Monday 4 November 2024

මල් සුවඳැති හිසරදයක් - වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි


මට කවිය සමඟ අරෝවක් ඇත. කවිය ම උසස් සාහිත්‍ය කලා නිර්මාණය යැයි විශ්වාසයක් තිබේ. එනමුදු කවිය රස විඳීමට වැය කල යුතු කාලය සුළු පටු නැත. එසේ කාලය වැය කොට අප කියවා ඇත්තේ සාමාන්‍ය මට්ටමේ කවක් ම ය - එය විටෙක වචන සම්ඟ සෙල්ලම් කරලීමකි -  විටක 'පට්ට ගැසූ' භාවයක් නැවත කවියට ගෙතීමකි - විටෙක 'අයිස්ක්‍රීම් සමඟ සීනි සම්බල්' ආරේ වචන මිශ්‍රිත ය - විටක දරුණු ගැට ලිහා බලන්නට පොළඹවන ආරෙන් ලිඛිතව ලිහා බලද්දි අරුමයක් නැති දෙයකි - විටෙක පද බැඳීම දුටු විට 'හානේ මටත් කවියෙක් වෙන්න පුළුවනි' කියා සිතෙන අයුරකි - මෙවන් ප්‍රතිඵළ පමණක් බහුලව ලැබෙන බව දුටු කල, ඒ එතරම් විස්මිත නොවූ කව වෙනුවෙන් මා ගෙවූ මගේ ජීවිතයේ කොටස, හෙවත් කාලය ගැන මට කම්පාවක් ඇති වේ. සිතා හෝ නොසිතා හෝ, අවිඥ්ඥාණික ව හෝ, මා සමඟ පොත් කියවන බොහෝ මිතුරන් (අයෙක් දෙන්නෙක් ඇර) කවියෙන් ඈත් වී සිටින්නේ ඒ නිස යැයි සිතමි. මෙහෙව් වට පිටාවක දී කලින් කල ඇත්තට ම රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් හමු වීම කවියට ගත කරන ප්‍රතිලාභ උපරිමයෙන් ම ලැබීමක් නිසා ඉන් ලැබෙන සතුට සැලකිය යුතු තරම් ය. පසු ගිය අවුරුදු කිහිපයේ මෙවන් අවස්ථා උදා වූයේ නම් ඒ අල්ප සංඛ්‍යාවක්ම ය. මෙසේ මට කාව්‍ය රස වින්දනය බොහෝ සේ ගෙන ආ සංග්‍රහය,  2022 පළ වූ හොඳම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ගොඩගේ සම්මානය, ලක්ෂාන්ත අතුකෝරාල සමඟ සම සම්මානයක් ලෙස බෙදා ගත් වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' ය.  2023 වසරේ මාධ්‍ය සාහිත්‍ය සිරස් තල වල කියැවුනේ, ලක්ෂාන්ත අතුකෝරාල ගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' අප රට ප්‍රධාන කාව්‍ය සම්මාන හතර ම ජය ගත් බවකි. ලක්ෂාන්ත ගේ දක්ෂතා අප දන්නා හෙයින් එම සංග්‍රහය ගැන බලාපොරොත්තු තබා ගෙන එය කියවීම අන් දවසකට කල් දමා, මා කියවීමට තෝරා ගත්තේ 'මල් සුවඳැති හිසරදයක්' ය. කුමන කාව්‍ය සංග්‍රහය සියළු සම්මාන දිනූ ලක්ෂාන්ත ගේ කවියට සම වීද ? ඇරත්, ගොඩගේ හැර අන් කිසිදු සම්මනායකට නිර්දේශ වීමට හෝ සමත් නොවූ ? මා මේ කවි ටික බලන්නට පටන්ගත්තේ තරමක සැකයකිනි. එනමුදු, පළමු කවි පංතියේ සිටම එම සැකය කෙමෙන් දුරු වෙමින්, මෙය සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ම බව මට පසක් විය.

මේ සංග්‍රහයේ මට හමු වූ ම වඩාත් විඳි කවි පංතිය 'පද්‍යපානී පොකුණ පාමුල පිපාසිතයෝ' ය.

"එසේ නොකියව...
කිසිවෙකුත් බීව ද, නොබීව ද
එම පොකුණු ජලයෙහි රැඳී ඇති
මහරු අරුමය නිම නොවේ
පවත්නා රස හිඟ නොවේ...
අමිල බව වියැකී නොයේ..."

