Friday 15 April 2016

යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති


2015 වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ටිම්රාන් කීර්ති කවියාගේ, "යන්නං චන්දරේ" කාව්‍ය සංග්‍රහය කියවුවෙමි (මා සතු දෙවෙනි  මුද්‍රණයේ පිටපත  "මිනිස් කවියක අපූරුව පෙන්වන ටිම්රාන් කීරිතිගේ කවිය" නම් වූ ලියනගේ අමරකීර්තිගේ ලිපියකින්ද සුපෝෂිතය.) මා සාමාන්‍යයෙන් කවියේ බස පිළිබඳ සංවේදී  රසිකයෙකි.  ටිමා  භාවිත කොට ඇත්තේ ඔහුගේ භාවයන් ගොණු කර ගැනීමට වඩාත් උචිත ම බස බව ඒ කවි කියවන විට පසක් වේ. මා ව ද විමතියට පත් කරමින්, බස පිළිබඳව ගැටළුවක් නොනැඟිණි. මට නම් හැඟුණේ මේ කාව්‍ය සංග්‍රහය, ටිමාගෙන් ජීවිතය යනු කුමක් දැයි විමසුව හොත්, ඔහු ඊට දෙන පිලිතුරක් ලෙසට ය. ඔහුගේ අව්‍යාජත්වය, ඔහුගේ කවිය නම් වූ කැඩපත හමුවේ, අන් සියල් හද තුල ගැබ් වැ ඇති භාෂාව පිළිබඳ හැඟීම්,  පක්ෂපාතකම්, දෙවෙනි ය. මා විශ්වාස කරනා අයුරින් නම්, සිංහල කවියට ඇලුම් කරන අය මේ කෘතිය මිල දී නොගෙන නොසිටිනු ඇත. ගැටළුව ඇත්තේ මෙහි පිටපතක් සොයා ගැනීමයි ( එරික් ඉලයප්ආරච්චිගේ තුන් ඈදතු නවකතා සහ සුසන්ත මහඋල්පතගේ මුල් කාලීන් කෙටි කථා සොයමින් ගොඩගේ පොත් හළ ට ගිය මට අහම්බෙන් එහි තිබූ මේ පොතේ එකම පිටපතක් ලැබුණි. )


කවි කිහිපයක් තෝරා ගෙන මේ කෘතිය ගැන කථා කරමි.

මෙහි එන "ගින්දර" නම් කවි පංතිය මා සිත් ගත්තකි. නිමිත්ත සෞඛ්‍ය ඇමතිගේ කියුමකි: "බීමත්කම නිසා රෝහල් ගත වූවන් රෝහලෙන් පිටව යන විට ප්‍රතිකාර සඳහා වූ වියදම් රජයට ගෙවිය යුතු යි". එහෙත් මේ කව ගයන්නේ ජීවන බරින්, දරිද්‍රතාවෙන්, පවුල් ප්‍රශ්ණ වලින් හෙම්බත් වුවකුගේ අඹුව විය යුතුය. ඔහු විඳින දුක ඉදිරියේ ඔහුගේ බීම ඈට වාව ගත හැක. ඈ ඔහු ට අනුකම්පා කරයි.

"අඳේ කෙරුවා කුඹුරක් එගොඩහ යාය
මදේ ඇන්න සුඹුලක් අපිලට පෑය
සඳේ හීල යට ඇඟ මස ගල් වේය
උදේ පටන් මගෙ දෙයියා බිව්වාය
......

පපුවක ඇදුංකන කැක්කුම් පුච්චන්ඩ
කාටද පුළුවන්නේ දිව ඔසුවක් දෙන්ඩ
කඹුරන්නං හතී කොන ඇඟ බදු බේරන්ඩ
මලත් කමක් නෑ මගේ දෙයියෝ බොන්ඩ"


 මේ පෙන්නුම් කර ඇති බොහෝ කව් පේළි වල මාත්‍ර දහ අටකින් යුක්ත වුවද, මට වැටහෙන පරිදි නම්, කොළඹ කවීන් භාවිත කලාක් මෙන් සමුද්‍ර ඝෝෂ විරිතෙන් බැහැර වූවකි. (මෙය කියවන, මට වැඩි දැනුම් තේරුම් ඇත්තෙක් හෝ ඇත්තියක් හෝ ඇත්නම් මා කියන දේ හි දොසක් ඇත්නම් නම් මා නිවැරදි කරත්වා ). ටිමා ට කුමාරගමගේ යම් ආභාෂයක් වෙසෙසින් ඇතැයි සිතමි. මේ කවි පංතියේ මීට වඩා දිගු පද පේළි වලින් ඇති කවි ද වෙති. 

කුමාරගමගේ ආභාෂය දැකිය හැකි අන් තැනක් ද වෙයි. කෘතියට ප්‍රස්ථාවනාවක් ලියන අමරකීර්තියන් ද ඒ බව සඳහන් කරයි. පෙට්ටිකඩේ මාර්තා කවි පංතියේ කුමාරගම ගේ හේරත් හාමිගේ මූලයන් හඳුනාගත හැකිය.

