Monday, 11 February 2019

සරස්වතී උකටලී ව - කැත්ලීන් ජයවර්ධන




2017 වසරේ ප්‍රකාශ වූ කෙටි කථා සංග්‍රහයන් අතරින් මා කියවීම ට තෝරා ගත්  එකොළොස්වැන්න හෙවත් අවසන් සංග්‍රහය ලෙස කැත්ලීන් ජයවර්ධන ලියූ "සරස්වතී උකටලී ව" කියවූවෙමි. පිටු 130 ක් තුල කෙටිකතා හතක් දිගැරෙන මේ සංග්‍රහයේ, දැන් දැන් අපට තරමක් හුරු හෙවත් බලාපොරොත්තු වන ආරේ දාර්ශනික මූලයන් හතක් ඔස්සේ, නිමැයු ප්‍රබන්ධ කතා හතකින් හෙබි ය. සාමාන්‍යයෙන් පිළිගැනෙන නොහොත් සාම්ප්‍රදායික ව සිතනා ආකාරය අභියෝගයට ලක්කරනාකාර සිතිවිලි ඔස්සේ මේ කතා හතම ලියැවී ඇත. ඒවා පාඨකයා ගේ උනන්දුව වඩවයි. එහෙත් විටෙක දාර්ශනික ප්‍රශ්ණයේ වලංගුතාව මතු කිරීමේ උවමනාවෙන්, කතා රසය වන්දි ගෙවූ අවස්ථා ද වෙයි. හෙවත් කතුවරිය තම ගැටළු වල අදාළත්වය ම, වලංගුතාව ම මතු කරවනු වස් දැරූ පරීශ්‍රමයේ කැපුම් රේඛා, ඉරුම් රේඛා, මැසුම් රේඛා සමහර පාඨකයයෙකු ගේ ඇස ගැටිය හැක.

ඔබ මිනිසෙකු නම්: කතුවරීය, අප කා තුලත් මිනීමරුවෙකු සිටිය හැකි බවත්, ඇවැසි වන්නේ තමන්ගේ සිත අවනත නොවන සිදුවීමක් ඔස්සේ ඔහු හෝ ඇය හෝ ඇවිස්සීම පමණක් බවත්, ආදරය සහ වෛරය, යන එකම කාසීයේ දෙපැත්ත ඊර්ෂ්‍යාව නම් ඇඟිලි තුඩු මගින් පෙරළිය හැකි බවත් අවධාරණය කරනාකාරයේ කෙටි කතාවකි. තමන්ගේ පාර්ශ්වය සහ තම සෝ දුක් ගැන පමණක් ගෝචර වන්නා අන් කෙනා ගේ සාධාරණ බලාපොරොත්තු තේරුම් නොගන්නා අයුරුත් කතුවරිය වස්තුබීජ කරගනී. සිතන්න ට යමක් ඉතිරි කරන මුත්, ඒ සිතිවිල්ල එතරම් ම නැවුම් නොවන බව කිව මනා ය.

තහනම් ගහේ සාම කුරුල්ලා: මෙහි එන රසවත් ම කතාවකි; එනුමු යම් කෘතීම ආයාසකාරි බවක් නැත්තේ ද නොවේ. යමෙක් තම සතුට වෙනුවෙන් සම්ප්‍රදායෙන් පිට යමක් සිදු කිරීම  ඇත්තෙන් ම වැරදි ද?  වෙසෙසින් තමන්ගේ අතින් මෙතෙක් අගතියක් සිදු වූ පාර්ශවයටත් හේතු නොදැන හෝ තිබුනාට වැඩි හිතකර පරිසරයක් ඇති වනවා නම් ? සත්‍ය ආදරය කෙනෙකු ට හමු වන කී වැන්නා තුලින් ලබන්න ට නියමිත ඇති ද?

චරිතාපදානය:  පිටස්තර බාහිර ලෝකය, වෙසෙසින් සමාජයේ නිල මට්ටමකින්  සබඳතා පවත්වන අයට වඩා, අයෙකු ගේ සේවකයෙකු කෙතෙරම් නම් ප්‍රභූ තැනැත්තෝ පිළිබඳ ව දන්නවා විය හැකි ද ? ඒ ඒ ප්‍රභූන් ගේ සැබෑ චරිතාපදාන ලිවිය හැක්කෝ එම සේවකයන්ට ය. නිල මට්ටමින් හැසිරෙන්නෝ  ප්‍රබන්ධ රචනා කරුවෝ පමණක් විය නොහැකි ද?