මේ කිසිවකු දන්නා තරමින් නොබීපූ අමෘතය වෙනුවෙන් කොන්දේසි නොමැතිව පෙනී සිටීම, පමණක් නොව, බ්/බැතියෙන් පෙළ ගැසීම, කාල ගෝට්ටී ඇති කරගැනීමට ද බොහෝ පසුබට නොවෙත්. කවියා මේ පිපාසිතයෝ, සහ අන්ධව ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ගැන අපූරු කවක් ගොතා ඇත.

ඊට නොදෙවෙනි අපූරු ම කවි පංතියකි, 'හැඟීමක් ලෙස උපදිනා සංසාරමය බාධකය', කවි පංතිය. පති වියෝවෙන් කලකට පසුව, යොවුන් හදකට නොසිතූ, සහ විටෙක නොපැතූ අයුරින් නැවත ආකර්ශනයක් ළඟ නතර විය හැක. එහෙත් සංස්කෘතියක් යදම් ඊට ඉඩ දේවි ද ?

"පුරුදු ලෙස මාස අගක
 ඔහු මාපියන් දෙදෙන
 පැටවු සනසනු පිණිස පැමිණිය ද
 ගේට්ටුව නොවැසෙනා ගැටලුවෙහි තතු විත්ති
 උන් වෙතින් සැඟවීමි

 ඒ අතර අ'ගල් තුඩ
 නොනැවතී ලියලමින්
 ගේට්ටුව වළක්නා පිණිස වැඩෙනා වගක්
 සීත රෑ සිහිනෙන් ද
 දවාලේ සැබවින් ද දැකගතිමි"

 විටෙක ජීවිතයේ එක් අයෙකුට වටිනා ම මතක සටහන්,  කාලය ගෙනෙනා වෙනස්කම් මධ්‍යයේ වුව ගලේ කෙටුවා සේ මතකයේ ම නැවත නැවත රැව් පිළිරැව් දෙයි. "අතීතයෙන් ආ කවියක්", එවැනි අවස්ථාවක් සිහි ගන්වන්නකි. 

"අවුරුදු බොහෝ ගෙවී
ඔබ නිසා මුල් වරට මගේ හිත ගැස්සුණ
පත්තර කඩය තිබූ තැන පුංචි බස්නැවතුම
තල්ලු කරගෙන ගිහින් දුරකට
තිබෙන්නේ දැන් එය
සුපිරි පොළ දොරටුව අසල"

"වෙනස් දෙන්නෙක් එකෙක් වේවි ද?",  "ප්‍රේමයේ කමටහන් නොලද්දී", "චමත්කා", "මිදුල ඇමදීම", "සොඳයි දැඩි කළැ නිසා අප උන්", "පහන් දැල්වූ ගනඳුර", ආදී තවත් සාර්ථක කවි පංති රැසකින් මෙම සංග්‍රහය පොහොසත්‍ ය. කවියා කවි මාතෘකා තෝරගෙන ඇත්තේ පාඨක සිත කෙනිත්තීමට සමත් අයුරින් සහ එම කෙනිත්තීමේ විඳීම විනාඩි කිහිපයක් ම පවතින ආකාරයෙනි - මාතෘකාවෙන් එතරම පොහොසත් නොවූ කවි තැන් කිහිපයක වුවද, ඒවාද හොඳින් නිමවුණු කවිම ය.

සිංහල කවිය ගැන වද වෙන්නෝ, අනිවාර්‍යයෙන් කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****1/2




