Sunday, 28 October 2018

කාටද කුඩයක් තියෙන්නේ? - සේන තෝරදෙනිය

කාටද කුඩයක් තියෙන්නේ ? - ජාතීන් අතර ඇති  සබැඳියාවන් ද, එක් ජාතියක කුල මල අනුව ඔවුනොවුන් අතර ඇති වෙනස්කම් ද පිළිඹිබු කරමින්, තිස් අවුරුදු සිවිල් යුධය ට පෙර, එනම් හැත්තෑ දශකය අග සහ අසූව දශකය අලලා ලියවුණු රසවත් කෙටිකතාවකි. පුළුල් වශයෙන් සියළු දෙනාට එක් කුඩයක් යට ට ඒමට නොහැකියාවක් නොමැත යන පුළුල් මාතෘකාව ඔස්සේ රචිත ය.
"අපි කවදාවත් කුඩයක් විසි කරන්නෙ නෑ. නණ කැඩුනම කම්බි දාල මාට්ටු කරනවා. අලුතින් නණයක් දානවා. ඉරුණම පැච් දමනවා. කළු කුඩේ කලක් යනකොට සුදු වෙනවා. සුදුපාට කුඩවල කළුපාට  පැච් දැකලා තියෙනව නේද ?" (23 පිටුව )

   සමස්ත වශයෙන් දීර්ඝ කාල්යක් එකට විසූ ජන කොටස් වලට විසඳාගත නොහැකි ගැටළුවක් නැති බවත්, බාහිර අතපෙවීම් වල බලපෑම් ගැනත් ඉඟි කරමින් ගෙතුණු කෙටි කතාවකි. අද වන විට නූතන යැයි සැලකෙන දේශපාලන මත සමඟ මෙහි සමස්ත අදහස කෙතෙරම් ගැලපෙන්නේ ද යන්න පිළිබඳ විවාදයක් හට ගත හැකි වුව ද, පෞද්ගලිකව මට එම දර්ශනයේ ගැටළුවක් නැත. එපමණක් නොව, කෙටි කතාව ට අනවශ්‍ය බරක් නොපැටවෙන අයුරින්, ඔහු එහි දේශපාලන අදහස් ඔබ්බවා තිබීම කෙටිකතාව රසවිඳීමට උත්තේජකයකි.

ගුරුලිය, වෙදලිය, දෙව්ලිය - තෝරදෙනිය වූ කලි බොහෝ අත්දැකිම් ලබා ඇත්තෙකි. ඒ හේතුවෙන් ම ඔහු ට කීමට කතා බොහෝ ඇත. මෙයත් ඒ ආකාර රසවත් කතාවකි. කාලයත් සමඟ සමහර අය ආශ්‍රයෙන් ඈත් වන අයුරුත්, එහෙත් ඔහුන් හා සමඟ දුරතීතයේ තිබූ සබඳතා මතක ස්ථර යට තැම්පත් ව තිබී වෙසෙස් සිදුවීමක් ඔස්සේ නැවත ආවර්ජනය වීමත් සිදුවේ. කතුවරයාගේ "පේරාදෙනියේ ඉස්ටේසෙමේ ටිකැට් දෙන" සහ "පොර මී ගොන්" හි එන බොහෝ කතාවන් හි කතා රසයට සමාන රසයක් රැගත් කෙටිකතාවකි.

මිණිපහන, තුරුවියන, දන් ඔරුව හා වෙනත් දෑ - අයෙක් මහළු වියට පත් වුව ද, ඔහුගේ හෝ ඇයගේ පෙර ප්‍රේම සබඳතා පිළිබඳ මතකයන් සැමදා තරුණ ය. මහළු වියට ඉඩ දී විශ්‍රාම සුවයෙන් පසු වන විට දි හෝ, නොසිතූ කලෙක ඒවා නැවත මතු වී සිත ට යම් තමරමක අවිවේකයක් මෙන් ම ප්‍රබෝධයක් ද ගෙන ආ හැකිය. තෝරදෙනිය, "යාරා යාත්‍රිකා" හි ද යම් පමණකින් කතා කල මාතෘකාවක් වැඩිහී නිවෙසක වටපිටාවක් මත අලුත් වී කෙටි කතාවක් තුලින් අප හමු වේ.

