Thursday 21 September 2023

කළු උස මනුස්සයෙක් - ප්‍රින්ස් සේනාධීර

ප්‍රින්ස් සේනාධීර යන නම මගේ නෙත පැහැරගත්තේ පසුගිය වසරේ සම්මාන කිහිපයකට ම නිර්දේශ වූ නිසාය. ඔහුගේ "පුස්තකාල පූසා" ව, එහි නම නිසාම වරක් දෙකක් නෙත ගැටී තිබුනද, එය අතට ගෙන බැලීමට හෝ යොමු නොවූ බවත්, ඒ අර්ථයෙන් කුමන අඩුපාඩු මැද වුව, සාහිත්‍ය සම්මාන, අප වන් ලාංකිය කලා සමාජයේ කිසිවකු නොඅඳුනන, කුඩා කියවීම් සමාජයක් තුල පමණක් දැන ඇදුනුම්කම් පවත්වාගෙන යන, වෘත්තිය දිවියට දවසේ වැඩි වෙලාවක් ගත කිරීමට සිදුවන්නන් හට,  ඇසට පුරුදු කරගත් නමක් නැති අයෙකුගේ පොතක් අතට ගැනීමට පොළඹවන ප්‍රධාන සාධකය බවය, තිත්ත ඇත්ත! ඒ නිසාය, සම්මාන ජය කාට හිමි වුවද, අප රට ප්‍රධාන සම්මාන හතර හරහා කෙරෙන නිර්දේශයන් ම වැදගත් වන්නේ. මෙම කෘතිය එකම සම්මානයක් හෝ ජයග්‍රහණය නොකලද, සම්මාන හතරට ම නිර්දේශ වූ එකම කෙටිකතා සංග්‍රහය මෙය බව පිරීක්සන විට පෙනී යයි.   කළු උස මනුස්සයෙක් I සහ II යන කෙටිකතා කියවිමෙන් අනතුරුව, හදිසියෙන් කලේ ගොඩගේ එකට දිව ගොස් පුස්තකාල පූසා ව ගෙදර එන ඒමය. ඒ, එම කෙටිකතා දෙකෙන් ම, ප්‍රින්ස් ගේ කෙටිකතා කියවිය යුතුයි, යන හැඟීම මා තුල ස්ථාපිත වූ නිසාය. ඉතින් ඒ කෙටිකතා කෙසේද ?

කළු උස මනුස්සයෙක්, සහ කළු උස මනුස්සයෙක් II: මෑතක කිය වූ ඉතා ම රසවත් නිර්මාණ දෙකකි. සේතන්, ඔහු ට ජීවත් වීමට තිබූ සියළු බලාපොරොත්තු නැති වූ මැදිවිය ඉක්ම වූ පියෙකි. යුද්ධයේදී අතුරුදන් ව ගිය සිය පුතුගේ මෘත දේහය හෝ බලා ගැනීමට නොහැකි වූ සොව, ඔහු ජීවත් වන තෙක් ඔහු සිත පාරවයි. එලෙස ජීවත් වද්දී ය, නාඳුනන මල මිනියක් දිය නාන්නට ගිය විට ඇස ගැටෙන්නෙ. ඔහු ට තියෙන සැකය, මේ මිය ගිය මනුස්සයා ට කවුරුත් ම හෝ නැති ද යන්න ? සිය මිය ගිය පුතුගේ වයස පමණ වූ එම මිය ගිය තැනැත්තා ගේ නැති වීම මේ රටේ කාටවත් ම දැනෙන්නැ ද ? එම මෘත දේහය ආණ්ඩුව ගානේ, අවම වියදමකින් සහ ගරුසරුවකින් මිහිදන් කිරීම ද, මේ කාට හෝ නෑ කම් කී පුද්ගලයා ගේ දෛවය ? ඔහු ගේ පුතුගේ අතුරුදන් වීමෙන් පසු, මෙසේ අයිතිකාරයෙක් නැති මල මිනියක් යනු, සේතන් ට තේරුම් ගත නොහැකි දෙයකි. ඔහු වසර ගණනාවක් තම අතුරුදන් වු පුතු ගැන සොයා හති වැටී, බලාපොරොත්තු සුන්ව තම අවසන් කාලය ගෙවෙන්න ට ඉඩ හැර සිටින්නෙකි - නැතොත්, මැරෙන්න බැරි නිසා ජීවත් වන්නාක් සෙයකි. ඉදින් ඔහු කෙසේ ඔහුගේ දෛවයේ, අනෙක් පැත්ත තේරුම් ගන්න ද? නිර්මාණකරු, සේතන් ගේ මානසික ආතතිය, මේ විමතිය තේරුම් ගැනීමට නොහැකි ව, මෝචරියේ එම මල මිනිය වටේ කැරකැවීම, පොලිසියේ රස්තියාදු වීම මගින්, විශිෂ්ඨ ලෙස, තමන් ට උරුම වූ ඒ වටිනා වස්තුවක් නැති වීම, මෘත දේහයක් හෝ බලාගැනීමට නොහැකි වීමේ ජීවිතයේ පතුලේ ම ඇති බලාපොරොත්තු සුන් බව ගෙන හැර දක්වයි. මේ කෙටිකතාව සුවිශේෂි වන්නේ ඒ නිසාය.

