බත් තරංග (2004), මේ ලේඛිකාවගේ කිය වූ එකොළොස්වෙනි නවකතාවයි. මට මේ නවකතාව ගැන දෙවිදියකට කතා කල හැක. ඒ ආකාර දෙක ගැනම කෙටි ඡේද දෙකක ට මේ රචනාව සීමා කරමි.
මෙහි පළමුවැන්න ආසන්න කියවීමයි; එනම් කෘතිය කියවාගෙන ඉදිරියට යෑමෙදී ඒ ඒ අවස්ථාව පසුකරන ගමන් ඇතිවන හැඟීම් ය. බට්ටිච්චා නම් වූ මෙහි ප්රධාන චරිතය වයසින් මැදිවිය ට ආසන්න වුව ද, ශාරිරික වර්ධනය අතින් උත්පත්තියේ දී ම යම් සීමාවකට ලක් වූ, හොදින් තම මනස මෙහෙයවිය හැක්කෙකි. ඔහුගේ පරිසරය 21 වෙනි සියවස අභිමුව කිරුළපොනේ පටු මාවතක "මුඩුක්කු" යැයි ව්යවහාර වන්නකි. ඔහු ට තම වැඩීමේ බාල බව සහ පාසැල් නොයෑම හේතුවෙන් සම්මත අධ්යාපනයක් නොතිබීම, ඔහු ට විකල්ප නොමැති ජීවිතයක් උරුම කර දී ඇත. ඒ නිසා ඔහු තම මව වූ බත් අම්මාගේ ආශ්රයේ සිඳිමින් තම දිවිය ට යම් වින්දනයක් සහ අරුතක් ගෙන ඒමට යත්න දරන්නේය. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ තම පරිසරයේ ජීවත්වන අය ආශ්රයෙන් තම මනෝලෝකයේ රෙදෙව් නාළිකාවක් පිහිටුවා තම මවගේ දෙපා ආසන්නයේ සිට තම මුවින් ම එය හැඩ ගැන්වීමයි. ඔහු තම පරිසරය ආශ්රිතව විවිධ චරිත යළි ගොඩ නගමින් තම රෙදෙව් සේවාවට එන අමුත්තන් කරලීම මගිනි. ඉතින් පිටු 179න් 75% ට වැඩි ප්රමාණයක් වෙන්වන්නේ මේ අලුත් අරුත් දුන් චරිත බට්ටිච්චා ගේ මනසින් නැවත ගොඩනැගීමත්, ඒ චරිත කතාකරනාකාරයත් මගිනි. කියවන්නියට ප්රශ්ණය ඇත්තේ මෙහි ය. මේ ඒකාකාරි ක්රමවේදය කියවන්නියගේ ඉවසීම පරීක්ෂා කරයි. මෙම චරිතයන් දෛනික ජීවිතයේ දී, සළෙළුන්, සොරුන්, මත්ද්රව්ය වලට ඇබ්බැහි වූවන්, දේශපාලඥ්ඥයින්ගේ ආධාරකරුවන් ආදීන් ය. මේ සෑම චරිතයක් ඉදිරිපත් කරලීම ට සමගාමීව, බට්ටිච්චාගේ පදරචනයෙන් නිමැවූ සරල ගී ද ගායනා කෙරේ. මට නම් මේ චරිත කෙතෙරම් වෛවර්ණ වුවද පොතේ භාගයක් පමණ පසු වද්දි කියවීමට මහත් කම්මැලි කමක් දැනුණි. ඉදිරියට ඇදුනේ මන්දගාමීව සහ මෙවන් කෙටි පොතක් මග නවතා දැමීම තේරුමක් නැතැයි සිතුණි නිසාය. ඒ මතුපිට, ආසන්න කියවීම ය.