සිහිනය හා ශිෂ්‍යාවක් - සිරි ලක අර්ධ ශුෂ්ක පෙදෙසට අයත් හලාවත සහ පුත්තලම අතර, සහ ඒ ආශ්‍රිත පෙදෙස් ඊට ආවේණික චමත්කාරයෙන් යුක්තය. අද වන විට වේගයෙන් නාගරීකරණය වේගෙන ආවද, කතුවරයාගේ උක්ත කෙටිකතාවේ කාල පරාසය ගැන සිතත් ම, ඒ පෙදෙස් වල දහවල දවාලාන  දැඩි හිරු රශ්මිය ට වන්දි ගෙවීමට මෙන් සවස් යාමයේ හමායන සීත සුළඟ ත් දැඩි අඳුරත් සිත තුල චිත්‍රණය වේ. උක්ත කෙටිකතාව, ආඛ්‍යායනිකයා වසර හතලිස් ගණනකට පෙර එම පෙදෙස් වල ගුරු වෘත්තියේ යෙදෙමින් කල් ගෙවූ කල මතකයේ රැඳුණු ශිෂ්‍යාවක ගැන මතක ආවර්ජනය කරන කතා පුවතකි. කල් පිරූ වයින් මෙන්, ඉහළ ම තලයේ තෝරදෙනිය කතාවන් ය.

වියළුණු ඉරිඟු දඬු - පාකිස්තානයේ යාබද ගම් දෙකක් අතර වූ ද්විත්ව ළමා අපචාරයන් පිළිබඳ වූ සත්ය සිදුවීමක් අලලා ලියැවුණු, කෙටි මුත්, අපූරු කෙටිකතාවකි. රාජ්ය නොවන සංවිධානයන් මේ අවස්ථාව භාවිත කරලීමට යත්න දැරීමත්, අපචාරයට පත් වූ දැරියගේ පිලිතුරත් ඉතා අපූරුය:
"මගේ කීර්තිය මොකක් ද? දූෂණයට ලක් වීම විතරයි. මම ආයෙත් ඉරිඟු යායේ වැඩට යනවා. කවුරුවත් ආයෙත් මා දූෂණය කරන්ට එන එකක් නෑ. ඔබලාට මා දූෂණය වීමට පෙර ඒක නවත්වන්ටැ බැරි උනා. මගේ කන්යාභාවය, කිලිටට පත්වීම, නින්දාව, අපවාදය මට ආපහු ලබාගන්ට බැහැ." ( 88 පිටුව ) අපූරත්වයකින් පිරි කෙටි කෙටිකතාවකි.

ගුණගැයුම් ගී තොර තවත් එක් මිනිසෙක්: මේ කෙටිකතාව කුමාරසිංහ නම් අවංක ඉහළ තානාන්තරයක් දැරූ මිනිසෙකු ගැනය. මෙවන් කෙටි කතා කියවීම රුචි වන්නේ, ලේඛකයා අත්දැකීම් කන්දරාවත් සමඟ ඔහු ට මෙවන් අපූරු පුද්ගලයින් මුණ ගැසී ඇතැයි සිතිය හැකි නිසා ය. මෙහි එන කුමාරසිංග අනුරාධපුරයේ ජන්මලාභියෙකි. භාෂා තුනම ඔහු දැන ගත්තේ යාපනයේ සාන්ත පැට්රික් විද්යාලයේ සිප්සැදෑරූ නිසා ය.
"ඉස්සර නුවරකලාවියේ යමක් කමක් තියෙන මිනිහෙක් පිරිමි ළමයි ඇරියෙ යාපනේට." (91 පිටුව ) මේ කාරණාව මා නොදත්තකි.
එලෙස ම ඔහු රාජ්ය භාෂාව සිංහල භාෂාව කිරීම නිසා ගම් වල දරුවන් ලැබූ අවස්ථාව ගැන ස්තූති පූර්වක වන අතර ම අද වන් විට තත්ත්වය වෙනස් වන බව තේරුම් ගැනීම ට තරම් පුළුල් මනසක් ඇත්තෙකි
"සිංහල රාජ්ය බාසාව කරපු හින්දා අපේ ගම්වල කොල්ලො කෙල්ලො ඉගෙන ගත්තා. විශ්ව විද්යාලෙටත් ගියා. ලොකු ලොකු රස්සාවලටත් ගියා. පරිපාලන සේවෙටත් ගියා. ඒත් දැන් රෝදෙ කැරකෙනවා. කොල්ලෝ ඒකට සුදානම් වෙන්ට ඕනෑ" (92 පිටුව ). විශ්රාම ලත් කුමාරසිංහ නොමිලේ ඉංග්රීසි පංතියක් කරන්නේ ඒ "සූදානම් කිරීමට" ය. එහෙත් මෙවන් මිනිසුන්ගේ වටිනාකම සමස්තයක් ලෙස අප වන් රටක මිනිසුන් තේරුම් නොගනි. ඉතා රසවත් කෙටිකතාවකි.

