Monday, 9 October 2023

මුහමාලේ සුළඟ: ෂර්මිලා විනෝදිනිගේ කෙටිකතා (පරි: ජී. ජී. සරත් ආනන්ද)

 මෙම කෘතිය ගැන මට මුලින්ම අසන්නට ලැබුනේ මෙවර සම්මාන නිර්දේශ අතරින් ය. පිටපතක් මිලට ගෙන වරින් වර කෙටිකතා කියවීමී - ඒ හදිසියෙකින් තොරව, කාලය ලැබෙන පරිද්දෙනි. එසේ කිය වූ කෙටිකතා දහය ගැන, අපගේ සරල වැටහීම අනුව, මෙසේ කියමි;

ගිහින් එන්නම්:  මෙම නවකතාව, අනාගතවාදී ආස්ථානයක සිට ලියැවුන්නකි. එනම් නුදුරු අනාගත දිනෙක, සිහිබුද්ධියෙන් යුතුව තම දිවිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ අයිතිය හිමි වනු ඇතැයි සිතීම සාධරණය. මෙහි එන අන්නම්මා තම දිවියේ සැඳෑ සමය විදෙස් රටක වෙසෙන තම පුතු සහ නුහුරු බසකින් දොඩන ලේලිය සමඟ ගතකරන්නීය. සිය ගම හා සැසඳීම, කිසිදා හුරු විය නොහැකි ආගන්තුක බව ආදිය මතු කරමින් කෙටිකතාව ඇදී යන්නේ, තරමක අධිවේගයකින් මෙනි - එම වේගය මදක් අඩාල වූව නම් මැනවි යැයි සිතිනි. එහෙත් ජීවත් වීමේ ආශාව සන්තෘප්ත වීම යන සංකල්පයේ මිහිරක් කෙටිකතාව තුලින් ගම්‍ය කිරීමට කතුවරිය සමත් ව තිබේ.

මල් අහිමි වූ මල් කලඹ: සාම්ප්‍රදායිකව පිරිමියා අසාධාරණ ලෙස බලය ද, මූලිකත්වය ද හිමි වූ සමාජයක, කාන්තාව මහත් පීඩනයට ලක් වේ. එවන් පිරිමියෙකි සිවඥානත්තාර්. ඔහුගේ එම අසාධාරණ අධිකාරිය ජීවිත රැසකට අභාග්‍යයක් ම ගෙනදෙන ආකාරයත්, ඔහුගේ දිවියේ අවසන් භාගය පසුතැවීම් වලින් පිරුණු එකක් වීමත් පෙන්වා දෙන්නේ, අධික රශ්මියක් ගෙන දෙන තාරපාරක සිදූ වූ සිද්ධීන් කිහිපයක්, චිත්‍රපටියක ආකාරයෙන් වචනයට නගිමිනි. තැනින් තැන ඔබ්බවා ඇති කියුම්, කතාවේ සංස්කෘතික පදනම ශක්තිමත් කරයි. 'ඇස් අන්ධ වූ පසු සූර්ය නමස්කාරයට යෑම', එවවැන්නකි.

ළතැවිල්ල: 'තමන් නැළවූ දෑත්' ගැන සාධාරණ සෙනෙහසකින් ලියූ මෙය, කෙටිකතාවකට එහා ගිය, ජීවිතය දෙස, එම පරපුර වෙත, ඔවුන් අද ද තරුණ පරපුරට ගෙනෙන සෙනෙහස ගැන දයාද්‍ර බැල්මකි.

ලොකු අත්තාගේ කොන්ද: තම ජනතාව තමන්
කරනා කාර්‍යය හමුවේ අනලස් බව ද, කඩිසර කම ඔවුන්ගේ ජීවන ක්‍රමයේ කොටසක් බවත්, පෙන්නුම් කරමින් ලියැවුණු කෙටිකතාවකි. කලෙක තමන්ගේ ම ඉඩම් වල, කුලියට වැඩ කිරීමට සිදු වුවද, කොන්ද කෙලින් තියං හරි දේ ම කරනු මිස, ලාභ ප්‍රයෝජන තකා කෙටි මාර්ග භාවිතා නොකරන බවකි ඉන් කියවෙන්නේ. මෙහි දකුණට සියුම් පණිවුඩයක් ඇත්තේ, දකුණේ බොහෝ අය ඉක්මන් සල්ලියට, කෙටි මාර්ග භාවිත කිරීමට රුසියන් වන නිසාය.

