Thursday, 28 April 2016

කුරිරු සුරංගනා කථාවක් - පියල් කාරියවසම්





මෑත දිනෙක, ගිය වස සම්මානයට පාත්‍ර වූ පියල් කාරියවසම්ගේ "කුරිරු සුරංගනා කථාවක්" කෙටි කථා සංග්‍රහය කියවූවෙමි.

 මෙහි එන බොහෝ කථාන්දර හද්දා පිටිසර පෙදෙසක පසුබිමින් මතු වූ නිර්මාණය. එහෙත් කෙටි කථාවේ මුඛ්‍ය ආඛ්‍යායනට මෙම "පිටිසර" බව, සුවිශේෂි නොවේ. කෙටි කථා සාරාංශ ගත කරන්නේ නම්;

(මකර අළු වැස්සක් වැටුණේය ): "දෙබර-ආර,සිරිනන්දපුර, ගැමුණුපුර, වටගල-ආර වැනි ගම්මාන වලින් පිටත් වූ අත්ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ද මේ වන විට සෙමෙන් ගැමියෝ පිරිවරා වලස්-අකුලට සම්ප්‍රාප්ත වෙමින් පවති"

කෙටිකතාවේ වටපිටාව කුමන ආරේ පෙදෙසක සිදුවන්නේ දැයි පැහැදිලිය. මෙවන් පෙදෙස් වල දඩිය පෙරාගෙන, තමනට හැකි උපරිමයෙන්, දරිද්‍රතාවෙන් පෙළෙන දරුවනට සිප්නැණ බෙදා දෙන, තම උගත්කම ට සරිලන වැටුපක් හෝ ජීවන මට්ටමක් නොලැබෙන ගුරුවරු, අප රට කොතෙකුත් සිටිති. මේ දෛනික යුද්ධය තඹ දොයිතුවකට මායිම් නොකරන, සිසුන්ගේ උගැනුම ගැන කිසිදු සැලිකිල්ලක් නොදක්වන ඉහළ දේශපාලඥ්ඥයකු කථානායකයාගේ උදහසට ලක් වෙයි. එවන් ගුරුවරයකු එම කරදරකාරයාට ශාපයක් කර, එය ඵල දීමේ වග, යථාර්තවාදි රීතියෙන් ඔබ්බට පයක් තැබීමෙන් කතුවරයා උදා කරගනි.

(දේවතා එළි සහ රන් තෝඩු ): "මේ සුදු හමත් එක්ක තනියම ගමේ ඇවිද්ද නිසා... තනියම කැලේට රිංගලා මගේ සහෝදර සහෝදරියන්ගේ ගෙවල් වලට දරමිටි බැඳගෙන ආව නිසා...කෙල්ලෝ කොල්ලෝ එක්ක ගොයං කැපුව නිසා.... ජහුටා බලන්න ගිහින් හඳපානේ කාගේ හරි කොල්ලෙකුගේ බයිසිකලයක නැගලා ගෙදර ආව නිසා... අතරමගදී සමහර බයිසිකල් රෝදවල හුලං ගිය නිසා...."

අප රට ඇත්තේ ඉතාම දුෂ්ඨ අධ්‍යාපන ක්‍රමයකි. විශ්ව විද්‍යාලයට යාමට ලකුණු දෙකක් මදි වූ කොලුවා ගමේ රස්තියාදුකාරයෙක් වෙද්දි, ලකුණු දෙකක් මදි වුණ කෙල්ල වැඩිමල් අක්කලාගේ ගං  ගෙවල් වල උදව්වට කැප වෙති. එම කුරිරු අධ්‍යාපන ක්‍රමය, ප්‍රේමය සහ ඥාති සබඳතාව සහ ස්ත්‍රී-පුරුෂ හැඟීම් අතර ඝට්ටනය  පිළිබඳ නිර්මාණය වූ අපුරු කෙටිකථාවකි මේ.

