Friday 12 April 2019

අසනග වැස්ස - දර්ශනා ශම්මි විජේතිලක


ඇතුවත් බැරි, නැතුවත් බැරි බැඳීම්... එහෙම කීවට, ඇත්තම කියනවා නම්, මට නම් කවමදාවත් බැඳීම් නැති වීම සැපක් කියලා තවම හිතිලා නෑ, ....

"තරුණ කාලෙම බැඳීම් ඇලීම්වලින් අයින්වෙලා තනියම වෙදහෙදකම් කරගෙන ගමේ මිනිස්සුන්ගෙ හිත දිනාගෙන කාටවත් කරදයක් නැතුව ඉඳලා කරදරයක් නැතුව මැරුණ. තමුන්ටත් ගත කරන්න තිබුණෙ එහෙම ජීවිතයක්. තමුන්ටත් එහෙම ජීවිතයක් ලැබුණ. ඒත් ඒ සේරම අතැර දමල බැඳීමක් පසුපස්සෙ ඇවිත් බැඳීම් ගොඩක් ඇතිකරගත්ත. ගැලවෙන්න බැරි තරමට ඒ බැඳීම් වැඩිකරගත්තෙ තමුන්මයි." ( 354 පිටුව )

 කතරගම ආලත්ති අම්මා කෙනෙකු ලෙස හද්දා පිටිසර අභිමානවත් දිවියක් ගත කල වසුන්දරාවන්ගේ කතාන්දරයයි මේ. මේ නවකථාව සාර්ථක වීමට හේතු වූයේ, ලේඛිකාව එම චරිතය ගොඩනගා ඇති අයුරුය.. එහි "සුදු" පැත්ත බහුල බව සැබෑවකි. මිට පෙර යුගයක. 1920 දශකයේ පමණ,  ආගමික වටපිටාවකින් බිහිවන්නි, එවන්  සුචරිතයට බර වීම අවිශ්වාසදායි නොවේ.  නුමුත්, ඈ සිත්  ගත් පිරිමියා ඉදිරියේ, තමන් මෙතෙක් කල් ඇදහූ සම්මතයන්, සම්ප්‍රදායන් වලට පිටු පා, තම සිතට නතු වීම මගින් එම චරිතය ට ඇවැසි ස්වභාවිකත්වය සහ විශ්වාසනීයත්වය ගෙන දේ. ඒ විශ්වාසිබව හේතුවෙන්, විටෙක එම චරිතය හින්දී සෝප් ඔපෙරාවක චරිත ලක්ෂණ පෙන්නුම් කල ද, පාඨකයා ට ඒ චරිතය ගැන වෙසෙස් අවිශ්වාසයක් හට නොගැනේ.  කතුවරිය අර්නස්ට් කරල්ලියද්ද ,බ්‍රයන් ආදි සෙසු චරිත ද සාර්ථකව ගොඩ නගා ඇත. කෙසේ ද කිවහොත්, රතු මහත්තයා ද, තරමක් සෙල්ලක්කාර වුව ද කළු චරිතයක් නොකිරීමට තරම් මැදහත් සිතකින් කතුවරිය චරිත නිමවා ඇත.

නවකථාව ඇරඹෙන්න මද වේගයිනි. පිටු සියයක් පමණ වන තෙක් කතරගම දේවාලයේ ආලත්ති අම්මෙකුගේ වතාවත් පිළිබඳවත්, ඒ ප්‍රදේශය ට වෙසෙසින් ආවේණික කෑම වට්ටෝරුවේ විස්තරත් ය.  මෙහි පළමු පිටු දෙසීය - දෙසීය පණහ පමණ කියවිමට සෑහෙන කාලයක් ගත විය. ඒ එය රසවත් බවින් තොර වීම නිසා නොව - ආඛ්‍යානය දිගැරෙන වේගය, සීමිත කාලයක් ඇතිව කියවීමේ යෙදෙන අප හට තරමක් නොපෑහෙන ගතියක් ඉඟි කරන නිසා ය. එහි දොස අපේ ද, ලේඛිකාව ගේ ද යන්න පිළිබඳ මට විශ්වාසයක් නැත. එහෙත් මෙහි එන කථා නායිකාවගේ විවාහයෙන් පසු යුගය, සාපෙක්ෂ වශයෙන් වේගයෙන් දිගැරෙයි. ඊට තත්කාලීන රටේ දේශපාලනය සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආභාෂය ලත් වැවිලිකරු ජීවිතය ද ඇතුලත් ය. පෙර කී කතරගම ආලත්ති අම්මාගේ ජීවන වටපිටාව මෙන්ම, ඔහියේ වතු හිමියන්ගේ ජීවන වටපිටාව ද ලේඛිකාව හොඳින් නිරූපනය කර ඇත.