අප්පුහාමි කුඩාවෙකු කල සිට කුඹුර ට, කමත ට, නියර ට පෙම් කල ඇත්තෙකි. සිය වැඩිමල් සොයුරු උසස් අධ්‍යපනයේ හිනි පෙත්තට යද්දි, "උපන් මෝඩයෙකු" ලෙස, සම්මත ආකාරයෙන් නම්, මගහැරී ගිය ජීවිතයක් වන අප්පුහාමි, පියඹකට මෙන් තම කුඹුර ට පෙම් කරයි. කතුවරයා මනස්කාන්ත ලෙස එම කුඹුරේ බලාපොරොත්තු, පියඹගේ හැඟුම් හා බලාපොරොත්තු තේරුම්ගත් ප්‍රියාදර පෙම්බරයකු ලෙස, අප්පුහාමිට වැටහෙන අයුරු, අප ඉදිරියේ මවා පායි. මෙම කෙටිකතාව එතරම් රසවත් වන්නේ ඒ නිසාය. අප්පුහාමි ට තම කුඹුර, පෙම්බරියක ලබා දෙන ජීවන රසය, ජීවිත බලාපොරොත්තුව, ලබා දෙන්නේ නම්, එම සංඥ්ඥා, එම පරිසරය හා බැඳි ගැඹුරු දැක්ම නොවැටහෙන අපි ට, ඔහු උපන් ගෙයි මෝඩයෙකු ලෙස තීරණයට ඇති අයිතිය කිම ? එසේ ජීවත් වූ අප්පුහාමි ට තම කුඹුර අහිමි වූ විට, ඔහු ට ජීවත් වීමට කුමන බලාපොරොත්තුවක් ඉතිරිකරාවි ද?

පෙම් සුව නොලබන්නියකු ට හෝ නොලබන්නෙකුට හෝ, තමන ට අහිමිව ගිය තාවකාලික පෙම් සුව ද බොහෝ සේ වටින්නේය. ඔවුන් ව ජීවත් කරවීමට එම මතකය  ම ප්‍රමාණවත් ය. චන්ද්‍රලතාටත් තිරස් දර්ශනයක් හි, තම වහලෙහි සිදුර අපූරු මතකයක් (සිරස් දර්ශන) රැගෙන එන අතර, වසර ගණනාවකට පසුව, අන් සතු වූ පසු ව හෝ, සිට පෙම්වතාගේ සිත් තුල පැරණි පෙමක මතකයක් ගෙන  ඒමට සමත් වීම (තිරස් දර්ශනය)  වුව ඇයට ප්‍රමාණවත් ය. මා වඩාත් රසවිඳි කෙටිකතාවකි.