අහඹු ලෙස මුලින් කියවූවේ ඉහතින් සඳහන් කෙටිකතා හතරෙන් මුල් තුනයි.  එහි යුද්ධයෙන් ඔවුන් විඳි පීඩාව ගැන විස්තර අවමය. එහෙත් ඉතිරි කෙටිකතා බොහෝමයක ම දකුණේ හමුදා සහ කොටි ත්‍රස්තවාදීන් අතර තිබූ යුද්ධය නිසා ඔවුන් විඳි ගැහැට, වෙන්වීම්, අතුරුදන් වීම්, ගුවන් ප්‍රහාර - කාල තුවක්කු නිසා සිදු වූ මියයාම් ආදිය ගැන විස්තර එමටය. කතුවරිය තමන් හා තමන් ගෙ සහෝදර ජනතාව විඳි අනේක පීඩාවන්ගෙන් පිරි ජීවිත ගැන කියනු මිස, එහි සුල මුල, හෝ එහි දේශපාලන විග්‍රහයන් ගැන හෝ වද නොවේ. කිමද සාමාන්‍ය ජනතාවට ඉන් ඇති පළක් නැති නිසාය. පරම්පරා කිහිපයක් සතුටින්, තම ඉඩකඩම් වල මහන්සි වී වගා කියා කොට, එම බිමට ම ආවේණික ජිවන රටාවකට පුරුදු පුහුණු වූ ඔවුනට, මෙම යුද්ධය නිසා තම ළබැඳියන් නැති වීමය ඔවුන්ගේ පසුතැවිල්ල. 2009 දී කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම ගැන  පූර්ණ කැමත්තක් ඇති අයෙක් මුත්, මෙම ජනතාව විඳි අපමණ දුක් ගැන සංවේදී නොවී වීමට නොහැක. ඒ අර්ථයෙන් විශේෂයෙන් මේ පොත දකුණේ ජනතාව කියවිය යුතුම කෘතියක් ලෙස දකිමි. අප දකුණෙ ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක් වීම වැලැක්වීමත්, වෙනමම රාජ්‍යයක් සටන් කොට දිනා ගැනීම පරාජයත් යන දෙඅර්ථයෙන් රාජ්‍ය හමුදා යුධ වැදිණි. මෙම කෙටිකතා තුලින් සම්පූර්ණ ව වාගේ සඳහන් වන්නේ, රජයේ හමුදාවන් ගේ ප්‍රහාරයන් නිසා ඔවුන් විඳි අපමන දුක් ගැහැට ගැනය. තැනෙක දෙකක, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යැයි සිතිය හැකි අය චරිත ලෙස හමු වුවද ඔවුන් උතුරේ ජනතාවට යම් පිහිටක් වූ බවක් පමණක් ම කියවේ. දකුණේ වැසියෙකු ලෙස, මෙම යුද පරීශ්‍රමයට, ශ්‍රමිකව කිසිදු දායකත්වයක් නොදරා එහි ප්‍රතිලාභ (එනම් ඉන් පසු ඇති වූ ආරක්ෂාව)  විඳින්නෙකු ලෙස, මේ දේ මෙහෙම වෙන්න තිබ්බාය, මෙලෙස යුද වදින්නට තිබුනාය, සාමාන්‍ය ජනතාවගේ ආරාක්ෂාව ගැන මීට වඩා සුපරික්ෂාකාරී වන්නට තිබුනාය ආදී කතා කීමට මා යත්න දරන්නේ නැත.  ඒ කෙසේ වෙතත් වෙසෙසින් ජේ.ආර්. ජයවර්ධන යුගයේ '83 කෝළහාලය, මුල් කාලයේ රජයේ හමුදාවන් මගින් සිදු වූ සමහර සිදුවීම්, ක්‍රමක්‍රමයෙන් 2000 පසු දශකය වන විට බොහෝ තරමින් අඩු වන්නට ඇතැයි සිතමි. ඒ ජාත්‍යන්තරව වුව සිතීමේ රටාවන්, අයිතීන් පිළිබඳ අදහස් ක්‍රමිකව දියුණු ව තිබූ බැවිනි ( එය ස්වභාවික ප්‍රවණතාවකි -19 සියවසේ ඉංග්‍රීසීන් ගම් දනවු පිටින් වනසපු ආකාරයට 20 වන සියවසේ අග වද්දී කරන්නට නොහැක. ) මා නම් සිතන්නේ, 2009 දී එම යුද්ධය අවසන් නොවී තව වසර 3-4ක් ඇදුනා නම්, එය කිසි දා යුද්ධයකින් ලෙස අවසන් වන්නට ඉඩ නොතිබෙන්නට ඇත කියාය  - නැතිනම් ඔවුන්ගේ අභිලාෂයන් වඩා පහසුවෙන් දේශපාලනිකව ලබා ගනු ඇතිය කියාය. කෙසේ හෝ මෙපමණ ජනතාවක් සිටි ප්‍රදේශ වල දෙපිරිසක් අතර යුද්ධයක් ඇතිවෙද්දී සාමාන්‍ය ජනතාවට හානි සිදු නොවුනැයි කිව නොහැක. හානි අවම වීමක් පමණකි බලාපොරොත්තු විය හැක්කේ. එහෙත් මේ සිදු වූ අවම හානි හෝ ( අවම මට්ටමකට සිදු වුනා යැයි උපකල්පනය කරමු), නිසා එම ජනතාව ට තම ආදරැතියන් අහිමිවීම, අනේක දුක් ගැහැට විඳීමට සිදු වීම ආදිය ගැන කියවීම අප කල යුත්තේ, ඔවුන් ගෙවූ අසීමිත මිල ගැන තේරුම් ගැනීමටය ( අයෙකු අප මිලක් ගෙව්වේ නැද්ද යැයි ඇසිය හැක - අනිවාරයෙයෙන් ම ගෙව්වෝය - එහෙත් ඔවුන් අප මෙන් කීප ගුණයක මිලක් ගෙවූ බවකි, මගේ නම් අවංක විශ්වාසය ). ඒ අර්ථයෙනි මට මේ කෙටිකතා ඉතා වටින්නේය. මා මෙපමණ විස්තරයක් ලියා මෙතැනට පැමිණියේ, මෙවන් සංවේදී මාතෘකාවක් ගැන සුපරික්ෂාකාරී ලෙස වචන භාවිතා කරමින්, ඇයි අප මේ කෙටිකතා සංග්‍රහය කියවිය යුත්තේ යන තැන ඒත්තු ගැන්වීමටය. කිමද එලෙසය අප එවන් අවස්ථාවන් නැවත ඇතිවීම වලක්වා ගත හැක්කේ.

