Thursday, 7 April 2016

රජස් - සුජිත් අක්කරවත්ත

"ඓතිහාසික ඥාන-භාව පරියේෂණ" යන අතුරු නාමයෙන් යුතු මේ කෘතිය පුළුල් වශයෙන් ඉතිහාසය හා බැඳි, සයිබර් අවකාශයට ලියැවුණු ලිපි සැටකින් සුපෝෂිතය. ආශ්‍රිත ග්‍රන්ථ රාශියක් සහ සෙල්ලිපි - සන්නස් මුලාශ්‍ර රාශියක් සඳහන් කරමින් ලියැවී ඇති මෙම ලිපි එක්කාසුව, බොහෝ සෙයින් අප නෙතට යොමු නොවූ ඉතිහාස කරුණුකාරණා ගැන අවධානය යොමු වීමෙන් ලියැවී ඇත. එක් ලිපියක් බොහෝ විට පිටු තුනහමාරකට වඩා ඔබ්බට නොයන නිසා, කියවාගෙන ඉදිරියට යාමට රුකුල් දෙයි. වරෙක මෙම කෙටි ලිපිය තුල රචකයා තමනට අවශ්‍ය කරුණු ඉදිරිපත් කර ලිපිය සාර්ථකව සමාප්ත කරයි, එහෙත් වරෙක කියවන්නා ගේ කුකුස අවුළුවා, එය තව දුරටත් ගවේශණය කල යුතු බව ප්‍රකාශ කරමින් ලිපිය සමාප්ත කරයි. මේ දෙවර්ගයෙන් කිනම් වර්ගයේ ලිපියක් වුව, කතුවරයා සාකච්ඡාවට බඳුන් කරනා මාතෘකා සිත්ගන්නාසුළුය. වෙසෙසින් අප ඉතිහාසය නිතර අවදානය යොමු නොකරනා ඉසවු වෙත ඔහුගේ විමසුමැස යොමු ව ඇත. මෙවන් කෙටි ලිපියකින් කතුවරයා සාකච්ඡා කල සියළු ඉසවු වෙත අවදානය යොමුව, ප්‍රායෝගික නොවන හෙයින්, මා සිත් ගත් ඉසවු කිහිපයක් ඔබ හමුවේ තැබීම ට ලිපිය සීමාන්තය. 

- මෙහි එන කුතුහලය අවුළන මාතෘකාවකි ගැමුණු රජ යුගයේ ඔහු වෙත තිබූ නාගයන්ගේ විරෝධය; එය යක්ෂ-නාග නොපැහීමක ප්‍රතිඵලයක් ලෙස කතුවරයා කරුණු දක්වයි. ගැමුණු කුමරු  යුගයේ එන අනෙක් කථා වස්තුව නම්, ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන අතර ද්වන්ද්ව ගැටුමේ සුලමුල. අදට ද පවතින ගෝඨයිබර ගැන ලියැවුණු සෙල්ලිපි පිළිබඳවත්, ගෝඨයිම්බර කෙරෙහි ගැමුණු මහ රජ  තුල වූ බිය ගැන ද සඳහන් වේ. මේ හා සමගම මේ ලිපි එක්කාසුවේ ඇති දුර්වලතාවක් ද කිව යුතුය. පෙර කී සේ, මෙහි ඇත්තේ පොත අග ඇති ආශ්‍රේය කෘති, සන්නස් හා සෙල්ලිපි ලයිස්තුවකි. ඒ ඒ ලිපියේ ගෙනහැර දක්වන සමහර කරුණු වලින් කිනම් ඒවා, කතුවරයාගේ උපකල්පන ද, කිනම් ඒවා සාධක මත පැවසෙන ඒවා ද යන්න අපැහැදිලිය. නිදසුනක් ලෙස මේ කියනා ගැමුණු රජ තුල ඇති වූ බිය පිළිබඳ මුලාශ්‍ර කුමක් ද ?