පෙර කී ප්‍රේමයේ මතකය, එය කෙතෙරම් සුළු වුව කෙනෙකු නිරෝගී ව තැබීමට තරම් විය හැක. ලියුම් මාත්‍රාව නම් කෙටිකතාවේ එන රත්නපාල හා කල්‍යාණිගේ ප්‍රේමය ලියුම් ගණුදෙණු වලට සීමාවූවකි. එහෙත් ඔවුන්ගේ පුංචි ලෝක වලදී එම දිනකට වරක් විනාඩි කිහිපයක හමුව දෙදෙනාව ම ජීවත් කරවීමට පමණක් නොව, මැදිවියේ රෝග, වෙහෙස ට එරෙහිව මාත්‍රාවක් වන අයුරු ආකාරාය ඇත්තෙන්ම අපූරුය.

මෙහි එන වඩාත් දේශපාලනික (සාමාන්‍ය අර්ථයෙන්), අනෙක් සපත්තුව යි.දේශපාලන අධිකාරියේ පිම්බීම උදෙසා පෞද්ගලික බැඳීම් නොසලකා හැරීම අප වන් රට වල සාමාන්‍ය දෙයක් පමණක් නොව, බහුතරයක් ප්‍රශ්ණ කිරීමකින් තොරව බාර ගන්නා තත්තවයක් වීම, අප රට සාමාන්‍ය මිනිසුන්ට අභිමානයෙන් ජීවත් වීම දවසින් දවස පසුපසට යවනා තත්වයකි.

ඉහත කෙටිකතා පහ මෙහි එන සාර්ථකම කෙටිකතා හතර වේ. එම හතර පමණක් වුව මෙය විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයක් බවට පත්කිරීමට සමත්‍ ය. ඒ නිර්මාණ හතර තුලින් මිනිස් සිත, එහි බලාපොරොත්තු, ඒවා රහිත වූ විට ඔවුන්ගේ ජීවිත වල බිඳවැටීම්, බලාපොරොත්තුවම අයෙකු ජීවත්කරලීමට සමත් වන අයුරු පෙන්වා දෙන්නේ, ප්‍රින්ස් කෙතෙරම් අපූරුවට මිනිසෙකුගේ ගැහැනියෙකුගේ සියුම් හැඟීම් හඳුනන්නේ ද යන්න බවට සාක්ෂි දෙන අතරය.

මෙහි එන අසූනවයට පස්සේ කෙටිකතාව ලාංකිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහර ගුරුවරුන්, නවයොවුන් සිසුහුගේ සිතිම් රටාව තේරුම් නොගැනීම විදහා දක්වන ආරේ කෙටිකතාවකි. ඉන් දිගුවක් ලෙස අප රට විචාරවත් නොවන වැඩිහිටි සමාජයකට එවන් ගුරුවරුන් ද වගකිවයුතු බවක් ඇඟවේ.

මුදු මොළොක් කළුගල් කෙටිකතාව, කතාවක් ලෙස ඉතා රසවත් මුත්, බොහෝ සෙයින් භාවිතයට ගෙන ඇති, කුලපීඩනය, 89 භීෂණය ආදිය පදනම් කරගෙන ලියැවුන්නකි. එහි විලියම් මාමාගෙන් කියවෙන සමහර කියුම් හි එන දාර්ශනික පැතිකඩයන් කතාවේ රසවත් තැන් වැඩි කරයි.

මෙහි එන යම් තරමකින් හෝ සාමාන්‍ය ලෙස ගිණිය හැකි කෙටිතාව සී.සී.ටී.වි. යැයි සිතමි. මිතුරාගේ ප්‍රශ්ණය හා තම දරුවාගෙන් එන පීඩනය අතර දෝලනය වන ගුණපාල, අවසන තම මිතුරාට වෙන කල හැකි දෙයක් නැති බව තේරුම් ගෙන, නීතියේ සීමාවෙන් ඔබ්බට නැවත ක්‍රියාත්මක වන්නේ තමන්ට එරෙහිව එන සියළු දඬුවම් වලට මුහුණ දීමට තෝරාගනිමිනි.

ඉතින්, සිංහල කෙටිකතාව ට ආදරය කරන්නියක් නම්, කිසිදු පැකිලිමකින් තොරව, අනිවාර්‍යයෙන් ම කියවිය යුතු කෙටිකතා සංග්‍රහයක් බව පැවසිය හැකි කෘතියකි.

ශ්‍රේණිය: ****1/2
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම: 5
ප්‍රකාශනය: විදර්ශන


 

No comments:

Post a Comment