ලෙඛිකාව මේ කෘතිය ලීවේ ඇයි ? යන ප්රශ්ණයට පිලිතුර සෙවීම ඔස්සේ එහි මතුපිට ට සීමා නොවූ දෙවෙනි කියවීමක් ද ඇත ( මට ද නොදැනී මේ දෙවෙනි කියවීම උදෙසා ඉවසීමෙන් මේ පොත කියවූ බවට මා විශ්වාස කරමි. එය මගේ මනෝ ලෝකයේ පොතකට සාධාරණය ඉටු කරන අයුරුය.) බට්ටිච්චාගේ ඇත්ත නම ගෝඨාභය ය. 2004 දී ගෝඨාභය යනු ගැමුණු නිරිදුගේ සෙන්පතියෙක් ( යෝධයෙක් ) පමණි. ලේඛිකාව සිතින් යෝධ අපේක්ෂා ඇති එහෙත් ඒවා ක්රියාත්මක කරලීමට නොහැකි භංගත්වයකින් උපන් දින සිට පෙළුණු, චරිතයක් අප ඉදිරියේ අපූරුවට මවා ඇත. මේ චරිතයේ අහිංසක, අපේක්ෂා, ලස්සන හීන මගින්, සියළු දූෂණ හොර මැරකම් වලින් හෙබි "හතේ ලේන්" එක දිගට නිල් පාට මල් පිපෙන කටරොඩු වැලක් ලෙස දිගැරී ඇත. තමන්ගේ ලෝකයම වූ හතේ ලේන් එකටත්, තම මවටත් තමන් මිය යාමට මත්තෙන් දැනෙන යමක් කරලීමේ නොනිත් ආශාවෙන්, නොහොත් තම දිවියට අරුතක් ගෙන ඒමේ නොනිත් පිපාසාවෙන් පෙළෙන්නෙකි, හේ. මේ තත්තවය දෙකාරයෙන් සිතිය හැකිය. ඔහු ට වඩා පරිපූර්ණ පිරිමි සිරුරු ඇත්තන් බෝම්බ ගසද්දි, වෙඩි තබද්දි, මත් ද්රව්ය ට ඇබ්බැහි වෙද්දි, විකල්ප නැති බට්ටිච්චා සිතින් යෝධයෙකු වීමට සිහින මවයි. ඔහු ට ද සාමාන්ය පිරිපි ආශා හිමිය. එහෙත් ඔහු ඒවා කිසිදා සිදු නොවෙන බව සක්සුදක් සේ දන්නේ ය. මිනිසෙකුට විකල්ප නැති විට ඔහු පුළුවන් තරම් හොඳ මිනිසෙකු වීම අප මිට කලින් ද දැක ඇත. මට මෙය සදා නොමැකෙන ලෙස නිරූපනය කලේ සයිමන් නවගත්තේගම සුද්දිලාගේ කතාවේ පීටර් අයියාගේ චරිතයයි. "බෝධිසත්වයෙක්" යැයි ගැමියන් පවසනා පීටර් අයියා වෙත යම් රොමියෙල් ගේ යම් ගරුත්වයක් තිබුන ද ඔහුගේ යටි හිත තැනෙක පවසන්නේ මාන්දමෙන් පෙළෙන ඒ මිනිහා වෙන මොනා කරන්න ද කියාය. පීටර් අයියාගේ ඇබේණිය කවදාවත් තම සැමියා හා එක් වී තිබුනේ නැත. මෙය "හොඳ" යන ලක්ෂණයේ සීමා ගැන ගැටළුවකි. ( පෞද්ගලිකව, මා සැමදා මගේ හත් හැවිරිදි පුතු පාසැල් යාමට අවදි කරලීමේ "දෛනික යුද්ධයේ" නිරත වද්දි, නැගිටින්න මගේ හොඳ පුතා යැයි පැවසීමේදී, ඔහු ගේ නිදිමතින් පවසන්නේ "මම හොඳ - good - නැති බවයි. ඔහු රැවටීමට ඒ වදන් නොසෑහෙන බව මා තෙරුම් ගනිද්දී සත් හැවිරිදි ඔහු වෙත යම් ගෞරවයක් ඇති වේ ). ඉතින් මේ ගැටළුව මට බට්ටිච්චා චරිතය ඔස්සේ ද නැගුණි. මොකද අපි ට සැබෑ ලෝකයේ හමුවන බොහෝ විරුවන් අහම්බයෙන් උපන් විරුවන් ය ( නිදසුන් - Travis bickle Taxi Driver චිත්රපටියේ ). එහෙත් තම පියා නො හඳුනන බට්ටිච්චා ට පීතෘ චරිතය වන් ආභාෂයක් ගෙනෙන චරිතයක් හතේ ලේන් එකෙන් හමුවිණ. ඒ කලාකාමී හර්ෂදේව මාස්ටර් ය. බට්ටිච්චාගේ සත් චේතනා මුළුමනින් ම හර්ෂ දේවයන් ගේ ආභාෂය සහ පෙර කී, හොඳ මිනිසෙකු වීම පමණක් විකල්පයක් ලෙස පැවතීම හේතුවෙන් හට ගත්තක් ද ?
2004 දී, එනම් මීට අවුරුදු 16ට පෙර, මේ කෘතිය සමඟ කල් ගෙවීමට අදට වඩා ඉඩ තිබුණු බවක් මට හැඟේ. අද වන විට සාහිත්ය සඳහා වූ ඉවසීම අඩු වී, වඩා හොඳ පොත් පමනක් කියවීමේ උවමනාව මතු වී ඇති වටපිටාවක, මෙය මට තරමක් අභියෝගාත්මක කියවීමක් විය.
No comments:
Post a Comment