- ලිපි 3-4ක් පුරාවට අප රට නාම ගම්, වාස ගම් වල මූලයන් බිහි වී ඇති අයුරු, ඒ පිළිබඳ ව ම ලියැවී ඇති, එහෙත් අදටත් පුස්කොළ පොතකින් මුද්‍රණද්වාරයෙන් එළිදක්වා නැති ලක්වීදිය කෘතිය පිළිබඳ විස්තර, මෙ නම් ගම්, වාස ගම අනුව සතර කුල පාරිශුද්ධ බව කෙසේ අර්ථගැන්වෙන්නේ ද යන්න විස්තර වන ලිපි එක්කාසුව, කියවන්නාගේ ඉතිහාස රසය තීව්‍ර කිරීමට රුකුල් දෙන්නකි ; කියවන්නාගේ උනන්දුව රඳවාගන්නා සුළු ලියැවිල්ලකි. 
- මා සිත් ගත් තවත් ලිපියකි, සඝමිත් තෙරණිය සමඟ මෙහි පැමිණි සිත්තර කුළයේ ආදිතමයා ලෙස සැලකෙන බෝධිපට්ටලමේ මූලචාරියා  පිළිබඳ ලිපිය. කීර්ති ශ්‍රී රාජසිංහ ( 1740-1782 ) යුගයේ එම පරම්පරාවෙන් පවෙතන්නා වූ බෝදිපට්ටලමේ නීලගම බුවනෙකබාහු ගැන සඳහන් අතර, ඒ වන තෙක් මෙම පරම්පරාව පිළිබඳ ලිඛිත ඉතිහාසයක් ඇත. එහෙත්,  ඔහුට පුතුන් නොසිටි හෙයින්, එම පරම්පරාවේ විකාශනය එතනින් ඔබ්බට අපැහැදිලිය. 
- අනුරාධපුර යුගයේත්, පොළොන්නරු යුගයෙත් මෙරට වාණිජ කටයුතු වල නිරත වුණු, නා නා දේසි නම් වූ බහු ජාතික සමාගම පිළිබඳ වූ ලිපිය ද අපූරූ ලිපියකි. කතුවරයා පවසන්නේ පැරකුම් රජ යුගයේ,  අප රට රේගුව අයත් වූයේ මෙම සමාගමට බවත්, "බහු ජාතික ආයෝජන තුළින් ලද අස්වැන්න අප ආඩම්බර වන පොළොන්නරු නටඹුන් තුලින් දිස්වන බවත් ය".
-  සිංහල ඉතිහාසයේ නොමැකෙන, එහෙත් රජ පෙළපතට අයත් නොවන චරිත කිහිපයක් ගැන ද මේ කෘතියේ රසවත් ලිපි කිහිපයක් ඇත. දඹදෙනි යුගයේදි, බෝසත් විජයබා ඝාතනය කොට රජකමේ වාඩි වූ මිත්ත රාජ්‍ය සේනාධිපති ව, රාජ්පුත් පෙළපතකින් පැවතෙමින්, දළදා මාළිගාවේ ආරක්ෂක කටයුතු භාරව සිටි හමීර් සංක් ඨකුරක විසින් ඝාතනය කොට ඊළඟ අනුප්‍රාප්තිකයා වූ බුවනෙකබාහු රජ වෙත ලබා ලබා දුන්නේය.    පිටරටක සිට මෙහි පැමිණ, හෙල්ලය විසිකිරීමෙහි ලා සුවිශේෂි දක්ෂතා පෙන්වූ එරිවීරවරු එවන් තවත් පරම්පරාවකි. අද වන විට එරිවීරවරු, එදිරිවීර යන වාසගම් ප්‍රත්‍ය භාවිත කරමින් සිංහල - දෙමළ බවට පත්ව ඇති බැවි කියා පායි. 
- සාහිත්‍ය රසකාමි අප සතුටු කරන ආරේ ලිපියක් ද මේ අතර වෙයි. එනම්, මඩුවන්වෙළ මහ දිසාවේ සහ ලෙනාඩ් වුල්ෆ් අතර වූ මිත්‍රත්වය හේතුවෙන්, වුල්ෆ් රට හැර යන කල තෑගි කල නීල මාණික්‍ය දෝත, ඔහුට එංගලන්තයට ගොස් "Village in the Jungle" (බද්දේගම ) ප්‍රකාශ කිරීමට ඇවැසි මූල්‍ය අඩිතාලම සැපයු පුවතයි.