සිරකරුවෝද මනුෂ්‍යයෝය: එසේය; ඔවුන ට ද නොසිතූ අවස්ථාවක දී ප්‍රේමයක අවසරයෙන් තම නොමග ගිය ජීවිතය හෝ නිසි මග ට ගෙන ඒම ට අවසර ලැබිය හැක; හෙවත් බිඳ හෙළන්න ට ගිය දේවාලයේ කපු මහත්තයාගේ භූමිකාව නොසිතූ අයුරින් ලැබිය හැකිය.

කාල ශ්වේත: මෙය මෙහි එන අපූරුත ම කෙටි කතාවකි. ඉතා වැදගත් ප්‍රශ්ණයක් කතුවරිය අපෙන් අසයි. කැපකීරීම මගින් කැපකරන්නා ට හා ඒ "ලාභය" ලබන්නා ට හිතකර වටපිටාවක් ගෙන දෙන්නේ ද?
"ජීවිතයේ අප විසින් සිදුකරන ලබන විසල් වූ පරිත්‍යාගයන් පසුකලෙක ඉතා විසකුරු ලෙස, බිහිසුණු ලෙස අපට  කරන්නේ යැයි දැන්-දැන් මට සිතෙයි.... මිනිසුන් දූෂිතයන්, සමාජ විරෝධීන් බවට පත් කිරීමේලා මේ පරිත්‍යාග හා  ඒ වෙනුවෙන් උපදින පශ්චාත්තාපය මුල් වන්නට ඇති ඉඩකඩ පිළිබඳ රතු එළි දැන්-දැන් මා තුළ වරින් වර දැල්වෙමින් පවති." ( 83-84 පිටු )
කතුවරිය තම නිර්මාණ උදෙසා භාවිත ගැටළු වලින් වඩාත් ස්වභාවික ලෙස භාවිත කොට ඇත්තේ මේ සිතුවිලි ධාරාවයි.

පරම රමණි: අප ජීවිත වලින් කෙතෙරම් ප්‍රතිශතයක්, අප අන් අය "මෙසේ සිතාවි" සහ අන අයගේ සිතුවිලි වලට ප්‍රතිචාර දීම උදෙසා අප ජීවිත වැය කරන්නේ ද? මිය ගිය ඇයගේ විඥ්ඥාණය ප්‍රධාන චරිතය ලෙස සැලකෙන මේ කෙටි කතාව අළුත් අත්දැකීමකි.

සරස්වතී උකටලී ව: බුද්ධිමය දේපළ හා ඒ ආශ්‍රිත නඩු හබ ත්, වර්තමාන කලා ලොවේ ඇති හැළ හැප්පිලිත්, එය සරස්වති ය ඇත්තටම  හෝ පළු වන පෙතේ වසන්නේ නම් ඇය ගේ කම්පාවේ තරම ගැනත් ලියැවුණු නිර්මාණයකි. එහි යම් නව්‍ය භාවයක් නැතුවා නොවේ. වෙසෙසින් මෙහි දි කතුවරිය  බුද්ධිය හා දේපළ අතර ඇති නොගැලපීම මතු කරයි.

ඉතින් මෙම සංග්‍රහයේ පෙර කීවාක් මෙන් යම්, සෑම කතාවේ ම පාහේ යම් දාර්ශනික පැණ්යක් පදනම් කොට ගෙන ලියැවුණු අපූරූ කෙටි කතා හතකින් සපිරිය. නිර්මාණ හත ම එක ම තලයේ නොවේ. එහෙත් කියවන්නිය රසවිඳිනාකාරයේත්, තැනෙක දෙකක තත්පර ව, ඇය මතු කරනා දාර්ශනික ස්ථානයන් ගැන සිතන්න ට යොමුවෙනාකාර කෘතියකි. සමාජ විධීන්, සිතුම් රටා අභියෝගයට පත් කෙරෙන ආරේ රචනා හතකි. එක් ගැටළුවක ට ඇත්තේ මේ සිත කොනිත්ත  ප්‍රශ්ණ මතු කරලීමේ පරම උවමනාවෙන් ම මේ කතා රචනා වී ඇති බව කියවන්නිය ට පසක් වීම ය. හෙවත් ස්වභාවික බවේ යම් තනුක වීමක මිලක් මේ නිර්මාණ සඳහා වැය කොට තිබීම ය.


No comments:

Post a Comment