Saturday, 6 October 2018

ඉස්කිරිම - දමිත් උදයංග දහනායක



  ( සාමාන්‍යයෙන්  ඊට පෙර වසරේ නිකුත් වූ මා කියවීමට තෝරා ගත් නවකතා ගොන්න කියවා අහවර වන තෙක්, "ඊළඟ වසරට" අත නොතබමි. ඉතින් 2017 මා කියවීමට තෝරා ගත් නවකතා තව 4-5 ක් ඉතුරු ය.  මම පාඨකයෙක් පමණක් නිසා ඊළඟ සම්මාන කාලගෝට්ටියට පෙර ඒ ටික කියවා හමාර කලා ම ප්‍රමාණවත් ය. 2018 පොත් ඉන් පසුව ය. එරික් ඉලයප්පආරච්චිගේ අලුත් නවකතාව නිසා හෝ මේ රටාව මා  බිඳිතැයි සිතිය නොහැක. එහෙත් දමිත් දහනායක ට ඒ දේ සිදු කල හැකි විය. ඒ ඔහුගේ "තෙමි තෙමි ම මම" කාව්‍ය සංග්‍රහයෙන් මා ලත් කම්පනයත්, වින්දනයත් නිසා ය. මා ඒ කෘතිය කියවීමට මුල් වූයේ අමරකීර්ති ගේ විචාරයක් කියවීමෙන් අනතුරුව ය. ඉස්කිරිම කියවා අහවර වත් ම මට දැනුනේ, "තෙමි තෙමි ම මම" නොකියවා ඉස්කිරිම පමණක් කියවීම අසම්පූර්ණ සාහිත්‍ය සේවනයක් ලෙසට ය. ඒ දෙක අතර සහ සම්බන්ධය එතරම් ය. )


 "ඉස්සරහ හරියට පේන්නෙත් නැති
  පාරක
  බස් එකක්වත් එන එකක් නැති උනත්
  එදාටත් මට දොඩන්නට
  ඉස්සි ඉස්සි බලන්නම්
  මම ඈත
  බොරුවට

  නිදිබර බැල්ම තැවරුන
  හෙම්බිරිස්සා කටහඬින් අඬගානකොට ඔබ
  නෑවිත්ම හිටියත්
  තෙමි තෙමි ම මම
  හිතෙන්නැද්ද ආයිත් දවසක
  තෙත බරිත හවසක
  අහම්බෙන් වගේ හම්බ වෙන්නට"
           ( තෙමි තෙමි ම මම ;  31-32 පිටු  ;  දොළොස් වන පැදිය )



"'අක්කගෙ කුඩ මිට තාම මං ලඟ.'

'කුඩයක් නැතුව මිටක් විතරක් මොකටද ඔයාට?'

'හෙට ගෙනත් දෙන්නම් ද ඒක අක්කට?'

'එපා. ඒක ඔයා තියාගන්න. නොතෙමි - තෙමි තෙමි ඉන්න.'"

               ( ඉස්කිරිම - 65 පිටුව )
       
ඉස්කිරිම ප්‍රේමය මුල් වූ නවකතාවකි. එහි බස නූතන ය. පාඨකයාට විවෘත කරන්නා වූ ආඛ්‍යායිකයා ගේ හැඟීම් වල ගැඹුර ඔහුගේ අවංක කම තහවුරු කරයි.  මේ තරම් ප්‍රේමයේ සියුම් හැඟුම් ගැන සිංහල සාහිත්‍ය නිර්මාණයක හෙළි දරවු අවස්ථාවන් - වෙසෙසින් පාඨකයාට බරක් නොදැනෙන ලෙස  සිතුවිලි ගවේෂණය කරමින් - මා මතකයට නැගෙන්නේ අමරසේකර ගේ මුල් කෙටි කතා වල ය ( ජීවන සුවඳ ; රතු රෝස මල ) - එහෙත් මා එතරම් (?) ප්‍රේම කතා කියවා නැත.

ඇත්තෙන් ම මේ නවකතාව ගැන විචාර ලිවීම අපහසු ය. එය විඳීමක ට, ඒ ඔස්සේ පාඨකයා  විඳවිල්ලකට නතු විය යුතුය. මා මෙය විශිෂ්ඨ නවකථාවක් කීමට ඉක්මන් නොවෙමි. එහෙත් , පාඨකයා ව ද ඒ බස් නැවතුමේ, ඒ වැස්සේ, ඒ පුස්තකාලයේ  ඔවුන් ගේ දෙබස් වලට කන් දෙන්නෙකු, ඔවුන් දෙදෙනා ගේ ජංගම දුරකතන කෙටි පණිවුඩ  උරැස්ස උඩින් කියවන අයෙකු බවට පත් කරන්නේ ය. ඒ කතුවරයා ගේ නිර්මාණැය උදෙසා වූ කැපවීම, අවංක බව සහ ලිවීමේදී ඒ සෑම සිදුවීමක් තුල ම ජීවත් වූ ස්වභාවය හේතුවෙ නි. මුලු නවකතාව පුරා ම, මෙහි ප්‍රධාන චරිත වල බොහෝ තොරතුරු අප හට එළි නොකෙරේ. ඇත්තෙන් ම ඒ අඩුව නොදැන්නේ ඔවුන්ගේ හැඟීම් සමඟ පාඨකයා ඒකාත්ම වන නිසා ය.

"... මට කියන්න තියෙන්නේ ඔයාගෙ ආදරෙ රහසිගතව කරගෙන එයාට එයාගෙ පාඩුවේ ඉන්න සලස්සන්න කියලයි.... පෙරලා එයාගෙ ආදරේ බලාපොරොත්තුත් නොවෙනවනම් එයාට ආදරේ  බව කියන්න ඕනත් නැහැ නේද?" ( 59 පිටුව )

"ඈ සොයා සොයා ඇගෙන් ආදරය බිඳක් හෝ පතමින් ඇ
යව  අල්ලා ගැනීමේ චේතනාවෙන් සිතිවිලි කලඹවාලු එය ප්‍රේමයේ විලාසයෙන් පැමිනි තෘශ්නාවේ එක්තරා ස්වරූපයක් පමනක් ද?" ( 139 පිටුව )

කියවන්න. විඳින්න.
හැකි නම් "තෙමි තෙමි ම මම" ත් කියවන්න ( මගේ පිටපත ණයට ඉල්ලා අමනාප නොවන්න ).

No comments:

Post a Comment