මහත්වරු සිසිර නින්දක - රංජිත් මල්ලියාවඩු


 රංජිත් මල්ලියාවඩු ගේ මේ කවි පොත වෙත මා ප්‍රවේශ වූයේ යම් පැකිලීමකිනි. ඊට හේතුව 2018 වසරේ රජත පුස්තක සම්මානය දිනූ ඔහුගේ "සහෝදර මුහුණුවර " මා රස නොවිඳිම හේතුවෙන්, මා විසින් යම් කිසි මට්ටමකට කර්කශ විචාරයකට ලක් වූ කාව්‍ය සංග්‍රහයක් වීමය. එනමුදූ 2023 වසරේ නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ඇගයීමට පාත්‍ර වද්දී රජත පුස්තක සම්මානයට ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන "මහත්වරු සිසිර නින්දක" නිර්දේශ වී තිබිණි. මගේ සුළු සාහිත්‍ය ඇගයීම් ලොවේ හැකි තරම් සාධාරණ වීම හැර මට  කල හැක්කක් නොමැත. ඒ අනුව මහත්වරු සිසිර නින්දක කාව්‍ය සංග්‍රහය පසුගිය දා පැවත්වූ පොත් සල්පිළේ කවි කුටියෙන් මිලදී ගත්තේ තව කාව්‍ය සංග්‍රහයන් 7-8ක් සමඟය. එය මිල දී ගත් දින වල ම කියවීම ඇරඹුවේ, සහෝදර මුහුණුවරට දුන් කර්කශ විචාරය සිතට වද දුන් නිසාදෝ යි නොදනිමි. 

කෙසේ හෝ "මහත්වරු සිසිර නින්දක" කියවාගෙන ඉදිරියට යාමේදි මා රස විඳි කවි පංති කිහිපයක් හමුවිණ. ඊට නිදසුන් මෙපරිදිය:

"ඔබත් යන්න ගිහින් එන්න" යන කවි පංතිය පෘථග්ජන මිනිස් සිතේ සත්‍ය ස්වභාවය විමසන කවි පංතියකි.

'ඒ දෙන්නා විතරක් නම් මක් වෙනව ද
දවසක් වත් කතාබහක් නොකරපු අය මඟදි දැකපු
ඇවිත් යන්නෙ අවසරයක් ඇතිව නොවෙයි සිත ඇතුළට
සමහරවිට යන්නෙත් නෑ ලැගුම් ගනී පැය දෙකතුන'

"රට වටේ" කවි පංතිය සිත් ගත්තේ, එදා සහ අද අතර සිදුව ඇති වෙනස විමසන අයුරු හේතුවෙනි.

'නාවල තිබුණු පැණි අන්නසි හැම      වාරේ
 නාවර පෙරාගෙන ඇත දිගට ම         පාරේ
 නොස්ටැල්ජීක ම රසයක් තවමත්    බේරේ
 නොබැඳී සිටිය හැකි වෙශ මිත ඒ       මීරේ'
වාසනාවන්ත ජීවිතයක් ගත කල අයෙක් ට, දුෂ්කර අත්දැකීම් නැතිනම් දිවිගමනේදී ඔහුට හෝ ඇයට ජීවිත යාත්‍රාවේ විශිෂ්ඨයෙකු විය හැකි ද? කවියා දාර්ශනික සිතුවිල්ලකින් මේ ගන විමසනේ 'යාත්‍රිකයෝ දෙදෙනෙක්' නම් කවි පංතියේ ය.

'රුවල් ඉරුණු වග නොතකා
 චණ්ඩ කුණාටුව මැඬ
 යාත්‍රාවේ නැතිව අහර කිසිවක්
 වාරු කරගෙන දුබල සගයා ද

 කුසල් ඇත්තකු නොව
 ශ්‍රේෂ්ඨ යාත්‍රිකයකු
 දකින්නට හැකි වෙයි ඔබට
 යන්න නොපමාව ඒ වෙරළට'

44 වෙනි පිටේ ඇති කවි පංතිය ද මා රස වින්දෙමි (එහි අකුරුකරණය මේ යතුරුපුවරුවෙන් ඇතුලත් කල නොහැක)

'ලොවට කළත්          පරකාසේ
 පෙරළුණු 'මම' පෙර       දවසේ
 තනිව කිසිත් බැරිව       මෙසේ
 සිටිමි 'කොම්බු' දෙකක් ලෙසේ'
'මම' යන වචනය අනෙක් පැත්ත  - එනම් දර්පණයකින් බැලුවහොත් පෙනෙන්නේ කොම්බු දෙකක් පමණි. අප කවියා එය කවියකින් දකින්නේ ඉහත ලෙසටය.

