Friday, 5 April 2019

ටී. එස්. එලියට් හා නව කවිය - ආරියවංශ රණවීර


මේ කෘතියට තරු දෙකහමාරක් ( **1/2), ලැබුනු හැටි මුලින් ම කිව යුතුය. ලේඛකයාගේ නිර්මාණාත්මක මැදිහත් වීම සහ පාඨකයෙකු ලෙස මට එය ලැබුණු භෞතික ආකාරය - එනම් මුද්‍රිත පොත - යන දෙක ගැන ම කිව යුතුය. ආරියවංශ රණවීරයන් ඇගයිය යුතු තරමේ, වෙසෙසින් සිහළ පාඨකයා ට ටී. ඇස්. එලියට් පිළිබඳ හොඳ හැඳින්වීමක්, ඔහුගේ සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ හොඳ හැඳින්වීමක්  මේ තුලින් ලබා දිමට උත්සාහ දරා ඇත. ඊට තරු පහකින් හතරක් ලබා දීම යුක්තියුක්තය.

මේ කොටසේ කියවෙන්නේ රණවීරයන් අපට ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ කෘතිය පිළිබඳ මගේ කියවීමයි ( එය මට මුද්‍රිත පොතක් ලෙස ලැබුණු පොත ම නොවන්න ට ඇත - ඒ පිළිබඳ පසුව ට කියමි )

කෘතිය ඇරඹෙන්නේ "ජීවිත සටහන්" නම් වූ කොටසකිනි. ඒ අනුව ඔහු ගේ බාල වියේ සිට ජීවන තතු සඳහන් රචනයක් වේ. ඔහුගේ පවුල් පසු බිම සහ ආගමික පසුබිම, අධ්‍යාපනය - වෙසෙසින් හාවර්ඩ් වල ගත කාලය, විවාහය සහ එහි අසාර්ථකත්වය, දර්ශනය පිළිබඳ ඇති උනන්දුව, දර්ශනය ද - කාව්‍යකරණය ද යන්න අතර තෝරාගැනීම, ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි ලබ්ධියට යොමු වීම, දෙවෙනි විවාහය ආදි විස්තර මෙහි සඳහන් වේ. එලියට් නම් වූ කවියා බිහි වීමට සහ ඔහු ට ආදර්ශ සහ ආභාෂය සැපයූ සිදුවීම්, පුද්ගලයින් හඳුනා ගැනීමට මේ කොටස පාදක වේ.  පීටර් ඇක්‍රොයිඩ් ලියූ එලියට් ගේ චරිතාපදාන කෘතියෙන් උපුටන රණවීරයන්,  මෙහි තැනෙක පවසෙන්නේ ඔහු ප්‍රංශයේ විසූ යුගයේ පවා ස්ත්‍රී සමාගම සහ ඔවුන් දෙස ලිංගික දිශානතයකින් බැලීම,  ඔහුගේ ආගමික සහ සදාචාරත්මක පසුබිම  මගින්  සීමා කල බවකි. ඔහුගේ කාව්‍ය නිර්මාණ වලදී ද මෙය පෙනී ගිය බවකි ඇක්‍රොයිඩ් පවසන්නේ.   Love Song of J. Alfred Prufrock සහ Portrait of a Lady ආදි නිර්මාණ මගින් පවා ගැහැණිය පොළඹවන්නියක් බවත්, ඊට පෙළඹුනොත් කිලුටු වන බවකුත් අඟවන්නේ. මට මේ අදහස, අමරසේකරගේ "යළි උපන්නෙමි", "ගන්ධබ්බ අපදානය" ආදි කෘති මතකයට ගෙන ආවේය. එහි ලිංගිකත්වය ගැන අනේක සඳහන් තිබුන ද එය පිටු දැකිය යුතු  පහත් දෙයක් ලෙස අවසන් විග්‍රහයේ දී ඇඟවේ. එය සදාරාත්මක පසුබිමකින් නැගෙන්නක් විය යුතුය.

