අප රට ප්‍රධාන සම්මාන තුනට ම නිර්දේශ වූ ද, ඉන් දෙකක් ම ජයග්‍රහණය ට සමත් වූ ද ළහිරු කිතලගම ගේ "කවුළු ඇස පාමුල" කලක් තිස්සේ කියවූවෙමි - සමහර කවි පස්-හය වතාවක් පමණ කියෙව්වෙමි. ඒ සම්මාන තෝරා දෙන්නා වූ මඬුලු දුටු යමක්, දුහුනන් වන අප ට මග ඇරී ඇත්දැයි සොයා ගැනීමට ය. එහෙත් මට මේ කාව්‍ය සංග්‍රහය එසේ සෙමි සෙමිහිට කියෙව්ව ද රස වින්දනය අවදි නොකලේ ය. කිනම් හෝ හේතුවක ට කවි පංති දෙක තුනක් හැර අන් ඒවා මහත් වෙහෙසකර ව්‍යායමයක්, තරමක කෘතීම බවක්, නැතහොත් නිර්මාණයන් හි ගලායාමට බධාවක් ඇතුවාක් මෙන් දැනිණි.
නික්ම යෑම යන වචන සෑම දින භාවිත වේ ද පිළිබඳ සැක සහිත ය. පෞද්ගලිකව ගැමි බස ගැන අවම අවබෝධයක් සතු නිසා ම මගේ කියවීම වැරදි වීමට ද පුළුවන. "සෝම සමිඳු ඔබ, රහසෙම නික්මි තිබුණා" ආදි වශයෙන් කියූ විට එහි ස්වභාවික බවක් තිබුන ද, මෙහි එන එක් කවි පංතියක් "මං ඉතින් නික්ම යන්නම් හින්නි අම්මේ" ලෙස කී විට , එහි ස්වභාවික බවට පටහැනිදෝ සිතේ.
"මං නික්ම යන්නම් හින්නි අම්මේ
කෙල්ලට පුරුදු කරපන් 'අප්පච්චි' කියන්න සයිමට"
මෙහි නික්ම යෑම යන වදනින්, යන්නට ම යෑම හෝ දිවි තොර ගැනීම ඇඟවේ ( කවිය තුල ඒ අර්ථය රැගත් ය ). එනමුදු කවියේ සන්දර්භය තුල "නික්ම යෑම" යන වචන මට නොගැලපීමක් ඒත්තු ගන්වයි.
තවත් එක් නිදසුනක් පමණක් ගනිමි.
"මට ගන්න බෑ ඇස් දෙක
මට දෙන්න බෑ අත් දෙක
හීන මිටි බැඳබැඳ ලිහමි වතුරට
ඔහේ ගලාගෙන පාව යන්නට
ආදරේ පුපුරවා හරිමි ලෝක යුද්ධයක් සේ
හැම තැන ම මූනිස්සම් වැදෙන්නට
මට හීන ගන්න බෑ
මට හීන දෙන්න බෑ"
මෙහි රසවත් බවක් මා තුල ජනිත නොකල ද, කවියා ආවේගශීලි ලෙස අදහස් ප්‍රකාශ කරනව යැයි යම් ඉඩක් දුන්න ද, මේ කවියේ පසුව මෙවන් පෙළක් එයි:
"ඔයා දැන් බැඳලා ගිහින් ඈතක
ගලෙන්බිඳුණුවැව
පිපිඤ්ඤා හේනක
තෙබු කොළ මිටිය බහා දුන්
බ්‍රවුන් පේපර් උරය
අන්න නිදාගෙන තාම පරණ පොත් යට"
( ආදරේ පුපුරවා හරිමි ලෝක යුද්ධයක් සේ)
සමස්ත ගලා යාමේ රිද්මයේ නොගැලපීමක් දැනේ. එය රස විඳුමට බාධාවකි ලෙස දැණුනි.
නිදසුන් ලෙස මෙපමණක් ගෙන හැර දැක්වුව ද, මේ සංග්‍රහයේ එන අතිබහුතරයක් කවි පංති වලින් මා ලද්දේ මීට නොදෙවෙනි පාඨක අත්දැකීමකි. එය සමස්ත ලෙස ආයසකාරි උපමා සහිත කාව්‍යයෝය.