මෙවන්, හා මීට ආසන්න තරමේ සැළකිය යුතු කවි සංකල්පනා රැසක් නිසා, පෙර කී 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහය අභිබවා යෑමට අප කවියා සමත්ව ඇත. ඇත්තෙන්ම මා සිතගෙන සිටියේ මේ සංග්‍රහය කියවා අවසන් වූ වහාම, සහෝදර මුහුණුවර සංග්‍රහය අතට ගෙන නැවත තැනින් තැන හෝ කියවා බලා, මගේ කියවීමේ වරදක් පෙර දින සිදු වූයේදැයි විමසීමටය. නුමුත් තැනින් තැන ඒ පරණ කවියේ ලක්ෂණ මතුවීම මගිනුත් (බලන්න 'හරිත සෞන්දර්‍යය' - වෙසෙසින් අවසන් කව ), නැවත 'සහෝදර මුහුණුවර' තැනින් තැන බැලීමෙන්ද, කවියා 'මහත්වරු සිසිල නින්දක' මගින් අප පාඨකයනට කියවීමට වඩා රුචි කවි නිර්මාණයක යෙදී ඇති බවට ප්‍රත්‍යක්ෂ විය.


ශ්‍රේණිය: ***1/2

සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න

 අප සම්මාන නිර්දේශ ගැන උනන්දු වන්නේ,  නිකුත් වන සාහිත්‍ය කෘති රාශියක් අතරින් වඩා සාර්ථක කොටස තෝරාගෙන කියවීමට උපකාරයක් ඉන් ලැබෙන බවට යම් විශ්වාසයක් තිබීම හේතුවෙනි. යම් කෘතියක් කියවීමට යන කාලය තුලින් අපට රසවින්දනීය ප්‍රතිලාභයක් නොලැබේ නම් එම කාලය අපතේය - කිමද කාලය යනු අන් කිසිවක් නොව අපේ ජීවිතයේ කොටසක්ම ය. සිංහල නවකතාව ගැන උනන්දුවක් ඇති අප, 2023 වසරේ ප්‍රකාශ වූ නවකතා අතරින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, සහ ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන යන දෙකෙහිම අවසන් වටයට නිර්දේශ වූ මලික් තුසිත ගුණරත්න ගේ 'සිල්වර් ටිප්ස්' කියවීමට උත්සුක වූයේ මේ නිසාය. මෙවර තවම ගොඩගෙ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොපැවැත්වුණු වටපිටාවක, මේ නිර්දේශ දෙක නොසලා හැරිය නොහැක.

කතුවරයා මීට පෙර තම කෙටිකතා සංග්‍රහයන් සඳහා කිහිප අවස්ථාවක සම්මාන සඳහා නිර්දේශ වී තිබුනද, අපට ඒවා කියවීම මගහැරිනි. ඒ අනුව මේ කතුවරයා ගේ අප කියවූ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මෙය විය.

සමස්තයක් ලෙස, අපට නිතර සිංහල සාහිත්‍යයේ හමුනොවෙනා ලිවීම් ශෛලියක් මෙහි කතුවරයා භාවිත කොට ඇත. මෙහි ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැකි 'වෙස්ටර්න්' හෙවත් 'අප්පච්චි' පාඨක අපට හමු වන්නේ, ඔහු අන් පාර්ශවයක් මගින් පළ කල අදහස් කිහිපයක් තුලින් පමණකි. පාඨක අපට ඔහුව කිසිම විටක ඍජුව මුණ නොගැසේ. මට හැඟෙනා පරිද්දෙන් නම්, මේ ආඛ්‍යාන විදික්‍රමය මේ කෘතියේ ද්විත්ව නිර්දේශයනට ප්‍රධාන හේතුව විය යුතුය. එහි සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් නැත්තේ නොවේ.

වෙස්ටර්න් හෙවත් අප්පච්චි තමනට රිසි ලෙස අන් අය පාවිච්චි කිරීම, බලපෑම් කිරීම්, තර්ජනය, සහ හිංසනය පාවිච්චි කිරීම මගින්, තම පවුලේ උදවිය, සහ ඔහුට ආදරය කල අන් අය ට ගෙන ආ මානසික සහ භෞතික විඳවීම, සමාජයේ ජීවත් වන එක්තරා චරිත කොට්ඨාශයක ස්වභාවයකි. එනමුදු, ඔවුනගේ දක්ෂතාවන්, සහ ආදරය කරනා කල ආදරයද, ඒවා අත්දුටු අය ට කිසිදා අමතක නොවේ. මේ අපූරු වූත්, සුවිශේෂි වූත් චරිත ලක්ෂණ රැගත්, නවකතාව පුරා ම පාඨකයා ඉදිරියට නොපැමිණෙන ප්‍රධාන චරිතය මේ නවකතාවට කුහුලක්, ත්‍රාසයක්, සහ ඒ ඔස්සේ රසයක් ද ගෙන එයි. නවකතාවේ සාර්ථක පාර්ශවයට ප්‍රධානතම  බලපෑම මේ චරිතයෙනි.