"තෙල් මද්ද ගහපු
නිස්සාර ශරීරෙක
අතුණුබහන් ඇද
පෝමලින් ගසා එකලස් කර
කඩමල්ලක් ගෙන අත් පිහදාගෙන
ප්‍රේමවන්තියගෙන් තෑගි ලෙසින් ලද
ආත්මීය නවකතා කියෙව්වා
ලැබුණු විරාමෙට

'මිනී කපන කොල්ලෙක් බැඳගෙන බෑ
අපේ ගෙදරිනුත් මට විසුම්ක් නෑ...'
සින්දු කියා තරු තෝරන තරගෙක
අවසන් සීයට තේරුණ ප්‍රේමිය
නික්ම ගියත් යළි එන්නෑ කියලා
ආයෙම ආ හැටි මැහිතෙල් බීලා"


කවියා වෙසෙන පළාත අනුව එම ගම් පළාතේ මුසල්මානු සහෝදර ජනතාව ද බොහේ වෙසෙත්. ඔවුහු අවම වශයෙන් තැන් තුනෙක කවියා තම කවියට වස්තු බීජ කරගනියි. ඉන් එක් කවි පංතියකි, නසුර්දීන්. ඔහු එහි නසුර්දීන්, කෙතෙරම් කවියාගේ ජීවන රටාවට  බද්ධ වී ද, තැන තැන හිස ඔසවන අන්තවාදයට විරුද්ධ ද යන්න,  සාර්ථකව පෙන්වීමට සමත් වී ඇත ( අමරකීර්ති, සුපුරුදු පරිදි තම දේශපාලනයට පක්ෂව ලකුණක් දමා ගැනීමට  මේ කවිය භාවිත කොට ඇත - ඒ කවියේ කියන දෙය ට තම අර්ථකතනයක්, විචාරයක් එක්කාසු කිරීමෙනී).

"කලා රස නුහුරු
මුස්ලිම් ඉස්කෝලෙ
සිංහලෙන් කොමඩි කළ
මගඩියක් දුර ගොස්
පාසලෙන් පැන ගියත්...
...

'රට පෙරට - අපි මහින්දට' කී
එකට සිටි ගමන් සගයින්
ගියත් ඉහළටම
උඹ විතරක් එකම තැන

දිග රැවුල්කාරයින්
අරක් ගත්
ලූර්දුවට නොවැද
සිංහල සැලුන් එකටම ගාල්වී
අලුත් කට් ඉල්ලපු
වනැන්ඩ් ඔන්ලි නසූර්දීන්...

.....

ලොකු පල්ලියෙ
ලොකු වැඩට පිටුපා
රාමලාන් සඳ යටම
පුංචි පල්ලිය මැව්ව
ඉන්ද්‍රජාලිකයාය උඹ

පුංචි පල්ලිය
බිමටම සමතලා කර
ජිහාඩ් කඩු අමෝරාගෙන
ලුහුබැඳපු දා....

....

ආයෙමත්
'කොලනියක'
දෙකෙළවර
අපි"

කවියාට නසුර්දීන් වීරයෙකි, ඉන්ද්‍රජාලිකයෙකි ; ඒ ඔහුත් නසුර්දීනුත් අතර පරතරය,  වෙනස මතු කිරීම වෙනුවට කාගෙවත් බලකිරීමකින් තොරව හැකි තරම් සමානකම් වෙනුවෙන් නසුර්දීන් පෙනී සිටි නිසා ය.  කවියේ අව්‍යාජ බව තියෙන්නේ මෙය නිරායාසයෙන් කවිය තුලින් දිගහැරෙන බැවිනි. අප රට ජන කොට්ටාශ අතර සමගියේ පදනම ඇත්තෙත්, මේ සාමාන්‍ය ජනයා නිතැතින් සමානකම් මතුකිරීමට යත්න දැරීම ඔස්සේය.. පොළොවේ මුල් බැස ඇති, සහෝදර ජනතාව අතර ඇති සියවස් ගණණක් ඔස්සේ තිබූ බැඳීම අව්‍යාජව මතු වෙයි. මගේ පෞද්ගලික හැඟීම නම් නසුර්දීන් ලා සහ, සිහළ අන්තවාදයක් මතුවන තැනෙක  කිසිදු පෙළඹවීමකින් තොරව ඊට එරෙහි වන අය, අප රට ප්‍රශ්ණ වවාගෙන කන, ජාතින් අතර වෙනස්කම් ම මතු කීරිමට යත්න දරණ, සමහර බුද්ධිමතුන් ට කවර දිනකවත් කල නොහැකි අන්දමේ සේවයක් කරනා බවකි.

මෙහි දිගුවක් ලෙස "තිප්පොළේ ශීඝ්‍ර දවසක්" කවි පංතිය ද දැක්විය හැකිය. ඉතා අව්‍යාජ ලෙස එහි සමගිය ඇත්තේ යටිපෙළේය.