එහෙත් මෙහි එන එක කවි පංතියක් මහත් කැමැත්තෙන් කියවීමි. ඒ තුල අන් නිර්මණ වල නොවූ අවංක ලෙන්ගතු බවක්, ආයාසකාරි නිර්මාණයක් නොවන බවක් ඒත්තු ගන්වයි. ඒ "වැහි තෙත. අකුණු සැර වැද" යන කවි පංතියයි.
"වැහි දිනෙක එහි ගිය සවස
ඈ තැබූ ස්නේහ දත් කැකුළ
රහසේ අතගා බලමි
උරහිසට බර
බිරියගේ හිස අතගාමින් ම"
එලෙස ම එක ම තේමාවක ට රචිත "නඩු වැටෙන නිර්වාණමය හැන්දෑව" සහ "තරු ගැණගැණ" කවි පංතීන් වලද යම් නිර්මාණශීලිත්වයක් දිටිමි -ඒවහි දි ද කවි පොතේ අන් බොහෝ කවි වල ඇති ආයාසකාරි ගතිය නොදිටිමි. "තරු ගැණගැන" හි එන;
"බුදුන් පවා ගංජා ගහන්න ඇතිය කියල
කියන්න හයියක් කොයින් ද?"
යන පද පේළිය, එක් අතකින් මා ඉතා මෑතක ඇසූ සයිප්‍රස් හිල් ( Cypress Hill ) රැප්-රොක් කණ්ඩායමේ අලුත් ඇල්බමයේ එන "Jesus was a stoner" ගීතය මතකය ට කැඳවීය. ලතින් අමරිකානු සංගීත කණ්ඩායමක් වන සයිප්‍රස් හිල් කැනබීස් හෙවත් කංසා භාවිතාව තම ගී වල ප්‍රධාන මාතෘකාවක් කර ගනී. අනෙක් අතින් බ්‍රහ්මජාල සූත්‍රය මතකයට ගෙනාවේය. එම සූත්‍රයේ යම් කිසි සීමිත පෙර අත්බැව් සංඛ්‍යාවක් පමණක් මතකයට ගෙනා හැකි ශ්‍රමණයකු තම සීමිත පෙර අත්බැව් දැකීමේ හැකියාව ඔස්සේ සාස්වතවාදය වදාරනක් මෙන්, ඊට බොහෝ දැනුම් තේරුම් අඩු ගංජා සුරුට්ටු උරන්නා ද තමන් අත්දැක ඇති කුඩා සීමාව තුල සියල්ල ගොණු කිරීමට යාමේ යම් සමානතාවක් ද දිටිමි.
මීට සමගාමීව - ඉතා සෙමින් - දවසකට කවක් දෙකක් - ආයේ සතියක් පමණ පොත අත ට ද නොගෙන කියවාගෙන යන සුනිල් විජේසිරිවර්ධන ගේ "කඳු මුදුන මගේ නිවහන", නම් යම් රසාස්වාදයක් ගෙන දෙන බැව් දැනිණි. එය තව කියවා අහවර නැත. එපමණක් නොව, කිසිදු සම්මානයක ට නිර්දේශ නොවූ ලියනගේ අමරකීර්ති ගේ "හමුවේද අපේ වෙණ තත" සංග්‍රහයේ මුල් කවි පංති තුන හතර කියෙව්ව ද - එහි බස භාවිතය සිතා මතා ම හෝ තරමක් සරල, අමු බවක් වහණය කල ද, ඒ තුල ද කවියා ගේ යම් අවංක සිතුවිලි සොයා ගත හැකි විය. ඉතින් සාරාංශ ලෙස කිව හැක්කේ මහත් ආයාසයක් දරා කියෙව්ව ද, "කවුළු ඇස පාමුල" කිව හැකි මට්ටමක රස වින්දනයක් නොගෙනා කාව්‍ය කෘතියක් ලෙස දැනුණු බවක් පමණි.
No comments:
Post a Comment