එනමුදු  පිටු 364ක් ඇදෙනා මෙම නවකතාව පුරාවට කතුවරයා ත්‍රාසය විහිදුවන්න ට උත්සාහ දරයි. එක්තරා අවස්ථාවකින් පසුව මෙම දිගු කිරීම පාඨකයා වෙහෙසට පත් කරවයි. කතුවරයා ට මෙහි එන පාත්‍රවර්ගයාට මුහුණ දීමට සිදු වූ සියල්ල ම කිමට ඇවැසි නම්, විටෙක කියවෙන අමතර විස්තර අඩු කර තව පිටු 60-70කින් පමණ සංක්ෂිප්ත කරලීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. සමන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම විස්තර කරලීම දිගුවට තිබුන ද ඉන් වෙසෙස් කර්තව්‍යයක් නවකතාවට සිදු නොවේ.  මෙහි එන අවශේෂ චරිත කෙරෙහි මට එතරම් අප්‍රසාදයක් නැතත්, සමහර තැනක ඔවුන් ගැන විස්තර ද පමණට වැඩි යැයි සිතේ. වීරසේකර චරිතය එවැන්නකි. ඔහු උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන, තමනට ලැබුණු බිරිඳ වෙනුවෙන් බොහෝ දේ ඉවසන, තරුණ පරම්පරාවේ හැසිරීම් ඉවසනා සුළු අයෙකි. මෙය එක් අවස්ථාවක් පමණක් ආශ්‍රයෙන් විස්තර වූවා නම් සෑහේ. ඔහුගේ ඉවසීම ට නිදර්ශන දැක්වෙන අවස්තාම දුසිම් භාගයක් පමණ ඇත. මේවා අවශ්‍ය ද ?  අනෙක අතුරු කතා ආදිය ය. 
කාන්තාවන් භාවිත කොටෙ කෙරෙන විවිධ ව්‍යාපර ගැන ඉඟි බොහෝය. ඉන් සමාජයේ සිදුවන දේ ගැන යම් කියවිමක් තිබුනද සමස්ත නවාකතාවට සිදුවන සෙත කිම ? 

දීර්ඝ නවකතා සහ වර්තමාන භාවිතය ගැන නිදසුනකට හැරෙමි. මේ දවස් වල මම නැවත මෝබිඩික් (Moby Dick) ශ්‍රවණ පුස්තකයක් මගින් කියවීමට යත්න දරමි. මේ මගේ තුන්වෙනි උත්සාහයයි - ඉන් පළමුවැන්නේ දි පොතේ 65% සීමාව පසු කලා මතකය. එහෙත් එය ඉන් පසු කියවීම මගහැරිණි. එනමුදු එය ලියවූ යුගයට සාපෙක්ෂව එවන් දිගු නවකතාවක් වෙනුවෙන් සමාජයට  වෙලාව තිබුනා පමණක් නොව, පාඨකයන් එය ඇත්තටම එය ආශාවෙන් පිළිගත්තා ද විය හැක (එය 1851 වසරේ පළ වූවකි).  මෝබි ඩික් හි අතුරු කතා එමටය. සිවර් ටිප්ස් හි අතුරු කතා වලට වඩා නවකතාවට එතරම් අදාළත්වයක් නැති කොටස් නැවත නැවත විස්තර වෙයි. එක්තරා මට්ටමකින් පසුව මෙය පාඨක ඉවසීම අභියෝගයට ලක් කරයි. අප සමඟ මේ පොත කියවීම ආරම්භ කල අප මිතුරියක් පොත කියවා අවසන් කලේ යම් උදහසකිනි. මට වුව පොත ගැන පූර්ණ ප්‍රසන්න හැඟීමක් නැත.  එහෙත් පෙර කී අපේ මිතුරිය පවසන්නේ මෑතක ප්‍රකාශ වූ පිටු දහකට වැඩි නවකතාව එසේ කියවීමට අපහසු කෘතියක් නොවෙන බවයි. එනම් සෑම පරිච්ඡේදයේදී ම ලේඛිකාවට  අලුත් දෙයක් කීමට ඇති බවකි. එපමණ ම දිගු නොවුනත්, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වනි දීර්ඝ කෘතියක වුව පිටුවක් හෝ අඩු වනවාට මා නම් අකමැතිය. එහෙත් මෙය සැම නවකතාවකට ඔබින්නක් නොවේ. වෙසෙසින් ගුණදාස අමරසේකර ගේ පසුකාලීන නවකතා සියල්ලයෙහි ම පාහේ අඩු පිටු ගණනකින් පාඨකයාට අඩුවක් නොදැනෙන්න සම්පූර්ණ නවකතාවක් ඉදිරිපත් කෙරී ඇත.

