කතුවරයා මීට පෙර තම කෙටිකතා සංග්‍රහයන් සඳහා කිහිප අවස්ථාවක සම්මාන සඳහා නිර්දේශ වී තිබුනද, අපට ඒවා කියවීම මගහැරිනි. ඒ අනුව මේ කතුවරයා ගේ අප කියවූ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මෙය විය.
සමස්තයක් ලෙස, අපට නිතර සිංහල සාහිත්‍යයේ හමුනොවෙනා ලිවීම් ශෛලියක් මෙහි කතුවරයා භාවිත කොට ඇත. මෙහි ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැකි 'වෙස්ටර්න්' හෙවත් 'අප්පච්චි' පාඨක අපට හමු වන්නේ, ඔහු අන් පාර්ශවයක් මගින් පළ කල අදහස් කිහිපයක් තුලින් පමණකි. පාඨක අපට ඔහුව කිසිම විටක ඍජුව මුණ නොගැසේ. මට හැඟෙනා පරිද්දෙන් නම්, මේ ආඛ්‍යාන විදික්‍රමය මේ කෘතියේ ද්විත්ව නිර්දේශයනට ප්‍රධාන හේතුව විය යුතුය. එහි සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් නැත්තේ නොවේ.වෙස්ටර්න් හෙවත් අප්පච්චි තමනට රිසි ලෙස අන් අය පාවිච්චි කිරීම, බලපෑම් කිරීම්, තර්ජනය, සහ හිංසනය පාවිච්චි කිරීම මගින්, තම පවුලේ උදවිය, සහ ඔහුට ආදරය කල අන් අය ට ගෙන ආ මානසික සහ භෞතික විඳවීම, සමාජයේ ජීවත් වන එක්තරා චරිත කොට්ඨාශයක ස්වභාවයකි. එනමුදු, ඔවුනගේ දක්ෂතාවන්, සහ ආදරය කරනා කල ආදරයද, ඒවා අත්දුටු අය ට කිසිදා අමතක නොවේ. මේ අපූරු වූත්, සුවිශේෂි වූත් චරිත ලක්ෂණ රැගත්, නවකතාව පුරා ම පාඨකයා ඉදිරියට නොපැමිණෙන ප්‍රධාන චරිතය මේ නවකතාවට කුහුලක්, ත්‍රාසයක්, සහ ඒ ඔස්සේ රසයක් ද ගෙන එයි. නවකතාවේ සාර්ථක පාර්ශවයට ප්‍රධානතම බලපෑම මේ චරිතයෙනි.
එනමුදු පිටු 364ක් ඇදෙනා මෙම නවකතාව පුරාවට කතුවරයා ත්‍රාසය විහිදුවන්න ට උත්සාහ දරයි. එක්තරා අවස්ථාවකින් පසුව මෙම දිගු කිරීම පාඨකයා වෙහෙසට පත් කරවයි. කතුවරයා ට මෙහි එන පාත්‍රවර්ගයාට මුහුණ දීමට සිදු වූ සියල්ල ම කිමට ඇවැසි නම්, විටෙක කියවෙන අමතර විස්තර අඩු කර තව පිටු 60-70කින් පමණ සංක්ෂිප්ත කරලීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. සමන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම විස්තර කරලීම දිගුවට තිබුන ද ඉන් වෙසෙස් කර්තව්‍යයක් නවකතාවට සිදු නොවේ. මෙහි එන අවශේෂ චරිත කෙරෙහි මට එතරම් අප්‍රසාදයක් නැතත්, සමහර තැනක ඔවුන් ගැන විස්තර ද පමණට වැඩි යැයි සිතේ. වීරසේකර චරිතය එවැන්නකි. ඔහු උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන, තමනට ලැබුණු බිරිඳ වෙනුවෙන් බොහෝ දේ ඉවසන, තරුණ පරම්පරාවේ හැසිරීම් ඉවසනා සුළු අයෙකි. මෙය එක් අවස්ථාවක් පමණක් ආශ්‍රයෙන් විස්තර වූවා නම් සෑහේ. ඔහුගේ ඉවසීම ට නිදර්ශන දැක්වෙන අවස්තාම දුසිම් භාගයක් පමණ ඇත. මේවා අවශ්‍ය ද ? අනෙක අතුරු කතා ආදිය ය.