ඉතිරි කෙටිකතා වලට යොමු වෙමි:

මේ කෙටිකතා වලින් සමහරක යම් කොටස් හෝ තම පෞද්ගලික අත්දැකීම් හා සබැඳි යැයි සිතමි.

"මා ලියූ කෙටිකතා ඇතුළත් කොපි පොත් දෙකක් ඒ ඒ අවස්ථාවල කියවා ප්‍රවේශමින් තබා ගෙන සිටියෙමි. පසු කලෙක කාල තුවක්කු විසින් නංගීවත්, ඉලක්කියාවත් බිලි ගත් පසු ඇති වූ කෝපාකාර මනෝභාවය හා අප්‍රසාදජනක භාවය නිසා ඒ සියල්ල ඉරා වීසි කළෙමි. එහෙත් ඒවායින් ඇතැම් කතා හා පසුබිම් වූ දර්ශන මගේ මතකය තුළ රැඳී තිබෙන්නේ අමු ගසකට කා වැදුණු ඇණයක් මෙනි. ඉලක්කියා නම් වූ දැරිය මෙන්... මගේ නැගණිය මෙන්..." (115 පිටුව)

මෙම උපුටනය රැගත් දිය බුබුළ කෙටිකතාවේ දෙවෙනි කොටස වෙද්දී, තව දුරටත් එහි කථක ජීවතුන් අතර ඇත්තේ ද යන්න ගැටළුවකි. මැයි 19 වන දිනක සැමරුමක් සුසාන භූමියක සිදු වන වටපිටාවකි, එය. කතුවරිය පණිවුඩය ගෙන ඒමට භාවිත කල අපුරු පෙරළුමකි එය.

