Thursday 9 January 2020

ප්‍රේම පුරාණය - සුනේත්‍රා රාජකරුණානායක


සුබෝධාලංකාරය
නන්දිතය
පොදු පුරුෂයා
සද්ගුණාකාරය
කවිකඳුර
බුද්ධදාසි
සඳුන්ගිර ගිනි ගනියි
කොළඹයා හා ෂැංහයියා
කෘතීම දූපත් ;
                       ඉහත දැක්වෙන්නේ මා ප්‍රේම පුරාණය කියවීමට පෙර, ලේඛිකාවගේ කියවා තිබූ නවකතාවන්, දළ වශයෙන් මා කිය වූ පිළිවෙලට ය. මෙහි සුබෝධාලංකාරය, නන්දිතය සහ පොදු පුරුෂයා හි පුළුල් ලෙස යම් පොදු ලක්ෂණයක් තිබුන ද, ලේඛිකාව පුළුල් පරාසයක් තුල තම නිර්මාණ සිදු කොට ඇති බව මට ප්‍රත්‍යක්ෂ වේ. අදට ත් සද්ගුණාකාරය මට කවිකඳුර, ප්‍රේම පුරාණය,  සඳුන්ගිර ගිනි ගනී සහ බුද්ධදාසි වලට වඩා ප්‍රියය. එහෙත් මේ කෘති දහය තුල මුල් හතර- පහ අතර ට ප්‍රේම පුරාණය ද ඇතුලත් ය.  මෙහි එන නිර්මලා  චරිතය ට මා රෝස නෝනා තරමට ම පාහේ මට ප්‍රියයි. ඒ එම චරිතය ඉතා අවංක චරිතයක් ලෙස ලේඛිකාව මගින් ගොඩ නගා ඇති නිසයි. ඇය, නව යෞවනියක් ලෙස ප්‍රේමය ගැන ඇති සිහිනමය හැඟීම, සංස්කෘතික රාමුවකට අවනත වී විවාහයකට අවනත වීම,  සිහිනමය ප්‍රේමයක පළ දැරීම, ප්‍රේමය පාළු දිවිය ඉදිරියට ගෙනයාමට අත් වැලක් කර ගැනීම, නිදහස් ආදරයේ තහංචි වලින් තොර මිහිර, බොහෝ රසයන් අත්විඳි කාන්තාවක් ලෙස ප්‍රේමයේ සියුම් තැන් වින්දනය, සහ ප්‍රේමය රාගයෙන් එපිට ආධ්‍යාත්මික ස්ථානයකට ගෙන යාම ආදි අවදි පසු කරන්නීය.  අපි නිර්මලා සමඟ ඇගේ දිවි ජවනිකා ඔස්සේ, එක්සත් ජනපදයට, ඉන්දියාවට ( කිහිප වරක්), නේපාලයට ගමන් ගන්නෙමු. ඉතින් මේ පුස්තකය රසවත්, වින්දනීය මෙන්ම,  මිනිස් දිවිය පුරාවට ම ප්‍රේමය විවිධාකාරයෙන් විඳීමේ සාරවත්බව පිළිබඳව තමන් සමඟ ම සංවාදයකට මුල පුරයි. ඒ නිදහස් මතයන් සහ ප්‍රේමනීය නිදහස, සංස්කෘතික තහංචි පීළිබඳ සිතීමට ඉල්ලා සිටියී.

ප්‍රේම පුරාණය සහ සමන් වික්‍රමාරච්චි:
සමන් වික්‍රමාරච්චි ඔහුගේ දෙවියන්ගේ නිරුවත යන විචාර ලිපි එකතුවේ ප්‍රේම පුරාණය කියවා අමන්දානන්දයට පත්ව, මෙසේ පවසයි (මෙය රසවත් ය - ඒ නිසා ගෙඩි පිටින් ඔබමි);

"ටොල්ස්ටෝයිගේ සහ ගුස්ටාව් ප්ලෝබෙයාගේ 'පුරුෂ කේන්ද්‍රීය නිර්මාණ භාවිතාව' තුළ ඇනා කැරනිනා සහ මදාම් බොවාරි අවසානයේ සියදිවි නසා ගනිති.... අර ස්ත්‍රීවාදි විචාරකයින්ට අනූව හරියටම කියනවා නම් එය පරදාරයේ යෙදෙන ගැහැනුනට අත්විය යුතු ඉරනම පුරුෂවාදි චින්තනය විසින් තීන්දු කරනු ලැබීමකි. එසේ පරදාර ප්‍රේමයේ සුඛ විහරණය නොමදව විඳින ප්‍රේම පුරාණයේ නිර්මලා නොනැසී ඉතා සැහැල්ලුවෙන් ජීවිතයට මුහුන දෙන්නේ ඇය ස්ත්‍රීවාදී නිර්මාණ ඵලයක් වන නිසා ද ?සුනේත්‍රාගේ ස්ත්‍රීවාදි චින්තනය තුළ නිර්මලාගේ සහ ඇගේ පන්නයේ අනේක ගැහැණුන්ගේ ප්‍රේමය පුරුෂයින්ගේ චින්තනය තඹයකට මායිං නොකරයි" (35-36 පිටු ; දෙවියන්ගේ නිරුවත )
 ප්‍රේම පුරාණය මුල් වරට විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන්නේ 1999 වසරේදීය. දෙවියන්ගේ නිරුවත ප්‍රකාශ වන්නේ 2005 දී ය.  සමන් ගේ ප්‍රහර්ශය මෙසේය:

"ප්‍රේම පුරාණයේ විස්තර කරන්නේ පුරුෂවාදී ප්‍රේමය සහ පතිවෘතාවයි. සුනේත්‍රා ස්ත්‍රීත්වය මේ උගුලෙන් මුදවා පුරුෂයින්ට අත පොවන්නට බැරිතරම් උසක රඳවයි. අවසානයේ දී කියවා ඉවර කර මිස බිම තැබීමට සිත් නොදෙන ආඛ්‍යාන රීතියක කොටුවන පුරුෂවාදී දෘෂ්ටිය ස්ත්‍රී වන්දනාවකට වුව ද ලක ලෑස්ති වන තරමින් හීලෑ වෙයි." ( 36-37 පිටු)
සමන් මේ කියනා තත්ත්වය තෙරුම් ගත හැක. යුරෝපීයානු රටවල මෙන් ගැහැනිය අසම්මත පෙමකට පටලවා ගත හැකි සාපේක්ෂ පහසු තත්ත්වයක් ගැන කියවීම වුව ප්‍රහර්ශයකි. එය ස්වභාවික තත්ත්වයක ට වඩා ආසන්න වූ, ඒ නිසා ම පිරිමියා වලෙකු, වසලයෙකු නොවෙන තත්වයක, ස්ත්‍රී ප්‍රේමයේ වර්ණනා කියවීම, ප්‍රියය.  ඉතින් ස්ත්‍රී වන්දනාව සාධාරණ හේතු ඇත.

සමන් "ප්‍රේම පුරාණය" ගැන නැවත සිහි කරන්නේ ඔහුගේ ගිරිකුළ ගැන විචාරයේ ය
[ (අ)විචාර සමය 2011 - අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය සොයා ගතිමි]. ලිපියේ උක්ත මාතාකාව ගැන පවසන සමන්, අනතුරුව මෙසේ කියයි;
"..කොළොම්පුර වාසි ස්ත්‍රියකගේ මනසේ මැවෙන ස්ත්‍රිය පුරුෂයා සහ රමණය පිළිබඳ පාරභෞතික ගැන හැදෑරීමට නම් සුනේත්‍රා රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය කියවීම මැනවි. (ඇත්ත, ප්‍රේම පුරාණය මා අද කියවන්නේ එදා කියවූ ලෙස නො වේ. වෙනස් වන දැනුම මා එකම තැන ප නො කොට ඉදිරියට තල්ලු කරයි) (11 පිටුව )

අවිචාර සමයේ මෙම ලිපිය මා ශාන්ති ගේ ගිරිකුළ ත්, සුනේත්‍රා ගේ ප්‍රේම පුරාණය ත් කියවීමට පෙළඹවීය. නිරුවත් දෙවිවරු හි එන ප්‍රේම පුරාණය  පිළිබඳ ලිපිය මා කියවූයේ අද ය. මේ ලිපිය මෙවන් රටාවකට ලිවීමට හේතු වූවේ ද එම ලිපියයි. එහෙත්, සමන් සේ ම, සුනේත්‍රා මැවූ නිර්මලා ගේ චරිතය ට රෝස නෝනා ට තරම්ම ( ඊටත් වඩා ද, මන්දා ? ), ඇළුම් කරමි. මෙය සිංහල සාහිත්‍යයේ සුවිශේෂි නවකතාවක් විය යුතු බවට විශ්වාස කරමි.


2 comments:

  1. ප්‍රේම පුරාණයේ නිර්මලා වනාහි, ලේඛිකාවගේ ෆැන්ටසි අහම සිත් ගැඹුරෙන් මිදී විත් පොතක් තුළින් මතු වීමයි. එය ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට තමන්ගේ ලේඛන ජීවිතය තුළ එක් වරක් පමණක් සිදුවිය හැක්කකි. මන්ද යත් සිය කෘතිය තුළ ලේඛකයා මිය යා යුතු බැවිනි. නමුත් සුනේත්‍රාවගේ සෑම සියලු නවකතාවක් තුලින්ම යම්කිසි වේශාන්තරයක් ගත් නිර්මලාවක් එබිකම් කරනු මට පෙනෙයි.
    සහෝදරයා, විවරණය අගෙයි!

    ReplyDelete
    Replies
    1. වටිනා කරුණු දැක්වීමක්.... සමන්, දෙවෙනි විචාරයෙන් කියන්න තනන්නෙ එය යැයි සිතමි...

      Delete