Monday, 11 February 2019

පොට ඇණය සහ මුරිච්චිය - පී. බී. ජයසේකර


පී. බී. ජයසේකර වූ කලි, දැන් වන විට සිංහල නවකථා කියවන්නිය ගේ විශ්වාසය දිනා ගත් ලේඛකයෙකි. "මරියා සිලොනිකා වස්තුව", "අවලමා සහ ඇහැටුව", සහ "ඉක්බිති ඔහු මරාපීහ" ඔස්සේ ඔහු ඒ විශ්වාසය ගොඩ නගා ගත්තේ ය. ඔහුගේ නවතම නවකතාව වන "මා ප්‍රති. මා" මේ දින වල මහත් සේ පාඨකයන් අතර සාකච්ඡාව ට බඳුන් වන නවකතාවකි ( මා එය තවම කියවා නැති හෙයින්, ඊට වඩා ඒ ගැන යමක් කිව නොහැක ).එහෙත් මේ ලියමන ඔහු 2017 පළ කල කෙටි කතා සංග්‍රහය ගැනය. එය මා, ඒ වසරේ ප්‍රකාශ වූ කෙටි කතා ගොන්න අතරින් කියවූ දසවැන්නයි.

මෙහි කෙටි කතා හතකි. පිටු දහයක එක් කෙටි කතාවක හැර අන් සියල්ල තරමක දිගු කෙටි කතා ය. පිටු පණහක වැඩි කෙටි කතාවක් ද, පිටු තිහකට වැඩි කෙටි කතා කිහිපයක් ද මේ අතර වෙයි. මෙතරම් දිගු කෙටි කතා වලට මා සාමාන්‍යයෙන් එතරම් මනාප නැත. මෙම කතාන්දර කියවාගෙන යන කල, ඒවා නවකථා වලින් සැලකිය යුතු තරමේ පදාස දෝ යැයි සිතෙන්නේ ය.

පර දරුවා නොහොත් පර යුද්ධය: මෙය සංවේදි කෙටිකතාවකි. නැත පිටු පනස් හතක් පමණ දිවෙන මෙය, කෙටි නවකතාවක් තරම් විස්තර සහිතය. නවකථාවක ට ඔබින සියුම් විස්තර මෙහි ඇත ( නිදසුන් - සැමියා දිවා රෑ අන්  කතක් ගැන සිහින මවන අතර, ඔහුගේ බිරිඳ රෑ නින්දේ සිත පාරවන ආකාරයේ හීනයකින් අවදි වීම - මෙය කෙටි කතාව ට අවශ්‍ය ම ද ? ). එහෙත් එම නිර්මාණය පාඨකයා ට කම්පනයක් ගෙන දෙන ආරේ විශිෂ්ඨත්වය අසලට යන ආරේ නිර්මාණයකි.

බළ පෙරළිය: මෙය තරමක් සිත ව්‍යාකූලත්වය ට පත් කරනාකාරයේ කෙටි කතාවකි. ගමක් ම අනෙක් පැත්තට හරවමින්, සිවු පා ගණයේ, මිනිසුන් ආධාරයට ගන්නා සතුන් "බළ පෙරළියක්" කරලීමත්, ඉන් දීර්ඝ කාලීනව උන්ට යහපතක් නොවෙන අයුරුත් පෙන්වන කෙටි කතාව, ජෝර්ජ් ඔර්වෙල් ගේ Animal Farm නවකතාවෙන් යම් අභාෂයක් ලැබුවේ ද? එහි වෙනස් ආර නිසා රසවත් වුව ද, මී ගොණුන් හැසිරීම පිළිබඳ වූ සියුම් විස්තර ආදිය කෙටි කතාව අනවශ්‍ය ලෙස දීර්ඝ කොට ඇති සේ ය.

සතුට: මෙහි එන කෙටි වූත්, රසවත් වූත් කෙටි කතාවකි. ආබාධිත සෙබළෙක් (?), තම කාම ගිනි නිවා ගැනීමට වෛශ්‍යාවක (?) පිහිට පැතුව ද, ඔවුන් අතර ඇති සබඳතාව හුදු ආර්ථික ගණුදෙනුවකට එහා යන එකක් බවත්, එම ස්ත්‍රිය ම අවස්ථාව ලැබූ කල ඊට බොහෝ ප්‍රබල වංචනික කටයුත්තක් අන් පුරුෂයෙකු හට සිදු කිරීමට නොපැකිළෙන බවත් පෙන්වයි. මිනිසෙකු,  ගැහැණියෙකු සතුට වෙනුවෙන් යම් යම් දේ කැප කරයි..

