පසුගිය කාලයේ මගේ කියවීම සිදුවූයේ තරමක් සෙමිනි. ඒ කාර්‍යබහුල වීම සමඟ ම, කියවීමට තෝරාගෙන තිබූ පොත් ද, සෙමින්, ටිකෙන් ටිකෙන් කියවිය යුතු ඒවා හේතුවෙනි. ඒ අතර සිංහල නවකතාව තරමක් මා අතින් මගැරෙන ස්වභාවයක් තිබීමත්, ඊට පිලියම් ඉතා පහසුවෙන් ශ්‍රවණ කෘතියක් මගින් සපයා ගත හැකි වීම නිසාත්, මෙම කෘතියේ මුද්‍රිත පිටපතක් තිබෙද්දී, ශ්‍රවණය මගින් 'කියවීමට' ඉටා ගත්තෙමි.
2020 ප්‍රකාශ වූ මෙම කෘතිය, ලේඛිකාවගේ මා කියවූ පස්වැන්නයි ( ප්‍රංශ පෙම්වතා, අමෙරිකා, වීනස් ගේ උපත , සහ කුමර කොබෙයි අනෙක්වායි. ඒ සියල්ල බොහෝ සේ රස වින්දෙමි). මෙය තරමක් වෙනස් කෘතියක් වන්නේ, ඇය පාත්‍රවර්ගයා සහ ඊට පදනම් වූ වටපිටාව තෝරාගෙන ඇති අයුරෙනි. ඇගේ දක්ෂ ලිවීමත්, විටින් විට උක්ත ගමේ සමාජය තියුණු සැතකින් පෙන්වන හරස් කැපුමත් නිසා කියවීම රුචි කෙරුන ද, මේ නවකතාව පිටු 400ක් පුරා දිවවීම අනුචිත බවකි මගේ අදහස. ඇත්තෙන්ම, නවකතාවේ ආරම්භයත්, මැදත්, හමාර කරලීමත් පිළිබඳ කතුවරියට පැහැදිලි අදහසක් තිබුන ද, අතර මැද, වරෙක මෙහි ප්‍රධාන චරිතය පදනම් විරහිත ලෙස අයාලේ යන අයුරෙන් ද, තවත් වරෙක අනවශ්‍ය ලෙස ඔබ්බවා ඇති ගමේ දේවලයක පෙරහරක් ලෙස ද, දීර්ඝ කොට තිබේ.
අප ගම්, සංස්කෘතික ජීවිත වලින් දුප්පත්, තමනට වඩා වෙනස් අයවළුන් තාඩන පීඩන
වලට ලක් කරන ස්ථාන ලෙස පෙන්වා ඇති අයුරු අපූරුය. ඒ අර්ථයෙන්, මෙය අප පුළුල්
සමාජය වෙත ගියහොත්, ඔවුන් ඔවුන් වෙත ම තදින් බලන්න ට බල කෙරෙන අවස්ථා ඇත. නූතනත්වය, තමනට වඩා වෙනස් අයවළුන් පිළිගැනීමා ඉල්ලා සිටින බවත්, ඊට එරෙහි වීම තව පරිහානියට ම හේතු වන බවත්, අප රට කිසිදු දේශපාලඥ්ඥයකු, සිතට කාවදින අයුරෙන් පවසනවා මා අසා නැත. එය සාහිත්‍ය මගින් ඉටු කරලිමට නම්, "හංගා" යම් පක්ෂයකට "ෆුල් ටොස්" නොදමා කල යුතු බව පැහැදිලිය. ඒ අර්ථයෙන් ගත් කල මේ නවකතාව අප සාමාන්‍ය ගමට තමන් ව බැලීමට කැඩපතක් වීමට විභවයක් රැගත් එකකි - එහෙත්, මෙය දිගැරී ඇති ආකාරයෙන් කතුවරිය, තමනට කීමට ඇවැසි මොනවාද යන්න ගැන පැහැදිලි අදහසක් තිබූ නේ ද යන්න ගැන මම තවමත් සිතමි.
