1980 වසරේ රාජ්‍ය සම්මානලාභී කෙටිකතා සංග්‍රහය දිනා ගත් මදුරසිංහ ගුණතිලකගේ 'තාප පටලය සහ වෙනත් කෙටි කතා' කෘතිය කියවූවෙමි. විචිත්‍රත්වයෙන් යුත් මැයන් පදනම් කොට ගෙන ලියැවී ඇති මෙහි එන කෙටිකතා දහයේ රස විඳිය හැකි අවස්ථාවන් බොහෝය. යම් දුර්වලතා යැයි හැඟෙන අවස්ථා ඇතත්, ලේඛකයා ගේ කතා ගෙතීමේ හැකියාවත්, භාවිත භාෂාව පමණක් නොව, ඔහු ගේ නිර්මාණය තුල පවතින ගම්‍යතාවක් වන් යමක් හේතුවෙන්, එම දුර්වලතා පාඨකයාගේ කියවීමෙ රුචිය සහ වින්දනය පෙළන්නේ නැත.
මා මෙහි වඩාත් සාර්ථක කෙටිකතාවක් ලෙස නිවුණු තේ කෝප්පය දකිමි. අප රට ඉතා සුලභ ලෙස, විවාහයෙන් දරු මල්ලන් ලැබීමෙන් පසුව අඹු සැමි ඇසුරේ ගුණාත්මක බව, සහ සුලභ බව, ආදිය ඉතා ඉක්මනින් නැතිවීම යන කාරණාව මුල්කොට ගෙන ලියැවුන්නකි. කාන්තාව තුල පෙර තිබූ සුන්දරත්වය බොහෝ සෙයින් තිබුන ද, ඈ නිවුණු තේ කෝප්පයක් සේ, ළමුන් ගැන ම සිතීම, ආගමට දහමට ලැදිවීම ත්, පුරුෂයා නම්, තම පවුලේ උන්නතිය වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කිරීම ආදි හේතූන් නිසා මෙම තත්වය ඇති වන අයුරුත්, සමස්තයක් ලෙස විවාහයෙන් කෙටිකලකට පසුව වඩා නිවුණු ස්වරූපයක් සංස්කෘතියෙන් ම බලාපොරොත්තු වීමත් අප කතුවරයා දක්ෂ ලෙස තම කෙටිකතාවක් නතු කර ගනී.උරුම කරුමය සාර්ථක කෙටිකතාවක් වන්නේ, ඊට අප නොහිතන ලෙස එක්තරා සත්ව කොට්ඨාශයක දෙදෙනෙකුගේ පිළීසඳරක් මුල් වීමත්, ඔවුන් ගෙන් මිනිසුන් බලාපොරොත්තු වන කරදරකාරි හැසිරීමක යෙදෙමින් ම, එම පිළිසඳරේ යෙදීමත්, එම සතුන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ම ලියැවී තිබීමත් හේතුවෙනි. මෙම කෙටිකතා සංග්‍රහයේ මා දකිනා ප්‍රධානම දුර්වලතාව වන, දෙබස් තුලින් පමණක් ම කෙටිකතාව ගොඩ නැගී තිබීම මෙහි දක්නට ලැබේ. එවන් රචනයක් යම් ආකාරයෙන් නාට්‍ය දෙබසක ස්වරූපයක් අපට මතක් කර දෙයි.
කඳු වළල්ලෙන් එහා කෙටිකතාව ද මෙලෙස නාට්‍යමය ස්වරූපයක් අප ට හඟින්නේ, පෙර කී කෙටිකතාව සේ දෙදෙනෙකු අතර දෙබසින් ම මුළු කෙටිකතාව ම පෝෂණය වී තිබීම හේතුවෙනි. එහෙත් කතුවරයා දක්ෂ ලෙස දේශපාලන දර්ශනයක් භාවිත කිරීම හේතුවෙන් පාලක සහ පාලිත පැලැන්ති වල ස්වරූපය පෙන්වයි. එක්තරා අන්දමකට "ගෝඩො එනකං" නාට්‍යය මතකයට නැංවීමටත් මෙම කෙටිකතාව සමත් ය.