"පාරුක්ගේ කොටුවෙන්
පැන්නුවෙ කුකුල් නාම්බව
අහුවුණා නම්
සුන්නත් කරනවා චුට්ටව!

හලාල් කරලා හම්සාත්
චිකන් කරි එක හැදුවා
සූරිය සිංහයා
ගල් බෝතලෙන් පැන්නා

කුරානය වගේ දිග කතාවක්
කියන්නට තිබුණත්
ධම්මපදයක් වගේ ඉක්මනට
රාත්‍රිය ගෙවුණා..."

මම කිසිදා ගමකට අයත් නුවූවෙක් වුව ද මා ද මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් ලබා ඇත. අප සමග පාසැල් ගිය, අප සමග ක්‍රිකට් ගැසූ හසන් ලා ම (ඒ නමින් ම ගත්තත් ) කීදෙනෙකු  මේ "කොඩිගහේ" අහුමුල්ලක අප හා "සෙට්" වී ඇද්ද ද ? අද ද ලංකාවට ගිය විගස "මචං ක්ලබ් හවුස් එකේ සෙට් වෙමුද " කියා උන් මූලිකත්වය ගන්නැද්ද ? ?ඔවුහු පොතක ට කොටු නොවී "සෙට්" වෙද්දි, අපි කෙතෙරෙම් පස්වැනි සිල්පදය "අමතක කරපු" අවස්ථා තිබේ ද?  ඉතින්, සමගිය ගැන බක පණ්ඩිත දෙසුම් අපට ඇවසි ද? සියවස් ගණණාවක් පුරා එකට විසූ සහෝදර ජනතාවකගේ , තරුණයන්ගේ හද බැඳීම අව්‍යාජව මතු කිරීමක් නොවේ ද, කිසිදු දේශපාලනය මතයකට වහල් නොවී අප කවියා සිදු කර ඇත්තේ ?

අප අත්දැකීම් මතක් කරන කවි පංති මීට සීමා නොවෙයි. "මම ද ඒ භයානක රෝගයෙන් පෙළෙමි", තව එවන් මතකයන් අවදි කරවන කවි පංතියකි. නිමිත්ත - "උඩුකය නිරුවත් නාරි රූ සහිත සඟරාවක් ළඟ තබාගෙන හසු වූ සිසුන් දෙදෙනකු පාසලෙන් දොට්ට දමයි"

"ඉඩ දෙන්න යුරේසියන් කෙල්ලන්ට
අපිත් එක්කම යන්න
උන් ඇත්තෙ
අපට හරි ආදරෙන්

.....

පුළුලුකුල - රිය සක වන්
තැඹිලි රත ගත් - තිසර තන්
ඔන්න ඕවයි සර්
අපිට දරන්නට බැරුව ගිය තැන්
.....

ලොට තනැති කෙල්ලකුගෙ
ඇහැ නොගැටුණා නම්
උස් ළැමත් දරාගෙන
අදත් උන් ඉන්නවා හොඳින්..."

කවියා වරදකරු ලෙස දකිනුයේ සැලළිහිණිය වනපු සිංහල සර්, සහ "ලොට තනැති" කෙල්ලයි. මේ තරම් මතකයන් අවදි කරවන කවියක් මෑතක කියෙව්වේ නැති තරම් ය ( "පිරිමි පමණයි" පාසලේ, එකල,  අපේ පංතියේ සතියේ එක් දිනක් විශේෂයෙන් නිශ්ශබ්දය - එදාට සතියකට වරක්  එන පත්තරයක පිටපත් කිහිපයක පිටු ශුද්ධ- ව්‍යවහාරික ගණිත පොත් අස්සේ සැඟව ය. ) 

කවි ගෙත්තම් විසි නවයකි. මේ තරම් අව්‍යාජ ලෙස ජිවීත ගමනේ විවිධ ජවනිකා ගෙනහැර දක්වපු, මනසින් නිරායාසයෙන් ඒවා අත්විඳුවන කවි එකතුවක් මෑතක කියවුවේ නැති තරම් ය. මෙහි ආකෘතිමය වශයෙන් සුවිශේෂතා නැතුව ඇති - බස කවියා ට ඉතා ම හුරු එකක්, මිස සුවිශේෂි වශයෙන් කවියට ඔප මට්ටම් වූවක් නොවන්න ට ද පුළුවන. ඒත් කියවන්නෙකුට කවියාගේ හදවත කවියා තම හද බසින් ම විස්තර කරයි. එය මට ගෝචරය. ඒ නිසා මා එය රස වින්දෙමි - මහත් සේ අගය කරමි.කවියා මෙතනින් ඉදිරියට තම ශෛලීය කෙලෙස වෙනස් කරගනිමින් තම කවිකම මුවහත් කරගනිවී ද යන්න පිළිබඳ උවමනාවෙන් බලා සිටිමි. ඔහුට සුභ පතමි!

ශ්‍රේණිය: ****1/2

No comments:

Post a Comment