මේ වන විට මේ වසරේ යම් තාක් කතාබහට ලක් ව ඇති නවකතාවක් වන 'ලේ සහ වතුර' කියවීමි. පළමුව කිව යුත්තේ, කියවන්නාට තමන් මිඩංගු කල කාලයට සාධාරණ කියවීමේ තෘප්තියක් ගෙන දුන් නවකතාවක් කලකට පසුව කියවූ බවකි. එය ම කියවන්නා ආයෝජනය කරනා කාලයට ලැබෙනා ආත්ම ලාභයකි.
නවකතාව ගැන මගේ අදහස් සැකෙවින් මෙසේ පවසමි;
මට නම් මේ නවකතාවේ ප්‍රධානතම ලක්ෂණය, මිනිස් චරිතයන්ගේ ඇති සංකීර්ණත්වයන් හා ගුප්තභාවයන් ය. එසේ සලකද්දී තරමක් සාමාන්‍ය චරිත ලෙස මට පෙනී ගියේ අපේ කතානායක අජන්ත (සහ යම් තරමකට ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරෙකු ව සිටි ආනන්ද) ය. ඔවුන් තමන් ආසන්න ම අයගේ ගැඹුර, අසංඝතභාවයන්, සහ ගුප්ත සංකීර්ණත්වයන් ඉදිරියේ යම් විදිහක පරාදවීමක්, තත්වයන් භාර ගැනීමක්, හෝ අවසන පළායාමක ට යොමු වේ. අම්මා ගේ චරිතයේ පැහැදිලි අන්ත දෙකක දෝළනය වේ. ඇය වස්තු තන්හාවක් ඇත්තියක් වුව, ඇගේ ම සාධාරණත්වයේ මිම්මක් තුල ජීවත් විය. තාත්තා ඉතා පටු කුල භේදය මුල් කර ගත් අදහස් තුල තම ජීවිතය ගත කල ද, පිට අය දකිනුයෙ ශාන්තුවරයෙකු ලෙසය. චාන්දනී තම පෙම්වතා බොහෝ කල් කරුණු විමසා සොයා බලා තෝරගත්තා ද, තම ආත්මය සොරා ගත් අයෙකුගෙන් ගැලවීමක් නැතුව ජීවත් වන්නීය. සරලා ? සරලා කෙතෙරම් කාරණා දැන උන්නී ද? එය පාඨකයා ට තීරණය කිරීමට භාර දී ඇත. අජන්ත නම් වූ අප කතානායකයා වටා උන් මේ චරිත හතර ම ඉතා සංකීර්ණ චරිතය. එසේ බලනා විට අජන්ත යම් විදිහකින් මෙහෙය වී ඇත්තේ පෙර කී චරිත මගිනි. එය තවදුරටත් විඳ දරාගැනීමට නොහැකි වූ විට ඔහු ගත් තීරණය මට මතක් කලේ ගුණදාස අමරසේකරගේ 'කරුමක්කාරයෝ' හි එන විලිසොන් ගේ චරිතය නවකතාව අවසන ගත් තීරණයයි.
නවකතාව ඇදී යන්නේ 1986-1989 පමණ දක්වා කාලය තුලයි. අවසන් කාලය ගැන තීරණාත්මකව කිව නොහැක්කේ, වීජේවීර එවකට ජීවත් ව සිටියා යැයි සිතිය හැකි නිසා සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ව කෙතෙරම් කාලයක් ගත වීද යන්න ගැන පැහැදිලි නැති නිසාය. එහෙත් මේ දේශපාලන ව්‍යාකූලත්වය නවකතාවට පසුබිමක් සාදා දෙනවා පමණි. පෙර කී ප්‍රධාන චරිත, සහ අජන්ත ගේ චරිතයට යම් අනිවාර්‍ය බලපෑමක් ඉන් සිදුවන බව අවිවාදිත මුත්, එම චරිත වල සංකීර්ණත්වයන් ඔවුන්ගේ යථා තත්වයන් ය. වෙනත් සමාජ වටපිටාවක වුවත් අන් අයුරකින් එම සංකීර්ණතා මතු වන අයුරින් ඔවුන් ජීවත් වනු ඇත.
පසු ගිය වසරක පමණ කාලය තුල මා කියවා තිබුනේ සිංහල නවකතා දෙකක් පමණි. අනෙක් කාලය මිඩංගු කර තිබුනේ කෙටිකතා සංග්‍රහයන් ඉංග්‍රීසි නවකතා කියවීමටය. ඊට ප්‍රධාන හේතුව මෑත කාලීන සිංහල නවකතා වලින් මා සෙවූ කියවීම් තෘප්තිය නොලැබීමය. එවන් අවස්ථාවක ය, අපට මිතුරියක් මාර්ගයෙන් 'ලේ සහ වතුර' හි පිටපතක් අප අතට පත් වෙන්නේ. කියවීමෙන් අනතුරුව අපේ තීරණය වන්නේ මේ නවකතාවේ පිටපතක් අප සතු විය යුතු බවයි.
ශ්‍රේණිය: ****

No comments:
Post a Comment