නවකථාවට සබැඳි එහෙත් තරමක් බාහිර අදහස් කිහිපයකට යොමු වෙමි;

ආගමික ලබ්ධිය හා මිනිසුන් ඒ කෙරෙහි ඇති බැඳිම් සිව් ආකාර යැයි සිතමි. එකක්, එය මෝස්තරයක් කරගෙන අන් අයට ද කරදයක් වන ලෙස ආගම අදහන අයයි. දෙවෙනි කොටස ආගමික පසුබිමක හැදී වැඩී ඉන් යම් ආභාෂයක් ඇතුව තමන් ගේ විශ්වාසය මත දිවිය තමනට තේරෙන ආකාරයෙන් නිවැරදිව ගත කිරීමට යත්න දරන්නෝ ය. තෙවැන්න ආගමක් නො ඇදහුව ද ඒ පිළිබඳ පම්පෝරි නොගසන අන් අයගේ විශ්වාසයන් ගැන වද නොවෙන ඇත්තොය. ඔවුහු අනාගමික වුව ද හර පද්ධතියක ට නතු වූවෝ ය; සිව්වැන්න පෙර කී පළමු කොටසේ පරස්පරය ලෙස තමන් ආගමක් නො අදහන බව අන් අයට ඇහැට ඇන කියා පාමින් කරදර කරන්නෝ ය. මෙහි එන ආලත්ති අම්මලා අයත් වන්නේ මෙහි දෙවෙනි කොටසට ය.  ඉතින් ඒ ආගමික සංවරය තම දිවිය හරහා බැබලීම යුතියුක්තය ( මෙය ලබ්ධිය සත්‍ය අසත්‍යබාවය ගැන විවාදයක් නොවේ - මෙය එතනට තැන ද නොවේ ).

මෙහි මා වඩාත් සිත් ගත් තැනක් නම්, බිරිඳක් තම සැමියා වරදෙහි බැඳීම ගැන සමාව දීමට උත්සාහ කල ද, ප්‍රායෝගිකව ඒ මානසික ස්ථානයට ඒමට සාර්ථකව හැකි වී ද යන්න, සහ,  අනතුරුව එම සැමියගේ ඇවෑමෙන් ඔවුන් ගත කල ප්‍රීතිමත් කාලය මතක් කරලමින් වැලපීම. මෑතක හරාරි ගේ සේපියන්ස් කෘතිය කියවද්දී ද, මිනිසුන් හා ගැහැණුන් පතීව්‍රතාව රැකීමේ හැකියාව වැඩි වන අයුරින් ජාන සකස් කරලීමේ උවමනාවක් ගැන කියවිණි.  මිනිසුන් හා ගැහැණුන් තමන්ගේ සහකාරියගෙන් හෝ සහකාරයාගෙන් හෝ පිට බැඳීම නො ඉවසීමේ මූලය ඇත්තේ ඊරිසාවද ? එය ඉවසීමේ හෝ නො ඉවසීමේ සීමාව කොතැනක ද ? පෙර කී බිරිඳ සැමියාගේ ඇවෑමෙන් පතන්නේ එන ජන්මයේ ද එම සැමියා ම ලැබේවා යැයි කියා ය. එනම් මිනිසුන් හෝ ගැහැණුන් ලෙස කුමන වරදක් තිබුන ද එහි සත්‍ය ප්‍රේමයක් තිබූ බවක් නො ඇඟවේ ද?

නවකථාව අහවරවන්නේ, බැඳීම් ගෙනෙනා වේදනාව හේතුවෙන් ඒවා නොපතන තැනෙක සිට, නැවත බැඳිම් නිසා ම දිවියට අරුතක් ද ගෙන දෙන බවක් අඟවමිනි.

"බැඳීම් ඇලීම්වලින් වෙන්වෙනවා කියලා හිතුවත් අන්තිමට වසුන්දරා ප්‍රාර්ථනා කළෙ ආයෙම සංසාරෙ දවසක එකට එකතු වෙන්න. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත."
 ( 399 පිටුව ).

2017 වසරේ ප්‍රකාශිත පොත් අතරින් වඩාත් සාර්ථක, පරිපූර්ණත්වයට තරමක් ආසන්න නවකථාවකි. මෙය බොහෝ සම්මානයන් හි අවසන් වටයට තේරීම යුක්තියුක්තය. ඉන් එකක් හෝ ජයග්‍රහණය කලා නම් එහි ද දොසක් මම නොදකිමි.

( 2017 වසරේ ප්‍රකාශ වූ නවකථාවන්ගෙන් මා කියවූ නවවැන්න මෙයයි. ඉසුරු ප්‍රසංග ගේ "පේමතො ජායති අසෝකො", භද්‍රජි මහින්ද ජයතිලක ගේ "බලකොටු සහ නෞකා" සහ විමල් උදය හපුගොඩ-ආරච්චිගේ යකඩ සිල්පර සමඟ මේ නවකථාව ද මුල් ස්ථාන හතර අතර රැඳීමට තරම් රසවත් ය, පරිපූර්ණ ය. මින් එක, දෙක, තුන යනාදිය කවරේ යන්න , ද  කියවීමට ඉතුරු දසවෙනි කෘතිය ද කියවා ප්‍රකාශ කරමි. )

No comments:

Post a Comment