"එලියට් ආභාසය ලද දාර්ශනිකයෝ හා කවීහු" නමින් කොටසක් ද වේ. අර්වින් බැබිට්, එෆ්, එච්. බ්‍රැඩ්ලි, චාල්ස් මොරාස්, ටී. ඊ. හූල්මේ ආදීන් ද, බෝදලෙයා, මැලාර්මේ, ලැෆෝර්ජි, කෝබියෙරේ ආදි සංකේතවාදි ප්‍රංශ කවීන් ද, පාරභෞතික කවීන් හා ජැකෝබියන් නාට්‍යකරුවන් ද, ඩාන්ටේ ද මීට  අයත්. මේ සෑම ගණයේ අය එලියට් ට කල බලපෑම කෙටියෙන් මෙහි සඳහන් වේ.  මේ කෘතියේ වටිනාකම මා දකිනුයේ මෙවන් කොටස් මගිනි.  බැබිට් බුදුදහම ගැන වූ නැඹුරුව, එලියට් ඒ  දහම පිළිබඳ උනන්දු වීම, හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දේශනයක දී එලියට් කියූ පරිදි, ප්‍රංශ සංකේතවාදි කවීන් නොවන්න ඔහු මෙතරම් අග්‍රගණ්‍ය කාව්‍ය නිර්මාණ  බිහි නොවීමට ඉඩ තිබින යැයි පැවසීම මේ කොටසේ වැදගත්කම ට නිදසුන් ය. එහෙත් මා සිත වඩාත් ඇදී ගියේ හේ ඩාන්ටේ ගෙන් උගත් පාඩම් තුන පිළිබඳව ය. ඩාන්ටේගෙන් උගත් පාඩම් තුන් ආකර යැයි එලියට් පවසා ඇත. කවියා භාෂාවේ සේවකයකු මිස ස්වාමිය වීමට යත්න දැරිය නොයුතු බව එකකි. දෙවැන්න "මිනිස්සුන්ට විඳ ගැනීමට අපහසු වේදයිතයන් විඳීම පහසු කිරීම වචනයේ යථාභූත න්‍යායන්, හරිහැති ග්‍රහණය කරගෙන ඒවා කවියක බහා තම සහෝදර රටවැසියන් වෙත ගෙන ඒම" (72 පිටුව ) ය. තෙවැන්න, ඉතාලියානු බසින් ඩාන්ටේ කවි ලීව ද, ඉන් සමස්ත යුරෝපයේ තත් කාලීන යුගය ම නිරූපනයට සමත් වීමත්, එමගින් කවියා තමන් විසූ කාලය නියෝජනය කිරීමත් ය. එහෙත් ගිණිය නොහැකි තරමේ මුද්‍රණ දෝෂයන්, මේ වන් වටිනා විස්තර කියවීමේ පාඨකයාගේ කැමැත්ත හීන කරයි.

මෙහි, එලියට් ගේ විචාරකයෙකු වශයෙන් වූ භූමිකාව පිළිබඳ රචනයක් ද වෙයි. වෙසෙසින් තත් කාලීන කවියේ, තත්වය පිළිබඳ අපූරු විචාරයක් ඔහුගෙන් කෙරිණි. රෝමාන්තික කවියේ හායන යුගයේ, ඊට පුණර්ජීවණයක් දීමට යත්න දැරූ,  ජෝරිජියානු කවිය එලියට් ගේ සමයේ ප්‍රකට විය. ස්වින්බර්ග් නම් ඒ යුගයේ ප්‍රචලිතම ජෝජියානු කවියා ය. ඔහු ගේ කවි එලියට් විචාරුවේ, "වචනය ඔහු රංජනයට පත් කරයි. එහෙත් එය යට ප්‍රස්තූතයක් නොමැත", කියාය. ජොර්ජියානු කවියේ මේ දුර්වලතාවෙන් මුදවා ගනු පිණිස එස්‍රා පවුන්ඩ් සහ එලියට් බැලුවේ ප්‍රංශ සංකේතවාදී කවීන් සහ චීන-ජපන් කවි දෙස ය.

