Sunday 10 April 2016

හිතග්ගිස්සේ නැතක් මොට්ටු - ලක්ෂාන්ත අතුකෝරාල


ලක්ෂාන්ත අතුකෝරාලගේ "හිතග්ගිස්සේ නැතක් මොට්ටු" මා පළමු වරට කියෙව්වේ 2010 ඔක්තෝබර් මාසයේ දි ය.  ඒ මා වෘත්තියට සබැඳි යම් අධ්‍යයන කටයුත්තක් හේතුවෙන් මගේ සාමාන්‍ය කියවීමේ පුරුද්ද 90% කින් ම නවතා තිබූ අවදියක ය. ලංකාවේ විසූ යුගයක දී ය. යෙදී සිටි කර්තව්‍යයෙන් මද විරාමයක්, සැහල්ලුවක් උදෙසා මා භාවිත කලේ ලක්ෂාන්ත ගේ කවි මොට්ටු කිහිපයක් පමණි. ඔහුගේ හිත අගිස්සේ පහළ වූ සියගණන් කව් බිඳු වලින් 250ක් ඔහු මේ කෘතියට ගොණු කර ඇත. ඉන් පාඨක අප සිත් තුල විචිත්‍ර දර්ශන, අදහස්, වින්දනයන් ජනනය කරයි. ඉතා මෑතක කල කියවීමත් සමඟ මේ කවි පොත සිව් වතාවකට වඩා කියව ඇත.  මීට මාසයකට පමණ පෙර කෙටි නිවාඩුවක ට ලංකාවට ගිය විට මේ පොත නැවත කියවුවෙමි. පෙර සඳහන් යුගයේ අහඹු ලෙස පොත පෙරළා කව් බිඳු 10-15 කියවා නැවත උක්ත කාර්‍යයට යොමු වීමි. මේ වතාවේ මේ පොත නැවත මෙහි ගෙන ආවේ, සිතුණු විටෙක අහඹු ලෙස නැවත කව් බිඳු රස ලැබීමේ අටියෙනි. ඒ අර්ථයෙන් ගත් කල මා මේ කව් මොට්ටු තවම කියවමි.

මෙහි එන සමහර කවි මොට්ටු, වදන් වලින් මැවූ චිත්‍රය:

"එක සඳක් සෑහෙන බැවින්
දෙමි ගල් පහරක්
නිසල දිය තලයට"

"බුම්මා ගත්
වදුළු අතර
කිරි දත් පෙන්නා සිනා සෙන
පිච්ච මල්"

"සුළඟ බල කරන නිසා
වරින් වර
ගඟ සිප ගනියි
උණ අතු"


තවත් විටෙක කවියා දකිනුයේ විකල්ප කෝණයකිනි; අපට ද එලෙස බැලීමට ආරධනා කරන්නාක් මෙනි:

"කළු බිතු මත
කහ සායම් ගාන්නි
චන්ද්‍රා"

"මී හරෙකෙකි
කොකෙකුට පෑගෙමින්"

රැයේ සුළු දිය දහර
ඉවසා
තනා දෙයි මලක්
මල් ගස උදේ"


විටෙක කවියා හාස්‍ය මතු කරය්:

"මගේ ඇස්
නිදොස්
දුහුල් ගවුමයි
වැරදිකරුවා"

"ඇනුණු තුත්තිරි
නොදුටු සේ ඉමි
ඇය ඒවා දකිනා තෙක්"

"හමුවන හැම දිය ඇල්ලම
පයිප්පෙන් නෑම ගැන
මට ඔච්චම් කරයි"

විටෙක අප සිත ට ජනනය කරනා හැඟීමකි:

"හේනේ පැළට නැග
ලණු ඉනිමග
හකුලා ගන්නා තෙක්
තනියක් නොදැනේ"

"ඔබේ සුස්මින්
මහද දූවිලි
ඇවිස්සෙයි"

විටෙක රාගයේ බිඳු කව් මොට්ටු ලෙස අප ඉදිරියට ගෙනවිත් ඇත:

"ළැමේ හොවාගෙන
මගේ නෙත් යුග
පදින්නි ඈ
ඔන්චිල්ලා"

"වෙරළු නෙලද්දී
ඇය දෑත් ඔස්වා
පියොවුරුද
උදවු වෙන්නට හදයි"

"ඇය නාගෙන එන විට
මගෙ සිත
කිළිටි වෙයි"


තවත් තැනෙක දර්ශන නිමිත්තකි:

"බිඳුණි
පරණ බඳුන
විසි කිරීමට සිතා සිටි"


"එක් රාත්‍රියක
ගඟට පැන්නා
සිත් රිදුම්
මා පාලම උඩ සිටිද්දී"

"දකුණත ඔසව
සුබ පතන විට
වමත විරහ දුකින්
සැඟව සිටී"


මේ නිදසුන් සෑහෙතැයි සිතමි. හැකිනම් සොයගෙන පිටපතක් මිලදී ගන්න. කිමද මෙය අයෙකුට සහචරයෙකු විය හැකි ආරක කෘතියකි. මේ සටහන නැවත ලියද්දී නැවත මෙහි මොට්ටු කීයක් නම් මා රස වින්දේද ? කුමක් හෝ අහේතුවකට මේ පැණි බින්දු පිළිබඳ  අප පාඨකයන් අවදි නැත. දැනට මේ කෘතිය වෙළඳ පොළේ තිබෙනවාදැයි ද නොදනිමි. (පළමු මුද්‍රණ ය 2008 ; ගොඩගේ )

No comments:

Post a Comment