( බණ ඇසූ පිළිහුඩුවා ): "වසර විස්සක් තුල ගම් හත්වලල්ලේම මිනිස් වර්ගයා කෙතෙක් බෝ වී ඇත්තේද යත්, ඔවුන් නන්දාවතී ඉස්කෝලේ හාමිනේ තබා ඔවුනොවුන් වත් හඳුනන්නේ නැත. මාර්ගයේ පාපැදියකින් ගමන් කරනේ ඉපැරණි මනුස්ස ප්‍රාණියෙක් පමණි. නූතන මිනිස්සු - ගැහැණු, මරුටියක්, මෝටර් බයිසිකලයක් හෝ අවම වශයෙන් ත්‍රීවීල් රථයක් සන්තක කොට ගෙන නොයෙක් රැකියා සඳහා පිටත්ව යන හෝරාව හෙයින්, ඔවුන්ට මිදුලේ සක්මන් කරන්නා වූ නන්දාවති ඉස්කෝලේ හාමිනේ පෙනෙන්නේ නැත."

  අප රට පසුගිය වසර හතලිහ තුල ඈට දරා ගත නොහැකි ලෙස වෙනස් වී ඇත් ද ? සමහර විට එම ප්‍රශ්ණයේම අතීතකාමයේ සෙවණැළි මතු වනවා ඇති. කිම ද මීට අවුරුද් සතලිහකට සාපේක්ෂව,  මිනිසෙකු ට තම ජන්මය ගෙන දෙන සීමා බන්ධන වලින් ජයගත හැකි තත්ත්වයක් අද බිහි වී තිබීමය. ඉන් සමාජය සමස්ත වශයෙන් නිරෝගි බවක්, නොකියවේ. එහෙත් අප  රට පරිසරයෙන් ද, මිනිස් ජීවිත  වලින් ද වන්දි ගෙවමින්, මිනිසුන්ට මුදල් උපයා ගැනීමේ මං විවෘත කොට ඇත. මෙහි එන කෙටි කථාවේ එක් පාර්ශ්වයක් අතීතයේ ජීවත් වෙද්දි, අනෙක් අය යම් තරමින් ජීවත ජයගෙන තිබුණත් ඔවුන් මුහුණ දුන් අසාධාරණකම්, නොපනත්කම්, කුරිරුකම්  වල අවතාර වලින් ගැලවීමට නොහැකිව  කල් ගෙවයි.

( සියඹලා සහ පරාල ඇණ ): "ජීවිතයේ මැදිවියට සමීප වෙමින් සිටින්නා වූ එවකට මෙකී ගසින් සියඹලා කෑ දරුවෝ, අද උන්ගේ දරුවන් සියඹලා ගස පේන තෙක් මානයට හෝ යනවාට කිසිසේත් කැමැත්තක් නොදක්වති. මන්ද උන්ගේ යොවුන් වියේ එක් නිශ්චිත දිනයක පාන්දර යාමයේ, සියඹලා කඳ මුල, හිසට පරාල ඇණ දෙකක් ගැසූ තරුණ මහත්තයෙක් ගැට ගසා තිබුණු ආකාරය මේ දැන් බලා ඉන්නාක් මෙන් ඔවුන්ගේ ස්මරණයේ තැන්පත් වී ඇත්තා වූ හෙයිණි."

අප රට එක්තරා පරම්පරාවක් අති විශාල කැපකිරීමක් කලේ ය. ඔවුන් හා එකතුව සිහින දුටු සමහර අයවලුන් අවස්ථානෝචිතව අවදානමෙන් පැන ගොස්, අද යෙහෙන් වැජබෙති ( හෝ එසේ වැජඹෙන්නාක් මෙන් පිටස්තරයනට පෙනී යයි.). තවත් අය පණ බේරා ගත් මුත් ඔවුන්ගේ අනාගතය අඳුරු කරගත්තෝය. වැඩිහිටි අය ඒ අතීත මතකයන්ගෙන් අදත් කම්පිතව කල් ගෙවන්නෝය. මිය ගිය ඇත්තන් පවා ඒ අතීතය අමතක කර දැමීමට කැමත්තෝ වුව ද, ජීවත් වන ඇත්තන් ඒ පිළිබඳ ව තවමත් කම්පිතව කල් ගෙවන්නෝය. අඳුරු පැහැ සිත්තමක් මෙන්, යථාර්ත සිමාව අතික්‍රමණය කරමින් මේ කෙටි කථාව පරම්පරා දෙකක අත් දැකීම් අප ඉදිරියේ ගෙනහැර දක්වයි.