ප්‍රස්තූත කාරණයට ඍජු අදාළතවයක් නැති දෙයක් ගැන කියන්නේ නම්, මෙහි රංජනීය වචන සහ ශබ්ද රසය මගින් කවිකම් පෙන්වීමේ දක්ෂතා ගැන කීමේදී මට මංජුල වෙඩිවර්ධනයන් මතකයට ආවේය. ඉන් ඔහු ගේ කවි වල ඒ මනරම් භාෂා ශිල්පය පිටුපස ප්‍රස්තූත නැති බවක් නොකියවේ. එහෙත් ඔහුගේ කවියේ වෙසෙස් දක්ෂතාව ඒ බසින් කරනා දස්කම් බවයි මගේ අදහස. ඊට සාපේක්ෂව, එතරම් චිත්තාකර්ශනීය නොවන මාතෘකා ඔස්සේ, වියුක්ත සහ හැඟීම් වලින් අවම කවියකි, අප සාමාන්‍යයෙන් එරික් ඉලයප්ආරච්චිගෙන් දකිනුයේ. එරික් මුඩුබිම (Wasteland ) කාව්‍යය ද සිංහලට පෙරළා ඒ පිළිබඳ පිටු දෙසිය ගණණක, දීර්ඝ ටිකාවක් ද ලීවේ ඒ ආභාෂය නිසා ද ?

කවියාගේ නොආකාර හඬ - මේ රචනය එලියට් කවිය කෙසේ ලිවිය යුතු ද, එය ගත හැකි ආරයන් මොනවාදැයි  විස්තර කරමින්,  එලියට් සිතූ අයුරු ගැන කියවේ. අපට එලියට් ගේ කවි තුලින් ද, මේ විවිධ හඬ දැකිය හැක. මේ හඬ තුන, කවියා තමා ම ඇමතීම, පාඨකයා ඇමතීම, සහ නට්‍යමය චරිතයක් ස්වරූපයෙන් ඇමතිම යි. මේ එක් එක් ආකාර භාවිත වූ අවස්ථා ද නිදසුන් ලෙස මේ රචනාවේ ඇත. ශ්‍රවණේන්ද්‍රීය පරිකල්පනයේ  වැදගත්කම ගැන ද මේ රචනාවේ අන්තර්ගතය. "කවියේ අභ්‍යන්තර වයනයේ (texture) අනුලංඝනිය අංගයන්" යයි එලියට් මෙන්ම පවුන්ඩ් ද විශ්වාස කල හ.

මේ කෘතියේ වටිනාකම ගැන අදහස් ලබාදෙනු වස්, කවි විඳීම නම් කොටසේ එන මේ උදෘතය ඉදිරිපත් කරමි. ඒ අර්ථයෙන්, මේ කෘතිය, එලි‍යට් පමණක් නොව, සමස්ත කවිය ගැන ද ගැඹුරින් සාකච්ඡා වන කෘතියකි. නැවත නැවත අදාළ කොටස් හෝ කියවිය යුතු ආරේ පොතකි. මගේ එකම බලාපොරොත්තුව ආරියවංශ රණවීරයන් ඔහුගේ මේ මහත් පරීශ්‍රමයේ ප්‍රතිඵල, වඩා නිවැරදි, වගකීමක් දරණ මුද්‍රණ ආයතනයක් මගින් සිංහල පාඨකයාට ලබා දෙනු ඇතැයි කියාය. එවන් අළුත් මුද්‍රණයක් පැමිණියහොත්, මා මේ පිටපතේ  ලියූ සටහන්, ඉස්මතු කිරීම්, සියල්ල ඒ පොත වෙත මාරු කර, මේ පොත හැකි ඉක්මනින් බැද්දට වීසි කරනු ඇත. අර කී උදෘතය මෙසේ ය.