- ආලෝක කුමාරසිංහ ප්‍රමුඛ පරම්පරාවේ මුල් පදිංචි ප්‍රදේශය වූ එරියාව, මුල්ලේරියාව වූ අයුරු ද, එය  පළමු රාජසිංහ යුගයේ හේවාගම් කෝරළයට අයත් ගමක්  අලුත් නමකින් ස්වාධීන පාලන ඒකකයක් බවට පත් වූ  අයුරු ද, එහෙත් කුමාරසිංහලා ගේ ඉතිහාසය පස්වන බුවනෙකබාහු යුගය තෙක් ඇදී යන අයුරු ද ඉතා රසවත් තොරතුරුය.  හේවාගම් කෝරළයේ අපිට මේ ඉතිහාසය බෙහෙවින් රසවත් ය.
 - අම්බුලුගල කුමරු හෙවත් අටවන පරාක්‍රමබාහුගේ නිවුන් පුත් කුමරුන් වන සකලවල අභය සහ තම්වල අභය, භාරතයේ මුස්ලිම් ආක්‍රමණ බලපෑම් පැවති යුගයේ, කායෙල්පට්ටලමේ අයිරායන ලෙබ්බේ ප්‍රමුඛ මුස්ලිම් සේනාවක් මෙහි පැමිණ හලාවත මුතුපරය ද, ක්‍රමයෙන් මන්නාරම දක්වා වූ ප්‍රදේශයද තමනට නතු කර ගත් පසු, එම සේනාව පරාජයට මූලිකත්වය ගෙන කටයුතු කොට ඇත. අද ද හලාවත දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මාදම්පේ-මහවැව ප්‍රදේශයේ "තනිවැල්ලේ" දේවාලයෙන් වන්දනාවට ලක්වන්නේ මේ "තම්වල අභය" කුමරු විය යුතුය. මේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශයට පැමිනි සොයුරන්ගේ විසිතුරු නැරඹීමට පැමිණි හිදි ජනයා හේතුවෙන් එකල කෝට්ටේ ප්‍රධාන විල් දෙක වන නුගවිල සහ බෙලිවිල ( වර්තමාන නුගේගොඩ සහ බෙල්ලන්විල ) සිඳුණු අයුරු ද කියවේ. ඔවුන්ගේ ජයග්‍රහණය හා ජනප්‍රියතාව ධර්ම පරාක්‍රමබාහුගේ සතුට ට එතරම් හේතු වී නැත.
- මායාදුන්නේ, සිතාවක රාජසිංහ ප්‍රමුඛ සීතාවක රාජධානිය  පිළිබඳ අතුරු කථා ද රැසක් මෙහි එයි. හිරිපිටියේ දිවනරාළ නමවන බුවනකබාහු ට සහ පෘතුගීසින්ට රහසින් දළදා වහන්සේ සොරරහසින් මායාදුන්නේ වෙත ගෙන ඒමත් සමඟ, බෞද්ධයන් මායාදුන්නේ වටා පෙළගැසීම, ටිකිරි රාජසිංහ උප්පත්තිය, මුසල්මානු පියෙකු සහ සිහල මවකට දාව උපන් රහුමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ, මායාදුන්නේ වෙනුවෙන්  සිහළ නියෝජිතයාව යාපා පටුනට ගමන් ගෙන, මල්වාන ගම්වරය දිනා ගැනීම ආදි මේ කාලය හා සබැඳි රසවත් සිද්ධීන් කිහිපයකි.
