Monday, 4 November 2024

මල් සුවඳැති හිසරදයක් - වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි


මට කවිය සමඟ අරෝවක් ඇත. කවිය ම උසස් සාහිත්‍ය කලා නිර්මාණය යැයි විශ්වාසයක් තිබේ. එනමුදු කවිය රස විඳීමට වැය කල යුතු කාලය සුළු පටු නැත. එසේ කාලය වැය කොට අප කියවා ඇත්තේ සාමාන්‍ය මට්ටමේ කවක් ම ය - එය විටෙක වචන සම්ඟ සෙල්ලම් කරලීමකි -  විටක 'පට්ට ගැසූ' භාවයක් නැවත කවියට ගෙතීමකි - විටෙක 'අයිස්ක්‍රීම් සමඟ සීනි සම්බල්' ආරේ වචන මිශ්‍රිත ය - විටක දරුණු ගැට ලිහා බලන්නට පොළඹවන ආරෙන් ලිඛිතව ලිහා බලද්දි අරුමයක් නැති දෙයකි - විටෙක පද බැඳීම දුටු විට 'හානේ මටත් කවියෙක් වෙන්න පුළුවනි' කියා සිතෙන අයුරකි - මෙවන් ප්‍රතිඵළ පමණක් බහුලව ලැබෙන බව දුටු කල, ඒ එතරම් විස්මිත නොවූ කව වෙනුවෙන් මා ගෙවූ මගේ ජීවිතයේ කොටස, හෙවත් කාලය ගැන මට කම්පාවක් ඇති වේ. සිතා හෝ නොසිතා හෝ, අවිඥ්ඥාණික ව හෝ, මා සමඟ පොත් කියවන බොහෝ මිතුරන් (අයෙක් දෙන්නෙක් ඇර) කවියෙන් ඈත් වී සිටින්නේ ඒ නිස යැයි සිතමි. මෙහෙව් වට පිටාවක දී කලින් කල ඇත්තට ම රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් හමු වීම කවියට ගත කරන ප්‍රතිලාභ උපරිමයෙන් ම ලැබීමක් නිසා ඉන් ලැබෙන සතුට සැලකිය යුතු තරම් ය. පසු ගිය අවුරුදු කිහිපයේ මෙවන් අවස්ථා උදා වූයේ නම් ඒ අල්ප සංඛ්‍යාවක්ම ය. මෙසේ මට කාව්‍ය රස වින්දනය බොහෝ සේ ගෙන ආ සංග්‍රහය,  2022 පළ වූ හොඳම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ගොඩගේ සම්මානය, ලක්ෂාන්ත අතුකෝරාල සමඟ සම සම්මානයක් ලෙස බෙදා ගත් වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' ය.  2023 වසරේ මාධ්‍ය සාහිත්‍ය සිරස් තල වල කියැවුනේ, ලක්ෂාන්ත අතුකෝරාල ගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' අප රට ප්‍රධාන කාව්‍ය සම්මාන හතර ම ජය ගත් බවකි. ලක්ෂාන්ත ගේ දක්ෂතා අප දන්නා හෙයින් එම සංග්‍රහය ගැන බලාපොරොත්තු තබා ගෙන එය කියවීම අන් දවසකට කල් දමා, මා කියවීමට තෝරා ගත්තේ 'මල් සුවඳැති හිසරදයක්' ය. කුමන කාව්‍ය සංග්‍රහය සියළු සම්මාන දිනූ ලක්ෂාන්ත ගේ කවියට සම වීද ? ඇරත්, ගොඩගේ හැර අන් කිසිදු සම්මනායකට නිර්දේශ වීමට හෝ සමත් නොවූ ? මා මේ කවි ටික බලන්නට පටන්ගත්තේ තරමක සැකයකිනි. එනමුදු, පළමු කවි පංතියේ සිටම එම සැකය කෙමෙන් දුරු වෙමින්, මෙය සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ම බව මට පසක් විය.