"කවියේ පරමාර්ථය ගැන එලියට් ඍජුව නොවුනත්, ඩ්‍රයිඩන්ගේ කවි ගැන කියනවිට - කවිය විසින්, විඳින්නාට සුප්‍රීතිය delight ගෙන ආ යුතු යැයි පවසයි. ඔහු මෙහිදී සතුට pleasure  ආහ්ලාදය joy සන්තුෂ්ටිය delight වැනි වචන නොයෙදා (sic) සුප්‍රීතිය delight යන වචනය යෙදීමෙහි අරුතක් ඇත... එය ප්‍රීතියේ වඩා සියුම් ලෙස නිම්හිම් ලද වේදයිතයකි." (146 පිටුව)

ඉන් අනතුරුව, එලියට ගේ කවි සමුච්ඡය පිළිබඳ කොටසක් වෙයි. එහි එලියට් ගේ කාව්‍ය නිර්මාණ බිහි වූ අවදි වලට වෙන් කොට, ඒ පිළිබඳ විස්තර වේ. අවසන කවියාගේ කාව්‍ය නිර්මාණ පහක් තෝරාගෙන ඒ ඒ නිර්මාණය පිලිබඳ විමසුමක්, අර්ථ දැක්වීමක් පළ කොට ඇත. ඒ අනුව,
Portrait of a Lady
Rhapsody on a windy night
The Love Song of J. Alfred Prufrock
The Wasteland, යන කාව්ය ගැන රචනාවන් වෙයි. මෙහි එන The Wasteland ගැන රචනාව මා මේ කෘතිය කියවීම ට මූලික කාරණාව විය.

ඇත්තෙන්ම රුපියල් පන්සියක මිලක් නියම කොට ඇති මේ කෘතියේ සාරගර්භත්වය අනුව මෙය රුපියල් දහක මිලක් යුදුව ද පාඩු නැත - එහෙත්, ඒ වගකීමෙන් මුද්‍රණ කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස පමණි.

දැන් මා පෙර කිහිප විටක් ඉඟි කල මට ලැබුණු මුද්‍රිත පොත දෙස ට යොමු වෙමි. ලේඛකයා යෙදූ පරීශ්‍රමය  පාඨකයා අතට පත් වෙද්දී එය සාර්ථක නිර්මාණයක් ලෙස ඇයට ලබෙන්නේ ද?   අවංක, කෙටි පිලිතුර, නැත යන්න ය.  මට ඒ සාහිත්‍යකරුවාගේ නිර්මාණය විඳීමට, නෑ, විඳවීමට ලැබුණේ "අහස පොතක්" ලෙසිනි. ඒ භෞතික පුස්තකය ට තරු පහකින්, එකක් දෙමි. ඒ අනුව සමස්ත කෘතිය ට තරු දෙකහාමාරක් ලබා දෙමි. මේ තරම් නිර්මාණ කරුවා ට ත් පාඨකයාට ත් අසාධාරණයක් කරන මුද්‍රිත පොතක් මා නම් දැක නැත. මෙහි මුද්‍රණ දෝෂ සංඛ්‍යාව ගණන් කරන්න නොහැකි තරම් ය. එය ඒ තරම් දුර්වල මුද්‍රණ කටයුත්තකි. හිත් ඇදගන්නා සුළු කවරයක් තිබුන ද, ඉන් අභ්‍යන්තරයේ කෘතියේ නිර්මාණකරුවාට ත්, පාඨකයා ට ත් සාධාරණයක් වන අයුරින් කරුණු මුද්‍රණය කර දැක්වීමට කිසිදු අවංක පරීශ්‍රමයක් යොදා නැත. පොත්ත පමණි. පොතේ කවරේ විවෘත කල තැන ඉඳන් ම දෝෂ ය. අවම තරමේ මෙවන් කෘතියක ට පටුනක් ඇතුලත් කරලීමට හෝ ඇවැසිතාවක් තිබී නැත ( එහි යම් වගකීමක් නිර්මාණකරුවා ද භාර ගත යුතුය ).   මට නම් මේ තරම් අසාධාරණයක්, එනම් බොහෝ වටිනා සාහිත්‍යම කරුණු ඇති පොතක්, මුද්‍රණයේ දෝෂ නිසා, වටිනාකම අවම වීම ගැන ඇත්තේ සැලකිය යුතු තරමක උදහසකි.

No comments:

Post a Comment