* පා සළඹ කෙටිකතාව ද , ඇගේ හොඳම මිතුරිය කෆීර් යානයක ප්‍රහාරයෙන් තමන්ගේ නිවස අබියස වූ බංකර් කට ගාවදී මිය යයි. ඇය ට එම ශෝකයෙන් මිදීමේ මගක් නොමැතිව මානසික ව්‍යාදියකට ගොදුරු වේ
* තම පුතු සහ ලේලියගේ ඇවෑමෙන් තම මුණුබුරන් දෙපළ බලා කියගෙන ජීවත් වෙද්දී ය, කන්දයියා ශෙල් වෙඩි ප්‍රහාරයක් හමුවේ තම නිවෙස් අතැර යන්නේ. ඔවුන් එසේ පළා යද්දී, කන්දයියා ට තවත් මේ ගැහට පීඩනය විඳ දරාගත නොහැකි වේ. මිනිසෙකු ලෙස හරි හැටි මිහිදන් වීමක්වත් නැති ඒ මියයාම් මධ්‍යයෙ කන්දයියා තම මුණුබුරා අමතමින්, "ඔයා යන්න රාසා" යැයි කියමින් කෙඳිරිලි නගයි.
* වෙණ්ණිලා ගේ මව සංවිධනේ ට සබැඳි යැයි සිතිය හැක. වෙන්නිලා වෙන ම රජය පාලන ප්‍රදේශයේ ජීවත් වන්නීය. ඇය එම ප්‍රදේශ වල ආරක්ෂාව අඩු වෙද්දී වෙන්නිලා බෝට්ටුවකින් පැන යන්නේ සිය මව වසනා ප්‍රදේශයටය. ඇගේ බලාපොරොත්තුව රාත්‍රියට පෙර අම්මා හා හිඳීමය. එම බලාපොරොත්තුව ඒ අයුරින්ම සිදුවීද ?

පශ්චාත් යුද සමයේ කෙටිකතා දෙකක් ද අපට මෙහි හමු වේ. ඉන් පළමුවැන්න අතුරුදන් වූ සරසවි ශිෂ්‍යයෙකු පිළිබඳවයි. තම දරුවෙකු නැති වූ මවකගෙන් සමාවක් නොලැබෙන බව පැහැදිලිය.

"ඒත් මම දැන් මෙහෙට ආවේ මේව සේරම කියලා පැමිණිල්ලක් දාන්න නෙවෙයි. මෙයාලා මේ හැමදේ ම කරන්නෙ ඇස් පිහදාගෙන නේ. හොරාගෙ අම්මාගෙන් පේන අහනව වගේ වැඩ තමයි මේ සේරම..." (94 පිටුව)

අනෙක් කෙටිකතාව උතුර හා දකුණ අතර සබඳතා ගැන, වඩා බලාපොරොත්තු තබා ගත හැකි ආරේ කෙටිකතාවකි. උතුරේ තරුණ වැන්දඹුවක යළි ජීවත් වීමේ බලාපොරොත්තුවක් දකිනුයේ තමන් හා තම පුතු භාරගැනීමට කම්ති දකුණේ තරුණයෙකුගෙනි.

ඉදින් මෙම කෙටිකතා සංග්‍රහය ගැන මගේ අදහස් ඉහත පරිද්දෙනි. අන් අවස්ථා වලදී තරමට ම මම කෙටිකතාවේ ආකෘතියන් ගැන සිතනවාට විනෝදනීට කීමට ඇති දේ ගැන තැකූ බව පැහැදිලිය. එසේ කීවද, බොහෝ විට වර්තමානය හා අතීතය අතර දෝලනය වන කෙටිකතා කතුවරිය ට රිසි පරිදි සුනම්‍යව භාවිත කොට තිබේ.

නැවතත්, සාහිත්‍ය වින්දනය ඉක්මවා යන හේතුන් නිසා කියවිය යුතු කෙටිකතා සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****
ප්‍රකාශය: සරසවි (2022)





No comments:

Post a Comment