පෙර කී කෙටිකතාවන් දෙක දෙදෙනෙකු අතර දෙබසට සීමා වුව ද, මෙහි එන මැක්කෝ කෙටිකතාව, රැස්ව සිටින
කිහිප දෙනෙකු එතන නැති අයෙකුගේ ජීවිත කතාව, ඔවුන්ගේ දෙබස් තුලින් අන් අයට හෙළි කරයි. මේ අවස්ථාවේ ද කතුකරයා රසවත් කතාවක් ගෙතීමට සමත් වුවද, පාඨකයාට ඒ ඒ අවස්තාවේ කවුරුන් කතා කරන්නේ ද යන්න පවා අපැහැදිය. කතුවරයා ඉන් අඟවන්නේ මෙහි ඔවුන් කතාකරනා අසංග ගැන විස්තරයම වැදගත් වන අතර, ආකෘතිය එතරම් වැදගත් නැති බවකි. එහෙත් 1980 වන විට දී ද, සිංහල පාඨකයා ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම ආදි කතුවරුන්ගේ ඉහළම ගණයේ කෙටිකතා රස විඳි තිබි හෙයින්, ආකෘතිය ගැන මීට තරමක් වෙහෙසීමට අවකාශ තිබූ බවකි, අපගේ අදහස.
ප්‍රථිපල ලේඛනය ද රසවත් නිර්මාණයක් වන්නේ නොසිතූ ලෙස මෙහි එන උත්කර්ෂා නැමැත්තිය, ඇගේ වරදින්ම ඈ කෙරෙහි අදහස් ඇති කර්ග්ත් දුර්ග නම් වූ තරුණයා එම අදහසින් වෙනස් කරගැනීමට යොමු කර ඇති ආකාරයත්, ඈ එසේ කරනා බවක් ආකර්ශාට කිසිදු අවස්ථාවක නොසිටීමත් නිසාය.
මෙහි යම් තරමක් ඔවදනාත්මක කෙටිකතා ද තිබේ. ප්‍රධාන කෙටිකතාව වූ, තාප පටලය ද එවැන්නකි. තමන් කෙරෙහි වූ අධිමානයත්, අන් අය ගැන නොසිතීමත්, තමන් ට සමාජයේ යම් ස්ථානයක් තිබේ නම්, එය මොනයම් අයුරෙන් හෝ ආරක්ෂා කර ගැනීමේ අදිටනත් පෙන්නුම කරනා, තරමක ඔවදනාත්මක කෙටිකතාවකි.
කතුවරයා එවකට නව්‍ය යැයි සිතිය හැකි ලේඛන ආර සමඟ ද යම් නිර්මාණ පරීක්ෂණ සිදු කොට ඇත. නෘත්‍යාගාරය එවන් කෙටිකතාවකි. සැබෑ ලොවත්, නාට්‍යයත් අතර අපූරු සැසඳීමක් මගින්, අප සියළු දෙන එක්තරා අන්දමකින් සැබෑ ජීවිතයේ ද නළු නිලියන් බවත්, මුළු ලොව රඟමඬලක් ය යන අදහස මතුවෙනාකාරයෙනුත් ලියැවුන්නකි.
පටුතිරය, වැලිතලප, සහ රතු මැණික වැනි කෙටිකතා මෙහි එතරම් සාර්ථක ලෙස මතු නොවුනත්, ඒවායේද පාඨකයා ට යම් වින්දනයක් ගෙන හැකි, ඒ වන විට සිංහල පාඨකයට අලුත් යැයි සිතිය හැකි නිර්මාණ ආරක අවස්ථා දැකිය හැක.
විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රවේදී උපාධියට ද නිර්දිෂ්ට කෘතියක් වන මෙය, එදා මෙදා තුර අප රට ඉතා සාර්ථක කෙටිකතා රචකයින් රැසක් බිහි ව, කෙටිකතාව වඩා විචිත්‍රවත් ගොඩනැඟි ඇති මුත්, අදට ත පාඨකයා ට රස වින්දනයට ගෙන ඒමට සමත් කෙටිකතා එකතුවක් ලෙස නම් කල හැක. දැනටමත් සිංහල කෙටිකතා රසිකයන් බොහෝ දෙනෙක් සතු කෘතියක් යැයි සිතිය හැකි මෙය, එසේ මෙතෙක් මිලදී ගැනීමට නොහැකි වූ අය පවා මිලදි ගැනීමට සැලකිය යුත්තක් ලෙස දකිමි. මා සතුව ඇත්තේ 2016 ප්‍රකාශ වූ සවැනි මුද්‍රණය වුව, ඊට පසු මුද්‍රණයන් අද දවසේ ද ගොඩගේ හි තිබෙන බව සහතික විය හැක.
ශ්‍රේණිය: ****
ශානරය: කෙටිකතා
No comments:
Post a Comment