මෙහි එන චන්න නම් වූ තරුණයා ද, ඔහු ගේ ඉවසිම, මල් කඩුවාව ගමේ ආවේණික
තරුණයෙකු ඔබ්බට ගිය තරමක සංස්කෘතික මිනිසෙකු ව, දෑස් විදහා ජීවත් වීමට උත්සාහ
දැරූ අයෙකු ලෙස එම චරිතය පණ ගන්වා ඇති අයුරු සිත්ගන්නා සුළු ය. එහෙත් ඔහු
මුහුණු දී ඇති විවිධ අවස්ථා - එනම් ඔහු ගේ ඉතිහාසය පෙළගස්වා ඇති අයුරු ද,
ලේඛිකාවගේ සාමාන්‍ය පරිපූර්ණ චරිත බිහිකිරීමේ ලක්ෂණ වලට සාපේක්ෂව ම තරමක්
දුර්වලය. එහි ද යම් අත්දැකීම් මැද දී එබ්බවූ බවක්, ඒ පෑස්සුම් සමීප කියවීමක
නෙත ගැටෙන බවකුත් ය මගේ අදහස. ඇත්තෙන් ම, ඔහු ට වඩාත් උචිත නම "කෝමල මාණවක" යන්න ද ගැන මට විශ්වාසයක් නැත.
මෙහි එන ප්‍රධාන චරිතය වන මනෙකා නම් වූ තරුණිය, හදිසි හැඟුම් ඇවිස්සීමකින් තරුණයෙකු හා එක් වන අවස්ථාව තේරුම් ගත හැක. නූතන ලෝකය ට දෑස් විවර කර ගත් තරුණියන් වීම ද , නවකතාවේ කිහිපතැනෙක ම "කකුල් දෙක අතර මහඟු වස්තුවක් ඇතැයි" නොසිතා, සුදුසු අවස්තාවක ජීවිත විඳීමත් එම නූතන අදහස් වලට අනුකූල වුව ද, ගම ට සේවයක් කරලීමේ අභිලාෂයන් මුදුන් පත් කර ගනු වස් තරුණියක් "අයාලේ යෑම", සංඝතව වටහා ගත නොහැක.
ඍජුව පවසන්නේ නම්, කතුවරියට පෙන්වා දීමට වැදගත් සමාජ කියවීමක්, අප රටේ ගම් නූතනත්වයට යා යුත්තේ ඇයි ද යන්න බව කියවීමක් ඇති බව පැහැදිලි ය. එය අප රට දේශපාලන ක්‍රියාවලියට එහා ගිය එකක් වීම පැසසිය යුත්තකි. එහෙත් ලේඛිකාව තම නිර්මාණය ලියා අවසන, නැවත කියෙව්වේ නම්, එය අත්‍යවශ්‍යයෙන්ම සංස්කරණයක් ඉල්ලා සිටින බවත්, අනවශ්‍ය අතු කපා දැමූ හැඩකාර රුක්ෂයක් ලෙස වැජඹෙන්න ඇති මහත් ඉඩක් ඇති බවත් නොදැක්කේ ඇයි ද යන්න මට නම් ගැටළුවකි. එසේ කලා නම් පිටු 275 කින් පමණකට සීමා වෙන, වඩා සංඝත, ඇගේ තවත් සාර්ථක නවකතාවක් වීමට ඇවැසි විභවය මේ තුල ඇත. මේ කෘතිය ප්‍රකාශ වී ඇති අයුරෙන් ම වුව ද , පාඨකයා ඊට යම් බැඳීමක් ඇතිකර ගන්නා බව පැහැදිලිය - එහෙත් ඒ එහි ඇති දෝසයන් ගැන ද වැටහිමිනි, ඒවා ඇති බව පිළිගනිමිනි. ඒ අර්ථයෙන් ගත් කල, මෙහි මුද්‍රිත පිටපත නොකියවා, ශ්‍රවණ මාධ්‍යයට යොමු වීම ගැන සතුටු වන්නේ, මුද්‍රිත පිටපත කියවා තිබුනේ, මෙහි තැනෙක ඇති වැල් වටාරම්, අයාලේ යන ස්වරුපය, සහ සියුම් කියවීමකට මග නොහැරෙන අසංඝත බවක හැඟීම. මා මීට වඩා තරමක් නොවිසිලිවන්ත කරනු ඇතැයි සිතෙනු නිසා ය.
ශානරය - නවකතා
ශ්‍රේණිගත කිරීම - ***1/2
ප්‍රකාශනය - විදර්ශන (2020)
No comments:
Post a Comment