මා මෙතෙක් කියවා තිබූ රස හීනම කෙටි කතා සංග්‍රහයන් දෙක ලෙස සැලකුවේ පියසීලී විජේමාන්නගේ "මනුස්ස යන්තර" සහ සුනන්දා ප්‍රේමසිරි ගේ "මල්බෙරි සමය" යි. ඒවා දුර්වල යැයි ගිණීමට ප්‍රමුඛ හේතුව, ඊට වඩා සාර්ථක කෙටි කතා සංග්‍රහයන් තිබෙද්දී, රජත පුස්තක අවසන් වටයට පැමිණීම යි - නැතිනම් ඒවා විශේෂයක් නැති කෙටි කතා ය. එහෙත් මේ උක්ත කෙටිකතා සංග්‍රහය ඇත්තෙන් ම දුර්වලය. ඊට ආශ්‍රිත ග්‍රන්ථ 28ක් උපුටන, පිටු 10ක, කියවීම ට අසීරු පෙරවදනකින් මෙහෙයක් නොවේ ( මා ඉන් කියවූයේ පිටු 2කි - ඉන් එහා කියවීම කාලය කා දැමීමක් යැයි සිතුණි. මෙතරම් ම කියවන්නාට පීඩාකාරී පෙරදනක් හෝ හැඳින්වීමක් හෝ, කේ.කේ. සමන් කුමාර ගේ සර්පයයකු හා සටන් වැද කෘතියට සිතුමිණ රත්නමලල ලියා තිබුණි -එයත් පිටුවකට දෙකකට වඩා නොකියවීමි) මෙහි කෙටි කතා පහකි. ඒ හැමෙකෙකින් ම පාහේ ප්‍රේත වස්තුවෙන්, නැති නම් අන් කුමක් සමාජ විද්‍යා ග්‍රන්ථයක කියැවෙන අත්භූත සිද්ධියෙකින්, එහෙත් නැතිනම් ජනශ්‍රැතියකින් එන කතාවක් ගොතා, ඊට අස්වාභාවික ලිංගික හැසිරීමක් අමුණා ඇත. මේ කෙටි කතා සංග්‍රහයේ යම් තරමක් හෝ රසවින්දේ "බල්ලා විසින් කනු ලබන ප්‍රේතියගේ උපමා කතාව" යි.
මෙහි හැම කෙටිකතාවක ම ප්‍රධාන චරිතයන් කිය වූ ශාස්ත්‍ර්‍රිය ග්‍රන්ථයක් ගැන පවසා ඇත. ඉන් එතරම් පිටුවහලක් කෙටි කතාවට ලැබෙන්නේ ද යන්න විවාදසම්පන්නය. අවම වශයෙන් එක් ස්ථානයක කතුවරයා "අර දේශපාලඥ්ඥයා" සේ කතුවරයා වරද්දාගෙන ඇත. මොකද ඔහු ට අනුව මෝබිඩික් ලියා ඇත්තේ නතානියෙල් හෝව්තෝන් ය. මෝබිඩික් හි සැබෑ කතුවර හර්මන් මෙල්වල් එම පොත හෝව්තෝන් ට පිදූ බව නම් සැබ වි. බහුල වූ අන් උපුටන ගැන වෙහෙසීමටත්, පෙර කී දුරවබෝධ පෙරවදන කියවීමත් අතැරියේ, එහි මගේ කාලය හා සම්බන්ධ ආවස්තික පිරිවැය ගැන සෑහීමකට පත්වෙන්න බැරි බව පැහැදිලි නිසා ය ( මේ පොත කියවීම ම කාලය කා දැමීමක් බව පිළිගනිමි.)
මේ හැම කෙටිකතාවකට ම යම් විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් ඈඳී ඇත. එය, විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු වන ලේඛකයා තම සමහර සගයන් උදෙසා යොදා ගත් කුරුමාණමක් යැයි අන් තැනක කියවා තිබුන ද, එම පරිසරය හා කිසි සම්බන්ධයක් නැති මා වන් අයට ඔවුන් හැඳිනගැනීමේ හැකියාවක් හෝ, මේ පොත නිර්මාණය වී ඇති අසීරු බන්ධන අනුව නම්, දැනගැනීමේ උවමනාවක් හෝ. නැත. මෙහි පළමු කෙටි කතාව කියවීමෙන් අනතුරුව මට සිත් තුල ඇති වූයේ මේ රස අල්ප කෙටි කතා සංග්‍රහයට රුපියල් 425ක් වියදම් කිරීමේ අමනෝඥ්ඥ ක්‍රියාව ගැන ස්වයං විවේචනයකි ( මෙහි කෙටි කතා 5ට වෙන් වන්නේ පිටු අසූ එකකි). අල්බෙයා කැමූ ගේ පිටු සියයකට අඩු නවකතාවකට රුපියල් දහකට වැඩි මුදලක් වියදම් කිරීම අන්තිම සාධාරණ යැයි හැඟුණ ද, මෙවන් කතුවර මනස තුල වූ පහළ වූ කෙටිකතා ලේබලය රැගත් දුෂ්කර බන්ධන වලට මෙතරම් මුදලක් වියදම් වීම ගැන නොපහන් සිතුවිල්ලකි පහළ වූයේ. මෙහි දැක්වෙන ( https://www.divaina.com/2013/10/17/sarasavi%203.html ) විචාරය කලින් කියවා තිබුනා නම්, , මා මේ පොත මිල දී ගන්නේ නැත. ( කෙටි කතා ගැන විස්තර ටික මගැර හෝ සාරාංශය කියෙව්වේ නම් මේ පොත ගන්නේ නැත - කිමද විචාරයකදි එක් එක් කෙටිකතාව මේ තරම් විස්තර වන්නේ ඇයි ද යන්න ප්‍රහේළිකාවකි )
අවසන කීමට ඇත්තේ, ජනශ්‍රැතිය ගැන දැනීමක් සහ, මායායථාර්ථවාදී සාහිත්‍ය ක්‍රමය ගැන දැඩි කැමත්තක් ඇති අයෙක් සමහර විටෙක මේ සංග්‍රහය රස විඳීමේ යම් ඉඩක් තිබිය හැකි බවකි. අන් අයෙක්, මේ කෘතිය කියවීමෙන් රසයක් විඳී ද යන්න සැක සහිතය. පෙර කී ජනශ්‍රැති දැනුම සහ මායායථාර්ථවාදයට කැමැත්ත තිබූ පමණින් මේ කෙටි කතා සංග්‍රහය රස විඳීම නිත්‍ය බවක් නොකිය වේ. ඇත්තෙන්ම එසේ වේ යයි ද මට නො සිතේ. එහෙත් ලේඛකයාගේ සමහර ව්‍යාකූල ගැටගැසීම් යම් තරමින් හෝ තේරුම් ගැනීමට හෝ, රස විඳීමට හෝ, ඇතැම් විට සමස්ත වශයෙන් ප්‍රතික්ෂේප කරලීමට හෝ, එය හේතු විය හැකිය.
මෙම කෙටිකතා සංග්‍රහය කියවීම, සාමාන්‍යයෙන් ඉතා ප්‍රවේසමේන් තෝරා බේරා ගෙන පොත් කියවන මට නිසැක ලෙස සිදු වූ වැරදිමකි.
කෙටි කතා
ශ්‍රේණිගත කිරීම: *1/2
ප්‍රකාශක: Serenity Publishing House (2012)
No comments:
Post a Comment