( කුරිරු සුරංගනා කථාවක් ) : "මෙහෙව් බිමේ ඉන්නවා ද? පණ නහගෙන පිටමං වී ගල් අකුලේ.... පාලු වැවේ පිට්ටනියේ... නිල්ගල ඝන වනන්තරේ, අපිට බැල්ම හෙලා ඉන්න ඉඳිගොල්ලේ කිරි අම්මගෙ උණුහුම යට ගුලි වෙනවද ?"

වේගයෙන් වෙනස් වන අපේ ගම් හැම තැනම අද "රෙස්ට්-හවුස්" ය. ඒවා තුල මී විත ට අමතරව, ගම්පලාත් වල සමහර ළඳුන් ද අඩු ලංසුවට අලෙවි වෙයි. නීතිය රකින්න බාර අයවලුන් ම, තමනට රිසි පරිදි නීතිය අතට ගෙන ඇත. එක් රාත්‍රියක අත් දැකීමක් තුලින් අද අප ගම් "මොඩ් වෙලා - මෝඩ වෙලා" ඇති ආකාරය අපූරුවට කියා පාන කෙටි කථාවකි.


(රිදී උණ්ඩ දෙවැනිව වැදුණිද ලයට ): "පුතු මෙසා දීර්ඝ නින්දකට වැටී ඇත්තේ මන්ද ? ට්‍රේලර් බයිසිකලය ගෙයි ඉදිරිපිටින් සෙමෙන් ගමන් කලේ මන්ද ? යමෙක් සත්තකින් ගෙයි වැසුණු දොර ආසන්නයට විත් යළිත් පසු බැස්සේද ? සියල්ල අතරේ තමා මෙතෙක් පරිවර්තනය කරන්නට උත්සාහ කළේ, තමාත් තවත් සිවිල් පුරවැසියන් දෙතුන් දෙනෙකුත් අතර පමණක් සැරිසරණා වූ යුධ රහස් පිළිබඳ වාර්තා නොවන්නේද ? රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ ලිපි ලේඛන නොවන්නේද?"


හෝරාවක් හෝ කීපයකට සීමාවූ ජීවිත අත්දැකීමකි - කථිකයාගේ අවසන් හෝරා ව ද ? මරණ බය සැරිසරණ එම අඳුරු රාත්‍රිය තුල පාඨකයා ගේ ද ශරිරය, කථිකයාගේ තරම් ම තමනට වලංගු නොවන හැඟුම් සමුදායක් තුල අතරමං කරවන ආරේ කෙටි කථාවකි.


( රාධා - සයුරු තෙරක දී): "මාව රැක ගත් උසස් නිලධාරියා ඇතුලේ මට ආදරය කරන මනුස්සයෙක් ඉන්නවාය කියල නොදන්න සමාජය ඉදිරියේ එයත් අන්ත අසරණයි... ඒ අතර දවස ගානේ මේ සමාජය ඇතුලේ සිද්ධ වෙන දේවල් එක්ක බැලූ බැල්මට අදෘෂ්‍යමානයි කියලා හිතෙන මොකක්දෝ බලවේගයක් විසින් ඝාතනයට ලක් වෙන විවිධ චරිත දැක්කම මට හිතෙන්නේ මගේ අකලංක ඒ බලවේගය ඉදීරියේ පුංවිම පුංචි ප්‍රතිරෝධයක් විතරයි කියලා..."

අප රට පශ්චාත් යුධ සමයේ වටපිටාව එක්තරා පුද්ගල දෘෂ්ඨිකෝණයකින් සාර්ථකව ඉදිරිපත් කරන කෙටිකථාවකි. එය සමස්තය ඉදිරියේ ඉතා ළඝු විය හැක. එහෙත් කලා කෘතියකට එය අදාළ නොවේ. දේශපාලනමය වශයෙන් වෙනස් තැනක ඉන්නා ගමන්, කෙටි කථාව පැසසීමට බල කරනා ආකාරයට ඉතා සාර්ථකව නිර්මාණය වූ කෙටි කථාවකි.