ආබාධිත සෙබළා: මිනිස් සිතුවිළි හා හැසිරීම් පිළිබඳ ප්‍රශ්ණකරනාකාරයේ අපූරු ගෙත්තමකි. මෙහි සුදු චරිත නැත. ආබාධිත සෙබළා, තම ආබාධිත බව තම වාසියට භාවිත කරයි. නුමුත් ඔහු යුධ පිටියේ කල සැබෑ කැප කිරීම, නාමික බෞද්ධ ආටෝපයක් පැළඳ ගත්තෝ,  ලඝු කරන්නේ වායු සමනයකරනය කල කාමරයක සැප පුටුවක සිට, පටු තර්කයක පිහිටා ය. තම වාසියට කතා කිරීමේ දි, හා කටයුතු කරලීමේ දි, ඉහළ නිළධාරිණිය ද, ආබාධිත සොල්දාදුවා ද, වයස්ගත කතා නායකයා ද අතර  එතරම් වෙනසක් නැත.

පොට ඇණය සහ මුරිච්චිය: "මුරිච්චිය පොට ඇණෙන් බුරුල් වුණා ම රේල්පීලි එහ මෙහා ගිහිං කෝච්චි පීලි පනින්ඩ පුළුවන්. ඒක බොහොම අවදානම්" ( 160 පිටුව )

"තියාපිය බෙල්ල... තියාපිය බෙල්ල..." ( 174 පිටුව )

තම කලත්‍රයා අන් පුරුෂයෙක්/ස්ත්‍රියක් හා එක් වීම දරා ගත නොහැකි ස්ත්‍රියක් හා පුරුෂයෙක් අලලා ලියැවුණු අපූරු කෙටි කතාවකි. පර දරුවා නොහොත් පර යුද්ධය ට පසු ව මා වඩාත් රස විඳි කෙටි කතාවයි.

රිළා-මිනිස් ගැටුම: පරිසරයේ සතුන් හා මිනිසුන් අතර ඇති සීමාව කඩ වී අස්වාභාවික ලෙස යම් සත්ව කොට්ඨාශයක් අළුත් පරිසරයකට අඳුන්වා දුන්නොත්, එහි ප්‍රතිවිපාක සැලකිය යුතු තරම්ය. මිනිසා තම ව්‍යාප්තිය ඔස්සේ සත්ව ලෝකයේ සීමාවන්ට බාධා කරයි. මෙම තත්වයන් පදනමක් ලෙස සලකා ලියැවුණු යමක් සිතන්නට පොළඹවන ආරේ කෙටිකතාවකි.

මවු කිරි සහ මවු කඳුළු සහ සිතුවම: අයෙක් තම බිරිඳ වෙත ඇති ලිංගික බැඳීමේ ප්‍රබලත්වය මත ඔහුට ම දාව දරුවෙකු බිහි වනවා ට අකමැති නම්, ඒ මවු පදවිය අහිමි වන ස්ත්‍රිය ගේ මානසික පීඩනය, සිතුවිලි  වල සහ ශාරිරික ව්‍යාකූලත්වය කෙසේ විය හැකි ද? මෙහි එන සිතුවමක් දරුවකු බිහි කිරීමේ අයුරු  නැවත විඳිමට භාවිත කරනා කොටස මහත් කම්පනයක් ගෙන දෙන්නකි.
"පුතේ උඹට ඉනුව කිරි. පුතේ උඹ වෙනුවෙන් වැටෙන කඳුළු. අපි පින්සලෙන් මේ කිරියි මේ කඳුළුයි රතු පාටයි මෙන්න මෙහෙම කලතනවා. මමයි උඹේ තාත්තයි එකතුවෙලා උඹ හැදුවට එතන ආදරයක් තිබුණේ නෑ. උඹට උපදින්න ගැම්ම දෙන්න ආදරයක් තිබුණේ නෑ. දැන් උඹට උපන් කිරියි උඹට උපන් කඳුළුයි රතුපාටට මුහුකරල අපි වෛරය තනනව. එයා දන්නේ නෑ උඹ දුවක් ද පුතෙක් ද කියලා මගෙ පුතේ. මාම
උඹට මගේ ජීවිතය දෙනවා. උඹ පිළිගනින් මගේ පුතේ. මං අද උඹැ උපද්දනවා." ( 230-231 පිටු )
සමස්ත වශයෙන් මහත් කම්පනයක් ගෙන දුන් කෙටි කතාවකි.

කෙටි කතා හත උදෙසා පිටු 238ක් වැය කිරීම හේතුවෙන්, යම් තරමක් මේ සංග්‍රහය කියවීමේ උද්යෝගය මද කිරීමට එය හේතු වෙතත්, රචනා හතේ ඇති ප්‍රබලත්වය එම බාධාව මැඩ පවත්වමින් මතු වේ. කියවිය යුතු ම ආරේ කෙටි කතා සංග්‍රහයකැයි සිතමි.


No comments:

Post a Comment