මා නම් සිතන්නේ, අප අද යුගයට උචිත ලෙස ලියද්දි,  සුදුසු සංස්කරණයක් භාවිතයට අප කතුවරුන් පුරුදු විය යුතු බවය. 2023 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ තැතේ මේ දෙවෙනි කෘතියයි. මෙය යම් සංස්කරණයකට ලක් වන්නට තිබිණි. මීට පෙර කිය වූ එරික් ඉලයප්පාරච්චිගේ තිවංක කතාව විශාල වශයෙන් සංස්කරණයට ලක්වීමට උචිත කෘතියකි.

අවසන් වශයෙන් කිව හැක්කේ, කතුවරයා සිංහල පාඨකයන්ට නැවුම් ආරක ප්‍රධාන චරිතයක් හඳුන්වා දුන් නවකතාවක්, සමඟ කුහුල, ත්‍රාසය, රැගත් ආඛ්‍යානයක් ගෙන එන්නට කතුවරයා සමත් වුවද, ඔහුගේ පරීශ්‍රමයේ උපරීම පළ නෙලා ගැනීමට හැකි වූවාද යන්න නැවත විමසීමට ලක් කල යුතු නවකතාවක් ලෙස මෙම කෘතිය මා දකින බවකි.

ශ්‍රේණිය: ***

ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව - කීර්ති වැලිසරගේ


ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව වනා හි කතුවරයා ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහයයි. 1995 වසරේ පළමු වරට ප්‍රකාශ වූ මෙම සංග්‍රහයේ ද, 'ගස් කට්ටිය' සංග්‍රහයේ මෙන්, අද වන විට අපට හුරුපුරුදු ප්‍රාදේශීය වටපිටාවක්,  අදට පෙර යුගයක තිබුනු අයුරු කියවෙන  නිර්මාණ වලින් පෝෂිතය. කෙටිකතා නවයෙන් 3ක්, 1986-1987 කාලයේත්, අනෙක්වා 1993-94 කාලයේත් ලියැවී ඇති බව පෙරවදනේ කියවේ. එනුමුදු එම සියළු කෙටි කතා වලින් ඊට පෙර යුගයක් මූලික වශයෙන් ආභාෂයට ලක් ව ඇති බව පැහැදිලිය. 
 
මෙහි එන "ඇඳ කබල" කෙටිකතාවේ එන තලාහේන අසූව දශකයේ මැද හෝ අග තිබූ තලහේන විය යුතුය. අද වන විට බොහෝ සේ නාගරීකරණය වී, පිටතින් පැමිණි අය පදිංචි ව තිබුන ද, සමහර පෙදෙස් වල තවමත් මුල් පදිංචිකරුවන් දැකිය හැක. 2000 දශකයේ ද එහි කනත්තට ආසන්නව දර මඩුවක් තිබුනා පමණක් නොව කරත්තයකින් කොළඹ දෙසට දර රැගෙන යන ලදී. එම පරම්පරාවෙන් පසුව දර මඩුව වැසී ගියා විය යුතුය. මා මේ මීට වසර 35-40 ක පමණ ඈතක් ගැන කතා කලේ, ඒ හරහා අද නොතිබෙන, කොළඹට ආසන්න වුව තවමත් ග්‍රාමීය පරිසරය  තිබූ, පහළ මැද පාංතිකයින් තරමක් අපහසුතාවෙන් තම දිවි ගැට ගසා ගත් යුගයක් ගැන කතුවරයා ඉඟි කරනා හෙයිනි."ඇඳ කබල" කෙටිකතාවේ කතා නායක, උපාධිදාරි ගුරුවරයා ඇඹිලිපිටියටත් එහා රැකියවේ යෙදුනද, එක් සති අන්තියක දී තම තලාහේනේ බාගෙට නිමකල නිවෙසේ නවතින්නට එන අයෙකුගේ සැප පහසුව ගැන වද වෙන්නේ, ඔහුට ඇති සීමිත පහසුකම් නිසාය.