- මෙහි සමහර ලිපි, දැනට සොයා ගත නොහැකි ආකාරයේ එකල පැවති රාජ්‍ය රහස් පිළිබඳ ලියැවුණු ඒවාය. රහස් යටිය, නම් වූ රජ තෙමේ පෞද්ගලික රහස් මත්න්‍රණය උදෙසා භාවිත කල මෙවලමක් බවත්, මෙම මෙවලම පිළිබඳ කව්සිළුමිණේ, නිකාය සංග්‍රහයේ සහ දඹදෙණි අස්නේ සඳහන් මුත්, ඊට අදාළ ක්‍රමවේදය අද වන තුරුත් රහසක් බව ද ලිපිකරු පවසයි. සිංහල රජ බිසව හා බැඳි එක් රහස් මෙවලමක් වූ මිණි මෙවුල් දම ගැන ලිපිය ද උනන්දුවෙන් කියවූවෙමි. මිණි මෙවුල් දම් මංගල්‍යය, රාජකීය වෙදානෝ රජ කුමරියගේ කුමරි බඹසර පරීක්ෂාව සහ මංගල සිරි යහනෙන් පසු ව මේ උපකරණය භාවිත වූ අයුරු පිළිබඳ විස්තර මෙහි  එයි.
- සමහර ලිපියෙක උලුප්පා දැක්වෙන්නේ අප ඉතිහාසය පුරාවේ සිට අද දක්වා සිදු වූ සමහර දෙයක සමානකම් ය. "අරුම පුදුම තාලය" එවන් එක් තාලයක මතු කරමින් ලියැවුණකි. එනම් අප රට පහළ වූ ප්‍රතාපයන් කිසිවෙකුට තම පුතු හට එම පදවිය නතු කරලීමට නොහැකි වීමය. විජය, දෙවන පෑ තිස්, ගැමුණු, අසේල, කාශ්‍යප, මානවම්ම, මහා විජයබාහු, පරාක්‍රමබාහු, පළමු විමලධර්මසූරිය පමණක් නොව, රජකම සිංහලයන්ට නැති  වූ පසු ද, මෙම තාලය මෙලෙස ම පැවතුණු බව පෙන්වා දෙයි.
- සමහර ලිපි විවාදාත්මකය. උතුරු-දකුණු වාදය, එනම් උතුර එක් තාලයක් ගත කල සහවාදි දකුණු නායකයා සෑම විටම පරාජය වී දකුණ ද සෑම විටම උතුරට සරිලන පිලිතුරක් දීමෙන් රටක් ලෙස අප ගමන් ගෙන ඇත්තේ කොහේ ද යන ගැටළුව පිළිබඳ ලිපිය ඊට නිදසුනකි. කතුවරයා, සද්ධාතිස්ස පරදවා ගැමුණු කුමරුගේ ඉදිරියට ඒම, කේශධාතු කස්සප පරදවා මහා විජයබාහු ජය ගැනීම, සමගිවාදි දෙවෙනි ගජබා පරදවා මහා පරාක්‍රමබාහු ඉදිරියට  ඒම ආදි වශයෙන් නිදසුන් අටක් ඉදිරිපත් කරයි. 
- විටෙක අද දැක ගනට නොමැති එහෙත් මෑතක් වන තුරුම පැවති බවට නිශ්චිත සාක්ෂි පැවති පුස්තකයක් කෙරෙහි අවදානය යොමු වෙයි. වෛද්‍යාන්ත පුස්තකය එවැන්නකි. පාකර් තම "Ancient Ceylon" කෘතියේ ලක්දිව ස්ථූප කලාව පිළිබඳ මෙනමින් පුස්කොළ පොතක් තිබූ බැව් පවසන මුත්, අප රට ශිල්පීන් ව්‍යවහාරිකව ස්ථූප කලාව පිළිබඳ දත් මුත්, මේ පුස්තකය අද වන විට අතුරුදන් වී ඇත.