කාන්තාවන් භාවිත කොටෙ කෙරෙන විවිධ ව්‍යාපර ගැන ඉඟි බොහෝය. ඉන් සමාජයේ සිදුවන දේ ගැන යම් කියවිමක් තිබුනද සමස්ත නවාකතාවට සිදුවන සෙත කිම ?
දීර්ඝ නවකතා සහ වර්තමාන භාවිතය ගැන නිදසුනකට හැරෙමි. මේ දවස් වල මම නැවත මෝබිඩික් (Moby Dick) ශ්‍රවණ පුස්තකයක් මගින් කියවීමට යත්න දරමි. මේ මගේ තුන්වෙනි උත්සාහයයි - ඉන් පළමුවැන්නේ දි පොතේ 65% සීමාව පසු කලා මතකය. එහෙත් එය ඉන් පසු කියවීම මගහැරිණි. එනමුදු එය ලියවූ යුගයට සාපෙක්ෂව එවන් දිගු නවකතාවක් වෙනුවෙන් සමාජයට වෙලාව තිබුනා පමණක් නොව, පාඨකයන් එය ඇත්තටම එය ආශාවෙන් පිළිගත්තා ද විය හැක (එය 1851 වසරේ පළ වූවකි). මෝබි ඩික් හි අතුරු කතා එමටය. සිවර් ටිප්ස් හි අතුරු කතා වලට වඩා නවකතාවට එතරම් අදාළත්වයක් නැති කොටස් නැවත නැවත විස්තර වෙයි. එක්තරා මට්ටමකින් පසුව මෙය පාඨක ඉවසීම අභියෝගයට ලක් කරයි. අප සමඟ මේ පොත කියවීම ආරම්භ කල අප මිතුරියක් පොත කියවා අවසන් කලේ යම් උදහසකිනි. මට වුව පොත ගැන පූර්ණ ප්‍රසන්න හැඟීමක් නැත. එහෙත් පෙර කී අපේ මිතුරිය පවසන්නේ මෑතක ප්‍රකාශ වූ පිටු දහකට වැඩි නවකතාව එසේ කියවීමට අපහසු කෘතියක් නොවෙන බවයි. එනම් සෑම පරිච්ඡේදයේදී ම ලේඛිකාවට අලුත් දෙයක් කීමට ඇති බවකි. එපමණ ම දිගු නොවුනත්, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වනි දීර්ඝ කෘතියක වුව පිටුවක් හෝ අඩු වනවාට මා නම් අකමැතිය. එහෙත් මෙය සැම නවකතාවකට ඔබින්නක් නොවේ. වෙසෙසින් ගුණදාස අමරසේකර ගේ පසුකාලීන නවකතා සියල්ලයෙහි ම පාහේ අඩු පිටු ගණනකින් පාඨකයාට අඩුවක් නොදැනෙන්න සම්පූර්ණ නවකතාවක් ඉදිරිපත් කෙරී ඇත.
මා නම් සිතන්නේ, අප අද යුගයට උචිත ලෙස ලියද්දි, සුදුසු සංස්කරණයක් භාවිතයට අප කතුවරුන් පුරුදු විය යුතු බවය. 2023 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ තැතේ මේ දෙවෙනි කෘතියයි. මෙය යම් සංස්කරණයකට ලක් වන්නට තිබිණි. මීට පෙර කිය වූ එරික් ඉලයප්පාරච්චිගේ තිවංක කතාව විශාල වශයෙන් සංස්කරණයට ලක්වීමට උචිත කෘතියකි.
අවසන් වශයෙන් කිව හැක්කේ, කතුවරයා සිංහල පාඨකයන්ට නැවුම් ආරක ප්‍රධාන චරිතයක් හඳුන්වා දුන් නවකතාවක්, සමඟ කුහුල, ත්‍රාසය, රැගත් ආඛ්‍යානයක් ගෙන එන්නට කතුවරයා සමත් වුවද, ඔහුගේ පරීශ්‍රමයේ උපරීම පළ නෙලා ගැනීමට හැකි වූවාද යන්න නැවත විමසීමට ලක් කල යුතු නවකතාවක් ලෙස මෙම කෘතිය මා දකින බවකි.
ශ්‍රේණිය: ***
No comments:
Post a Comment