අවමඟුලේ දී සිදු වූ මරණය: අප රට සමහර මිනිසුන් කෙතෙරම් ඉහළ ට නැග්ග ද, කුලහීනයෝ ඒ පිළිබඳ හීනමානයෙන් පෙළෙන්නෝ වෙති; කුලවතුන් ඒ පිළිබඳ මානය අත් නොහිරිති. නොසිතු තැනක කුලය පිළිබඳ අවතාඅර අවදි වන්නේ මේ දෙපාර්ශවයම නොසන්සුන් කරමිනි. මේ තත්ත්වය උකහා ගනිමින් ලියැවුණු ඉතා සාර්ථක රසවත් කෙටි කතාවකි.

බොරපාට මැයි දිනය: අන් අයගේ දනුමින් අත්දැකීමෙන් අවස්ථාවාදීව තමන් ගොඩ යාමට භාවිත කල අයෙකු පිළිබඳ උපහාස රසය රැගත් කෙටිකතාවකි.
"ජේ. වි. පී. ය පන්ති පහ පටන් ගත්තෙ හැත්තෑඑකට කලින් හැට ගණන්වල අග. විද්යාලංකාරෙ කොල්ලො හිර කරල හිටියෙ හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ. මේකා ඉපදුණේ එක්දාස් නවසිය හැට නවයේ. මේකා ජේ.වී.පී. පන්තිවලට ගිහිල්ල තියෙන්නෙ අම්මගෙ බඩේ ඉද්දී. නැත්තන් තාත්තගෙ අණ්ඩකෝෂයේ ඉද්දී. හිරබාරෙට ඇරන් තියෙන්නෙ අවුරුදු දෙකේදී" ( 117 පිටුව ) මට මොන්ටිසෝරියේ දී පෙළපාළි ගිය අයෙකු මතක් විය.


රෙඩ් ගම් ඡන්දය: ඕස්ත්රේලියාවේ පළාත්පාලන ඡන්දයක අත්දැකීමක් අප රටේ ඡන්දය සහ දේශපාලනය හා සැසඳිමක කරන, උත්ප්රාසජනක, උපහාසාත්මක කෙටිකතාවකි. වරෙක ස්වභාවිකත්වයේ සීමා ඉක්මවූ ව ද , කතුවරයා අප ගේ දේශපාලනයේ ඇති බල ලෝභි ළාමක බව පෙන්නීම අරමුණු කරගෙන ඇත.


රිදී-චන්ද්ර පර්වත වනාන්තරය : මෙහි එන වඩාත් දේශපාලනික කෙටිකතාවයි. කෙටිකතාව සම්පූර්ණයෙන්ම පාහේ ගොඩ නගා ඇත්තේ කතුවරයා ට දේශපාලනය පිළිබඳ තම මතයන් සහ අනාගත පිළිබඳ බිය ප්රකාශ කිරීමට ය. කෙටිකතාවක් ලෙස එතරම් සාර්තක නැත්තේ එහි ආකෘතිය භාවිත කොට ඇත්තේ ම ඉහත කරුණු හේතුවෙන් නිසා ය. මෙහි එන මුල් කෙටි කතා අට හා සසඳද්දි අවසන් දෙක එතරම් සාර්ථක නැත.

සමස්ත වශයෙන් මහත් සේ රස විඳි කෙටිකතා සංග්රහයක් වූ අතර, ලේ විල සහ ඩාන්ටේ, අළු පැහැති ආරංචි, ආලන්දර සහ සුනෙත් කාන්තගේ ශෝකාන්තය හ එක පෙළ තැබිය හැකි බව නිසැකව කිය හැක. නුදුරු දිනෙක පී.බී. ජයසේකර සහ කැත්ලීන් ජයවර්ධනගේ කෙටි සංග්රහයන් ද කියවූ පසුව සංග්රහයන් එකොලහම ශ්රේණි ගත කරන්නට බලාපොරොත්තු වෙමි.

No comments:

Post a Comment