එලෙසෙම මෙහි එක් කෙටිකතාවක එන "බෙලෙක්" විසුවෙ මාදින්නාගොඩ ලෑලි පාලම ආසන්නයේය. මෙය අද ද පෙරේරා සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලය පවතින පාරේ ඇති, එක් වතාවකට එක් පැත්තකට පමණක් ගමනේ යා හැකි පටු පාලම යැයි සිතමි (එය දැන් ලෑලි පාලමක් නොවේ - නුමුදු තවම පටුය). වතාවක් දෙකක් 2000 දශකයේ මුල පමණ එම පෙදෙසට ගොස් තිබුන ද එතරම් මතකයක් නැත - දැන් දැන් එම මාර්ගය බහුල ලෙස භාවිත වන්නේ උදෑසන මාර්ග තදබදය නිසා කොස්වත්ත, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ මඟහැර රාජගිරියට ඒමටය. බෙලෙක් කෙටිකතාවේ සුළු රැකියාවක් සහිත තරුණයා වෙත මෙහි එන ගැහැණිය බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ තමන් සතු බරින් යම් පමණකින් හෝ නිදහස් වීමටය.

"ගැහැනිය දවසට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා, බුලත් කසට බැඳි දත් දෑන්ද පා සිනාවක් නැඟුවා ය. එය ඉතා ළෙංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක දියණියක සිටිනා ඕනැ ම පැල්පත් වාසි අම්මා කෙනෙකුගේ මුවට ඒ ආකාරයේ ළෙංගතු සිනාවක් නැගීමේ අරුමයක් නැත" ( 57-58 පිටු)
කෘතියේ නමින් වූ කෙටිකතාවේ එන ගුණපාල අකුරු නොදත්තෙකි. ඔහු ට විප්ලවවාදීන්ගේ පෝස්ටරය අකුරු ඇහිඳ කීමට අවස්ථාවක් ගෙන දේ. යම් තරමක් අකුරු දත් සිය බිරිඳගෙන් එම පෝස්ටරය කියවීමට ය ඔහුගේ උත්සාහය. එය ය ඔහුගේ අභ්‍යන්තර කතාව - ඔහු ද්‍රෝහියෙකු යනු කවරෙක්දැයි නොදත්තෙකි. එවැනි අඳුරු යුගයක වූ අපරාද වල පසුබිම ගැන හොඳ කතිකාතවකට මුල පුරන්නකි, "ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව".

කෙටි, කෙටි කතා අටක් මැද වූ එකම දීර්ඝ කෙටිකතාව වූ, පිටු 40ක් පුරා දිවෙන "වතුර", මෙහි එන තවත් රසවත් කෙටිකතාවකි. එහි ඉතා ස්වාභාවික ලෙස, තීරණ ගත හැකි තැන් වල සිටින අය ඇඟ බේරාගෙන සිටීමට හැසිරෙන සූක්ෂම අයුරු ගැන ලියැවී ඇති අපූරුව අනුව, එය එක්කෝ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් යැයි සක කරමි - එසේ පෞද්ගලීක අත්දැකීමක් වුව, එහි සූක්ෂමතාව පාඨකයාගෙන් නොගිලිහෙන අයුරෙන් වචන වලට පෙරලා ඇති අපූරුව කතුවරයාගේ ලේඛක ශූරත්වය පිළිබඳ දෙස් තියයි.

මීට අමතරව, මුග්ධ ලෙස අප රට පහළ මධ්‍යම පාංතිකයාගේ පක්ෂ දේශපාලනයට ඇති අන්ධභක්තිය කියාපාන "වතාවත", තවත් පැල්පත් වාසී කතාවක් තුලින් ගැහැනියක් තවත් ගැහැනියක් වෙත සංවෙදී වෙන අවස්ථා ද ඇති බව පෙන්වා දෙන "දහමන්දරී", හෙමිංවේ ගේ හෝ චෙකොෆ් ගේ කෙටිකතාවක් මතකයට නගන "පිපාසය" ආදි කෙටිකතා ද, මෙම සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට හේතු වන රසවත් නිර්මාණයෝ ය.