මේ සංග්‍රහයේ මට හමු වූ ම වඩාත් විඳි කවි පංතිය 'පද්‍යපානී පොකුණ පාමුල පිපාසිතයෝ' ය.

"එසේ නොකියව...
කිසිවෙකුත් බීව ද, නොබීව ද
එම පොකුණු ජලයෙහි රැඳී ඇති
මහරු අරුමය නිම නොවේ
පවත්නා රස හිඟ නොවේ...
අමිල බව වියැකී නොයේ..."

මේ කිසිවකු දන්නා තරමින් නොබීපූ අමෘතය වෙනුවෙන් කොන්දේසි නොමැතිව පෙනී සිටීම, පමණක් නොව, බ්/බැතියෙන් පෙළ ගැසීම, කාල ගෝට්ටී ඇති කරගැනීමට ද බොහෝ පසුබට නොවෙත්. කවියා මේ පිපාසිතයෝ, සහ අන්ධව ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ගැන අපූරු කවක් ගොතා ඇත.

ඊට නොදෙවෙනි අපූරු ම කවි පංතියකි, 'හැඟීමක් ලෙස උපදිනා සංසාරමය බාධකය', කවි පංතිය. පති වියෝවෙන් කලකට පසුව, යොවුන් හදකට නොසිතූ, සහ විටෙක නොපැතූ අයුරින් නැවත ආකර්ශනයක් ළඟ නතර විය හැක. එහෙත් සංස්කෘතියක් යදම් ඊට ඉඩ දේවි ද ?

"පුරුදු ලෙස මාස අගක
 ඔහු මාපියන් දෙදෙන
 පැටවු සනසනු පිණිස පැමිණිය ද
 ගේට්ටුව නොවැසෙනා ගැටලුවෙහි තතු විත්ති
 උන් වෙතින් සැඟවීමි

 ඒ අතර අ'ගල් තුඩ
 නොනැවතී ලියලමින්
 ගේට්ටුව වළක්නා පිණිස වැඩෙනා වගක්
 සීත රෑ සිහිනෙන් ද
 දවාලේ සැබවින් ද දැකගතිමි"

 විටෙක ජීවිතයේ එක් අයෙකුට වටිනා ම මතක සටහන්,  කාලය ගෙනෙනා වෙනස්කම් මධ්‍යයේ වුව ගලේ කෙටුවා සේ මතකයේ ම නැවත නැවත රැව් පිළිරැව් දෙයි. "අතීතයෙන් ආ කවියක්", එවැනි අවස්ථාවක් සිහි ගන්වන්නකි. 

"අවුරුදු බොහෝ ගෙවී
ඔබ නිසා මුල් වරට මගේ හිත ගැස්සුණ
පත්තර කඩය තිබූ තැන පුංචි බස්නැවතුම
තල්ලු කරගෙන ගිහින් දුරකට
තිබෙන්නේ දැන් එය
සුපිරි පොළ දොරටුව අසල"

"වෙනස් දෙන්නෙක් එකෙක් වේවි ද?",  "ප්‍රේමයේ කමටහන් නොලද්දී", "චමත්කා", "මිදුල ඇමදීම", "සොඳයි දැඩි කළැ නිසා අප උන්", "පහන් දැල්වූ ගනඳුර", ආදී තවත් සාර්ථක කවි පංති රැසකින් මෙම සංග්‍රහය පොහොසත්‍ ය. කවියා කවි මාතෘකා තෝරගෙන ඇත්තේ පාඨක සිත කෙනිත්තීමට සමත් අයුරින් සහ එම කෙනිත්තීමේ විඳීම විනාඩි කිහිපයක් ම පවතින ආකාරයෙනි - මාතෘකාවෙන් එතරම පොහොසත් නොවූ කවි තැන් කිහිපයක වුවද, ඒවාද හොඳින් නිමවුණු කවිම ය.

සිංහල කවිය ගැන වද වෙන්නෝ, අනිවාර්‍යයෙන් කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****1/2




No comments:

Post a Comment