍රසිද්ධ සුරූපි තැනැත්තියක් තමන් ඇතුළූ කිහිප දෙනෙකු නීති විරෝධී ලෙස සාදයක් පවත්වා හසු ව, නිරෝධායනයට ගෙන යමින් සිටිය දී "සජීවී ව" විත් එක්‍තරා මාධ්‍ය ආයතනයකට ත්, නමින් ම එක්තරා මාධ්‍ය වේදියෙකුට ද ආවේගශීලි ලෙස චෝදනා කලේ එම මාධ්‍ය ආයතනය ද සාදයක් පවත්වා, මෙකී නීතී උල්ලංඝනය කල බව පවසමිනි. නැවතත්, එම චෝදනා බොරු නම් මා පුදුම වෙමි! ඒ අපේ රටේ තමන් විශේෂ වන අතර, අනෙකා නීතිය ට යටත් විය යුතු නිසාය. ඒ අතින් මෙරට දේශපාලඥ්ඥයින් එකිනෙකා ගේ නීති කැඩීම මනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා  කරන්නෝය.  පෙර කී තැනැත්තිය අනාවරණය වන්නේ, අනෙකාව ද අනාවරණය කරමින් ම ය.  මෑත දිනෙක කඩුවෙල මහජන සෞඛ්‍ය කාර්‍යාලයේ, රන්කඩු දේවාලේට ද එහායින් සිට ඇදුණු පොලීමේ පෑ දෙකහාමරක් සිට මා පළමු සිනෝෆාම් එන්නත් මාත්‍රාව විද ගනිද්දී, පොලිම් පනිමින් පිටු පසින් සිටි අපට අසාධාරණයක් ඉටු කලෝ ද, තමන්ගේ සුවිශේෂිතාව ගැන අපට නොතේරෙන කුමක් දෝ දෙයක් තදින් විශ්වාස කලෝය. පෙර කී දේශපාලඥ්ඥයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, පොලිස් නිලධාරි බිරිඳ හා ප්‍රසිද්ධ සුරුපිනිය වගේම, තමනට අවස්ථාව ලදහොත්, තමන් "විශේෂ"නිසා අනෙකා ට අවස්ථාවක් නැතිකරමින්, අසාධාරණයක් කරමින්, තම අවස්ථාව ලබා ගැනීමට නොපැකිලෙන බව ස්ථිරය. අප සාමූහික ඛේදවාචකය නම් එයයි. අපි රටක්, සමාජයක් ලෙස දිනෙන් දින, පිරිහෙන්නේ මේ නිසා ය. අපි සැම දා අනෙකා ට බණ කියමින්, බැණ අඩ ගසමින්, චෝදනා කරමින් ම, තමන් ගේ සුවිශේෂිතාව ගැන රහසේ දැඩි විශ්වාසයකින් පෙළෙන්නෝය. මා ද එම සමාජයේ තරමක් දුර්වල අවිශේෂ පුරුකකි. දිනෙන් දින පහතට ඇද වැටෙන සාමුහික ගමනේ දී,
මෙවන් සටහනක් එක් කලෙමි.