( අසිරිමත් ගමනාන්තය ) : "මරගල කන්දට එපිට නැගෙනහිර අහස රෝස පැහැයක් ගත්තේය. අගෝස්තු උදෑසන ලියදි දෙක තුනක පරතරය තුනී මීදුමක ගිලී පවති. ඉපනැල්ල මත රැඳුණු පිනිකැට රාත්‍රිය මුළුල්ලේ හුදී ජන දුක වෙනුවෙන් වැලපී අළුයම තටු සලා නික්ම ගිය පලාගිරා දේවතාවුන්ගේ කඳුළු මෙන් ඝනව ඇත්තේය."

අප රට එක්තරා යුගයක කැරැල්ලකට අඩිතාලම තබා, දහස් ගණන් මිය යද්දී දිවි රැකගෙන, දිවි සරි කර ගත් පරම්පරාව අද වන විට  මහළු වියේ ය. ඔවුන් අද වන විට මහළු විය සහ පශ්චාත්තාපය විසින් තම දිවිය තුල අසරන කර ඇත්තෝය. ඒ බොහෝ අය තම පවුල් තුල ද පිටස්තරයෝ ය. සමහර විට ඔවුන් අද වන විට එදා දිවි රැක ගැනීම ගැන පස්චාත්තාපයෙන් පෙළෙන්නෝය.



මේ කෙටි කථා එකතුවට "කුරිරු සුරංගනා කථාවක්" යැයි නම් කල ද, මෙහි එන කෙටි කථා අටම යම් ආකාරයකට "කුරිරු සුරංගනා කථා" ය. සුරංගනා යන විශේෂණය භාවිත වන්නේ, වසර සතලිහක් තුල මෙතරම වෙනසක් සිදුවීම සුරංගනා කථාවල ට විෂය වන තරම් ය, යන අරුතිනි. ඒ වසර හතලිහ - හතලිස් පහ අප රට ඉතා කුරිරු අවදියක් ය. ඒ අපේ රටේ ජනයා - අපේ රටේ ජනයා ට ම විරුද්ධව නැගී සිටි බැවිනි ; අප රට "නිවී හැනහිල්ලේ ජීවත් වීමේ" වසර දහස් ගණණක චින්තාව අභියෝගයට ලක් කොට එය නොහැකියාව මුල් කොට ගෙන සිදු වූවක් බැව් ඔවුනට සාර්ථකව ඒත්තු ගැන්නූ නිසා ය.  ඒ අනුව අද සියල්ලෝ හැල්මේ දුවති. එසේ නොකරන්නෝ පරාජිතයෝ ය.

පොදුවේ සැලකු කල මෙහි තේමා කිහිපයක් දැකිය හැක. මොණරාගල, මහියංගන ආදි පෙදෙස් හි අතුරු ගම්මාන වල වෙනස්වීම්, '71 කැරැල්ලේ අවතාර සහ පශ්චාත් යුධ සමයේ දේශපාලන වටපිටාව යනු ඒවා ය. මෙය පාඨකයාගේ මනස ව්‍යාකූලත්වයට පත් කරන -ඒ කතුවරයා ග අරමුණ ක්ෂාත් ක්ෂාත් කර ගැනීමකි ; නිර්මාණයේ දොසක් නොව, සාර්ථකත්වයකි - ආරේ කෙටි කථා අටකින් පෝෂිතය. නිශ්ශංක විජේමාන්නට අභියෝග කල හැකි ආරේ කෙටි කථා කරුවෙකි. ඔහු විජේමානට වඩා දේශපාලනිකය. ඇත්තෙනම් මෙය ලියද්දි, මේ කෙටි කථා නැවත කියවීමට තරම් ඒවා මගේ සිත, සිය නිය වලින් සීරුවේය.

No comments:

Post a Comment