- මෙරට "සිංහල බුද්ධාගම" යන්නෙහි ආදි කර්තෘ සිංහලයකු නොවුණු නිසා ම සිංහල බව වඩා ඒත්තු ගැන්වීමේ උවමනාවෙන් පෙළි  නිශ්ශංකමල්ල රජතුමා බව කියා පාන ලිපියකි, කාම්බෝජ වාසල. එතුමා ගේ කාලයේ, කාම්බෝජ වැසියන් කෙතෙරම් අප රට වෙසෙසින් අගනුවුර විසූ බව ද එහි කියවේ. කතුවරයා පවසන්නේ රජු නව විලාසිතා නීති පනවා, බුදු දහම, බුද්ධාගමක් බවට පත් කල බවෙකි. එම නීති ප්‍රකාරව මසුන් මැරීම සහ දඩයම තහනම් කොට ඇති මුත්, මෙහි විසූ කාම්බෝජ වැසියන්ට කුරුලු දඩයම සඳහා විශේෂ වරප්‍රසාදයක් ලබා දී ආකාරයත්, මෙම කාම්බෝජ ජාතිකයින් රජුගේත්, රාජ්‍යයේත් ආරාක්ෂාවට සම්බන්ධකර ගත ආකරයත් මෙහි කියවේ.
-මෑත ඉතිහාසය එනම්, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදි, අප රට සුවිශේෂි පුද්ගලයින්, හා විශේෂ සිදුවීම් කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු කරන ලිපි වලින් මෙය පොහොසත් ය. කෝල්බෘක්-කැමරන් නිර්දේස වලට අනුව මෙරට විධිමත් පලාත් පාලන රටාවක් බිහිකිරීමේ වගකීම ලත් ආර්. ඇල්. බ්‍රෝහියර් මහතා, ලුවී ද සොයිසා හා මිතුරු වූ අයුරුත්,  සොයිසා මාර්ගයෙන් අප රට කඩඉම් පොත්, මේ කර්තව්‍ය උදෙසා භාවිතාවට ගැනීමට ගත් අයුරු ද, ඉතිහාසය ට ආශා කල සොයිසා මහතා, මෙරට ගම්දනව්, පන්සල් පුරා ඇවිද මේ උදෙසා කරුණුකාරණා එක්කාසු කල ආකාරයත්  කියවෙන ලිපිය මෙවන් එක් රසවත් ලිපියකි.

මා විසින් මෙහි  රසවත් ලිපි සැටකින් තෝරාගත් කිහිපයක් පමණක් සාරාංශිතය. ලිපිය තවද දිගු වීම වලකනු රිසිව වශයෙන් අවදානය යොමු නොකල මාතෘකා රැසකි. නිදසුන් වශයෙන් කාලිදාස්- කුමාරදාස ඉතිහාස කථාව; අප රට නාඩගම් කලාවේ ඉතිහාසය, නයිඳු සහ නරේන්ද්‍රසිංහ රජුගේ කලාකාමි බව; සිංහලයාගේ සරාගි ජීවිතය සහ රාග චාරිත්‍ර;  පුරුෂ නිමිති සහ එහි සෞඛ්‍ය පිළිබඳ වෙසෙසින් බුද්ධදාස රජතුමා ගේ මහා හැදෑරීම ;  රාජගිරියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉතිහාසය සහ උබේසේකර වලව්ව ඒ සඳහා කල අනුග්‍රහය ආදිය ය. තව නොකී කථා බොහෝය.  අරොවකට තිබෙන්නේ, සැලකිය යුතු තරම් ලිපි වල අදාළ මාතෘකාව ද පූර්ණ වශයෙන් සාකච්ඡා නොකොට කුකුස උපද්දවා, ලිපිය හමාර කර තිබීම ය. ඒ නයින් බලන කල, ඉතිහාසයේ ඇස නොගැටෙන අතුරුකථා, දිශානති කෙරෙහි පාඨකයන් අවධි කිරීමෙහිලා මේ ලිපි එකතුව ඉතා ප්‍රයෝජනවත් ය. මෙහි සැලිය යුතු තරමක උපකල්පන ද ඇති බව ට සැක කරමි. එහෙත්, ඉතිහාසට කැමැත්තෝ කියවිය යුතු ලිපි එක්කාසුවක් ලෙස සපුරා විශ්වාස කරමි.

No comments:

Post a Comment