"නැට්ටුක්කාරයා" මගින් තරමක අතිශයෝක්ති අසංවේදි බව දැනුන ද , ඉන් වහනය වන අසංවේදීත්වයේ අසෝබනත්වය ප්‍රතික්ෂේප කල නොහැක. කිමද එහි එන සමහර කොටස් සිතට වාවාගැනීම අපහසුය.

ගස් කට්ටිය මගින් පෙන්නුම් කල ශූර කෙටිකතාකරුවෙකුගේ බලාපොරොත්තුව සනාථ කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව හැඳින්විය හැක.

ශ්‍රෙණිය: ****


The Buddha of Suburbia - Hanif Kureishi

  “Watching Jamila sometimes made me think the world was divided into three sorts of people: those who knew what they wanted to do; those (the unhappiest) who never knew what their purpose in life was; and those who found out later on. I was in the last category, I reckoned, which didn't stop me wishing I'd been born into the first.”


A busy novel, Hanif's first for which he landed "The Whitbread Award for first Novel". Its a collage  which showcases the  Racism of the 70's, Dogma of  immigrants which ruin the lives of their children, a country coming to terms that their best times as a nation were past them, Call for Socialism and Radical changes by dissatisfied youth, and through it all, people trying to find their meaning in life, looking for love, trying to correct their mistakes, and others trying to justify their mistakes till their last day. It is a fascinating work, with nary a dull moment, episodic, and with great characters. all of them with their eccentricities ( see Jamila, Eva, Charlie, Haroon, Changez, Pyke- and I haven't even mentioned our narrator, and protagonist - Karim ).

But if one is observant, one can sense where Hanif has dealt with a little more subtlety to register a point, more so than elsewhere in the novel. One such point I felt so was when Terry, albeit drunk, insists that Karim get donations for his Trotskyist  party, probably more due to the latter's Asian background. Karim too obliges - maybe he felt that it was his duty to do so. But Eleanor refuses to donate claiming that the party does nothing for immigrants.

"She smiled at me then, and she said, 'This is the point.They are not a Party for black people. They are an all-honky thing, if you want to know. I’m not giving a bean to that kind of apartheid thing.’"

The other episode which made an impression was the last dialogue in the book between Changez and Jamila - the former shows his hypocrisy, and how he can withstand whatever insults to as long as he has  his way at the end. One almost feel relief at the way that Jamila holds her own.

He shouted, ‘What’s wrong with your only husband here and available that you are turning to
perversion? Am I the one single normal person left in England now?’
‘Don’t start. Please, I’m so tired. I’m so happy at last. Try and accept it, Bubble.’
‘And all you here in this house, you good types, talk of the prejudice against this Yid and that black burglar bastard, this Paki and that poor woman.’
‘Changez, this is offensive, this is — ’
‘But what about ugly bastards? What about us? What about our rights to be kissed?’
‘You are kissed, Changez.’
‘After the exchange of pounds sterling only!’
‘Please, let’s go to bed. There are plenty of people who will kiss you. But not me, I’m afraid. Not me. You were imposed on me by my father.’ 

In essence, one positive that people like Jamila does have, not withstanding the racism that they face in South London, is they can have their own way not withstanding the odds. Yet, Hanif is not afraid to show the Cosmopolitan Liberalism of New York in good stead overall, during a time when London (leave alone rest of England - North of England is painted in poorer light ) was trying to find her way. Another point that one cannot miss is the highly  open sexual culture especially of the young. Soon things were to take a very sad turn with HIV hitting the country,  but sexual experimentation seemed the sole preoccupation of the young at the time - and in that context, a happy time.

This novel ends on the eve of Margret Thacher era where Karim and his friends have all accepted the changes that had happened in their lives, and are now looking forward to what the future may bring,  in this  fast changing city, which has been the focus of the world for many a century now.

"And so I sat in the centre of this old city that I loved, which itself sat at the bottom of a tiny island. I was surrounded by people I loved, and I felt happy and miserable at the same time. I thought of what a mess everything had been, but that it wouldn’t always be that way."

A most excellent book, for the type of reader who appreciates contemporary pop culture, post-colonialism, and has a keen eye for nuances of a narration.

Rating: ****1/2